20171230

ඉහළ හදන්න අමාරුයි. අපි පහළින් වැඩේ පටන් ගමු.-ජනපති මෛත්‍රී



අපට රජෙක් නැත.

ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ඇති රටක
රජ කරන්නේ තනි පුද්ගලයෙක් නොවෙයි.
අද රජ කරන්නේ නයකයෙක් සහ
අගමැති, මැති ඇමතිවරුය.
අද රජ දරුවන් යනු
ජනපති අගමැති ඇතුළු
මැති ඇමතිවරුය.

අපේ රජ දරුවන් බහුතරය
කිසි සේත්ම ධාර්මික නොවන බව
රටවැසියන් වූ අපි දනිමු.

බලය අයුතු ලෙස යොදා ගන්නා
බලය ඇත්තෝ නීතියට යටත් නැත.
දේශපාලනඥයන් බොහෝ දෙනෙක්
හිසේ සිට නැට්ටටම අධාර්මිකය.
ඔවුන් අධාර්මික වන්නේ බලය නිසාය.
ජනතාව අධාර්මික වන්නේ
කවරෙකුගේ වරදින්ද?

මහණෙනි,
යම් කලෙක්හි රජදරුවෝ අධාර්මික වෙත් ද,
එකල රාජපුරුෂයෝ ද අධාර්මික වෙති.
රාජපුරුෂයන් අධාර්මික වූ කල
බ්‍රාහ්මණ ගෘහපතිහු ද අධාර්මික වෙති.
බ්‍රාහ්මණ ගෘහපතීන් අධාර්මික වූ කල
නිගම ජනපද වාසීහු ද අධාර්මික වෙති.

රට අධාර්මික වන්නේ හිසේ පටන්ය.
රට කුණ බහින්නේ කරටියේ පටන්ය.

බුදු වදන ප්‍රතිලෝමව බලන කල
රජ දරුවන් ධාර්මික වීම නිසා
මේ චක්‍රය අනෙක් පසට හැරිය යුතුය.
එහෙත් ඒ ක්‍රියාවලිය
පහසුවෙන් සිදු වන්නක් නොවේ.
ඉහළ පිරිසිදු කිරීමෙහි අසීරු බව
අද අප සියල්ලන්ටම රහසක් නොවේ.

මෛත්‍රී මේ සඳහා අලුත් යෝජනාවක්
ජනතාව හමුවේ තබමින් මෙසේ කියයි.
"ඉහළ හදන්න අමාරුයි.
ඒ නිසා පහළවත් හදාගන්න ඕනෑ.
අපි පහළින් වැඩේ පටන් ගමු.

මම බලාපොරොත්තු වෙන්නේ
හොඳට පොත පත කියවන,
පන්සල්, පල්ලි, කෝවිල් යන
දේශපාලනඥයන්.

මේ රට ගොඩනගන්න තිබෙන ලොකුම බාධකය
දේශපාලකයන් වැඩි පිරිසක්‌ දූෂිතයන් වීමයි·
දූෂණයෙන් තොර, පිරිසිදු දේශපාලනයක්‌ ගැන
අද හැමෝම කතා කරන්නේ
රටේ එවැනි දෙයක්‌ නැති නිසයි.

මේ පක්‍ෂයේ
මගේ සභාපති ධුරයෙන් පසුව
එතනට පත් වෙන්නේ
මගේ පවුලේ කෙනකු නොවේ.
ඒ අවස්‌ථාව දෙන්නේ ඔබටයි.

බාධක කම්කටොළු මැඩගෙන
ඔබ ජයග්‍රහණයේ මාවතට යන්න.
ජනතාවාදී වෙන්න. මිනිසුන්ගේ ඇස්‌වල කඳුළු දකින්න.
මිනිසුන්ට රටට ආදරය කරන දේශපාලනඥයකු වන්න.
බලයෙන් උම්මත්තක වන දේශපාලනඥයකු නොවන්න.·

මේ රට සංවර්ධනය කරන්න
අධ්‍යාත්මික සංවර්ධනයක්‌ අවශ්‍යයි.
එය ඔබට තිබෙනවා.
ඊට අවශ්‍ය මග පෙන්වීම අපි ඔබට ලබා දෙනවා."

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ
(දෙසැ 29 දා) පැවැති උත්සවයේදී...


-------------------------------------------------------------------------------

මේ ප්‍රාතිහාර්යය පෑම කළ හැකි නම් අපූරුය.
කළ නොහැකි වුවත් වෑයම් කිරීම පවා අපූරුය.

පිරිසුදු දේශපාලන සංස්කෘතියක් ගොඩනැඟීමට යන ගමනේ දී
මගේ කඩුවට කැපෙන්නේ මගේ ඥාතීන් ද, මිතුරන් ද
නැත්නම් කවුද කියන එක මට ප්‍රශ්නයක් නොවේ යැයි
ජනපති මෛත්‍රී භගවත් ගීතාවේ සඳහන් වැකියක්
උපුටා දක්වමින් කීවේ 'නිදහසේ සම්මුතිය'
ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් BMICHහි දී
දෙසැ 28 පැවැති උත්සවයකට සහභාගී වෙමිනි.

"අපි අද මෙහි දී ප්‍රකාශයට පත්කළ
නිදහසේ සම්මුතිය. කුමක් සඳහා ද?
සමාජය තුළ පුද්ගලයන්, සංවිධාන,
දේශපාලන පක්ෂ, ආයතන වල
විවිධ අදහස් සහ මත සමඟ නිවැරදි මතයක්,
නිවැරදි වැඩපිළිවෙළක්
නිවැරදි, සැලැස්මක් තුළ
සියලුදෙනාට එකඟවිය හැකි වැඩපිළිවෙළක්
සම්මුතියක් ඇති වෙනවා.

ගෙවීගිය දශක කිහිපයේ අපිට වඩා අඩු දියුණුවක් තිබූ රටවල්,
නිදහස ලබා ගන්නා විට අපි සිටි තැනට වඩා ආර්ථික වශයෙන්
සමාජයීය වශයෙන් අපිට වඩා අද ඉදිරියෙන් සිටිනවා.

අපිට උගතුන්ගෙන් කිසි අඩුවක් නැහැ.
රටක් වශයෙන් බුද්ධිමතුන්ගෙන් කිසිදු අඩුවක් නැහැ.
අපිට විද්‍යාඥයන්ගෙන් අඩුවක් නැහැ.
අපේ කියන දේ ඇගයීමට ලක් කිරීමට හැකි පිරිසගෙන්
කිසිදු අඩුවක් නැහැ.
මෑත අතීතයට අදාළව සළකා බැලීමේ දී
දක්නට ඇති බරපතළම ප්‍රශ්නය නම්
දේශපාලන ක්ෂේත්‍රයේ චරිතවල දක්නට ඇති
බරපතළ පිරිහීමයි.

අපේ රට දියුණු කරන්න,
යහපත් දේශපාලන චරිතවල අවශ්‍යතාවක්
අද ඇතිවී තිබෙනවා.
රටට ආදරය නොකරන රට ගැන නොහිතන,
දූෂණය, වංචාව, නාස්තිය සිදුකරන පිරිසක්
තමන්ගේ පුද්ගලික දේශපාලන න්‍යාය පත්‍ර අනුව
කටයුතු කරනවා.

දේශපාලනය කරන කිසිදු පුද්ගලයකුට
පුද්ගලික න්‍යාය පත්‍රයක් නොතිබිය යුතුයි.
දේශපාලනය කරන සෑම කෙනෙකුටම තිබිය යුත්තේ
රට, රටේ අනාගතය, ජාතියේ අනාගතය සහ
ජනතාවගේ අනාගතය සඳහා වූ
පොදු ජාතික දේශපාලන න්‍යාය පත්‍රයක් පමණයි.
ඒ තුළ අපි අපේ මේ සම්මුතීන් ඇති කර ගත යුතු වෙනවා.

බොහෝ සමාජ ප්‍රශ්නවලදි,
උදාහරණයක් විදියට මත්ද්‍රව්‍ය වැනි ප්‍රශ්නයක් ගත්තොත්
අපි කියනවා අපිට දැන් වැඩිහිටියෝ හදන්න අමාරුයි.
ඒ නිසා පොඩි ළමයි ටිකවත් හදාගමු කියලා.
ඒ නිසා අපි පාසල් දරුවන්ගෙන්
එවැනි දේවල් පටන් ගන්නවා.
ඒ වගේම
දේශපාලන වශයෙන් රාජ්‍ය පාලනය තුළ
ජනාධිපති ධුරය, පාර්ලිමේන්තුව, පළාත් සභා,
සහ පළාත් පාලන ආයතන කොටස් 04 ක් තිබෙනවා.
පොඩි තැනින් පටන් ගන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ.

පළාත් පාලන ආයතන තුළින්
අපි බලාපොරොත්තු වෙන්නේ
මේ රටට ආදරය කරන, ජනතාවට ආදරය කරන,
දූෂණයට වංචාවට නාස්තියට
කිසිසේත් හිස නමන්නේ නැති
අවංක, සෘජු මේ රටේ අනාගතය වෙනුවෙන්
යහපත් සුබවාදී ගමනක් සඳහා
දේශපාලන නවකයන් පිරිසක් ගොඩ නගා ගැනීමයි.

භෞතික වශයෙන්
රටක් කොතරම් සංවර්ධනය වුණත්
ඒ රටේ මිනිස්සු තුළ
ආධ්‍යාත්මික වශයෙන් සංවර්ධනයක් නැත්නම්
ආධ්‍යාත්මික වශයෙන්
මිනිසුන්ගේ ගුණවගාවක් ගොඩනැගිලා නැත්නම්
ඒ රට යහපත් රටක් කියලා
කියන්න පුළුවන් කමක් නැහැ.

අපේ රටේ භෞතික සම්පත් සංවර්ධනය
ශක්තිමත් කළ යුතු වගේම
අපේ රටට දේශපාලන වශයෙන් ආධ්‍යාත්මිකව සිතන
යහපත් සිතුවිලි සමඟ මිනිස්සු ගැන හිතන
මිනිස්සුන්ට ආදරය කරන
අවංක පිරිසකගේ අවශ්‍යතාව
අද එන්න එන්නම වැඩි වෙලා තිබෙනවා.

ඩී.එස්. සේනානායක මැතිතුමා,
එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මැතිතුමා,
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය,
ඩඩ්ලි සේනානායක මැතිතුමා
ඒ යුගයන්වල මේ රට ඉදිරියට ගෙනියන්න
ඉතාමත් අවංකව කැපවුණ
දේශපාලන නායකයන්ගෙන් සැදුණු
දේශපාලන ව්‍යාපාර ගොඩනැගිලා තිබුණා.
නමුත් පසුකාලීනව
අපේ දේශපාලන ක්ෂේත්‍රයන් අපිරිසිදු වුණා.
මනාප ඡන්ද ක්‍රමය
අපේ රටේ ප්‍රතිපත්ති දේශපාලනය වළ දැම්මා.
මූලික වශයෙන්ම ප්‍රතිපත්ති දේශපාලනය බැහැර වීම
විශාල ප්‍රශ්නයක් වුණා.
පුද්ගලයන් ගොඩනැ‍ඟීම, පුද්ගලයන් නගාසිටුවීම,
පුද්ගලයන් පිළිබඳ කතා කිරීම,
දේශපාලන දර්ශන, ප්‍රතිපත්ති දැක්ම යටපත් වුණා.
එයින් තමයි බරපතළ ලෙස සමාජ පිරිහීම් ඇති වුණේ.
අපේ දේශපාලන සංස්කෘතිය විශාල වශයෙන් අගාධයට වැටුණා.

අපිට අද ඇති වෙලා තිබෙන
යහපත් දේශපාලන සංස්කෘතියක අවශ්‍යතාව තුළ
රටේ අනාගත පැවැත්ම තිබෙන නිසා
මෙම පළාත් පාලන ආයතන තුළින්
මේ පුංචි ආයතන, මේවා ගමේ ආණ්ඩු. නගරයේ ආණ්ඩු.
පළමුවෙන් අපි හදා ගන්න ඕනෑ.

මම ඒකයි කිව්වේ ඉහළ හදන්න අමාරුයි.
ඒ නිසා පහළවත් හදාගන්න ඕනෑ කියලා.
ඒ නිසා පහළින් අපි වැඩේ පටන් ගමු.
රටක් විදියට අපිට කාලය තිබෙනවා.
රටක් විදියටත අපි පසුතැවිලි වෙන්න හොඳ නැහැ.
අපි අභියෝග භාර ගන්න ඕනෑ.
අපි අවදානම භාර ගන්න ඕනෑ.

ව්‍යවස්ථාව නීතිය කෙසේ තිබුණත්
ඒ තුළ වඩාත් යහපත් වෙන්නේ
ඒවා ක්‍රියාත්මක කරන පුද්ගලයන් තුළ තිබෙන
චරිත ලක්ෂණයි කියන එක ඉතාම පැහැදිලියි.
ඒ නිසා ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා
මේ සම්මුතිය ප්‍රකාශයට පත් කළේ මේ සම්මුතිය ඉදිරිපත් කළේ
යහපත් අනාගත දේශපාලන දැක්මක් සඳහා.
යහපත් දේශපාලන ව්‍යාපාරයකට
පිරිසිදු නිර්මල දේශපාලන ව්‍යාපාරයකට
අවශ්‍ය පිරිසක් ගොඩනගාගැනීම සඳහා.

ඒ පිරිස ගොඩනැ‍ඟෙන්නේ නැතිව
අපි බලාපොරොත්තු වන සමාජ පරිවර්තනය
මේ රටේ සිද්ධ වෙන්නේ නැහැ.
මේ රට යහපත් ආර්ථිකයක් ඇති සමෘද්ධිමත් රටක් විදියට
ලෝකයේ ප්‍රබුද්ධ රටක් විදියට ගොඩනැ‍ඟීමේ අභියෝගයට
සැමවිටම මුහුණ දෙන්න සිද්ධ වෙනවා.
ඒ අභියෝගය අපි ජයගත යුතු වෙනවා.
ඒ අභියෝගය අපිට ජයගන්න පුළුවන්කම තිබෙනවා.

යහපත් චරිත, ආදර්ශය, හික්මීම, නීතිගරුකවීම
මැතිවරණ නීතිවලට එකඟව කටයුතු කිරීම
ඉතාමත් වැදගත් වෙනවා.

ලිච්ඡවි රජ දරුවන් පිළිබඳ අපි අහලා තියෙනවා,
දසරාජ ධර්මය පිළිබඳ, ඉන්දියාවේ අශෝක අධිරාජ්‍යයා පිළිබඳ,
අශෝක අධිරාජ්‍යයාගේ ධාර්මික ප්‍රතිපත්ති පිළිබඳ අපි අහලා තිබෙනවා.
අපේ රටේ ශ්‍රේෂ්ඨ ඉතිහාසය ගතහොත් රාජාවලිය ගතහොත්
ඉතාමත් දැහැමි රජවරු මේ රට පාලනය කරපු යුගයන් පිළිබඳ
අප අසා තිබෙනවා.

ඒ නිසා අපි අපේ රට ලෝකයේ ප්‍රබුද්ධ රටක් විදියට,
ශ්‍රේෂ්ඨ ජාතියක් විදියට ඉදිරියට ගෙනයන්න
එම අභියෝගය ජයග්‍රහණය කිරීමට ඉතාම අවශ්‍ය වන්නේ
පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් සඳහා කැපවූ
පවිත්‍ර, කිළිටි වුණේ නැති,
කිළිටි වෙන්නේ නැති දේශපාලන පෙරමුණක් එක්ක
පැහැදිළි දේශපාලන ව්‍යාපාරයක නායකයන් පිරිසක්.
එම පිරිස ගොඩනගන්න පුළුවන් මෙතනින්.
ඒ සඳහා කැපවෙමින් අපේ යුතුකම් සහ වගකීම් ඉටු කරමු

“මගේ කඩුවට කැපෙන්නේ මගේ ඥාතීන් ද, මගේ මිත්‍රයන් ද,
මගේ හිතවතුන් ද, කවුරුන්ද දන්නේ නැහැ.
එහෙත්, ඒ ඕනෑම කෙනෙක් කැපී යයි.”
භගවත් ගීතාවේ එසේ සඳහන් වෙනවා.

මට කියන්න තියෙන්නෙත්
මොන පක්ෂයේ, මොන වර්ණයේ ද, කාගේ ද,
මගේ ඥාතීන් ද, කවුද කියන ප්‍රශ්නය නැහැ.
පිරිසිදු පවිත්‍ර දේශපාලන ව්‍යාපාරයක් සඳහා
මගේ කඩුවට කවුරු කැපෙයි ද කියන එක කියන්න බැහැ.
ඕනෑම කෙනෙක් කපන්න සිද්ධ වෙනවා.
එය කරන්නට වෙන්නේ ජාතියේ අනාගතය සඳහා.
රටේ අනාගතය සඳහා අද දවසේ මෙන්ම හෙට දවසේ
අප සියලු දෙනාම කැප විය යුතු වෙනවා.

ජනතාවාදී වෙන්න. මිනිසුන්ගේ ඇස්‌වල කඳුළු දකින්න.
මිනිසුන්ට රටට ආදරය කරන දේශපාලනඥයකු වන්න.
බලයෙන් උම්මත්තක වන දේශපාලනඥයකු නොවන්න.
බාධක කම්කටොළු මැඩගෙන
ඔබ ජයග්‍රහණයේ මාවතට යන්න.

20171218

කූඹියෝ, කළණ/ප්‍රියන්ත, මාලන් බ්‍රැන්ඩෝ සහ සංස්කාර

"ජීවත්වීම සඳහා බොරු කියන,
වංචාකරන, නැති දේ ඇති ලෙස හඟවන
ඇති දේ නැති ලෙස හඟවන සියල්ලන්ම
රඟපෑමක යෙදෙනවා".
---මාලන් බ්‍රැන්ඩෝ

රංගනයක් විශිෂ්ඨ වෙන්නෙ
තමන් ඉක්මවා ගොස්,
අදාළ චරිතය වෙලා
ඒ චරිතය විඳින හැඟීම විඳිමින්
අදාළ රංගනය ඉදිරිපත් කිරීමෙන්.

සැබෑ ජීවිතයේදී
අපි හැඟීම්බර වෙද්දි
අපි තුළ මතුවෙන සංස්කාර අනුව
අපේ කයත් වචනයත් හැඩ ගැසීමයි,  වෙන්නෙ .
ඒ වෙනස් වීම් සිදු වෙන්නෙ ස්වයංක්‍රීයවයි.

නළුවෙක් කරන්නෙ අවශ්‍ය සංස්කාර
තමන්ගෙ හැකියාව භාවිතා කරමින්
හිතට මතු වෙන්න ඉඩ දීලා
අදාළ චරිතය වගේ
ප්‍රතික්‍රියා කිරීමක්.

රඟපෑමක හැඟීම නැති වෙන්නෙ
නලුවා තුළ සංස්කාර මතු නොවී
ඔහු බුද්ධියෙන් කය මෙහෙයවමින්
අදාළ ඉරියව් පැවැත්වීමෙන්.
නාට්‍යයකදි එසේ කළ යුතුයි කියා
සරච්චන්ද්‍රයන් සිය නලුවන්ට
උපදෙස් දී තියනවා.

"ඔබ හඬන්න එපා.
ප්‍රේක්ෂකයා හඬවන්න"
මේ සරච්චන්ද්‍රයන්ගේ උපදෙසයි.

සිනමාවෙදි ටෙලිනාට්‍යවලදි
හැඟීම්බර වීමෙන් තාත්වික වුණොත්
වඩාත් ජනප්‍රියයි.

මාලන් බ්‍රැන්ඩෝ, ගාමිණි, ජෝ වැනි නළුවන්
මේ වර්ගයේ විශිෂ්ඨ නලුවන්...

රංගනය පිළිබඳ පන්තියකදී
"ගුවන් ප්‍රහාරයක අනතුරු හඟවන නාදයක් ඇසුණ
කුකුළෙක් මෙන් රඟපාන්නට උපදෙස් ලැබුණු විට
රංගනය හදාරන අනෙක් සිසුන්
වියරුවෙන් මෙන් භීතියෙන් මුසපත්ව රඟන විට
මාලන් බ්‍රැන්ඩෝ සිවිලිම දෙස බලාගෙන
ගල් ගැසී සිටි අතර, විමසූ විට කීවේ
"මම කුකුළෙක්.
ගුවන් ප්‍රහාරයක අනතුරු හඟවන
නාදය මම හඳුනන්නෙ නෑ." කියායි.

ඒ අවස්ථාවේ ඔහු මාලන් බ්‍රැන්ඩෝ නොවෙයි.
අවම වශයෙන් මිනිසෙකුවත් නොවෙයි.
රඟපෑමට පෙර ඔහු විසින් කරන්නෙ
තමන්ගේ පෞරුෂයෙන් පිටමං වී
චරිතය තුළට පිවිසීමයි.

යම් කිසි නලුවෙකුගෙ රඟපෑමෙදි
දර්ශනයට අවශ්‍ය සංස්කාර මතුවුණත්
ඔහු ඒ දර්ශනයෙ සිටින චරිතය නොවෙයි නම්
ඔහුගේ රංගනයෙන් දිස්වෙන්නෙ අපි දන්න කියන
නලුවාගෙ ඉරියව්වක්මයි.

මාලන් බ්‍රැන්ඩෝ ගෝඩ් ෆාදර් චිත්‍රපටියෙ
අපූර්ව පාතාල කල්ලි නායකයෙක්.
එකල මාලන්ගේ වයස අවුරුදු 47ක් පමණ ඇති.
මාලන් එහිදී රඟපාන විටෝ කොර්ලියෝන් චරිතය
ඔහුට වඩා බෙහෙවින් වයසින් වැඩි චරිතයකි.
ඔහු ඒ චරිතයට පිවිසෙන්නෙ
ඔහු තුළ ඇති විශිෂ්ඨ හැකියාවෙන්.

සැබෑ ජීවිතයේදීත් අපි සියල්ලෝම
දිවි ගලවා ගැනීමට රඟපාන බව
මෙහි වීඩියෝ සංවාදයේදී
මාලන් බ්‍රැන්ඩෝ ඉඳුරාම පවසනවා.

"ජීවත්වීම සඳහා බොරු කියන,
වංචාකරන, නැති දේ ඇති ලෙස හඟවන
ඇති දේ නැති ලෙස හඟවන සියල්ලන්ම
කිසියම් ආකාරයක රඟපෑමක යෙදෙනවා".

මාලන් රඟපෑමක් කියා කීවත්
මේ රඟපෑමේදී මිනිසා කරන්නේ
තමා තුළ මතු වී ඇති සංස්කාර
ලෝකයාගෙන් සඟවාගෙන හැසිරීමයි.

නලුවෙකුට තරහෙන් රඟපාන්න වුණාම
ඔහු ද්වේශ සංස්කාර මතු කරගෙන
ඔහුගෙ රංගනය ඉදිරිපත් කරනවා.

සාමාන්‍ය මිනිහෙකුගෙ ද්වේශය මතු වුණාම
ඔහු ඒ ද්වේශය යටපත් කරගෙන රඟපානවා.
මේ දෙක එකිනෙකට වෙනස් ක්‍රම දෙකක්.

මේ මතුකරගන්නා සංස්කාර
නලුවාගෙ ජීවිතයට බලපානවා.
අපි සිනමා නිර්මාණයක් සඳහා
රෙද්දක සායම් පැල්ලමක් තවරනවා.
ඒ තවරන සංස්කාර නිසා
ඒ රෙද්දෙ සිදු වෙන වෙනස පවතිනවා.
මෙවැනි වෙනසක්, කිසියම් සලකුණක්
නලුවාගෙ ජීවිතයටත් එකතු වෙනවා.

සැබෑ චරිතයට සමීපව රඟපාන
දුර්වල නලුවන් තුළ මේ වෙනස
කවදාවත් වෙන්නෙ නෑ.

මේ නිසා නිර්මාණයක චරිතය
රඟපෑමෙහි යෙදෙන නලුවාගෙ
සැබෑ ස්වරූපය විය නොහැකියි.
දක්ෂ නලුවන්ගෙ ඒ වෙනස පැහැදිලියි.

අපේ රටේ මේ වෙනස දකින්න ලැබෙන්නෙ
ඉතාම කලාතුරකින් බව රහසක් නොවෙයි.

අද ඉන්න ටෙලිනාට්‍ය නලුවන් අතර
කළණ ගුණසේකර මේ වෙනස පවත්වාගෙන
පිටපතේ චරිතය බවට පත් වෙන්න
ලොකු වෑයමක් දරණ දක්ෂයෙක්.
කූඹියෝ ටෙලිනාට්‍යයෙ ප්‍රියන්ත කියන්නෙ
අපි දන්න කියන කළණ නොවෙයි.
ඔහු මතු කරගන්නා සංස්කාර
ඔහුගෙ කයට මනසට බලපානවා.

මේ කූඹියෝ දර්ශනයෙ කළණ මතු කරන
සංස්කාර වල බලපෑම ඔහු තුළ ඇති නිසා
ජෙහාන් ඔහුට ප්‍රසංශා කළත්
ඔහු තවම ඉන්නෙ අර "මූඩ්" එකේමයි.
ඒ සංස්කාර පහවෙන්න ලැබුණෙ නෑ.

නලුවාගෙ ඒ වෙනස නිසා
ඔහුට ඩැමේජ් එකක් - හානියක් වෙනවා
කියා කළණ හිතනවා.

ඒ අතරම
නලුවෙක් විදියට වෙන වෙනස
ඔහු පදම් කරන, පන්නරය තියන
බැරෑරුම් අත්දැකීමක් වෙන්නත් පුලුවන්.

දක්ෂ නලුවන් වයසත් සමග මුහුකුරා යන්න
ඔහු රඟන චරිත විඳින සියලු අත්දැකීම් හේතු වෙනවා.
සැබෑ ජීවිතයේ ඔහු නොයන අහුමුළුවල
නලුවෙක් ලෙස රිංගන නිසා
මිනිසෙක් ලෙස මුහුකුරා යමින්
ඔහු වැඩෙනවා.

මුහුකුරා යාමත් වයසට යාමත් කියන්නෙ
ඉතාම වෙනස් සංසිද්ධි දෙකක්...

20171206

රට කන හොරුන්ට ඔබත් හවුල්ද?

නීතියට නැති අසීමිත බලයක්
අසාධාරණය දකින මිනිස් හිත්වලට තියනවා.
හිත පිරිසිදු නම් විරෝධය බලවත්.

ඔබේ මට්ටමෙන් ඔබත් හොරෙක් නම්
රට කන හොරුන්ට එරෙහි
ඔබේ විරෝධය දුර්වලයි.

හොරකම් කරන පාලකයන් අල්ලන්න
නීතියට ප්‍රතිපාදන පාලකයා විසින්ම දෙන්නෙ නෑ.
මෝඩ මිනිස්සු සිය දිවි නසා ගන්නෙ ක්ෂණිකවයි.
මෝඩ පාලකයාගෙ දිවි නසාගැනීම දිගු කාලීනයි.

පාලකයා හොරෙක් නම්, මැති ඇමතිවරු හොරු නම්
නිලධාරීනුත්, ජනතාවත් හොරු වෙනවා.
මේ හොරකම් හෙමින් වැඩෙන විෂබීජ වගෙයි.
මිනිස් හිත්වල ඇති වෙන අප්‍රසාදය
පුපුරා යන දවසක් අනිවා මතු වෙනවා.

රටේ ජනතා මුදල් හොරකම් කරන
දක්ෂ මැති ඇමති වරු හොරකම් කරන්නෙ
තමන්ගෙ බලය වැඩි කරගන්නයි...
තියන බලය රැක ගැන්නයි.

මිනිස්සු හොරකම් කරල මන්ත්‍රී වෙන්නෙ
ඊටත් වඩා පහසුවෙන් හොරකම් කරන්නයි.
මන්ත්‍රී හොරකම් කරන්නෙ ඇමති වෙන්න.
ඇමති හොරකම් කරන්නෙ අගමැති වෙන්න.
අගමැති හොරකම් කරන්නෙ ජනපති වෙන්න.
මේ හැමෝටම හොරකම් වලට හවුල් වෙන
පිඟානෙන් වැටෙන කෑලි අහුලන
සට්ටැඹි නිලධාරි පිරිසකුත් ඉන්නවා.
අහු නොවෙන විදියට හොරකම් කරන්න
ඔවුන් දක්ෂ නිසා නීතියේ සිදුරුවලින්
ඔවුන් පහසුවෙන් රිංගනවා.

මහා පරිමාණ ව්‍යාපෘති කරන සහ
ඒ ව්‍යාපෘති වලට දරදිය අදින
ඔහුට සමීප නිලධාරීන් කල දුටු කල
වල ඉහ ගන්න පැකිලෙන්නෙ නෑ.

මේ පාප කර්ම නිසා ඔවුන් තරකරන ගිණුම්
ටික ටික මෝරලා නොයෙක් විදියට පල දෙනවා.
නීතියෙන් දඬුවම් නොලැබුණාට ඔවුන් ඉන්නෙ
ලැබෙයිද නොලැබෙයිද කියන බයෙන්.
යහපාලන රජයෙන් වුණ ලොකුම සේවය
දඬුවම් ලැබෙන්නත් ඉඩ තියනවා
කියා සිතන්නට ජනතාව වගේම
හොරකම් කරන අයත් පෙළඹීමයි.

නීතියෙන් දඬුවම් නොලබන හොරුන්ට
දේශපාලනය කරන්න නිදහසක් නෑ.
හොරු පණ ගහල ඇවිත් ජනතාව රැස් කරලා
බලය ලබා ගන්න සූදානම් වෙද්දි
ඔවුන්ගේ ෆයිල් උඩට එනවා.
ඔවුන්ගේ පොඩි වරදක් උසාවියට යනවා.
ඔවුන් නැවතත් අත් තටු අකුළාගෙන
අකර්මණ්‍ය වෙනවා..නඩු කල් යනවා.

බලයෙන් පහවුණ හොරු කරපු පව් ගෙවන්න
නීතියෙන් දඬුවම් ලබා හිරේ වැටෙන්නම ඕන නෑ.
පව් ගෙවෙන්න තව බොහෝ ක්‍රම තියනවා..

බලයට කෑදර මැති ඇමතිවරුන්ට
බලය නැති වෙලා තෙත පඩංගු වගේ
මද පවනෙ වේලෙද්දි ඔවුන් විඳින දුක
හිර ගේක විඳින දුකට වඩා දරුණුයි.

නීතියෙන් දඬුවම් ලබන හොරාට
පස්සෙ ජනතාව සමාව දෙනවා.
ඉන්දියාවෙ ජයලලිතා හිරේ ගියාට
ඇයට තිබුණ ජනප්‍රසාදය අඩු වුණේ නෑ.
එළියෙ ඉන්න හොරු ඇය අගය කරනවා.
ඔවුන්ගේ පිහිටෙන් ඇය යළිත් දිනනවා.

මිනිස්සුත්
සියයට අනූ නවයක්ම හොරු ඉන්න රටක
පාලකයො හොරු වීම සාමාන්‍ය දෙයක්.
කඳ අශූචි වෙච්ච් රටක ඔලුවත් අශූචිම තමයි.

තමන් වැඩ කරන ආයතනය
රජයේ වුණත් පුද්ගලික වුණත්
එතන තියන කොළය, පෑන ඉඳලා
හොරකම් කරන මිනිස්සු අපේ රටේ ඉන්නෙ.
දරුවො පාසලෙන් ඉරේසරය පැන්සල ගේනවා.
ඒ හොරකම් නිවැරදියි කියලා
දෙමාපියොත් දරුවනුත් හිතනවා.

අතිකාල සහ වෙනත් දීමනා
හොරකම් කරන අය කොයිතරම්ද?

රජයට, රටට හොරකම් කරල හරි
තමන්ගෙ දරුවාට ටැබ් එකක් ලැබුණොත්
ඒ හොරකමට හවුල් වෙන්න
අම්මලා තාත්තලා කැමතියි.
"කවුරු හොරකම් කළත් අපිට මොකද?
අපේ එකාට ටැබ් අරන් දෙන්න
අපිට පුළුවන්ද?".

ටැබ් අවලට විතරක් නොවෙයි
මේ ප්‍රදානය පිටුපස ඉන්න
එක්සත් ජාතික හොරුන්ටත්
මේ සල්ලි ගෙවන්නෙ තමන්ම බව
ටැබ් එක ලැබුණ අයත් නැති අයත්
මොහොතකට හෝ හිතන්නෙ නෑ.

තමන්ගෙ අතට කොටසක් එනවා නම්
අපේ රටේ මිනිස්සු හොරකමට විරුද්ධ නෑ.

පාසල් දරුවගෙ පටන් ජනපති දක්වා
තමන්ට වාසි වෙන හොරකම් නොකරන
හොරකමට විරුද්ධ අය හැරෙන්න
අනිත් හැම හොරෙක්ම කරන්නෙ
රටේ හොරකම ප්‍රවර්ධනයයි.

රු 25000ක් අල්ලස් ගන්න නිලධාරියා
අවුරුදු 15ට විස්සට හිරේ යනවා.
නිලධාරින්ට දඬුවම් ලැබෙද්දි
කවුරුවත් ඔවුන් වීරයො කරන්නෙ නෑ.
ඔවුන්ගේ චරිතය ආත්මය ඉවරයි.
රටේ පිළිගැනීම ඉවරයි.

දේශපාලුවා හොරකම් කරලා
හිරේට යන්නෙ වීරයෙක් වගේ.
ඔහු දන්නවා මිනිස්සු ඔහු දකින විදිය.
ඔහු ඒ අවස්ථාවත් ඔහුට ලාභයක්.
යහපාලන රජය ඒ අවස්ථාව නොදී
දේශපාලුවාගෙ අතපය හිර කිරීම
දෙශපාලන බලයෙ අඬු කඩා දැමීම
වඩා සාර්ථක දඬුවමක්.

සොබා දහම අනිවාර්යයෙන්ම හොරු අල්ලනවා.
බොහෝ විට ඔහු දුර්වල වෙන වෙලාවට
සොබා දහම දඬුවම් කරනවා.
ඔහු මිය යනතුරුම සොබා දහම කල් බලනවා.
මිය ගිය පසුවත් ඔහු කළ කර්ම මෝරමින්
ඔහු පසු පස යන බව අපි දන්නවා.

දේශපාලනයෙන් හොරකම් කරන අපරාධකරුවන්
පළමුවෙන්ම ලබන මූලිකම දඬුවම වෙන්නෙ
ජනතා විශ්වාසය පිරිහීමයි.

හොරෙක් කියා මඩ ගැසීමෙන් ඔහු පිරිහීම සීමිතයි.
ඒත් ඔහුගේ හොරකම් නිසා ඔහු පිරිහීම නිශ්චිතයි.

හොරකම් කරන කෑදර දේශපාලුවා
වහාම හෝ ප්‍රමාද වී පිරිහෙනවා.
ජන ප්‍රසාදය පහසුවෙන් බිඳෙනවා.

හොරුන් දඬුවම් විඳිනවා දකින්න ඔබ කැමතිද?

ඔබ කරන හොරකම් වලට පළමුව විරුද්ධ වෙන්න.
ඔබ කරන පුංචි පුංචි හොරකම් වල ඉඳලා
සියලුම හොරකම් සපුරා නවත්වන්න.

ඔබ පිරිසිදු නම් ඔබේ විරෝධය බලවත්.