20150202

බුදු දහමත් ආගමක්....


සාමාන්‍ය මිනිහෙක් 
ආගමට නැඹුරුවෙන්නෙ
එකම උවමනාවකට.

ඒ උවමනාව තත්කාලීන වෙන්නත් පුලුවන්..
අනාගත උවමනාව නිසා කරන
පෙර සූදානමක් වෙන්නත් පුලුවන්..

හැම ආගමකින්ම කරන්නෙ
මිනිසාට පැමිණෙන
සෝ තැවුල් දුක් දොම්නස්වලින්
මිදෙන්න මගක් ඉදිරිපත් කිරීමයි.
 
ඒ ස්වභාවික උවමනා
මොන විදියට
මොන ආගමකින් ඉටුවුණත්
මිනිස්සු තෘප්තිමත් වෙනවා.

ආගමික ක්‍රම වැරදියි කියන නිරාගමිකයන්
එහෙම කියන්නෙ
සෝ තැවුල් දුක් දොම්නස්වලින් මිදෙන්න
හරිමගක් දැනගෙන නෙමෙයි..
ඔවුන්ට එහෙම අත්දැකීමක් නැති නිසයි..
ඔවුන් ආගම් පිළිපදින අය දිහා බලමින්
ආගම මනින්න වෑයම් කරනවා.
ඒ නිරීක්ෂණ මත
අන්ධයා කිරි කෑවා වගේ
තමන් නොදන්න ආගම විග්‍රහ කරනවා.
නිරාගමිකයන් කවදාවත් නොගිය ආගමික මාර්ග වැරදි ඇයි කියමින්
 
ආගමික මාර්ග හොඳින් දන්න අය වගේ වැරදි කියනවා.
තියන මාර්ග වල වැරදි කියනවා හැරෙන්න
හරි මාර්ගයක් දන්නෙත් නැහැ..

සිදුහත් කුමාරයා
වැරදි මාර්ග වැරදි ඇයි කියමින්
ගවේෂණය කරමින් සිටියෙ නැහැ..

සත්‍ය වශයෙන්ම
සෝ තැවුල් දුක් දොම්නස්වලින්
මිදෙන්න මග සොයාගත්තා..

බුදු දහම ආරම්භ වෙන්නෙ
වෙනත් ඕනම ආගමක් විදියටයි..
කුඩා දරුවන් පවා
බුදු දහමට ඉබේම යොමුවෙන්නෙ
ඒ ආගමික ලක්ෂණ නිසයි..

බුදු දහම ආරම්භ වෙන්නෙ
සවන් දීමෙන් ඇදහීමෙන්..ශ්‍රද්ධාවෙන්..
 
දුක දකින කෙනෙකුට
දුකෙන් මිදෙන මග
බුදු දහම තුළින් හමුවෙන බව
ශ්‍රද්ධාවෙන් අදහනවා.
ඔහු බුදුන් වහන්සේ කියන ආකාරයට
ශීලය රකිමින්
සිහිය පිහිටුවාගන්නට වීර්ය වඩනවා.
ඔහුගෙ
සති පිහිටනවා.
සමාධිය වැඩෙනවා.
ප්‍රඥාව පහළවෙනවා.

ශ්‍රද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා

ශීල වෘත ආදිය
බුදුන් වහන්සේ බැහැර කරන්නෙ නැහැ..
 
සම්මා සතිය, සම්මා සමාධිය දියුණු වෙද්දි
ඔහු නිරායාසයෙන්ම ඒ කිහිලිකරු අත්හරිනවා.
 
තමන්ගෙ සිත කය ගැන සිහිය නොදියුණු කෙනෙක්
ශීල වෘත ප්‍රතික්ෂේ
කිරීමෙන්
සතෙක් මෙන් මෝහයට වැටෙනවා.

සැබෑ ආගමික පුහුණුවක් නැති
යහපත් මිනිසුන් ජීවත් වෙන්නෙ
කොතරම් අවසිහියෙන්ද බලන්න.
ඔවුන් ජීවත්වෙන්නෙ
ඔවුන්ගෙ කටුව ඇතුළෙ.
ඔවුන් ලෝකය සමග සම්බන්ධ නැහැ..

බොහෝ විට ඔවුන්
අඩු වයසින් මිය යන්නෙ
හෘදයාබාධයකින්..

ඔවුන් බැහැරින් යහපත් මිනිසුන් ලෙස හැසිරෙද්දි
ඔවුන්ගෙ යටි සිතත් කයත් විඳවනවා.
මිනිහෙක් කියන්නෙ
සිතත් කයත් කියන දෙකම එක් වුණාමයි.
මේ දෙකේම හැසිරීමට, ඉල්ලීම් වලට
මිනිසා යටත්..

උදාහරණයක් විදියට...
ඉහත වාක්‍යය කියෙව්වාම
කියවන අයගෙ හිත්වලට
මේ වාක්‍යය බලපානවා.


ද්වේශයක් මතුවුණොත්
ඒ ද්වේශයෙන් බර සිතින්
ඔවුන් වහලුන් මෙන්
හිත කියන දේ කරනවා.
සැබෑ කාරණය ගැන නොවෙයි...
මානය විසින් පෙළඹිලා
හිත කියන දේ ලියනවා.


සිතත් කයත් දෙකේම හැසිරීමට, ඉල්ලීම් වලට
මිනිසා යටත්..

මේ දෙකම අධීක්ෂණය කරමින්
මේ දෙකම මගින් කරන පාලනයෙන්..
මේ දෙකටම තියන වහල් බවෙන් මිදෙන්න
මිනිසාට මග කියන එකම දහම බුදු දහමයි.

ඒ නිදහස සොයන කෙනෙකුට
අන් දහම් ගැන සොයන්න දෙයක් නෑ.

අන් දහම්වලින් තමන් සොයන දේ ලබන්න
අන් අයට නිදහස තියනවා.

කිසිම ආගමක් ගැන නොසොයන
"මම ආගම් ගැන දන්නෙ නෑ
මට ආගමක් නෑ" කියන නිරාගමිකයන්ට
ඔවුන්ගෙ නිදහස තියනවා.

අනුන්ගෙ ආගම් ගැන සොයමින්
ඔවුන්ට පහරදෙමින් වින්දනයක් ලබන
ආගමික නිරාගමික දෙපිරිසම
තේරුමක් නැතිව විඳවනවා.