20160814

අදුක්ඛමාසුඛ වේදනාව - ඔබ හඳුනා නොගන්නා වේදනාව


"අප්පා... හරිම රස්නෙයි"
කියන ඔබ විදුලි පංකාව හෝ වායු සමීකරණ යන්ත්‍රය
පණ ගන්වන්නේ ඇයි.?
ඔබේ කය නිසාද?
ඔබේ සිත නිසාද?

නැත්නම් කයත් සිතත් අතර ක්‍රියා කරන
පණිවිඩ කරුවා වන වේදනාව නිසාද?

උෂ්ණත්වය නිසා ඔබට දැනුණ
දුක්ඛ වේදනාව නොදැනුණා නම්
ඔබ ක්‍රියාත්මක වෙනවාද?

කයෙහි දැනෙන
දුක්ඛ වේදනාව නොතිබුණා නම්
"අප්පා... හරිම රස්නෙයි" කියන සිතුවිල්ල
ඔබ විදුලි පංකාව හෝ වායු සමීකරණ යන්ත්‍රය
පණ ගන්වනඔබ ක්‍රියාවට යොමු කරාවිද.

ඔබ විදුලි පංකාව හෝ වායු සමීකරණ යන්ත්‍රය
පණ ගන්වමින් ඔබ සෙව්වේ කුමක්ද?

ඔබ විඳින දුක්ඛ වේදනාවෙන් මිදී ලබන
සුඛ වේදනාවක් නොවේද?
විදුලි පංකාව හෝ වායු සමීකරණ යන්ත්‍රය
පණගැන්වීමෙන් ඔබට ලැබුණ ප්‍රතිඵලය
ඔබ ප්‍රිය කරන සුඛ වේදනාවක් නිසා
ඔබේ සිත සුඛ පක්ෂයට පෙරැළෙයි.

ඔබ සෙව්වේ මේ සිත් පෙරළිය නොවේද?
සිත කියන දේ කරමින් සිත සනසන ඔබ
ඔබ කළ ක්‍රියාව සිතෙහි ක්‍රියාවක් ලෙස
දකිනවා නේද?
එහෙත් සිතෙහි නියමුවා කවුද?

විදුලි පංකාව හෝ වායු සමීකරණ යන්ත්‍රය
පණගැන්වීමෙන් ඔබට ලැබුණ ප්‍රතිඵලය
ඔබේ ශරීරයෙහි උෂ්ණත්වයට සමාන නම්
ඔබට සුඛ වේදනාවක් දැනෙනවාද?

ඔබ දුක් වේදනාවෙන් මිදීමෙන් සතුටු වනු ඇති.
අදුක් නිසා අසුඛ නිසාම
ඔබ හඳුනා නොගන්නා වේදනාවක්
මේ මොහොතෙහි පවතී.

දුක් වේදනාවෙන් ඔබ තුළ ද්වේශය ඇතිවී
සුඛ වේදනාවක් මතු කරගෙන
රාග සිතක් පහළ කරගත් ඔබ
දැන් ඔබ තුළ ඇති
අදුක් - අසුඛ වේදනාව පිළිබඳව
මෝහයෙන් පසු වෙයි.

මේ මොහොතෙහි
ඔබ ඔබේ සිත කයට යොමු කළොත්
ඔබට නොදැනෙන හැම තැනකම ඇත්තේ
අදුක්ඛමාසුඛ වේදනාවයි.

සුඛ දුක්ඛ වේදනාවලට
රාගයෙන් හෝ ද්වේශයෙන් පසු නොවෙන
අන් සියලුම අවස්ථාවන්හි ඔබ තුළ පවතින්නේ
අදුක්ඛමාසුඛ වේදනාවයි.

ඉන් ජනිතවන්නේ මෝහයයි.

මෝහයෙන් මෝහය ජනිත වෙයි.

මෝහය අවිද්‍යාවයි.
අවිද්‍යාව නැසෙන්නේ විදසුන් වැඩීමෙනි.
======================================

සිහියත් මෝහයත් අතර වෙනස 

ප්‍රායෝගිකව දකින්න