20180117

මෛත්‍රී මහ බැංකු වංචාව වළක්වන්න හැදුවාද?


"අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකුවට පත් කරන්න
මම එපා කිව්වා. ඇහුවද?
රවි මුදල් ඇමැති ලෙස පත් කරන්න එපා කිව්වා.
ඒත් කවුරුත් ඇහුවේ නැහැ."

 රවි මුදල් ඇමති නොකරන ලෙසත්
මහ බැංකුවේ අධිපති කමට
අර්ජුන් මහේන්ද්‍රන් පත් නොකරන ලෙසත්
මෛත්‍රී එජාපයට කියා ඇත්තේ ඇයි?


රනිල් මෛත්‍රීට සවන් නොදුන්නේ ඇයි.?

මෛත්‍රීට පෙණුන වංචාවක සේයාව
රනිල්ගේ දැක්මට හසු නොවුණේ ඇයි.?
ඔහුත් එම ජාලයේ ඉත්තෙක් නිසාද?
ඔහුගේ ඇස් අන්ධ කළ කඩතුරාව
ඔහුගේ සිතේම පහළ වුණාද?

රවි සහ මහේන්ද්‍රන් කඩතුරාව එළුවාද?

බැඳුම් කර හොරකමේ වගකිව යුත්තා
මුදල් ඇමති රවිද? අගමැති රනිල්ද?

රනිල් මහ බැංකුව ඔහු යටතට ගත්තේ ඇයි.?

රනිල් මහ බැංකුව රවිගෙන් ගත්තාද,
රවි රනිල්ට මහබැංකුව දුන්නාද?

වගකිවයුත්තා හඳුනාගැනීමට නම්
මේ පැනයට පිළිතුරු අවශ්‍යයි.

රනිල්ගේ යටතේ ඇති මහබැංකුව
රටේ අනිකුත් මූල්‍ය ආයතන සමග
සම්බන්ධකම් පවත්වන්නට යාමේදී
ඒ ආයතන පවතින මුදල් අමාත්‍යාංශය
රවිගේ යටතේ ක්‍රියාත්මක වීමෙන්
රනිල්ගේ ක්‍රියාකාරිතව්යට බලපාන
රවිගේ බලය කොතෙක්ද?

රවි යටතේ නැති මහබැංකුවෙන්
මුදල් ඉපයූ අර්ජුන් ඇලෝසියස්ගෙන්
මුදල් ඇමති රවි තිළිණ ලබන්නේ ඇයි?
වගකීම රනිල්ට දී
තිළිණ තමන්ට ලබා ගන්නට
රවි සැලසුම් කළාද?

රනිල් මහ බැංකුව ගත්තා නම් ගේම ඔහුගේය.

රවි රනිල්ට මහබැංකුව දුන්නා නම්
ඔහු රනිල්ටත්, එජාපයටත්, මෛත්‍රීටත්,
මුළු රටටමත් ගේම දුන්නාද?.

බැඳුම්කරයට අදාළ නොවන නමුත්
රවි ලැබූ තිළිණ පිළිබඳ තොරතුරු
කොමිසම හමුවට ආවේ කෙසේද?
අනීකාගේ භූමිකාව කුමක්ද?
අනීකාගේ පිටුපස සිටින ජෙහාන් කෙනෙක්
රවිට ගේම දුන්නාද?

බැඳුම්කරය හෙළිවෙද්දී
නිව්යෝක් නුවර සිටි මෛත්‍රී විසින්
රනිල්ට දුන් දුරකථන උපදෙස් අනුව
ඔහු පත් කළ ත්‍රි පුද්ගල කොමිසමටත්
ඩිව් සහ හඳුන්නෙත්ති මෙහෙයූ
කෝප් කමිටු දෙකකටත් නොලැබුණ
ප්‍රබල තොරතුරු රැසක් හෙළි කරගත්
සාර්ථක කොමිසම පත් කරන්නට
අවසානයේ මෛත්‍රීටම සිදු වූයේ ඇයි?

බැඳුම්කර වංචාව යටගියා නම්
පළමු විත්තිකරු වන්නේ කවුද?
රවිද? රනිල්ද? මෛත්‍රීද?

රවි හෝ රනිල් ඇතුළු එජාපයේ පිරිස
සිය අගමැති, මැති ඇමතිකම් නොසලකා
මේ ආකාරයේ රජ ගේමක දෙන්නට
බිය සැක නැතිව ඉදිරිපත් වුණේ ඇයි?

මහින්දගේ රජයේ මැති ඇමතිවරු කළ
සියලු දූෂණ වංචාවන් රොත්ත පිටින්
මහින්දගේ ගිණුමට බැර වී ඔහු ගෙවන අයුරින්
එජාපයේ මීතොටමුල්ල බවට මෛත්‍රී පත් කරගෙන
ජනතාව මුව හමට තඩිබාද්දී
තමන්ට රිසිසේ ගොයම කෑ හැකියයි
රවි, රනිල් ඇතුළු එජාපය සිතා සිටියාද?

මහින්ද වටා සිටින හොරුන්
මහින්ද අදටත් රැක ගන්නා අයුරින්
මෛත්‍රී බලයට පත් කළ නිසා
මෛත්‍රී ඔවුන් රකිනු ඇතැයි
එජාපයේ දූෂණ වංචා කරන අය
විශ්වාස කළාද?

ඒ විශ්වාසය බිඳින්නට
ජනපති මෛත්‍රී පැකිළේවිද?
වසර පණහක චරිතය කෙළෙසාගෙන
ඔහු රකින ජනපති කමෙන්
පලක් ඇත්ද?

එජාපයේ බැඳුම් කර වංචාව
පළමුව විමර්ශනය කරන්නේ නැතිව
පසුගිය රජයේ වංචා සොයන්නට
මෛත්‍රී ක්‍රියාකළහොත් කුමක් වේද?
එසේ කරන්නට නම් මේ වංචාවට
මෛත්‍රීත් සම්බන්ධ වී තිබිය යුතුය.

පසුගිය රජයේ වංචා දූෂණ
සොයා දඬුවම් දෙන්නට පළමුව
මෛත්‍රීගේ ඇසේ පොල් පරාළය
මෛත්‍රී ඉවත් කළ යුතුය.

බැඳුම්කර වංචාවට අදාළව
මේ මෛත්‍රීගේ ස්ථාවරයයි.
-----------------------------------------------------------------

"එකක් හොඳට මතක තියාගන්න,
ජනතාවගේ මුදල් හොරාකාපු කිසිම මිනිහෙක්
මම රකින්නේ නැහැ.


දින 100 ය ආණ්ඩුව තුලදී මහබැංකු වංචාව සිදුණා,
එය මේ රජයට විශාල කැළලක්.

මම කියපු දේ ඇහුවේ නැති නිසා තමයි
මේවා සිදු වෙමින් තිබෙන්නේ.

අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකුවට පත් කරන්න
මම එපා කිව්වා. ඇහුවද?
රවි මුදල් ඇමැති ලෙස පත් කරන්න එපා කිව්වා.
ඒත් කවුරුත් ඇහුවේ නැහැ.

මම මේ ලයින් එකේ තමයි එදා ඉඳලා හිටියේ.
මම දූෂණයට විරුද්ධව 2012දී
මහින්දගේ ආණ්ඩුවේ ඉන්නකොට කතා කෙරුවා.
ඒ ඇති වෙච්ච ප්‍රශ්නය නිසා තමයි
ආණ්ඩුවෙන් ඉවත් වෙන්න තීරණයක් ගත්තේ.
ඒ අනුව තමයි මම අදත් ගමන යන්නේ.

මම බැඳුම්කර විමර්ශන කොමිසම පත් කළ එක වැරැදිද?
මට කියන්නේ දඬුවම් කරන්න එපා කියලද?

අද මට යූ.ඇන්.පී. අය ජනාධිපතිගේ ටෝක්.
ජනාධිපති පික් පොකට් ගහනව කියනවා.
එ.ජා.ප.යේ හරීන් ප්‍රනාන්දු, මරික්කාර්,
නලීන් බණ්ඩාර සහ සුජීව සේනසිංහ
තැන් තැන්වලදී මට දැඩි වාග් ප්‍රහාර එල්ල කරනවා.
මේක බැලුවම මේගොල්ල කියනවද?
නැති නම් මේගොල්ල ලවා කියවනවද?
බැලුවම නම් පේන්නේ
මේ ගොල්ලෝ ලවා කියවනවා වගෙයි.

මෙහෙම නම් කතා කරන්නේ
මට ගනුදෙනු බේරා ගන්න බැරි නැත්තේ නැහැ.
එහෙම දාලා මම කොහේද යන්නේ.
බණ්ඩාරනායක වගේ මාව මරා දමන්නද යන්නේ.?
මම 2015දී රාජපක්‍ෂ ආණ්ඩුවෙන් එළියට ආවේ ඇයි?
අපි හොරකම්, දූෂණ වංචා නවත්වනවා
කියලයි පොරොන්දු දුන්නේ.
මම මේ ගමන ඒ විදියට යන්න කැමැතියි."

පැවති රජය අන්ත දුෂිත නිසා ජනාධිපතිවරයා වූ වහාම
රනිල් වික්‍රමසිංහ මහත්මා යටතේ
පාර්ලිමේන්තුවේ අඩු බලයක් තිබියදී ආණ්ඩුවක් පිහිටුවීමට
මම කටයුතු කළා.

ආණ්ඩු බලයක් නැති වුනත්
බොහෝ අයට මැති ඇමති තනතුරු ලැබුනා.
රටේ ජනාධිපතිවරයෙක් බිහිවූ ගමන්ම
නිතරඟයෙන් අගමැතිවරයෙක් පත් කරගැනීමට
එක්සත් ජාතික පක්ෂයට හැකි වුනා.
මහන්සියකින් තොරව ලබාගත්ත නිසා
ඒ ආණ්ඩුවේ වටිනාකමක් කාටවත් දැනුනේ නැහැ.
මහා බැංකු හොරකම කලේ ඒ නිසයි.

මට ගොඩක් දේවල් කියන්න පුළුවන්.
හැබැයි ඒවා දැන් වැඩක් නැහැ.

මහ බැංකු වංචාව එලියට එනකොට
මම හිටියේ නිව්යෝර්ක් නුවර.
අගමැතිතුමාට දුරකථනයෙන් කතා කරලා කිව්වේ
කොමිසමක් පත්කරන ලෙස.
අගමැතිතුමා ඒ දේ කළා.
හැබැයි ඒ කොමිසමෙන් ආවේ වැරදි වාර්තාවක්.
ඒ නිසා මට කොමිසමක් පත්කරන්න සිද්ද වුනා.
එකේ උත්තර අද ඇවිල්ලා තියනවා.

හැබැයි මේ ආණ්ඩුවේ අයට අමතකයි
බරපතල දුෂණ වංචා කොමිසමේ වාර්තා 34 ක්
එලියට ඇවිත් තිබෙන බව.

ඒවා එකක්වත් මේ ආණ්ඩුවේ අය කතා කරන්නෙත් නැහැ.
හැමෝම කතා කරන්නේ මහබැංකු වාර්තාව ගැන.

දේශපාලන වාසි තකා
මට කිසිම හොරෙක් දුෂිතයෙක්
වංචා කාරයෙක් රකින්න බැහැ.
ඒක මගෙන් වෙන්නෙත් නැහැ.
එහෙම මාව ඒ තැනට තල්ලු කරන්න හදනවා නම්
මම මේ තනතුරේ ඉන්න ලෑස්ති නැහැ.

අපි පත්කරපු ජනාධිපති අපි චන්දෙට උදව් කරා කියලා
කව්රුහරි දුෂණයට වංචාවට මගෙන් උදව් ඉල්ලනවා නම්
 ඒ වගේ එව්වා කරපු අය රකින්න කියනවා නම්
ඒවා මගෙන් බලාපොරොත්තු වෙන්න එපා.

දුෂණ වංචා කරපු හැමෝටම නීතියෙන් මන් දඬුවම් දෙනවා.
සංවිධානාත්මකව මට මඩ ගහන්න ලැහැස්ති වෙන්න එපා.
මට මඩ ගහන්න එක එක්කෙනාව යොදවන්නත් එපා.
මරික්කාර්, හරින්, සුජීව සේනසිංහ, කෑ ගහන්නේ
මහ බැංකුවෙන් හොරාකාපු හොරුන්ව මට රකින්න කියලද ?
එකක් හොඳට මතක තියාගන්න,
ජනතාවගේ මුදල් හොරාකාපු කිසිම මිනිහෙක්
මම රකින්නේ නැහැ.
කෝ අද හරින් ඉන්නවද ?
හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා
අද කැබිනට් රැස්වීමට සහභාගී වී හිටියේ නැහැ.

මේ වගේ දුෂිතයන්ට විරුද්ධව
මම වැඩක් කරගෙන යන කොට
කැබිනට් ඇමතිවරුන්ව රටේ ජනපතිවරයට
විරුද්ධ වෙනවා නම් මෙතන ලොකු ප්‍රශ්නයක් තියනවා.
ලංකාවේ කිසිම දවසක කැබිනට් ඇමතිවරු
ජනාධිපතිවරයාට මෙහෙම කතා කරලා නැහැ.

හැමෝම මතක තියාගන්න ඕන
මම මේ රටේ ජනාධිපති.
මම වගකියන්නේ රටේ ජනතාවට.
අපි පත් කරපු ජනාධිපති කියලා
හොරු රකින්න මට කියන්න
ලෑස්ති වෙන්න එපා කව්රුවත්.

තරුණ මන්ත්‍රීවරුන්ට මම කියන්නේ
දේශපාලනයේ ගොඩාක් දුර ගමනක් යන්න තියනවා,
කෙටි පාරවල් හොයන්න පුරුදු වෙන්න එපා.

මම තනතුරුවලට ආස කෙනෙක් නෙවෙයි.
හොරු රකින අනිත් අයගේ තනතුරුත්
මම රකින්න සුදානම් නැහැ.

දුෂණයට වංචාවට එරෙහිව
රටේ මිනිස්සු වෙනුවෙන් මං මේ කරන දේට
ආණ්ඩුවේ මිනිස්සු මට මඩ ගහන්න,
අපහාස කරන්න ලෑස්ති නම්
එක්කෝ ඒ මිනිස්සු මේ ආණ්ඩුව කරන්න,
නැත්තම් මං මේ ආණ්ඩුව කරන්න ඕන.

හැමෝටම ඕන දුශිතයෝ රකින්න නම්
මන් මෙතනින් නැගිටලා යනවා

මට බලයට එන්න
යූ.ඇන්.පී.ය උදවු කළ බව මම දන්නවා.
මේ රටේ කිසිම ජනාධිපතිවරයකු
අගමැතිවරයකුට නොදුන් බලතල
මේ අගමැතිතුමාට දුන්නා.
මා එසේ කළේ මේ ආණ්ඩුව කරගෙන යන්නයි.
මම දන්නවා මම යූ.ඇන්.පී.ය පාවලා දෙන්නෙත් නැහැ.
යූ.ඇන්.පී.යට විරුද්ධත් නෑ.
නමුත් මහ බැංකු හොරකමට ඉඩ දෙන්න කියලද කියන්නේ?
මට ඒක කරන්න බැහැ.
මගෙන් ඒවද බලාපොරොත්තු වෙන්නේ?
මම දන්නවා නඩු යට ගහන්න ගිය හැටි.

ආණ්ඩු දිගටම කරගෙන යනවද කියලා
කරන විදිය ඔයගොල්ලෝ සාකච්ඡා කරලා
තීරණයක් අරන් මට දැනුම් දෙන්න.
පුළුවන් නම් ඔයගොල්ලො
යූ.ඇන්.පී. ආණ්ඩුවක් පිහිටුවා ගන්න"
මෙසේ විනාඩි 35කට ආසන්න වේලාවක්
උණුසුම් හා දැඩි ප්‍රකාශයක් කළ ජනපති මෛත්‍රි
කැබිනට් මණ්ඩල රැස්වීමෙන් ඉවත්ව ගොස් තිබේ.

ඉන් අනතුරුව
අගමැති රනිල් වික්‍රමසිංහ, මලික් සමරවික්‍රම ඇතුළු
එ.ජා.ප.යේ සහ ශ්‍රීල.නි.ප. ඇමැතිවරුන් පිරිසක්
ජනපති ලේකම් කාර්යාලයේ පිහිටි නිල කාමරයට ගොස්
ජනපති  මුණ ගැසී සාකච්ඡා කොට
ශ්‍රී ල.නි.ප. මැති ඇමැතිවරුන් අගමැති ප්‍රමුඛ එ.ජා.ප.ය
අනවශ්‍ය ලෙස විවේචනය නොකිරීමටත්
එ.ජා.ප. මැති ඇමැතිවරුන් අනවශ්‍ය ලෙස
ජනපතිවරයා ප්‍රමුඛ
ශ්‍රීල.නි.ප. විවේචනය නොකිරීමටත්
එකඟතාවක් ඇති කර ගැනීමෙන් පසු
ජනපතිවරයා කැබිනට් රැස්වීමට ආපසු කැඳවාගෙන ඒමට
ක්‍රියා කර තිබේ.

ඉන් අනතුරුව අගමැති රනිල්
ජනපති මෛත්‍රිගේ අතින් අල්ලා ගෙන
 කැබිනට් මණ්ඩල රැස්වීමට කැඳවාගෙන පැමිණ තිබේ.
කැබිනට් මණ්ඩල රැස්වීම පටන් ගෙන ඇත්තේ ඉන් පසුවයි.