20170715

"සයිටම් විරෝධී ජනපවුර" හෙවත් ජයපාල වෙදාගෙ පස්ස කෙළවර


ජයපාල වෙදාගෙ පස්ස කෙළවර.

ඉස්සර ජයපාල වෙදා කියල වෙදෙක් හිටියා.
ඇත්තටම දන්න වෙදකමක් නැහැ.
වෛද්‍ය සංගමේ වර්ජනේ වගේ
එයා හැම ලෙඩේටම දුන්නෙ
ජයපාල ඇට වලින් හදාගත්ත ගුලියක්.
ඒ ගුලිය ගත්තාම බඩ සුද්දවෙනවා.
සමහර ලෙඩ්ඩු සනීප වෙනවා.
සමහර ලෙඩ්ඩු මැරෙනවා.

වෙන වෙද්දු නැති නිසා
මිනිස්සුත් හැම ලෙඩේටම අරන් ආවෙත්
ජයපාල වෙදාමයි.

මේ ලෙඩුන්ගේ කටයුතු කරන්න
ජයපාල වෙදාට ගෝලයෙක් සිටියා.
ලෙඩා උස්සගෙන එහාට මෙහාට යන්න වුණාම
ජයපාල වෙදා හැම තිස්සෙම කරන්නෙ
ලෙඩාගෙ හිස පැත්තෙන් අල්ලගෙන
ගෝලයාට පස්ස කෙළවර දෙන එකයි.

ලාභය වෙදාට.
කරදර ගෝලයාට.

රජයේ වෛද්‍ය සංගමය සහ වෛද්‍ය සිසුන්
සයිටම් විරෝධී ලෙඩාගෙ පස්ස කෙළවර දෙන්න
ගැලපෙන ගෝලයො දෙන්නෙක් ගත්තා.
"සයිටම් විරෝධී ජනපවුර" නමින්
ජවිපෙ සහ අන්තරේ අද උස්සගෙන යන්නෙ
ජයපාල වෙදාගෙ පස්ස කෙළවරයි.

කරුණු කාරණා සිදු වෙන ආකාරයට
සයිටම් විරෝධී ජනපවුර අටවාගෙන
ජවිපෙ සහ අන්තරේ ඇදගෙන යන අතරෙ
රජයේ වෛද්‍ය සංගමය සහ වෛද්‍ය සිසුන්
තමන්ගෙ වැඩක් බලාගනීවි.
ජවිපෙ සහ අන්තරේ සමග වැඩ කරන්න
ඔවුන් කෝමල වැඩියි. පොශ් වැඩියි.
ඔවුන් රටේම ඉන්න බුද්ධිමතුන් කියල
අපි දකින්නෙ මේ වගේ කපටිකම් වලින්.
බුද්ධිමත් වැඩ වලින් නොවෙයි.

වෛද්‍ය සිසුන් අරඹා, වෛද්‍යවරුන් හවුල් වී
ජවිපෙට සහ අන්තරේට පස්ස කෙළවර දීම
88-89 දීත් සිදු වෙන්න ඇති.

සයිටම් ආයතනය බිහිකිරීම පසුපස වූ
දේශපාලනික අරමුණ තවත් 88-89ක්ද?
රාජපක්ෂ කඳවුරේම බලය තියාගන්න
සැඟවුණ සැලසුමක් මත සයිටම් හැදුවාද?

නෙවිල් මේ සිදුවීමට කොටු වුණේ
ඔහුගේ කැමැත්තෙන් නොවෙන බව අපි දකින්නේ
"දේශපාලකයින් අවස්ථාවාදීන්" කියා
ඔහු රාජපක්ෂවරුන්ට දොස් නැගීමෙන්.
නෙවිල්, රාජිත, මෛත්‍රී ත්‍රිමූර්තිය
එදා රජයේ ක්‍රියා කලාපය සමග පෑහුණා නම්
අදත් සියල්ල ඒ ආකාරයෙන් සිදුවිය හැකිව තිබුණා.

බොහෝ කඳු විළි ලෑ නමුත් මීයෙක්වත් නෑ.

සයිටම් විරෝධී සටන
88-89 පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සටනේ
නිවුන් සහෝදරයෙකු විය යුතුද?

මේ බිමෙන් අතුගා දැමිය යුතු
ආවේගශීලී තරුණ පෙළක්
එදා මෙන් අදත් සිටිනවාද?
මොබයිල් ෆෝන් වලට කොටමින් ඔබ මොබ යන
මෝහයෙන් වෙසෙන තරුණ පිරිසට ඇති
එකම අසහනය ඩේටා නැති කම විය හැක.

එදා ජවිපෙට සහ අන්තරේට තිබුණ පිළිගැනීම
ඔවුන්ගේ අවංක බව පිළිබඳ විශ්වාසය
අද ඔවුන් ගැන ඇත්තේ කා තුළද?

අනුර කුමාර විජේවීර කෙනෙකු නොවේ.
ළහිරුලා රයන්ලා ත්‍රිමාවිතාන සමග සමකළ නොහැක.
ගින්නේ ලා පිළිස්සිය යුතු යමක්
අව්වේ ලා පලක් වේද?

මේ තාක් පාදෙණියලා වර්ජන ගෙන ගියේද
අත පුලුස්සා නොගෙන ඉතාම ප්‍රවේශමෙනි.
වර්ජනයක් කියා ඔවුන් කරන්නේද අමු බොරුවකි.
ඔවුන් කරන්නේ රෝහල් වර්ජන නොවේ.
බාහිර රෝගී අංශ වර්ජනයි.
වර්ජනය කරන්නේ සියයට පහකි.
අන් සියල්ල සාමාන්‍ය ලෙස සිදුවේ.
පාදෙණිය පවා දවසේම වැඩ කරයි.

එදා වෛද්‍ය සංගමයෙන්
දින 27ක වර්ජනයක් පැවතියද
අද දින හතරක පහක වර්ජනයක් පවා
ඔවුන්ට සිහිනයක් පමණි.
''වර්ජන කෙරුවාව අපට හරියන්නේ නැත''
නිගමනයට ඔවුන් පැමිණ ඇත්දැයි සැක සිතෙයි.

පත්ව සිටි තත්වයේ හැටියට
ඔවුන්ගේ අවසන් තුරුම්පුවද නිශ්ප්‍රභා කොට
මහාචාර්ය කාලෝ ෆොන්සේකා
ඔවුන්ට කළේ වක්‍රාකාර උපකාරයකි.
වර්ජනවලින් හෙම්බත්වී සිටි ඔවුන්ට
වර්ජනවලින් ඉවත් වෙන්නට
වෛද්‍ය සංගමයට ප්‍රමාණවත්
නිදහසට කරුණක් කාලෝ දුන්නේය.
පිට පිට පරාජය වීමෙන් පසුව
දැන් ඔවුන් පිටියෙන් ඉවත්වෙමින් සිටිති.

සයිටම්ද නීතිගත වනු ඇත.
රාගම මෙන්  ගිනි අවුලුවන්නටත්
සයිටම් විරෝධයට හැකිවේද?

එදා මෙන් නොව සන්නිවේදනයට ඇති
අසීමිත පහසුකම් නිසා
බොරුව වංචාවට ආයුෂ අඩුය.
දේශපාලනික ව්‍යාපාරයන්හි
වැඩි හරියක් ඇත්තේ බොරුවය.

පෞද්ගලික විද්‍යාල වහන්නට
ප්‍රතිපත්තියකින් බැඳිලාත් ඉඳගෙන
පුතා ස්ලිට් යවා උගන්වන අනුර කුමාරලා
"සයිටම් වහමු" කියා ජනතාවට කීවාට
" හා හොඳයි" කියා ඔහු සමග එන්නේ
ජවිපෙ පාක්ෂිකයන් සහ සිසුන් අතළොස්සක් පමණි.

බේබද්දෙක් හැන්දෑවට මුඩුක්කුව දෙක කරද්දී
ජනතාව නිහඬව සිටින්නේ ඔහු අනුමත කරන නිසාද?
සයිටම් විරෝධී උද්ඝෝෂණ කරන අයත්
සිය විරුද්ධවාදීන් කුණුහරුප වලින්
අසික්කිත තර්ජනවලින් නිහඬ කරමින් හෝ
විරුද්ධ වාදීන් මගහරිමින් ඇතිකරන්නේ
එවන් විශ්වාසයකි.

මිනිසුන් ව්‍යාපාරයක් මනින්නේ ඒ ව්‍යාපාරය
ගලායන ආකාරය බලා සිටීමෙනි.
88-89 බිහිවුනේ විරෝධතා ව්‍යාපාර නිසා හෝ
පැවති රජයේ ක්‍රියා කලාපය නිසා නොවේ.
ඒ සාධක දෙක මුහුණට මුහුණ ගැටීමෙනි.

අද සයිටම් විරෝධී ව්‍යාපාරය
රජය සමග ඍජුව ගැටෙන්නට උත්සාහ කළද
රජය නටන්නේ බෘස් ලී වර්ගයේ නැටුමක්.
විරුද්දවාදී ප්‍රහාර මගහරිමින්
විරුද්ධවාදියා වෙහෙසට පත්වෙන තුරු
බෘස් ලී පෙරළා පහර දෙන්නේ නෑ.
සතුරා වෙහෙසට පත් වුණාට පස්සෙ
පුංචි පහරකින් සතුරා බිම.

සෞඛ්‍ය අමාත්‍යාංශ සිද්ධියෙදි මෙන්ම
ඊට කලින් අවස්ථාවලදිත් මේ ක්‍රමය
හොඳින් ක්‍රියාත්මක වුණා.
පොලීසිය දාමරික සිසුන්ට පහර දෙනවිට
බහුතර ජනතාව හිටියෙ රජය පැත්තෙයි.
ඔවුන් බලාපොරොත්තු වූ ජනතා විරෝධය
හෝ අනුකම්පාව ඔවුන්ට ලැබුණේ නෑ.
උගත් මෝඩ ගණයට වැටුණා පමණයි.

බෘස් ලීගෙ  සටන් ක්‍රමය
පහර කන්නා ඇවිස්සුණේ නැත්නම්
පහර දෙන්නාට භාවිතා කරන්න බැහැ.
පහර කන්නා භාවිතා කිරීම ගැන
පහර දෙන්නාට කළ හැකි දේකුත් නෑ.

වැරදි චේතනා නිසා
88-89දී මිය ගිය පිරිස මෙන් පිරිසක්
මේ ප්‍රශ්නයෙන් රටට අහිමි නොවන්නට
රජය ඉවසීමෙන් කටයුතු කිරීම
සතුටට කරුණක්.