20180317

ජයග්‍රාහී "කූඹියෝ" ලකාගේ නොවිඳීමෙහි ප්‍රතිඵලයකි.


VPN මගින් "මොනම හේතුවකටවත්"
ෆේස්බුක් නොගිය අය අතර
ලකා වැන්නෙකුත් සිටීම
VPN මගින් ෆේස්බුක් නොගිය අපට
වෙනම සතුටකි.

කූඹි කෑමට ලක්වූවන් අතර
අන්තිම එපිය සුරතාන්තයක් කරගෙන
එහි රස විඳින්නට යොමුවෙන පිරිස
අවසානයෙන් පසු පත්වෙන ඉරණමට
ඔවුන් යොමු කරන නියමුවා ඔහුය.
ඔවුන් සොයන සුරතාන්තයට යොමුකළ
කම් සුවයෙහි දායකයා ලකාය.

එහෙත් ලකා කියන්නේ වෙනම කතාවකි.
ඔහුට පළමු කොටසත් අවසාන කොටසත්
දෙකම එකය...

"එක්ව බිම වාඩිවී බැලීමේ ආතල් එක
මේ වන විට වෙනස්මානයකට ගොස් ඇත."
ලකා කිය

=========================
හිතවතුනි,
මොනම හේතුවකටවත් VPN වලින් ෆේස්බුක් නොයන ස්ථාවරයක සිටියෙමි. එබැවින් බොහොමයක් දේ මා නොදනියි. අප හැදුවේ ගෙදර සාලයේ සිට මිනිස්සුන්ට බලා ආතල් ගන්නා නාට්ටියකි. පළමු කොටසත් අවසාන කොටසත් මටනම් එකමය. එක්ව බිම වාඩිවී බැලීමේ ආතල් එක මේ වනවිට වෙනස්මානයකට ගොස් ඇත. මේ කිසිම Event එකකට මාගේ සම්බන්දයක් නැත. ඒවා ඒ ඒ කණ්ඩායම් හා ආයතන විසින් සංවිධානය කරන දේය. මටද ස්තාන දෙකකින් ආරධනා ලැබී තිබිණි. මම ඒ දෙකටම සහබාගි වෙමි.
ස්වාධීන රූපවාහිනිය මෙහි නිළ හිමිකරුය. එබැවින් ඔවුන්ට ඕනෑම ආකාරයෙන් ඒ වෙනුවෙන් උත්සවයක් සංවිධානය කළ හැක. හිතවතුනි, වෙනදා මෙන්ම සාලයේ හෝ ලැප්ටොප් එකේ හෝ මෙය බලන්න. මමද කොහේ සිටියත් හැම තත්පරයකම අවසානය ගැන වෙනදාමෙන්ම ඔබ කියන දේ බැලීමට පුල පුලා බලා සිටිමි.
මෙය පටන් ගැනීමටත්, හැදීමටත්, විකුණාගැනීමටත් පාරවල් ගනේ, සිකුරිටි ගේට්ටු ඉදිරිපිට, reception වල පැය ගනන් දවස්ගනන් චාටර් වූ මටත් දමිතයාටත් මේ අවසන් කොටසට සම්බන්ධයෙන් වන සිදුවීම් දෙස බලා කීමට ඇත්තේ "ඒක වෙනමම වෙනමම වෙනමම ආතල් එකක් " බවය.....
=========================

සුරතාන්තය
එකම විඳීම ලෙස සලකන රාගිකයාට
කවර ස්ත්‍රියක වුව දූෂණය කළ හැක.

එහෙත්,
ජීවිතයට සංවේදීව
කම් සුව විඳින්නාට ඔහු හෙළූ පළමු බැල්මත්
සුරතාන්තය මෙන්ම සුන්දරය.

අප කූඹියන් සමග එක්වූයේ
කූඹියෝ බවත් නොදැන අයිටීඑන් එකටත් පෙර
අහම්බෙන් දුටු පළමු කොටස දුටු දාමය.
ඉන් පසු අඩු වැඩි වෙමින් ඊට බැඳෙමින්
එහි අවසානයෙහි මුව විටේ පසු වෙමු.

එදා කූඹියෝ දෙස හෙළූ පළමු බැල්මට
අද ලබන සුරතාන්තය දෙවෙනි වේදැයි
මා තුළ ඇති අනියත අවිනිශ්චිතයම
අතිශය වෙනස් කෝණයකින්
ලකාටත් ඇති බවට සැක නැත.
එහෙත්
ප්‍රතිඵලය කුමක් වුවද
ඊට සංවේදීවන නමුත්
ඒ ප්‍රතිඵලයද ලකා නොවිඳින බවත්
මට සැක නැත.

මා ලකා තුළ අගය කරන්නේ
ඔහු විඳින නොවිඳීමය.

නොවිඳීම නාඳුනන අයට
ලකාගේ නො විඳීම පෙනෙන්නේ
නෂ්ඨකාමය මෙන් විය හැක.
එහෙත් ඔහු කාමය නි වැරදිව විඳින
අතළොස්සක් වූ වාසනාවන්තයෙකි.

කම් සුවයට යටත් නැති ඔහු
ස්ත්‍රියට යටත් නැති බවද
ඔහුගේ බිරිඳට වඩා නිසැකව
මට කිව හැක.

ලකා VPN මගින් ෆේස්බුක් නාවේ
විඳීම තුළ විඳිය නොහැකි සුවයක්
නොවිඳීම තුළ විඳි නිසාදැයි නොදනිමි.

එහෙත්
අවම වශයෙන් ඔහු සිය ජීවිතයෙන්
ආස්වාදයෙහි ආදීනව දැන හඳුනා
ආස්වාදය ඉක්මවා එක පියවරක් තබා
ඒ තුළින් නිස්සරණය ( වහල් නොවීම )
පසක් කළ කෙනෙකු බව නම් දනිමි.

කූඹියෝ සහ එහි ජනප්‍රියත්වය ගැන
ලකා කියන බොහෝ දේ අසා දැක ඇති නිසා
ඔහුගේ "නොවිඳීමෙහි සාන්ද්‍රණය" ගැන
යම් හැඟීමක් මා තුළ ඇති වී ඇත.

ෆේස්බුක් ජාලයෙහි ආකර්ෂණයට හසු නොවුණ
අතළොස්සක් වූ ෆේස්බුක් ක්‍රියාකාරීන් වන අප
ෆේස්බුක් නැති ජීවිතයෙන් අප විඳි සුවය
ඒ දින හත අට තුළ නොවිඳි VPN කැරලිකරුවන්ට
වචනයෙන් විස්තර කිරීම කළ නොහැක.

නොවිඳීම විඳීම ඉක්මවා යන සුවයකි.

"නිවනෙහි ඇති සුවය කුමක්දැ"යි
සැරියුත් හිමියන්ගෙන් විමසූ විට
"නොවිඳීමමයි සුවය"
උන් වහන්සේගේ පිළිතුර විය.

නොවිඳීම විඳින්නට
නිවනටම පත්විය යුතු නැත.

විඳින්නට සියලු දේ සහිතව
නොවිඳිනා එක් අසුරු සැණක
නිවන
අප තුළත් ඇතිවී නැති වෙයි.

නිස්සරණය
පුහුදුන් පුද්ගලයාගේ නිවනයි.
ආස්වාදයෙහි ආදීනව දකින්නා
වරින් වර දකින නිවනයි.
ඒ නිවන ලකාට අළුත් නැත

කූඹි ගුල ඇතුළු ෆේස්බුක් ප්‍රතිචාර සියල්ල
ලකාත් හැඟීම්බරව රස විඳින නමුත්
ඒ වින්දනයෙන් උද්දාම වී, උමතු වී
කූඹි කෑවුන් අතරට වැටී තුවාල කරගන්නට
ලකා බොළඳ වූයේ නැත.

අද කූඹියෝ අවසාන එපිය බලා චූන් වී
ඉදිරි දින කිහිපයක් තුළ ආතල් ලබා ගෙන
පශ්චාත් සුරතාන්තයෙන් පෙළෙමින් නික්ම යන
කූඹියෝ රසික ජනතාව විසිර ගිය පසු
කූඹියෝ සමග තනි වී හූල්ලන්නට
ලකා පසුබිම හදා ගත්තේ නැත.
ඔහුට කූඹියෝ රසික ප්‍රතිචාර
ජීවිතය වූයේ නැත.

ලකා නිරතුරුවම කීවේ
ඔහුගේ කාර්යය හමාර වී ඇති හෙයින්
කූඹියෝ අයිති රසිකයාට බවය.
කූඹියෝ මගින් රසිකයා විඳින්නා වූ අපූර්ව සුවය
ඇත්තටම අති සොඳුරු වෙනමම ආතල් එකකි.
අපට ඒ සොඳුරු රසික විඳීම සුවිශේෂී වන්නේ
වෙනත් සුවිශේෂී හේතුවක් නිසාය.

'පබා' 'බට්ටී' බලා කලකිරී
2010 දෙසැම්බර් වලින් පසු
අද කාලයේ ටෙලි නාට්‍ය පමණක් නොව
සමස්ත රූපවාහිනි නාලිකා වර්ජනය කොට
වසර අටකට වැඩි කාලයක්
කිසිදු ටෙලි නාට්‍යයක් නරඹන්නේ නැතිව
කඩුල්ල වැනි පැරණි සුභාවිත ටෙලිනාට්‍ය
අන්තර්ජාලය හරහා යළිත් නරඹමින්
කලක් තිස්සේ පිපාසිතව උන් අප පවුලට
කූඹියෝ පෑදි දිය දෝතක් විය.

කූඹියෝ වැනි
අපූරු ටෙලි නාට්‍යයක් නිර්මාණය කළ
ලකා ඇතුළු කණ්ඩායමේ සියල්ලෝම පාහේ
රසිකයාගේ තාවකාලික ආනන්දයට වහල් වී
බොළඳ ලෙස අමන්දානන්දයට පත් නොවෙන
විශේෂ කණ්ඩායමක් බව කිව හැකිය.

නිර්මාපකයා රසිකයාට යටත් නම්
දූෂණය වන්නේ ඔහුගේ නිර්මාණයයි.

රසිකයාගේ වින්දනය දකින  නිර්මාපකයා
තමා කළ සංග්‍රහය ගැන සතුටු විය යුතුය.
එහෙත් රසිකයාගේ සතුට යනු
ඔහු දක්කන්නට නාස් ලණුවක් නොවන බව
ලකා දන්නා බව අපට පැහැදිලිය.
එහි සැබෑ පදනම
'සංවේදීව' නොවිඳීමයි.

මෝහයෙන් නොවිඳීම
සංවේදීව නොවිඳීමෙන්  වෙනස්ය.

සංවේදීව කූඹියෝ රස විඳින
සුවහසක් රසිකයන් ඉදිරියේ
අද වෙනත් කිසිදු ටෙලිනාට්‍ය කරුවෙකු
මුහුණ නොදෙන තරම් සුවිශේෂී
ප්‍රබල අභියෝගයකට ලකා මුහුණ දී ඇත.
කූඹියන්ගෙන් එහාට යන නිර්මාණයක්
අද රසික සහෘදයන් හෙට ඔහුගෙන් ඉල්ලා සිටියි.
මේ සියලු ප්‍රතිචාරයන්වල අවසානයේ
නියත පොදු ගුණාකාරය එයයි.

ලකා ඒ අභියෝගයට මුහුණ දෙන්නේ
වඩා විශාල ප්‍රතිචාරයක් සඳහා නොව
මේ ප්‍රතිචාර දැක් වූ අප සියල්ලන්ගේ
ආදරණීය බලාපොරොත්තු පෙළට
සාධාරණය ඉටු කිරීමට බවත්
අපි දනිමු.

ලක්මාල්...
ඒ අභියෝගයට
සාර්ථකව මුහුණ දෙන්නට
අපි ඔබට සුබ පතමු..