20161231

"මම කියා කෙනෙක් නෑ" - සම්මුති සත්‍යය සහ පරමාර්ථ සත්‍යය

බුදුන් වහන්සේ
පරමාර්ථ සත්‍යය සම්මුති සත්‍යය වශයෙන්
තල දෙකක දේශනා කරනවා.
එක තලයක දේශනා කළ සත්‍යයක් අරන්
අනික් තලයෙ සත්‍යයක් සමග
අවිචාරශීලීව සැසඳුවොත්...
අනවශ්‍ය ගැටළු ඇති වෙනවා.

අනත්ත කියන්නෙ
"මම කියා කෙනෙක් නෑ" කියන එකයි.
එහෙනම් උත්සාහය අගය කරන්නෙ ඇයි.?
මම කියා කෙනෙක් නැත්නම්
උත්සාහ කරන්නෙ කවුද?
මෙවැනි ප්‍රශ්න ඇති වෙනවා.

අනත්ත (පරමාර්ථ සත්‍යය )
මම උත්සාහ කළ යුතුයි ( සම්මුති සත්‍යය )

මමත්වය ඇති තැනැත්තා
මමත්වය නෑ කියා තමන්ටම වැටහෙනතුරු
ඔහු ගත කරන ජීවිතයෙ උත්සාහ කළ යුතුයි.

 
අණුක මට්ටමේ සම්මුතිය ජලයයි.

පරමාණුක මට්ටමේදි ජලය කියන්නෙ
හයිඩ්‍රජන් සහ ඔක්සිජන් වායු වල
රසායනික සංයෝගයක් බව
පරමාර්ථ සත්‍යයයි.

පරමාර්ථ සත්‍යය හරි හැටි නොදන්න කෙනෙක්
මේ අවස්ථා දෙක සම්මුති තලයට හෝ පරමාර්ථ තලයට අරන්
ජලය - හයිඩ්‍රජන් සහ ඔක්සිජන් ලෙස තර්ක කළොත්
නොවිසඳෙන ගැටළු ඇති වෙනවා.

"මම සිතමි කියමි කරමියි සම්මුතියෙන් ව්‍යවහාර කළද
සිතන, කරන, කියන මම නම් වූ කෙනෙක් නැත" යන
අනත්ත නම් පරමාර්ථ සත්‍යය
විශ්ව සාධාරණ ත්‍රිලක්ෂණ වලින් එකක් ලෙස
බුදු දහමෙ හැඳින් වෙනවා.

අනත්ත ලක්ෂණය පරිවර්තනය කරන අය
"අනාත්ම - ආත්මයක් නෑ" ලෙස පරිවර්තනය කිරීමෙන්
බොහෝ ශ්‍රාවකයන් නොමග යනවා.
හින්දු දහමට විරුද්ධ බව පෙන්වන අදහසින්
කවරෙකු හෝ කළ වැරදි පරිවර්තනයක්
දිගින් දිගටම අන්ධානුකරණය කිරීමක්
බොහෝ කලක පටන්ම සිදු වෙනවා.

අත්දැකීම නොසලකා හරිමින්
වචන මාත්‍රයෙන් දහම් දෙසන අය
නොදැනුවත්කම මත පවත්වාගෙන යන
මේ සාවද්‍ය පරිවර්තනයෙන්
අනත්ත වචනයෙහි සැබෑ අරුත සැඟවෙනවා.

"මම කියා කෙනෙක් නෑ" යන පැහැදිලි අදහස
"ආත්මයක් නෑ" පරිවර්තනයෙන් හැඟෙන්නේ නෑ.

මේ වන විටත් ආත්ම සංකල්පය ඇති අය
මේ පරිවර්තනය කැමැත්තෙන් ග්‍රහණය කළත්
දැනටත් ආත්ම සංකල්පයක් නැති කෙනෙකුට
මේ සත්‍යය විඳ පසක් කිරීමේ හැකියාවක් නෑ.
මෙවැනි සාවද්‍ය පරිවර්තන වලින්
බුදු දහමෙ විශ්ව සාධාරණ ගුණය සීමා වෙනවා.

"මම සිතමි, කියමි, කරමි" කියන්නෙ
විශ්ව සාධාරණ සංකල්පයක්.
"මම" කියන්නෙ කෙනෙක් පුද්ගලයෙක් ලෙස
හැම කෙනෙක්ම හිතනවා.
"මම කියා කෙනෙක් නෑ" කියන සත්‍යය
බුදු දහමට අනුව විඳ පසක් කළ හැකියි.

බුදු වදන්වල
"අත්ත" යනුවෙන් සඳහන්වන්නේ
"මම - තමා" යන අර්ථයෙනි.
අත්ත දීප විහරථ. = තමාට තමා පහනක් වන්න.
අත්තාහි අත්තනෝ නත්ථි = තමාට තමා හැර වෙනෙකෙකු නැත.
අත්තාහි අත්තනෝ නාථෝ = තමාට පිහිට තමාමය.
අත්ත හිත පරහිත = තමාට යහපත සහ පරහට යහපත
ආදී වශයෙන් "අත්ත" වචනය සඳහන් වන්නේ
"තමා" යන අර්ථයෙනි.

මේ අනුව "අනත්ත" යන්නෙහි අරුත
න+අත්ත = තමා නමින් කෙනෙකු නැත යන්නයි.

මේ අරුත ත්‍රිපිටකයට අනුව සත්‍යයක් වන්නේ කෙසේද?
----------------------------------------------------
සංයුත්තනිකාය සළායතන සංයුත්තය
අජ්‌ඣත්‌තානත්‌ත සූත්‍රය

‘‘චක්‌ඛුං, භික්‌ඛවෙ, අනත්‌තා.
යදනත්‌තා තං ‘නෙතං මම,
නෙසො හමස්‌මි, න මෙසො අත්‌තා’ති එවමෙතං
යථාභූතං සම්‌මප්‌පඤ්‌ඤාය දට්‌ඨබ්‌බං.
සොතං අනත්‌තා
යදනත්‌තා තං ‘නෙතං මම,
නෙසො හමස්‌මි,
න මෙසො අත්‌තා’ති
එවමෙතං යථාභූතං
සම්‌මප්‌පඤ්‌ඤාය දට්‌ඨබ්‌බං.

මහණෙනි, ඇස මම නොවේ ය,
යමෙක් මම නොවේ නම්
මම කියා කෙනෙක් නැත.
එය මාගේ නො වෙයි.
එය මම නො වෙමි.
කණ, දිව ආදියද මෙසේමය.
මෙසේ ඇත්ත ඇති සැටියෙන්
පූර්ණ ප්‍රඥාවෙන් දැකිය යුතු ය.

-------------------------------------------------
සංයුත්ත නිකාය සළායතන සංයුත්තය
අනත්ත සූත්‍රය

මහණෙනි, සියල්ල මා නොවේ ය.
මහණෙනි, කවර සියල්ලක් අනත්ත ද යත්:
මහණෙනි, ඇස මා නොවේ ය.
රූප මා නොවේ ය.
චක්ඛුවිඤ්ඤාණය මා නොවේ ය,
චක්ඛුසම්ඵස්සය මා නොවේ ය,
චක්ඛුසම්ඵස්සය නිසා
සුඛ වේදනාවක් හෝ
දුක්ඛ වේදනාවක් හෝ
අදුඛමාසුඛ වේදනාවක් හෝ
උපදී නම් එ ද මා නොවේ ය.
කණ, දිව ආදියද මා නොවේය..

සිත මා නොවේ ය,
සිතෙහි වෙනස්වීම් මා නොවේ ය,
මනෝවිඤ්ඤාණය මා නොවේ ය,
මනොසම්ඵස්සය මා නොවේ ය.
මනොසම්ඵස්සය නිසා
සුඛ වේදනාවක් හෝ
දුක්ඛ වේදනාවක් හෝ
අදු
ක්ඛමාසුඛ වේදනාවක් හෝ
 උපදී නම් එ ද මා නොවේ ය.

මහණෙනි,
මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්යශ්‍රාවක තෙමේ
සිත නොවිඳියි ...
සිතෙහි වෙනස්වීම් නොවිඳියි ,
මනෝවිඤ්ඤාණය නොවිඳියි ,
මනොසම්ඵස්සය නොවිඳියි .
මනොසම්ඵස්සය නිසා
සුඛ වේදනාවක් හෝ
දුක්ඛ වේදනාවක් හෝ
අදුක්ඛමාසුඛ වේදනාවක් හෝ
 උපදී නම් එ ද නොවිඳියි.

----------------------------------
නිබ්බින්දති = නොවිඳීම නම්
සියල්ල පිළිබඳව සිහියෙන් පසුවෙන නමුදු
රාගයෙන් හෝ ද්වේශයෙන් නොවිඳීමයි.
 ----------------------------------------------

නොවිඳින්නේ නො ඇලෙයි,
නො ඇල්ම නිසා විමුක්තියට පැමිණෙයි,
මිදුණු කල්හි මිදුණේ යයි දැනීම වෙයි.
ජාතිය ක්ෂය වූහ,
බඹසර වැස නිමවන ලද කටයුතු කරන ලද.
මතු භවයක් පිණිස පිණිස
අනෙකක් නැතැ යි දැනගනී යි.

කයත් සිතත් තුළ සිදුවෙන කිසිවක්
"මා නොවන බව"
සම්පූර්ණයෙන්ම විඳ පසක් කිරීම
නිවනට හේතුවෙයි.

ආනාපාන සතියෙන් ඇරඹෙන සතිපට්ඨාන භාවනාවේදී
තමා කියා කෙනෙක් නැති බව අත්දැකීමෙන්ම පසක් වෙයි.

විදසුන් වඩන්නා තුළ සිදුවෙන සියලු වෙනස්කම් වලට
රාගයෙන් නොඇලී, ද්වේශයෙන් නොගැටී
සම්පජානෝ සතියෙන් පසුවෙන විට
ඒ සියල්ල තමන්ගේ මැදිහත්වීමකින් තොරව
හේතූන් සහ ඵල ලෙසින්
එකක් පසුපස අනෙකක් සිදුවෙමින් පවතින බව
ඔහුටම විඳ පසක් කරන්න පුලුවන්.

අනත්ත කියන්නෙ පරමාර්ථ සත්‍යයක්.
විශ්ව සාධාරණ සත්‍යයක්.

මොහොතින් මොහොතට වෙනස් වෙමින් ගලන
ස්පර්ශ, වේදනා, සංඥා, සංස්කාර, විඥාණ පරම්පරාවක් හැර
"මම" කියා අපි හඳුන්වන සත්වයා
සම්මුතියක් පමණයි.

එකිනෙකා අතර පවතින
පුද්ගලික, ආර්ථික, සමාජීය ආදී
විවිධ අන්තර් සබඳතාවයන්හිදී
"මම" කියා සත්වයෙක් ඇතැයි හැඟීම
පවත්වාගත යුතු වෙනවා.
ඒ අතරම "මම" සංකල්පය නිසා
ප්‍රිය දේ රාගයෙන් විඳිමින්
අප්‍රිය දේ ද්වේශයෙන් බැහැර කරමින්
දුක් විඳින්නට සත්වයාට සිදුවෙනවා.

දුකෙන් මිදෙන්නට සිතන කෙනෙක්
විදසුනට යොමුවී ආර්ය ශ්‍රාවකයෙක් වී
ප්‍රිය අප්‍රියතාවය සංසිද්ධියක් ලෙස
සිහියෙන් සහ ලෝභ ද්වේශ දෙකින් නොවිඳ
උපෙක්ෂාවෙන් වෙසෙනවා.

නිවන් සාක්ෂාත් කළ ආර්ය පුද්ගලයා
විඳින සියලු වේදනා
දැනෙන සියලු සංඥා
ඇතිවෙන සියලු විතර්ක
ඇතිවෙන ආකාරයත්,
පවතින ආකාරයත්,
නැති වෙන ආකාරයත් පිළිබඳව
සම්පජානෝ සතියෙන් වෙසෙනවා..

සම්පජානෝ සතිය
දවසේ පැය විසි හතර පුරාම
ඇවිදීම, හිඳීම, සිටීම, සැතපීම යන
සතර ඉරියව්වේදීම පවතිනවා.

ඇවිදින්නේ ඇවිදින්නෙමැයි මනාව දනියි.
සිටින්නේ සිටින්නෙමැයි මනාව දනියි.
හිඳින්නේ හිඳින්නෙමැයි මනාව දනියි.
"සැතපෙන්නේ සැතපෙන්නෙමැයි මනාව දනියි."
කය යම් යම් ආකාරයකට පිහිටාද
ඒ ඒ ආකාරය මනාව දනියි.

නිවන සාක්ෂාත් කළ ආර්ය පුද්ගලයා
කවර කාර්යයක යෙදුණත්
සමස්ත කයෙහිම වේදනා සහ
සිතෙහි සංඥා, විතර්ක සියල්ලම පිළිබඳව දැනුවත්ව
"මම"
සංකල්පයෙන් වියුක්තව
අවශ්‍ය කාර්යයන්හි යෙදෙන්නේය.

සව් කෙළෙසුන් නසා
මමත්වය සපුරා දුරු කළ රහතන් වහන්සේ
දවස පුරාම
සියලු අත්දැකීම් වලදී
ඒ සියල්ලට සම්පජානෝ සතියෙන් සංවේදීව
 කිසිවක් මමත්වයෙන් නොවිඳින නිසා
දුකෙන් මිදී වෙසෙනවා.

මමත්වයෙන් යුතු පුද්ගලයක්
තර්කයෙන් හෝ තවෙකෙකු කෙරෙහි විශ්වාසයෙන්
"මම කියා කෙනෙක් නෑ" කියා පිළිගෙන නොමග යෑමෙන්
අන්තවාදී නරුමයෙක් විය හැක.

බුදුන් වහන්සේ පවා පරමාර්ථ වශයෙන්
කයෙහි වෙනස්වීම් දුක-සැප වශයෙන් නොවිඳින මුත්
ඒ අත්දැකීම් සම්මුති වශයෙන් ගෙන
"මම, මට, මගේ" වචන භාවිතා කරනවා.

"මොග්ගල්ලාන,  මාගේ පිට මඳක් රිදෙයි,
එහෙයින් මම එය සන්සිඳුවාගන්නෙමි" යි.
වහන්ස, එසේ යයි මහා මොග්ගල්ලාන තෙරණුවෝ
බුදුන් වහන්සේට පිළිවදන් දුන්හ.

පොත පත කියවීමෙන්, ධර්ම දේශනා ඇසීමෙන්
බුදු දහම වචනමාත්‍රයෙන් ග්‍රහණය කරන
කොතෙක් කීවත් අවබෝධ නො වන පද පරම පුද්ගලයාට
පරමාර්ථ සත්‍යයත් ග්‍රහණය වන්නේ
සම්මුති වශයෙනි.
ඔහු විඳ පසක් කිරීමෙන් තොරව
"මම කියා කෙනෙක් නෑ" පිළිගෙන
සම්මුති තලයෙහි ප්‍රශ්න ඇති කරගනි
යි.

විපස්සනා වඩමින්
"මම කියා කෙනෙක් නෑ" පරමාර්ථ සත්‍ය
කෙමෙන් කෙමෙන් පසක් කරන්නා
රාගයෙන් හා ද්වේශයෙන් නොවිඳීම මගින්
දුකෙන් මිදෙයි.

සම්මුති සත්‍යය සමාජීය මෙවලමකි.
පරමාර්ථ සත්‍යය විඳ පසක් කිරීම
කි.