20170327

ඉගෙන ගන්න දරුවාගේ විභාගය ඉගෙනීමයි.

දරුවා ඉගෙන ගන්නවා.
විභාගය නොවෙයි අරමුණ..
ඉගෙනීම.

විභාගයට ඉගෙන ගන්නා අය
තමන්ගෙ විෂයපථයෙන් පිට
කුඩා දරුවන් වගෙයි..

එක ක්ෂේත්‍රයක ඉහළ දැනුමක් ලබන අය
වෙනත් ක්ෂේත්‍රවලත් හිතන්න හදන්නෙ
තමන්ගෙ ක්ෂේත්‍රයෙ රටාවට.

වෛද්‍යවරයෙක් එක්ක
නීතිය කතා කරල බලන්න.
උපකල්පනයෙන් ආරම්භ කරන
වෛද්‍ය විද්‍යාත්මක ක්‍රමයට
'උපකල්පන නොපිළිගන්නා
නීතිය' ජයගන්න හිතලා පරදිනවා.
සයිටම් ප්‍රශ්නෙදි ඔවුන් පැරදෙන්නෙ
මේ නිසයි.

විභාගය ඉබේට සමත් වෙන්න
පින්ලන්තයෙ ක්‍රමය හොඳයි.

[[[වසර 2020 වන විට පින්ලන්තයේ සියලු පාසල් විෂය නිර්දේශවලින්,
සියලු විෂයන් ඉවත්කිරීමට එරට අධ්‍යාපන බලධාරීන් තීරණය කර ඇත.
ඒ අනුව ගණිතය, භෞතික විද්‍යාව, භූගෝල විද්‍යාව වැනි 
තනි තනි විෂයන් ඉගැන්වීම නතර කෙරේ.
උදාහරණයක් වශයෙන් යම්කිසි දරුවෙක් සිය කැමැත්තෙන් දෙවන ලෝක යුද්ධය නමැති අවස්ථාව හෝ සංසිද්ධිය තෝරාගතහොත්, එයට අදාළ වන ඉතිහාසය, භූගෝල විද්‍යාව සහ ගණිත සිද්ධාන්ත ඉගෙන ගැනීමට ඔවුන්ට හැකි වේ. මෙසේ ප්‍රායෝගික දේවල් තුළින් විෂයන් හැදෑරීම හේතුවෙන් එම විෂයන් සජීවී ලෙස ග්‍රහණය කර ගැනීමටත්, හොඳින් මතකයේ තබාගැනීමටත් සමාන අවස්ථා සඳහා අදාළ කර ගැනීමේ පුහුණුව ලබාගැනීමටත් හැකියාව ලැබේ _ උපුටා ගැනීමකි ]]]

විෂය ඉගැන්වීමට වඩා වටින්නෙ
දරුවාට ඉගෙනගන්න ඉගැන්වීමයි.

මගේ දරුවන්ට පාසලේ ඉගෙන ගනිද්දි
විශේෂ දෙයක් දැනගත්තාම
ඔවුන් ගෙදර ඇවිත් අපි එක්ක බෙදාගන්නෙ
ඔවුන් සොයාගත්ත දෙයක් වගේ.
ඒකට අලුතෙන් දෙයක් එකතු කිරීම
අපේ යුතුකමක්.... සහ වගකීමක්.

හැම දෙයක්ම පරතෙරට ඉගැන්වීම අනවශ්‍යයි..
ඔහුට ඉගැන්විය යුත්තෙ
ඔහු ඉගෙනගන්නා විෂය කරුණට
මේ ආකාරයෙ ශාඛාවකුත් තියනවා...
ඒ ශාඛාවෙ ස්වභාවය මේ වගෙයි කියා විතරයි.
අතු රිකිලි මල් කොළ ගෙඩි සියල්ලම
වර්ණ, රස, හැඩය ආදිය දැන් අවශ්‍ය නෑ.
දුන්නට ඔහුට ගන්නත් බෑ.
අවශ්‍ය දිනට ඔහු සොයා ගනීවි..

දරුවාගෙ පළමු ගුරුවරු දෙමාපියන් කියා
බුදුන් වහන්සේ හෙළිකළ සත්‍යය
බොහෝ මවුපියන්ට මතක නැහැ.
බොහෝ දරුවන්ගෙ ජීවිතවල
දෙමාපියන්ගෙන් ලැබිය යුතු
අධ්‍යාපනය තියන තැන තියෙන්නෙ
ඔහු සතුටු කරන්න අරන් දුන්
කෙළිබඩු, ෆෝන් පරිගණක ගේම් ආදියයි.

අපේ දරුවන්ට පරිගණක ගේම් තහනම්.
රූපවාහිනී නැරඹීමක් නැහැ.
හොඳ බටහිර චිත්‍රපටි බලන්න පුලුවන්.
අපි බලන ගෝඩ් ෆාදර් වැනි චිත්‍රපටිත් බලනවා.
වින්දනය සඳහා නොවෙයි.
මාෆියාකරුවන්ගෙ ජීවිත
ඔවුන්ගෙ උපක්‍රම ආදිය ඉගෙන ගන්නයි.

උදාහරණයක් විදියට
ගෝඩ් ෆාදර් චිත්‍රපටි පෙළේ
ගෝඩ් ෆාදර්ගෙ චරිතය
චිත්‍රපටියෙන් චිත්‍රපටියට පිරිහෙමින්
තුන්වැනි ගෝඩ් ෆාදර් බවට පත්වෙන
ම්ලේච්ඡ, ගෝත්‍රික, නිර්දය නිරාගමිකයා
අපේ කතාවෙදි අපි විග්‍රහ කරනවා.
ඔවුන් ඒ චරිත හඳුනා ගන්නවා.
ජීවත්වෙද්දි එවැනි අය සමාජයෙ දුටුවාම
පහසුවෙන් හඳුනාගන්නවා.

ඔවුන් ගත්ත දවස් වල කියෙව්වත් නැතත්
පොත් ඉල්ලන තරමක් අරන් දෙනවා.
කියවද්දි ප්‍රිය දෙයක් දුටුවොත්
ඔවුන් අපි සමග බෙදා ගන්නවා.

මේ සියල්ලම
ඔහුගෙ අධ්‍යාපනයෙ ප්‍රධාන අංග.
පාසල් අධ්‍යාපනයෙන් නොලැබෙන ආගමික දැනුමත්
මිනිසුන්ගෙ හොඳ නරකත් ඔහු දැනගත යුතුයි.
දරුවා නෑසියන්ගෙ මිතුරන්ගෙ හොඳ නරක,
ඔවුන්ගේ යහගුණ, නුගුණ, රැවටිලිකාරකම්,
උසස් චරිත ලක්ෂණ ඔවුන්ටත් පෙන්විය යුතුයි.
සමහරවිට ඔවුන් අපිට වඩා හොඳින් චරිත මනිනවා.

මේ සියලුම හොඳ නරක පවතිද්දි
මිනිසුන් මිනිසුන් ලෙස සලකා දකින්නත්
ඔවුන්ගෙ චරිතානුරූපීව ඔවුන් සමග
ප්‍රවේශමෙන් කටයුතු කරන්නත්
ඔහු ඉගෙනගත යුතුයි.

"ලොකු අයගෙ වැඩ වලට පොඩි අය එන්න එපා"
කියන ආකල්පය දරුවෙකුට ඉතා හානිකරයි.
ලොකු අය අතරෙ සිදුවෙන දේ නොදැන
අඳුරු ගුහාවක ලොකුවෙන දරුවා
සමාජයෙ කාන්තියෙන් ඇස් නිලංකාර වෙලා
ජීවිතය නාස්ති කරගන්නවා.

අපි වගේ දෙයක් දකින්න අද ඔහුට බෑ.
ඒත් සංසිද්ධියකට හවුල්වීමෙදි
අපිට වඩා ප්‍රබල ලෙස සාරය උකහා ගැනීම
අපට වඩා පහසුවෙන් ඔහුට පුලුවන්