20140621

නිරාගමිකයා කියන්නෙ පව්කාරයා.



ආගම තියෙන්නෙ ලේබල් එකේ නෙවෙයි..
ඔහුගෙ චේතනාවෙ සහ
ඒ චේතනාවෙන් කරන ක්‍රියාවෙයි..

ඒ නිසා තමයි මම කියන්නෙ..
මොන ආගමේ කෙනෙක් වුණත්
පවක් කරන කොට ඔහු නිරාගමිකයි..

අපරාධකරුවෙක් අපරාධයක් කරන වෙලාවට
ඔහු සිවිල් පුරවැසියෙක් නෙවෙයි.

මිනිහෙක් ගෙදරකට කඩාවැදුණාම
ගෙදර මිනිස්සු ඒ මිනිහාට පහර දුන්නොත්
ඔහුට අදාළව නීතිය ක්‍රියාත්මක වෙන්නෙ
සිවිල් පුරවැසියෙකුට අදාළ විදියට නෙවෙයි.

හැම අපරාධ කරුවෙක්ම
ඒ වෙලාවට නිරාගමිකයි...

ඊ ළඟ මොහොතෙ
ඔහු වරද තේරුම් අරන්
හඬා වැටෙද්දි, තැවෙද්දි...
අනාගතයෙ ඒ කර්මයෙන් එන
විපාක වලට භය වෙද්දි
ඔහු ආගමිකයි..

නිරාගමිකයා කියන්නෙ පව්කාරයා.

ආගමිකයා කියන්නෙ පවින් වළකින්න
උත්සාහ කරන තැනැත්තා.

නිදැල්ලේ හැසිරෙන අපරාධකරුවන්ට වඩා
සිරගෙවල් වල ඉන්න අපරාධ කරුවන් හොඳයි.

ඒ දෙකොටසටම වඩා
අපරාධ කරන්න හිතලා
නොකරන සිල්වතුන් හොඳයි.

ඒ තුන් කොටසටම වඩා
අපරාධ කරන උවමනාව ඇති වෙනකොට
හිත වෙනතක යොමු කරලා සැනසෙන
සමාහිත සිත් ඇත්තා හොඳයි.

ඒ හතර කොටසටම වඩා
අපරාධ කරන උවමනාව ඇති වෙන තැනදිම දැකලා
ඒ උවමනාවට වහල් නොවෙන ප්‍රඥාවන්තයා හොඳයි.

අදාළ පුද්ගලයා
මොන ආගමේ වුණත් කමක් නැහැ.
ඔහුගෙ වටිනා කම් තීරණය වෙන්නෙ
ඔය ආකාරයටයි..

ශීල සමාධි ප්‍රඥා කියන්නෙ
මිනිස් හිතේ ඇති ගුණාංග තුනක්..
ඒ ගුණ මතු කරගන්න ගන්න
ක්‍රියා මාර්ගය නිවැරදි නම්
ඕනම ආගමිකයෙකු තුළ
ඒ ගුණාංග ඇති වෙනවා.