20170216

වෛද්‍ය සභාවට ප්‍රමිතියක් නෑ..



සයිටම් ප්‍රශ්නය තවදුරටත්
ජනතා ප්‍රශ්නයක් නොවෙයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රශ්නයක්.
හැමදාමත් එහෙමයි.

අපේ ආරක්ෂක නිලධාරීන් ලෙස
මේ ප්‍රශ්නයෙදි විතරක් පෙනී සිටින
රජයේ වෛද්‍ය සංගමය කියා හඳුන්වන
වෛද්‍යවරුන් එක්වී පිහිටුවා ගත් සංගමයක්
සයිටම් ආයතනය වසා දමන්නට
අපේ සහයෝගය ඉල්ලා අපට වද දෙනවා.

මේ අර්බුදය සයිටම් ආයතනය විසින්
ඔවුන්ගේ දුරමලකම මත සහ
කෑදරකම මත ඇති කළ අර්බුදයක් ලෙස
පෙන්වා දෙන්නට වෛද්‍ය සංගමය වෑයම් කළත්
මේ අර්බුදයේ නිර්මාතෘවරුන්ද සංගමයමයි.

"සයිටම් ආයතනයට නිශ්චිත ප්‍රමිතියක් නැත.
ඔවුන් බිහි කරන වෛද්‍යවරුන්ට ප්‍රමිතියක් නැත.
ඒ වෛද්‍යවරුන්ගෙන් බෙහෙත් ගැනීම මාරාන්තිකය"
මේ අප හමුවට කෑකෝ ගසමින් පැමිණෙන
අපේ සෞඛ්‍ය ආරක්ෂක වෛද්‍ය සංගමය
අප භීතියට පත් කරන්නට මතුරන
වෘත්තීය ප්‍රමිති මන්තරයයි.

ඔවුන් මේ මන්තරය යළි යළිත් මතුරන විට
ඉන් ආරූඪවන පිරිසක්ද සමාජයෙහි ඇත.
එහෙත් මන්තරය මතුරන්නට හේතු සොයන
විමර්ශනශීලී ජනතාව ඔවුන් දෙස බැලුවේ
මේ වෛද්‍යවරුන්ට ප්‍රමිතියක් ඇත්ද යන
විචිකිච්ඡාවෙන් යුතුවය.

වෛද්‍යවරුන්ගේ ප්‍රමිතිය වඩත් හොඳින්
නිදැල්ලේ ප්‍රදර්ශනය වුණේ සමාජ ජාලවලය.
වෛද්‍යවරුන් ආවේගශීලීව, මාන්නයෙන් ඉදිමී
වියරුවෙන් මෙන් හැසිරෙමින්, අසභ්‍ය වචන කියමින්
සිය අදහසට විරුද්ධ මත දරන අයට
පුද්ගලිකව නින්දා අපහාස කියමින්, අවලාද කරමින්
තොවිල් පලක මෙන් ආවේශවී යකා නටනවිට
ඔවුන් සතුව ඇතැයි ජනතාව සිතා සිටි ප්‍රමිතිය
ඔවුන් තුළ නැති බව පැහැදිළි විය.

සුදර්ශන බාලගේ වැනි
ස්ත්‍රී දූෂක මිනීමරුවන්ද
වෛද්‍ය ලෝගුව දාගෙන පැමිණෙන බව
ජනතාව දැක ඇත.

මෙවැනි අමිහිරි අත්දැකීම් ඇති නිසා
වෛද්‍යවරයෙකුගේ ප්‍රමිතිය මනින්නට
ස්වභාවයෙන්ම අප තුළ ඇති නිර්ණායකයන්
රජයකින් වෘත්තික ප්‍රමිතිය නීතිගත කරමින්
පනවන ලද නිර්ණායකයන් නොවේ.

සාමාන්‍ය ජනතාව
වෛද්‍යවරයා දකින්නේ දෙවියෙකු මෙනි.
රෝගීන් සුවපත් කරන්නට හැකියාව ලබාගෙන
අප අතරට පැමිණෙන සාන්තුවරයන් මෙනි.

එහෙත් සිහි කල්පනාව ඇතිව ඔවුන් දෙස බලනවිට,
ඉතා දිගු කාලයක් උසස් අධ්‍යාපනයක නිරතව
සමාජගත වන වෛද්‍යවරයෙකු තුළ
නිතැතින්ම තිබිය යුතු හික්මීම ඔවුන් තුළ නැත්නම්
ඔවුන්ගේ අධ්‍යාපනික ප්‍රමිතිය කෙබඳුද? යන
සාධාරණ සැකය අප තුළ පහළ වෙයි.

ප්‍රමිති අර්බුදයක් රැගෙන අප හමුවට එන
වෛද්‍යවරුන්ගේ ප්‍රමිතිය ජනතාව විසින් සෙවීම මත
දැන් තවත් ප්‍රමිති අර්බුදයක් නිර්මාණය කර ඇත.

සයිටමයේ ප්‍රමිතිය නැතැයි සොයන වෛද්‍යවරුන්
නිශ්චිත ප්‍රමිතියකින් සමාජගත වූවෝද?
සයිටමයට ආදර්ශ ගත හැකි නෛතික ප්‍රමිතියක්
රජයේ වෛද්‍ය විද්‍යාල සතුව පවතීද?

නිසි පරිදි ප්‍රමිතිගත වෛද්‍ය උපාධියක් නැතිව
වසරෙන් වසරට පවත්වන විභාග වල ප්‍රමිතියෙන්
වෛද්‍යවරු බිහි කරන වෛද්‍ය සභාවට
ඒ විභාග සඳහා නිශ්චිත ප්‍රමිතියක් නත්නම්
වෛද්‍ය සංගමය ප්‍රමිතියක් ගැන කියමින්
ජනතාව මුලා කිරීම වරදකි.

ලංකාවේ වෛද්‍යවරුන්ගේ ප්‍රමිතිය
නීතිගත නොවූ පාවෙන ප්‍රමිතියක් නිසා
"පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අධීක්ෂණයට
නෛතික බලයක් වෛද්‍ය සභාව සතුව නැතැයි"
සැබෑ අසරණභාවයෙන් පෙළෙමින්
පුවත්පත් දැන්වීම් මගින් ඔවුහු කියා පෑවේ
මුලු රටේම ජනතාවටය.

මෙසේ කී වෛද්‍ය සභාවේ සභාපති වරයා
උසාවි නියෝගය ඇසූ පමණින් විරුද්ධ වන්නේ
සයිටමයේ ප්‍රමිතිය පරීක්ෂා කිරීමෙන් නොවේ.
පරීක්ෂා කිරීමට නීතිගත නිර්ණායකද නැත.
ඔහුට කළ හැක්කේ මෙතෙක් කළාක් මෙන්
විභාගයක් පැවැත්වීම පමණි.
සයිටම් නඩු තීන්දුව (19 පිටුව)
"රටේ කිසිම වෛද්‍ය විද්‍යාලයකට අදාල වූ,
කිසිම නිර්ණායකයක් ඇමති වරයා විසින්
නීතිගත කරලා නෑ."

තාක්ෂණික වගකීමක් නැති ඇමතිවරයා මගින්
වෛද්‍යවරු පත් කිරීමේ ප්‍රමිති නිර්ණායක
පාර්ලිමේන්තු පනතකින් නීතිගත කිරීම
වෛද්‍ය සභාව සතු වගකීමක්.

රු 25000 දඩයට විරුද්ධ වුණ
බස්, කාර්, ත්‍රීවීල් කරුවන්ගෙ මානසිකත්වයම
වෛද්‍යවරුන්ටත් තියන නිසා
වෛද්‍ය සභාව මේ පියවර ගන්නෙ නෑ.

නිශ්චිත නිර්ණායක නැති ආයතනයකට
තමන් හදාගන්නා නිර්ණායක යටතේ
විභාගයක් පවත්වා කැමති අය සමත් කිරීම හැර
වෙනත් කළ හැකි දෙයක් නැත.

වෛද්‍යවරයා නිවසටම වී හිඳගෙන
දුරකථනයෙන් එන්නතක් නියම කිරීමෙන්
අත දරුවෙක් මියයන්නේද
ප්‍රමිති නිර්ණායක නැති මේ ක්‍රමයෙහි වරද විය හැක.

ප්‍රමිතිය මනින්නට නිර්ණායක නැති රටක
පුද්ගලික වෛද්‍ය විද්‍යාලයකට
ඔවුන් ප්‍රමාණවත් යැයි සිතන ප්‍රමිතියකින්
සිසුන්ට වෛද්‍ය අධ්‍යාපනය දෙනවා හැර
වෙනත් විකල්පයක් ඔවුන් සතුව ඇත්ද?

සයිටම් ආයතනයටත් දැන් බලපත්‍රයක් ඇත.
ඔවුන් ඉදිරිපත් කරන වෛද්‍ය සිසුන්ගේ ප්‍රමිතිය
කුමන මට්ටමක පවතිනවාද කියා නොබලා
ඔවුන් ලියා පදිංචි කරන්නට තීන්දු කරමින්
අධිකරණය විසින් වෛද්‍ය සභාවට
නියෝගයක් නිකුත් කර තිබෙන පසුබිමක
උසාවි නියෝගයට අනුව නෙවිල් උපාධිය දුන්නොත්
නිසි ප්‍රමිතියට නෑ කියන සයිටම් ප්‍රමිතිය
වෛද්‍යවරයෙකුගෙ නීතිගත ප්‍රමිතියක් වීම
කිසිවෙකුටත් වැළැක්විය හැකිද?

රටේ නිසි නීතිගත ප්‍රමිතියක් නැති නිසා
ඔවුන්ටද ඔඋව්න්ටම ආවේණික පාවෙන ප්‍රමිතියක්
මතු අනාගතයේද පවත්වා ගත හැක

මේ අනුව කවදා හෝ
රජය විසින් ප්‍රමිතියක් නීතිගත කරන තුරු
වෛද්‍ය සභා පාවෙන ප්‍රමිතිය සහ සයිටම් පාවෙන ප්‍රමිතිය කියා
එකිනෙකට නිර්ණායකයන් වෙනස් ප්‍රමිති දෙකක්
නුදුරු අනාගතයේ අප රටේ බිහි වනු ඇත.

කාලෝ ෆොන්සේකා පවසන්නේ,
උසාවි නියෝගය තමා ප්‍රතික්ෂේප කරන බවත්,
එය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්
තමා අත්අඩංගුවට ගත්තත්
තම ස්ථාවරය වෙනස් නොකරන බවත් ය.

කාලෝ පොන්සේකාත් වෛද්‍ය සභාවත්
අධිකරණ නියෝගය ඉක්මවා ක්‍රියාකරන්නට
සමත්ද කියා අපට ප්‍රශ්නයක් තියනවා.
කාලෝ ෆොන්සේකා නීතියට පිටින් යද්දි
නෙවිල් උසාවි නියෝගය පිළිපැද්දොත්
රජයත් නීතිගරුක ජනතාවත් ඉදිරියෙ
වැරදි කරු වෙන්නෙ කවුද?
කාලෝද නෙවිල්ද?

නෙවිල් උසාවි නියෝගය පිළිපදිමින්
සයිටම් සිසුන්ට වෛද්‍ය උපාධිය දෙනවා නම්
සායනික පුහුණුව තියනවාද ප්‍රශ්න කරන්න
කිසිදු ආයතනයකට නෛතික බලයක් නැත.
නිශ්චිත නීතිගත ප්‍රමිතියක් නැති  වෛද්‍ය ක්ෂේත්‍රයක
සයිටම් ප්‍රමිතිය කතා කරන්න පුලුවන්ද?.
වෛද්‍යවරයෙකුගෙ ප්‍රමිතිය මනින නිශ්චිත සූත්‍රයක්
වෛද්‍ය සභාවට  නැතුවා පමණක් නොව
පීඨයෙන් පීඨයටත් ප්‍රමිතිය වෙනස් වෙනවා.

අවසන් වෛද්‍ය විභාගය 
 පොදු බහුවරණ ප්‍රශ්න පත්‍රයක්, කෙටි රචනා, short cases හා Long cases ලෙස සායනික පුහුණුව අගයන පරීක්ෂණ දෙකකින් සමන්විතවන අතර ප්‍රධාන විෂයන් හතරටම මෙම කොටස් සියල්ලම වෙන වෙනම පවත්වනු ලැබේ. සමස්ත විභාගයම SLMC හා UGC මඟින් නියාමනය වේ. ඒ ඒ විෂයට අදාල පොදු බහුවරණ පත්‍ර සියලුම පීඨවලින් පැමිණි ඒ ඒ විෂයට අදාල විශෙෂඥයන් පිරිසකගෙ එකතුවෙන් නිමැවෙයි. පොදු ශ්‍රේණිගත කිරීමට මෙම බහුවරණ ප්‍රශ්න පත්‍ර විශේෂ දායකත්වයක් දක්වන නමුත් කෙටි රචනා කොටස දායක නොවෙ එනිසා එය පීඨ මට්ටමෙන් පැවැත්වේ. Short cases හා Long cases පොදු ශ්‍රේණිගත කිරීමට දායක වන අතර විභාග පරීක්ෂකයන් දෙදෙනෙක්ගෙ අධීක්ෂණය යටතෙ ලකුණු සටහන් වේ. බොහො අවස්ථාවලදී එක් පරීක්ෂකයෙකු එම පීඨයෙන්මත් සහ අනෙකා වෙනත් පීඨයකිනුත් සහභාගී වේ. සැබෑ රොගීන් ලබා දෙයි

කොළඹ පීඨයේ ප්‍රමිතිය උසස් කියා
අප රටේ පිළිගැනීමක් පවතින්නේ මන්ද?.
සයිටම් වැනි පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක ප්‍රමිතිය
මැනිය යුත්තේ කොළඹ පීඨයේ ප්‍රමිතිය අනුවද?
නැත්නම් උගන්වන්න මහාචාර්යවරුත් නැති
අවම ප්‍රමිතියේ වෛද්‍ය පීඨ ප්‍රමිතිය අනුවද?

නීතිගත ප්‍රමිතියක් නැතිකම මත පිහිටා
රජයේ වෛද්‍ය සංගමය ප්‍රයෝගකාරී ලෙස
සයිටම් ආයතනය අහෝසි කරන්නට
ක්‍රියා කරමින් සිටිති.

පොලීසියක් නැති වනචාරී පෙදෙසක
නීතිය හා ප්‍රමිතිය වන්නේ මැරබලයයි.
ඒ පෙදෙසේ රාජ්‍ය නීතියක් නැති තාක් කල්
මැර බලය අත්තනෝමතිකව හැසිරෙයි.
මහජනතාවට ලාභයක් වෙන දෙයක් වුවද
මේ පරිසරය තුළ ඔවුන්ට අහිමි විය හැක.

වෛද්‍යවරයෙකුගේ ප්‍රමිතිය නිශ්චිත නැති රටක
අලුතෙන් බිහි වෙන ඕනම පෞද්ගලික විශ්ව විද්‍යාලයක්
ප්‍රමිතිය ඇති කරගන්නට බාධා කිරීමෙන් පසුව
"ප්‍රමිතිය නැහැ" කියන චෝදනාව යටතේ අහෝසි කරන්නට
වෛද්‍ය ක්ෂේත්‍රයෙහි අනිසි බලයක් පතුරුවා සිටින
රජයේ වෛද්‍ය සංගමයට හැකියාව තියනවා.

වෛද්‍ය සංගමය හැඟීමෙන් යුතුව රඟපාන
අපේ පොලිස්කාරයාගෙ සහ සෙක්කාගේ ආස්ථානයට
ඔවුන් පත්කළේ කවුරුන් විසින්ද?
අපේ ජනතාවම නොවේද?

වෛද්‍යවරුන්ගේ වර්ජනයක් පවතින විට
මිය යන සහ අසාධ්‍යවන අසරණ රෝගීන්
ප්‍රාණ ඇපයට ගනිමින් ඔවුන් තනාගත්
සිවිල් බලය හැර වෙනත් බලයක් ඔවුන්ට ඇත්ද?

රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය
සෞඛ්‍ය අමාත්‍යාංශයට උසාවියට නොගොස්
"සයිටම් එකට ප්‍රමිතිය නෑ. වසා දමමු"
කියමින් ඔවුන් ජනතාව ඉදිරියට එන්නෙ ඇයි?

රජයේ වෛද්‍යවරුන් සහ වෛද්‍ය ශිෂ්‍යයන්
 රටේ ජනතාව ගැන හිතන්නෙ කොහොමද?
" මේ ප්‍රශ්න උඹලට තේරෙන්නෙ නෑ.
තේරුම් ගන්න පුලුවන් මෙඩිසින් කරන අපිට විතරයි"
මෙඩිසින් නොකරන, මෙඩිසින් ප්‍රශ්න නොතේරෙන
වෛද්‍යවරුන්ගේ ප්‍රමිතිය නොදන්නා අපිටම
ඔවුන්ගෙ ප්‍රමිති ප්‍රශ්න පුන පුනා කියන්නට
අපේ සහයෝගය යදින්නට හේතුව
අපේ ඒ මෙඩිසින් නොදන්නා කමම නොවේද?

අපේ ආරක්ෂකයා මෙන් පෙනී සිටින වෛද්‍ය සංගමය
සයිටමයෙන් අප ආරක්ෂා කරන්නට මේ රඟපාන්නේ
ව්‍යාපාරික අරමුණු සහිත "ගෝඩ් ෆාදර්"ගේ
නැත්නම් "අප්පච්චි"ගේ මැර චරිතය නොවේද?

"සයිටම් වෛද්‍යවරුන්ට ප්‍රමිතිය නෑ.
ඔවුන්ගේ ප්‍රතිකාර මාරාන්තික වෙන්න පුලුවන්.
සයිටම් අහෝසි කරන්න අපට සහාය වෙන්න."
නැත්නම් ලබන මැතිවරණයේදී
"අපිට සහාය දෙන අයට චන්දය දෙන්න"
කියා ඔවුන් අප සොයා එනු ඇත

රජය, සෞඛ්‍ය අමාත්‍යාංශය, වෛද්‍ය සභාව එකතුවෙන්
විසඳාගත යුතුව පවතින නිශ්චිත වෛද්‍ය වෘත්තික ප්‍රමිතිය පිළිබඳ
අපට බලපාන දැවෙන ප්‍රශ්නය අපෙන් සඟවාගෙන
භීතිය පතුරුවා හැර අයුතු ජනරාශියක් රැස්කරගෙන
ඒ ජන බලය මාර්ගයෙන් ඔවුන්ගේ වෙළඳපළ බාධක
රජය ලවා  ඉවත් කරගැනීම සඳහා
වෛද්‍ය සංගම් වටුවැද්දා අප මත එලන දැල
වටුවන් නොවන අපට නොපෙනෙන්නේ ඇයි.?

 සුද්දාගේ කාලයේ සිටම පැවති වෛද්‍ය සභාවට
අපට සරිලන නිශ්චිත වෛද්‍ය වෘත්තික ප්‍රමිතියක්
මේ දක්වාම ඇතිකරගන්නට අසමත් වීමට සහ
ඒ සඳහා ක්‍රියා නොකිරීමට හේතුව කුමක්ද?

නිශ්චිත වෛද්‍ය වෘත්තික ප්‍රමිතියක් පවත්වාගැනීමෙන්
වෛද්‍යවරුන්ගේ නිදහස සීමාවන අතර
වෛද්‍ය සභාවේ අධිකාරිත්වය අඩු වෙයි.

දෙවියන් වැඩ නොවසන දෙවොලේ
දැන් නඩුත් බඩුත් දෙකම හාමුදුරුවන්ගේය.
අපෙන් සඟවාගෙන සිටි කළු ප්‍රමිති බළල් තඩියා
මල්ලෙන් එළියට පැන්නේ සයිටම් අර්බුදය නිසාය.

පාවෙන ප්‍රමිතියකට වෛද්‍යවරු පත් කරන
නෛතික බල රහිත වෛද්‍ය සභාවක් විසින්
බාහිර පෞද්ගලික වෛද්‍ය ආයතනයක ප්‍රමිතිය
අවිනිශ්චිත මිම්මෙන් මනින්නට තැත් කිරීමෙන්
ඔවුන්ගේ නොමේරූ ප්‍රමිතිය නිරුවත් විය.

රජයේ වෛද්‍යවරුන්ටත් නිශ්චිත ප්‍රමිතියක්
මේ වනවිටත් සම්මත වී නැත්නම්
වෛද්‍ය සංගමය සයිටම් ප්‍රමිතිය මැන්නේ
ලාහෙන්ද, කුරුණියෙන්ද කියන ප්‍රශ්නය
අප හමුවේ ඇත.

රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය
පළමුවෙන්ම කළ යුත්තේ
වත්මනෙහි පවතින සහ අනාගතයේ බිහිවන
රජයේ සහ පෞද්ගලික දෙපාර්ශවයේම
සියලු අංශවල වෛද්‍යවරුන් සඳහා
උසාවියක පෙන්විය හැකි නීතිගත ප්‍රමිතියක්
වහාම සකස් කිරීමට රජයට බල කිරීමය.

මේ මහඟු ජාතික මෙහෙවර සඳහා අවශ්‍ය නම්
රිසි තරම් ජනතා ආශීර්වාදයක් ජනතා සහයෝගයක්
ජනතා ප්‍රේමී රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයට
නිශ්චිතවම හිමිවනු ඇත.

ඒ වගකීම දරන්නට
ඔවුන්ට හැකියාව ඇත්ද?