20170810

සයිටම් විරෝධය මොළයේ විකෘතියකි.

බුද්ධිමත් පැහැදිලි කිරීම් වලට වඩා
කූට උපක්‍රම ශීලී උපාය මාර්ගවලින්
පොදු ජනතාව අන්දන ආකාරයේ
පදනමක් නැති පුහු තර්ක විතර්කවලට සහ
සෙනග මවා පෙන්වන වර්ජන උද්ඝෝෂණ වලට
කලක් තිස්සේ ඇබ්බැහි වූ සයිටම් විරෝධය
කල් ඉකුත් වෙන තුරුම දිනූ දෙයක් නැතිව
ජනතාව ඉදිරියේ පාරාජිකා වෙමින්
කෙමෙන් තුනී වෙමින් යන බව පෙනීයයි.

මේ ගැටළුවට පිළියමක් ලෙස
ප්‍රාදේශීය මට්ටමෙන් රෝහල් ආශ්‍රිතව
සයිටම් විරෝධී ගිනි ඇවිලීම් කරමින්
දුම් ගැසීම නොකඩවා කරන්නට
සයිටම් විරෝධයෙන් ලාභ ලබන පිරිස
පෙළඹෙමින් සිටිති.

රජයේ වෛද්‍ය සංගමය
දිවා රෑ නොබලා කොතෙක් උත්සාහ කළද
වෛද්‍ය සිසුන් තරම් පහසුවෙන්
පොදු ජනතාව මේ මත්ද්‍රව්‍යයට
ඇබ්බැහි කරගන්නට ඔවුන්ට නොහැකි විය.

සයිටම් විරෝධය
ප්‍රියජනක ප්‍රතිලාභ ලබාදෙන
කායික හෝ මානසික උත්තේජකයක් වන්නේ
වෛද්‍යවරුන්ට සහ වෛද්‍ය සිසුන්ට පමණි.
ජවිපෙ හා අන්තරේ ඇබ්බැහි වීම් සහ
ඔවුන් බලාපොරොත්තු වෙන ප්‍රියජනක ප්‍රතිලාභ වන
පුද්ගලික අධ්‍යාපනයට එරෙහි වීම නිසා
දෙපිළටම අවශ්‍ය කායික හෝ මානසික උත්තේජකය
එකිනෙකාට ගැලපීම අරුමයක් නොවේ.

අනතුරක අවදානම නොසලකා
පෙළඹීමක් මත ක්‍රියා කරන්නට
කෙනෙක් පුරුදු කරන ආකාරයේ මොළයේ විකෘතියක්
සයිටම් විරෝධයෙන් සිසුන් තුළ ඇති කළ හැකි බව
ඔවුන් සයිටම් විරෝධයට ඇබ්බැහි වීම අනුව
අපට වටහා ගත හැක.

ඇබ්බැහියක් යනු
ප්‍රියජනක ප්‍රතිලාභයක් ලබාදෙන
කායික හෝ මානසික උත්තේජකයකට
නැවත නැවත ගොදුරු වීම නිසා
අනතුරක අවදානම නොසලකා
ඒ පෙළඹීම මත ක්‍රියා කරන්නට
කෙනෙක් පුරුදු කරන ආකාරයේ
මොළයේ විකෘතියකි.


ඇබ්බැහියක් යනු
ප්‍රියජනක ප්‍රතිලාභ සඳහා
පොළඹවන සුළු උත්තේජයකට
නැවත නැවත ගොදුරු වීමකි.

ඇබ්බැහියක් යනු
අනතුරක අවදානම නොසලකා
ප්‍රියජනක පෙළඹවීම මත
යළි යළිත් ක්‍රියා කිරීමකි.

ඇබ්බැහියක් යනු මොළයේ විකෘතියකි.

සයිටම් විරෝධයද ඇබ්බැහියක් බවට
පත් වෙමින් පවතීද පත්වී අවසානද යන්න
එක් සිසුවෙකුගෙන් තවත් සිසුවෙකුට වෙනස් වෙයි.

සයිටම් විරෝධයට ඇබ්බැහි වූවන්ට
දැන් ඇත්තේ අවි අතට ගැනීම පමණකැයි
සයිටම් විරෝධී ප්‍රචාරක සංගමය
විශ්වාසයෙන් යුතුව ප්‍රකාශ කරන්නේ
ඇබ්බැහි කිරීම සාර්ථක බවට
ඔවුන් තුළ ඇති විශ්වාසයයි.

සයිටම් විරෝධී ක්‍රියාවලියෙන් ලබන
ප්‍රිය ජනක ප්‍රතිලාභ මොනවාද?

තරුණ වයසේදී ස්වභාවයෙන්ම
පොළඹවන සුළු උත්තේජකයක් වන
ක්‍රීඩා කිරීම් කෑකෝ ගැසීම් ආදියෙන්
කායිකව ක්‍රියාශීලී වීමෙන් ලබන මානසික තෘප්තිය
ඔවුන් ලබන ප්‍රතිලාභයකි.

පාගමන්, විරෝධතා, කඩා පැනීම්
උද්ඝෝෂණ වලට සහභාගි වීම් ආදියත්
නොනිදන අරගල වලදී යෙදෙන
ගී ගැයීම්, නැටීම්, බජව් දැමීම් ආදියත්
සයිටම් විරෝධියා කායිකව පොළඹවන්නට
අවශ්‍ය තරමටත් වඩා එහි ඇත.
කඳුලු ගෑස් කෑම, වතුර නෑම,
පොලීසියෙන් ගුටිකෑම සුරතාන්තයයි.

මානසික උත්තේජක වල කෙළවරක් නැත.
අනතුරේ වැටෙන රෝගී ජීවිත බේරා ගැනීම.
නිදහස් අධ්‍යාපනය රැක ගැනීම.
අධ්‍යාපනය මුදලට විකිණීම නතර කිරීම.
උපාධි කඩ වසා දැමීම.
වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය රැකීම.
වෛද්‍ය වෘත්තියේ ප්‍රමිතිය රැකීම.

මේ සියල්ලටම වඩා වෛද්‍යවරුන් සහ
අනාගත වෛද්‍ය වරුන් පොළඹවන සුළු
වඩාත්ම ප්‍රතිලාභ කාරක උත්තේජකය
රජයේ පීඨවලවෛද්‍ය වෙළඳුන්ට පමණක්
සෞඛ්‍ය වෙළඳපල සීමා කර ගැනීමයි.

මේ කායික මානසික උත්තේජක
කලක් තිස්සේ වරින් වර ලබාදී
සයිටම් විරෝධයට සිසුන් ඇබ්බැහි කළ
වෛද්‍ය සංගමය විටින් විට වර්ජන කරමින්
සිසුන්ට උත්තේජක සැපයූහ.

ජනතා විරෝධය වැඩි වීම නිසා
වෛද්‍ය වර්ජන අසාර්ථක වන්නට විය.
සිසු විරෝධයද කුරුවල් වන ආකාරයට
උද්ඝෝෂණ වලට කල් යල් බලා කළ පහර දීම්
සිසු නායකයන් සිරගත කිරීම් ආදියෙන්
සයිටම් විරෝධී ඇබ්බැහි වීම
ජනපති ඇතුළු රජය විසින් අවුල් කිරීම නිසා
සයිටම් විරෝධය කුරෝලු විය.

සයිටම් විරෝධී ජනපවුරත්
විහාර මහා දෙවි උයනට සීමාවිය.
ජවිපෙ සමාජිකයන් හැර වෙනත් කිසිවෙක්
සයිටම් විරෝධී ජනපවුර
සීරියස් ගත්තේ නැත.

සියල්ල අංජ බජල් වෙන විට
දැන් ප්‍රාදේශීය මට්ටමෙන්
සයිටම් විරෝධය ඇබ්බැහි කරන්නට
සයිටම් විරෝධීන් ක්‍රියා කළද
ඔවුන්ගේ ග්‍රහණයන් ගිලිහෙමින්
දිනෙන් දින පිරිහෙන සයිටම් විරෝධය
මළගිය ප්‍රාණ කාරයෙක් ලෙස හෝ
කලක් අප පසුපස එනු ඇත.