"සමුරායි කෙනෙක් මිනිහෙක් මරද්දි
බෙල්ල කපන්නෙ නෑ නේද?"
පුතා ඇහුවෙ උදේ අවදි වුණ ගමන්.
"එයාල ගහන්නෙ නිල බලල වෙන්නැති"
මම කිව්වෙ එවෙලෙ පහළ වූ අදහසකින්.
මේ දෙබසට පදනම් වුණේ
පෙරේදා රාත්‍රියෙ අපි බලාපු
"සෙවන් සමුරායි" චිත්‍රපටියයි.
මේ චිත්‍රපටිය අපි බැලුවෙ දෙවෙනි වතාවට.
ඒත් අපි ඒ චිත්‍රපටියෙන් දැකල තියෙන්නෙ
ඉතාම අල්පයක් බවයි හිතෙන්නෙ.
පස් හය දෙනෙක් ඉන්න රාමුවක
එක් කෙනෙකු දිහා බලා හිටියොත්
අපට අනික් අය මග හැරෙනවා.
හැම චරිතයක්ම අපූර්වයි.
ඒ හැම චරිතයක්ම පැහැදිලියි
චරිත ලක්ෂණ ඔවුන්ටම ආවේණිකයි.
සමස්ත සටනම ඉතා සැලකිල්ලෙන් සකස් කළ
පැහැදිලිව එකක් අනෙක් සියල්ලෙන් වෙනස් වූ
අන්තර් සබඳතා සහිත වැදගත් සිදුවීම් දාමයක්.
මේ සිදුවීම් එකිනෙක දිග හැරෙද්දි
ඔවුන්ගේ චරිත අපි හමුවේ දිග හැරෙන්නෙ
ඔවුන්ගෙ කතා බහෙන් නොවෙයි, හැසිරීමෙන්.
ගොවියන්, මංකොල්ලකාර දාමරිකයන් සහ
සමුරායිවරුන් අතර වෙනස්කම්
ඉතාම පැහැදිලිව නිරූපිතයි.
මෙහි ප්‍රධාන චරිතයක් නෑ.
ඒ ඒ අවස්ථාවන් වලදි
ඒ ඒ චරිත ප්‍රධානයි.
එක් සිදුවීමක් බොහෝ විට
තවත් සිදුවීම් දාමයක් සමග
තදින් බැඳී පවතිනවා.
සමුරායිවරුන්ගෙන් සිය දියණිය රැකගන්නට
වරලස කපා දමා පිරිමි ඇඳුම් අන්දවා
ඇය රැකගන්නට එක් ගොවියෙක් උත්සාහ කරනවා.
යොවුන් ආධුනික සමුරායි වරයා
තමන්ගේ චරිතය ආරක්ෂා කරගත්තත්
ඇය ඔහු පොළඹවා ගන්නවා.
කඳු වැටියෙන් එබෙන නියත මරණය දැක දැක
හිස් අතින් මිය යන්නට අකමැත්තෙන්
රාගයට වඩා මියෙන්නට පෙර
ඔහු හා එක්වීමේ උවමනාව නිසා
ඇගේ කන්‍යාභාවය කෙළෙසාගන්නේ ඇයම වීම
මෙහි එන අපූර්ව සිදුවීමක්.
ඔවුන් දෙදෙනාගේ සබඳතාවයත්
පියාගේ හැසිරීම් රටාවත්
වෙනත් චරිත හා සිදුවීම සමග
ඉතාම සැලකිල්ලෙන් නිර්මාණය කොට
අනෙක් සිදුවීම් අතර රටාවකට අනුව
වියා ඇති ආකාරය අපූරුයි.
කුසගින්නට ආහාර පමණක් හැර
වෙනත් කිසිම දෙයක් නොලබා
දිවි පරදුවට තබමින්
ඔවුන් මෙන් තුන්ගුණයක් වන
මංකොල්ලකාර දාමරිකයන් සමග
එහෙන් මෙහෙන් අහුලාගත් සමුරායිවරු
සටනට එළඹෙන්නේ චකිතයෙන් වුවත්
අසිපතට වඩා ප්‍රයෝග මත විශ්වාසය තබමින්.
ප්‍රධාන සිදුවීම හා බැඳුන
අතුරු කතාත් ඒ චරිත පිළිබඳව මෙන්ම
ඒ කාලයේ ජපන් සමාජයේ ප්‍රශ්න
හුවා දක්වනවා.
මංකොල්ලකාර දාමරිකයන් විසින්
පැහැරගෙන ගිය බිරිඳගේ සැමියා
කතාව මුල සිටම අවසානය දක්වාම
කරන කියන සියලු දේ පසුපසම
ඔහුගේ බිරිඳ අහිමි වීමෙන් වුණ හානිය සහ
ඉන් ඔහුට අති බලපෑම
අපිට දකින්න පුලුවන්.
චිත්‍රපටිය අවසානයේ ඔහුගෙ වෙනසත්
මනාව නිරූපණය වෙනවා.
ළදරුවෙකුව සිටි කාලයේම
මංකොල්ලකාර දාමරිකයන් නිසා
දෙමාපියන් අහිමි වූ එක් ගොවියෙක්
සමුරායි වෙසින් සැරි සරනවා.
ඒ නිසාම ඔහුට නමක්වත් නෑ.
සටනේ ආරම්භයේදීම
මංකොල්ලකාර දාමරිකයන් අතින් සැමියා මළ
මාරාන්තික තුවාල ලද මවක්
මේ සමුරායිවරයා අතට ඇගේ ළදරුවා දී
ඔහු ඉදිරියේම මැරී වැටෙනවා.
දරුවාත් තුරුළු කරගෙන දණ ගසාගත් ඔහු
හඬමින් විලාප දෙන්නේ
"දෙවියනේ, මේ මම නේද" කියමින්.
උපතින් සමුරායිවරයෙකු නොවන ඔහු තුළ
ගොවියෙකුගේ සංවේදී සසල බව මෙන්ම
සමුරායි වරයෙකුගේ නොසැලෙන එඩිතර බවත්
මිශ්‍ර වී තියනවා.
සමුරායිවරුන් සතු නොවන උදාර ගුණයක් වන
"මහිමය සඳහා සටන් නොකිරීමේ ගුණය"ත්
ඔහු තුළ නැති බව අපිට දකින්නට පුලුවන්.
එඩිතර බව පෙන්වන්නට දරන තැත
ඔහු ඉතාම විසිතුරු ලෙස සපුරාගන්නවා.
ඒ නිසා සටනට වෙන හානියත් බලවත්.
"මේ සටනත් අපි පරාදයි.
දිනුවේ ගොවියන්."
සටනට නායකත්වය දුන්
ප්‍රධාන සමුරායිවරයා
දිවි අහිමි වූ සමුරායි වරුන් නිසා
සටන අවසානයේ පවසනවා.
සිනමාපටය ආරම්භයේදීම
මේ සමුරායිවරයාගේ ක්‍රියාවක්
නවකයෙකුගේ බුහුමනට පාත්‍ර වූ විට
ඔහු පිළිතුරු ලෙස පවසන දේට
ඉහත දෙබස ඍජුව සම්බන්ධයි.
"ඒක ලොකු දෙයක් නොවෙයි.
මම ලොකු දක්ෂයෙක් නොවෙයි.
මම ඇති වෙන්න සටන් දැකලා තියනවා.
ඒත් මම හැමදාම හිටියේ පරදින පැත්තේ."
ඔහු ඉන්න පැත්ත කෙබඳුද
ඔහු මුහුණ දුන් සටන් කෙබඳුද යන්න ගැන
මේ කතාවෙන් නිදසුන් සැපයෙනවා.
පොතක් ලියන්නට තරම් විශේෂ තොරතුරු
මෙහි ඇතත් චිත්‍රපටිය නැරඹීමෙන් නොව
එක දර්ශනයෙක් නැරඹීමෙන්වත් ලැබිය හැකි
අපූර්ව වින්දනයෙන් අල්පමාත්‍ර කොටසක්වත්
ඒ පොතෙන් ලබා දෙන්නට බැහැ.
වසර හැට හැත්තෑවක කාලයක් තුළ
අද චිත්‍රපට කලාව පමනක් නොව
සිනමා කලාකරුවන්, සිනමා රසිකයන් පවා
කොතරම් පිරිහී ඇතිද කියා අපට සිතෙන්නේ
මෙවන් චිත්‍රපටයක් නරඹන විටයි.
1950 දශකය
සමස්ත ලෝකයේම
සිනමාව හා නාට්‍ය කලාවේ
කලාත්මක වර්ධනයෙහි කූටප්‍රාප්තිය බවට
එහි මුදුන් මල්කඩක් බඳු "සෙවන් සමුරායි"
පැහැදිලි නිදර්ශනයක්.
"මම හැම චිත්‍රපටියක්ම නිර්මාණය කරන්නට පෙර
අනිවාර්යයෙන්ම නරඹන චිත්‍රපටි හතරක් තියනවා"
විශිෂ්ඨ මෙන්ම ජනප්‍රිය සිනමා ශිල්පියෙකු ලෙස ලෝ පතල
ස්ටීවන් ස්පීල්බර්ග් පවසනවා.
ඔහු අලුත් චිත්‍රපටියකට ආවේශය ලබාගන්න නරඹන
ඒ සුවිශේෂී චිත්‍රපටි හතරෙන් එකක්
අකිරා කුරොසාවාගේ "සෙවන් සමුරායි"
---------------------------------------------------------------------
අකිරා කුරොසාවා
.