20151011

ලිංගිකත්වය විවෘත ව ප‍්‍රකාශ කිරීම පශ්චාත් නූතනවාදයද? -පියසීලි විජේමාන්න



මහාචාර්ය පියසීලි විජේමාන්න

දශක හතරකට ආසන්න කාලයක් විශ්වවිද්‍යාලයීය ආචාර්යවරියක් ලෙස කටයුතු කළ ඔබ මෑතකදී විශ‍්‍රාම දිවියට පිවිසියා. ඒ භූමිකාව දෙස ආපසු හැරී බලනවිට අද මොකද හිතෙන්නේ?
විශ්වවිද්‍යාලයේ ආචාර්යවරියක් වීමට පෙර ශිෂ්‍යාවක් විදිහට ලබපු අත්දැකීම් ගැන සඳහන් කරමින් ම ඔබට පිළිතුරුදීම වැදගත් ය කියා මා හිතනවා. විශ්වවිද්‍යාල ප‍්‍රවේශය සමත්වෙලා මම පේරාදෙණිය සරසවියට ඇතුළු වුණේ 1962 දී. ඇත්තට ම ඒක විශ්වවිද්‍යාලවල සංක‍්‍රාන්ති අවධියක්. විශ්වවිද්‍යාලවල ඉංග‍්‍රීසි ආධිපත්‍යය ලිහිල් වෙමින් සිංහල භාෂාව හිස ඔසවමින් තිබුණු අවධියක්.
නමුත් ඉංග‍්‍රීසි බලපෑම සම්පූර්ණයෙන් ම යටපත්වෙලා තිබුණේ නැහැ. ඒ වෙනකොටත් මියුසියස්, ශාන්ත බි‍්‍රජට් වගේ පාසල්වලින් ආපු ඉහළ පැලැන්තියේ ළමයි එක්ක තමා මටත් ඉගෙන ගන්න සිද්ධ වුණේ. මොකක් හරි හේතුවකට මගේ දෙමාපියන් ප‍්‍රමාණවත් ඉංග‍්‍රීසි අධ්‍යාපනයක් ලබාදීලා තිබුණු නිසා නොකැපී ඉන්න පුළුවන් වුණා. ඉංග‍්‍රීසි භාෂාවට කඩුව කියන වචනය භාවිතාවට ඇවිත් ඔන්න ඔය කාලේ තමයි කොහොම කොහොම හරි පාලි හා බෞද්ධ දර්ශනය පිළිබඳ විශේෂවේදී උපාධිය සම්පූර්ණ කරලා පේරාදෙණියෙම ආචාර්යවරියක් හැටියට පත් වුණේ 1968 දී.
එදා ඉඳල ම සිසුන් සහ ආචාර්ය මණ්ඩලයත් එක්ක බොහොම සමගියෙන් වැඩ කළා. විශ්ව විද්‍යාලවල උප සංස්කෘතිය තේරුම් ගැනීමට පුළුවන්වීම මේකට ප‍්‍රධාන හේතුව වෙන්න පුළුවන්. ගුරුවරියකට අමතර ව ලේඛිකාවක වීමත් කවුන්සලින් (උපදේශන කටයුතු) කර තිබීමත් සිසුන් එක්ක හොඳ සබඳතාවක් ගොඩනඟාගන්න ප‍්‍රයෝජනවත් වුණාය කියලා හිතෙනවා.
නිර්මාණකරණයට උනන්දුවක් දක්වන ළමයින් වෙනුවෙන් නිර්මාණ රචනය පිළිබඳ ව පාඨමාලාවක් ඇරැඹීමට හැකිවීම මගේ වෘත්තීය ජීවිතයේ ඉතාමත් තෘප්තිමත් අවස්ථාවක්. කලා පීඨයෙන් බැහැර ඉංජිනේරු වෙද්‍ය වැනි පීඨවල සිසුන් පවා ඒකට උනන්දුවක් දැක්වූවා. විශ‍්‍රාම ගියත් අදත් මම පේරාදෙණියේ පශ්චාත් උපාධි පාඨමාලා සඳහා ආරාධිත කථිකාචාර්යවරියක් ලෙස සහභාගි වෙනවා. ඒ ජීවිතය දිහා ආපසු හැරී බලනවිට මා විශ‍්‍රාම ගියා කියන සිතුවිල්ල කිසි ම විටක ඇති වන්නේ නැහැ.

ඔබ සඳහන් කරන ආකාරයට ම විශ්වවිද්‍යාලයීය මහාචාර්යවරියක් වීමට අමතර ව ලේඛිකාවක වශයෙනුත් ඔබේ දායකත්වය ඉතා වැදගත්. සම්මානයට පාත‍්‍ර වූ ලේඛිකාවක් හැටියට. සාහිත්‍ය කරුවකු සතුවිය යුතු පරිකල්පන ශක්තිය පිළිබඳ ව ඔබේ පැහැදිලි කිරීම කෙබඳුද?
පරිකල්පන ශක්තියක් නැති කෙනෙකුට ලේඛකයෙක් වෙන්න බැහැ. පරිකල්පනය (Imagination) කෙටියෙන් හඳුන්වා දෙනවා නම් අපට කියන්න පුළුවන් ලේඛකයකු විසින් පාඨකයාගේ හිතේ මවනු ලබන චිත‍්‍රය කියලා. උදාහරණයක් හැටියට මම ගමනක් යනවිට තැඹිලි ගෙඩියක් බොන්න අතරමග නතර වෙනවා කියලා හිතමුකෝ. එතන ඉන්නවා මොළේ ටිකක් නරක් වුණු මනුස්සයෙක්.
එයා කරන්නේ මිනිස්සු බීලා අහකදාන තැඹිලි කෝම්බ එකපිට එක තබන්න උත්සාහ කරන එක. නමුත් එයාගෙ උත්සාහය නිරර්ථක වෙලා තැඹිලි කෝම්බ ටික දිගින් දිගට ම පෙරළෙනවා. ඒ වතාවෙ එයා කුණු හරුප කියන්ඩ පටන් ගන්නවා කේන්තිය උහුලන්ඩ බැරුව. දැන් මට ඔය සිද්ධිය ආශ‍්‍රයෙන් කතාවක් ලියනවා කියමුකෝ.
ඒ මනුස්සයා කියපු කුණුහරුප මට ලියන්ඩ බැහැනේ. නමුත් එයාගේ හැඩරුව හැසිරීම ආදිය විස්තර කරලා මම කියනවා මිනිහා අමු තිත්ත කුණුහරුපෙන් බනින්ඩ පටන් ගත්තා කියලා. එතකොට මගේ කතාව කියවන පාඨකයෝ තම තමන්ගෙ දැනුමෙ අවබෝධයේ මට්ටමට ඒක හිතේ මවා ගන්නවා. වැඩිහිටියෙක් මවා ගන්න චිත‍්‍රය නෙමේ ළමයෙකුගෙ හිතේ මැවෙන්නෙ. ලේඛකයට වගේම පාඨකයටත් පරිකල්පන ශක්තියක් අවශ්‍යයි. අත්දැකීම් ලැබෙන්න ලැබෙන්න මේ දෙන්නගෙම පරිකල්පන ශක්තිය දියුණු වෙනවා.

ඔබ කුඩා දරුවන් සහ යෞවනයන් සඳහා පොතපත ලිවීම කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වන ලේඛිකාවක්. මේ දෙපිරිස වෙනුවෙන් පොත් සම්පාදනය කරන උදවිය විශේෂ අවධාරණය යොමු කළ යුතු කරුණු හැටියට ඔබ දකින්නේ මොනවාද?
කුඩා දරුවන් සහ යොවුන් පරපුර වෙනුවෙන් පොතපත ලිවීම ඉතා ම කල්පනාකාරී ව කළ යුතු කාර්යයක්. ඒ සඳහා ඒ අයගේ සිතුම් පැතුම් හා මානසික පරිසරය පිළිබඳව මනා අවබෝධයක් තිබිය යුතුයි. දරුවන්ගේ නිර්මාණශීලිත්වය, පරිකල්පන ශක්තිය වගේ කුසලතා වර්ධනය වෙන්නේ වැඩිහිටි සමාජය විසින් ඔවුන් අතට පත් කරනු ලබන දේවල් මතයි.
දැන් අපි කුඩා ළමයෙකුට නරියෙක් ගැන කතාවක් කියනවා කියමු. සමහර විට ඒ ළමයා නරියෙක් කියා නරියෙකුගේ චිත‍්‍රයක්වත් දැකපු නැති කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් අපේ කතාව කියවන කොට නරියෙකුගෙ රූපයක් එයා හිතින් මවා ගන්නවා. මගේ ම කුඩා කාලේ අත්දැකීමක් කියනවා නම්, ඒ දවස්වල අපි විජ්ජාකාරියො ගැන කතා අහල තියෙනවනේ.
මගේ හිතෙත් එහෙම විජ්ජාකාරියෙකුගෙ රූපයක් මැවිලා තිබුණා. දවසක් වැඩිහිටියන් එක්ක හලාවත පැත්තෙ ගිය වෙලාවක මම දැක්කා මාර්කට් එකේ කකුළුවෝ විකුණන වෙළෙන්දියක්. එයා අර වට්ටියෙන් පැනලා යන කකුළුවන්ට බැන බැන ආයෙත් වට්ටියට අල්ලලා දානවා. එයාගේ තරබාරු ශරීරයයි, නපුරු මූණයි දැක්ක ගමන් කතන්දරවල ඉන්න විජ්ජාකාරියන්ගෙ රූපෙ මගෙ හිතේ ඇඳුණා.
ඒ මාළු වෙළෙන්දි මගෙ පස්සෙන් පන්නන හැටි දැකලා මම හීනෙනුත් බය වුණා. පස්සෙ කාලෙක ඉදලක් උඩ වාඩිවෙලා ගුවනින් යන විජ්ජාකාරියකුගේ පින්තූරයක් දකින තුරු මගෙ හිතේ ඇඳිලා හිටපු විජ්ජාකාරිය තමා අර මාළු වෙළෙන්දී. අත්දැකීමුත් සමඟ දරුවන්ගෙ පරිකල්පන ශක්තිය වෙනස් වෙන හැටි තමයි ඒ.
ළමයින් වෙනුවෙන් මම ලියපු බිංදු, දඟරියා, අලි වැඩේ, මුගටිහාමි වගේ පොත් වලින් මම උත්සාහ කළේ මගේ ළමා වියේ අත්දැකීම් ද සම්බන්ධ කරගෙන ළමා මනස තුළ නිර්මාණශීලිත්වයක් ඇති කිරීමටයි. මගේ ළමා පොත් මුද්‍රණය කිරීමට පෙර ළමයින්ට කියවන්න දෙනවා. ඒ දරුවන් එක්ක සාකච්ඡා කරලා අදහස් ලබා ගන්නවා. මේක ඉතා සාර්ථක අත්හදා බැලීමක්. දරුවන් සඳහා ලියන උදවිය මෙවනි අත්හදා බැලීම් කිරීම ප‍්‍රයෝජනවත්.

ඔබ ඔහොම කීවත්, අද ළමයින්ට පොත් කියවන්නට කාලයක් නැහැ නේද?
අපේ ළමාවියට වඩා අද ළමාවිය සංකීර්ණ බව ඇත්ත. නමුත් අදත් ළමයි වෙනත් බාහිර දේවල්වලට ඇබ්බැහිවෙලා ඉන්නවා නේද? රූපවාහිනිය පරිගණකය වැනි දේවල් පරිහරණය කරන්න ඔවුන් කාලය හොයා ගන්නවා නේද? දරුවන් තුළ කියැවීමේ පුරුද්දක් ඇති නොකිරීමයි වැරැද්ද. ඒ පුරුද්ද ඇති කිරීම වුණත් ප‍්‍රවේසමෙන් කළ යුතුයි.
මොකද අද මෝස්තරේට කියවන සංස්කෘතියකුත් බිහිවෙලා තියෙනවා. උදාහරණයක් හැටියට ජාත්‍යන්තර පාසල් ඔස්සේ ‘හැරී පොටර් වගේ පොත් මෝස්තරේට කියවන පිරිසක් බිහිවෙමින් සිටිනවා. හැරී පොටර් වගේ ෆැන්ටසි (Fantacy) පොත්වලින් කරන්නෙ පාඨකයා පොළවේ සිට උඩට අරන් ගිහින් යථාර්ථයෙන් ඈත් කිරීම. හොඳ නවකතා කෙටිකතා වලින් කරන්නෙ මහපොළව මත අප පිහිටුවන එක.
යථාර්ථයට අප ළං කරන එක. මට හිතෙන්නෙ දැන් ළමයින්ට තියෙන ලොකුම බාධකය - අහිතකර තත්ත්වය තමා රූප මාධ්‍යය. දරුවන්ගේ සිතීමේ ශක්තිය නිර්මාණ කුසලතාව වර්ධනය කරගැනීමට මාර්ග රූ මාධ්‍යයෙන් ලබාදෙනවා අඩුයි. ඒ නිසා පුළුවන් හැම කෙනෙක්ම, දෙමාපියන්, ගුරුවරුන්, මාධ්‍ය වැනි අය කළ යුතු දෙයක් තමා දරුවන් අතර කියවීමේ පුරුද්ද දියුණු කිරීම.

ළමා පොත්, යොවුන් ප‍්‍රබන්ධ වැනි ක්ෂේත‍්‍රවල දී වගේ ම ‘කෙටිකතාව‘ නමැති සාහිත්‍යාංගය විෂයයෙහිත් ඔබ සම්මානයට පාත‍්‍ර වූ ලේඛිකාවක්. ඔබ දකින ආකාරයට උසස් කෙටිකතාවක ලක්ෂණ මොනවාද?
කෙටිකතාව කියන්නේ වෙනස් වූ සාහිත්‍යාංගයක්. ඒ පිළිබඳ ව බොහෝ නිර්වචන තිබෙනවා. මෘතකදී මා දුටුවා එක්තරා විචාරකයෙක් කියා තිබෙනවා කෙටිකතාව (Short Story) කියන හැඳින්වීමම වැරදියි කියලා. මන් හිතන්නේ එයා අදහස් කරන්ඩ ඇත්තේ නමින් ම සීමාවක් පැනවීම වෙන්ඩ ඇති. කෙටිකතාව බහුල වශයෙන් විෂය කරගන්නේ නූතන මිනිසාගේ සංකීර්ණ අත්දැකීම්වලින් බිඳක්.
කලාත්මක කෙටිකතාවක චරිත, සිද්ධි, අවමවීම වැදගත්. මුඛසාර්ථයට ප‍්‍රමුඛත්වය හිමිවිය යුතුයි. අනවශ්‍ය දේවල් හැකි තරම් බැහැර කිරීමෙන් අපූර්වත්වය ඉස්මතු කරගත හැකියි. කෙටිකතාව වචන හතරකින් හඳුන්වන්න කීවොත් මා කියන්නේ සංවිධිත, සංක්ෂිප්ත, සංගෘහිත, සංඝනිත සාහිත්‍යාංගයක් කියලයි.
නූතන කෙටිකතාවල කතා ප‍්‍රවෘත්තියට වැඩි තැනක් දෙන්නෙ නැහැ. කතන්දරයක් තිබීම අවශ්‍ය නැහැ කියලයි සමහරු කියන්නේ. කෙටිකතා කරුවා කරන්නේ කතන්දරයක් කියනවාට වඩා සිද්ධියක් වූ හැටි විස්තර කිරීම, පාඨකයා වින්දනයක් ලබන්නේ එමගින්, ඒත් කතා ප‍්‍රවෘත්තිය යනු කතන්දරයම නෙවේ. කතන්දරයකින් අපට හිතන්න යමක් ඉතිරි කරන්නේ නැහැ.
ඒ නිසා කතන්දරයක් නැවත නැවත අසන්න අප පෙලැඹෙන්නේ නැහැ. නමුත් උසස් කෙටිකතාවක් කියවන්න කියවන්න අලුත් අරුත් මතු කරනවා. කෙටිකතාවේ ස්වරූපය ලේඛකයාගෙන් ලේඛකයාටත් වෙනස් වෙනවා. මෝපසංගේ කෙටිකතාවල මුල මැද අග මනා ලෙස ගැළැපුණු කතා ප‍්‍රවෘත්තියක් දකින්න පුළුවන්. නමුත් චෙකෝෆ් කතා පුවතට එතරම් තැනක් දෙන්නේ නැහැ.
ලංකාවේ අජිත් තිලකසේන ගත්තොත් කතා ආකෘතියට ප‍්‍රමුඛත්වයක් දෙන ලේඛකයෙක්. ආකෘතියේ සංකීර්ණත්වය නිසා ම ඔහුගේ ඇතැම් කතා රසවිඳීම දුෂ්කරයි. මා විශ්වාස කරන විදිහට නම් අපි ආකෘතිමය අත්හදාබැලීම්වලට යා යුත්තේ ක‍්‍රමානුකූලවයි. පාඨකයා දැනුම්වත් කරමින් ක‍්‍රම ක‍්‍රමයෙන්. මගේ හැම පොතකම වගේ එවැනි වෙනස් ආකෘතික ලක්ෂණ සහිත කතාවක් දෙකක් ඇතුළත් කරනවා. බටහිර විචාරකයන් වුණත් කතා ප‍්‍රවෘත්තිය (plot) එක සපුරාම බැහැර කර නැහැ.

ඔබ පසුගියදා සිළුමිණ පුන්කලස අතිරේකයට ගුණදාස අමරසේකරයන්ගේ ලේඛන දෘෂ්ටිය හා එය ඔපවත් කරන ආඛ්‍යානෝපක‍්‍රම අලළා ලිපියක් ලියා තිබුණා. ඉන් ඔබ මතුකිරීමට උත්සාහ කළේ ලේඛකයකුට කිසියම් යුග මෙහෙවරක් පවතින බවද?
හැම ලේඛකයකුට ම ප‍්‍රකට ව හෝ අප‍්‍රකට ව ප‍්‍රකාශ වන දෘෂ්ටියක් තිබෙනවා. ගුණදාස අමරසේකර ගත්තොත් සාහිතය සමාජ සංශෝධනය සඳහා යොදාගත යුතුය වැනි ආකල්පයකින් සාහිත්‍ය කාර්යයේ නිරත ව සිටින ලේඛකයෙක්.
එය හරි හෝ වැරදියි කියන්න මා ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒක අමරසේකරගේ ක‍්‍රමය. ලේඛකයකුට යුග මෙහෙවරක් තිබෙනවාය කියන කාරණයත් සමඟ මා එකඟයි. යුග මෙහෙවර හැටියට මා දකින්නේ පාඨක ප‍්‍රජාව එහෙමත් නැතිනම් ජනසමාජය සිටින තත්ත්වයෙන් තව ඉදිරියට ගෙනයාමයි. සාහිත්‍ය රුචිය නංවාලීමට සමත් කෘති නිර්මාණය කිරීමත් එහි කොටසක්.
සද්ධර්මරත්නාවලිය රචනා කරපු ධර්මසේන හිමි එදා සමාජයේ පැවැති ගති ලක්ෂණ ඊට ඇතුළත් කළා. ප‍්‍රබන්ධ කතා රචනා කරන ලේඛකයෙක් සමකාලීන සමාජය නිරූපණය කිරීම වැදගත්. ඊට අවුරුදු 100 කට පසුව කියවන පාඨකයකුට වුවත් එදා යුගයේ පැවැති සිරිත් විරිත් හා සමාජ පසුබිම දැනගැනීමට මින් අවස්ථාව සැලසෙනවා.
කාලීන, සමාජ තොරතුරු සටහන් කර තැබීම ලේඛකයකු අතින් නිරායාසයෙන්ම සිදුවන යුග මෙහෙවරක්. මගේ ලේඛන කටයුතුවලදී මා හැකිතරම් උත්සාහ කරන්නේ මානව ජීවිතයේ අභිවෘද්ධියට හිතකර දෘෂ්ටියක් පළකිරීමටයි. සාහිත්‍යකරුවාගේ කාර්යභාරය විය යුත්තේ අභියෝග හමුවේ නොසැලී සිටීමට අවශ්‍ය ශක්තිය සමාජයට ලබාදීමයි.
මගේ ප‍්‍රබන්ධවල පරාජිත චරිත නැහැ. ඇදවැටුණත් අපට හැමදාම නැගිටින්නේ නැතුව ඉන්න බැහැ. අපේ දරුවන් වෙනුවෙන් නැත්නම් අපේ වෙනත් බැඳීම් හෝ අවශ්‍යතා වෙනුවෙන් අපි නැඟී සිටිය යුතුයි. ඒක තමා යථාර්ථය. සියදිවි නසාගැනීම, මත්පැනට ඇබ්බැහිවීම, ගිහිගෙය හැරයාම වගේ දේවල්වලින් පළවන්නේ පරාජිත දෘෂ්ටියක්. ජීවිතයට මුහුණදීමේ ශක්තිය පෙන්විය හැකි සාධක ඕනාතරම් සමාජයේ තිබෙනවා.
දෙපා නැති අය, ඇස් අන්ධ අය සිය ගණනක් ජීවත්වීම සඳහා පොරබදන හැටි අපට අනන්තවත් දකින්න පුළුවන්. ඔවුන් දිවි නසා ගන්ඩ හදන්නේ නැහැ. සාහිත්‍යයෙන් කළ යුත්තේ මෙසේ ජීවන අභියෝග ජයගැනීම සඳහා සමාජයට ශක්තිය දීමයි.

මෑතභාගයේ සාහිත්‍ය විචාර කලාවේත් විවිධ ප‍්‍රවණතා මතුවී තිබෙනවා. විශේෂයෙන් ම නූතනවාදය හා පශ්චාත් නූතනවාදය බඳු මිණුම් දඬු ඔස්සේ සාහිත්‍ය කෘති ඇගැයීමට ඇතැම් විචාරකයන් පෙලැඹී සිටින බවක් පෙනෙනවා. මෙවැනි විචාර විලාසයන් පිළිබඳ ව ඔබ දරන ආකල්පය කුමක්ද?
විචාරවිධීන් මතු වූ පළියට ඒවාට ගැළැපෙන ආකාරයට පොත්පත් ලියන්න හොඳ නැහැ. අලංකාරවාදය එහෙමත් නැත්නම් ඖචිත්‍යවාදය වැනි විචාර ක‍්‍රම මඟින් එදා සාකච්ඡා කළේ පැවැති සාහිත්‍යයක්. පොත්පත්වල අන්තර්ගතව තිබූ කරුණු කාරණා තමයි එවැනි විචාර දඬුවලින් මැණ බැලුවේ. එදා කවුරුවත් ඒ විචාර මිණුම් දඬුවලට ගැළැපෙන්න ලියන්න උත්සාහ කළේ නැහැ.
ඒ නිසා කවුරුහරි පශ්චාත්නූතනවාදයට හරි නූතනවාදයට හරි ගැළැපෙන විදිහට ලියන්න අවශ්‍ය නැහැ. සමහර විට ලියන දේ තුළ නිරායාසයෙන් ඒ ලක්ෂණ ඇතුළත් වෙන්න පුළුවන්. අද හුඟ දෙනෙක් නූතනවාදී සාහිත්‍ය හැටියට හඳුන්වාදීමට උත්සාහ කරන්නේ ලතින් ඇමරිකානු ලේඛකයන් කිහිපදෙනෙකුගේ සාහිත්‍ය කෘති කියලයි මට හිතෙන්නේ.
ලිංගිකත්වය විවෘත ව ප‍්‍රකාශ කිරීම තමා සමහර අය පශ්චාත් නූතනවාදය හැටියට සලකන්නේ. පශ්චාත් නූතනවාදය මම දකින්නෙ නම් එකිනෙකට නොගැළැපෙන වර්ණවලින් ආලේප කරපු ගෙයක් විදියටයි. එවැනි පරස්පරවිරෝධයක් තමයි පශ්චාත් නූතනවාදී ලක්ෂණ හැටියට හඳුනාගැනීමට හැකිවන්නේ.

මෑත කාලයේ කියැවූ පොත්පත් පිළිබඳ ව ඔබේ අදහස් මොනවාද?
පහුගිය අවුරුද්දෙ ස්වර්ණපුස්තක සම්මානයට සුදුසුකම් ලබපු පොත් කීපයක් මට කියවන්න ලැබුණා. ලියනගේ අමරකීර්තිගෙ ‘අටවක පුත්තු’, මංජුල යසවර්ධනගේ ‘බත්තලන්ගුණ්ඩුව‘ හා සමරවීර විජේසිංහගේ ‘ස්වයංජාත’ කියන නවකතා තුන ම මා කියෙව්වා. අමරකීර්තිගෙ පොතේ මුල්කොටස නම් මා හොඳට රසවින්දා. නමුත් එහි දෙවනභාගය නම් මට එතරම් ගෝචර වුණේ නැහැ.
ලේඛකයා අදහස් කළේ කුමක්ද කියා තේරුම් ගත්තේ පසු දවසක ඔහුගේ ම පැහැදිලි කිරීමකින්. නමුත් මා ‘බත්තලන්ගුණ්ඩුව‘ නම් හොඳ රුචියකින් කියෙව්වා. ඒකෙ මා දුටු වටිනාකම් දෙකක් තිබෙනවා. එකක් තමා මෙතෙක් කල් අපි නොදැන හිටපු පරිසරයක් – ජන සමාජයක් පිළිබඳ ව ලැබුණ අවබෝධය. ඒ වගේම අපට මෙතෙක් හමු නොවූ උපසංස්කෘතියක ගති ලක්ෂණත් මගේ හිතගත්තා.
කෙනෙක් කියා තිබුණා ඒ නවකතාව හදිසියේ ම වගේ අවසන්වීම එහි කලාත්මක අගය හීන කිරීමක් කියලා. නමුත් මට නම් හිතුණේ නවකතාවේ සමස්ත ආකෘතිය තේරුම්ගත් විට එවැනි අවසානයක් අනුචිත නොවන බවයි. ‘ස්වයංජාත’ කෘතියේ පසුබිමත් හොඳයි. එය සම්ප‍්‍රදායික වුණත් හොඳ ඉදිරිපත් කිරීමක් දකින්න ලැබෙනවා. මා එහි දකින දුර්වලතාවය තමා එතරම් අධ්‍යාපනයක් නොලබපු එහි කතානායකයා සාහිත්‍ය විචාරකයෙක් වීම බඳු සිද්ධි.
ස්වයංජාත නවකතාවේ දක්නට ලැබෙන ස්තී‍්‍ර පුරුෂ සබඳතාව වදරින් හයිට්ස්වල වගේ එකක් වුණා නම් වඩාත් සාර්ථකයි කියලා හිතෙනවා. කතානායකයා මුල පටන් ම සිටි පරිදි රැකවල් කරන්නෙකු නැත්නම් ආරක්ෂකයකු වුණා නම් ඒක පෙම්වතකු වීමට වඩා අපූරුයි. කොහොම වුණත් මේ නවකතා තුන ම අඩුවැඩි වශයෙන් එකිනෙකට සුවිශේෂ වූ ලක්ෂණ පෙන්නුම් කරන ප‍්‍රබන්ධ කිහිපයක් හැටියට හඳුන්වන්න කැමැතියි.