20150727

මරණයට කලින් නිවන ලගා කරගන්න බැරිද......?


Prabath Zoysa 
හැමෝම මැරැනට පස්සෙ නිවන් සුවය පතන්නෙ ඇයි 
මරණයට කලින් නිවන ලගා කරගන්න බැරිද......?
----------------------------------------------------------------------------------

කණ කැස්බා
විය සිදුරෙන් අහස දකිනවා වගේ
අපහසු දෙයක් ප්‍රභාත්..

කරත්තයක් කැඩිලා
ඒ කරත්තෙ වියගහ වතුරෙ පාවෙලා ගිහින්
මුහුදට වැටිලා පාවෙමින් තියන වෙලාවක
වසර සියයකට වරක්
මුහුදු පත්ලේ සිට මුහුද මතුපිටට එන
එකැස් කණ කැස්බෑවෙකුගෙ
පෙනෙන ඇහැට ඒ වියගහේ සිදුර
සකස් වෙලා අහස පෙනෙනවා වගේ
ඉතාම අසීරුවෙන් විය හැකි දෙයක්.
මේ අබුද්දස්ස කාලෙ
අද කාලෙ තියන
කරත්ත ප්‍රමාණය අනුව
ඒ අවස්ථාව තවත් අසීරුයි.

ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක්,
ප්‍රබල ශීලයක්, ප්‍රබල සමාධියක්,
ප්‍රබල ප්‍රඥාවක් අවශ්‍යයි..
සමහර අයට
ඒ ඉලක්කය කල්ප ලක්ෂ ගණනක්
දුර වෙන්න පුලුවන්.

බුදු දහමට අනුව
එක මොහොතකටවත්
දුක නිවාගන්න නොදන්න කෙනෙක්...

මේ මොහොතෙන් පටන් ගෙන
සසර දුක නිවාගැනීම දක්වා යන්න
හිතන්නවත් බැරි අභියෝගයක්.
ළදරුවෙක් තනිවම ක්‍රියා කොට
සංග්‍රාමයක් ජයගන්න
හිතනවා වගේ වැඩක්..

ඒත්
යම් ළදරුවෙක් ඒ අරමුණෙන් ක්‍රියා කළොත්
ඔහු ශීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන්
අන් ළදරුවන්ට වඩා ගව් ගණනාවක්
ඉදිරියට යන්න පුලුවන්.

ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක්,
ප්‍රබල ශීලයක්, ප්‍රබල සමාධියක්,
ප්‍රබල ප්‍රඥාවක් ඇති කෙනෙකුගේ
පාරමිතා පරිපූර්ණ වෙලා නම්
විදසුන් වැඩීම නිසි පරිදි දන්නා
ගුරුවරයෙකුත් ලැබුණොත්
ළඟා විය හැකි ඉලක්කයක්.


නිවන් දකින්න අවශ්‍ය
පළවෙනි අවශ්‍යතාවය
ජීවිතේ සැපට වඩා
දුක වැඩියි කියා
වැටහෙන්න ඕන.
ප්‍රභාත්ට අන් අයට වඩා
ඒ සුදුසුකම තියනවා.
සිය දිවි නසා ගනීමට පවා
ඔබට හිතුණ අවස්ථා තිබුණා.
ඔබ නිවන සැබැවින්ම සොයන්නෙ 
ඒ අවස්ථාවටයි.

ඒත් 
තාවකාලික විසඳුමක් තුළ
මංමුලා වීම හැරෙන්නට
නිසි මගට වැටෙන්නෙ
ඉතාම කලාතුරකින් කෙනෙක්.

ඔබේ මග නිවැරදි නම්
දුකෙන් මිදෙන්න හොයන වෙලාවට
ඔබට හමුවෙන්නෙ නිවන නොවේ.
දුක නිවන ඒකායන මාර්ගය වන
විදසුනයි.


ඔබ විදසුනට යොමුවුණොත්...
මේ මොහොතෙ පටන්ම දුක නිවා ගන්න
අවශ්‍යවන ක්‍රම වේදය,
තාක්ෂණය ඔබට ලැබෙනවා.

මේ මොහොතෙ පටන්
සමස්තයක් ලෙස ඔබේ සිතත් කයත් තුළ
මොහොතින් මොහොතට සිදුවෙන වෙනස්කම්
සිහියෙන් දකිමින්
ඒ දකින වෙනස්කම්වලට උපේක්ෂාවෙන්
විසීමට ඔබ පුහුණුවෙනවා.


ඔබ නිවැරදිව විදසුන් මගෙහි පිය නැගුවොත්
විදසුන් වඩන මොහොතක් පාසා
ඔබ නිවනට ළං වෙනවා.
ඔබේ නිවන තියෙන්නෙ ඔබේ අතෙයි.
බුදුන් වහන්සේත් කරන්නෙ
මග පෙන්වීම පමණයි..

=============================================

ඔබට සත්‍ය වූ අවශ්‍යතාවයක් ඇත්නම්
ආරම්භ කරන්න හොඳ ස්ථාන තුනක් ගැන තොරතුරු
මේ යොමුවෙන් ලබාගන්න පුලුවන්.
විපස්සනා පුහුණුව