20130313

පොදු චෝදනා සහ පෞද්ගලික චෝදනා



සමූහයක් වුණාම
සාමාජිකයන් එකිනෙකාට
සමානාත්මතාවයෙන්
ගරුකළ යුතුයි.
Facebook සමූහයක් වුණත්
මේ මූලධර්මය වෙනස් නොවිය යුතුයි.

විෂය දැනුම හෝ
වෘත්තීය සුදුසුකම් මත
අන් අය ඉක්මවා ගිය පමණින්
තවත් කෙනෙක් හෙළා දැකීමට
නිර්දය ලෙස විවේචනයට,
රළු පරළු විදියට සැලකීමට
කිසිම සාමාජිකයෙකුට
විශේෂ අයිතියක් නැහැ.

විෂය දැනුම හෝ
වෘත්තීය සුදුසුකම් මත
ගරුත්වය ඉල්ලා සිටීමට
හෝ බලාපොරොත්තුවීමට
සාමාජිකයන්ට අයිතියක් නැහැ.
කෙනෙක් එයට සුදුසු නම්
සුදුසු පුද්ගලයන්ගෙන්
ගරුත්වය ලැබේවි.
එහෙම ගරුත්වයක් ලැබුණත්
ඒ විදියට
එක් පිරිසකගෙන් ලැබෙන පිළිගැනීම
ඉතිරි පිරිස මත බලපෑමට ලැබුණ
අවියක් හෝ බලයක් ලෙස සිතීම
අනුවණ කමක්.
ඔහු ඒ ලබන ගරුත්වය
එකාවන්ව ඔහුට ලබා දෙන්න
සමූහයෙ සියල්ලන්ම බැඳිලා නැහැ.

එසේ ගරු කිරීමට
කොන්දේසි විරහිතව
සියලු සාමාජිකයන් බැඳී සිටින
ඇඩ්මින්වරුන් පවා
සාධාරණත්වයෙන් තොරව
ඇඩ්මින් කමේ බලය මතම
තීරණ ක්‍රියාත්මක කරන විට
මේරූ සාමාජිකයන් අතර
අප්‍රසාදයට පත්වෙනවා.

තමන් ඉන්න තැන හෝ
තමන් හිතෙන් හදාගෙන ඉන්න තැන
ගැන ආත්ම මානයෙන් හිතලා
අනික් සාමාජිකයන්ට
පහත් විදියට සලකන කෙනෙක්
හෝ කීප දෙනෙක් නිසා
ඒ හැසිරීම් මුල් කරගෙන
සමූහයක ඇතිවෙන
බාල මට්ටමේ සංවාද නිසා
මුලු සමූහයම අපහසුවට පත් වෙනවා.
ආරවුලට සම්බන්ධ නැති
සාමාජිකයන්ගේ පවා සිත් රිදෙනවා.
අපහසුතාවයන් දරාගත නොහැකි
සියුමැලි සාමාජිකයන්
සමූහය හැර යනවා.
පුළුල්ව සිතන විට
සමූහයෙ ප්‍රතිරූපයටත්
හානි වෙනවා.

එවැනි තත්වයන්ට
කුමක් හෝ විසඳුමක්
සමූහයක් වශයෙන් පොදුවේ හෝ
පුද්ගලිකව සොයා ගත යුතුයි.
 -------------------------------

පොදුවේ සිදුවෙන වැරදි හා
පුද්ගලිකව සිදුවෙන වැරදි වශයෙන්
දෙයාකාරයක වැරදි සිදුවෙනවා.

පොදු චෝදනාවක් කියන්නෙ
ඒක් සාමාජිකයෙක්
තවත් සාමාජිකයෙකුට කරන නමුත්
සමූහයට පොදුවේ බලපාන
සමූහයටම පොදු වැරදි ගැන
සමූහය තුළ සාකච්ඡා කිරීම.
.
එවැනි වරදක්
බැලූ බැල්මට අවුලක් නොවුණත්
සමූහය විකාරයක්
විහිලුවක් බවට පත් වෙන
සමූහයටම පොදුවෙ බලපාන
පුළුල් වැරැද්දක් නම්
පොදු වැරැද්දක් වශයෙන්
සැලකිය හැකියි..

එවැනි පොදුවෙ බලපාන
වැරදි සිදු වෙන අවස්ථාවල
සමූහයට නොදන්වා, පුද්ගලික මට්ටමෙන්,
පුද්ගලික පණිවිඩ මගින්
ප්‍රශ්නය විසඳා ගන්නත් පුලුවන්.
එහෙත් ඒ ක්‍රමයෙන්
රිදුණු හිත් සමනය වෙන්නෙ නෑ.
සමූහයෙ අනික් අය
පාඩමක් ඉගෙන ගන්නෙත් නෑ.

ඒ නිසා පොදු වැරදි පිළිබඳව
ප්‍රසිද්ධියෙ සාකච්ඡා කළ යුතුයි
කියල හිතනවා.
-------------------------------

පුද්ගලික වරදක් කියල කියන්නෙ
සමූහය තුළ කටයුතු කිරීමෙදි
එක් සාමාජිකයෙක් විසින්
තව සාමාජිකයෙකුට කළායැයි කියල
ඔහු හිතන අසාධාරණයක් .

ඒ පුද්ගලික අසාධාරණය
නිතර ඔහු දකින,
නිතර සමූහය තුළ පොදුවෙ සිදුවෙන
ප්‍රසිද්ධ වරදක් නම්
එයත් ප්‍රසිද්ධියේ කතාකළ යුතුයි
කියල මම හිතනවා.

කෙනෙක් දකින විදියට
අසාධාරණයක් කියල ඔහු හිතුවට
ඔහුට සැබැවින්ම අසාධාරණයක්
නොවුණා වෙන්නත් පුලුවන්.
ඒත් ඔහු එහෙම හිතනවා නම්
ප්ළමුව එම ගැටළුව
පුද්ගලිකව විසඳාගැනීමට
ඔහු උත්සුක විය යුතුයි..
ඔහුගෙ දුක් ගැනවිල්ල
පළමුව අදාළ පුද්ගලයාට දන්වා,
ඔහු නොසලකා හැරියොත්
ඇඩ්මින්වරුන්ට පුද්ගලිකව දැන්වීම
ප්‍රමාණවත් විය හැකියි.

ඇඩ්මින්වරුන්ටත් එය විසඳීමට
නොහැකි වූ අවස්ථාවක
අදාළ පාර්ශව දෙකෙන් එකක්
අනිත් පාර්ශවය BLOCK කිරීම
ඉතා සාර්ථකයි කියන්න පුලුවන්
විශිෂ්ඨ විසඳුමක්.

පොදුවේ විසඳුමක් නැති
පොදු ප්‍රශ්නයකදි
අසාධාරණය සිදුවී
අසරණ වූ පාර්ශවය
හා එම අසාධාරණයට
විරුද්ධ වූ සාමාජිකයන් විසින්
ඒ අසාධාරණය සිදුකළ චුදිත පාර්ශවය
පොදුවේ BLOCK කරන්නත් පුලුවන්.