20170124

"දඩයම" චිත්‍රපටයෙන් දෝණි පාඩමක් ඉගෙනගත්තා.


අපි "දඩයම" බැලුවා.
මම අපේ පොඩි දෙන්නගෙන් ඇහුවා
අපි "දඩයම" බැලුවනෙ.
ඔයගොල්ලොන්ට මොනවද හිතෙන්නෙ..
බැලුව එක හොඳයිද" කියලා.

"ඔව්..."දෝණි කිව්වා..

"ඇයි?"

"ඒකෙන් පාඩමක් ඉගෙනගන්න තියනවා."

"මොකක්ද?"

"කොල්ලො මුලින් යාලු වුණාම
පෙනුමට හොඳයි වගේ පේන්නෙ.
ඒ වුණාට එහෙම නෑ"

වසන්තගෙ මෙහෙයවීම යටතෙ
ස්වර්ණා, රවීන්ද්‍ර ඇතුළු
නළු නිළියන්ගෙ චරිත නිරූපණය
දෝණිට ඒ පාඩම උගන්වන්න
කොතරම් ආධාර වෙන්න ඇත්ද?


රත්මලී පෙම් කරන කාලයත්
ඉච්ඡාභංගත්වයට පත් වුන කාලයත්
යළි ජයනාත්ට නතු වෙන කාලයත්
මාරාන්තික තීරණය ගන්නා කාලයත් අතර
පිරිද්දුම් නොපෙනෙන ලෙස
රත්මලීගේ චරිත රටාව වියන්නට
ස්වර්ණා දැක්වූ දක්ෂතාවය සහ
ඇය අප තුළ ජනිත කරන විශ්වාසනීය බව
රසිකාවක් ලෙස සිනමාපටයෙහි ආත්මය
මැනවින් ග්‍රහණය කරගන්නට දෝණිට හැකිවූ
ප්‍රධානම සාධකයයි.
.
වසන්තගේ සංදේශය මැනවින් උකහාගෙන
සිය ආත්මයෙන් පෝෂණය කරගෙන
අප වෙතට සම්ප්‍රේෂණය කරන්නට
ස්වර්ණා දැක්වූ ගරු කටයුතු ශක්‍යතාවය
අපට ඇගෙන් සිදු වූ සේවයයි.
ඇගේ කාර්යයට අන් රංගන ශිල්පීන් දුන්
නොමඳ දායකත්වයත්
ඇයට වසන්තට සහ අපට ආශීර්වාදයකි.

ඒ අතරම
මේ අවබෝධය ලබන්න
දියණියට වසර තුනේ හතරෙ සිටම
පුරුෂ ප්‍රේමයෙ සැබෑ ස්වභාවය ගැන
අපි ඇයට දුන් හැඟීම්ද හේතු වෙන බව ඇත්තයි.


දරුවන් පාඩමක් ඉගෙන ගන්නෙ
අපි ඔවුන්ට දීල තියන දැනුමත්
ආධාර කරගෙනයි.

සිඟිති පාසලේදි
ඇගේ සිත් ගත් පිරිමි දරුවෙක්
ඇගේ වතුර බෝතලය කුණු කූඩෙට දැම්මා.
ඒ ක්‍රියාව ඇගේ සිත් ගන්න කළ
බොරු රඟපෑමක් බවත්
ඒ මතු කළ හැඟීම පාලනය කරගෙන
ඔහු ඇගේ සිත් ගන්න ඉඩ තියන බවත්
ඈට පැහැදිලි කළා.
ඒ සිදුවීම ලොකු ප්‍රශ්නයක් කරගෙන
පාසලට ගිහින් පැමිණිළි කරලා
ඔහුගෙ මවත් සමග දබරයක් වෙන තැනට
ඒ සිදුවීම අරන් ගියා.

අද දෝණිට ඒ කිසිවක් මතක නෑ.
ඒත් ඒ සියල්ල ඇගේ විඥාණයෙහි
නොමැකෙන ලෙස රැඳී තියනවා.
අවස්ථාවක් ලැබුණ හැම විටම
අපි දකින්නෙ වෙස් මුහුණු බව
ඔවුන්ට දැනගන්න සලස්වන්න
අපි ක්‍රියා කළා.

එවන් පසුබිමක ආධාරය ඇතිව වුණත්
වසර නවයක කුඩා දියණියකගේ නොමේරූ සිත තුළ
"මා පසුපස එන කොල්ලන්ගේ මතුපිට ස්වරූපය
ඔවුන්ගේ සැබෑ ස්වරූපය නොවෙයි" කියන
ප්‍රඥාව ඇති කරන්න සමත්වීම තුලින්
අපේ රටේ සිනමා කරුවෙක් විදියට
වසන්තගේ වෑයම ඉතාම සාර්ථකයි.

ගින්දරත් සමග සෙල්ලම් කරන දරුවෙකුට
සැර වැර කිරීමෙන් දඬුවම් කිරීමෙන්
ඔවුන් ලොකු පාඩමක් ඉගෙන ගන්නෙ නෑ.
ඒත් ඒ කලබැගෑනිය නිසා
ගින්දරට පුළුස්සා ගැනීම
ඔවුන්ට සාමාන්‍ය දෙයක් වුණාට
අපට එසේ නොවෙන බව ඔවුන්ට දැනෙනවා.
ඔවුන් පාඩම ඉගෙනගන්නෙ
සැබැවින්ම ගින්නට පිළිස්සෙණ දාටයි.
ලැබෙන පළමු අවස්ථාවෙම
ඔවුන් පාඩම ඉගෙනගන්නවා.
එදාට ඔවුන් දෙමාපියන් දෙස බලන්නෙ
කෘතඥතාවයෙන්.
දෙමාපියන්ගෙ පව් සේදෙන්න
ඒ කෘතඥතාවය ප්‍රමාණවත්.

ඒ දාරක පෝෂණය ලබා දෙන්න
මිනිසත්බවට දයාවක් ඇති සහ
දක්ෂ සිනමාකරුවෙකුට පුළුවන්.

රස වින්දනය සඳහාම තැනුණ
අයිසින් ගොඩක් වැනි ටෙලිනාට්‍ය හෝ
සිනමාපට සියයකින්වත්
මෙවැනි පිරිසිදු පණිවිඩයක් සමාජගත කරන්න
නිර්මාණකරුවෙකුට අවස්ථාවක් ලැබෙන්නෙ නෑ.

2010 දෙසැම්බර් මස සිට
රූපවාහිනිය වර්ජනය කිරීම නිසා
දරුවන්ගේ හදවත් සහ හිස් තුළ
රැස්වෙන්න ඉඩතිබුණ කුණු කන්දල් වලින්
ඔවුන් ආරක්ෂාවීමත්
ඒ පණිවිඩය උකහාගැනීමට එක හේතුවක්.

ඒත්
එවැනි පණිවිඩයක්
සිනමා පටයෙහි අන්තර්ගතවීම
මූලිකම අවශ්‍යතාවයයි.
"දඩයම" චිත්‍රපටයෙන් සමාජයට දෙන
පැහැදිලිම පණිවිඩය එයයි.

සිනමාපටයකින් දෙන පණිවිඩය
ග්‍රහණය කර ගැනීමත්
ඒ පණිවිඩයෙන් තම පරිකල්පනය
පෝෂණය කරගැනීමත්
රසිකයාගේ වගකීමයි.

මේ කාර්යය මනාව ඉටුවෙන විට
සිනමාකරුවාත් ර
සිකයාත් අතර ඇතිවෙන්නෙ
දෙමාපියන් සහ දරුවන් අතර වැනි
ප්‍රබල සහෘදත්වයක්.

"දඩයම" චිත්‍රපටයෙන් දෙන
දෙවෙනි පණිවිඩය නම්
යසඉසුරු වලට, සැපසම්පත් වලට,
ගරුනම්බු වලට කෑදර වී
ආත්මය, සදාචාරය, අනාගතය
පාවා නොදිය යුතු බවයි.

" සල්ලිවලට අහුවුණ නිසා නේද
තාත්තත් කටවහගෙන හිටියෙ"
රත්මලී අහන ප්‍රශ්නය
අද අපේ රටේ ඉන්න දෙමව්පියන්
කී ලක්ෂයකගෙ හිත්වල තුවාල වලට
ලුණු එකතු කරන ප්‍රශ්නයක්ද?

වසන්තගේ "දඩයම" සිනමාපට
දියණියන් ඇති දෙමාපියන් විසින්
ඔවුන් සමග එකට හිඳගෙන ලැබිය යුතු
ප්‍රතිශක්තිකරණ එන්නතක්.

අතීතයේ විසූ
යහපත අයහපත හඳුනන
ශීලාචාර නිර්මාණකරුවන්ගේ ඇසුර
අපට වඩා අපේ දරුවන්ට ලබා දෙන්නට
නවීන තාක්ෂණය පිහිට වීම ආශීර්වාදයක්.

අද දරුවන්ගේ ළමා ලෝකය පිරිහෙන්නටත්
නවීන තාක්ෂණය
ඒ අයුරින්ම  දායකත්වය දුන්නත්
දියුණු තාක්ෂණයට අපි ණයගැතියි.
තාක්ෂණික කිරෙන් දියර ඉවත් කොට
දරුවන් රැකගැනීමත් අපේ වගකීමක්.

( දෙපිට කැපෙන පිහියක් වැනි නවීන තාක්ෂණයේ
වෙස්මුහුණ ගලවන සිනමා කලාකාර වසන්තලාත්
කවදා හෝ අපේ රටෙත් බිහිවේවා.)