20121206

අසෝකං, විරජං, ඛෙමං,






යමක් සිදුවෙන කොට අපි දුක් විඳින්නෙ
ඒ සිදු වෙන දේට කැමති නම්
ඒ දේ දිගටම පවත්වගෙන යාමට උත්සාහ කිරීම හා
අකමැතිනම් වහා නතර කිරීමට හෝ
ඉන් පැන යාමට දරන උත්සාහය නිසයි.
ඇත්ත වශයෙන්ම
මේ උවමනාව ඇති කරන්නෙ
බාහිර දේවල් නිසා නෙමෙයි.

ඒ බාහිර දේවල්  නිසා
අපි විඳින
ස්පර්ශය හා වේදනාවට ඇති
ප්‍රිය බව හෝ අප්‍රිය බවයි.






 විදසුනේදි
අපි සිහිය යොමු කරන්නෙ
අපි තුළ සිදුවෙන දේටයි.


විදසුනේදි
සබ්බකාය පටිසංවේදී වීම
ඉරියව් පිළිබඳ සිහිය ආදිය සමග
සම්පජානෝ සතිය දියුණු වෙනවා.

ඒක දුක අඩුවෙන්න එක හේතුවක්.

හිසේ කැක්කුමක්, දත් කැක්කුමක් වගේ දෙයකදි
අපිට වේදනාව දරන්න අමාරු වෙන එක හේතුවක්
අප් අපේ අවධානය සම්පූර්ණයෙන්ම
එතනට යොමු කිරීම.

තමන්ගෙ මුලු සිරුරත්
අවට පරිසරයත් ගැන සිහියෙන්
(සම්පජානො සතියෙන්,) ඉන්නව නම්
වේදනාව අඩුයි.

සම්පජානෝ සතියෙන් ඉන්නා විට
ඒ මොහොතට
මමය මාගේය යන
සක්කාය දෘෂ්ඨියත් නැහැ.

දුක අඩුවෙන්න අනික් හේතුව තමයි
අපි විඳින
ස්පර්ශය හා වේදනාවට ඇති
ප්‍රිය බව හෝ අප්‍රිය බව ඇති නොවෙන විදියට
ඒ වේදනාවෙ ස්වභාවය පිළිබඳ
සිහියෙන් සහ උපෙක්ශාවෙන් සිටීම.

වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
[කයෙහි වෙනස් වීම්]
වේදනා වල වේදනා අනුව දකිමින් වෙසෙයි,

ඒ අනුව අසනීප අවස්ථා,
තැලීම්, කැඩීම් බිඳීම් ආදී
දෙයින් ගත සිත පෙළන
දුක් සහ දොම්නස අඩුවෙනවා.

සෝ තැවුල් ඉක්ම යාම සිදුවෙන්නෙ
සෝ තැවුල් නිසා අපි තුළ සිදුවෙන
වෙනස පිළිබඳව සිහියෙන්
වර්තමානයෙ පසුවෙන කොට
අතීතය හෝ අනාගතය පිළිබඳව
සෝ තැවුල් ඇතිවීම නතර වෙන නිසා.

මේ විදියට
තමා තුළ සිදුවෙන දේට
සිහියත් උපේක්ශාවත් දියුණු වෙනකොට
ජීවිතයෙ මොන හැල හැප්පීම් සිදු වුණත්
සිත කම්පා නොවී,
අසෝකං, සෝක නොකර
විරජං, කිළිටි නොවී,
ඛෙමං, කෙම් බිමක මෙන්
ජීවත් වන්නට පුලුවන්.