20180131

මෛත්‍රී හිටපු ගමන් ෆෝම් වුණේ ඇයි?


මෛත්‍රී ෆෝම් වෙලා.

මැතිවරණයක් කටේ තියාගෙන
හදිස්සියෙම දුම්මල වරම අරන්
යකුන් අවුස්සාගෙන තොවිලයක් නටන්න
මෛත්‍රී ක්‍රියා කළේ ඇයි?

ඔහු මේ භූමිකාව රඟපාන්න
වසර තුනක් ගත කලේ ඇයි?

වසර තුනක් තිස්සෙ මේ වංචා දූෂණ
එකින් එක එළියට ඇද්දා නම් වෙන්නෙ කුමක්ද?
ඒ එකින් එක වෙන් වෙනව බලන්න
උසාවි වලට වෙලාවකුත් නෑ.
ජනතාවට වෙලාවකුත් නෑ.

කලින් ෆෝම් වුණානම්
රටේ ජනතාව මේ තරම් අවධානයෙන්
මේ චෝදනා ගැන හිතන්නෙ නෑ.
අනික් පක්ෂවල දේශපාලනඥයොත්
මේ වගේ ප්‍රබල සංවාදයකට
එකතු වෙන්නෙ නෑ.

දැන් ජනතාව තීරණයක් ගන්න
සූදානමින් පසු වෙනවා.
ඒ ජනතා අධිකරණයේ තීරණය
අනික් පක්ෂවල දේශපාලනඥයන්ට
තදින් බලපානවා.

මෛත්‍රී උසාවිය විදියට සලකන්නෙ ජනතාවයි.
ඔහු සමග ඉන්න මන්ත්‍රීවරු හෝ
පාර්ලිමේන්තුව ඔහුට අදාළ නෑ.

ඔහු නඩුව අරගෙන ජනතා අධිකරණයට ආවා.

පෙබ 10 වෙනිදා මැතිවරණය නිසා
තමන් ඉන්නෙ හොරු වංචනිකයෝ සමගද
යහපාලනය සමගද කියා තීරණය කරන්න
දැන් ජනතාවට අවස්ථාව තියනවා.

මේ අවස්ථාවෙ නැතුව වෙනත් වෙලාවක
වංචා දූෂණ ගැන කතා කළා නම්
ජනතාවට සති දෙකෙන් සතියෙන්
සියල්ල අමතක වෙනවා.
ඒ අපේ රටේ හැටි.

මෛත්‍රී ඒ ජනතාවට අමතක නොවෙන්න
පුංචි කාල පරාසයකට ජනතාව කොටු කළා.

"කාල වරෙල්ලා"

යහපාලනය ඕන කියලා බොරුවට කෑ ගහන
හැම පක්ෂවලම ඉන්න වංචනික පාක්ෂිකයන්ට
දැන් කියන්න පුලුවන්.
"කාල වරෙල්ලා"

වංචාවට දූෂණයට විරුද්ධ නම්
තමන්ගෙ ඡන්දයෙන් ඒ බව පෙන්වන්න
පෙබ 10දාට ජනතාව ක්‍රියා කරාවි.

ජනතාව ඉන්නෙ කොතනද කියා
අපිට එදාට දැනගන්න පුලුවන්.

ජවිපෙ නැට්ටටම අනාථ වුණේ
ඔවුන් පාර්ලිමේන්තුවෙ කෑ ගහද්දි
මෛත්‍රී ප්‍රායෝගිකව ක්‍රියා කළ නිසයි.

ජවිපෙ කටින් හිටවූ වංචා දූෂණ බතල කොල
දැන් කවුරුවත් ගණන් ගන්නෙ නෑ.

"වංචා දූෂණ නැති කරමු" කියලා
ජනතාව ඉදිරියෙ කෑ ගහද්දි
ඔවුන් මෛත්‍රීට සහය නොදෙන්නෙ ඇයි කියලා
ජනතාව කල්පනා කරනවා.
ඔවුන් තවමත් මේ වැඩ පිළිවෙලට පිටින් ඉන්නෙ.
"යුද්ධෙට නැති කඩුව කොස් කොටන්නද"

අබ කාපු අයගෙ මොලේ දනවා.
සමහර පුහුල් හොරු කරෙන් දැනෙනවා.
"හරි, පුළුවන් නම් කරල බලමු.
ප්‍රජා අයිතිය නැති කළොත් අපි බලාගන්නම්"
අප දන්නා ඉතිහාසයේ පහළවූ
බලවත්ම මැරයා ගේමට බහිනවා.
මේ කියන්නෙ උසාවියට නොවෙයි.
පැමිණිලිකරුවාටයි.

මෙතෙක් බේරිලා ඉන් හැටි
මේ වචනවල තියනවා.

කවුරුවත් දූෂණ කරලා නැත්නම්
ප්‍රජා අයිතිවාසිකම් නැති වෙන්නෙ නෑ.

කිල්ලෝට වල හුණු තියන සමහරු
රටේ ජනතාව නොමග යවන්න
"වාර්තාවල පිටු අඩුයි"
වගේ බයිලා ගායනා කරනවා.
එහෙම කියන්නෙ දැනටමත් දූෂණ නඩු
පැවරිලා තියන චුදිතයන්.

මේ වංචනිකයන් දූෂිතයන්
සමාජය හමුවට ගෙනෙන්න
මෛත්‍රී ක්‍රියා කරනවා.

කකුල් මාට්ටු වලින් වෙට්ටුවලින් ගැලවිලා
පාර්ලිමේන්තුවෙ විවාදයක් ලැබෙන තැනට
වයර් අමුණාගන්න මෛත්‍රීට හැකි වුණා.

.
පව් කාරයන්ට නිදොස් වෙන්න පුලුවන් වෙලා තියෙන්නෙ
සමාජයෙන් අති බහුතරය පව්කාරයන් නිසයි.

පව්කාරයා
තමන්ගෙ වර්ගයේ පව් කාරයන් නිදහස් කරනවා.

එක පක්ෂයක ඉන්න පවුකාරයෙක් තමන්ගෙ එකා බේරනවා.
අනික් එකාට දොස් කියනවා..

මේ ක්‍රමය වටේටම යනකොට
හැම පක්ෂයකම පවුකාරයෝ නිදහස්.

මෛත්‍රීත් මේ වගේ තමන්ගෙ පක්ෂයේ
පවුකාරයෝ නිදහස්කරනවා නම්
මේ ක්‍රමය දිගටම යාවි..

දැන්
වංචා දූෂණ ගැන ක්‍රියා කිරීම
ඒ වංචා දූෂණ කළ හොරු රජ කරන
පාර්ලිමේන්තුවටම ගෙනෙන්න මෛත්‍රී සමත් වුණා.
ඔහු ඒ අතරම නීතිමය ක්‍රියා මාර්ගත් ගන්නවා.

මෛත්‍රී බලන්නෙ දෙපැත්තෙ වැරදි කාරයො
දෙපැත්තෙ අයට භාර දෙන්නයි.
මේ "දෙපැත්තම හොරු රකිනවා" කියල
ජනතාව ඉගෙන ගත්තට පස්සෙ
මෛත්‍රීට පුලුවන් නීතියට අනුව
දෙපැත්තෙම අයට දඬුවම් දෙන්න.
ඒ සඳහා ජනතාව ඔහු සමග හිට ගත යුතුයි.

මෛත්‍රී සියල්ල සැලසුම් සහගතව
වසර තුනක් තිස්සේ රැගෙන ආවේ
මේ කූටප්‍රාප්තිය කරා නොවේද?

මෛත්‍රීගෙ ගමන නිවැරදියි.

මෛත්‍රී ගැලපෙන තැනට ඇණේ ගහනවා.