20140630

විවිධ ආගමික විශ්වාස ඉක්මවා යා නොහැකිද?



.
ලෝකය සමස්තයක් විදියට
විවිධ ආගමික විශ්වාස සමග
ඉදිරියට ගමන් කරනවා.
ඒ විශ්වාස වසර දහස් ගණන් පවතිනවා.

විවිධ ආගමික විශ්වාස තියන අය
මිථ්‍යා විශ්වාස අනුව ක්‍රියා කරමින්
තාවකාලිකව දුක යටපත් කරගෙන
සංවේදී බව රැකගන්නවා.

ඒ විශ්වාස මිථ්‍යාවන් විදියට
අනුමාන කරන පිරිස
සංවේදී බව නැති කරගන්නවා.
ඔවුන්ගෙන් බොහෝ දෙනෙක්
හැඟීම් නොදැනෙන
ස්වාභාවික කායික අවශ්‍යතාවයන් මත යැපෙන
නරුම ජීවිත ගත කරනවා.
මත්පැනට පෙළඹෙනවා.
සත්‍ය ලෝකයෙන් බැහැර
මනෝ ලොවක සැරි සරනවා.

ඔවුන් සහ ආගම් අදහන අය අතර
ලොකු වෙනසක් නැහැ..
ආගම් මිථ්‍යාවක් කියලා
ඔවුන් තුළ ඇත්තෙත් ඇදහිල්ලක්.

ආගම් අදහන අය
දෙවිවරුන් හා විව්ධ පූජකයන්
අන්ධ භක්තියෙන් අදහන් විදියටම
ඔවුන් තෝරාගත් දාර්ශනිකයන් හා
විවිධ ලේඛකයන් කියන දේ
අන්ධ භක්තියෙන් අදහනවා.

බුදු දහම ඔස්සේ
සංවේදී බව වැඩි කරගන්න ගමන්
එයින් දුක් නොවිඳ ඉන්න
පුහුණු වෙන තැනැත්තාට
තමන් සොයන සත්‍යය
අදහන්න දෙයක් නැහැ.
ඔහු පරම සත්‍යය වූ දුක
තමා තුළම දකිනවා.
ඒ සිහිය සමග
දුකට උපේක්ෂාව ඇති නිසා
ඔහු දුක් විඳින්නේ නැහැ.
සංවේදී බවත් රැකෙනවා.
ඔහු ඉන් දුක් විඳින්නෙත් නැහැ..

20140629

කල්ලියක් කියන්නෙ මායාවක්.


පිරිසක් එකතුවෙලා දන්සැලක් දුන්නත්
එතන කල්ලියක් හැදෙනවා..
නායකයන් ඇති වෙනවා.
අනුගාමිකයන් ඇතිවෙනවා.

සමාන අරමුණු තියන
සමාන බලාපොරොත්තු තියන අය
එකට එකතු වෙලා
පොදු අරමුණක් සඳහා ක්‍රියා කරන්නෙ
ඒ පොදු අරමුණ සාර්ථක වෙද්දි
ඔවුන්ට ලැබෙන පුද්ගලික වාසි
තියන නිසා.
මුදල්, ගරුනම්බු, ස්ත්‍රීන් ඇසුර,
සේවයක් කරනවා කියන සතුට ආදී
ඔවුන් තනිව හැසිරෙද්දි
යහමින් නොලැබෙන ඔවුන් ප්‍රියකරන දේවල්
කල්ලිය තුළ ඔවුන්ට
පහසුවෙන් හිමි වෙනවා.

කල්ලි ගැසෙන පුද්ගලයන් අනුව
හොඳ වගේම නරක ගතිගුණත්
කල්ලි ගැසීමෙන් මතුවෙනවා.
හොඳත් නරකත් දෙකම
කල්ලියකට පහසුයි.

කල්ලියෙ ඉන්න බලවත් පුද්ගලයා
ඔහුට රිසි විදියට
තමන්ගෙ අරමුණු ඉටුකරගනිද්දි
කල්ලියට ඇබ්බැහිවුණ සාමාජිකයන්
තමන්ට කිසිම වාසියක් නැතත්
කල්ලියට දරදිය අදිනවා.
මේ සත්‍යය වැටහෙන
ස්වාධීන මනසක් ඇති සාමාජිකයන්
කල්ලියෙන් ඉවත් වෙනවා.
අලුත් අය එකතු වෙනවා.

නායකයන් ආත්මාර්ථකාමී වන විට
කල්ලිය පිරිහෙනවා.
සාමාජිකයන් බිඳෙනවා.
කල්ලි තුළට එකතු වෙන්නෙ
කල්ලි මානසිකත්වයෙන් යුතු අය නිසා
කල්ලි තුළ කුඩා කල්ලි ඇතිවීම
අනිවාර්යයි.
ප්‍රධනියාට එරෙහිව කැරලි ගහන
කුඩා කල්ලි නායකයන්
කැඩිලා ගිහින් වෙනම කල්ලි
හදා ගන්නවා.

සමාජයක් පිරිහෙන විට
නූගතුන් හෝ
උගත් මෝඩයන් වගකීම් දරන විට
ඒ සමාජය තුළ කල්ලි වැඩිවෙනවා.
දියුණු මනසක් ඇති පුද්ගලයන් හෝ
පුද්ගලික අරමුණු සඳහා
කල්ලිය භාවිතා නොකරන පුද්ගලයන්
සමූහයක වගකීම් දරන විට
මිනිසුන් කල්ලි ගැහෙන්නෙ නෑ.
ස්වාධීනව කාගෙත් හොඳට
සුහදව ක්‍රියා කරනවා.

බුද්ධ ශ්‍රාවකයන්
කල්ලි ගැසෙන්නේ නැහැ.
පුහුදුන් බෞද්ධ භික්ෂූන් කල්ලි ගැහෙනවා
සංඝරත්නය කවදාවත්
කල්ලි ගැහෙන්නෙ නෑ.
සංඝයා වහන්සෙ කෙනෙක් නම් ස්වාධීනයි.
අනුගාමිකයන් එක් රැස් වී
බාහිර අරමුණකින් ක්‍රියා කරන්නෙ නැහැ.


භික්ෂූන් ජනප්‍රිය වෙලා
ඔවුන් වටා කල්ලි නිර්මාණය වෙන්නෙ
ඔවුන් තුල ක්‍රියාත්මක වෙන
නීවරණ නිසයි..

බුදුන් වහන්සෙගෙ කාලෙ
සැරියුත් මුගලන් තෙරුන් වහන්සේලා
එක්ව විවේකය අවශ්‍ය නිසා
තමන් පැමිණි බව හෙළි නොකරන්න
භික්ෂුවකට කිවු අවස්ථාව
ඔහු වැරදි විදියට හැසිරීමෙන්
එවකට පැවති භික්ෂු සමාජය තුළ
ලොකු අවුලක් ඇතිවුණා.
මේ අවස්ථාව හැරෙන්නට
රහතන් වහන්සේ දෙනමක්
එක්ව ක්‍රියාකළ අවස්ථාවක් මා දන්නේ නැහැ.

හිතා මතා කල්ලි ගැසුණේ
දෙව්දත් පමණයි.

බුද්ධ ශ්‍රාවකයන්
කල්ලි ගැසෙන්නේ නැහැ.
ඔවුන්ගේ ගමන ස්වාධීනයි.
ඔහු තමන්ගේ ගමන ස්වාධීනව යන ගමන්
ස්වාධීනව යන අයට
තමන්ගේ ගමන යන්න උපකාර කරනවා.
ඔහු තමන්ගේ ගමන යන්න
කල්ලියක් හදා ගන්නේ නැහැ..
කල්ලියකට බැඳෙන්නෙත් නැහැ.

තුම්හේහි කිච්ච්ං ආතප්පං
අක්ඛාතරො තථාගත.

බේබදු ජීවිතයකට ගැලවීමක් නැද්ද?


අමිර් ඛාන්ගේ
"සත්‍ය මෙව ජයතෙ" රූපවාහිනී වැඩ සටහන
සියල්ල අහිමි කරගත් බේබද්දන්
ඔවුන්ගේ ජීවිත පිළිබඳ කරන
අනුවේදනීය විවරණ..
වෛද්‍ය විද්‍යාත්මක විවරණ.

බැංගලෝරයේ විශාල රෝහලක
හදිසි අනතුරු හේතුවෙන් ඇතුළත්වෙන අයගෙන්
25%ක් බීමත් බව නිසා
තමන්ටම සිදු කරගත් අනතුරු නිසාය.
තවත් 35%ක්
බීමත් අය විසින් සිදු කළ අනතුරු වෙයි.

මත්පැන් පානය කල කෙනෙකු අතින්
සිදුවෙන රිය අනතුරකින්
කිසිවෙකු මිය ගියහොත්
ඒ රියැදුරාට මරණ දඬුවම දිය යුතු බවට
වෙනත් බීමත් තරුණයෙකුගේ වරදින්
සිදුවූ රිය අනතුරකින්
සිය එකම දරුවා මරණයට පත්වූ
සොවින් තැවෙන එක් පියෙකු
යෝජනා කරනවා.

අමිර් ඛාන් දෙන පිළිතුර.....
නීතියට අසු වුණත් නැතත්
වෙනත් අයගේ ජීවිත සමග
ඔවුන්ගේ පවුල් සමග
මාරන්තික ක්‍රීඩාවක යෙදෙන බව
ඔවුන් සිහිපත් කළ යුතු බවයි.

නව යොවුන් දරුවන්ට ඔහු කරන ඉල්ලීම.
1, ඔබ බීමත් නම් රිය නොපදවන්න.
2, බීමත් මිතුරෙකුට රිය පදවන්නට
ඉඩ නොදෙන්න.
3, ඔබට ඔහු වැළැක්විය නොහැකි නම්
ඔබ වාහනයෙන් බසින්න.

අද මද පමණින් මත්පැන් තොලගාන ඔබ
තව වසරකින් දෙකකින්
බේබද්දෙක් නොවිය හැකියයි
ඔබට සහතික කළ හැකිද?

එක් වෛද්‍යවරයෙකුට අනුව
බේබදුකම ඇබ්බැහිකමක් නොව
ජානමය රෝගයකි.


බේබද්දෙක් වීමට
ජානමය ප්‍රවණතාවයක් ඇත්තෙකු
පළමු වර මත්පැන් පානයෙන් පසුඔහුගේ මොළයෙහි මත්පැන් පිළිගැනීමේ ධාතු
නිර්මාණය වෙයි.
මත්පැන් පානයෙහි යෙදෙන වාරයක් වාරයක් පාසා
මෙම ධාතු ප්‍රමාණය ඉහළ යයි.

සාමාන්‍ය කෙනෙකු
මෙම ධාතු ප්‍රතික්ෂේප කරන
ප්‍රවණතාවයකින් යුක්තය,
බේබද්දෙක් වීමට ප්‍රවණතාවයක් ඇත්තෙකුගේ
ධාතු ප්‍රතික්ෂේප කිරීම දුර්වලය.

මෙසේ එක් රැස්වෙන ධාතු
එක් සීමාවක් ඉක්මවූ පසු
මත්පැන් ඉල්ලා උද්ඝෝෂණය කරන්නට වෙයි.
පවුල රැකියාව තත්වය
සියල්ල අමතක වන ඔහු
මත්පැන් උදෙසාම ජීවත් වන්නට වෙයි.

මේ රෝගයට ගොදුරුවන්නෙකු
කල් ඇතිව සොයා ගැනීමට
විද්‍යාත්මක පරීක්ෂණ නැත.

ඔබ බේබදුකමට ඇබ්බැහි වන්නෙකුදැයි
ඔබටම දැනගන්නට අවශ‍ය නම්
මේ ප්‍රශ්න ඔබ ඔබෙන්ම ඇසිය යුතුය.
1, ඔබේ මත්පැන් පානය අඩුකළ යුතු යැයි
කිසිවෙකු ඔබට පවසා ඇත්ද?
2, එසේ කියන විට ඔබ කෝපයට පත් වේද?
3, මත්පැන් පානයෙන් පසු පානය කළා වැඩියැයි
ඔබ තැවෙන්නේද?
4, දවස අරඹන්නට මත්පැන් අවශ්‍යයි..
ඔබට හැඟෙන්නේද?

මේ ප්‍රශ්නවලට ඔබේ පිළිතුර "ඔව්"නම්
ඔබට බේබදු කම නම් රෝගය වැළඳී ඇත.

මේ රෝගයක් නම්
ඔබ ඊට වගකිව යුතුද?

ඕනෑම රෝගයකදී මෙන්
මේ රෝගයටත් ඔබ ගොදුරු වී ඇත්නම්
ඉන් මිදීමේ වගකීම ඔබ සතුය.

බේබදුකම බේබද්දාට පමණක් නොව
සමාජයටද හානිකරය.

--------------------------------------------------------------------------------
ඉන්දියාවත් ලංකාවත්
රූපවාහිනිය උපයෝගී කරගන්නා ආකාරය
කොතරම් වෙනස්ද?
වෙනස ඇත්තේ භූමියෙහි නොව
ජීවත්වෙන ජනතාවගේත් නිර්මාණ කරුවන්ගේත්
චරිත සහ පෞරුෂයන්හිය.

20140621

නිරාගමිකයා කියන්නෙ පව්කාරයා.



ආගම තියෙන්නෙ ලේබල් එකේ නෙවෙයි..
ඔහුගෙ චේතනාවෙ සහ
ඒ චේතනාවෙන් කරන ක්‍රියාවෙයි..

ඒ නිසා තමයි මම කියන්නෙ..
මොන ආගමේ කෙනෙක් වුණත්
පවක් කරන කොට ඔහු නිරාගමිකයි..

අපරාධකරුවෙක් අපරාධයක් කරන වෙලාවට
ඔහු සිවිල් පුරවැසියෙක් නෙවෙයි.

මිනිහෙක් ගෙදරකට කඩාවැදුණාම
ගෙදර මිනිස්සු ඒ මිනිහාට පහර දුන්නොත්
ඔහුට අදාළව නීතිය ක්‍රියාත්මක වෙන්නෙ
සිවිල් පුරවැසියෙකුට අදාළ විදියට නෙවෙයි.

හැම අපරාධ කරුවෙක්ම
ඒ වෙලාවට නිරාගමිකයි...

ඊ ළඟ මොහොතෙ
ඔහු වරද තේරුම් අරන්
හඬා වැටෙද්දි, තැවෙද්දි...
අනාගතයෙ ඒ කර්මයෙන් එන
විපාක වලට භය වෙද්දි
ඔහු ආගමිකයි..

නිරාගමිකයා කියන්නෙ පව්කාරයා.

ආගමිකයා කියන්නෙ පවින් වළකින්න
උත්සාහ කරන තැනැත්තා.

නිදැල්ලේ හැසිරෙන අපරාධකරුවන්ට වඩා
සිරගෙවල් වල ඉන්න අපරාධ කරුවන් හොඳයි.

ඒ දෙකොටසටම වඩා
අපරාධ කරන්න හිතලා
නොකරන සිල්වතුන් හොඳයි.

ඒ තුන් කොටසටම වඩා
අපරාධ කරන උවමනාව ඇති වෙනකොට
හිත වෙනතක යොමු කරලා සැනසෙන
සමාහිත සිත් ඇත්තා හොඳයි.

ඒ හතර කොටසටම වඩා
අපරාධ කරන උවමනාව ඇති වෙන තැනදිම දැකලා
ඒ උවමනාවට වහල් නොවෙන ප්‍රඥාවන්තයා හොඳයි.

අදාළ පුද්ගලයා
මොන ආගමේ වුණත් කමක් නැහැ.
ඔහුගෙ වටිනා කම් තීරණය වෙන්නෙ
ඔය ආකාරයටයි..

ශීල සමාධි ප්‍රඥා කියන්නෙ
මිනිස් හිතේ ඇති ගුණාංග තුනක්..
ඒ ගුණ මතු කරගන්න ගන්න
ක්‍රියා මාර්ගය නිවැරදි නම්
ඕනම ආගමිකයෙකු තුළ
ඒ ගුණාංග ඇති වෙනවා.

20140618

තණ්හා මාන දෘෂ්ඨි සරල විවරණයක්..


තාපය කියන්නේ උෂ්ණත්වය නොවෙයි.

කයට තාපය දැනෙනකොට
මනස උෂ්ණත්වය දකිනවා..
හඳුනා ගන්නවා.
සීතල පරිසරයක නම්
යම් අංශකයක උණුසුමකට කැමති වෙනවා.
උණුසුම් පරිසරයක නම්
ඒ අංශකයෙ උණුසුමට කැමති නැහැ..

1,
යම් උණුසුමකට කැමති වීම ප්‍රිය කිරීම
තණ්හාවයි.. එනම් ප්‍රිය දේ සෙවීමයි.

2,
තණ්හාව නිසා
කැමති වීමට ප්‍රිය කිරීමට සාපේක්ෂව
කැමති අකැමති වශයෙන්
උණුසුම මනින ගුණයට මාන කියනවා.

3,
කැමති හෝ අකැමති ලෙසින්
වෙන්කර මතක සටහන් රැස් කිරීම
දෘෂ්ඨියයි..

සීතල පරිසරයක නම්
යම් අංශකයක උණුසුමකට කැමති වෙනවා.
උණුසුම් පරිසරයක නම්
ඒ අංශකයෙ උණුසුමට කැමති නැහැ..

මේක දෘෂ්ඨියක්..
සත්‍යය නෙමෙයි..

එකම උණුසුම දෙයාකාරයකින් දකිනවා.

තණ්හා මාන දෘෂ්ඨි.

------------------------------------------------------------

පවතින උණුසුම ගැන සිහියෙන්
ඒ උණුසුමට උපේක්ෂාවෙන්
පවතින උණුසුම සහ එහි වෙනස් වීම්
ඒ පවතින ආකාරයට
ඇත්ත ඇති සැටියෙන් දැකීම ප්‍රඥාවයි.

ව්දසුන් වැඩීමෙදි
පවතින උණුසුම සහ එහි වෙනස් වීම්
ඒ පවතින ආකාරයට
සිහියෙන් සහ උපේක්ෂාවෙන් දැකීම නිසා..
පර්ඥාව උපදිනවා.
තණහා මාන දෘෂ්ඨි දුරුවෙනවා.

20140616

ශාරහා වසීර් -නොමිනිසුන් මෙන් නොව මිනිසුන් මිනිසුන්මය.

ෆේස්බුක් ජාලය තුළ
මේ ලිපිය කිහිපවරක්ම දුටු නමුත්
සුන්දර යුවතියකගේ සුන්දරත්වයෙන්
ගිණිකණ වැටුණු කිසිවෙකුගේ
ඕපාදූපයක් විය හැකියයි සිතුවෙමි..
අලුත්ගම සිංහල මුස්ලිම් සිද්ධිය නිසා
විමසා බලන්නට සිත්විය..




ශාරහා වසීර්.. සිරස ලක්ශපතියේ එතෙක් මෙතෙක් මාදුටු සුන්දරම තරඟකාරිය ඔබයි.. ලක්ශ්‍යපතියේ පමනක් නොව මතක ඇති කලෙක මා දුටු සොඳුරුම සිතැත්තිය ඔබයි.. ඔබේ සුන්දර වතකමල අමුතු දීප්තියකින් සඳක්සේ බැබලුනේ නිකන්ම නොවේ.. ඒ ඔබේ සිතේ සුන්දරත්වය මුහුනින් විද්‍යාමාන වන නිසාමය .. සිතෙහි කැඩපත මුනුන බව ඔබ යලි යලිත් පසක් කලේය..

ශාරහා වසීර් වයස අවුරුදු 17ක අතිශය සුන්දර කෙලිලොල් දඟකාර යුවතියකි.. වචනයක් වචනයක් පාසා සිය දඟකාරකමින් අන්‍යන් වසඟ කර ගැනීමට ඇය උපන් හපනියකි.. ඇය සිරස ලක්ශපතියට ගොඩවැදුනේ මිලියන දෙකක ජයමල්ලක් දිනාගැනීමේ අභිලාශයෙනි.. මේ ගතවෙන්නේ මුදල් සැමටම අවැසිම යුගයකි.. සල්ලිනම් ඕනෙ නැත්තෙ කාටද නේද..?? සල්ලි කොච්චර තිබුනත් මදි.. සල්ලි නැත්නම් දෙයියොත් අහක බලති.. සල්ලි දෙයියන්ගේ මල්ලි වූයේ මීට බොහෝ කලකට පෙරය.. දැන් සල්ලි දෙයියන්ගේ අයියාය.. දෙවියන් යනු "සල්ලි අයියාගෙන්" ටොකුකන "මල්ලිලාය".. බස් එකේ කොන්දොස්තර මහතා රුපියල් දෙකක් ඉතුරු නොදුන් විට සමහරු ආවේශ වී කොන්දොස්තර මහතා මරන් කන්න යන සැටි අප කා හටත් සුලබ අත්දැකීමකි.. එහෙව් එකේ මිලියන දෙකක් යනු සුලුපටු සල්ලි කන්දක් නොව..

සාමාන්‍ය මධ්‍යම පාන්තික තරුණියක්වූ ශාරහා වසීර්ටත් මුදල් අග හිඟකම් අපහසුකම් එමට නොතිබුනා විය නොහැක.. හිරිමල් වියේ සුන්දර තරුණියකට ඇති කප්පරක් හීන බලාපොරොත්තු ඇයටද නොතිබෙන්නට කිසිම හේතුවක් නැත.. අඩුමතරමින් සුන්දර ඇඳුම ආයිත්තම් වලින් සැරසී හැඩ වැඩ වන්නටවත් ඇයට සිතුවිල්ලක් නොතිබෙන්නට කිසිම හේතුවක් නැත.. එසේ සැරසුනානම් ඇය බෙහෙවින් සුන්දර වනු නොඅනුමානය.. එවිට ඇයව දකින නාඹර තරුණයෝ "රාමලාන් සඳ බලන්න එන්න ශාරහා" කියා ඇයට ඇරයුම් කිරීමට පොරකනු ඇත.. ඇය එතරම් සුන්දරය..
නැත නැත ඇය ඊටත් වඩා ඔබ සිතනවාටත් වඩා බොහෝම සුන්දරය.. රුපියල් දෙකක් අසරණයෙකුට නොදෙන මිනිසුන් අතර මිලියන දෙකක් අසරණ මිනිසුන් වෙනුවෙන් දන් දීමට ඉදිරිපත්වන කෙනෙකු ඔබ මා අතර සිටිනවාද..??
වනසිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත..
"ශාරහා" නැගණියනි ඒ ගීතය ඔබටම ලිව්වාදැයි මට සිතුනි..

තරඟයේ අවස්ථාවක ඇය දුන් පිලිතුරක් ගැන පසුතැවෙන්නීය..
අයියෝ දැන් වැරදුනොත් 10000යි හම්බෙන්නෙ..කමක් නෑ මන් ඒ 10000 දෙනව..
නිවේදකයා හඬ අවදි කරයි..
කාටද 10000 දෙන්නෙ..?
මන් හිතන් ඉන්නෙ දිනන ගාන පිලිකා රෝහලට දෙන්න..!
දිනන ගාන දෙන්න..? හොඳයි අපි ඉදිරියට යමු..
තරඟර ඉදිරියට ගලා යයි..

තරඟයේ තවත් අවස්ථාවක නොවේදකයාගෙන් ඇයට අතුරු ප්‍රශ්නයකි..
දැන් මේ දිනාගත්ත රුපියල් 10000න් යාලුවො මොනවත් ඉල්ලන්නෙ නැද්ද..?
ඉල්ලනව තමයි ඉතින්..
එතකොට යාලුවන්ට කේක් අරන් දෙනවද නැත්නම් පිලිකා රෝහලට දෙනවද..??
"ඒගොල්ලන්ට ගන්න පුලුවන් පස්සෙ"..!
ඇයි ඔබ පිලිකා රෝහලට ඔච්චර උනන්දු..?
"මන් බලන්න ගියා එහෙට..අමාරුයි".. ඇය වචන ගලපයි
අමාරුයි කියන්නෙ..? යලිත් නිවේදකයාගේ හඬය
"බලන්න බෑ මට ඒක.. දුකයිනේ"..
ඇයගේ නෙතඟ කඳුලු බිඳුය..
මාගේ නෙතුද මොහොතකින් තෙත්විය..
"අනේ ඔයා අඬවන්න එපා"..ඇය නිවේදකයාට දඟකාර ලෙස චෝදනාවක් එල්ල කරයි..
ඇගේ කෙලිලොල් බව සියල්ලන්ගේ දුක තුනී කරන්නට සමත්වෙයි..
ඇය තවදුරටත් කතා කරයි..
"සාමාන්‍යයෙන් මනුස්සයෙක් උනාම ඒ ගැන හිතන්න ඕනෙ..හරියට බැලුවම නැත්නම් මනුස්සයෙක් නෙවෙයිනෙ"..

සාවදානව අසා සිටි නිවේදකයා හඬ අවදි කරයි..
ඔබ හරිම සන්වේදී කෙනෙක් නේද.. ඔබ වැනි තරුණ කෙනෙක් මුලු ලෝකටම දෙන ඉතාම වටිනා පනිවිඩයක් තියෙනව..
"මිනිස්සු ගැන මිනිස්සු විදියට අපි හිතන්න ඕනෙ"..
අන්න ඒ දේ හැමදාම කරන්න..!!
"සර් කිව්වත් කරනව නැතත් කරනව"..ඇය යලිත් සුපුරුදු දඟකාර ජවයෙනි..
දසත සිනහ හඬක් පැතිර ගියේය..

පසුව ඇය 125000ක් දිනාගත් අවස්තාවේ නිවේදකයා මෙසේ විමසීය..
මොකද්ද පුතා ඒකට කරන්නෙ..?
"මන් කියපු දේ"..
මොකද්ද..?
අනිවාරයෙන්ම මන් පිලිකා රෝහලට දෙනවමයි..!!
මේ රුපියලෙක් ලක්ශ විසි පන්දහසම..?? නිවෙදකයා යලිත් විමසයි..
"මේකත් මදි..125000න් ඒගොල්ල මොනව කරන්නද"..
ඇයගේ බලාපොරොත්තුව ලක්ශ විස්සම දිනා ගැනීමයි..ඒ ඇයගෙඔ ලෝබ කම නොවෙයි.. උත්තුන්ට දාන පාරමිතාවේ ඇති අප්‍රමාන කැමැත්තයි..
ඇයගේ මුහුනේ ලොකු බරකි..ඒ වගේම අදිශ්ටානයකි..
නිවේදකයා නිහඬය..ප්‍රේක්ශකාගාරය මීයට පිම්බාක් වැනිය..

ඇය මිලියන දෙක දිනා ගැනීමට නොගත් උත්සහයක් නැත.. නමුත් ඇයට 125000කින් තරඟයෙන් ඉවත්වීමට සිදුවිනි.. උත්තම චේතනාවකට යා හැකි දුර අප්‍රමාන බව පසක් කරමින් සිරස ආයතනය ඇයට පොරොන්දුවක් ලබාදුන්නේ ඇයගේ සිහිනය වූ පිලිකා රෝහලට ආධාර කිරීම පිනිස සිරස ආයතනය විසින් විශේෂ වැඩසටහනක් දියත් කරන බව පවසමිනි.. ඇයගේ සුන්දර වතකමලෙන් දිස්වූ ප්‍රභාව දෙගුන තෙගුන කල එම පොරොන්දුව සුවහසක් මිනිසුන්ගේ යහපතටම හේතුවනු නොඅනුමානය.. ඒ පිලිඹඳ චන්දන සූරියබණ්ඩාරයන් ඇතුලු සිරස මාධ්‍යජාලයටද තුති පුදමි..

සටහන ඇයගෙන්ම අවසන් කිරීමට සිතීමි..

වරෙක නිවේදකයා "ශාරහාගේ" පියා දෙසට හැරුනේය..
ඔබතුමා මොනවද දුව ගැන කියන්නෙ..
හොඳ ළමයෙක්..එයාගෙ නිදහස අපි දීල තියෙනව..පින් දහමට ලැදී.. උපන්දින කේක් එකක්වත් කපන්නෙ නෑ..කෑම අරන් ගිහින් දුප්පතුන්ට බෙදල දෙනව..!!
නිවේදකයා ශාරහා දෙසට හැරුනි..
ඇයි ශාරහා උපන්දිනේට කේක් කපන්නෙ නැත්තෙ..?
"මොකටද.. අපි කේක් කපල අපිම කනව.. මොකද්ද ඒකෙ තේරුම.. ඊට වඩා කොච්චර හොඳද අසරණ මිනිස්සුන්ට කෑම ගිහින් දුන්නම.. කොච්චර සතුටුද.. මේ සැරේ 17වෙනි උපන් දිනේට මන් බත් පැකට් බෙදල දුන්න.. අසරණයන්ට කෑම දුන්නම ඒක කොච්චර රසද"..
ඇය දන්න සිංහල එයයි.. කොච්චර "හොඳද" හෝ කොච්චර "පිනක්ද"යන වචනයට ඇය පැවසුවේ කොච්චර "රසද" යන වචනයයි..
නමුත් මට හැඟෙන්නේ ඇයගේ සිංහල ඉස්තරම් බවය..
මන්ද "හොඳදේ" කවදත් "රස" බැවිනි..
දයාබර නැගණියනි ඔබ වැනි අනාගත පරපුරක් ලොවට අවැසිමය.. එවිට ලොව අති සුන්දර වනු නොඅනුමානය.. ඔබට තෙරුවන් සරණයි..!!

සටහන "විමුක්ත පත්මසිරි"



20140610

නියත මරණයට සුන්දරව මුහුණ දුන් සංජය



From මව්බිම

 




"නිම් වළල්ලෙන් එපිට සඳරැස්
ගලන නිල් මිටියාවතේ
නිහඬතාවය තුළින් මතුවී
ඔබේ පා මුදු හඬ ඇසේ
අහස් ගඟ බඩ හිමව් කුළුමත
ඔබේ රන් මිණි විමානේ
පහන් දල්වා තබනු මැන මා
නිදන කුටියට පෙනෙන සේ...."


නිදා සිටි ඇඳ අසල රැඳී සිටි පෙම්වතියටත්,
නැඟණිය සුබාටත් මඳ සිනහවකින් සංග්‍රහ කළ සංජය
රමණීය වූ මරණය කැටුව ගිය පුවත අසා
හදවත මොහොතකට නතර වූවා සේ දැනිණි.
මහගම සේකරයන් ඉහත කවි පදවල ලීවා වගේම
නිහඬ නිල් මිටියාවත තුළින් මතුවී
මරණයේ පාමුදු හඬ සංජයට ඇසෙන්නට ඇත.

නොවැළැක්විය හැකි නියත මරණයට
සංජය තරම් සුන්දරව මුහුණ දුන් මිනිසකු පිළිබඳ
මෙතෙක් අප අසා හෝ කියවා නැත.
සංජයගේ මරණය
අපූර්වත්වයෙන් යුතු මරණයක් වන්නේ ඒ නිසාය.
සංජය පිළිබඳ කෙටි සිදුවීම් පෙළ දිගහැරෙන්නේ මෙසේය.

ඔහු නමින් සංජය සේනානායකයි.
වෘත්තියෙන් ප්‍රවීණ වාර්තා සිනමාකරුවෙකි. පරිගණක මෘදුකාංග සම්බන්ධ ඉහළට උගත් ඔහු 'ග්‍රැෆික් ආට්' විෂයයෙහි කථිකාචාර්යවරයකු ලෙසද කටයුතු කළේය. ඉංගී්‍රසි හා සිංහල භාෂා දෙකෙහි පරිණත දැනුමක් සංජයට තිබුණේය. ජාත්‍යන්තර තරගවලට ඉදිරිපත්වූ චිත්‍රපට රැසක ඉංගී්‍රසි උප සිරැසි යොදනු ලැබුවේ සංජය විසිනි. සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායක ඇතුළු ප්‍රවීණ සිනමාකරුවෝ රැසක් සංජය සමීපයේ සිටියෝය.

ධර්මසිරි බණ්ඩාරනායකයන් මා සමඟ පැවැසුවේ සංජය වර්ල්ඩ් වීව්, යූ.එන්.ඕ., යූ.එන්.සී.එච්.ආර්, යුනිසෙෆ් ජාත්‍යන්තර ආයතන සඳහා වාර්තා චිත්‍රපට රාශියක් කර ඇති බවය. ඔහු සිනමාකරණයේදී ඊට අයත් අධ්‍යක්ෂණය, සංස්කරණය, කැමරාකරණය, ශබ්ද පරිපාලනය ඇතුළු සෑම අංගයකම ඉහළම දැනුම ලබා සිටි තරුණයකු වීම සුවිශේෂී විය. සංජය තුළ විවිධ හැකියාවලින් යුතු චරිත ගණනාවක් තිබිණි.
"අශෝක හඳගමගේ නැඟෙනහිර වෙරළෙන් ඇසෙන" ටෙලි නිර්මාණයේ භික්ෂුවකගේ චරිතය සංජය රඟපෑවේය.
සංජයගේ පියා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු දේශපාලන මණ්ඩල සභිකයකු වූ කෙලී සේනානායකයි. මව මානව හිමිකම් ක්‍රියාකාරිනියක ලෙස කීර්තියට පත්ව සිට වසරකට පෙර මියගිය සුනිලා අබේසේකරයි. සුනිලා ගායිකාවක ලෙසද ජනාදරය දිනා සිටියාය. සුනිලා ඉකුත් වසරේ මියගියේ සුවකළ නොහැකි පිළිකා රෝගයට ගොදුරු වීමෙනි.

සංජය 2012 වසරේ මඩකළපු නැඟෙනහිර වනාන්තරයේ වාර්තා චිත්‍රපටයක් අධ්‍යක්ෂණයේ නිරතව සිටියදී ඔහුට උණ රෝගය වැලඳී තිබුණේය. අවසනාවන්ත උණ බැස ගියේ සුවනොවූ කැස්සක් ඉතිරි කරමිනි. ඒ ඔස්සේ වෛද්‍ය පරීක්ෂණයන්ට මුහුණ දුන් සංජය තමා පිළිකා රෝගයට ගොදුරුව සිටින බව හඳුනා ගත්තේය. ඒ වන විට සංජය තිස් දෙහැවිරිදි වියේ පසු විය.
සංජය බිඳක්වත් වැටුණේ නැත. ඔහු ලැප්ටොප් පරිගණකය රෝහල් ඇඳ මත තබාගෙන තම අවසන් සිනමා නිර්මාණයේ සංස්කරණ කටයුතු දිගටම කරගෙන ගියේය. වම් පෙණහැල්ලට රුධිරය ගෙනයන නාළයෙහි හටගත් කුඩා ටියුමරිය ක්‍රමයෙන් වැඩෙමින් පවතින බව ඔහු දැන සිටියේය.

සංජය වටා බිතුසිතුවම් රූමෙන් රැඳුණු මිතුරු මිතුරියෝ පිරිසක් සිටියහ. ඔවුහු සංජය රැක ගැනීම සඳහා මෙහෙයුමක් අරඹා සිටියහ. ආරෝහ පරිණාහ දේහයකින් හෙබි සංජයගේ බාහිර ස්වරූපයෙහි කිසිදු වෙනසක් නොවීය. ඔහු වෙනදා මෙන් සියල්ලන් සමඟ සුන්දර ලෙස සිනාසුණේය. අඩුවෙන් කතා කළේය. පෙණහලු දෙකටම හානිවීමේ අවදානම හේතුවෙන් ඔහු ශල්‍යකර්මයට භාජන කිරීමේ අවස්ථා අත්හරින්නට වෛද්‍යවරුන්ට සිදු විය.
හිතවතුන් ඔහුව සිංගප්පූරුවේ රෝහලකට ඇතුළත් කොට පිළිකා රෝගය හඳුනා ගන්නට පරීක්ෂණයට භාජන කළේය. එතෙක් ලබා දුන් බේත් රෝගය පාලනය කරගන්නට අපොහොසත් වන බව වෛද්‍යවරුන්ට අවබෝධ වී තිබිණි. ඇමෙරිකාවේ රසායනාගාරයකට යැවූ ආදර්ශයක් මඟින් සංජයට වැලඳී තිබෙන්නේ මෙතෙක් ලොව කිසිම ප්‍රතිකාරයක් සොයාගෙන නැති ක්රාස් (ම්අඒඉ) නමැති පිළිකා රෝගය බව හඳුනා ගත්තේය. සංජයගේ මරණය නියත බව එයින් නිගමනය කොට තිබුණේය.

සංජය ලංකාවට පැමිණියේය. රෝගයට ප්‍රතිචාර නොදක්වන බේත් නතර කරන්නැයි වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක් කළේය. ඔවුහු එයට කන් දුන්හ. සංජය පරිගණකය ඔස්සේ අන්තර්ජාලයට සම්බන්ධ වී ලෝකයේ පිළිකා රෝග විශේෂඥයන් සමඟ ගනුදෙනු කළේය.
මෙම පිළිකා රෝගයට පිළියම් සොයා ගැනීමට තම ජීවිතය යොදා ගන්නා ලෙස ඉල්ලා සිටියේය. ලොව සිටින ඉහළම වෛද්‍ය විශේෂඥවරු සංජය සමඟ ඊ-මේල් පණිවුඩ හුවමාරු කරගත්හ.
ඔවුන් හරහා රෝගීහුද නොයෙක් රටවල සිට සංජය හා මිතුරු වූහ. එම රෝගීන් හැම දෙනාම ආසන්න දිනෙක පෘථිවියත්, ජීවිතයත් හැර යන්නට නියමව සිටි මිනිසුන්ය. තම ජීවිතය දවසින් දවස මරණය කරා ළංවෙමින් පවතින අන්දම පැහැදිලි කෙරෙන දත්ත වෛද්‍යවරුන්ගේ නියැදි සකසා ගැනීම සඳහා දිනපතාම යැවීම අතපසු නොකළේය.

මේ අතර ඔහුට ඇවිද යා හැකි දුර ප්‍රමාණය ක්‍රමයෙන් සීමා වූයේය. ආලින්දයේ සිට මුළුතැන්ගෙට ගිය ඔහුට ආපසු පැමිණෙන්නට බොහෝ වේලා විඩා නිවන්නට සිදු විය. වෛද්‍යවරුන් විසින් සංජය ජීවත් විය හැකි යැයි තීරණය කරන ලද කාලයද අවසන්ව තිබුණේය. එහෙත් ඔහුගේ සිරුරේ බාහිර පෙනුම සාමාන්‍ය විය.
හුදෙකලාව නිබඳ රළ නඟන සයුර දෙස බලාගෙන විවේකීව සිටීමේ ආශාවක් ඔහුට ඇති විය. ඔහුගේ හිතවතුන් සංජය මීගමුවේ ජෙට්වින් හෝටලයට පිටත් කර හැරියේය. එහි යන අතර ඔහු සිනාසෙමින් මිතුරන්ට පැවැසුවේ මේ ගමන ඔහුට ලැබුණු අමතර බෝනස් එකක් බවය.

එහෙත් පුදුමය නම් වෙසක් පොහොය එළඹෙනතුරුත් ජීවිතය ඔහු අතහැර නොයෑමය. දින කිහිපයකට පෙර ඔහු සිය අවසන් කටයුතු සිදුවිය යුතු ආකාරය සඳහන් ඊ-මේල් පණිවුඩය තාත්තාටත්, නැඟණිය ඇතුළු ළඟම හිතවතුන් වෙත යවා තිබිණි. ඉතාමත් චාම් ලෙස කිසිවකුට කරදරයක් නොවන අයුරු වැඩ අවසන් කරන්නැයි එහි ඉල්ලා තිබී ඇත.
සංජය භෞතිකවාදියෙකි. අදේවවාදියකු වූ ඔහු කිසිදු ආගමකට ඇතුළත් නොවීය. පුළුල් සමාජමය දැක්මක් ඔහුට තිබුණේය. ජාති, ආගම්, කුලවර්ග ආදී සියලු බෙදීම් හා වෙන්කිරීම්වලට තරයේ විරුද්ධ වූ ඔහු ඊට විරුද්ධව එඩිතරව ක්‍රියා කළේය.

ආගම් අතර විරසක ඇති කරන්නට එපා යැයි විරෝධය පළ කරමින් ඉටි පහන් රැගෙන තුන්මුල්ලේ උද්ඝෝෂණයක යෙදෙන බව වෙබ් අඩවියක දුටු සංජය ඒ සන්ධ්‍යාවේ එහි ගොස් ඉටි පහනක් දල්වාගෙන ඉදිරියෙන්ම සිටියේය. ඡායාරූපය ඔස්සේ සංජය සොයා පැමිණි රහස් පොලිසිය මරණාසන්නව වැතිර සිටි සංජයගෙන් කටඋත්තරයක් ලබාගෙන පිටව ගියේය.
අඟහරුවාදා රාත්‍රිය සංජයගේ අවසන් රාත්‍රියයි. එදා ඔහුගේ සමීප මිතුරු ආනන්දගේ උපන් දිනයයි. ඒ පිළිබඳ කිසිවකු කතා නොකළත් සංජයට එය මතක් විය. ඔහු කුඩා හෝ සාදයක් තියන්නට යෝජනා කෙළේය. එයද ඉටු විය.
රාත්‍රිය නිහඬව, නිසලව ගෙවී ගියේය. සංජය පහන් සිතින් අවදිව සමුගැනීම සඳහා සූදානම්ව පැහැපත් මුහුණින් බලා සිටියේය. නැඟණිය සුබාත්, පෙම්වතියත් සංජය වෙත සමීප වූයේ ඒ අවසන් නිමේෂයේය. සිනා පොදක් දෙතොල් මත තැවරී මිලිනව යද්දී රමණීය වූ මරණය ඔහු කැටුව යන්නට පැමිණ සිටියේය.

පෙළ ගැසී දිගු වන්දනාවක
ඉගිළ යන රන් සමනළුන්නේ
පියාපත් මත තබා ඔබ මා
අනන්තය වෙත රැගෙන යේ

උදේනි සමන් කුමාර
http://www.mawbima.lk/57-60188-news-detail.html

20140604

බාධකයක් යනු ගමනකට අත්‍යාවශ්‍ය සාධනීය උත්ප්‍රේරකයකි.

බාධකයක් යනු ගමනත්, මාවතත් මෙන්ම ගමනකට අත්‍යාවශ්‍ය සාධනීය උත්ප්‍රේරකයකි.

මරණය හැර අන් එකදු බාධකයක් හෝ කිසි සේත්ම ගමනක අවසානය නොවේ.

බාධකයක් ගමනක අවසානය විය යුතුත් නැත. එහෙත් බාධකයක් ගමනෙහි අවසානය බවට නිතැතින්ම පත්වේ නම් වැරදි කරුවා ඔබය. බාධකය නොවේ.

බාධකයෙහි කාර්යය එය ඉටුකරමින් සිටියි. ඔබ ඔබේ කාර්යය ඉටුකරන්න.

ඔබ කළ යුත්තේ බාධක වලට ගරු කරමින් ඒ බාධක වලට යටත්වී සුවච කීකරු ලෙස බාධක වල අරමුණ ඉටුකරදීම නොවේ.

බාධකය පාදක කරගෙන බාධකය සාධකයක් කරගෙන බාධකයට එහි කාර්යය කරන්නට ඉඩ දී ඔබ ඔබේ කාර්යය කරමින් මෙතෙක් ආවාටත් වඩා හොඳින් ඔබේ ගමන යාමයි.

බාධකයකට මුහුණ දෙන ක්‍රම ඇත්තේ දෙකකි.

1, බාධකයට පහරදී එය බිඳ හෙළා අපේ ගමන යාමයි.

2, බාධකය මග හැර ඒ වටා ගොස් යළි අප ආ මාවතටම පිවිසීමයි. එසේ ඔබ ආ මාවතට යළි පිවිසෙන විට ඔබ එය හමු නොවී පැමිණියාට වඩා ඉදිරියෙන්ද, ඉහළින්ද සිටින බව ඔබට වැටහෙනු ඇත.

බාධකයක් යනු අවසානය නොවේ. එහෙත් බාධකයක් ඔබේ අවසානය බවට පත්වේ නම් වැරදි කරුවා ඔබය. බාධකය නොවේ.

බාල ගලක මැණිකක් අතුල්ලන විට ගල ගෙවෙයි. මැණික ඔප වැටෙයි.

බාධකය ගෙවා දමා ඔබ බබලන්න. බාධකය මොටකරමින් ඔබ තියුණු වන්න.

දක්ෂ තිත්තයෙකු මෙන් කොකාගේ වාරය ඔහුට දෙන්න. ඔබේ වාරය පැමිණේනතුරු ඔහු වටා කැරකෙමින් කල් නොබලන්න.

ඔබට හරකෙකු මුණ ගැසුණ විට ඔහු සමග ඇනගන්නට නොයන්න. ඔහු මෙල්ල කරගෙන ඔහු ලවා ඔබේ කරත්තය ඇදගන්නා අයුරු සොයාගන්න.

මිනිසුන් මෙන් හැසිරී ගැටලුවක් විසඳිය නොහැකි තැන ගැටලුව විසඳාගන්නට අං තට්ටුව උපයෝගී කරගන්නේ මැරයෙකු බව හඳුනා ගන්න.

මැරයන්ට ආචාර ධර්ම නැත. ඔහුට ආචාර ධර්ම හුරු කිරීමද කළ හැකිවාට වඩා කළ නොහැකි දෙයකි.

මැරයාගේ ආචාර ධර්ම දෙකකි. එනම් දුබලයාට වැඩ පෙන්නීම සහ ප්‍රබලයාට නිවට වීමයි. මැරකමත්, නිවටකමත් එකම ආකාරයේ නීච කම්ය.

මැරයෙකුට යටත්වන හැම කෙනෙකුම නිවටයෙකු නොවේ.

මැරයා වීරයෙකු ලෙස සලකා ඔහුට ගරු බුහුමන් කරමින් මැරයාට වහල්වන්නේ නිවටයාය. නොබෝ කලකින්ම ඔහුට හැකි පමණින් ඔහුද මැරකම් කරනු අපට දැකිය හැක. ඔබ මැරයා වීරයෙකු ලෙස සලකමින් සිතින් ඔහුට වහල් නොවිය යුත්තේ ප්‍රධාන වශයෙන්ම ඒ නිසාය.

වවුලාගේ මගුලට යන්න. එහි සිටිනා තාක් එල්ලී සිටින්න. එහෙත් ඔබ වවුලෙකු නොවන්න. වවුලාට ඔබ විය නොහැක. එහෙත් ඔබට... වවුලෙකුත් විය හැකි නම් බාධක අඩුය. වවුලාගේ මගුල් ගෙදර වවුලෙකු මෙන් එල්ලී සිටීම දුර්වල කමක් නොවේ. ශක්‍යතාවයකි.

බාධක ජයගන්නට ඔබට නොහැකිනම් බාධක ඔබ ජය ගැනීම වැළක්විය නොහැකිය.