20150815

මෛත්‍රී ඒකාධිපතියෙක් ද???




මෛත්‍රී ඒකාධිපතියෙක්
කියා මා අරුත් දක්වන්නේ
ඔහු බලය රැක ගැනීමේ අරමුණෙන්
ජනතාවට එරෙහි වුණොත් පමණයි.|


කූට දේශපාලනඥයන්ගේ උගුල් වලින් මිදෙන්නට
ඒ කුමන්ත්‍රණ හා සැලසුම් අක්‍රිය කරන්නට
ඒකාධිපතියෙක් වීමේ හැකියාව
ඔහුට අත්‍යාවශ්‍යයි.

කූට දේශපාලනඥයන් හසුරුවාගන්නට
මෛත්‍රී කුමන තීරණයක් ගත්තත්
මා එහි වරදක් දකින්නේ නෑ.
නායකයෙක් වශයෙන්
ඔහු ජනතා හිතවාදී බවට
මා තුළ ඇති විශ්වාසය බිඳී නෑ.

ජාතික ලැයිස්තුවේ පිහිටෙන්
බැසිල් සහ ගෝටා
පාර්ලිමේන්තුවට ඇතුල්වීමේ ඉඩකඩ
පක්ෂ ලේකම්වරුන් ඉවත් කිරීමෙන්
ටික කලකට අසුරා දැමුවා කියා
මම හිතනවා.

ජේ ආර්ට මෙන්ම මෛත්‍රීටත්
ඔහුගේම න්‍යාය පත්‍රයක් ඇති.
සුළඟ හමන අයුරින්
ඒ බව පැහැදිලියි.

මහින්ද, රනිල්, අනුරකුමාර ආදීන්ගේ
රඟපෑමට මුළාවූ බොළඳ ජනතාවට
තවම හඳුනාගත නොහැකි වුවත්
ජේ ආර්ගෙන් පසු බිහිවූ හොඳම රාජ්‍ය තාන්ත්‍රිකයා බවට
මෛත්‍රී පත්වෙමින් සිටින බවක්
මට දැනෙනවා.

ඔහු ජේ ආර් මෙන් නරුමයෙක් නොව
ජනතා හිතවාදියෙක් වීම
අපේ රටේ ජනතාවගේ වාසනාවක්.

ජනපතිවරණය ඉක්මන් කරගෙන
මූලික පදනම සකස්කළ බැසිල් සහ
ජනතාව තෝරාගත් මෛත්‍රී අතර
සීතල යුද්ධයක් ඇරඹී ඇතැයි
මා අනුමාන කරනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනස් නොකළොත්
මහින්ද පරාජය කරනවා කියා
බැසිල් එළිපිටම සහභාගි වූ
රතන හිමිගෙ "පිවිතුරු හෙටක්" රැස්වීමේ සිටම
මහින්දට පාඩමක් ඉගැන්වීමට
තිරය පිටුපස සිට
බැසිල් ක්‍රියා කළ බව
මා අනුමාන කරනවා.

අවසන් මොහොතේ
කුමන හෝ ජිල්මාට් එකකින්
තම පිළට බලය ලබාගන්නා
සූක්ෂ්ම සහ නරුම දේශපාලන සැලසුම් සඳහා
බැසිල් අතිදක්ෂයෙක් වුවත්
ජනතාව අතර ජනප්‍රිය නැති නිසා
මහින්ද නැතිව ඔහුට අනාගතයක් නැති බව
දැන් ඔහුට වැටහී ඇතැයි මා සිතනවා.

මහින්දට වාසි වෙන තලය තුළ
මහින්දත් ඔහු උපයෝගී කර ගනීවි.

බැසිල් ඇප ලබාගෙන
මහින්ද මුණ ගැසීමෙන් පසුව
මහින්ද නවපණක් ලැබුවා.
සුසිල් නාම යෝජනා දීමේ භූමිකාවේ
ප්‍රධාන නියමුවා බැසිල් බවට
පූර්ව නාමයෝජනා ජවනිකාවේදී
සැක පහළ වුණා.

ස්වර්ණවාහිනී අන්තිම හටනේදී
සුජීව සේනසිංහ ඔහුගේ චේතනා ගැන
කෙටි විග්‍රහයක් කළා.

ඔහු ලාල්කාන්ත සමග
ජවිපෙ සහයෝගය සඳහා
සංවාද කරන බවට ආරංචි
අන්තර්ජාලයේ තියනවා.

බැසිල්ගේම අනාගතය වෙනුවෙන්
ඔහු නැවත මහින්ද බලයට ගෙන එන්නට
උත්සාහ දරනවා කියාත් මා අනුමාන කරනවා.
ඔහුට වාසියක් වෙනවා නම්
මහින්ද බලයට ඒම වළක්වන්නත්
ඔහු ක්‍රියා කරාවි.

බැසිල් වඩාත්ම කැමති වන්නේ
මහින්දගේ දේශපාලන අනාගතයේ
ස්වර්ණමය තෝන්ලණුව ඔහු අතට ගන්නයි.
මහින්ද ඊට කොතරම් කැමතිදැයි
සිතාගන්නට බැහැ.
බලයට එන්නට ඇති
එකම විකල්පය බැසිල් තනන ගුලක් නම්
මහින්ද එයින් වුණත් රිංගන්නට
පසුබට වෙන එකක් නෑ.
මහින්ද කවර අසාධාරණයක් කළත්
අසාධාරණයෙන් ජීවත් වෙන
ඔහුගේ පිරිස ඔහු වෙනුවෙන් ඉන්නවා.

මට පෙනී යන ආකාරයට
ජවිපෙ හැර අනෙක් කඳවුරු සියල්ල
බැසිල් ගැන විශ්වාසය බිඳගෙන ඇතැයි
සිතන්නත් පුලුවන්.

දැන් බැසිල් කරළියේ නොමැති වීම නිසා
තිරය පිටුපස ඔහුගේ භූමිකාව
අනුමානය කිරීම ඉතාම අපහසුයි.

මේ දක්වා
මෛත්‍රීට ඇති සීමිත පහසුකම් සමග
ඉතාම හොඳින් ඔහුගේ ඉණිම ක්‍රීඩා කරනවා
කියා මා සිතනවා.

අද අපිට මෛත්‍රී හැර
වෙනත් බලාපොරොත්තුවක් නෑ.
අන් සියල්ලන් වෙනස් විය හැකියි.
අර්ජුන, විජයදාස වැනි අතලොස්සක් හැර
අන් ඕනෑම කෙනෙක්
මුදලට ගිජුවී ජනතාව පාවා දිය හැකියි.

මෛත්‍රී මුදලට තමන් පාවා නොදෙන බවට
ඔහු හඳුනන ජනතාව
විශ්වාස කරනවා ඇතැයි මා සිතනවා.

ජනතාවට පාක්ෂික නම්
කූට දේශපාලනඥයන් හමුවේ
මෛත්‍රී ඒකාධිපතියෙකු වීම
මා සම්පූර්ණයෙන්ම අනුමත කරනවා.

මෛත්‍රී වගකිව යුත්තේ
ඔහු පත්කළ ජනතාවටයි.


ඔහු විශ්වාස කරන අපටයි.