20180413

කාමයෙහි වරදවා හැසිරීම - සරලව

කම් සුව විඳීම කියන්නෙ
ස්පර්ශයෙන් ඇතිවෙන
සුඛ වේදනාව
සංඥාවෙන් හඳුනා ගනිද්දි
ප්‍රිය වශයෙන් සැලකීම නිසා
ඇතිවෙන රාග සංස්කාර
නැවත නැවත විඳීමයි.

මේ ක්‍රියාවලියේදී
කුසගින්න සඳහා ආහාර ගන්නා බව,
පිපාසය සඳහා පානයක් සොයන බව,
ලිංගිකත්වයේ ස්වාභාවික අරමුණ
දරුවන් ලැබීම බව අමතක වීම
කාමයෙහි වරදවා හැසිරීමක්.

සිහියත් උපේක්ෂාවත් නැති තැන
වැරදි සිදුවීම අනිවාර්යයි...

පොත්පත් වල තියන බුදු දහම
සත්‍යයක් වන්නේ බුදුන් වහන්සේට සහ
විඳ පසක් කරන ආර්ය ශ්‍රාවකයාටයි.

අන් සියල්ලන්ටම
පොත්පත්වල හමුවෙන්නෙ
වචන සමූහයක් පමණයි.
ඒ වචන කියවීමෙදි එකිනෙකා තුළ
පහළවෙන සිතිවිලි සමූහය
එකිනෙකාට ආවේණික සිතිවිලි මාලාවන් විනා
බුදුන් වදාළ ධර්මය නොවෙයි.

ධර්මය දෙන්නෙකුට දෙකක් නොවෙයි.

බුදු දහම පිළිපදින කෙනෙකුට
අවසානයේ පසක් වන සියලු ධර්මතා
බුදුන් වහන්සේ සොයාගත් සත්‍යතාමයි.

වෙනත් දෙයක් සිතේ පහළ වුණොත්
ඒ සිත අයිති තැනැත්තාට ආවේණික
පුද්ගලික සිතුවිල්ලක් පමණයි.
කොතරම් පිරිසක් ඒ සිතුවිල්ල
දහම ලෙස පිළිගන්නට පෙළඹුණත්
ප්‍රයෝජනයක් නෑ.

ඒ සිතුවිල්ල බුදු දහම නොවෙයි.

බුදු දහම පිළිපදින කෙනෙකුට
අවසානයේ පසක් වන සියලු ධර්මතා
බුදුන් වහන්සේ සොයාගත් සත්‍යතාමයි.

බුදු දහමේ පදනම
තම "සිත කය පිළිබඳව"
සිහිය පිහිටුවා ගැනීම සහ
එසේ පිහිටුවා ගත් පසුව පෙනෙන,
අනිත්‍යයට උපේක්ෂාවෙන් විසීමයි.

ප්‍රඥාව පහළ වෙන්නෙත්
ධර්මය පසක් වෙන්නෙත්
ඒ වෙලාවටයි.

අනිත්‍යය කියන්නෙ
කය සහ සිත වෙනස් වීමයි.

කයත්, කයේ වෙනස් වීම - වේදනාත්
සිතත්, සිතෙහි වෙනස් වීම, ධම්මත්
සිහියෙන් දකින සහ ඒ දෙකටම
උපේක්ෂාවෙන් වෙසෙන කෙනෙක් මගින්
ඒ මොහොතෙදි වරදක් සිදු වෙන්නෙ නෑ.

සියලුම වැරදි වලට හේතු වෙන්නෙ
සිහිය ගිලිහීම, උපේක්ෂාව ගිලිහීමයි.

සිහිය ගිලිහුණොත් මෝහයට වැටෙනවා.
උපේක්ෂාව ගිළිහුණොත් රාගයට...
නැත්නම් ද්වේශයට වැටෙනවා..
කම් සුව විඳීමෙදි සිහිය ගිළිහෙන්නෙ
රාගයට සිත නතු වීමෙන්...

විපස්සනා නොවැඩූ කෙනෙකුට
මේ සත්‍යතා තේරුම් ගන්න තරම්
අත්දැකීම නෑ...

මේ කියන දේ නොතේරෙන එකම හේතුව
විපස්සනා මගින්
තමන්ගේ සිත සහ කය වෙනස් වෙන විදිය
සිහියෙන් සහ උපේක්ෂාවෙන්
විඳ පසක් කිරීමෙන් උපන්
ප්‍රඥාව නැති වීමයි.

කාමය විඳින්නේ
ආහාර පානයෙන් වුණත්,
ඇස කණ නාසය ස්පර්ශය මගින් වුණත්
ස්ත්‍රී පුරුෂ සම්භෝගයෙන් වුණත්
රාගයෙන් අඳුරු වූ සිතක
ප්‍රඥාලෝකය පහළ වෙන්නේ නෑ...

කාමයෙහි වරදවා හැසිරීමෙන් මිදෙන
එකම මාර්ගය විපස්සනා වැඩීමයි.