20160313

පුහුදුන් තැනැත්තාගේ විඳීම ආර්ය ශ්‍රාවකගෙන් වෙනස් වේද?




ශ්‍රාවක නොවූ පුහුදුන් තෙමේ
සුවවේදනාවත් විඳියි.
දුක්වේදනාවත් විඳියි.
නොදුක්නොසුව වේදනාවත් විඳියි.

ආර්ය ශ්‍රාවකද
සුවවේදනාවත් විඳියි.
දුක්වේදනාවත් විඳියි.
නොදුක්නොසුව වේදනාවත් විඳියි.

ශ්‍රාවක නොවූ පුහුදුන්හු හා
ආර්ය ශ්‍රාවකගේ වෙසෙස කිමෙක් ද?
වෙනස කිමෙක් ද? .

 
ශ්‍රාවක නොවූ පුහුදුන් තෙමේ
දුක් වේදනාවෙන් පහස්නා ලද්දේ ශෝක කෙරෙයි.
ක්ලාන්ත වෙයි. වැලපෙයි. ළෙහි පැහැර හඬයි. මුළාවට පැමිණෙයි.
හෙතෙමේ කායික වේදනාව ද චෙතසික වේදනාව ද යන
වේදනා දෙකක් විඳී.

යම්සේ පුරුෂයකු හුලකින් විදිනාහු ද
ඒ මොහු දෙවෙනි හුලකිනුදු සමීපයෙහි විදුනාහු ද,
මෙසේ වනාහි ඒ පුරුෂ තෙමේ හුල කරණකොටගෙන
වේදනා දෙකක් විඳී.

 ඒ දුක් වේදනාවෙන් ම පහස්නා ලද්දේ ක්‍රෝධ ඇත්තේ වෙයි.
දුක් වේදනාවෙන් වූ ක්‍රෝධ ඇති ඒ මොහුට දුක්වේදනා වෙන්
යම් පටිඝානුසයයෙක් වේ නම් එය උපදී.
හෙතෙමේ දුක්වේදනාවෙන් පහස්නා ලද්දේ කම්සුව පිළිගනී.
කම්සුවය හැර දුක්වේදනාවේ දුරුකිරීමක් නො දනී.
කම්සුව පිළිගන්නා ඔහුට සුවවේදනාවෙන් වූ යම් රාගානුසයයෙක් වේ නම් එය උපදී.
හෙතෙමේ ඒ වේදනාවන්ගේ සමුදයයත් අත්ථඞ්ගමයත්
අස්සාදයත් ආදීනවයත් නිස්සරණයත් තතුසේ නො දනී.

ඒ වේදනාවන්ගේ සමුදයයත් අත්ථඞ්ගමයත්
අස්සාදයත් ආදීනවයත් නිස්සරණයත් තතුසේ නො දන්නා ඔහුට
නොදුක්නොසුව වේදනාවෙන් වූ
යම් අවිජ්ජානුසයයෙක් වේ නම් එය උපදී.
හෙතෙමේ ඉදින් සුව වේදනාවක් විඳී නම් (කෙලෙසුන්ගෙන්) යුතුව එය විඳී.
ඉදින් දුක් වේදනාවක් විඳී නම් යුතු ව එය විඳී.
ඉදින් නොදුක් නොසුව වේදනාවක් විඳී නම් සංයුක්ත ව එය විඳී.
මේ ශ්‍රාවක නොවූ පුහුදුන් තෙමේ
ජාතියෙන් ජරාමරණයෙන් ශෝකයෙන් පරිදේවයෙන්
දුක්ඛයෙන් දොමනස්සයෙන් උපායාසයෙන් යුතු වූයේ ය.
සියලු දුකින් යුතු වුයේ යයි කියමි.

ආර්ය ශ්‍රාවක තෙමේ දුක්වේදනාවෙන් පහස්නා ලද්දේ ම ශෝක නො කරයි.
ක්ලාන්ත නො වෙයි. නො වැල පෙයි. ළෙහි පැහැර නො හඬයි.
මුළාවට නො පැමිණෙයි.
හේ කායික වූ එක් වේදනාවක් විඳියි.
චෙතසික වේදනාව නො විඳියි.
යම්සේ පුරුෂයකු හුලකින් විදිනාහු ද
ඒ මොහු දෙවෙනි හුලකින් පළමු විදුම සමීපයෙහි නො විදුනාහු ද
මෙසේ ඒ පුරුෂ තෙමේ එක් හුලකින් වූ වේදනාව විඳින්නේ ය.
මහණෙනි, එසෙයින් ම උගත් අරීසවු
දුක් වේදනාවෙන් පහස්නා ලද්දේ ම ශෝක නො කෙරෙයි.
ක්ලාන්ත නො වෙයි. නො වැලපෙයි. ළෙහි පැහැර නො හඬයි
මුළාවට නො පැමිණෙයි.
හෙතෙමේ කායික වූ එක් වේදනාවක් විඳියි.
චෙතසික වේදනාව නො විඳියි.
ඒ දුක් වේදනාවේ ම ක්‍රෝධ ඇත්තේ නො වෙයි.
දුක්වේදනාවෙන් වූ ක්‍රෝධ නැති ඒ මොහුට
දුක්වේදනාවෙහි වූ යම් පටිඝානුසයයෙක් වේ නම් එය නූපදී.
හෙතෙමේ දුක්වේදනාවෙන් පහස්නා ලද්දේ ම කම්සුව නො පිළිගනි.
ආර්ය ශ්‍රාවක තෙමේ කම්සුවෙන් වෙන් ව
දුක්වේදනාවේ නිසසරණය දනී මැ යි, එහෙයිනි.

කම්සුව නො පිළිගන්නා ඔහුට
සුවවේදනාවෙන් වූ යම් රාගානුසයයෙක් වේ නම් එය නුපදී.
ඒ වේදනාවන්ගේ සමුදයයත් අත්ථගමයත්
අස්සාදයත් අදීනවයත් නිස්සරණයත් තතුසේ දනී.
ඒ වේදනාවන්ගේ සමුදයයත් අත්ථගමයත්
අස්සාදයත් ආදීනවයත් නිස්සරණයත් තතුසේ දන්නා ඔහුට
නොදුක්නොසුව වේදනාවෙන් වූ යම් අවිජ්ජානුසයෙක් වේ නම්
එය නුපදී.

හේ ඉදින් සුවවේදනාවක් විඳී නම් (කෙලෙසුන්ගෙන්) වෙන් ව එය විඳී.
ඉදින් දුක් වේදනාවක් විඳී නම් වෙන් ව විඳී.
ඉදින් නොදුක්නොසුව වේදනාවක් විඳී නම් වෙන් ව එය විඳී.
ආර්ය ශ්‍රාවක ජාතියෙන් ජරාමරණයෙන් සෝකයෙන් පරිදේවයෙන්
දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් වෙන් වූයේ යයි කියනු ලැබේ.
සියලු දුකින් වෙන් වූයේ යයි කියනු ලැබේ.
ශ්‍රාවක නොවූ පුහුදුන්හු හා ආර්ය ශ්‍රාවකහුගේ මේ වෙසෙසයි.
මේ වෙනස යි.
---------------------------------------------------
සල්ල සූත්‍රය.