20151203

ඔබ නිරෝගී වෛද්‍යවරයෙක්ද?

ඔබ ඔබේ නිදහස් කාලය වැය කරමින්
වෛද්‍ය විද්‍යාව වැඩිදුර හදාරන්නේ
රෝගීන් සුවපත් කරන්නටයි කියා සඳහන් වෙන
මේ සුවිශේෂී ප්‍රකාශය ඔබට අදාළවත්
සත්‍යද කියා විමසා බලන්න.


ඔබ වෛද්‍යවරයෙක් වුණේ
රෝගීන් සුවපත් කිරීමටද?

ඔබ වෛද්‍යවරයෙක් වුණේ
රෝගීන් සුවපත් කිරීම
අන් සියලු රැකියාවන්ට වඩා
ඔබට ප්‍රිය වූ නිසාද.?

රෝගීන් සුවපත් කිරීම මගේ කාර්යයයි..
මම එය හොඳින් ඉටු කරමි"යි සිතා
ඔබ තෘප්තිමත්වී තිබේද?

රෝගීන්ට ප්‍රතිකාර නියම කොට පිටත් කළ පසු
ඔවුන් සුවපත් වීමෙන් ඔබ සතුටු වෙනවාද?
නැත්නම්
ඔවුන් නැවත එම රෝගයටම ප්‍රතිකාර ගැනීමට
ඔබ වෙත පැමිණීමෙන් සතුටු වෙනවාද?

ඔබ වෛද්‍යවරයෙක් වීම නිසා
උද්දාම වූ ඔබේ දෙමාපියන්, දරුවන්,
හිත මිතුරන්, නෑසියන් සහ
අහම්බෙන් ඔබ හඳුනාගත්තවුන් කිසිවෙක්
කවදාවත්ම
ඔබ නිසා සුවපත් වූ රෝගීන් ගැන විමසා ඇත්ද?

මෙතෙක් ඔබ සුවපත් කළ රෝගීන් ගැන
ඔබ ඔවුන් සමග කී වරක් පවසා ඇත්ද?

ඔබ රැකියාවට කරන්නේ
රෝගීන් සුවපත් කිරීම බව සිහි කරන,
ඒ නිසා ඔබ අගය කරන කීදෙනක්
ඔබේ ජීවිත කාලය තුළ
ඔබට හමුවී ඇත්ද?

ඔබ නිසා සුවපත් වූ රෝගීන් ගැන
කිසිවක් නොදන්නා ඔවුන්
ඔබ ගන්නා වාහනය,
ඔබ තනන හෝ තැනූ නිවස බලා
ඔවුන් ඔබ හා එක්ව සතුටු වෙන ප්‍රමාණය අනුව
ඔබත් අභිමානයෙන් උදම්වෙනවාද?

ඔබට සමාජයෙන් ලැබෙන ගරු සැලකිලි,
ඔබට පහසුවෙන් උපයාගත හැකි මුදල්,
ඒ මුදලින් ලබන සුඛ විහරණ නැත්නම්
ඔබ රෝගීන් සුවපත් කිරීම දිගටම කරනවාද?

ඔබ ඉදිරිපිටට පැමිණෙන රෝගියෙකුගෙන්
ඔබ අනිවාර්යයෙන්ම
ඔහුගේ රැකියාව හා ආදායම් තොරතුරු
විමසන්නේ ඇයි?

ඔහුගේ රැකියාව වැදගත්වෙන්නේ
රෝග නිර්ණයට හා ප්‍රතිකාර වලටද?
නැත්නම් භෞතික සම්පත්වලට ආශාවෙන් ඔද්දල්වූ
ඔබේ රෝගී සිත සුවපත් කරගන්නට
ඔහු යාත්‍රාවක් කරගන්නටද?

ඔබ ප්‍රතිකාර කළ රෝගියෙක්
වෙනත් වෛද්‍යවරුන් සොයා නොයන්නට
ඔබ සකස් කරන උපක්‍රම තියනවාද?

ඔබ ප්‍රතිකාර කළ රෝගියෙක්
වෙනත් වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ගෙන
සුවපත් වූ විට ඔබ සතුටු වෙනවාද?
එසේ නැත්නම්
ඔබට ඒ රෝගියා ගැන සහ
වෛද්‍යවරයා ගැන ඇතිවෙන හැඟීම කුමක්ද?

ඔබේ නෑසියන්ට, හිතවතුන්ට හෝ
ඔබ නොමිලේ ප්‍රතිකාර කරනවාද?

වියදම් දැරිය නොහැකි කෙනෙකුට
නොමිලේ ප්‍රතිකාර කොට තිබේද?
එසේ නොමිලේ ප්‍රතිකාර කළ හැකිද?

ප්‍රතිකාරයට මුදලක් නියම නොකරන
දෙන මුදල ගැන නොබලන
සමහර ආයුර්වේද වෛද්‍යවරුන් මෙන්
ඔබට  රෝගීන් සුවපත් කිරීම කරන්නට වුණොත්
ඒ කාර්යය දිගටම කළ හැකිද?
ඔබ ඔවුන් ගැන දරන ආකල්පය කුමක්ද?

ඔබ වෙත ගෙන එන්නට නොහැකි
අසාධ්‍ය රෝගියෙකු බලන්නට ඔබ යනවාද?
ඒ නිවසට යන්නට
නියරක් දිගේ ගොස් කන්දක් නගින්නට වුවහොත්
ඔබ ඔහු බලන්නට යනවාද?
අමතර කීයක් අය කරනවාද?

ඔබේ වාහනයේ වර්ගය සහ මොඩලය
ඔබේ ජීවිතයෙන් කොපමණ ප්‍රමාණයක්
වසා පැතිර ඇත්ද?
වාහනය ඔබේ ජීවිතයෙන් ඉවත් කළොත්
ඔබේ හිතේ ඇතිවෙන හිස්තැන කොපමණද?
ඔබ මානසිකව අංග විකල නොවනු ඇතිද?

වෛද්‍යවරයෙකු වීමෙන් පසුව
ඔබ බස් රියෙන් හෝ ත්‍රීවීලරයකින්
එදිනෙදා ගමන් බිමන් ගොස් තියනවාද?
අවැසි විටෙක එසේ ගමන් කරන්නට
ඔබට චිත්ත ධෛර්යය තිබේද?
ඔබට තියන වාහනය ගැන තෘප්තිමත්ද?
ඔබ දැන් සිහින මවන වාහනය කුමක්ද?

වාහන බලපත්‍ර උදෙසා වැඩ වර්ජනය කරන
සහෝදර වෛද්‍යවරුන් පිළිබඳව
ඔබේ ආකල්පය කුමක්ද?
ඔබේ ආකල්පය
ඔවුන්ගේ ආකල්පයට විරුද්ධ නම්
ඔබට ඒ ආකල්පය
ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ හැකිද.?
එසේ කළහොත් ඔබට අත්වෙන ඉරණම කුමක්ද?

මගේ මේ ප්‍රශ්න වලට පිළිතුරු සිතන විට
ඔබට ඔබ ගැන ඇතිවෙන හැඟීම කුමක්ද?
ඒ පිළිතුරුම සහිත වෙනත් මිනිසුන් ඇත්නම්
ඔබට සාපේක්ෂව ඔහු ගැන නොසිතා
ඔහුට ගරු කළ හැකිද?

ඔබේ ඇතුළාන්තයට මෙසේ එබී බලන
මා ගැන ඔබට ඇතිවෙන්නේ කෝපයක්ද?
සතුටක්ද?

ඔබට මා ගැන ඇතිවූ හැඟීමම
ඔවුන් තුළත් ඇති කරන්නට සිතාගෙන
ඔබේ හිතවත් වෛද්‍යවරුන් අතර
මේ සටහන බෙදාගන්නවාද?
එසේ බෙදාගන්නවා නම්
මේ සටහන,දඬුවමක්, නින්දාවක් හෙළා දැකීමක් වෙන
මිතුරු වෛද්‍යවරුන් කීදෙනෙක් ඔබ දන්නවාද?
මේ සටහන ප්‍රසංශාවක් වන්නේ
මිතුරු වෛද්‍යවරුන් අතුරෙන් කවර වෛද්‍යවරුන්ටද?
ඔබ අයත්වන්නේ කුමන කුලකයටද?

ඔබ
උදෑසන සිට රාත්‍රිය වෙනතුරු
රෝගීන් සුවපත්කොට මුදල් උපයන යන්ත්‍රයක්ද?
රෝගීන් සුවපත් කොට ඉන් තෘප්තිමත්ව
ලද දෙයින් තුටු වී සුවසේ වසන
උතුම් මිනිසෙක්ද?

එවැනි උතුම් මිනිසුන්ට
ඔවුන් සුවපත් කළ සියලු රෝගීන් වෙනුවෙන්
ශීර්ෂ ප්‍රණාමයෙන් වන්දනා කරමි.
ඔවුන්ගේ සත් කාර්යය
තවත් හොඳින් කරන්නට හැකිවෙන ලෙස
ඔවුන්ට නිදුක් නිරෝගී සුව සහ
දිගායු පතමි.