20160405

රත්න ශ්‍රී, තාගෝර්, සේකර, ප්‍රේමකීර්ති, සුනිල්..


 සමාවෙන්න මට

සමාවෙන්න මට
මල් නොගෙනාවට
සමාවෙන්න බුදු සාදු
මල් විකුණන්නට
මදි වුනොතින් හෙට
අපෙ අම්මාටයි පාඩු

වැවෙන් නෙළූ මල්
මිටියට බැඳලා
විකුණන්නයි ගියෙ අම්මා
පන්සල පාමුල
ගල් පඩි පෙල ලඟ
ඈ අර මල් විකුණනවා

නෙළුම් මලක්
සත පණහට දීලා
හාල් අරන් එයි අම්මා
පාන් පැලේ
බුදු පාන තියා අපි
බුදු සාදුට පින් දෙනවා

 
1987 - 'රන් කිරි කට' කාව්‍ය සංග්‍රහය.

1987 - 2016 
එදා මෙදා තුර රත්න ශ්‍රී වෙනස් වී ඇත්ද?

වසර තිහකට පෙර
රත්න ශ්‍රී මවන මේ දර්ශනයෙහි
චරිත කිහිපයක් ඇත.
ප්‍රධාන චරිතය කුඩා දැරියයි.
ඇගේ අම්මාද ප්‍රධාන චරිතයකි.
නොවැදගත්ම චරිතය බුදුන් වහන්සේය.
ඇය උන් වහන්සේ වෙත ආවේ මන්ද.?

බුදුන් වහන්සේ
ඇගෙන් මල් බලාපොරොත්තු වන බව
ඇය මල් නැතිව මෙහි පැමිණීම වරදක් බව
පළමු පේළි තුනෙන් ගම්‍ය වෙයි.

ඇයට මල් ගෙනෙන්නට උවමනාව තිබුණත්
හෙට විකුණන්නට මල් මදිවෙන බැවින්
ඇය එකම මලක්වත් ගෙනාවේ නැත.
එමගින් ඇය වරදක් කර ඇති බැවින්
බුදුන් වහන්සේගෙන් සමාව ඉල්ලයි..
ඇගෙන් වරදක් වී ඇත්තේ
මිනිසුන් මල් ගෙනත් පුදන තෙක් බලා සිටින
පන්සලේ ලොක්කා වන බුදුන් වහන්සේටය.

අම්මාට මල් කුමටදැයි
බුදුන් වහන්සේ තවම දන්නේ නැත.
අම්මා පන්සල පාමුල පඩිපෙළ ළඟ
මල් විකුණන්නීය.

සත පණහට නෙළුම් මලක් දී
අම්මා හවසට ගෙදරට හාල් ගෙනෙයි.
අම්මා මල් විකුණන්නේ බුදු සාදු නිසාය.
ඔවුන් ජීවත් වන්නේ බුදු සාදු නිසාය.
ඒ වෙනුවෙන් ඇය බුදු සාදුට
පිං දෙන්නට පොරොන්දු වන්නීය.

මේ කවි පෙළ පුරා අප දකින්නේ
මේ අම්මාත් දුවත් විසින් නියෝජනය කරන
සමාජවාදියෙකුගේ ධනවාදී අදහස්ය.
ඔහුට බුදු සාදු යනු
දුප්පතුන්ට ජීවන මාර්ගය සලසා දෙන
මහන්තත්ත වැදගතෙකි.
ඔහු තමන්ට මල් පුදන්නට
මිනිසුන් එනතුරු බලා සිටින නිසා
දුප්පතුන් මල් විකුණා ජීවත් වෙති.
ඒ වෙනුවෙන් ඔහුට පිං දුන්නාම ඇත.

මේ සමාජවාදී සත්‍යයෙහි ඇති
කාව‍යමය බව කුමක්ද.?
රත්න ශ්‍රී මේ නිර්මාණයෙන්
මේ චරිත මත හෙළන
අපූර්ව ආලෝකයක් වේද?

ශ්‍රද්ධාව පොදක් නැති මේ දැරිය
අතිශයින් බොළඳය.
ඇගේ චින්තනය පටුය.
ඇය බුදු සාදු හමුවට පැමිණියේ
පවුල ඔහුට ණයගැති නිසාය.
වරදක් කොට නිදහසට කරුණු රැගෙන
සමාව ඉල්ලාගෙනය.

මෙයින් ගම්‍ය වෙන ගැඹුරුම සත්‍යය
මේ තිදෙනා අතුරෙන් රත්න ශ්‍රී හඳුනන්නේ
මල් අම්මා පමණක් බවයි.

ඔහු දරුවන්ගේ සිත් නාඳුනයි.
බුදුන් වහන්සේ නාඳුනයි.
බුදුන් වහන්සේ නිසා සුවපත්වූ
අපද නොහඳුනයි.

රත්න ශ්‍රී දන්නේ මහා පුරුෂයෙකු ලෙස සලකා
බුදුන් වහන්සේට මල් පහන් පුදන
මල්පහන් නැතිව පන්සල් යාම
වරදක් ලෙස සිතන
අන්ධ භක්තික ජනතාවයි.

බුදුන් වහන්සේ සිටින තැන සිට බලනවිට
රත්නශ්‍රී සිටින්නේ අන්ධ භක්තිකයන්ටත් එපිටිනි.
උපතින් අන්‍යාගමික වුවත්
බුදුන් වහන්සේ හඳුනන කවියෙක්
මේ සිදුවීම පිළිබඳව ලිව්වා නම්
ඔහුට මතු කල හැකිව තිබුණ හැඟීම් මොනවාද?

දැන හෝ නොදැන
මල් පහන් පුදන්නට මිනිසුන් එන්නේ
මිනිසා දුකෙන් මුදන මගක් සොයාගෙන ගොස්
උන් වහන්සේ ඔවුන්ට කරුණාව දැක්වූ බැවිනි.
ඔවුන් දුකෙන් මුදා ලූ බැවිනි.

උන් වහන්සේගේ දහමෙන්
අබැටකවත් ප්‍රයෝජනයක් නැති අය පවා
තමන් මෙතෙක් ලද සැනසිල්ලක් නැතත්
පටාචාරාවන්ට, කිසාගෝතමීට,
අංගුලිමාලට, සුනීතට, සෝපාකට,
රජ්ජුමාලාට හෝ සැනසිල්ල ලබා දෙන්නට
උන් වහන්සේට හැකියාව තිබුණ බවද
උවමනාව තිබුණ බවද විශ්වාස කරන බැවිනි.
දැරිය මේ සියල්ල දැනගත යුතු නැත..
රත්න ශ්‍රී දැන සිටියේ නම් ප්‍රමාණවත්ය.
එවන් ශ්‍රද්ධාවක් වී නම්
දැරියගේ හැඟීම් සහ වචන තුළින්
අපට ඒ සුවය දැනෙනු ඇත.

කුස පුරවන සමාජවාදයට වඩා
සිත නිවා ලන ශ්‍රද්ධාව
මිනිසා සුවපත් කරවයි.
කුසට වඩා පහසුවෙන් හිත නිවෙයි.
කුස නිවීම එක වේලකටය.
හිත නිවීම ජීවිතයටම විය හැක.

මේ දැරියගේ කතාව මුලින් කියා
ඇගේ මවගේත් ඇගේත් ශ්‍රද්ධාව
ඇය තුළ මතු කළා නම්
සමාජවාදී සමාජයක් සොයන රචකයා
නෙලන හැම මලකින්ම මුදල්ම පතන
ඒ සඳහා සියල්ලම කරන උග්‍ර ධනවාදියෙකු බවට
අප තුළ ඇති ආකල්පය ඉරිතලනු ඇත.

අපි මේ කවිපෙළට ශ්‍රද්ධාව එක් කර
සාහසික ලෙස වෙනස් කර බලමු.

සමාවෙන්න මට
මල් ගෙන ආවට
සමාවෙන්න බුදු සාදු
මල් විකුණන්නට
මදි වේවී අද
අපෙ අම්මාටයි පාඩු

වැවෙන් නෙළූ මල්
මිටිය බඳින්නට
කලින්ම මේ මල මට දීලා
ඔබට පුදන්නට
යන්න කියා මට
මල් විකුණන්නට ගිය අම්මා
පන්සල පාමුල
ගල් පඩි පෙල ලඟ
ඔබට පුදන මල් විකුණනවා

නෙළුම් මලක්
සත පණහට දීලා
හවස් වෙනතුරා මල් විකුණාලා
හාල් අරන් එන අපෙ අම්මා
ඔබට පුදන්නට හැමදාමත්
මලක් ඉතුරු කර ගෙනැවිල්ලා
පාන් පැලේ බුදු සාදුට තියලා
බුදු සාදුට අපි පින් දෙනවා


මේ සංස්කරණයෙහි
මල් ගෙනෙන තෙක් බලා සිටින
බුදුන් වහන්සේගේ මහන්තත්වය
ඉවත්වී ඇත.
මේ සිදුවීමට
උන්වහන්සේගේ දායකත්වයක්
ඇත්තේම නැත.
දැරිය තවමත් රත්න ශ්‍රීගේමය.
ඇය සිතන්නේ ධනවාදීවය.
මේ මල විකුණන්නටත් තිබුණා.
ඇය මල ගෙනාවේ අම්මා දුන් නිසාය.
ශ්‍රද්ධාවන්තිය අම්මාය.

රත්න ශ්‍රීගේ කවියෙහි
බුදුන් වහන්සේ නිරමාණය වන්නේ
ඔහු තුළ උන්වහන්සේ මැවී ඇති අයුරිනි.

රත්න ශ්‍රීගේ කුඩා කාලය තුළ
බුදුන් වහන්සේට ශ්‍රද්ධාව ඇති කරන
සිදුවීම් නොතිබෙන්නට ඇතැයි මට සිතෙයි.

මගේ අතීතය සිහිපත් කරන විට
සැදැහැවත් මල් විකුණන්නිය
මගේ අම්මා වැනි යැයි මට කිව හැක.
මා තුළ බුදුන් වහන්සේට ශ්‍රද්ධාව ඉපදුණේ
අපේ අම්මාගේ ශ්‍රද්ධාව නිසාය.
ඇය බුදුන් වහන්සේ පිදුවේ
කිසිදු පැහැදිලි හේතුවක් නැතිවය.
වයස අවුරුදු 34ක් වනතෙක්ම
මා තුළ උන්වහන්සේ පිළිබඳ පැවතියේ කුහුලකි.
මට උන් වහන්සේ ජීවමානව මුණ ගැසුණේ
විපස්සනාවට යොමු වූ පසුවයි.

සිතූ පැතූ සම්පත් ලැබෙන
නාග මාණික්‍යයක් ලබා ගත හොත්
ළමයින්ට  පාසල් රෝගීන්ට රෝහල් තනා දෙන්නෙමැයි
කුඩාම අවදියේත් සිහින මැවූ මා
බුදුන් වහන්සේ සෝපාකට, සුනීතට,
රජ්ජුමාලාට පිහිට වන විට
සතුටෙන් කඳුළු සැලුවෙමි.

මා පාසලට යන අතරමග
අඩක් නිමවා අත්හැර දැමීමෙන්
වල් බිහිවූ ගොඩනැගිල්ලක් අසල
සෝපාකට හෝ සුනීතට
බුදුන් වහන්සේ පිහිට වූ අයුරු
සිතේ මවාගෙන විඳි අයුරු
මට අද මෙන් මතක ඇත.

එදා බුදුන් වහන්සේ මට ජීවමාන මවකි.. පියෙකි.
අද උන්වහන්සේ මට සදහම් මග දක්වන
මගේ එකම ගුරුවරයායි.

එදා අම්මා රත්තරන් මලක් දී
මා බුදුන් වඳින්නට යැව්වා නම්
එහි මිළ කීයදැයි මා සිතන්නේ නැත.
මා ඒ මල පිදීමෙන් ලබන සැනසීමට
මිළක් දැක්විය නොහැක.
රත්න ශ්‍රී තුළ කවරෙක් හෝ සවිකළ
කවි ලිවීමේදී ස්වයංක්‍රීයව වැඩ කරන
කැල්කියුලේටරය මා සතුව නැත.

මගේ ශ්‍රද්ධාව
සම්මා වායාමයටත්, සම්මා සතියටත්,
සම්මා සමාධියටත් හැරී
ප්‍රඥාව වන්නට හේතු වූයේ
වයස 34දී මට ගොයෙන්කා තුමාගෙන්
ඉගෙන ගන්නට ලැබුණ විපස්සනාව නිසාය.
ඒ පුහුණුවෙන් පසු මා විඳින දුක්
කෙමෙන් අඩුවන විට
බුදුන් වහන්සේගේ බෝසත් දිවිය
අසංඛ්‍ය කල්ප ලක්ෂ ගාණක් වුවද
ඒ සියල්ලම ගත කළේ මා වෙනුවෙන් වුවද
ඒත් වටිනවා යැයි මට සිතුණ වාර ගණන
කොතරම්දැයි මට මතක නැත.
අදත් මම එසේ සිතමි.

මා මේ දැරිය දෙස බලන්නේ
ඉහත දැක්වුණ පසුබිමෙහි සිටයි.
එහෙයින් රත්න ශ්‍රී දකින කෝණයෙන්
ඇගේ සහ මවගේ දරිද්‍රතාවය නිසා
මල් නොපුදා විකුණුවාට කම් නැතැයි සිතා
මට සැනසීමට නොහැක.
ඔවුන් බුදුන්ට පුදන මලෙහි වටිනා කම
ඔවුන්ගෙන් මිලට ගෙන පුදන මල් වලට වඩා
බෙහෙවින් වැඩි යැයි මම සිතමි.

නිර්මාණකරුවාගේ ශ්‍රද්ධාව
නිර්මානයකට බලපාන අයුරු
පහළ දැක්වෙන තාගෝර් කිවිඳුන්ගේ
කෙටි ගද්‍ය නිර්මාණය විමසා බලමු.

මේ නිර්මාණයත් නෙළුම් මල් පිදීමක් පිළිබඳවයි.
රවීන්ද්‍රනාත් තාගෝර් කිවිඳුන්
බුදුන් වහන්සේ දකින්නෙ කෙසේද?
__________________________

 
නෙළුම් පූජාව.
කරුණාවක් නැති තුෂාරය හේතු කොට ගෙන  නෙළුම් මැලවී තිබුණේය.
උයන් පල් සුදාස්ගේ පොකුණේ පමණක් එක නෙළුමක් පිපී තිබුණේය.

මේ නෙළුම විකිණීම පිණිස ඔහු එය රජවාසලට රැගෙන ගියේය.
අතර මගදී ඔහුට ධනවත් වෙළෙන්දෙක් මුණ ගැසුණේය.
නෙළුම වෙළෙන්දාගේ සිත් ගත්තේය.

" නුඹේ නෙළුම මම ගන්නම්.
නගරයේ වැඩ සිටින බුදු හාමුදුරුවන්ට පූජා කරන්න.
මිල කීයද." ඔහු විමසුවේය.

සුදාස් ඊට රන්කාසියක් ඉල්ලුවේය.

වෙළෙන්දා රන්කාසිය සොයනවිට,
තථාගතයන් වහන්සේ වෙත යනු පිණිස
රජතුමා වාසලින් නික්ම ආවේය.
ඔහු හෙළ නෙළුම දැක,
බුදුරජාණන් වහන්සේ උදෙසා මම මෙය ගන්නම්.
මිල කීයද?" විචාළේය.

" එය මම රන් කාසියකට විකුණා තිබෙනවා."
උයන්පල්ලා කීවේය.

" මම රන්කාසි දහයක් දෙන්නම්" රජතුමා කීවේය.

" මම රන් විස්සක් දෙන්නම්" වෙළෙන්දා මොර දුන්නේය.

නෙළුම මිලදී ගැනීම පිණිස ඔවුහු තරක් වූහ.
මිල ක්‍රමයෙන් නැග්ගේය.

උයන්පල්ලා මේ තරඟයට කන්දෙමින් කල්පනා කළේය.
" තථාගතයන් වහන්සේ උදෙසා ඔවුන්ට මෙය උවමනාවී තිබෙනවා.
උන්වහන්සේගෙන් මට මීට වඩා කොපමණ ගත හැකිද"
ඔහු සිතුවේය.

" සමාවෙන්න. මම නෙළුම විකුණන්නේ නැහැ. "
ඔහු දෙඅත ඔසවා කියා සිටියේය.
මෙසේ කියා ඔහු
බුදුන් වහන්සේ ශාන්තව
දිව්‍යමය තේජසින් වැඩ සිටිය තැනට දිව්වේය.

සුදාස් උන්වහන්සේ දැක තැතිගෙන සිට ගත්තේය.
මොහොතකට ඔහුට කිසිවක් කර කියා ගැනීමට නොහැකි විය.
පසුව ඔහු උන්වහන්සේගේ ශ්‍රී පාමුල ඇද වැටී
උන් වහන්සේට නෙළුම පූජා කළේය.

"ඔබට කුමක්ද උවමනා.?
උන්වහන්සේ මද සිනාවක් පාමින් විචාළේය.

"කිසිවක් නොවෙයි,
ඔබ වහන්සේගේ ශ්‍රී පාද පද්මයෙන් ස්පර්ශය වූ
දූවිලි කැටයක් පමණයි මට උවමනා"
ඔහු මහත් ආශාවෙන් ඉල්ලා සිටියේය.

___________________________

මෙහි චරිත හතරක් ඇත.
වැදගත්ම චරිතය සුදාස්ය.
ඔහු මල් විකුණන්නෙකි..
තුෂාරයෙන් සියලු නෙළුම් මල් මැළවී ඇත.
ඔහු සතුව ඇත්තේ එකම පිපුණු මලකි.
එහි සැබෑ වටිනා කම ඔහු දනී.

සුදාස් ධනවාදියෙකි.
ඉල්ලුමට සරි ලන සැපයුමක් නැති බව දන්නා ඔහු
ධනවත් වෙළෙන්දා සූරාකන්නට සිතුවේය.
රන් කාසිය කුඩා මුදලක් නොවේ.
වෙළෙන්දා මල ගන්නේ ඇයිදැයි කියන විට
අප බුදුන් වහන්සේ කවුදැයි නොදන්නෙමු.
සුදාස් සහ අප උන් වහන්සේ ගැන දැනගන්නේ
වෙළෙන්දාගේ සහ රජුගේ තරඟය නිසාය.

බුදුන් වහන්සේ කවුදැයි නොදත්
සුදාස්ගේ සිත තුළ කෑදරකම උපදියි.
ඔහු බුදුන් වහන්සේ වෙත දුවන්නේ
මුදලට කෑදර ධනවාදියෙකු ලෙසයි.
බුදුන් දුටු මොහොතේ පරිවර්තනය වන ඔහු
නිමේශයකින්  ශ්‍රද්ධාවන්තයෙකු වෙයි.
ඔහු ප්‍රඥාව දෙසට පලමු පියවර තබා ඇත.
රන්කාසි විස්ස ගත්තා නම්
ඔහු ගෙදර යන්නේ කැළඹුණු සිතකිනි.
මේ නිවීම ඔහු තුළ නොවේ.

සුදාස් තුළ අප මේ දකින්නේ
සුදාස් දුටු බුදුන් වහන්සේ නොවේ.
අප සමග සුදාස් මේ දකින්නේ
උපතින් හින්දු බ්‍රාහ්මෝ නිකායෙහි උපන්
හින්දු ආගමිකයෙකු වූ තාගෝර් කිවිඳුන්
සිය මනසින් දුටු බුදුන් වහන්සේය.
රත්න ශ්‍රීගේ බුදුන් වහන්සේත්
තාගෝර්ගේ  බුදුන් වහන්සේත් අතර
අප දකින පරතරය ශ්‍රද්ධාව නොවේද?

රත්න ශ්‍රීගේ කවි පෙළ සමග
මේ ගද්‍ය නිර්මානය සසඳන විට
මේ නිර්මාන දෙක අතුරෙන්
වඩාත් කාව්‍යමය කවර නිර්මාණයද?
පද ගැලපීම අනුව පමණක්
නිර්මාණයක් කාව්‍යමය වේද?

මල් වෙළෙන්දෙකු ලෙස
සුදාස් දක්වන ධනවාදී කෑදරකම
රත්න ශ්‍රීගේ කවි පෙළෙහි මවත් දියණියත්
දෙදෙනා තුලම ඇත.
මව ඇයට මලක් දුන්නේ නැත.
ඇය ඊට නිදහසට කරුණු කියන්නීය.
ඔවුහු සම්ප්‍රදායික බැතිමතුන්ය.

තාගෝර් නිර්මාණයේ සිදුවීම අවසාන වනවිට
සුදාස් සැදැහැවතෙකු බවට පරිවර්තනය විය.
ඔහු අපූර්ව චරිතයකි.
අවම වශයෙන් රන්කාසි
විස්සක් ගත හැකිව තිබුණ නෙළුම
බුදු සිරි පත්ලෙහි පහස ලද
වැළි කැටයකට හුවමාරු කරන්නට තරම්
සුදාස් වීතරාගී විය.
ඔහු වීතරාගී කළේ බුදුන් වහන්සේ නොවේ.
වීතරාගී තාගෝර් කිවිඳුන් විසින් බුදුන් දුටු පමණින්
සුදාස්ගේ සිතෙහි දැවුණ රාගය නිවා
ඔහුගේ සිත නිවා ලූ හෙයින්
ඔහුට ඒ රන්කාසි විස්සක් අගනා නෙලුම
බුදු පාමුල වැටුණ වැළි කැටයක් තරම්වත්
නොවටනා දෙයක් විය.

සත පනහක මලක්වත් නැතිව
හිස් අතින් බුදු පුදට එන මල් දැරිය
බුදුන් වහන්සේ පාවිච්චි කරමින්
ඇගේ සහ මවගේ දරිද්‍රතාවය නිරුවත් කොට
මල් අසුන මත කාටත් පෙනෙන්නට තබා
රත්න ශ්‍රීගේ සමාජවාදී පැමිණිල්ල
අප වෙත අමුවෙන්ම වාර්තා කරමින්
සිය කාර්යය හමාර කරන්නීය.

කුඩා දැරියක් වුවද
ඇය සිතන්නේ මේරූ ගැහැණියක මෙනි.
මේ කවිය කියවා විඳින
මේ චින්තනයෙන් යුතුව අකලට මෝරන දැරියන්
සමාජවාදී, කාන්තා වාදී චින්තනයක් සමග
ලෝකය සමග පොර බදමින් ජීවත් වන්නෝ
නොවනු ඇත්ද?

කුඩා දැරියකගේ සිත කියවන්නට
වැඩිහිටි පුරුෂයෙකුට පහසු නැත.
එවන් උත්සාහයක් අති සාර්ථකවූ
මේ අවස්ථාවත් විමසා බලමු.

 



මලක් නෙළා ගෙනැවිත් බුදු සාදුට පිදුවා
ඒ දැක බුදු සාදු මදෙස හෙමිහිට බැලුවා
බොරුවක් නොව මේ කියන්නෙ ඇත්ත ම ඇත්තෙන්
මේ මල මම නෙළා ගත්තෙ මගෙ මල් වත්තෙන්
නොදැනෙන නොහැඟෙන හින්දයි මේ විමසන්නේ
ඉතින් තවම ඇයි ඔබ මා දැක හිනැහෙන්නේ

ගිය ඉරිදා ඉස්කෝලේ එන්න බැරි වුණේ
ලොකු අම්මා එක්කල මම නුවර ගියානේ
බොරුවක් නොව මේ මම ඇත්තයි පවසන්නේ
ඉතින් තව ම ඇයි හිමි මා දෙස හිනැහෙන්නේ

අමුතු හිනාවකි හිමි ඔබ මවෙත හෙලන්නේ
මා ගැන හොඳ හැටි දන්නා බවකි කියන්නේ
සමාවන්න හිමියනි බොරු නොකියමි හිතකින්
නෙළා ගත්තෙ මේ මල නංගි ගෙ මල් ගසකින්

දරුවන් වෙත දෙනෙත් හෙළා හිමි වැඩ ඉන්නේ
හොර බොරු කිසි දින නොකරනු මැනැවි ළමයිනේ..


පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්.
තනුව සහ සංගීතය : වික්ටර් රත්නායක
ගායනය : පේෂලා මෙන්ඩිස්

සිල් දෙකක්ම බිඳගත් මේ දැරිය
ඉරිදා ඉස්කෝලේ බුදු පුදට
මලක් ගෙන එන්නේ සොරකම් කිරීමෙනි.
එමතුද නොව ඇය බොරුවක්ද කියන්නීය.
ඇය එතරම් ලොකු අමාරුවක හෙළන ප්‍රේමකීර්ති
ඉතා සංයමයෙන් යුතුව බුදු හිමිගේ සැකය
වෙනත් හේතුවකැයි අනුමාන කරන්නට
ඇය පළමුව පොළඹවයි..
නැත්නම්
බුදු හිමියන් නොමග යවන්නට
අවධානය වෙනතක යොමු කරන්නීය.
මේ කොටස නොමැති වුණා නම්
ගීතයෙන් අඩක් පමණ වටිනා කම අඩුවෙයි.
ගිය ඉරිදා ඉස්කෝලෙ එන්න නොහැකි වුණේ
ලොකු අම්මා එක්ක නුවර ගිය නිසා බව ඇත්තකි.
එහෙත් බුදු හිමි ඇගෙන් සත්‍යය ඉල්ලා සිටියි.

අප දුටු රත්න ශ්‍රීගේ මල් දැරිය
මේ බොරුකාර සෙරට වඩා හොඳය.
මල් දැරිය අවංකය. නිදොස්ය. සිල්වත්ය.
එහෙත් මේ දැරිය මෙන් සැදැහැවත් නැත.

මේ බොරුකාර සෙර සැදැහැවත්ය.
පව් කළද පවට ලජ්ජා බය ඇත්තීය.
ඒ ශ්‍රද්ධාව නිසා පිරිසිදු වෙන ඇය ආපසු යන්නේ
තමන් සීලය රකින්නට ඉටා ගෙන
අන් අයද සිල් රකින්නට පොළඹවන
පිවිතුරු ශීලවන්තියක ලෙසිනි.
මේ වෙනස සමග අප ඇයට ආදරය කරමු. ගරු කරමු.
ඊටත් වඩා ප්‍රේමකීර්තිට ආදරය කරමු.

ප්‍රේමකීර්ති සොරකම් කරන්නෙකු යයි මා නොසිතන නමුදු
බොරු නොකියන්නෙකු නොවේ යයි සිතමි.
ඔහු ගීතය හමාර කරන්නේද බොරුවකිනි.
"දරුවන් වෙත දෙනෙත් හෙළා හිමි වැඩ ඉන්නේ
හොර බොරු කිසි දින නොකරනු මැනැවි ළමයිනේ."

දරුවන් වෙත දෙනෙත් හෙළා හිමි වැඩ නොසිටියි.
ඒ අදහස බොරුවක් බව අප දන්නා නමුත්
ඒ බොරුව දැරියගේ කෝණයෙන් සත්‍යයකි.
ඇය මේ කියන්නේ මොහොතකට පෙර ඇය අත්දුටු දේය.
ඇගේ කෝණයෙන් ඒ ඇය වෙනස් කළ ශක්තියයි.

භික්ෂුවක් ඇවැතක් ආරෝචනය කරන්නාක් මෙන්
ඇය හොරකමත් බොරුවත් කළ බව පිළිගත්තේ
බුදු සාදු ඈ දෙස
හෙලූ බැල්ම නිසාය.
ඇය සොරකමෙන් බොරුවෙන් මුදා ගත්තේ ඒ හැඟීමයි.

එහෙත් මේ දැරියගේ අත්දැකීම තුළින්
සියලුම දරු දැරියන් වෙත
ප්‍රේමකීර්ති සම්ප්‍රේෂණය කරන දයාබර පණිවිඩය
තවත් දශක ගණනාවක් තිස්සේ
අපේ රටවැසියන් අත, අතින් අතට යනු ඇත.

ප්‍රේමකීර්ති අපට පෙන්වන බුදුන් වහන්සේත්
තාගෝර් කිවිඳුන්ගේ හද තුළ විසූ
බුදුන් වහන්සේත් අතර පරතරයක් තිබේද?

මේ ස්වරූපයෙන් සපුරාම බැහැරව
රත්න ශ්‍රී මෙන් තම දුක් ගැනවිල්ල සමාජගත කරන්නට
බුදුන් වහන්සේ නිර්දය ලෙස භාවිතා කරන
හැවිල්ලක් මෙන් ද්වේශයෙන් ගිණියම්වූ බොදු ගීයක්
අපි දැන් විමසා බලමු.

 

අනාථනාථයාණනී......
තුන් ලෝ තල තිලකායමාන වූ
ශාක්‍යසිංහ වූ
අනාථනාථයාණනී

මුවින් සිනාසී සිතින් වෛර කරනා
සිරුර වැළඳ ගෙළ සිරකොට හිස සිඳිනා
බුදු බණ නෑසූ රුදු මිනිසුන් දැක
පඬුපුල් සෙලසුන් උණු නොම වෙද අද

දෙතොලැ හලා හළ විෂ තැන තැන ඉසිනා
ප්‍රේමය සාමය පාගා බිඳ දමනා
නොමිනිස් කැළ නම් යහ මඟ නො දකිත්
සිව් වැනි වරටත් බුදු හිමි වැඩියත්


ගේය පද - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනු නිර්මාණය හා ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක

සමාජයේ වෙසෙන රුදු නොමිනිස් කැළ සමග උපන්
ද්වේශයෙන් ලියැවුණ ගීතය අවසන් කෙරෙනුයේ
සිව් වැනි වරටත් බුදු හිමි වැඩියත්
නොමිනිස් කැළ යහමඟ නොදකින බව කියමිනි.
.
බුදු හිමියන් නාථ වූයේ එවන් අනාථයන්ට බව
සුනිල් ආරියරත්නයන්ට අමතක වූවාක් වැන්න.
ද්වේශයට පෝෂණයක් මිස
නිවීමක් සැදැහැ සිතට නව පණක් දීමක්
එම ගීතයෙහි නැත.

ගලක් වී පහර කන්නට, සිරිපා මුල මලක් වී පරව යන්නට
බුදුන්ටම පිදෙන්නට සිතන සිතක් තේමා කරගෙන
ප්‍රේමකීර්ති ලියූ තවත් ගීයක් මට සිහිවෙයි.

නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ
හිමි දෙසූ බණ අසා ඇති මුදු ඇසූයේ හිමිගේ හඬින් නොව
අනේ පිඬු සිටු පුතුට මෙන් අනේ හිමියනි මටද දැන්
දෙසා වදහල මැනවි බුදු බණ
මහා කරුණාවෙන්
මහා කරුණාවෙන්

ගලක් වී නම් මමත් ඉවසමි
යකුළු පහරද කැපී වෙන් වෙන
ඔබේ පිළිරුව නිම කරන්නට
කලා කරුවකු අතින් ලැබෙනා
එයින් හිමි හුරු කළාවූ
ක්ෂාන්තිය මට ලැබේවා
මහා කරුණාවෙන්
මහා කරුණාවෙන්

මලක් වන්නට නොහැක හිමියනි
මිනිස් බව ලැබ සිටින මා හට
මලක් අද ඔබ දෙපා පාමුල
විඳින සිහිලස නොමැත මාහට
මලක් වූ දා මගේ ජීවය
ඔබේ පා මුල පරවුණාවේ

නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ
හිමි දෙසූ බණ අසා ඇති මුදු ඇසූයේ හිමිගේ හඬින් නොව
අනේ පිඬු සිටු පුතුට මෙන් අනේ හිමියනි මටද දැන්
දෙසා වදහල මැනවි බුදු බණ
මහා කරුණාවෙන්
මහා කරුණාවෙන්


ගායනය-සංගීතය.: වික්ටර් රත්නායක
ප්‍රේමකීර්ති ද අල්විස්ගේ පද රචනය

බුදු දහම සමග
ප්‍රේමකීර්ති තුළ වූ සමීප සබන්දතාවය
මෙහි දෙවන කොටසෙන් පැහැදිලි වෙයි.
යකුළු පහරට කැපී වෙන් වෙන ගලක් මෙන්
ඔබේ පිළිරුව තනන්නට පූජාවක් වී
ඉවසා සිටින්නට පෙරුම් පුරමින් ඔහු පතන්නේ
අත්පා කපද්දී ක්ෂාන්ති පාරමිතා පිරූ
බෝසත් තවුසා අත්දුටු ක්ෂාන්තියයි..

අද ඔබ දෙපා මුල මලක් විඳින සිහිලස
කෙලෙස් ගින්නෙන් දැවෙන මට නැත.
මිනිසෙකු වන මට මලක් වන්නට නොහැකියෙන්
මා මලක් වන දිනක ඔබ පාමුල පරවුණාවේ.

ප්‍රේමකීර්ති මේ ගීතයට නගන්නේ
ඔහු තුළ ඇති ශ්‍රද්ධාව පමණක් නොවේ.
ඔහු සිය පෑන් තුඩින් අපේ ශ්‍රද්ධාවටද පණ පොවයි.
ප්‍රේමකීර්ති බුදුන් වහන්සේ හමුවට ගියා නම්
අනේපිඬු සිටු පුතුට මෙන්ම
"එන්න ප්‍රේමකීර්ති හිඳගන්න " කියා
බුදුන් වහන්සේගෙන් සැලකුම් ලබන්නට තරම්
බුදුන් වහන්සේට සමීප බවක් ඔහු තුළ වූ බවක්
මින් හැඟෙයි.

බුදුන් වහන්සේ පිළිබඳ සේකර තුළ වූ
අනුපමේය ශ්‍රද්ධාව පිළිබිඹු කරන ගීයෙන්
මේ විවරණය අවසන් කරමි.

මෙලොව පිහිටක් නැති වූ කල
බවුන් වඩනට වනයට ගොස්
කෙලෙස් මල ඉවත් කළ හැකි බව ඔහු දනියි.

බුදුන් වහන්සේගේ යෝධ බුද්ධ කාය
ඔහුගේ කුඩා බව පෙන්වා
ඔහු සිත මෝහනය කර ඇත.
එහෙත් ඒ කුඩා බව
ඔහුත් බුදුන් වහන්සේත් අතර
පරතරයක් ඇති කර නැත.

ඔහුගේ සිතුම් පෙළ අපේ ශ්‍රද්ධාව සහ
බුදුන් වහන්සේ පිළිබඳව අප තුළ ඇති රුව සමග
මනාව සමපාත වෙයි. සැසඳෙයි.


 
ඇසේ මතුවෙන කඳුලු බිඳු ගෙන ඔබේ සිරිපා දොවන්නම්
හදේ මැලවෙන කැලෑ මල් ගෙන ඔබේ සිරිපා පුදන්නම්

කෙළෙස් මළ පිරි නුවර අතහැර බවුන් වඩනට වනේ වැඩි ඔබ
සොයා ආවෙමි පොලෝ තලයේ අනේ පිහිටක් නොමැති වූ විට

ඉහළ නිල්වන් අහස විනිවිද නැගෙන ඔබගේ යෝධ බුදු බඳ
මගේ නෙත සිත මෝහනය කර මගේ කුදුබව පසක් කර ඇත

 __________________________________

තාගෝර්, ප්‍රේමකීර්ති සහ සේකර
තිදෙනා තුළ වූ ශ්‍රද්ධාව ස්වරූපයෙන් වෙනස්ය.
ඔවුනොවුන්ට ආවේණිකය.

තාගෝර්ගේ ශ්‍රද්ධාව ඔහු තුළ වූ
දේව වාදයෙන් පෝෂණය වී ඇත.

ප්‍රේමකීර්තිගේ ශ්‍රද්ධාව
පවෙන් ආරක්ෂා කරන සෙවනකි.
ආත්මික පූජාවකි.

බුදුන් වහන්සේගේ සරණ සෙවීමෙන්
කෙලෙස් නැසෙන බව සේකර දනියි.
ඔහු තමාත් බුදුන් වහන්සේත් අතර වූ
පරතරය සිතින් දකියි. නොසැලෙයි.

ඒ වෙනස්කම් කෙසේ වුවද ඔවුන්ගේ නිර්මාණ
සුනිල් සහ රත්න ශ්‍රීගේ නිර්මාණ වලට වඩා
අප හදවත් ස්පර්ශ කරන්නේ
ඒ නිර්මාණවලට පදනම්වූ නිර්මාණකරුවාගේ ශ්‍රද්ධාවයි.

 -----------------------------------------------------




මිනිස් මොළයේ විද්‍යාත්මක වම සහ කලාත්මක දකුණ...