20160820

යසෝධරා තෙරණියෝ පිරිනිවනට අවසර පතන්නී....


යසෝධරාපදානය

952. එක්සමයෙක්හි රම්‍ය වූ සමෘද්ධිමත් රජගහ නුවරැ 
එක්තරා ගිරිගුහායෙක්හි නරනායක වූ 
තථාගතයන් වහන්සේ වැඩ වෙසෙන සෙමෙහි -
953. එනුවරැ මනරම් මෙහෙණවරෙකැ වෙසෙන 
යශෝධරා තෙරණියනට මෙබඳු විතර්කයෙක් වූයේ යැ:
954. - 955. “නන්ද යැ, රාහුලභද්‍ර යැ, එසෙයින් මැ අග්‍රශ්‍රාවක යැ, 
සුද්ධෝදන මහරජ යැ, පජාපතිගොතමී යැ, ප්‍රසිද්ධ මහතෙරණුවෝ යැ, 
මහත් සෘද්ධි ඇති තෙරණියෝ යැ යන ඔබ 
ආස්‍රව රහිත වූවාහු (තෙල් රහිත) පහන්සිළු සෙයින් 
ශාන්තියට ගියාහු මැ වූහු.
956. ලෝකනාථයන් වහන්සේ ධ්‍රියමාන කල්හි මැ 
මම් දු ශාන්තියට යන්නෙමි” යි සිතා තමන් ආයු පමණ බලන්නී -
957. එදවසැ මැ ක්‍ෂයයට ගිය අයුසංස්කාර දැක 
පා සිවුරු ගෙන සිය අසපුවෙන් නික්මැ -
958. සිය ගණන් දහස්ගනන් මෙහෙණන් විසින් පෙරටු කරනලද 
මහත් සෘද්ධි ඇති මහත් ප්‍රඥා ඇති ඒ යශෝධරාවෝ 
සම්බුදුරජුන් කරා එළැඹුණාහ.
959. සම්බුදුහු වැඳ සක් ලකුණු ඇති ස්ථරහු වෙතැ 
එකත් පසෙකැ හුන්නා මෙවදන් බිණූහු:
960. “මහාමුනිතුමනි,  සැලකරමි: 
මම අටසැත්තෑ හැවිරිදි වෙමි. (මේ) පැසුළු වයස වෙයි, 
මරණ නමැති ප්‍රපාතයට පැමිණ සිටියා වෙමි.
961. මාගේ වයස මුහුකුරා සිටුනේ යැ, 
මාගේ ජීවිතය මද කල් පවත්නේ යැ, 
තොප හැර යන්නෙමි, 
මා විසින් තමහට පිහිට කරගන්නා ලදි.
962. මරණ තෙම පශ්චිමකාලයෙහි ආයු පෙළ යි, 
මහාවීරයන් වහන්ස අද රැය නිවනට පැමිණෙන්නෙමි.
963. මුනිවරයන් වහන්ස, 
යම් තෙනෙකැ ජාති - ජරා - ව්‍යාධි - මරණ නැත් ද, 
යම් තෙනෙකැ ගිය සත්ව නො පැනේ ද, 
වීරයන් වහන්ස, මම එහි යන්නෙමි.”

964. මෙහි යම් පමණ පිරිස් කෙනෙක් 
ශාස්තෲන් වහන්සේ වෙතැ රැස් වැ හිඳිත් ද, 
(ඔහු මා කළ) දොසක් දනිත් නම් 
මුනිඳුන් හමියෙහි කමත්වා!

965. මහාවීරයාණෙනි, සැලකරමි: 
සසරැ සරා ඇවිදුනා සෙමෙහි තොප කෙරෙහි 
ඉදින් මාගේ දොසෙක් වී නම් එය ක්‍ෂමා කරව.”

966. ඇගේ වදන් අසා මුනීන්ද්‍රයන් වහන්සේ මෙය වදාළසේකැ: “නිවනට යන තොපට මතු කුමක් නම් කියම් ද?
967. මාගේ අනුසසුන් කරන්න, සෘද්ධි ද දක්ව, සසුන්හි ලා සියලු පිරිස් හි සැක ද සිඳලව” යි.
968. මුනිඳුන්ගේ එවදන් අසා ඒ යශෝධරා මෙහෙණ එ මුනිරජුන් වැඳ මේ වචන කිවු:
969. වීරයන් වහන්ස, ශාක්‍යකුලයෙහි උපන් ස්ත්‍රීලක්‍ෂණයෙහි පිහිටි මම් යශෝධරා වෙමි, ගිහිගෙහි දී තොපගේ ප්‍රජාපති (භාර්‍ය්‍යා) වූමු.
970. වීරයාණෙනි, මම තොපගේ නිවසෙහි එක්ලක්ෂසයානූදහසක් කාන්තාවනට ප්‍රමුඛ වූමු. සියල්ලට ඉසුරු ද වුමු.
971. රූප - ආචාර ගුණයෙන් යුතු යොවුන් වියෙහි සිටි මම ප්‍රියතෙපුල් ඇති වූමු, මිනිසුන් දෙවියන් පුදනු සෙයින් සියල්ලෝ මා පුදත්.
972. ශාක්‍යපුත්‍රයන්ගේ නිවෙස්හි සහස්‍රකන්‍යාවනට ප්‍රමුඛ වූමු. සමාන සුවදුක් ඇති උහු (ඒ කන්‍යාවෝ) නඳුනුයනෙහි දේවතා බඳු වූහු.
973. කාමධාතු ඉක්මැ වූවා රූපධාතුහි සිටියා වෙමි. ලෝකනායකයන් තබා රූපයෙන් (මට) සමාන වූවක් නැති.
974. යශෝධරාවෝ මේ ආදිය කියා අහසට පැන නැගැ බුදුරදුන්ගේ අනුදැන්මෙන් නොයෙක් සෘද්ධි දැක් වූහ.
975. කය සක්වළ හා සම යැ, හිස උතුරුදෙසින් වූ කුරු දිවයින යැ, පියාපත් යුවළ (පූර්වවිදේහ - අපරගොයාන යන) දෙ දිව් යැ, සිරුරින් දඹදිව යැ.
976. පිල්කළඹ දකුණු සයුර යැ, පියාපත් නානා (වෘක්‍ෂ) ශාඛා යැ, දෙයැස සඳහිර යැ, මෙරුපර්වතයෙන් ශිඛා යැ.
977. තුඩ සක්වළ ගිර යැ (මෙබඳු ළිහිණි‍ රුවක් මවා දඹදිවට සලකුණු වූ) දඹරුක මුල් සහිත වැ උපුටා (එයින්) පවන් සලමින් එළැඹැ ලෝකනායකයන් වහන්සේ වඳිති.
978. ඇත්රුවක් ද, එසෙයින් ම අස්රුවක් ද, පව්වක් ද, මහසයුර ද, එසේ ම සඳු ද හිරු ද මෙරුව ද සක්රුව ද දැක්වූහ.
979. වීරයන් වහන්ස, මම යශෝධරා යැ, චක්‍ෂුර්මතුන් වහන්ස, (තොප) පා වඳිමි යි (කියමින්) දහසක් ලොධා විකසිත පද්මයකින් වැසූහ.
980. බ්‍රහ්මවේශ ද මවා ශුන්‍යතාප්‍රතිසංයුක්ත ධර්මදේශනා කළාහ. (යළි මෙසේ ද කියයි:) වීරයාණෙනි, මම් යශෝධරා යැ, චක්‍ෂුර්මතාණනි, (තොප) පා වඳිමි.
981. මහාමුනිතුමනි, සෘද්ධියෙහි ද, දිබ්බසෝතධාතුයෙහි (දිව කන්හි) ද වසී වෙමි. මෙරමාසිත් දන්නා නුවණෙහි ද වශී වෙමි.
982. පෙරැ විසූ කඳපිළිවෙළ දන්මි, දිවැස් පිරිසිදු කරන ලදී. සියලු ආස්‍රව ක්‍ෂීණ යැ, දැන් පුනර්භවයෙක් නැති.
983. මහාවීරයන් වහන්ස, අර්‍ත්‍ථ - ධරුම - නිරුක්තියෙහි ද, එසෙයින් ම ප්‍රතිභානයෙහි ද ඥානය තොප හමියෙහි දී මට උපන.
984. මහාමුනිතුමනි, ලෝකනාථ වූ බුදුවරයන්ගේ සඞ්ගමය තොප විසින් මොනොවට දක්වන ලද යැ, තොප පිණිස මාගේ අධිකාර ද බොහෝ යි.
985. මුනිතුමනි, පෙරැදෑහි (කළ) මාගේ යම් කුශලකර්මයෙක් වේ ද එය සිහි කරනු මැනැවි, මහාවීරයාණෙනි, තොප පිණිස මා විසින් පින් රැස්කරනලද යැ.
986. මහාවීරයාණනි, අභව්‍යස්ථාන හැරපියා අනාචාර දුරු කොට තොප සඳහා මා විසින් ජීවිතපරිත්‍යාග කරන ලදී.
987. මහාමුනිතුමනි, නොයෙක් කෙළදහස්ගණන් දෑහි භාර්‍ය්‍යා පිණිස මා දුන්නහු. තොපට වැඩ පිණිස එහිලා දොම්නස් නො ද වෙමි.
988. නොයෙක් කෙළදහස් අත්බව්හි (අනුනට) උපකාර පිණිස මා දුන්නහු, මහාමුනිතුමනි, තොපට වැඩ සඳහා එහිලා නො ද දොම්නස් වෙමි.
989. මහාමුනීන්ද්‍රයන් වහන්ස, අනේකකොටි සහස්‍රජාතීන්හි ආහාර සඳහා මා (යක්‍ෂ රාක්‍ෂසාදීන්ට) දුන්නහු, තොපට අර්‍ත්‍ථ පිණිස එහිලා විරුද්ධමනස් ඇති නො වෙමි.
990. නොයෙක් කෙළදහස්ගණන් ජාතිවලැ (තොප සඳහා මාගේ) ජීවිතය පරිත්‍යාග කළමු. (සිංහව්‍යාඝ්‍රාදීන්ගෙන් වන) බියෙන් (තොප) මුදවන්නෙමැ යි මාගේ ජීවිතය (ඔවුනට) දුන්මු.
991. ශරීරගත පලඳනා ද නන්වැදෑරුම් බොහෝ වස්ත්‍ර ද ස්ත්‍රී ආභරණ ද මහාමුනිතුමනි, තොප පිණිස නො ද සඟවා තබමි. (යදිනට දෙමි).
992. මහාමුනිතුමනි, (තොප පිණිස) ධනධාන්‍ය පරිත්‍යාග කළමු. ගම් නියම්ගම් ද කෙත් ද දූපුත්හු ද පරිත්‍යාග කරන ලදහ.
993. මහාවීරයාණෙනි, සංඛ්‍යා රහිත ඇත්තු ද අස්හු ද ගවයෝ ද දැස්සෝ ද සේවිකාවෝ ද තොප සඳහා මා විසින් පරිත්‍යාග කරන ලදහ.
994. ‘යදියනට දන් දෙමි’ යි යම් බසක් මට පවසන්නහු ද (එලෙසින්) උතුම් දන් සෙන තොප පිළිබඳ වූ මාගේ දොම්නසෙක් නො ද දක්මි.
995. මහාවීරයාණනි, සසරැ විවිධ ජාතිවලැ අපමණ වූ නන් වැදෑරුම් බෙහෝ දුක් තොප පිණිස විඳුනා ලද යැ.
996. මහාමුනිතුමනි, සුවපත් වූවා (උදම් වැ) නො ද සතුටු වෙමි, දුකෙහි දි නො ද දුමනස් ඇති වෙමි. තොප සඳහා සැම තැන්හි තුලා බඳු (සම) වෙමි.
997. සම්බුදුරජාණන් වහන්සේ මගපිළිවෙළින් යම් ධර්මයක් ගෙනහැර වදාළසේක් ද, මහාමුනීන්ද්‍රයන් වහන්සේ සුවදුක් අනුභව කොට (ඒ) සම්මා සම්බෝධියට පැමිණි සේකැ.
998. බ්‍රහ්මදේව නම් වු ලෝකනායක (පුරාණ) ගෞතම සම්බුදුරජාණන් වහන්සේ අපි දෙදෙනමෝ දුටුම්හ. (අපරභාගයෙහි පහළ වූ) අන්‍ය ලොකනාථයන් වහන්සේගේ සමාගම් ද තොප විසිනුදු මා විසිනුදු ලබන ලද යැ.
999. මහාමුනිතුමනි, තොප පිණිස මා විසින් කරනලද අධිකාර බෙහෙව, බුදුකුරුදහම් සොයන තොපට මම් පරිවාරිකා වූමු.
1000. (මෙ කපින්) චතුරාසඞ්ඛ්‍යයක් අධික කොට ඇති සුවහස්වන කප්හි ලෝකනායක වූ දීපඞ්කර බුදුරජාණන් වහන්සේ ලොවැ පහළ වූ සේකැ.
1001. පසල් දන්ව්වෙකැ (දනෝ) තථාගතයන් වහන්සේට නිමන්ත්‍රණය කොට ඔබ වඩනා මඟ තුටුසිත් ඇත්තාහු පිරිසිදු කෙරෙත්.
1002. එ සමයෙහි සුමේධ නම් බ්‍රාහ්මණයෙක් වූයේ යැ, හේ සියල්ල දක්නාසුලු වඩනා බුදුරදුනට මඟ ද සකසා දුන්නේ යි.
1003. එකල්හි මම බමුණුකුලෙහි උපන්නෙම් නමින් සුමිත්තා නම් වූ කන්‍යාවක් වූමු. (තථාගත) සමාගමයට ද එළැඹුණුමු.
1004. ශාස්තෲන් වහන්සේ පුදනු සඳහා උපුල් අටමිටක් රැගෙන (ගිය මම) ජනසමාගම මධ්‍යයෙහි (හුන්) උග්‍ර තපොව්‍රත ඇති සෘෂි කෙනෙකුන් දුටුමු.
1005. එසඳ වැහැරි මතුයෙහි හුන් අතිකාන්ත වූ මනෝහර වූ සෘෂිහු දැක “මාගේ ජීවිතය සඵල යැ” යි සිතමු.
1006. එදවසැ (සුමේධ) සෘෂිහුගේ ඵල සහිත ඒ (ජීවිත පරිත්‍යාග සඞ්ඛ්‍යාත) පරාක්‍රමය දුටුමු. පූර්වපුණ්‍යකර්ම හේතුයෙන් සම්බුද්ධයන් වහන්සේ කෙරෙහි මාගේ සිත ද ප්‍රසන්න වී.
1007. උදාර මනස් ඇති සෘෂිවරයා කෙරෙහි බෙහෙවින් සිත පහදවාලූමු. (මෙසේ ද කීමු:) තපස්වීතුමනි, දියයුතු අන්දැයක් නො දක්මි, තොපට (මේ) මල් දෙමි.
1008. තවුසාණනි, (මේ උපුල් අට මිටෙන්) පස් මිටෙක් තොපට වේවා. තුන් මිටෙක් මට වේවා. එයින් (අපගේ ප්‍රාර්‍ත්‍ථනා) සිද්ධිය සම වේවා. සෘෂිතුමනි, තොපගේ බුද්ධත්වය පිණිස ද වේවා.
1009. සුමේධ තවුස් තෙමේ ඒ මල් රැගෙන බුදුබව පිණිස (එයින්) ජනසන්නිපාත මධ්‍යයෙහි වැඩම කරන මහායශස් ඇති මහර්ෂි බුදුරජාණන් වහන්සේ පිදුයේ යි.
1010. ජනසමාගම මධ්‍යයෙහි (සිටුනා) උදාරසිත් ඇති සෘෂිහු දැක මහාවීර වූ දීපඞ්කර මුනින්ද්‍රයන් වහන්සේ මෙසේ වදාළ සේකැ:
1011. (මෝ තොප හා) සමසිත් ඇති, සමකර්ම ඇති සමවැ ක්‍රියා කරන්නක් වෙයි, මහාතවුස, තොපට වැඩ පිණිස ක්‍රියායෙන් ප්‍රිය ද වේ.
1012. මනාදැකුම් ඇති, මොනොවට ප්‍රිය වූ, මන වඩන, ප්‍රිය තෙපුල් බණන, ඒ තොපගේ ධර්මයට දායාද වූ ප්‍රිය භාර්‍ය්‍යාවක් වෙයි.
1013. යම්සේ ධනහිමයෝ භාණ්ඩසමුද්ගය (ධනාගාරය) රකිත් ද, එසෙයින් කුසල්දහම් පිළිබඳ සමුද්ගය මෝ තොමෝ රක්නී යැ.
1014. ඒ තොපට අනුකම්පා කරමින් පාරමි ධර්ම පුරන්නී යැ, පඤ්ජරය (කූඩුව) බිඳ පියා පලායන සිංහයකු සෙයින් මෝ අර්හත්වයට පැමිණෙයි.
1015. මෙකපින් පෙර අපරිමෙය කපෙක්හි (දීපඞ්කර) බුදුරජාණන් වහන්සේ මට යමක් ප්‍රකාශ කළසේක් ද, එවදන් අනුව සතුටුවන මම් එසේ කරන්නක් වූමු.
1016. - 1017. එ බුදුන් කෙරෙහි සිත පහසවා ලූමු. ඒ කුශල කර්ම බලයෙන් අපමණ දෙව්මිනිස්දෑහි උපත ලබා දෙවියන් කෙරෙහි දු මිනිසුන් කෙරෙහි දු සුවදුක් වළඳ කොට පැසුළු භවය එළැඹැ සිටි කල්හි ශාක්‍ය කුලයෙහි උපන්මු.
1018. රූ ඇති වෙමි, භෝග ඇත් වෙමි, යශස් හා සිල් ඇති වෙමි. එසෙයින් සර්වාඞ්ග සම්පත් ඇති වෙමි. කුසල් දහම්හි අතිසත්කෘත ද, (බෙහෙවින් කරනලද සත්කාර ඇති) වෙමි.
1019. ලාභ යැ, ගුණකර්ම යැ, සත්කාර යැ, ලෝකධර්ම සමාගම යැ යන සියල්ල ලබමි. දුඃඛිත වූ ද සිතෙක් නැති. බිය රහිත වැ වෙසෙමි.
1020. සසරැ කලකිරී දහසක් පිරිවරින් යුක්ත වැ ශාසනයෙහි පැවිදි වූමු. පැවිදි වැ පළිබෝධ රහිත වූමු.
1021. ගිහිගෙය හැරපියා අනගාරීය සංඛ්‍යාත ශාසනයෙහි පැවිදි වූමු, අඩමසක් නො පත් කල්හි සිව්සස් අවබොධ කළමු.
1022. බොහෝ දෙන සාගරයාගේ රළ මෙන් නොයෙක් සිවුරු ද පිණ්ඩපාතය ද ගිලන්පස ද සෙනසුන් ද එළවත්.
1023. මා විසින් ක්ලෙශයෝ දවන ලදහු. සියලු භවයෝ නසන ලදහු, බැඳුම් සිඳ ඇතින්නක මෙන් ආස්‍රව රහිත වැ වෙසෙමි.
1024. බුද්ධශ්‍රේෂ්ඨයන් සමිපයෙහි ඒකාන්තයෙන් මාගේ ස්වාගතය විය, ත්‍රිවිද්‍යාවෝ ලබන ලදහු, බුදුන්ගේ අනුසසුන් කරන ලදී.
1025. සිවු පිළිසිඹියාවෝ ද මේ අෂ්ට විමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද පසක් කරන ලදහු, බුදුන්ගේ අනුසසුන් කරන ලදී.
1026. මෙසේ බහුවිධ වූ දුකට ද බහුප්‍රකාර වූ සම්පත්තීන්ට ද විශුද්ධභාවයට ද පැමිණියමු, සියලු සම්පත් ලබමි.
1027. ඕ යසෝධරා පින් සඳහා මහර්ෂීන්ට සිය අත්බැව දෙයි, ඈට සහායසම්පත්තීහු වෙති, නිර්වාණපදය අසංඛත යි.
1028. අතීත වූ ද ප්‍රත්‍යුත්පන්න වූ ද අනාගත වූ ද කර්‍මය ගෙවී ගියේ ය, මාගේ සියලු කර්ම ක්‍ෂය වී, පසැස් ඇති සර්වඥයෙනි, ඔබගේ පාසඟුළුවන් වඳිමි.
මෙසේ යසෝධරා මෙහෙණ මේ ගාථා කිවු යැ.

සංස්කාර...විඥාණ...සංස්කාර


අපි අත්දැකීමක් විඳිනකොට
අපේ රුචි අරුචි වලට ආවේණිකව
අපි ඒ අත්දැකීමට දෙන
අර්ථ කථනය ඇත්ත නොවෙයි.
ඒ අර්ථ කථනය අපේ නිසා අපිට ඇත්ත.
ජීවත් වෙන්න ඒ අර්ථ කථන අවශ්‍යයි.

අපේ අර්ථකථනවලට
සමාන අර්ථකථන තියන අය
අපි මිතුරන් ලෙස සලකනවා.
මිනිස්සු කල්ලි ගැහෙන්නෙ
ඔවුන් තුළ රැස් කරන සංස්කාර
සමාන නිසා.

සත්වයින් පිරිසක් ඉන්න රටකට
අව්ව වැටෙද්දි
ඔවුන් එකිනෙකා තුළ සංස්කාර ඇති වෙන්නෙ
ඔවුන්ගෙ ශරීර ස්වභාවයට සහ
කායික හා මානසික පරිසරයට සාපේක්ෂවයි.

රටේ මොන පළාතකදි වුණත්
අපි අව්වෙ යනකොට ඇත්තටම විඳින්නෙ
අව්වෙ තාපය නිසා අපට දැනෙන උෂ්ණත්වයයි.

සීතල පළාතකදි දැනෙන අව්ව අපිට ප්‍රියයි.
අත්දැකීම ප්‍රිය නිසා රාග සංස්කාර ඇති වෙනවා.
උෂ්ණ පළාතකදි ඒ අව්ව අපට අප්‍රියයි.
ද්වේශ සංස්කාර ඇති වෙනවා.

සංස්කාර ඇතිවෙන්නෙ
''අව්ව'' ප්‍රිය නිසා නොවෙයි.
අව්ව හැමවිටම අපිට ප්‍රිය නෑ.

අපි අව්ව ප්‍රිය කරන්නෙ
අව්ව නිසා
ඒ ඒ අවස්ථාවල
''අපි තුළ සිදුවෙන වෙනස''
අපිට ප්‍රිය නිසයි.

උෂ්ණත්වය දැනෙන්නෙ කයට.
උෂ්ණත්වය ස්පර්ශ වෙද්දි
කයෙහි වේදනාවක් ඇති වෙනවා.
සිත ඒ උෂ්ණත්වය සීතලට සාපේක්ෂව
සුඛ වේදනාවක් විදියට විඳිනවා.

සිත සුඛ වේදනාව ප්‍රිය කරද්දි
ඒ ප්‍රිය කිරීම නිසා අපි තුළ
අනවශ්‍ය අමතර වෙනස් කමක් සිදු වෙනවා.
ඒ වෙනස රාග සංස්කාරයක් විදියට
බුදු දහමෙ හැඳින් වෙනවා.

උෂ්ණ පළාතකදි ඒ අව්ව අපට අප්‍රියයි.
බාහිර උෂ්ණත්වයට සාපේක්ෂව
අපේ කයෙහි උෂ්ණත්වය වැඩිවෙද්ඩ්දි
අව්ව ඇති කරන උෂ්ණත්වයෙන්
අපි තුළ ඇති වෙන්නෙ දුක්ඛ වේදනාවක්.
ඒ වේදනාව අපට අප්‍රිය වෙද්දි
අපි තුළ ඇතිවෙන්නෙ ද්වේශ සංස්කාර.

අපේ ප්‍රිය අප්‍රිය සීමාවට හසු නොවෙන
උෂ්ණත්වය නිසා රැස්වෙන්නෙ
මෝහ සංස්කාර.

අව්ව
සීතල පලාතටත්
උෂ්ණ පළාතටත් වෙනසක් නෑ.
උෂ්ණත්වය
සීතල පලාතටත්
උෂ්ණ පළාතටත් වෙනසක් නෑ.

 නිශ්චිත වෙලාවකදි
අව්වෙ උෂ්ණත්වය මැන්නොත්
උෂ්ණත්වමාපකයෙ දර්ශකය
මේ පළාත් දෙකේදිම එකයි.

අපේ කයෙහි මතු වෙන වේදනාත්
පළාත් දෙකේදිම එකයි.
අපි අපිට සාපේක්ෂව එක වෙලාවකදි
එකම වේදනාවකින්
ෂෝක්-පට්ට වශයෙන් ආතල් ගන්නවා.
ඒ වේදනාව නිසාම
සවුත්තුයි- කුජීතයි කියමින්
ආතල් කඩා ගන්නවා.

සංස්කාර වලින් විඥාණය හැදෙනවා.
අපි සීතල පළාතක් ගැන හිතන විටම
විඥාණයෙන් රාග සංස්කාර මතුවෙලා
කයෙහි සුඛ වේදනා මාලාවක් ඇති කරනවා.
ඒ වේදනාවෙන් තණ්හාව උපදිනවා.
සීතල පළාතට යන්න ඇතිවෙන තණ්හාව
නැවත නැවත ඇතිවෙමින් උපාදාන වෙනවා.
ටික දවසකින් අපි සීතල පළාතට යන්න
කටයුතු සකස් කරගෙන
විනෝදගමනක භවයක් සකස් කරගන්නවා.

අපි සීතල පළාත තුල ජාතිය ලබනවා.
අපි නැවත රාග සංස්කාර රැස් කරනවා.
නිවාඩු කාලය ජරාවට යනවා.
අපි දුක් වෙනවා.
වැස්ස ලෙඩක්... අපි දුක් වෙනවා.
නිවාඩු කාලය මරණයට පත් වෙනවා.
අපි දුක් වෙලා ආපහු එනවා.

ඒ රාග සංස්කාර පවත්වාගන්න
සීතල පළාත්වල ගෙවල් තුළ
ගිනි උදුන් තැනෙනවා.
උෂ්ණ පළාත්වල වායු සමීකරණ, ෆෑන්
භාවිතා කරනවා.

දවස පුරාම
ස්පර්ශයෙන් වේදනාවත් වේදනාවෙන් තණ්හාවත්
තණ්හාවෙන් උපාදානයත්, භවයෙන්
ජාති ජරා මරණත් සකස් වෙනවා.

දවස පුරාම නොකඩවා ක්‍රියාත්මක වෙන
මේ සංසිද්ධි අපි තුළ දකිනවා නම්
අපි දුක් විඳින ප්‍රමාණය අඩු වෙනවා.