20170428

සයිටම් විරෝධීන් වඩාත් ක්‍රියාකාරී ඇයි?

සයිටම් අර්බුදයට අදාළව
ක්‍රියාකාරිත්වය අතින් බැලුවාම
සයිටම් විරෝධී පාර්ශවය
ඉතාම ක්‍රියාකාරීයි.

සයිටම් පාක්ෂික පාර්ශවය මන්දගාමීයි.

මේ වෙනසට හේතුව කුමක්ද?

ගොමා සංගමයට පරදින්න බෑ.
පැරදුණොත් ඔවුන්ගෙ නමේ දැළි ගෑවෙනවා.

වෛද්‍ය සිසුන් හරහා ඔවුන්ගෙ අධ්‍යාපනයත්
ඔවුන්ගෙ ජීවිතේ වටිනාම කාලයත්
සයිටම් විරෝධයට බිලි දෙන්නට
ඔවුන් මෙහෙයවා ගැනීම
ගොමා සංගමයේ විශාලම ජයග්‍රහණයක්.
ඒත් ඒ පාඩුව ඇත්තටම  දැනෙන්නෙ
වෛද්‍ය සිසුන් සහ ඔවුන්ගෙ දෙමාපියන්ටයි.

ඔවුන් නාස්තිකරගන්නා කාලය
සාමාන්‍ය ජනතාවට අදාළ නෑ.
සාමාන්‍ය ජනතාව ඒ ක්‍රියාව දකින්නෙ
ගවඝාතනයට විරුද්ධත්වය පළකරමින්
භික්ෂුවක් සිරුරට ගිනි තියාගැනීම වැනි
අඳබාල ක්‍රියාවක් ලෙස විය හැකියි.

දේශපාලනික අනාථ පරපුරේ
අන්තරේට, ජවිපෙට මේක ප්‍රථමාධාරයක්.
ඇත්තටම කිව්වොත් දියේ ගිළුණ කෙනෙකුට
මුඛ ශ්වසනයක් තරමට අවශ්‍ය දෙයක්.

මුත්‍රා බරටත් පාර අයිනට එකතු වෙන
අන්තරේ කොල්ලො එක්ක නම්බුකාර වෛද්‍ය සිසුන්
පාරට බස්සාගන්න ලැබීම අන්තරේට ඉල්ලමක්.
මොන කරණම් ගැහුවත්, මොන වෙට්ටු දැම්මත්
ඔවුන්ට ජයක් පේන තෙක් මානෙකවත් නෑ.
ඉතින් ඔවුන් මහා වෙහෙසක් දැරිය යුතුයි.
මොකුත් නොකර සතියක් ගත වුණොත්
ඔක්කොම රැස් බහිනවා.

මෛත්‍රීත් ප්‍රශ්නය ඔහුගෙ අතට අරන්
සෑහෙන්න රැස් බැස්සුවා.

සාමාන්‍ය මිනිස්සුන්ට
සයිටම් වහන්න සැබෑ උවමනාවක් නෑ.
ඔවුන් සයිටම් වෛද්‍යවරුන්ට
සාධාරණ බියක් දක්වනවා.

දැන් ඉන්න රජයේ වෛද්‍යවරුන්ගෙන්
නිතර ප්‍රතිකාර අරගන්නා නිසාම
ප්‍රමිතියක් ඇති වෛද්‍යවරු ඉතාම අඩු බව
මිනිසුන් අත්දැකීමෙන්ම දන්නවා.
ඔවුන් සයිටම් වෛද්‍යවරුන්ට බයවෙන්න
ප්‍රධානම හේතුව ඔවුන් දන්න වෛද්‍යවරු ගැන
ඔවුන්ට විශ්වාසයක් හෝ ගෞරවයක් නැති වීමයි.
දැන් ඉන්නවාටත් අන්ත වෛද්‍යවරු ආවොත්
කුමකින් කුමක් සිදු වේදැයි ඔවුන් සිතනවා ඇති.

බැසිල්, මහින්ද ඇතුළු විපක්ෂ බලවේගත්
රහසින් සයිටම් විරෝධයට ආශීර්වාද කරනවා.
ආධාර උපකාරත් කරනවා ඇති.
රාජ්‍ය විරෝධී ඕනෑම ඉත්තෙක්
මහින්දට රජ වෙන්නත්, බැසිල්ට යුව රජු වෙන්නත්
රජ ඉරේ පිහිටුවන දෛවයෝගයක් විය හැකියි.

මේ ආදී හේතු නිසා
නොයෙකුත් ප්‍රචාරණ උපක්‍රම මගින්
දොළොස් මහේ පහනක් මෙන්
සයිටම් විරෝධය නොනිවා තබාගැනීම
සයිටම් විරෝධී බලඇණි මෙහෙයවන අයට
පැහැර හැරිය නොහැකි දෙයක් වී තියනවා.

මේ ප්‍රචාරණ උපක්‍රම
සිත්ගන්නා සුළු වෙන තරමටම
ඒ උපක්‍රම ජනතා සැකයට සහ
අප්‍රසාදයට බඳුන් වෙන්නෙ
ඒ තුළ ඇති වාණිජමය අරමුණු
ඔවුන්ට ඉවෙන් මෙන් පසක් වීමෙනුයි.

සටනක් පරදින විට
ඒ සටන වැල්ලෙ එරුන අලියෙක් වගෙයි.
කරන හැම දෙයක්ම
අලියා ගිලෙන්න හේතු වෙනවා.

රජයේ පාර්ශවයට සටන පහසුයි.
බලන දුර්ගය තියෙන්නෙ ඔවුන් අතෙයි.

සයිටම් ආයතනය ක්‍රියාත්මකයි.
උසාවියෙන් උපාධියත් අනුමතයි.

අදාළ ඇමති වරු දෙදෙනා සහ
රජයේ බහුතරය සයිටම් එකට පක්ෂයි.
ජනපති මධ්‍යස්ථ බව පෙණුනත්
ඔහුත් සයිටම් ජනසතු කිරීමට හෝ
වැසීමට එකඟත්වය පල කරලා නැහැ.

සයිටම් විරෝධී පාර්ශවය විසින්
මාස කිහිපයක් වෙහෙසී ගොඩනගන තර්ක වලට
පැය දෙකකින් සාර්ථක පිළිතුරු දෙන්නට
රූපවාහිනී චැනල් සියල්ලම
සිය අණසක යටතට ගනිමින්
රජයේ නියෝජිතයන් සමත් වුණා.

ගොමා සංගමය විසින් මේ තාක් කල්
ඔවුන්ගේ බලය තහවුරු කරගන්නා අරමුණෙන්
ඇමති අත්සන පමණක් ලබාගෙන
ගැසට් මගින් නීතිගත කරගන්නට වලි කෑ
අවම ප්‍රමිතීන් නීතිගත කිරීම සඳහා
පාර්ලිමේන්තු පනතක් ගෙන ඒම සහ
පුද්ගලික විශ්ව විද්‍යාල සඳහා
අවම ප්‍රමිතීන්ද ඒ පනතට ඇතුළත් කිරීමත්
"පුද්ගලික වෛද්‍ය විද්‍යාල අවශ්‍යයි" කියන
ප්‍රතිගාමී ජනතාව ලද ජයග්‍රහණයක්.

සයිටම් ආයතනය කුමක්දැයි නොදන්නා
රටේ පොදු ජනතාව රැස් කරගෙන
ඔවුන්ගේ විරෝධය මතුකරන මන්තර මතුරමින්
සටන දිනන්නට යන සයිටම් විරෝධීන්
මවා පෙන්වන මහ සොහොන් පිල්ලි බිඳෙනවිට
තල් අත්තට වැටුණ තල් ගෙඩියට බියවී
වල් සතුන් නොමග යැවූ හාවාට මෙන්
අවමන් විඳීමට සිදු නොවෙයිද?

රජය උපරිම ශක්තිය යොදා
සයිටම් යාත්‍රාව පදවාගෙන යද්දී
ජයග්‍රහණය සහතික බව දන්නා
සයිටම් පාක්ෂික පාර්ශවයට ඇත්තේ
සුවපහසුවෙන් හිඳගෙන බලා සිටීමයි.