20161213

අහඹු සිදුවීම් නැත. ජීවිතය සකස් කරන නිශ්චිත සිදුවීම් ඇත.



1991 වන විට
මා භාවනා මාර්ගයක් සොයන්නට වී
වසර දහයක් පමණ ඇත.

1980දී පමණ
චිත්‍රකතා අඳින්නට යොමුවූ මුල් අවදියේ
මා සිටි නවාතැනකදී
කංසා අඩංගු දුම්වැටියක් උරන්නට
අවස්ථාව ලැබිණ.
ඒ අඩ මත් බව සමග
චිත්‍ර කතාවක කොටුවක් ඇන්දෙමි.
රූපය මවා ගැනීම ඉතා පහසු විය.
ඒ මානසිකත්වයට මාතුළ
දැඩි ආශාවක් ඇති වූ නමුදු
ඒ සඳහා මත්ද්‍රව්‍යයක් මත යැපීමට
මම අකමැති වීමි.

බාහිර මාධ්‍යයක සහායෙන් තොරව
මනස තුළින්ම ඒ මානසිකත්වයට පත්වීම
කළ හැකි බව මම විශ්වාස කළෙමි.

දෙවෙනි වරට
මේ මානසිකත්වය සෙවීමට
වඩාත් පැහැදිලිව පෙළඹවූයේ
බෲස් ලීගේ බිරිඳ Linda Lee ලියූ
"The Man Only I Know" නම්
පොතෙහි සඳහන් පරිදි
බෲස් ලී අගය කල "නි'මනස" සඳහා
මා සිතෙහි පහළ වූ බලවත් ඇල්මයි.

"Wu-hsin නම් වූ සංසිද්ධිය

නැත්නම් No-Mindedness කියන්නෙ
සියලු සිතිවිලි සහ හැඟීම්
පිට කර වසාගත් හිස් මනසක් නෙමෙයි
ඒ සිතෙහි නිසල බව
හෝ සිතෙහි නිහඬතාවයද නොවෙයි.
සිතෙහි සමාහිත බව හා නිසල බවද අවශ්‍ය නමුදු
නි-මනස නම් සිද්ධාන්තය සකස්වන්නේ
අරමුණ සිතින් අල්ලා නොගෙන
සියල්ලම ගැන සිහියෙන් විසීමෙන්
මමත්වයෙන් තොරව ක්‍රියා කිරීමයි. "


බෲස් ලීගේ මේ පාඨය නිසා
මේ මානසිකත්වය භාවනාවෙන් සොයාගන්නට
යොමුවුණෙමි.

Trancendental Meditation, ඔශෝගේ භාවනා ක්‍රම.
සමථ ක්‍රමයට ආනාපාන සතිය ආදී
නොයෙක් සමථ භාවනා ක්‍රම අත්හදා බැලූමුත්
ඒ කිසිවකින් මගේ ආවේග පාලනය හෝ
ආත්ම දමනය දියුණු වූයේ නැත.
මා වඩවඩාත් ආවේගශීලී වීම සිදු විය.

රැකියාව කළ ආයතනය තුළ
ඉතා සුළු ප්‍රශ්න වලට කෝප වී කැළඹී
කළමනාකාරි
ත්වයට ප්‍රශ්න ඇති කළ මම
මා ගැනම කලකිරී රැකියාවද අත් හළෙමි.
කොණ්ඩයත් රැවුලත් වැවෙන්නට හැර
සමාජයෙන් ඈත්වී කල් ගෙවීමි.

1991 අප්‍රේල් මස
නව අවුරුදු කාලය තුල
නිල්ලඹ පිහිටි භාවනා මධ්‍යථානයකට වී
නිදහසේ කාලය ගත කළෙමි.

එක් උදෑසනක
මට යාබද කුටියෙහි නවාතැන් ගෙන සිටි
ප්‍රංශ ජාතිකයෙක් මා වෙත පැමිණ
ඔහු පිට වී යන බව කියා
මා සමග කතාවට වැටුණේය.
ඔහුගේ පුද්ගලික තොරතුරුත් පවසා
මා කළ භාවනා ක්‍රම මොනවාදැයි විමසා
" ලබන මාසෙ ඉන්දියාවෙ ඉඳලා
එස්. එන්. ගොයෙන්කා ජී කියලා
හොඳ භාවනා ගුරුවරයෙක් එනවා.
මම ඒ ක්‍රමය හත් වරක් පුහුණු වුණා.
ඔබ කැමති නම් සහභාගි වෙන්න.
මේ මධ්‍යස්ථානයෙ ඉන්න Dr. මයුරා ළඟ
විස්තර ඇති ඉල්ලා ගන්න" කීවේය.

මම වහාම ඇය හමු වීමි.
" ඔයා වාසනාවන්තයි.
මම ඉල්ලුම් පත්‍ර දෙකක් ගෙන්වා ගත්තා,
යාලුවෙකුටත් එක්ක.
දැන් එයා යන්නෙ නැහැ.
මම ඒක දෙන්නම්."

1991 මැයි මාසයේ බෙන්තොටදී
මා මගේ පළමු විපස්සනා පාඨමාලාවට
සහභාගිවූයෙමි.
මා සෙවූ භාවනා ක්‍රමය එය බැව්
මට වහාම පසක් විය.
මගේ සිතත් කයත් ගැන සිහියෙන් වසන අතරම
බාහිර සිදුවෙන දේ ගැන සිහියෙන් වෙසෙමින්
සාමාන්‍ය මිනිසෙකු සේ ජීවත් වෙන්නට

ඒ ක්‍රමය මගින් පුහුණු කෙරිණ.

විපස්සනා සොයන්න මා පෙළඹුවේ
බෲස් ලීගේ නි-මනස පිළිබඳ සිද්ධාන්තයයි.

බෲස් ලී -No-Mindedness - නමින් හැඳින්වූ
නි-මනස මානසික ස්වභාවය
ඊට වසර දහයකට පමණ පසුව
විපස්සනාව හමුවන තෙක්
ගවේෂණය කරන්න මා පෙළඹුවා.

විපස්සනා දස දින පුහුණුවෙන් පසු
මගේ ජීවිතය සපුරාම වෙනස් මගකට හැරිණ.
දිගට වැවී තිබුණ
කොණ්ඩයත් රැවුලත් කපා දමා
සාමාන්‍ය ජීවිතයට යොමු වී
නැවත රැකියාවක් ලබා ගතිමි.

ප්‍රංශ ජාතිකයා මට කතා කිරීම
අහඹු සිදු වීමක්ද?
මම එසේ නොසිතමි.

ඔහු මා හමු වීමට
දින ගණනකට කලින් එක් දිනයක
නිල්ලඹ භාවනා මධ්‍යස්ථානයේදීම
අපූරු සිදුවීමක් සිදු විය.

එක් දිනක මා නාමින් සිටින අතර
වතුර මල විවෘත කර තබා
වතුර මල යට පළක් බැඳ හිඳ ගතිමි.
වතුර මලෙහි වතුර ගලා විත්
මා හිස මතට වැටී සිරුර පුරා ගලා යද්දී
" මේ දිය දහරාවත් සමග
මා තුළ ඇති කෙලෙස් සියල්ල සේදී
ඉවත් වෙනවා නම් කොතරම් යහපතක්දැ''යි
මම සිතුවෙමි.

හිස මතට ගලා ආ ජලය වෙනුවට
සමාධිගත කළ මනස භාවිතා වන නමුදු
මේ අත්දැකීමත්
දස දින පාඨ මාලාවෙහි විපස්සනා අත්දැකීමත්
කොතරම් සමානද යන්න
මේ ක්‍රමයට විපස්සනා වඩන අය දන්නවා ඇති.
ඒ සිදුවීම අහම්බයක්ද?
---------------------------------------


මගේ බිරිඳ හමුවීම,
මා කළ බොහෝ ඉන්දියානු සංචාරයන් ඇතුළු
මගේ ජීවිතයට බල පෑ බොහෝ සිදුවීම් වලට
විපස්සනා යොමුව බලපෑවේය.

මේ කාලය තුල සිදු වූ
බොහෝ දේ අහඹු සිදුවීම් ලෙස නම් කළ හැකි නමුත්
ඒ සියල්ලම මගේ සසර ගමනෙහි
වැදගත් සන්ධිස්ථාන බව මට විශ්වාසය.

කඳු මුදුනකින් මතු වෙන උල්පතක්
මුහුදට ගලන තෙක්ම යන මාර්ගය
කිසිවෙකුටත් නොපෙනෙන නමුදු
ඒ දිය පහරට සාපේක්ෂ නිශ්චිත මගකි.
ඒ දිය පහර ගලන්නේ
මීළඟට ගැලිය හැකි පහසුම බිම් තලයටය.
ඒ දියපහරට හමු වෙන හැම දේකින්ම
දිය පහරෙහි මග තීරණය වෙයි.

මේ විශ්ව ජාලය තුළ අපේ ජීවිත ගලන මග
අප උපදින විටම නිශ්චිතය.

ඊයේ මා නොදැන සිටියද
අද මා මේ ලිපිය ලිවීම ඊයේත් නිශ්චිතව පැවතිණ.
ඔබ මේ ලිපිය කියවීමද එසේම නිශ්චිතව තිබිණ.
දැන් ඔබ මේ ගැන සිතන දේද නිශ්චිතය.

මේ මොහොතෙහි ඔබට සිතෙන්නේ
මේ මොහොතෙහි ඔබට පහසුවෙන්ම සිතෙන දේයි.

දිය දහර පහත් බිම් සොය සොයා ගලන්නාක් මෙන්
අප මේ මොහොතෙහි කරන්නේ වඩාත්ම පහසු දේයි.

එක මොහොතක් තුළ
වඩාත්ම පහසු දේවල් දෙකක් නොපවතී.
අප ඒ මොහොත තුළ කරන්නේ
ඒ එකම වඩාත්ම පහසු දේයි.
එක මොහොතක් වෙනස් වනවිට
සමස්ත විශ්වයම හැසිරෙන්නේ එසේය.

එකක් පසුපස එකක් ගමන් කරන
අනවරත හේතු සහ ඵල ධාරාවක් විනා
කිසිවක් කරන්නෙක් විශ්වයෙහි නැත.

බුදුන් වහන්සේ "අනත්ත" නමින් හැඳින්වූ
සදාතනික සත්‍යය මෙයයි.





මී මැස්සා මිනිහෙක් නම්
"මම පරාගණය කළා"
කියල තමයි කියන්නෙ.

එහෙම කියන්න බැරි වෙලාවට
අහඹුවක් කියල සැනසෙනවා.

මී මැස්සා
මිනිහෙක් විදියට හිතුවොත්
"මම පරාගණය කළා" කියල
උදම් අනනවා.
ඵලයට අයිතිවාසිකම් කියනවා.
මේ කරුණ ගැන හිතල බලන්න.

ක්‍රෙඩිට් එක ගන්න පුලුවන් වෙලාවට
මිනිසා තමන් හිතල කළා කියනවා.
මොකක් හරි වැරදුණාම
" අනේ ඒ වෙලාවෙ
මට මොනව වුණාද දන්නෙ නෑ "
කියල ඇඟ බේරගන්න හදනවා.

ඔහු හිතන්නෙ මොනවද කියා
ඔහු දන්නෙ නෑ.
හිතට හිතෙන දේ කරනවා. කියනවා.
සොබා දහමට අනුව
හේතුවකින් ඵලයක් හට ගන්නවා.
ඒ ඵලය හේතු කරගෙන
තවත් ඵලයක් හට ගන්නවා.

සමස්ත විශ්වයම මේ දහමට අනුව
ක්‍රියාත්මක වෙනවා.
===================================

සත්‍ය සිදුවීමකි.

මගේ මිතුරෙකුගේ මව
රාත්‍රී හතට අටට පමණ
ඇගේ නිවසෙහි ඇඳක සැතපී සිටියාය.
ඇයට පහළ නිවසින් ඇමතීමක් ඇසී
ඒ නිවස දෙසට යමින් සිටිනවිට...
පොළඟෙකු විසින් දෂ්ඨ කිරීමෙන්
දින නවයක් දුක් විඳ මිය ගියාය.

මේ සිදුවීමෙහි අපූර්වත්වය වන්නේ
ඇයට කිසිවෙකු අමතා නැති වීමයි.
අප නොදන්නා නමුත්
පොළඟා එතනට යොමුවන්නටත්
ඌට සාධාරණ හේතුවක් ඇත.

ඇයට ඒ ඇමතුම් හඬ ඇසුණේ
ඇයත් පොළඟාත් හමුවීම සහ
ඇගේ මරණය සිදුවීම
ඒ අවස්ථාවේ සිදු විය යුතු නිසාය.

ඔබ මෙවැනි පදනම් රහිත ශබ්ද
පදනම් රහිත සිතුවිලි, අරමුණු මත
මෙතෙක් කරන ලද ක්‍රියා කොපමණද?
එහෙත් ඒ සියල්ල
සිදු විය යුතු අයුරින් සිදු වෙයි.
අපි මේ සිදුවීම් දාමය පසු කරගෙන යන
ප්‍රේක්ෂකයෝ වෙමු.

සබ්බේ ධම්මා අනත්තාති.
 ===================

 2
තවත් සත්‍ය සිදුවීමක්.

දින කිහිපයකට පෙර ආරම්භ කරන ලද
කුඩා හෝටලයක් විය.
ඒ හෝටලය හිමි කාන්තාව
හෝටලය තුළ නිදා සිටියදී
රාත්‍රියේ එකට පමණ අවදිවී...
හෝටලය ඉදිරිපිට මහාමාර්ගයට පිවිසුණේ
අල්ලපු ඉඩමෙහි තිබෙන
වැසිකිළියට යාමටය.
මේ අවස්ථාවේදී
ඒ අසල කෙනෙකුට හිමි ත්‍රීවීලරයක්
පාරෙහි අනෙක් පසින් පැමිණ
රියදුරාට නින්ද ගිය නිසා
පාර හරහා පැන
පෙර කී කාන්තාවගේ ඇඟේ හැපී තිබේ.
අතක් තුන් පළකින් කැඩී ඇති ඇය
තවම රෝහලේය.

තත්පර කිහිපයකින්
අදාළ සිදුවීම් වෙනස් වුණා නම්
ඇයට මේ අනතුරු සිදු නොවනු ඇත.
======================
3
තවත් සත්‍ය සිදුවීමක්.
කලකට පෙර
අනුරාධපුරයේ මහ කනදරා වැවේ
ගල්පාලම මතින්...
ගැබිණි බිරිඳක් සහ ඇගේ සැමියා
මෝටර් සයිකලයකින් පැමිණියා.
ඒ අවස්ථාවේ පාලම මත සිටි පිරිස
කෑකෝගසමින් අහස දෙස බලා සිටියා.
උකුස්සෙක් හෝ රාජාලියෙක්
නයෙක් අල්වාගෙන අහසින් යමින් සිටියා.
කිසියම් හේතුවක් නිසා
ඌට නයා අත හැරුණා.
ඒ නයා වැටුණේ
අර ගැබිණියගේ පපුව මතටයි.
ඌ දෂ්ඨ කිරීමෙන් ගැබිණිය මිය ගියා.
======================
බුදුන් වහන්සේට වගේ
පෙර කර්ම දකින්න පුලුවනි නම්
බොහෝ සිදුවීම් අහඹු වෙන එකක් නෑ.

බුදුරජාණන් වහන්සේ ජීවමාන ව වැඩ සිටි සමයෙහි සේතව්‍යා නගරයෙහි බමුණකු ගේ පුතෙක් විය. එවකට සාමාන්‍ය චාරිත්‍රයට අනුව ඉගැන්වීමට නිසි වයසට පැමිණි දරුවන් ගුරුවරයකුට බාර කිරීම සිදුවිය. මෙම පියා තම පුත්‍රයා ද උක්කට්ඨා නගරයෙහි ප්‍රසිද්ධ ආචාර්ය වරයකු වූ පොක්බරසාදී පඬිවරයා වෙත යැවීය. වැඩි කල් යන්නට පෙර මේ බමුණු මානවකයා වේදය හා සිය...ලු ශාස්ත්‍ර හා ශිල්ප විද්‍යා ආදිය ද උගත්තේ ය. මේ බමුණු පුත්‍රයා ඡත්‍ර නම් විය. ශිල්ප දැන නිමාවෙන් පසුව ඡත්‍ර සිය ආචාර්යවරයා වෙත ගොස් තමාට සමුගැනීමට අවසර ඉල්ලා ගුරු පඬුරු වශයෙන් අවශ්‍ය මුදල විමසීය. “ගුරු පඬුරු නම් ශිෂ්‍යයා ගේ වත් පොහොසත් කම් අනුව සිදුවන්නකි. එබැවින් කහවණු දහසක් දෙවයි” කීය. ඡත්‍ර තම ගුරුතුමා වැඳ ගුරු පඬුරු ගෙන එමියි කියා පිටත් විය. තම නිවස කරා ගිය ඡත්‍ර දෙමාපියන්ට විස්තර කියා කහවණු දහස ලබාගෙන ගුරු පූජාව පිණිස පිටව ගියේ ය.

මෙම විස්තරය කලින් දැනගත් සොර මුලක් බමුණු පුත්‍රයා කහවනු දහස රැගෙන යන මඟ රැක සිටියෝ ය. එදා සැවැත් නුවර වැඩ සිටි බුදුරජාණන් වහන්සේ එදින අලුයම් වේලෙහි ඡත්‍ර මානවක ගේ පූර්ව මහා අකුශලයක් පලදී සොරුන් අතින් ජීවිතක්ෂයට පත්වන බව බුදු ඇසින් දුටු සේක. එයින් පෙර ඔහු පන්සිල් හි පිහිටුවහොත් එයින් වන මහා යහපත දුටු බුදු හිමියෝ ඡත්‍ර ගමන් ගන්නා මාර්ගයෙහි එක් රුකක් මුල වැඩ සිටි සේක. කහවණු පසුම්බියත් රැගෙන ගුරු නිවස කරා ගමන් කරන ඡත්‍ර මානවකයාට මහ මග රුකක් මුල වැඩ සිටින ශාන්ති නායකයාණන් වහන්සේ දැකගත හැකි විය. ඡත්‍ර මානවක තෙම බුදුරජාණන් වහන්සේ සමීපයට ගොස් වැඳ එකත් පස්ව සිටි විට බුදුරජාණන් වහන්සේ මෙසේ විමසූ සේක.

“ඡත්‍ර කොයි යන්නෙහි ද?”

“ගෞතමයන් වහන්ස! උක්කට්ඨා පුරයට යමි. මගේ ආචාර්ය වූ පොක්ඛරසාදි බමුණු තුමාට ගුරු දක්ෂිණාව දෙන්නට යි”

“මානවකය - තිසරණත් පංචශීලයත් දන්නෙහි ද?”

“ඒ කුමක් ද? කුමකට ද?”

මේ සංවාදයෙන් පසුව බුදුරජාණන් වහන්සේ තිසරණ ගමනයෙහිත් පංචශීලයෙහිත් ආදීනව දේශනා කළ සේක. අනතුරුව “මානවකය තිසරණත් පංචශීලයත් සරණාගමන විධිත් උගනුවයි” වදාළ සේක.

“එහෙයි! ස්වාමීනි, උගනිමි. උගන්වනු මැනවැයි” මානවක ගේ එකඟත්වය පිට ගාථා තුන වදාළ සේක. මානවක ද ගාථා කියවා කට පාඩම් කර ගත්තේ ය.

යො වද තං පව රො මනු ජේසු - සක්‍යමුනි භගවා කත කිච්චො
පාර ගතො බල විරිය සමංගී - තං සුගතං සරනත්ථමුපේමී
රාග විරාග මනාජමසෝ කං - ධම්ම ම සංඛත මප්පටිකූලං
මධුරමි මං පගුණං සුවි හත්තං - ධම්ම මිමං සරනත්ථ මු පේමී
යත්ථ ච දින්න මහප්ඵල මාහු - චතසූ සුචිසු පුරිස යුගේසු
අට්ඨ ච පුග්ගල ධම්ම දසාතේ - සංඝ මිමං සරණන්ථ මු පේමී

මේ ගාථාවන්හි සිංහල තේරුම මෙසේ ය.

1. යමෙක් මනුෂ්‍යයින් අතර ධර්ම දේශනයෙහි අග්‍ර ද, සක්‍ය මුනිද, භාග්‍යවන්ත ද, කළමනා සියල්ල නොපිරිහෙළා ඉටු කෙළේ ද, සසර පරතෙර දුටුවේ ද දසවිධ බලයෙන් හා වීර්යයෙන් ප්‍රමුඛ ස්ථාන ගතවී ද ඒ සුගතයාණන් වහන්සේ සරණ යමි.

2. රාගාදී භේෂයෙන් වෙන්ව විරාගි වූයේ ද, තන්හා රහිත වූයේ ද, ශෝක රහිත වූයේ ද, යමකින් නිපදවූවක් නොවූයේ ද, පිළිකුල් නොවූද, මිහිරි වූද, ප්‍රගුණ කිරීමට සුදුසු වූද, බෙදා විග්‍රහ කරන ලද්දා වූද, ඒ ශ්‍රී සද්ධර්මය මම සරණ යමි.

3. යමෙකු වෙත පිරිනමන ලද දෙය මහත්ඵල මහාඟි සංශ දෙන්නේ ද, පවිත්‍ර වූද, සත්පුරුෂමය වූ පුරුෂ යුගළ සතරක් ලෙස විවරණ කරන ලද්දා වූද ඒ අෂ්ඨවිද පුද්ගල මහා සංඝරත්නය මම සරණ යමි.

ත්‍රිවිධ රත්නයේ හා පන්සිල්හි පිහිටා බුදුරජාණන් වහන්සේ ගේ උපදෙස් ලැබු ඡත්‍ර මානවක තෙමේ සමුගැනීම පිණිස මෙසේ කීවේය.

“ඉතින් භාග්‍යවතුන් වහන්ස, මම යන්නෙමි” යි අවසර ගෙන තෙරුවන් ගුණ මෙනෙහි කරමින් මගට බැස්සේ ය. “මොහුට දෙව් ලෝ හි ඉපදීමට මේ කුසල් ම සෑහේ යැ'යි සිතු බුදුරජාණන් වහන්සේ පෙරළා ජේතවනාරාමයට වැඩි සේක.

වන මැද ගමන් ගන්නා ඡත්‍ර කෙමෙන් සොරුන්ගේ අඩවියට පිවිසියේ ය. ඔවුන් ගැන කිසිත් නොසලකා තෙරුවන් ගුණම සිහි කරමින් යන අතර පඳුරෙකැ තුළ සැඟවී සිටි සොරකු විසින් විෂ පෙවූ හී තලයකින් ළය පසා කළ ඡත්ත එතැන ම මැරී වැටුණේ ය. සොරු කහවණු පොදිය ගෙන පලා ගියහ. මළා වූ ඡත්‍ර තෙම නින්දෙන් පිබිදුණ අයකු සේ තව්තිසා දෙව්ලොව රන් විමනක උපත ලැබීය.

ඒ මග දිගේ සේතව්‍යා පුරයට යන මිනිස්සු මළා වූ ඡත්‍ර ගැන දෙමවුපියන්ට දැන්වූ හ. උක්කට්ඨා පුරයට ගිය පිරිස පොක්ඛරසාදී පඬිතුමාටත් දැන්වූ හ. දෙනුවරින් ම පැමිණි පිරිස් මාර්ග සමීපයේ දර සෑයක් සාදවා සිරුර ආදාහන කරන්ට සූදානම් වන විට එයින් සිදුවන මහා යහපත දැක වදාරා බුදුරජාණන් වහන්සේ එතැනට වැඩි සේක. ගසක් මුල වැඩ සිටි බුදුරජාණන් වහන්සේ දිවැසින් දුටු ඡත්‍ර දෙව්පුත් ද තමා ලත් සැපතට හේතුව විමසා දැන එය බුදුරජාණන් වහන්සේ ගේ මහා කාරුණික ගුණය නිසාම ඉටු වූවක් බව සලකා එහි පැමිණි බුදු හිමි වැඳ එකත් පසෙක සිටියේ ය. ඒ දුටු මහජනයා මවිතව භාග්‍යවතුන් වහන්සේ පිරිවැරූ හ. මෙහිදී බුදුරජාණන් වහන්සේ ඒ දෙව්පුත් ලවා ම පුවත ප්‍රකාශ කරවා දම් දෙසූ සේක. දෙව් පුත් ද ඊට පැමිණි බොහෝ දෙන ද සෝවාන් වූහ.

(මහෝපාධ්‍යාය අතිපූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නායක ස්වාමීන් වහන්සේ ගේ බුද්ධ චරිතය ආශ්‍රයෙනි.)