20170828

කාලෝ ෆොන්සේකා "කතරගම දෙවියො නෑ" කියන අන්ධ භක්තිකයෙක්.


''දෙවියො ඉන්නවා'' කියල කියන්නෙ
දෙවියො ඉන්නවද නැද්ද කියා
නොදන්න මිනිස්සු පිරිසක්..
ඔවුන්ගෙ ළඟ සැකයක් තියනවා.
ඔවුන් ඒ සැකය තර්ක කරල
නැති කරගන්නවා.

කතරගම එන්නෙ දෙවියො සැක කරන පිරිසක්.

ඔවුන්ගෙ භක්තිය නිසාම දෙවියො
ඔවුන්ට විශේෂයෙන් සලකනවා නම්
ගෙදර හිටියත් පිහිට ලැබෙන්න ඕන.
ඔවුන්ට දෙවියො සැකයි..
ඔවුන්ගේ භක්තියත් සැකයි.

ඔවුන් දෙවියන්ට පොඩි පූජාවක් කියලා
ලොකු දෙයක් භාර වෙනවා.
"අරක දුන්නොත් මේක දෙන්නම්"
ඔවුන් පොරොන්දු වෙනවා.
ඔවුන්ටත් දෙයියො ෂුවර් නෑ.

හිතන දේ ලැබුණොත් භාරෙ ඔප්පු කරනවා.
හිතන දේ නොවුණොත් දෙවියො අත් හරින්නෙ නෑ.
තමන්ගෙ අඩුපාඩුවක් නිසා දෙවියො දුන්නෙ නෑ කියල
තමන්ට වරද පටවාගෙන
දෙවියො නිදොස් කොට නිදහස් කරනවා.

ඔවුන් අන්ධයි.
දෙවියො ඉන්නවා කියා නිශ්චිතව දන්නෙ නෑ..
කාගේ හරි තර්ක අනුව ඉන්නවා කියා
දෙවියො ඉන්නවා කියා විශ්වාස කරනවා.

දෙවියෝ නෑ කියන්නෙත් අන්ධයෝ.
ඔවුනුත් දෙවියො නෑ කියා ඔප්පු කරගන්න
නොයෙක් විකාර වැඩවල යෙදෙනවා.
විකාර වැඩ කරන අය අදහනවා.
කාලෝත් ඒ වගේ අන්ධයෙක්.
විකාර වැඩ කරන අන්ධයෙක්.

2
'දෙවියො නෑ' කියල කියන්නෙ
දෙවියො ඉන්නවද නැද්ද කියා
නිශ්චිතව දන්න මිනිස්සු නොවෙයි.

ඔවුනුත් සැකයක් තියන අන්ධයො පිරිසක්..

'දෙවියො නෑ' කියල කියන්න
ඔවුන්ටත් ඔවුන්ගෙ තර්ක තියනවා.
'ඉන්නවා' කියන තර්ක වගේම
'නෑ' කියන තර්කත් තියනවා.
තර්ක විතරයි.
ප්‍රත්‍යක්ෂයක් නෑ.

සමහර අන්ධයෝ 'ඉන්නවා' කියන්න
ඔවුන්ගේ විශ්වාස අනුව පරීක්ෂණ කරනවා.
ගිනි පාගනවා, කාවඩි නටනවා..
උල් කටුවලින් එල්ලිලා යනවා.

ඒ මිනිස්සුත් කරන්නෙ පරීක්ෂණ.
ඒ පරීක්ෂණ අනුව ඔවුන් නිගමනවලට එනවා.
හැම වෙලාවෙම නිගමනය වෙන්නෙ
"ඔව්. දෙවියො ඉන්නවා" කියලයි.
ඔවුන්ගේ අන්ධ විශ්වාසය
ඔවුන් තහවුරු කර ගන්නවා.
ඒ පරීක්ෂණ විද්‍යාත්මක නෑ.
ඔවුන් පරීක්ෂා කරන්නෙ සංකල්පයක්.

පරීක්ෂණ කරන්නෙ
උපකල්පනයක් තියන මිනිස්සු.
කාලෝට දෙවියො නෑ කියල
උපකල්පනයක් තියනවා.

කාලෝත් කරන්නෙ පරීක්ෂණයක්..
ඔහුගේ විශ්වාසය අනුව ඔහු පරීක්ෂණ කරනවා
ඔහුටත් තහවුරු කරගන්න ඕන දෙවියො නෑ කියල.
ඔහුත් නිශ්චිතව දන්නෙ නෑ..
"දෙවියො ඉන්නවා" කියන අන්ධ භක්තිකයො
නොයෙක් පූජා භාණ්ඩ අරගෙන යද්දි
කාලෝත් "දෙවියො නෑ" කියන භක්තියට අනුව
අරක්කු, ඌරු මස් අරගෙන කතරගම යනවා.
දෙගොල්ලම යන්නෙ තමන්ගෙ විශ්වාසය
තහවුරු කරගන්නයි.

මොනවා අරගෙන ගියත්
කතරගම දෙවියො ඉන්නවද නැද්ද කියා හොයන්න
කතරගම යන ඔක්කොම මිනිස්සු
එක වගේම අන්ධයෝ පිරිසක්.

කාලෝත් කරන්නෙ පරීක්ෂණ.
ඒ පරීක්ෂණ අනුව කාලෝ නිගමනයකට එනවා.
හැම වෙලාවෙම නිගමනය වෙන්නෙ
"ඔව්. දෙවියො නෑ" කියලයි.

ඔහුගේ අන්ධ විශ්වාසය
ඔහු තහවුරු කර ගන්නවා.
ඒ පරීක්ෂණ විද්‍යාත්මක නෑ.
ඔහුත් පරීක්ෂා කරන්නෙ සංකල්පයක්.

අර මිනිස්සු ඔවුන්ගේ  පරීක්ෂණ අනුව
"ඉන්නවා"නිගමනවලට එනවා.
කාලෝගේ  පරීක්ෂණ අනුව
"කෝ දෙවියො නැහැනෙ" කියන නිගමනයට
කාලෝ එනවා.

ඔවුන් ඉන්නවා කියා දක්කෙත් නෑ..
කාලෝ නෑ කියා දැක්කෙත් නෑ.
ඉන්නවා කියන මිනිහත් අන්ධයි.
නෑ කියන මිනිහත් අන්ධයි.

3
දෙවියො ඉන්නවා කිව්වත් නෑ කියා කිව්වත්
ඒ දෙක සඳහාම කරන පරීක්ෂණ
වර්ග දෙකම විද්‍යාත්මක නෑ.
ඔවුන් දෙගොල්ලොම පරීක්ෂා කරන්නෙ
ලෝකෙ පවතින සංකල්පයක්.

අන්ධයො දෙගොල්ලම අඳුරු අතපත ගාමින්
වාද කරනවා, තර්ක කරනවා.
දෙවියො ඉන්නවා කියල දකින කෙනෙකුත් නෑ.
දෙවියො නෑ කියල දකින කෙනෙකුත් නෑ.
කාලෝ හිතනවා,
කතරගම දෙවියො ඉන්නවා නම්
අරක්කු බීල ඌරු මස් කෑල ගිනි පෑගුවාම
මොනවා හරි නරකක් වෙන්න ඕනෙ කියා
මිනිස්සු කියන කතාව බොරු කියලා.

කාලෝ එහෙම කරලත් බලනවා.
අරක්කු බීල ඌරු මස් කාල ගිනි පෑගුවා...
ඔහුට මිනිස්සු කියන විදියෙ දේවල් වෙලා නෑ.
ඔහු හොඳින් ඉන්නවා වගේ පෙනෙනවා.

කතරගම ගිහිං
අරක්කු බීල ඌරු මස් කාල ගිනි පෑගුවාම
මිනිස්සු වෙනවා කියන අනතුරක්
කාලෝට මෙතෙක් වෙලා නෑ කියල ඔහු කියනවා.

"මේ දක්වා මට කිසිම අනතුරක් කරන්න
කතරගම දෙවියන්ට බැරි වුණා"

ඔහුට වෙන කිසිම නරකක් වෙලා නැද්ද?
එහෙම වෙන්න බෑ.

ඒත් කතරගම ගිහිං
අරක්කු බීල ඌරු මස් කාල ගිනි පෑගුව නිසා
වෙන මොනවා හරි නරකක් වුණා නම් අපි දන්නෙ නෑ.
වෙන මොනවා හරි නරකක් වුණා නම් ඔහු දන්නෙත් නෑ...
අර මිනිස්සු දන්නෙත් නෑ.
එහෙම වුණා නම් දෙවියො ඉන්නවා කියන්න පුලුවන්ද?
ඒ නරක වුණේ දෙවියන්ගෙන් නොවෙයි කියන්න පුලුවන්ද.?
ඒ නරක වුණේ දෙවියන්ගෙන් කියන්න පුලුවන්ද.?

මම වගේ කෙනෙක්
අරක්කුත් බීල ඌරු මසුත් කාල ගිනිත් පෑගුවා නම්
ආයෙ කවුරුවත් මොකුත් අමුතුවෙන් කරන්න ඕන නෑ.
ඒ විඳින වද වේදනා හොඳටම ඇති.
විෂ්ණු බටකොළ කෑවා වගෙයි.

පාදෙණියට අනුව වසර පහක් කාලෝ සභාපති.
ඒත් ඔහුට සභාපති කම නැති වුණා.

දේව භක්තිකයෝ කිව්වොත් සභාපති කම නැති වුණේ
''කාලෝ අරක්කු බීල ඌරු මස් කාල ගිනි පෑගුව නිසා'' කියලා
නාථ දෙවියො පිළිගන්න පාදෙණිය වුණත්
ඒ මිනිස්සු කියන එක  පිළිගනීවි.

නාථ දෙවියො නෑ කියලා පාදෙණියට පිළිගන්වන්න
කාලෝ ෆොන්සේකාට පුලුවන්ද?

නාථ දෙවියො ඉන්නවා කියලා
කාලෝ ෆොන්සේකාට පිළිගන්වන්න
පාදෙණියට පුලුවන්ද?

කාලෝ අද ඉන්නෙත් එදා උන්න තැනමයි.
ඔහු ඔප්පු කළ දෙයක් නෑ.
කතරගම දෙවියො නෑ කියා
ඔහු ඔප්පු කරලා නෑ.

4
කාලෝගෙ මේ පරීක්ෂණයෙන්
ඔප්පු වෙන්නෙ එකම දෙයයි.
අරක්කු බීල ඌරු මස් කාල ගිනි පෑගුවාට
මිනිස්සු කියන විදියෙ හානියක් වෙන්නෙ නෑ.

කාලෝ පරීක්ෂා කරන්නෙ ඒ ප්‍රකාශය විතරයි.
කතරගම දෙවියො නෑ කියා ඔහු ඔප්පු කරලා නෑ.

ඒත් ඒ කතාව බොරු වුණා කියලා
''කතරගම දෙවියෝ ඉන්නවා'' කියල හිතන මිනිස්සු
අබමල් රොණකින්වත් වෙනස් වෙන්නෙ නෑ..

ඒ මිනිස්සු කාලෝට කියාවි...
"හරි කාලෝ, ඒ කතාව බොරු තමයි..
ඒත් අනික් කතා ඔක්කොම ඇත්ත"
කාලෝට කට උත්තර නැති වෙනවා.

ඒ එක එක්කෙනාට දෙවියො ඉන්නවා කියන්න
ඕන තරම් හේතු තියන දිග ලැයිස්තු තියනවා.

ඔහුට ඒ කතා එකින් එක බොරු කරන්න වෙනවා.
කාලෝගෙ ජීවිත කාලෙත් මදි වේවි.

කාලෝ මහාචාර්ය වුණා කියලා
උපන් ගෙයි මෝඩකම් නැති වෙන්නෙ නෑ.
මේ කතාවත් මේ වැඩෙත් අමු මරි මෝඩ වැඩක්.
මේ වගෙ මෝඩ වැඩක් කරන්න
මහාචාර්ය කෙනෙක්ම වෙන්න ඕන.
අපි ඔය තැනට වැටෙන්නෙ නෑ.

මිථ්‍යා විශ්වාස බොරු බව
කවදාවත් ඔප්පු කරන්න බැහැ.
අන්ධයෙකුගෙ අඳුර නැති කරන්න බෑ.

මේ වගේ විශ්වාසයක් ගත්තාම
කාලෝ ෆොන්සේකාත් හැසිරෙන්නෙ අන්ධයෙක් වගේ.

ඔහුත් අර අන්ධයො ඉන්න තැනම තමයි ඉන්නෙ.

අනිත් අන්ධයෝ
''දෙවියො ඉන්නවා'' කියලා විශ්වාස කරනවා.
අන්ධ කාලෝ ''දෙවියෝ නෑ'' කියල විශ්වාස කරනවා.

''දෙවියෝ නෑ'' කියලා දෙගොල්ලටම
නිශ්චිතව පෙනෙන්නෙ නෑ.

දෙවියො විශ්වාස කරන අයට
''දෙවියො ඉන්නවා'' කියලා තර්ක තියනවා.
කාලෝටත් ඒ වගේම ''දෙවියො නෑ'' කියල
ඔහු හදාගත් තර්ක තියනවා.

'දෙවියො ඉන්නවා' කියන මිනිස්සුත් එක්ක
මුළු ජීවිතේම ගැටුම් ඇති කර ගත්තත්
ඔවුන්ගෙ අන්ධ භාවය නැති වෙන්නෙත් නෑ...
කාලෝගෙ අන්ධ භාවය නැති වෙන්නෙත් නෑ.

''දෙවියෝ නෑ'' කියලා දෙගොල්ලටම
නිශ්චිතව පෙනෙන්නෙ නෑ.

5
කාලෝ තරුණ වයසෙ ඉඳලා
මේ දක්වා මුළු ජීවිතේම උත්සාහ කළත්
තව කල්ප ගාණක් උත්සාහ කළත්
ආකිමිඩීස් ''යුරේකා'' කියාගෙන දිව්වා වගේ
ජයග්‍රාහී අවස්ථාවක් ලැබෙන්නෙ නෑ.

කාලෝ ''දෙවියො ඉන්නවා'' කියලා විශ්වාස නොකළාට
විශ්වාස කරන මිනිස්සුන්ට කිසිම ප්‍රශ්නයක් නෑ.
ඔක්කොම ප්‍රශ්න තියෙන්නෙ කාලෝටයි.

ඔහුට මහාචාර්ය කමක් තියන නිසා
ඒ මහාචාර්යකම මත ඔහු විශ්වාස කරන
කතරගම දෙවියන්ගෙ ගෝලයෝ වගේ
අන්ධයන් පිරිසක් ඔහු පසු පස යනවා.
ඒ පිරිස සනසන්න ඔහු ඒ මහාචාර්ය කම
පොලිෂ් කරන්න මේ වගේ මෝඩකම් කරනවා.

අඳුරත් එක්ක පොර බදලා අඳුර නැති කරන්න බෑ.
අඳුර නැති කරන්න නම් ආලෝකය අවශ්‍යයි.

ආලෝකය ගෙනාවම අඳුරෙ ඉන්න
ඇස් ඇති මිනිස්සු සත්‍යය පසක් කරනවා.

කතරගම දෙවියෝ හිටියත් එකයි නැතත් එකයි.
ඉන්නවා කියල හිතන අන්ධයො ඉන්නවා කියපුවාවෙ.
නෑ  කියල හිත අන්ධයො නෑ කියපුවාවෙ.
කවුරුවත් දෙවියෝ ඉන්නවා කියල දැකලත් නෑ.
දෙවියෝ නෑ කියලා දැකලත් නෑ.

දෙවියෝ ඉන්නවාද නැද්ද කියා දනගන්න
මේ ලෝකෙ තියන එකම ක්‍රමය විපස්සනාවයි.
විපස්සනා වඩන කෙනෙකුට තමන් හරියට පෙනෙද්දි
"මම" කියන්නෙ කවුද කියල දකිද්දි
දෙවියො නෑ කියල පෙනෙනවා.
දෙවියෝ කියන්නෙ මොනවටද කියා පෙනෙනවා.

කාලෝ අන්ධයෙක් නොවෙන්න පුලුවන්.
ඔහුත් අනික් අය වගේම අඳුරෙ අතපත ගාන
ඇස් තියන කෙනෙක් වෙන්නත් පුලුවන්.

කාලෝ අන්ධයෙක්ද කියල දැන ගන්න
ඔහු විපස්සනාවට යොමු කළ යුතුයි.

විපස්සනා කළාට පස්සෙත්
ඔහුට දෙවියන් ඉන්නවද නැද්ද කියා
'නිශ්චිත' නැත්නම් ඔහුත් අන්ධයෙක්.

ඔහු අන්ධයෙක් නොවෙයි නම් 'යුරේකා' කියාවි.
අදටත් පොකුණකට බහින කාටවත්
ආකිමිඩීස් දුටු දේ පෙනෙන්නෙ නෑ.
ඒත් පරීක්ෂණය කරන්න තරම්
විමර්ශන ශීලී අය සොයා ගන්නවා.

විපස්සනා වඩන අයත්
ඇත්ත සොයා ගන්නවා.
දෙවියො ඉන්නවද නැද්ද කියල සොයන්න බෑ.
ඒත් ඇත්තටම තියෙන්නෙ මොනවද කියල
සොයා ගන්න පුලුවන්.

දෙවියො පස්සෙ යන මිනිස්සු
දෙවියො පස්සෙ යන්න ඔවුන්ට ඇති වෙන
දුක් කරදර වලින් මිදෙන්නයි.
දෙවි කෙනෙක් නැතුව ඒ ටික කරගන්න පුලුවන් අයට
දෙවියො අවශ්‍ය නෑ.
දෙවියො අවශ්‍යයි කියන අයට
අකුල් හෙළන්න ඕනත් නෑ.

විපස්සනා කරන කෙනෙක්
දුක පිළිබඳ ඇත්ත දකිනවා.
විපස්සනා කියන්නෙ
දුකෙන් මිදෙන විදිය තමයි.
දුකයි මිදීමයි දෙකම ඔහු අත්දකිනවා.

ඔහු සංකල්පත් සංකල්ප විදියට දකිනවා.
සංකල්ප බොරු කරන්න යන්නෙ නෑ.
කරන්න බැරි බව දන්නවා.

ඔහු ඇත්ත දකිනවා..
ඔහු දකින ඇත්ත
අනික් අයට නොපෙනුණා කියා
ඔහුට ගැටලුවක් නෑ.

කැමති අය දකින්න යොමු කරනවා.
දකින්න යොමුවෙන කෙනා අන්ධයෙක් නොවෙයි නම්
ආලෝකය ඔහු තුළ දැල්වෙද්දි
ඇත්ත පෙනෙන බව ඔහු දන්නවා.

6
කාලෝට පෙනෙන දෙයක් නෑ.
ඔහුත් අන්ධ භක්තිකයෙක්.

බුදුන් වහන්සේ දැක්ක දෙයක් තියනවා.
ඒ මාර්ගයෙන් ගියොත් තව කෙනෙකුටත්
ඒ දේ ඒ විදියටම දකින්න පුලුවන්.,

බුදුන් වහන්සේ දැක්ක දේ ඇත්ත බව
විපස්සනා කරන කෙනෙකුට දකින්න පුලුවන්.

කාලෝ සංකල්ප පස්සෙ යද්දි
ආකිමිඩීස් විසඳුමක් හොයනවා.
සොයා ගත්තාම "යුරේකා" කියනවා.

ආකිමිඩීස් ''යුරේකා' කියද්දි
බුදුන් වන්හසේ ''අනේක ජාති සංසාරං'' කියනවා.

හරියට විපස්සනා කරන කෙනෙකුට
දෙවියන් විතරක් නොවෙයි
''මම'' කියා කෙනෙකුත් නෑ... කියල
ආනාපාන සතිය වඩද්දිම වැටහෙනවා.

දෙවියො නෑ..
දෙවියො කියන්නෙත් "මම" වගේම සංකල්පයක්.

ඒත් මේ ලෝකෙ කිසිම කෙනෙකුට
දෙවියො නෑ කියලා ඔප්පු කරන්න බෑ.

මිනිස්සු සංකල්පයක් හදාගත්තාම
ඒක ඉවත් කරන්න  වෙන කෙනෙකුට බැහැ.
එහෙම ඉවත් කරන්න යන කෙනාටත්
වලට බහින්න වෙනවා.

කාලෝත් ඉන්නෙ විශ්වාස කරන
අන්ධයා ඉන්න වලේමයි.
කතරගම දෙවියො නෑ කියලා
තර්ක කරන පිරිසක් ඉන්න සංකල්ප වලට
කර වටක් බැහැගෙන ඔහුත් තර්ක කරනවා.

කාලෝ වගේ හිතන අන්ධයො කොටසක්
ඔහු පිළිගන්නවා.
ඒ අන්ධ භක්තිකයො ''දෙවියො නෑ'' කියල අදහනවා.

දෙපැත්තෙම ඉන්න
අන්ධ ගෝල බාලයො පිළිගන්නෙ
තමන්ගෙ අන්ධ ගුරා කියන නිසයි..

"කතරගම දෙවියො ඉන්නවා" කිව්වත්,
"කතරගම දෙවියො නෑ" කිව්වත්,
එක අන්ධයෙක් තව පිරිසකට කණ වැල අල්ලනවා.

ආර්ය ශ්‍රාවකයා ඔය දෙපිරිසටම අයිති නෑ.

ඔහු සියල්ලම දැකල නෑ..

ඒත් අඳුරෙ ඉන්න
'ඇස් තියන කෙනෙකුට'
එකම එක අකුණකින් වුණත්
'අඳුර කියන්න මොකක්ද
ආලෝකය කියන්නෙ මොකක්ද' කියා
සියයට සියයක්ම වැටහෙනවා.

එක ක්ෂණයකට
සම්මා සතිය පිහිටුවා ගන්නා කෙනෙක්
එතැන් පටන් නිවන් මාර්ගයට වැටෙනවා.

'ආලෝකය කියන්නෙ මොකක්ද' කියා
සියයට සියයක්ම වැටහෙන
අඳුරෙ ඉන්න 'ඇස් තියන කෙනෙක්'
ආර්ය ශ්‍රාවකයෙක්.

කල්ප ලක්ෂ ගාණක් සසරෙ හිටියත්
ආලෝකය දැක්කාම හඳුනා ගන්නවා.