20160904

බුදුන් වහන්සේත් ගැරහුම් ලද යුතු තැනක්.

 
බුදුන් වහන්සේගේ ශ්‍රාවකයන් ලෙස
භික්ෂූන් වහන්සේලා සලකන
සැදැහැවත් ගිහියෝ
සියලු භික්ෂූන්ට එකම හැන්දෙන් බෙදති.
ධර්මය දායාද කරනොගත් භික්ෂුව ලබන්නේ
ඔවුන් වෙහෙස මහන්සිවී උපයාගත් මුදලින් දෙන
ආහාර, ගිලන්පස, සිවුරු,සෙනසුන් ආදී
භෞතික වස්තූන් පමණි.
ඔවුන් ලද ධර්ම දායාදයක් නැති හෙයින්
ඔවුන් නිසා ශාස්තෘශ්‍රාවකයෝ ආමිස දායාද ව වසත්,
ධර්ම දායාද ව නොවසත් ය’යි
බුදුන් වහන්සේද ගැරහිය යුත්තෙක් බවට පත්වන බව
බුදුන් වහන්සේ දේශනා කළ සේක.

බුදුන් වහන්සේගේ ධර්ම දායාදය නොලබා
බුදුන් වහන්සේ නිසාම
උන්වහන්සේ වෙනුවෙන් පුදන
ආමිස දායාදයෙන් යැපෙන භික්ෂූන් නිසා
උන් වහන්සේත් ගැරහුම් ලැබිය යුතු යැයි
බුදුන් වහන්සේ වදාළහ.

''මම ද එයින් ‘ශාස්තෘශ්‍රාවකයෝ ආමිසදායද ව වසත්,
ධර්මදායද ව නොවසත් ය’යි ගැරහිය යුත්තෙම් වෙමි. ''

බුදුන් වහන්සේගේ ධර්ම දායාද ලත්
භික්ෂූන් වහන්සේලා සිල්වත්ය. ධර්මධරය.
සංවරය, සුපේෂලය, ශික්ෂාකාමීය.
ශ්‍රැතවත් ආර්යශ්‍රාවකයෙකි.
සිවුරක් දරාගත්
ඇසු පිරූ තැන් නැති පුහුදුන් කෙනෙකු නොවේ.

ශ්‍රැතවත් ආර්යශ්‍රාවකයාගේ
වෙනස, විශේෂත්වය කුමක්ද?

ඇසු පිරූ තැන් නැති පුහුදුන් තෙමේ
1, කායික වේදනාව ද
2, චෙතසික වේදනාව ද යන
වේදනා දෙකක් විඳී.

ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා
කායික වූ එක් වේදනාවක් විඳියි.
චෙතසික වේදනාව නො විඳියි.

මහණෙනි,
මාගේ ධර්මයට දායාද වවු.
ආමිසයට දායාද නො වවු.

‘මාගේ ශ්‍රාවකයෝ කෙසේ නම්
ධර්මයට දායාද වන්නාහු ද,
ආමිසයට දායාද නො වන්නාහු දැ’යි
තොප කෙරෙහි මාගේ අනුකම්පාව ඇත.

මහණෙනි,
තෙපි ආමිසදායාද ව ධර්මදායාද නො වන්නහු නම්,
එයින් ‘ශාස්තෲන්වහන්සේගේ ශ්‍රාවකයෝ ආමිසදායාද ව වසත්.
ධර්මදායාද ව නො වසත් ය’යි
තෙපි ද ගැරහිය යුත්තෝ වන්නහු ය.
මම ද එයින් ‘ශාස්තෘශ්‍රාවකයෝ ආමිසදායද ව වසත්,
ධර්මදායද ව නොවසත් ය’යි ගැරහිය යුත්තෙම් වෙමි.

මහණෙනි,
තෙපිත් මාගේ ධර්මයට දායාද ව
ආමිසයට දායාද නො වන්නහු නම්,
එයින් තෙපිත්
‘ශාස්තෘශ්‍රාවකයෝ ධර්මදායද ව වසත්,
ආමිසදායයාද ව නො වසත් ය’යි
ගැරහිය යුත්තෝ නො වන්නාහුය.
මමත් එයින් ‘ශාස්තෘශ්‍රාවකයෝ ධර්මදායාද ව වසත්,
ආමිසදායාද ව නො වසත් ය’යි ගැරහිය යුත්තෙම් නො වෙමි.

මහණෙනි, එහෙයින් මාගේ ධර්මයට දායාද වවු.
ආමිසදායාද නො වවු.
‘මාගේ ශ්‍රාවකයෝ කෙසේ නම් ධර්මදායද වන්නාහු ද,
ආමිස දායාද නො වන්නාහු දැ’යි
තොප කෙරෙහි මාගේ අනුකම්පාව ඇත.

මහණෙනි,
මම වැළඳූයෙම් වුවමනා පමණ වළඳා අවසන් කෙළෙම්,
භොජනයෙන් සම්පූර්ණ වූයෙම් වළඳා අවසන් කෙළෙමි,
බඩගිනි නැති වීමෙන් තෘප්ත වූයෙම්,
කැමති තාක් අහර ගත්තෙම් වෙමි.
ඉතිරි ව ඉවත දැමිය යුතු පිණ්ඩපාතයෙක් ද වේ.
එකල බඩසයින් හා දුබලබැවින් ද පෙළුණු
භික්ෂූහු දෙනමක් එන්නාහුය.
මම ඔවුන්ට
“මම වැළඳූයෙමි. පැවරූයෙමි පිඬු පිළිකෙව් කළෙමි.
සම්පූර්ණ වූයෙමි. බොජුන් කිස අවසන් කළෙමි.
තෘප්ත වූයෙමි. කැමති තාක් වැළඳුයෙමි.
ඉතිරි වූ බැහැර ලිය යුතු මාගේ මේ පිණ්ඩපාතයෙක් ඇත.
ඉදින් කැමැත්තහු නම් වළඳවු.
ඉදින් තෙපි නො වළඳන්නහු නම්,
දැන් මම නිල්තණ නැති බිමක හෝ බහන්නෙමි.
පණුවන් නැති ජලයක හෝ පා කොට හරින්නෙමි”යි
කියන්නෙමි.

ඔවුන් අතුරෙන් එක භික්ෂු නමකට
“භාග්‍යවතුන් වහන්සේ වැළඳු සේක. පැවරූ සේක.
සම්පූර්ණ වූ සේක. අවසන් කළ සේක. තෘප්ත වූ සේක.
කැමති තාක් වැළඳු සේක.
භාග්‍යවතුන් වහන්සේගේ ඉතිරි වූ බැහැර දැමිය යුතු වූ
මේ පිණ්ඩපාතයෙක් ද ඇත.
ඉදින් අපි නො වළඳන්නමෝ නම්
දැන් භාග්‍යවතුන් වහන්සේ
නිල් තණ නැති බිමක හෝ බහාලන සේක.
පණුවන් නැති ජලයෙහි හෝ පාකර හරින සේක.
භාග්‍යවතුන් වහන්සේ විසින්
‘මහණෙනි, මාගේ ධර්මයට දයාද වවු.
ආමිසදායාද නො වවු ය’යි මෙය වදාරණ ලදී.
යම් මේ පිණ්ඩපාතයෙක් වෙයි නම්,
එය ද ආමිස අතරින් එකකි.
මම මේ පිණ්ඩාහාරය නො වළඳා
මේ බඩසාදුකින් ම යුක්ත ව
මේ රෑ දාවල් දෙක ඉක්මවන්නෙම් නම් මැනවැ”යි
මෙබඳු අදහසක් වෙයි.

හෙ තෙමේ ඒ පිණ්ඩපාතය නො වළඳා
ඒ බඩසාදුකින් ම මෙසේ ඒ රෑදාවල ගෙවන්නේ ය.
යලි දෙවැනි භික්ෂූන් වහන්සේට
“භාග්‍යවතුන් වහන්සේ වැළඳූ සේක. පවාරණය කල සේක.
සම්පුර්ණ වූ සේක. අවසන් කළ සේක. තෘප්ත වූ සේක.
කැමති තාක් වැළඳූ සේක.
භාග්‍යවතුන් වහන්සේගේ ඉතිරි වූ ඉවත දැමිය යුතු වූ
මේ පිණ්ඩපාතයෙක් ද ඇත.
ඉදින් අපි නො වළඳන්නමු නම්,
දැන් භාග්‍යවතුන් වහන්සේ
නිල්තණ නැති බිමෙක හෝ බහාලන සේක.
පණුවන් නැති දියෙහි හෝ පා කොට හරින සේක.
මම මේ පිණ්ඩපාතය වළඳා
බඩසා නැති ව මේ රෑ දාවල ගෙවන්නෙම් නම් මැනවැ”යි
මෙබඳු අදහසෙක් වෙයි.
හෙ තෙමේ ඒ පිණ්ඩපාතය වළඳා
බඩසා දුබල බව නැති කොට
මෙසේ ඒ රෑ දාවල ගෙවන්නේ ය.

මහණෙනි,
ඒ මහණ කිසිසේත් ඒ පිණ්ඩාහාරය වළඳා
බඩසා දුබල බව නැති කොට
මෙසේ ඒ රෑදාවල ගෙවන්නේ ය.
එසේ ඇති කල
මා විසින් තෙල පළමු මහණ ම
වඩා පිදිය යුතු ද පැසසිය යුතු ද වෙයි.

එය කවර හෙයින යත්:
මහණෙනි,
එය ඒ මහණහුට
බොහෝ කලක් අපිස් බව පිණිස ද
සතොස් බව පිණිස ද මනා සේ කෙලෙසුන් සිඳහැරීම පිණිස ද
සුපොෂභාවය පිණිස ද වැර ඇරඹුම් පිණිස ද වන්නේ ය.
මහණෙනි, ඒ නිසා මාගේ ධර්මයට දායාද වවු.
ආමිසයට දායාද නො වවු.
‘මාගේ ශ්‍රාවකයෝ කෙසේ නම් ධර්මයට දායාද වන්නාහු ද,
ආමිසයට දායාද නො වන්නාහු දැ’යි
තොප කෙරෙහි මාගේ අනුකම්පාව ඇත.

ධම්මදායාද සූත්‍රය
සූත්‍රාන්තපිටකයෙහි මැඳුම්සඟිය
මූලපණ්ණාසකය මූලපරියාය වර්ගය

විඤඤාණය , කුමක් නිදානකොටගෙන ඇත්තීද ?

චක්ඛු විඤ්ඤාණය කියන්නෙ
ඇසට රූපයක් වැටෙන කොටම
එහි ස්වභාවය.. වර්ණය, දුර,
ප්‍රමාණය, සතෙක්ද වස්තුවක්ද කියන එක ආදී
මූලික තොරතුරු දකින විඤ්ඤාණයටයි.
අක්ෂි  විඤ්ඤාණය
රූප ස්පර්ශයෙ අංග තුනෙන් එකක්,
1, ඇස,
2, රූපය,
3, අක්ෂි විඤ්ඤාණය.
මේ අවස්ථාවෙදි අපේ විග්‍රහයක් නෑ,

අපි සිය දෙනෙක් එකම දෙයක්
පළවෙනි වතාවට දැක්කොත්
ඔවුන්ගෙ අක්ෂි විඤ්ඤාණ්ය දකින්නෙ
එකම දෙයක්.

රතු, ගෝලාකාර ආදී තොරතුරු විතරයි.

කලින් විඳලා නැත්නම්
ප්‍රිය අප්‍රිය භාවය අනුව
වර්ග කිරීමක් වෙන්නෙ නෑ
ඒ විඤ්ඤාණයෙ කාර්යය
ස්පර්ශය හඳුනාගැනීමයි.

ස්පර්ශයෙන් ඇතිවෙන වේදනාව
සංඥාව මගින් හඳුනා ගැනීම නිසා
ඇතිවෙන සංස්කාර නිසා හටගන්නා විඤ්ඤාණය
පංචස්කන්ධයෙ අවසානයටයි ඇතිවෙන්නෙ.
මුලින් කිව් විඤ්ඤාණය
ස්පර්ශයෙ අංග තුනෙන් එකක්..

ස්පර්ශයෙන් ඇතිවෙන වේදනාව
ඒ දකින දේ
අපට බලපාන විදිය අනුව
අපි ඒ තොරතුරු
අපට දැනෙන ප්‍රමාණයට සහ
අපේ ස්වභාවයට අනුව
අපිටම අනන්‍ය වූ
ප්‍රතිචාරයක් දක්වනවා.
ඒ ප්‍රතිචාර තුන් වරගයක් තියනවා...
ඒ දේට අපි කැමතිද අකැමතිද..
ඒ දෙකටම නැතිද කියන
වෙනස්කම් තුන අනුව
අර අත්දැකීම
සංස්කාර බවට පත්වෙලා
අපේ විඥ්ඥාණයෙ සටහන් වෙනවා.
මේ විශේෂයෙන් දැනීම නිසා
විඥ්ඥාණයයි කියනවා.

විඤ්ඤාණය කියන්නෙ
මොහොතක් පාසා
ඇති වෙන නැති වෙන ධාරාවක්..
භවයෙන් භවයට යන ආත්මයක් නොවෙයි..

ඒ නිසයි බුදුන් වහන්සේ
කේවට්ටපුත්ත වැරදියි කියන්නෙ.
සංස්කාර නිසා හටගන්න විඤ්ඤාණය
පසුව විස්තර කරනවා.

 මහණෙනි, 
මේ විඤඤාණය , කුමක් නිදානකොටගෙන ඇත්තීද ? 
කුමක් සමුදයකොටගෙන ඇත්තීද ? 
කුමක් ජාතිකොට ඇත්තීද ? 
කුමක් ප්‍රහවකොට ඇත්තීද ? , 
විඤඤාණය සංස්කාර නිදානකොටගෙන ඇත්තාහ.

වේදනාව සුඛ විදියට දැනුණොත්
රාග සංස්කාරත්
වේදනාව දුක්ඛ විදියට දැනුණොත්
ද්වේශ සංස්කාරත්
වේදනාව මේ දෙකටම නැති නිසා නොදැනීමෙන්
මෝහ සංස්කාරත් හටගන්නවා.

සංස්කාර හේතුවෙන් විඤ්ඤාණය පහළ වෙනවා.
ඔහු විඳින ස්පර්ශය
ඉන් උපන් වේදනාවට අනුව වර්ග කරලා
පාක්ෂික, ඔහුගෙ රුචියට සාපේක්ෂ
විකෘති ඥාණයක් ඇති කරගන්නවා.

එක වෙලාවක ඔහු කැමති වෙන උෂ්ණත්වයට
තව වෙලාවක ඔහු අකමැති වෙනවා.

ඒ තොරතුරු සහිත විඥාණය
ඔහුගෙ තීරණ වලට හවුල් වෙනවා.

රූපයට, කටහඬට කැමති නම්
ඔහු වටා රැස්වුණ සැප සම්පත් වලට කැමති නම්
ව්‍යාජ රහතෙක් රහත් ලෙස දකිනවා.
ඔහු බුදුන් වහන්සේටත් වඩා
ඉහළින් තබනවා.

විඤ්ඤාණය කියන්නෙ
කෙලෙස් වලින් කිළිටි වූ
චිත්ත සන්තානයයි.

සිත සවභාවයෙන් ප්‍රභාස්වරයි.
ආගන්තුක උපක්ලේශ වලින් කෙළෙසෙනවා.

වතුරට මඩ මිශ්‍රවුණාම
 මඩ වතුර කියනවා.
මඩ ඉවත් වුණාම
 පිරිසිදු වතුර කියනවා.
මඩ වතුර කිළිටියි..
පිරිසිදු වතුර නිර්මලයි..

කෙලෙස් ඉවත් කරන ලද විඥාණයට
 ප්‍රඥාව කියනවා.

විඥාණය < - > ප්‍රඥාව
 මේ දෙක දෙකක් නොවෙයි...
දෙකක් වෙන්නෙ කෙලෙස් නිසයි.

ගින්නට පිළිස්සෙන කෙනෙක්
 ද්වේශ සංස්කාරය සහිතව
 අත්දැකීම විඳින නිසා
 පිළිස්සෙන අත්දැකීම
 ඔහු තුළ රැඳෙන්නෙ
 විඥාණය විදියටයි..

සංස්කාර නැසෙන කොට
විඤ්ඤාණයත් නැසෙනවා.
සංස්කාර නැසෙන්න නම් අවිද්‍යාව නැසෙන්න ඕන..

අවිද්‍යාව නැසෙන්නෙ සතර සතිපට්ඨානයෙන්..

ගින්නට පිළිස්සෙන කෙනෙක්
 කාය වේදනා චිත්ත ධම්ම වශයෙන්
 සිහියෙන් උපේක්ෂාවෙන් වින්දොත්...
ඔහු ගින්න දකින්නෙ ප්‍රඥාවෙන්.

කෙලෙස් නැසෙන විට
විඤ්ඤාණය ප්‍රඥාව වෙනවා.

සංස්කාර තියන තුරු
තව භවය ගමන් කරනවා.
මේ ජීවිතයෙ චුති විඤ්ඤාණය
තව තැනකින් ධාරාව ආරම්භ කරනවා.

විඤ්ඤාණ ධාරාවෙ සංස්කාරත්, කර්මත් අනුව
ඒ ජීවිතය සකස් වෙනවා.