20141014

විද්‍යාවෙන් ලැබිය නොහැකි, ආගමෙන් ලැබිය හැකි ප්‍රයෝජන ....



සර්වබලධාරී විද්‍යාවෙන් ලැබිය නොහැකි,
ආගමෙන්  ලැබිය හැකි ප්‍රයෝජන කිම්දැයි අසන
නිරාගමිකයන්ටයි මේ පිළිතුර...
http://reactiongif.org/wp-content/uploads/GIF/2014/08/Angry-No-Nope-Mad-Angry-Chick-Angry-Woman-Angry-Girl.gif

ආවේග ශීලී කෙනෙක් තුළ සිදු වෙන
කාය චිත්ත ක්‍රියාවලිය විද්‍යාවේ බලපෑමට
නතු කරගන්න කවදාවත් විද්‍යාවට බැහැ.
විද්‍යාව දන්නා එකම ක්‍රමය
පුද්ගලයා රසායනිකව අඩපණ කිරීමයි.

මනෝ විද්‍යාව විද්‍යාවක් ලෙස හිතුවොත්
ගෝත්‍රික ක්‍රමයෙන්, තොවිල් පවිල් ක්‍රමයෙන් කරන විදියට
තවත් කෙනෙකු මගින් ඔහු මෝහනය කිරීමෙන්
ඔහුගෙ මනස තාවකාලිකව වෙනස් කිරීමයි..

විද්‍යාවට මිනිසා යන්ත්‍රයක්..

මිනිසාගේ ස්වාධීනත්වය
විද්‍යාව පිළිගන්නේ නැහැ.

විද්‍යාවට අනුව
මිනිසා සියලු දේ සඳහා
විශේෂ-අඥයෙකුගේ පිහිට යැදිය යුතුයි.
ඔහුගේ අඥතාවය අපිට වඩා වෙනස්.

අද ආගමික පූජකයාගේ තැන ගන්නට
දොස්තර වරුන් ඉන්ජිනේරුවන් කාර්මිකයන් ඉන්නවා.
කය නිවස පරිසරය සුවපහසු සලසන්නට
ඔවුන් සමත් නිසා
සිත පිළිබඳ දේටත් ඔවුන් මත යැපෙන්නට
පටු බොළඳ සිත් ඇති අය සිතනවා.

ඒත්
තමන්ගෙ හිත නිසා විඳින දුක් වලින්
තමන්ගෙම ශක්තියෙන්
තම හිතත් කයත් මුදවාගෙන සැනසෙන්න
හැම කෙනෙකුටම ශක්තිය තියනවා.

හිත නිසා විඳින දුක් වලින් හිතත් කයත් මුදවාගන්න
වෙනත් කෙනෙකු ළඟ දණ ගැසීම අවශ්‍ය නැහැ..
තවත් කෙනෙකුට නැමිය යුතු නැහැ.

කය සමග කටයුතු කිරීමේදී
සුව සදන ජීවකයෙක් සොයාගත හැකි වුවත්
තාවකාලිකව විනා දිගුකාලීනව
සිත සුවපත් කිරීමේ පෙළහර
වෙනත් කෙනෙකුට  කළ නොහැකියි.
සිත සපුරාම තමන්ගෙම වගකීමක්..

සිත ගැන කටයුතු කිරීමේදී
දන්නා බව පෙන්වන නමුත්
තමන්ගේ ප්‍රශ්නවත් නොදන්නා අයට
ජීවිතය භාර දී
රසායනිකව අඩපණ වීමේ අවදානමට
කිසිවෙක් මුහුණ දිය යුතු නැහැ.

හිත ඇති කරගන්නා
ඕනෑම ප්‍රශ්නයක් විසඳාගන්නට
ඒ හිත අයිති තැනැත්තාටම පුලුවන්..
ඒ හැකියාව ලැබෙන්නේ
ආගමික උපදෙස් පිළිපැදීමෙන්.

ආගමට නැඹුරු ජීවිතයක් ගත කළත්
අපරාධ කළ හැකි ද්වේශයක් සහිත
දරුණු හිතක් ඇති
අපරාධ කරල බේරෙන්න අවශ්‍ය බලයත් ඇති
කිසියම් කෙනෙක් ගනිමු.
හැම කෙනෙකු තුළම
වෙනස් ප්‍රමාණ වලින් අපරාධ කිරීමේ හැකියාව
නිසර්ගයෙන්ම පවතිනවා.

1, අපරාධ කළ හැකි කෙනෙක් වුවත්
ආගමක් අනුව හැසිරෙමින් ශීලය රැකීමෙන්
ම්නී මැරුම් ආදී අපරාධ වලින් වළකිනවා.
ඔහු ඉන් සැනසෙනවා.
එයින් තවත් අයගෙ ජීවිත රැකෙනවා.

2, ශීලයෙන් සංවර වෙන ඔහුට
අපරාධයක් කරන්න හිතෙන වෙලාවට
තමන්ගෙ හිතට එන ව්‍යාපාදය පෙනෙනවා.
ඔහු ආගමික උපදෙස් අනුව
ඒ නීවරණ වලින් හිත මුදවාගෙන
සමාහිත හිතින් වෙසෙනවා.

3, ඒ අයුරින් සමාහිත බවින් ජීවත් වුණත්
කිසියම් අප්‍රසන්න සිදු වීමකට මුහුණ දෙනවිට
ද්වේශ සහගත සිතක් ඇතිවී සමාධිය බිඳී
පෙර මෙන්ම කැළඹිල්ලට පත් වෙන බව ඔහුට පෙනෙනවා.
ඔහු විපස්සනා වඩන්න යොමු වෙන්නේ
ඒ අවස්ථාවට සිත මේරූ පසුවයි.
විපස්සනා වඩන ඔහුට
තමන්ගේ කයෙහි සහ සිතෙහි ඇති වෙන වෙනස් වීම්
මොහොතින් මොහොතට සිහියෙන් දකින්නටත්
ඒ වෙනස්වීම් වලට උපේක්ෂාවෙන් වෙසෙන්නටත්
ඔහු පුහුණු වෙනවා.

අප්‍රසන්න සිදු වීමකදී
ඔහු තුළ වෙනස්කම් තුනක් සිදු වෙන බව
ඔහු දකිනවා.

1, ඔහුගේ සිතෙහි ව්‍යාපාදය ඇති වෙනවා.

2, ඊට හේතු වෙන්නේ ද්වේශ සහගත චිත්තයයි.

3, මේ වෙනසට සමගාමීව කයෙහිත්
අප්‍රසන්න වේදනා මාලාවක් පවතිනවා.


මේ ද්වෙශය මුල්වූ කාය චිත්ත වෙනස වන
1, කයෙහි නැගෙන අප්‍රසන්න සංවේදනා මාලාව
2, ද්වේශ චිත්තය,
3, ව්‍යාපාද සංකල්පය
සිහියෙන් වෙසෙන ඔහු දකිනවා.
ද්වේශාධික වචන සහ ක්‍රියා ලෙස
ලෝකය දකින්නේ මේ වෙනස බව
ඔහු දැන් දන්නවා.

ඒ වෙනසට උපේක්ෂාවෙන් සිතන්නට
ඒ වෙනසට උපේක්ෂාවෙන් කතා කරන්නට
ඒ වෙනසට උපේක්ෂාවෙන් ක්‍රියාකාරකම් වල යෙදෙන්නට
විපස්සනා මගින් ඔහු පුහුණු වෙනවා.

ඔහුගේ සිත ද්වේශයෙන් කැළඹෙමින්
කෝපය කුණාටුවක් මෙන් පෙරළි කළත්
ඒ පෙරළියට උපේක්ෂාව ඇති නිසා
ඔහු සන්සුන්ව කළ යුතු දේ කරනවා.

ඔහු තමා ජය ගන්නවා.

බුදුන් වහන්සේ ඔහු දකින්නේ මේ විදියටයි..

“යො වෙ උප්පතිතං කොධං
රථං භන්තං ච ධාරයෙ
තමහං සාරථිං බ‍්‍රෑම්
රස්මිග්ගාහො ඉතරො ජනො”

යමෙක් සිතෙහි
ක්‍රෝධය ඉපදී තිබියදී
ඉතා වේගයෙන් දුවන රථයක් මෙන්
සිත මනාව හසුරුවා ගන්නා
නියම රියැදුරකු යැයි මම කියමි.

සාමාන්‍ය රිය එළවන අන් ජනයා
නිකම් තෝන් ලණුව අල්ලන්නෝ ය.


http://reactiongif.org/wp-content/uploads/GIF/2014/08/Angry-No-Nope-Mad-Angry-Chick-Angry-Woman-Angry-Girl.gif