20151201

තව කෙනෙක් ඔබට ද්වේශ කරද්දි.....



මිනිසාට ද්වේශ කළත්
සතාට ද්වේශ කළත්
කරන මිනිසා කිළිටි වෙනවා.
කෙනෙක් දැක්කාම,
ඔහුගෙ ක්‍රියා කලාපය දැක්කාම...
අපට ද්වේශය ඇතිවෙනවා නම්
ඒක වළක්වන්න බෑ.
තව කෙනෙක් ඔබට ද්වේශ කරද්දි
ඔබට දුකක් වෙන්නෙ
අනෙක් පුද්ගලයා තුළ
ඔබ ගැන තියන ද්වේශය නොවෙයි..
ඒ ද්වේශය දැකීමෙන්
ඔබේ හිතේ උපදින ද්වේශයයි..

දුක තරහ දෙකම
ද්වේශයෙ ස්වරූප දෙකක්.
තරහක් එන්නෙ ඔබ ඔහුට වඩා බලවත් නම්.
ඔබ ඔහුට වඩා දුර්වල නම්
ඔබට දුක හිතෙනවා.
ඒ දෙකම එකම ද්වේශය...

ඒ ද්වේශයට උපෙක්ෂාවෙන් ඉන්න..

දැන් එහෙම කරන්න බැරි නම්
මේ ක්‍රමයට පුහුණු වෙන්න..
http://vipassanapuhunuwa.blogspot.com/

බුදුන් වහන්සෙ කියන්නෙ මෙහෙමයි.
සිතෙහි ක්‍රෝධය ඉපදී තිබියදී
ඉතා වේගයෙන් දුවන රථයක් මෙන්
සිත මනාව හසුරුවා ගන්නා තැනැත්තා
නියම රියැදුරකු යැයි මම කියමි.
සාමාන්‍ය රිය එළවන අන් ජනයා
නිකම් තෝන් ලණුව අල්ලන්නෝ ය.
“යො වෙ උප්පතිතං කොධං
රථං භන්තං ච ධාරයෙ
තමහං සාරථිං බ‍්‍රෑම්
රස්මිග්ගාහො ඉතරො ජනො”

මෙහි බුදුන් වහන්සේ අගය කරන්නෙ
ක්‍රෝධය නැති තැනැත්තා නොවෙයි.
ක්‍රෝධය පවතිද්දී
හිත මනාව හසුරුවා ගන්නා තැනැත්තායි.

ක්‍රෝධය කෙමෙන් කෙමෙන් නැතිවෙන්නට
ඒ පදනම උපකාරීවෙනවා.

අත්තානං දමයන්ති පණ්ඩිතා.

බුදු දහමෙ මූලිකම පදනම
පිරිසිදු බව නොවෙයි..
අපිරිසිදු තැනැත්තාගේ
ආත්ම දමනයයි..
පිරිසිදු වෙන්නට හැකියාව ලැබෙන්නේ
ආත්ම දමනය ඇත්තාට පමණයි.