20140518

විමසා බලන්නට නොහැකිව ආගම් ප්‍රතික්ෂේප කරන අය



කිසිම ආගමක
එළිපත්තටවත් පා නොතැබූ කෙනෙකු
ආගම් සියල්ල හෙළා දකින්නේ
විනයට හික්මීමට සංයමයට
ඔහු තුළ ඇති අකමැත්ත නිසා යයි
මම හැම විටම සිතමි..

කිසිවෙක්
යම් මගක් හෙළා දකින්නේ නම්
ඔහු ඒ මගෙහි කිසියම් දුරක්
ගමන් කළ අයෙක් විය යුතුය.
ඒ මග හෙළා දකින්නට
ඔහුට පැහැදිලි හේතු තිබිය යුතුය..
කිසිවෙක් පය පැකිළී වැටීම
ඔහුට හේතුවක් නොවිය යුතුය.
ඒ හේතු එම මගෙහි
ඔහු දන්නා අඩුපාඩු විය යුතුය.

කිසිවෙක් පය පැකිළී වැටීම
මගෙහි අඩුපාඩුවක් නම්
එය පෙන්වා දීමට
ඔහුට හැකි විය යුතුයි.

සත් හැවිරිදි සාමණේරයන් වහන්සේ නමක්
දැකීමෙන් පැහැදුණු චණ්ඩාශෝක රජු
ධර්මාශෝක බවට පත්වීම
බුදු දහම හෙළා දකින අයට නොපෙනෙයි.

ඔවුන් දකින්නේ
ඔවුන්ගේ උවමනාව ඉටු කරගන්නට
අවශ්‍ය සාධක පමණි.
ඔවුන් දැන දැනම, හිතා මතාම
ආගම බැහැර කරන අයයි.

විමසා බලන්නට නොහැකියාව නිසා
ආගම බැහැර කරන අසරණ පිරිසක්ද වෙති.
ඔවුන්ගේ කාලය පැමිණ නැත.
කුඩා දරුවන්
යමක් තෝරා ගන්නේ හෝ බැහැර කරන්නේ
විමසා බලා නොවේ.

විමසා බැලූවත්
කුඩා දරුවන්ට පෙනෙන පරාසය
ඉතා පටුය.

කියතක් මිටියක් නියනක්
හරිහැටි යොදාගන්නට නොදැන
තුවාල කරගන්නා අය දකින කුඩා දරුවන්ද
වඩු කර්මාන්තයත් ලී බඩුත්
බැහැර කිරීම අරුමයක් නොවේ.

අන් ආගම් කෙසේ වුවද
බුදු දහම විමසා බැලිය හැකිය.
ආනාපාන සති වඩන විට සිදු වන දේ
බුදුන් වහන්සේ පවසා ඇත..
විනාඩි කිහිපයක් ආනාපාන සතිය වැඩීමෙන්
එහි සත්‍යතාවය විමසා බැලිය හැකිය.

සාමාන්‍ය කෙනෙකුට
වෙනත් අරමුණකට සිත නොදුවා
තත්පර හයකට වඩා
හුස්ම පිළිබඳ අවධානයෙන්
සිටිය නොහැක..

ආගම් හෙළා දකින හා
ආගම් ප්‍රතික්ෂේප කරන අයට
එම තත්පර හයවත්
සිහියෙන් සිටිය හැකියයි
මම නොසිතමි.

කුමන ආකාරයෙන් හෝ
කුමන හෝ ආගමක් අදහන කෙනෙකුට
පිළිපදින්නට උත්සාහ දරන කෙනෙකුට
ආගමක් නැති කෙනෙකුට වඩා
මම ගරු කරමි.

ඔහු මිනිස් සමූහයක හැසිරෙන්නට
අවශ්‍ය විනය ඇති කෙනෙකි.
ඔහු පය පැකිළී ගොස්
අපරාධකාරයෙකු වන්නට ඉඩ ඇත.
එහෙත් එම අපරාධය නොකර සිටින්නට
කිසියම් හෝ උත්සාහයක් දරන්නට
ඔහු උත්සාහ ගෙන තිබිය හැක.
නැත්නම්
ඔහු වරදක් කළ බව
ඔහුගෙ මත් බව මැකුණු විට හෝ
ඔහු පිළිගනු ඇත.

ආගමක් නැති කෙනෙකු තුළ
මෙම ප්‍රවණතා දෙකම
තිබිය හැකි යයි මම නොසිතමි..
තිබෙනවා නම්
දැන ගන්නටද කැමැත්තෙමි

20140512

ආගම දහම අත්හරින ක්‍රම............



.
ආගම දහම අත්හරින ක්‍රම තුනක් තියනවා.
1, ආගම දහම නොපිළිපැදීම..
2, ආගම තුළ වත්පිළිවෙත් පිළිපැදීම..
3, දහම පිළිපැදීම..

ආගම දහම පිළිපදින්නෙත් නැතුව
අත්හැරගන්නත් බැරුව ඉන්න පිරිස
ආගම දහමට වහල් වෙලා
ජීවිතයෙනුත්
ආගම දහමට ඇති වහල් බවිනුත්
දෙකෙන්ම දුක් විඳිනවා.


ආගම දහම අත්හරින ක්‍රම තුන
-------------------------------------------
1, ආගම දහම නොපිළිපදින පිරිස
දුක් විඳින නමුත්
සතුන් මෙන් දුක බාරගන්න නිසා
දුක් දැනෙන්නෙ නැහැ..
දුක් නොවිඳින වෙලාවට
ඔවුන් සැප කියල හිතන දේ විඳිමින්
ජීවිතය හරහා ගමන් කරනවා.

2, ආගම තුළ වත්පිළිවෙත් පිළිපදින පිරිස
දුක් විඳින නමුත්
ඔවුන් ආගමට අනුව දුක බාරගන්න නිසා
දුක බරක් විදියට දැනෙන්නෙ නැහැ..
දුක් විඳින වෙලාවට
ආගම අනුව වත් පුරමින් ගත කරල
ඉතිරි කාලය තුළ
ඔවුන් සැප කියල හිතන දේ විඳිමින්
ජීවිතය හරහා ගමන් කරනවා.

3, දහම පිළිපදින පිරිස
දුක සැප දෙකට අනුව
එහි ප්‍රතිඵල ලෙස
තමන් තුළ සිදුවෙන වෙනස් කම් වලට සිහියෙන්
ඒ පිලිබඳව උපේක්ෂාවෙන් ඉන්න පිරිස
කිසිවෙකුගේ මෙහෙයවීමකින් තොරව
වත් පිළිවෙත් පිරීමකින් තොරව,
ඇදහීමකින් තොරව,
ආගම දහමට අනුව හැසිරෙනවා...

ඔවුන් ආගම දහම
ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ..
ආගම දහමට වහල් වෙන්නෙත් නැහැ.

20140507

ජීවිතේ වැදගත්ම දේ සැප විඳීම නෙමෙයි.



සුභරෝච...
______________

අපි අ'පුරේ ඉඳන් ගාලු ගියේ
නිවාඩු කාලෙ අවසානෙ නිසා
දුම් රියේ හොඳටම සෙනග...

බඩු දාන කොටස හිස් නිසා
පොඩි දෙන්නට ජනේලෙ ළඟ යන්න දුන්නා.
අපි පාපුවරුව ළඟ ගියා.

ටික වෙලාවකට පස්සෙ
පුතාට නිදි මත වුණාම
ඔහු ඇඳුම් බෑගය උඩ නිදා ගත්තා...

දෝණිත් ටික වෙලාවකට පස්සෙ ඇවිත්
නිදිමතයි කිව්වම
එතන තිබුණ බ්ලොක් එක උඩ වාඩිවෙලා
දණහිසට අත් දෙක තියාගෙන
නිදාගන්න කිව්වම
දෝණිත් එහෙම නිදා ගත්තා.

කුඩා කාලෙ ඉඳන්ම
ඔවුන් කොතන හරි නිදාගත්තොත්
ඔවුන් ඉන්න ඉරියව්වෙම ඉන්න දුන්නා මිසක්
අපි ඔවුන් අරන් ගිහින්
සැප යහනක තිව්වෙ නැහැ.

පිට ගෙදරක ගියොත් විනා
මුලු ජීවිතයම ඔවුන් සහ
අපි නිදාගෙන තියෙන්නෙ
මෙට්ටයක්වත් නැතිව
ඇතිරිල්ලක් එලුව මහපොළව මතයි.
මේ සැප අපි පුංචි කාලෙ
අපිට ලැබුණා නම්
අපේ ජීවිත මීටත් වඩා
උපේක්ෂා සහගත වෙයි..

දුක සැප අතර වෙනස
නාඳුනන කාලෙ
ඒ දෙකම උපාදාන කර නොගෙන
සාමාන්‍ය විදියට විඳින කාලෙ
සැපට හුරු කිරීමෙන් වැළකුණොත්
පසුකාලෙක විඳින දුක
සාමාන්‍ය දෙයක් විඳින්නට
දරුවන් හුරුවෙනවා.

ජීවිතේ වැදගත්ම දේ
සැප විඳීම නෙමෙයි..
දුක් නොවිඳීමයි..
ජීවිතේ ලොකුම සැප
දුක හැම අතින්ම පහර දෙන විටත්
දුක් නොවිඳීමයි..

බුදු දහම මෙවැන්නන්ටයි



කතාව මොන තරම් දුක්ඛිත වුණත්
ඇයට අනුකම්පා කරන බොහෝ දෙනාට වඩා
සැනසිල්ලෙන් ඇය ජීවත් වෙනවා ඇති..


ජීවිතය ගෙවිය යුතු දෙයක් විදියට විනා
මහා දෙයක් කළ යුතු යුදපිටියක් කියා
ඔවුන් හිතන්නේ නැහැ.

ලද දෙයින් තෘප්තිමත් වෙන ඔවුන්
ඔවුන්ට අනුකම්පා කරන බොහෝ දෙනාට වඩා
සැනසිල්ලෙන් ජීවත් වෙනවා...

ඔවුන්ට අනුකම්පා කරන බහුතරයක් ජීවත් වන්නේ
අතීතය ගැන තැවෙමින් හා අනාගතයට බියෙන්..
ඔවුන් සැබැවින්ම කරන්නේ
ඇයට අනුව කම්පා වීමයි..

ඔවුන්ගේ හැඟීමට මුල්වන්නේ
"අනේ මට, මගේ අම්මට මෙහෙම වුණොත්" කියන
සිතිවිල්ලයි..

එයින් ඇයටවත් ඔහුටවත්
හොඳක් වෙන්නේ නැහැ.

ඇය ඉන්න තැන සීමාව පටුයි..
ඒත් ඔබ හිතන තරම් දුක්ඛිත නැහැ.

කෙසෙල් ඇවරියක් විකුණාගෙන
දවස ගත කළ හැකිනම්
කෙසෙල් කැනක් විකිණෙන තුරු වාඩිවී
කාලය නාස්ති කරන්නේ කුමටද?

ඒ ඉතිරිවෙන කාලයෙන්
නිසි ප්‍රයෝජන ගැනීම
වෙනම කතාවක්..
 
    සැප විඳින්න හිතාගෙන
    දැනුම් තේරුම් ඇතිදා පටන්
    මැරෙන තුරුම දුක් විඳින ඔවුන්
    කවදාවත්ම සැප විඳින්නෙ නැහැ.

    ඔවුන් අද දුක් විඳින්නෙ
    හෙට සැප විඳින්නයි.

    හෙට ලැබෙන දේකින්
    මත්වුණේ නැත්නම්
    හෙටත් ඔවුන්ට දුකක්..

    හෙට සැප විඳින්න කියලා
    අද දුක් නොවිඳින කෙනාට තියන
    අල්ප සැප ඔහු හැමදාම විඳිනවා.

  බුදු දහම මෙවැන්නන්ටයි කියන ගුණාංග අතරට
    අල්පේච්ඡභාවය හා සතුටෙන් සිටීමත් අයිතියි..
    
    අල්පේච්ඡභාවය හා සතුටෙන් තොර
    බොහෝ ධනවත් බෞද්ධයන්
    දුක් විඳින ප්‍රමාණය වැඩියි.
    ඔවුන් යොවුන් වියේදී ගෙවන
    කාමයෙන්, දුරාචාරයෙන් හා
    ධන නිල බල පතා වෙහෙසෙමින් දුවන
    අධිවේගී ගමනේ මත් කරන ස්වභාවය
    වයසත් සමග පිරිහෙන විට
    ඔවුන් දුප්පත් මිනිස්සු නොවිඳින
    දුක් විඳිනවා.

    පන්සලක දැක්කත්
    ඒ ජීවිත තුළ
    ඔවුන් පෙළන දුක
    මුහුණෙන් පිළිබිඹු වෙනවා.

    වයසට යන අල්පේච්ඡ ගැමියන්
    යම් විශ්‍රාම සුවයක් විඳිනවා.

දර්ශනය බුදු දහමෙහි කොටසක් පමණයි.



බුදු දහම දර්ශනයක් පමණක් නොවෙයි.

දර්ශනය බුදු දහමෙහි කොටසක් පමණයි.

ගැටළු පිළිබඳව සොයාගන්නා දර්ශනයක
ගැටළු පිළිබඳව විග්‍රහයක් විනා
ගැටළු වලට විසඳුම් ඇත්තේ නැහැ.

බුදුන් වහන්සේ
දර්ශනයක් නිපද වූ කෙනෙක්
කියා හඳුන්වන්නේත් උන්වහන්සේගේ දහම
කිසිම අයුරකින් ප්‍රායෝගිකව පිළි නොපැදීම නිසා
මනසට ගෝචරවෙන පටු පෙදෙස දැකීමෙන්.

බුදු දහම පිළිබඳව
කිසිවක් හෝ නොදන්නා අය ඉන්නේ
ඔවුන්ටත් වඩා ඈතින්.
ඔවුන්ගෙන් සමහරෙක්
තමා කිසිවක්ම නොදන්නා
බුදු දහම ප්‍රතික්ෂේප කරනවා.

දර්ශනයක් ලෙස පිළිගන්නා අයත් ඉන්නෙ
තියරි පන්තියේ.
ඔවුන් රසායනාගාරයෙහි කළයුතු
ප්‍රායෝගික ටිකත් දකින්නෙ
න්‍යායක් විදියටයි.

බුදුන් වහන්සේ මිනිස් සිත හා කයත්
ඒ දෙක දුකට පත්වෙන්නට හේතුත්
ඉතා සරලව විග්‍රහ කරමින්
සිතත් කයත් උපයෝගී කරගෙන
මේ මොහොතේ පටන්ම දුකෙන් මිදෙන
ප්‍රායෝගික ක්‍රමයත් පැහැදිලිව ප්‍රකාශ කළා.

චතුරාර්ය සත්‍යයෙන්
හතරෙන් තුනක්ම දර්ශනය.
එකක් තනිකරම ප්‍රායෝගිකයි..
තාක්ෂණිකයි..

පරිගණකයට අත නොගහන කෙනෙකුට
පරිගණක තාක්ෂණයත් දර්ශනයක්..

කයට හිත නොයොදවන කෙනෙකුට
බුදු දහම දර්ශනයක්...
දෘෂ්ඨියක්... මායාවක්..

දර්ශනය බුදු දහමෙහි පළමු කොටස පමණයි.
වඩා වැදගත්වන්නේ ප්‍රායෝගික කොටසයි.
එහි හරය ප්‍රයෝගික ක්‍රමයයි.

මාර්ග සංඥා කියවීමෙන්
රියැදුරෙකු බිහිවන්නේ නැහැ.

රිය පැදවීම වෙනම ඉගෙන ගතයුතු
භාරදූර කාරියක්.

බුදු දහම දර්ශනයක්
කියා කියනවා නම්
ඔහු ප්‍රායෝගික කොටසත්
දර්ශනයක් ලෙස සිතන්නෙක්..

ඔහුට තමන්ගේම කයත් සිතෙන් වෙන්වූ උපකරණයක්..
රූපවාහිනිය, ඩීවීඩී ප්ලේයරය,
බිරිඳ, අනියම් බිරිඳ, ගණිකාව වැනි
තමන්ගෙන් පරිබාහිරවූ
තමන් රිසි පරිදි සතුට ලබාදෙන
ද්විතීය උපකරණයක්.

ඔහු සිතේ සතුට සඳහා
රිසි පරිදි කය පාවිච්චි කරනවා.
කයට හානි වුවත්
සිත සතුටු වෙනවා නම්
කය දූෂ්‍ය කය්‍රලා
සතුටු වෙනවා.
ඔහුට කය කියන්නේ
මනසෙහි රස සරණිය සඳහා බිහිවූ
උපකරණයක්.

ඔහු කය ඔස්සේ සිතෙන් ලබන
සැම සතුටකම දුකකම විපාක
කෙමෙන් කෙමෙන් කයෙන් පමණක් නොවෙයි
මනසිනුත් ප්‍රකට වෙනවා.

කයත්, ඉඳුරනුත්, මනසත්
පමණ ඉක්මවා පිරිහෙනවා.
ස්වාභාවිකව ඇතිවෙන
පිරිහීමකුත් තියනවා.

සිදුහත් කුමරු බුදු වුණේ
පමණ ඉක්මවා වෙන පිරිහීම
ප්‍රායෝගිකව නතර කිරීමෙන්.

අපටත් එම ප්‍රායෝගික ක්‍රමය අනුව
ඒ පමණ ඉක්මවා සිදුවෙන පිරිහීම
අඩු කරගෙන දුකෙන් මිදන්න පුලුවන්.

පරිගණකයෙහි මෘදුකාංගයක්
පරිගණකය පිරිසිදු කරගන්නට
ව්‍යවහාරිකව ප්‍රයෝජන ගන්නවා වගේ
සතර සතිපට්ඨානයත්
කයත් සිතත් පිරිසිදු කරගන්නට
උපයෝගී කරගන්නා ආකාරය
බුදුන් වහන්සේ විස්තර කරනවා.

පරිගණකයට අතවත් තියන්නේ නැතුව
මැනුවල් එක හා ඒ ගැන
එවැන්නන් ලියූ පොත් කියවීමෙන් සිදුවන්නේ
පරිගණකයට අත තියන්නවත් බය වෙන
හුඹස් බියකින් පෙළීමයි..

කයත් වේදනාත් නොසලකා
මනස තුළම කරක් ගැසීමෙන්
සතර සතිපට්ඨානය වැඩෙන්නේ නැහැ.

කාය වේදනා චිත්ත ධම්ම යන හතරම එකට දකින්නට සිහියත්
ඒ දකින දේට උපේක්ෂාවත් වඩන්නේ නැති කෙනෙකුට
බුදු දහම දර්ශනයක් විතරයි.

ඔහු සතුව ඇත්තේ උපදෙස් පොත පමණයි.

එය කියවමින් කාලය ගත කරද්දීත්
ඔහු නොදන්නා ඔහුගේ කය ආශ්‍රව රැස් කරනවා.
සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි නොමැති කෙනාට
පුඤ්ඤභාගිය වුවත්
සම්මා දිට්ඨියත් ආශ්‍රව සහිතයි.

තම කයෙන් සිත වෙන්කරගෙන
දෘෂ්ඨිගතව සැරිසරන්නාගේ
ආශ්‍රව හා මාන්නය වැඩෙනවා.

20140505

සැබෑ නායකයා කවරෙක්ද?



සමස්ත ජාතියක හෝ කෙනෙකුගේ
කල් පවතින බලය තියෙන්නෙ
සීලය, සමාධිය හා ප්‍රඥාව මත...

තනි පුද්ගලයෙක් විදියට
කල්ලියක් විදියට
හොර මැරකම් දූෂණ වලින්
බලය ලබා ගන්න පුලුවන්.
ඒ බලය තාවකාලිකයි..

බුදුන් වහන්සේ අදටත් පවතිනවා.
දෙව්දත් පිරිහුණේ
ඔහුගෙ මරණයටත් කලින්..

හොර මැරකම් දූෂණ වලින්
ලබා ගන්න බලය තාවකාලිකයි..

ලෝකයම යටත් කරගන්න හැදුව
හිට්ලර්ගෙ පැවැත්ම
ඉතාම තාවකාලිකයි..
ලින්කන් මුලු ලෝකෙන්ම
වහල් සේවය තුරන් කළා...
ඔහු අදත් යහපත් හදවත් තුළ ජීවමානයි..
හිට්ලර්ට අපරාධ කාරයන්ගෙ හිත්වලවත්
ඉඩක් නැහැ.

ලින්කන් ශ්‍රේෂ්ඨත්වයට පත්වන්නේ මන්ද යන්න පිළිබඳව
මා මෙතෙක් කියවූ, වඩාත්ම හෘදයාංගම විවරණය කර ඇත්තේ
එකල විසූ තවත් ශ්‍රේෂ්ඨයෙකු වන ලියෝ ටොල්ස්ටෝයි විසින්.
මේ ඉන් කොටසක්..

=============================

"ඉතා උසස් වූ වීරත්වය රඳා පවත්නේ
මනුෂ්‍යත්වය, සත්‍යය, යුක්තිය හා කරුණාව මතය.
අන් සියල්ල අමතක වීම තුල
වැනසී යාම ස්වභාවයකි.

බුදුන් වහන්සේ, ක්‍රිස්තුන් වහන්සේ හා මෝසෙස්ගේ
ශ්‍රේෂ්ඨත්වය හා සසඳන විට
ඇරිස්ටෝටල් හා කාන්ට්ගේ මහිමය
නොසැලකිය හැකි තරම්ය.

නැපෝලියන්, සීසර් හෝ වොෂින්ටන් පවා
ලින්කන්ගේ ශ්‍රේෂ්ඨත්වය නමැති සූර්යයා හා
සම කරන කල්හි සඳපහන වැන්න.
ඔහුගේ ආදර්ශය විශ්ව සාධාරණ වන අතර
එය අවුරුදු දහස් ගණනක් පවතිනු ඇත.
වොෂිංටන් නියම ඇමෙරිකානු ජාතිකයෙක් විය.
නැපෝලියන් නියම ප්‍රංශ ජාතිකයෙක් විය.
එහෙත් ලින්කන් විසල් මිහිතලය මෙන් පුළුල්වූ
මානව දයාවෙන් පිරිපුන් මිනිසෙකු විය.
ඔහු තම රටට වඩා විශාල විය.
සියලු ජනාධිපතීන් එක් කළත්
ඔහු ඊට වඩා විශාල විය.

මන්ද යත්,
ඔහු තමාට මෙන්
තම සතුරන්ට ප්‍රෙම කළ පුද්ගලවාදියෙක් වීම සහ
තමා තුළ ලෝකය දැකීමට නොව
ලෝකය තුළ තමා දැකීමට කැමැත්තෙකු වීම නිසාය.
ඔහු තම චාම් පැවැත්මෙන් ශ්‍රේෂ්ඨත්වයට පත්වූ අතර
දයාවෙන් උත්තමභාවයට පත් විය.
ලින්කන් වූ කලී
සත්‍යය, සමානත්මතාවය සහ නිදහස උදෙසා
සේවය කරන්නන්ගේ
ශක්තිමත් ගණයට අයත් වූවෙකි.
ඔහුගේ ජීවිතයේ පදනම මෛත්‍රියයි.
ඔහු අමරණීය වනුයේ එහෙයින් වන අතර
එය දැවැන්තයෙකුගේ ගුණාංගයකි.
ලින්කන් වීරයෙකු සේ ජීවත්ව සිට
වීරයෙකු සේ මළේය.

ලොව පවත්නා තුරා ඔහුද ජීවත් වනු ඇත.

ඔහුගේ ජීවිතය තවත් බොහෝ කාලයක්
මිනිසත් බවට ආශීර්වාදයක් වේවා."

----------------------ලියෝ ටොල්ස්ටෝයි----------------------

---1909 පෙබරවාරි 07
=============================
ලින්කන් මිය ගොස්
වසර පණහක් ගතවීමටත් පෙර
ඔහු පිළිබඳව ටොල්ස්ටෝයි කළ
මේ සුවිශේෂී විවරණය
තවත් සියවසකටත් වඩා
පවතින සත්‍යයක් බවට
තහවුරු වී ඇත.

සමස්ත ජාතියක හෝ කෙනෙකුගේ
කල් පවතින බලය තියෙන්නෙ
සීලය, සමාධිය හා ප්‍රඥාව මත...

සීලය, සමාධිය හා ප්‍රඥාව
තුනම නැති මහජාතියක්
සීලය, සමාධිය හෝ ඒ දෙකම තියන
සුළු ජාතියට යටත්..

බොහෝ දහම් වල වැඩි බරක් දෙන්නෙ
සීලය හා සමාධියටයි.

සීලය, සමාධිය හා ප්‍රඥාව
තුනම නැති පව්කාර මහ ජාතියක්
සීලය, සමාධිය හෝ ඒ දෙකම තියන
සුළු ජාතියට යටත්..
__________________________________________________
http://sansaranee.blogspot.com/2012/11/blog-post_7117.html