20170928

අධ්‍යාපනය ජීවත් වෙන්න කියා දෙන්නෙ නෑ.


රූමත් බවින්, අධ්‍යාපනයෙන් මෙන්ම
ජනප්‍රියත්වයෙන්ද ඉහළ තවත් කෙනෙක්
සිය දිවි නසාගෙන අවසන්.

දසුන් නිෂාන් ජීව විද්‍යා අංශයෙන් ඉගෙනෙගෙන
තොරතුරු තාක්ෂණ උපාධියක් ලද්දෙක්.

අධ්‍යාපනය ජීවත් වෙන්න කියා දෙන්නෙ නෑ.
ජීවත් වෙන්න රැකියාවක් සොයාදෙනවා පමණයි.

ජන්මයෙන් එන මන්ද බුද්ධික බව තුරන් කිරීමට
විශ්ව විද්‍යාල උපාධියට නොහැකි බවටත්,
අධ්‍යාපනයෙන් බුද්ධිය නොලැබෙන බවටත්,
විද්‍යාව ඉගෙන ගැනීමෙන්
අවිද්‍යාව තුරන් නොවන බවටත්,
ස්වාභාවික තිරිසන් ආවේග ජය ගැනීමට
හිසේ තවරාගන්නා බුද්ධිය අසමත් බවටත්,
දුම්රියට ගෙල තබා මිය ගිය
පේරාදෙණියේ විද්‍යා උපාධිධාරිණිය මෙන්ම
දසුන් නිෂාන් උපාධිධරයාත්
ලෝකයට පසක් කරදෙනවා.

සිරුරට ගිනි තබාගෙන සිය දිවි නසාගත්
තවත් උපාධිධාරිණියක් පිළිබඳව
ගාල්ලේ ඌරගහින් වාර්තා වුණා.

අධ්‍යාපන ක්‍රමය තුළ
මනස මුල් කරගන්නා ප්‍රශ්නවලට
විසඳුම් නෑ...
මානසිකව ඇති වෙන පශ්න වලට
සාර්ථක විසඳුම් මෙන්ම
තාවකාලික විසඳුම් හෝ ඇත්තෙ
ආගමික ඉගැන්වීම් තුළයි.

නූගතුන් මෙන්ම උගතුන්ද
විශාදයට ගොදුරු වෙනවා.
ඔවුන්ගේ ප්‍රශ්නවලට විසඳුම්
බුද්ධියෙන් සොයා ගන්න මගක් නෑ..

හැඟීම ඇති වුණාම
මනස තර්ක කරන්නෙ
ඒ හැඟීම සාධාරණයි කියන
උපකල්පනය මතයි.

මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න
බුදු දහමෙන් ශක්තිය ලබා දෙනවා.
අනිකුත් ආගම් ආවේගය සමනය කරගන්න
නොයෙක් ක්‍රම සපයා දෙනවා.
ඒ ක්‍රම බුදු දහම තුළටත්
කාන්දු වී තියනවා.

ජීවිතයත් මරණයත් අතර වැනෙන
විශාදයට ගොදුරු වූ ජීවිත
ආගමික ක්‍රමවලින් බේරා ගන්නවා.

විෂාදය මිනිසුන්ට අලුත් දෙයක් නොවෙයි.
මම විෂාදය අත්දැකීමෙනුත්
අන් අය තුළත් දැක හඳුනනවා.

ලාභ, අලාභ, යසස, අයස,
නින්දා, ප්‍රසංශා, සැප, දුක්
මේ කිසිවක් නිසා
සිත කම්පා වීම, ශෝකය ඇතිවීම,
සිත කිළිටි වීම, අනාරක්ෂිත බව ආදිය සිදුවීමෙන්
විෂාදය පිළිසිඳගන්නට හේතු වෙනවා.

ප්‍රේමය අහිමි වීම, රැකියාව අහිමි වීම,
තනතුරෙන් පහත වැටීම හෝ අහිමි වීම,
බිරිඳ හෝ සැමියා නොමග යෑම, දරුවන් නොමග යෑම,
විභාග අසමත් වීම, රෝගයකින් එක්තැන් වීම...
මේ ලැයිස්තුව ඔබත් දන්නවා.

මානසික හේතු මත හෝ වෙනත් හේතු මත
පවුලෙන්, සමාජයෙන් වෙන්ව තනිව වෙසෙන අයට
ඔවුන් තුළ වැඩෙන විෂාද කළලයට අවශ්‍ය
පෝෂණය සපයන්නට සුදුසු වාතාවරණයක්
ඔවුන් වටා ගොඩ නැගෙනවා.

විෂාදයට පත්වෙන තැනැත්තාට
ඔහුගේ සීමාව තුළ විසඳිය නොහැකි ප්‍රශ්න නිසා
විෂාදය පහළ විය හැකියි.
විෂාදය නිසාත් ප්‍රශ්නය විසඳා ගැනීම
ඔහුට අපහසු විය හැකියි.
කොහොම වුණත් විෂාදයෙන් පළමුවෙන්ම පීඩා විඳින්නේ
විෂාදයෙන් පෙළෙන තැනැත්තාමයි.
ඉන් ඔහු මුදවා ගන්නට
වඩාත්ම හැකියාව ඇත්තේත් ඔහුටමයි.

ප්‍රිය දෙයක් සිතින් අල්ලා ගන්නාවිටම
අප්‍රිය දෙයක් සිතින් අල්ලා ගන්නාවිටම
විෂාදයට බඳුන් වීමේ අවදානම
ඒ උපාදානය තුළ සැඟවී තියනවා.

ආරම්භක අවස්ථාවේ පහළ වෙන හැඟීම
විෂාදයෙහි මූලික අවස්ථාව ලෙස
කිසිවෙක් දකින්නේ නෑ.
තමන්ට දෂ්ඨ කරන මදුරුවා
තමන්ගේ සිත තුළ කීටයෙකු ලෙස
වර්ධනය වෙන ආකාරය දකින්නට
ප්‍රමාණවත් සිහියක් පිහිටා ඇති කෙනෙක් නෑ.

විෂාදයෙන් වියරු වැටීමත්
කෝපයෙන් වියරු වැටීමත්
ශෝකයෙන් වියරු වැටීමත්
පුද්ගලයාට තමන් ගැන සිහිය නැති වීමක්.
තමන් ගැන සිහිය නැති වුණාට පසුව
සිය දිවි නසා ගැනීම පහසුයි.

ඒ තත්වයට එන කෙනෙක් ප්‍රතිකාර සොයන්නෙ නෑ.
විෂාදය සුව කරන්න
කායිකව බෙහෙත් දෙන්න සිදු වීමම
ඒ ප්‍රතිකාරවල දුර්වල බව පෙන්වනවා.

මෝහයෙන් වෙසෙන කෙනෙකුට ආගමක් අවශ්‍ය නෑ.
ඔහුට විෂාදය හැදෙන්නෙ නෑ.
මෝහයෙන් විෂාදය හැදෙන්නෙ නෑ.

විෂාදය හැදෙන්නෙ
රාගය හෝ ද්වේශය උත්සන්න වීම නිසයි.
විෂාදයෙන් හැදෙන කෙනෙක් තුළ ඇතිවෙන රාගය
ද්වේශයට හැරුණාම සිය දිවි නසා ගන්නවා.

සංවේදී කෙනෙක් ආගමෙන් ඈත්වී ජීවත්වීම
පහසුවෙන් කළ හැකි දෙයක් නොවෙයි.
අද ආගමික වීම නින්දාවක් ලෙස හැඳින්වීම
මෙවැනි සංවේදී අය අතරමං කිරීමට
ප්‍රධාන හේතුවක්.

විෂාදයට ප්‍රතිකාර ක්‍රම
හැම ආගමකම තියනවා.
යාඤා, භජන්, බෝධි පූජා ආදියෙන්
විෂාදය දුරු කරගන්න පුලුවන්.
සමථ භාවනාවෙන් පුලුවන්.

විෂාදයට අදාළ
කායික වේදනා ගැන සිහියෙන්
ඒ වේදනාවන්ට උපේක්ෂාවෙන් වෙසෙන්නට
කෙනෙක් පුහුණු කරන විපස්සනා
ඒ සඳහා ඇති හොඳම ක්‍රමයයි.

ප්‍රිය වේදනා සුඛ වේදනා ලබා දුන්
කෙනෙක් හෝ දෙයක් ඈත් වෙද්දී අහිමි වෙද්දී
ඔහු තුළ ඇති වෙන දුක්ඛ වේදනා සමුච්චය
කායික වේදනා විදියට දකිමින්
විෂාදයට හේතු වෙන මානසිකත්වයෙන් මිදෙන්නට
විදසුන් වඩන ආර්ය ශ්‍රාවකයෙකුට පුලුවන්.

මේ ක්‍රම වලින් තමන්ට ගැලපෙන ක්‍රමයක්
විෂාදය හැදෙන අය සොයා ගන්නවා.
ඒ ක්‍රම නොසොයන විෂාදයෙන් පෙළෙන අය
මනෝ වෛද්‍යවරුන් කරා හෝ යොමු වෙනවා.

මේ සියල්ලම මග හැරෙන අය
සිය දිවි නසා ගන්නවා.

ජීවිතය නැති කරගත යුතු
කිසිම සාධාරණ හේතුවක්
කවදාවත්ම මේ ලෝකෙ නෑ.


20170927

ඉරාජ්ගේ කාමුක සිතට නොපෙනෙන වික්ටර්...


වික්ටර්ගේ ප්‍රතිරූපයට හානි කොට
මුදල් උපයන්නට වෙහෙස වෙන
ඉරාජ් පිළිබඳව පෙර තිබුණු ප්‍රතිරූපය වැරදි බව
ඔහුගේ රසිකයන් විසින්
දැන් දැන් පසක් කර ගන්නා අතරම
කාම දර්ශන නැරඹීම අතින්
ලංකාව ලෝකයෙන්ම මුල් තැනට පත් කළ
කාමය රූප මාත්‍රයෙන් විඳින පිරිසට
රූපක සපයමින් සිටියි.

වික්ටර් රත්නායකයන්ගේ ජීවිතය
ඉරාජ් දකින ආකාරයෙන් සහ
ඔහු වියපත් වූ පසුව විඳිනු ඇතැයි
ඔහු සිතන ආකාරයෙන් විවරණය කොට
ජනතාව ඉදිරියේ නිරුවත් වී ඇත්තේ
වික්ටර් නොව ඉරාජ්මය.

වික්ටර්ගේ ගීත රස විඳින සහ
ඔහු ගැන කාලාන්තරයක් තිස්සේ දන්නා
ඔහුගේ සහෘදයෙන්ගේ සිත් තුළ වූ
නිමල ප්‍රතිරූපයට කැළලක්
ඔහුගේ දෙවන විවාහයෙන් හෝ
මේ පිළිකුල් සහගත වීඩියෝවෙන්
නොවන බව් අපි දන්නෙමු.

ඒ වීඩියෝවෙන් යම් හානියක් වුණා නම්
ඒ ඉරාජ්ටම මිස වික්ටර්ට නොවේ.

මේ ලිපියෙන් හෙළිවන වික්ටර්
ඉරාජ්ගේ කාම දූෂිත මනසින්
ග්‍රහණය කළ නොහෙන බව
අප දන්නෙමු.

.කොහොමද අලුත් ජීවිතේ?
ඇත්තටම අලුත් ජීවිතේ ඉතාම සතුටුදායකයි. ඒ වගේම ඉතාම සතුටින් තමයි අපි දෙන්නා ඉන්නෙ. මම විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තමයි මගේ නිර්මාණකරණයේ මම පොඩ්ඩක්වත් තාම අලස තත්ත්වයේවත්, නෑ. මම දැන් ක්‍රියාශීලියි. මේ දිනවල අලුතින් ගීත කීපයක් නිර්මාණ කරමින් තමයි ඉන්නෙ. ඉතින් මම හිතන්නෙ මගේ නිර්මාණ ජීවිතේ හොඳම කාලය තමයි මේ.
 
අද පවතින රුල්ලත් එක්ක මොකද හිතෙන්නෙ?
මෙහෙමයි. අපි පරිණත වෙලයි ඉන්නෙ. අද පවතින ප්‍රවණතා දිහා බැලුවම බොහෝ දුරට මේවා තරමක් අප්‍රසන්න තත්ත්වයේ පසුවන දේවල් තමයි අද වෙලා තියෙන්නෙ. අපේකම, අපේ සංස්කෘතිය, අපේ කවිය, අපේ ජන ගීය, කොටින්ම අපේ ශ්‍රී ලාංකික ස්පන්දන කියන ලක්ෂණ බොහෝ දුරට අඩුවේගෙන යන කාලයක් තමයි අද තියෙන්නෙ. නමුත් අපි ඒවාට නතුවෙන්න හොඳ නැහැ. එවැනි ප්‍රවණතාවයක් දැක්කම ඒකට විරුද්ධව යන්නත් බැහැ. ඒත්... පවතින තත්ත්වය අනුව ඒවාට අනුගත වෙන්න තරම් අපි දුර්වල නිර්මාණවේදියෝ නොවිය යුතුයි කියලයි මම හිතන්නෙ. නිර්මාණයක් කරද්දි අපි අපේ ආසියාතික ගුණාත්මක පැත්ත, අපේ ශ්‍රී ලාංකික බව දැනෙනවාද? අපේ සංස්කෘතියට මේක කිට්ටුයිද කියන දේවල් හිතලා තමයි අපි තාම නිර්මාණ කරන්නෙ. ඒවාට නිසි තැන ලැබුණත් නොලැබුණත් අපි පරාද නැහැ කියලයි මම හිතන්නෙ.
 
කොහොමද හෂිනිව මුණගැහුණේ... කියමුකෝ ඒ මුණගැහීම ගැනත්...?
ඇත්තටම අපි මුණගැහුණේ 2005 අවුරුද්දේ එක්තරා ප්‍රසංගයකදි. ඒක තිබුණෙ ගාල්ලෙ. ඒක බලන්න හෂිනිත් ඇවිත් හිටියා. හෂිනි එදත් මගේ රසිකාවියක්. අදත් මගේ රසිකාවියක්. අදත් කිට්ටුවක ප්‍රසංගයක් තිබුණොත් ඇය ඒක බලන්න එනවා. කොහොම වුණත් ගෙදර වුණත් එදා මම කරපු නිර්මාණ සහ අද මම කරන නිර්මාණවලට එයත් සම්බන්ධ වෙනවා. ඇයට ඉතාම හොඳ වින්දනයක් ලබන්න පුළුවන්, සාහිත්‍ය සහ කවිය පිළිබඳව, නවකතාව පිළිබඳව, අදටත් පොතපත හොඳට පරිශීලනය කරන කෙනෙක්. හෂිනි මට ගොඩාක්ම කිට්ටුවෙන්න හේතුව වුණෙත් ඒකමයි.
 
හෂිනි සංගීතය පිළිබඳව හැදෑරීමක් කරලා තියෙනවා. එහෙමද...?
ඔව්... ඇය දේශීය සංගීතය හෝ පෙරදිග සංගීතය හදාරලා නෑ. ඒත් බටහිර සංගීතයත් පියානෝ මියුසික් පැත්තෙන් හොඳ දැනුමක් තියෙනවා. ඒ නිසා ඇය ඒ පැත්තෙන් මට ගොඩාක් උදවු කරනවා. මගේ නිර්මාණවලදී ස්වර ලිපි සකසා දෙන්නෙ දැන් හෂිනි.
 
අද හෂිනියි ඔබයි ගත කරන මේ නිවස සුන්දර කරන්නෙ හෂිනිද?
මම හිතන්නෙ මේ ගෙයි කිසියම් ලස්සනක් තියෙනවානම් සුළු සුන්දරත්වයක් දකිනවානම් ඒවාට අත තියන්නෙ මම නෙමේ... හෂිනි. උදේ නැඟිටින වෙලාවෙ ඉඳලා මේවා අස්පස් කරනවා. දූවිලි ගසනවා. පුටු වෙනස් කරනවා.මගේ මව්පියන්ගේ ෆොටෝ රාමු කරලා ගෙනත් ගැහුවෙත් හෂිනි. එහෙම කරලා ගෙදර අලංකරණයේ හැමදෙයක්ම කරන්නෙ එයා. ලස්සන කෙනෙක් ගෙදර ඉඳිද්දි ගෙයක් ලස්සන වෙනවා.
 
 

(ඔන්න ඉතින්... මෙච්චර වෙලා අපේ කතාබහ අහගෙන හිටපු හෂිනි එක්කත් අපි කතා කළා.)

 
හෂිනි... ගෙදර ලස්සන කරන එක විතරක් නෙමෙයිනෙ... වික්ටර්ගේ ආහාරපානත් හදලා දෙන්නෙ ඔයාමයි. නේද...?
වික්ටර් ගමේ කෑම කන්න හරි ආසයි. හැබැයි දෙයක් මම කියන්නට ඕනෙ. මම වික්ටර් ගාවට එද්දි මට හරියට තේ එකක්වත් හදාගන්න බෑ. මම මගේ අඩු වයසෙදි තමයි වික්ටර්ව මුණගැහුණෙ. ඉතින් කෑමක් එකක් තියා තේ එකක්වත් හදන්න බෑ. මම එක එක කෑම හදන්න පොත් බලලා තමයි ඒවා පුරුදු වුණේ. මට මතකයි මම හදපු මුල්ම පොල් සම්බෝලෙ කාලා වික්ටර් මට කිව්වා, මේක රහයි... හැබැයි ඇඹුල් චුට්ටක් වැඩියි කියලා...’අද එයා කියන්නේ මගේ පොල් සම්බොලයයි කරොල හොද්දයි තරම් ලෝකෙ මොන කෑමක්වත් රහ නෑ කියලා. ඒ වගේ හැම කෑමක්ම කාලා වික්ටර් මට ඒවායෙ අඩුපාඩු හෙමිහිට කියලා දුන්නා. ඉතින් වික්ටර් කියපු විදිහට මම ඒ අඩුපාඩු හදාගත්තා. අද මට ඕනෑම කෑමක් හරි රසට හදන්න පුළුවන්. කැවිලි පවා දැන් මම හදනවා.
 
හෂිනි හදන කෑමවලින් අද රසම කෑම මොනවද...?
(ඒ ප්‍රශ්නය අපි ඇහුවෙනම් වික්ටර්ගෙන්)
හෂිනි අද කොයි කෑම හැදුවත් දැන් මට හරි රසයි. දේශීය විදිහට අල බතල හැදුවත්, කෑමෙන් පස්සෙ කන වටලප්පන්, පුඩිං වගේ දෙයක් හැදුවත් හෂිනි අද හරි රසට ඒවා හදනවා. ඒ කාලෙ සමහර වෙලාවල ලුණු ටිකක් මදිවෙන වෙලාවල් තිබුණා. ඒවා මම එයාට කිව්වා. එහෙම කිව්වහම එයා ඒ වැරදි හදාගත්තා. අද මම පිට ගිහින් කෑම ගනිද්දි ඒ කෑමවලයි හෂිනිගෙ කෑමවලයි පොඩි වෙනසක් දකිනවා. හෂිනි කෑම පිසින විදිහයි ඒ සුවඳයි බලද්දි අද මට වෙන ආහාරයක් ගන්නවට වඩා හෂිනි හදලා දෙන පොල් සම්බෝලයි කරවල හොද්දයි බතුයි හොඳටෝම ඇති.
 
හෂිනිට ආදරය කරන්න... ඇයව ජීවිතයට ළංකරගන්න තිබුණු සුවිශේෂීකම මොකක්ද..?
ඒකට උත්තරේ මට එකපාරටම කියන්න අමාරුයි. ළෙන්ගතුකම කියන එක කොහොම ඇතිවූවාද කියල කියන්න අමාරුයි. ඇය හොඳ ගීත රසවින්දනයක් ලබන්න පුළුවන් කෙනෙක් විතරක් නෙමේ, සාහිත්‍ය රසවින්දනය, කාව්‍ය රසවින්දනය ගත්තත් හැම පැත්තෙන්ම ඇය ගොඩාක් පොහොසත්. සමහර වෙලාවට ඇයට මටත් වඩා ඒ ගුණය තියෙනවා. ඇය මට වඩා සාහිත්‍ය වගේ ගැඹුරු දේවල් ගැන හොඳට අධ්‍යයනය කරනවා. ඇය හොඳට ඉංග්‍රීසි පොතපත කියවනවා. ඒ නිසා ඇයගේ වින්දනාත්මක පැත්ත හුඟාක් වැඩියි. ඒ අනුව අපේ බැඳීමත් එක්ක ළෙන්ගතුකම, දයාව, කරුණාව, ආදරය, ප්‍රේමය, ආලය මේ හැමදෙයක්ම එන්න එන්නම අපේ ජීවිතයට ළංවුණා.
 
ඔබෙයි හෂිනිගෙයි අතර වයස් පරතරය ගොඩක් වැඩියි...?
සත්තකින්ම. හෂී වෙලාවකට මගේ බිරිය වෙලා ඉන්න අතරේ හෂී මට වෙලාවකට වැඩිමහල් සහෝදරයෙක්ට වගේ සලකනවා. තවත් වෙලාවකට ඇය පියෙකුට දුවක් දක්වන ආදරෙන් මාව රුකබලා ගන්නවා. ඒ හැම පැත්තම හෂිනි දන්නවා. මමත් ඇයට මමත් වෙලාවකට මගේ නැගණියකට වගේ ආදරය කරනවා. ඒ පරිවර්තනය නියමාකාරයකට සිද්ධ වුණු නිසා තමයි අපි අදත් මේ සුහදතාවය තියාගෙන ඉන්නෙ. ඒ නිසා ඇය නිසා අද මගේ ජීවිතේ අද හුඟාක් ලස්සන වෙලා තියෙනවා.
 
ඔබේ නිරෝගීකම වෙනුවෙන් හෂිනිගේ උනන්දුව කොහොමද...?
මගේ නිරෝගීකම මම බලනවාට වඩා බලන්නෙ හෂිනියි. අද උදේ මට පොඩි කැස්සක් ආවා. ඇය ඉක්මනට බාම් එකක් අරගෙන මගේ පපුවේ ගෑවා. පිටේ ගෑවා.හෂිනි ඒ විදියට සත්කාර කරද්දි මට ඒක හරිම ලොකු දෙයක්. බොහෝ දෙනෙකුට ලබන්න බැරි දෙයක්.
 
මෑතකදි නිර්මාණ කීපයක්ම වික්ටර් අලුතින් කළා... ඒ ගැනත් කියමුකො හෂිනි..?
ඔව්... පහුගිය අවුරුද්ද ඇතුළත වික්ටර් ගීත තිහක් පමණ කළා. මඟතොට යද්දි මිනිස්සු ගොඩාක් වික්ටර්ගෙන් අලුත් නිර්මාණ ගැන අහනවා. ඇත්තටම වික්ටර් නිර්මාණ කළා. ඒ හැමදේකදිම මාත් වික්ටර් ළඟ හිටියා. එදාට වඩා අද වික්ටර් නිර්මාණ කරනවා.
 
පහුගිය කාලෙදි ඔබ දෙපළ විදෙස් සංචාර කීපයකටම සහභාගි වුණා. කොහොමද ලැබුණු ප්‍රතිචාර?
අපි ලන්ඩන් සංචාරයක් කළා, මැයි මාසෙදි. එහෙදි වික්ටර්ගෙ රසික රසිකාවියන් මාවත් සෑහෙන ආදරෙන් පිළිගත්තා. විශේෂයෙන් කාන්තාවන් මා ළඟට ඇවිත් මාව අගය කළා. ඔවුන් මගේ කැපකිරීම අගය කළා. මම ඒ හැමෝටම කිව්වෙ &මම කැපකිරීමක් නෙමේ කළේ. වික්ටර් ඒ තරමටම ආදරෙයි. කියලා.
 
හෂිනි සින්දු කියන්න ආසා නැද්ද...?
අනේ... නෑ. මට ගායන හැකියාවක් කොහොමටවත් නෑ. මම සින්දු කියනවා වික්ටර් අහලත් නෑ.
 
හෂිනි... විවේක වෙලාවකදි ඔය දෙන්නා මොනවද කරන්න කැමති?
විවේකය තමයි අපි දෙන්නට හරිම අඩු. අපි දෙන්නම තදින් පොත් කියවනවනෙ. ඉතින් අපි පොත් කියවනවා. මම රුසියානු පොත්, පරිවර්තන පොත් කියවනවා. ඒ පොත්වල තියෙන රසමුසු තැන් අපි කතා කරනවා. අපි හොඳ සින්දු අහනවා. සම්භාව්‍ය සංගීතය රස විඳිනවා. ගෙදර ඉඳිද්දි මම රස කෑමත් හදනවා. ඒ විවේකය විනෝදයෙන් ගත කරනවා.
 
ඕනෑම විවාහ වුණු කෙනෙකුගේ ඊළඟ හීනය දරුපැටියෙක්...?
මගේ හිතෙත් ඒ හීනය තියෙනවා. දරු පැටියෙක් ලැබු‍ණොත් මායි වික්ටරුයි ඒ දේ සතුටින් බාරගන්නවා.
 
ඔය හිතේ තව බලාපොරොත්තු ඇති...?
වික්ටර්ට මේ දෙන සහයෝගය මීටත් වඩා දෙන්න ආසයි. මම හැමදාම වික්ටර්ගෙන් අලුත් අලුත් දේවල් ඉගෙන ගන්නවා. අපේ ඇසුර දැන් අවුරුදු අටකට කිට්ටුයි. හැම තත්ත්පරයකදිම මම වික්ටර්ගෙන් යමක් ඉගෙන ගන්නවා. එයා හරියට විශ්වකෝෂයක්. ඉතින්.. වික්ටර්ගේ ජීවිතයට අත්වැලක් වෙලා එයාව සතුටින් තියන්නයි මගේ එකම හීනය.

දසුන් නිශාන්, ජීවිතේ තිර පිටපත කවුරු ලිව්වා කියලද හිතන්නේ?


ජනප්‍රිය රංගන හා නිරූපණ ශිල්පියෙකු වූ  
දසුන් නිශාන් ද සිල්වා 
හදිසියේම ඊයේ (2017 09 25දා) සිය දිවියෙන් නික්ම ගියේය. 
ඔහුගේ හිස්බව සිය මිතුරන්ට මෙන්ම 
ඔහුට ආදරය කරන ලද රසිකයන්ට බොහෝ සේ දැනෙනු ඇත.
ඔහු කලා ක්‍ෂේත්‍රයට අවතීර්ණ වීමට පෙර කටයුතු කළේ 
පරිගණක මෘදුකාංග ඉංජිනේරු උපාධිධාරියෙකු ලෙසය. 
මෙම තරුණ රංගන ශිල්පියා 
පසුගිය දිනවල ආලින්දයට එනුයේ, ‘පැහැසරා’, 
‘කවුරුන්ද නුඹ මගේ’ හා ‘මුතුමලී’ යන නාට්‍යය සමගය. 
දසුන්, වෙළෙඳ දැන්වීම් නිරූපණ ශිල්පියෙකු හා 
විලාසිතා නිරූපණ ශිල්පියෙකු ලෙසද කටයුතු කළේය.
ඔහුගේ ජීවිතයේ හදිසි සමුගැනීමත් සමගින් 
ඔහුගේ මතකයන් අමතක වීමට බොහෝ ඉඩකඩ ඇත.
ජීවිතය ගැන ඔහු පැවසූ වදන් අදට වලංගු වී තිබේ.
මීට මාස කිහිපයකට පෙර 
ඔහු ‘අද’ සමග මෙලෙස කතාබහක නිරත විය.
 
දසුන් ක්‍ෂේත්‍රයට එන්නේ?
නිරූපණ ශිල්පියෙකු ලෙසයි මම ක්‍ෂේත්‍රයට එන්නෙ,
2009 වර්ෂයේ අන්තිම වගේ.
දැනුත් නිරූපණය කරනවාද?
නැහැ නවත්වලා තියෙන්නෙ.
වෙන අරමුණක් තිබුණේ නැද්ද?
වෙන අරමුණක් තිබුණේ නැහැ. මම අයි.ටී. පැත්තෙන් තමයි ඉගෙන ගත්තේ. උපාධියත් සම්පූර්ණ කළා. කාලයක් මූලික අරමුණ වෙලා තිබුණේ ඒක. නිරූපණයට සම්බන්ධ වුණාම මම වෙළෙඳ දැන්වීම් 60කට විතර සම්බන්ධ වුණා. ඊට පස්සේ මම තේරුම් ගත්තා කලාව කියන්නේ රසවින්දනය තියෙන තැනක්. මට හරියන්නේ එතැන කියලා මම හිතුවා. ඊට පස්සේ පූර්ණ කාලීනව රංගන ශිල්පියෙක් විදිහට කටයුතු කරන්න තීරණය කළා.
ඔබව කලා ක්‍ෂේත්‍රයේ බොහෝ දෙනෙක් හඳුනන්නෙ කොහොමද?
මම මුලින්ම ප්‍රධාන චරිතයක් කළේ ‘අපේක්ෂා’ ටෙලි නාට්‍යයයි. ඒකේ තියෙන ‘භූමි’ කියන චරිතය නිසා තමයි ගොඩක් දෙනෙක් මාව හඳුන්වන්නේ. ඊට පස්සේ ‘සූර්යයා’ කියන චරිතයත් බොහෝ දෙනා අතරට ගියා.
සම්බන්ධ වෙලා තියෙන නිර්මාණ ප්‍රමාණය?
මේ වෙනකොට 06ක් විතර විකාශනය වෙලා තියෙනවා.
තව 10ක් විතර එන්න තියෙනවා.
හොඳම චරිතය ලැබුණේ කොයි ටෙලිනාට්‍යයේද?
මම ආසයි විවිධ චරිත කරන්න. පෙම්වතා පමණක් වීමට ආසාවක් නැහැ.
වෙනස් චරිතයක් කළා ‘නේරංජනා’ නාට්‍යයේ. ඒකට මම කැමැතියි.
ඒ කියන්නෙ පෙම්වතා වෙන්න අවස්ථාවක් නැද්ද?
පෙම්වතා වෙන්න චරිතය ලැබෙනවා. ඒක අනිවාර්යය දෙයක්. හැබැයි ඒ රාමුවෙන් එහා යන්න මම ගොඩක් කැමැතියි. මම කරන ඕනෑම චරිතයකින් මම ඇත්තටම සතුටු වෙනවා.
සැබෑ ජීවිතයේදී ඔබ පෙම් කරනවා කෙනෙකුට,
ඒ අතරට තව කෙනෙක් එනවා.
ඔබ කොහොමද ප්‍රේමය ජයගන්නේ?
ටෙලිනාට්‍යයක් හරි, චිත්‍රපටයක් හරි නම්
ඒකට පිටපතක් තියෙනවා.
නමුත් සැබෑ ජීවිතයට පිටපතක් කියන එකක් නැහැ.
මම හිතනවා දෛවය කියලා පිටපතක් තියෙනවා.
ඒකට අවශ්‍ය විදිහට හැමදේම විසඳෙයි කියලා.
මට අනාගත බලාපොරොත්තු ගොඩක් නැහැ.
ජීවිතය ගලා යන්න ඉඩ දීලා තියෙන්නේ.
ගලන පැත්තට මම යනවා.
ක්‍ෂේත්‍රයට ආවේ ජනප්‍රිය වෙන්නම හිතාගෙනද?
මම ජනප්‍රියත්වය පස්සේ පන්නන කෙනෙක් නෙමෙයි. මම කොතැනක ගියත් කැපී පෙනෙන්න උත්සාහ කරන්නේ නැහැ. මට මගේ පාඩුවේ මගේ නිදහස විඳින්නයි ඕන. මට ඕන ජනප්‍රිය වෙන්න නෙමෙයි, වැඩ්ඩෙක් වෙන්න.
වැඩ්ඩෙක් වෙන්න කලාවම තෝරගත්තෙ ඇයි?
මම ඉස්සෙල්ලා කිව්වේ දෛවය තමයි මාව මෙතැනට ගෙනාවේ. ඒක එහෙමයි කියලා මම හිතනවා. වෙන්න තියෙන දෙයක් වෙන්න තියෙනවා නම්, ඒක වළක්වන්න බැහැ. මම ඉගෙන ගත්තේ වෙන විෂයක්. මම ආවේ වෙනත් විෂයකින්. උසස් පෙළට කළේ ජීව විද්‍යාව. ඒ වෛද්‍යවරයෙක් වෙන්න හිතාගෙනයි. එතැනත් හොඳ ප්‍රතිඵල ලැබුණා. අද වෙනකොට මම උපාධිධාරියෙක්. ඒත් කිසිම රැකියාවක් කරන්න වුවමනාවක් තිබුණේ නැහැ.
ඒ කියන්නෙ මූල්‍යමය පැත්තෙන් ඔබ පොහොසත්?
මට ජීවත් වෙන්න තරම් ඇති කියලා හිතනවා. මොකද මට බොරු ආටෝප නැහැ. පවුලෙන් හොඳ පසුබිමක් ලැබුණා මේ දේවල්වලට. ඉතිං එහෙමයි මේ ජීවිතේ.
පවුලේ විස්තර කිව්වොත්?
අම්මයි, තාත්තයි සිවිල් ඉංජිනේරුවරු දෙන්නෙක්. ඉන්නේ කැනඩාවේ. මල්ලි කෙනෙක් ඉන්නවා, තාම ඉගෙන ගන්නවා.
ජීවිතේ මොකක් කියලද හිතෙන්නේ?
මම හිතන්නෙ ඔය ප්‍රශ්නයට උත්තර හොයා ගත්තා නම්, අපි සෑහෙන්න ඉස්සරහින් ඉන්නේ. ජීවිතෙත් එක්තරා පිටපතක්. ඒ පිටපතට රඟපාන එකයි අපි කරන්නෙ. නොදන්න තිර පිටපතකට අනුව අපි රඟපාන එකයි කරන්නෙ.
තිර පිටපත කවුරු ලිව්වා කියලද හිතන්නේ?
ඒක ලියලා තියෙන්නෙ දෛවය. ඒක අපි කරන්නේ සකස් කරගෙන ඉදිරියට යන එකයි.
සමාජ වෙබ් අඩවිවල ඔබ නිතර දකින්න ලැබෙන චරිතයක් නේද?
ඔව්. මම සමාජ ජාල වෙබ් අඩවි වැඩියෙන් භාවිත කරනවා.
ඒකට ඇබ්බැහි වෙලාද?
ඇබ්බැහි වීමක්ද කියලා හරියට කියන්න බැහැ. නමුත් දුරකථනය නිතරම අතේ තිබෙන හින්දමද දන්නේ නැහැ, ඒ දේවල් පරිහරණය කරන එක වැඩියි. නැතිවුණා කියලා ලොකු හානියකුත් නැහැ.
අවසාන වශයෙන් ඔබේ රසිකයන්ට මොනවද කියන්න තියෙන්නෙ?
ලංකාවේ තාම කලාව ඉතුරු වෙලා තියෙනවා. ඒ කලාව ඉතුරු වෙලා තියෙන්නේ ක්‍ෂේත්‍රයට එන නවකයන් සහ ප්‍රවීණයන් එක්කයි. ඒ නිසා ඒ අයව අතහැරලා දාලා යන්න එපා. වෙන මාධ්‍යවලින් ප්‍රචාරය කරන අපට ආවේණික නොවෙන නිර්මාණ රැසක් තියෙනවා. ඒවා බලන්න. නමුත් ශ්‍රී ලාංකිකත්වයටත් ඉඩ දෙන්න කියලා කියනවා.
================================================

සැබෑ ජීවිතයේදී ඔබ පෙම් කරනවා කෙනෙකුට,
ඒ අතරට තව කෙනෙක් එනවා.
ඔබ කොහොමද ප්‍රේමය ජයගන්නේ?
ටෙලිනාට්‍යයක් හරි, චිත්‍රපටයක් හරි නම් 
ඒකට පිටපතක් තියෙනවා. 
නමුත් සැබෑ ජීවිතයට පිටපතක් කියන එකක් නැහැ. 
මම හිතනවා දෛවය කියලා පිටපතක් තියෙනවා. 
ඒකට අවශ්‍ය විදිහට හැමදේම විසඳෙයි කියලා. 
මට අනාගත බලාපොරොත්තු ගොඩක් නැහැ. 
ජීවිතය ගලා යන්න ඉඩ දීලා තියෙන්නේ. 
ගලන පැත්තට මම යනවා.


දසුන් මේ කියන තිරනාටකය
ඔබෙත් මගෙත් ජීවිතවල සහ
සමස්ත විශ්වයෙම තියනවා.

දසුන් එක වරක් එල්ලිලා බිම වැටුණා.
තිර නාටකයට අනුව ඔහු වැටුණා.
ඔහු මිය යන මොහොත තිබුණේ
ඊට විනාඩි පහකට පමණ පසුවයි.

එතැන් පටන් ඔහුට වෙන දේ
ඔහුගෙ මරණය නිසා අපි කරන කියන දේ
මේ සියල්ලම තිර නාටකයෙ තියනවා.
මේ ලිපිය... ඔබ කිය වීම.. ඔබ සිතන දේ...
මේ සියල්ලම තිර නාටකයෙ සටහන් වෙනවා.

ඔහුගෙ ජීවිතයෙ සිදු වෙන සියල්ලම
ඔහු උපදින මොහොතෙත් ඊට පෙරත්
න්ශ්චිත රටාවකට සිදු වුණා.
මේ මොහොතෙත් ඔහු වෙනත් තැනක
ඒ රටාවට අනුව ගලා යනවා.

කන්දක් මුදුනෙන්
දිය පහරක් මතුවෙනකොට
මුහුදට වැටෙන තැන නිශ්චිතයි.
උල්පතේ සිට මුහුද දක්වාම
දිය පහර යන මග නිශ්චිතයි..

හැම දිය පහරක්ම ගලා බසින්නේ
ඒ මොහොතෙ බැසිය හැකි පහතම තැනටයි.

හැම සත්ව ජීවිතයක්මත් එහෙමයි.

එක නිශ්චිත මොහොතක
විකල්ප ලක්ෂයක් තිබුණත්
අවට වටා පිටාවත්
සත්වයාගේ ස්වභාවයත් අනුව
ඒ මොහොතෙ සිදු වෙන දේට අනුව
ඒ සත්වයා තබන්නේ පහසුම පියවරයි..

ඔබ වුණත් එහෙමයි.
අන් හැම කෙනෙක්මත්... හැම දෙයක්මත්
එක මොහොතකින් ඊ ළඟ මොහොතට
වෙනස් වෙන ආකාරය නිශ්චිතයි..

අද රාත්‍රී නින්දට යන ඔබ
මුලු රෑම ඉරියව් වෙනස් කරන ආකාරය
නිශ්චිතයි..
ඒ ඒ අවස්ථාවල වලදි
පරිසරය සහ ඔබේ ශරීරය අතර
පවතින සබඳතාවය අනුව
ඔබේ කය යම් යම් ක්‍රියා කරනවා.
අහඹු ලෙස පෙණු නත්... අහඹු නෑ.

ඔබ ඉරියව්වක් වෙනස් කරන්නෙ
ඔබට ඉන්න ඉරියව්වෙ ඉන්න පුලුවන්
උපරිම කාලය ගත කළාට පස්සෙයි.

එළි වෙනතුරු
ඔබ කරන හැම දේම
වෙනස පවත්වාගත හැකි උපරිම තැනට ගිහින්
වෙනස් විය හැකි අවම වෙනසට වෙනස් වෙනවා.
මේ නිසා හැම මොහොතකටම
සිදුවෙන දේ නිශ්චිතයි..

උදේ අවදි වුණාම
ඔබේ සිතට එන හැඟීම් හා සිතිවිලිත්
සාධකයක් වෙලා ඒ සාධකයටත් සාපේක්ෂව
නිශ්චිත රටාවකට වෙනස් වෙමින් යනවා.
ඔබ කරන කිසිම දෙයක් නැහැ..

ඔබේ සිතත් කයත් හැසිරෙන විදිය
ඔබ විදියට ඔබ හිතාගෙන ඉන්නවා.

සියල්ලම සිදු වෙන්නෙ
සිතත් කයත් විඳින දේ අනුවයි..
සිහි නැති වෙන්න එන්නතක් දීල
කය ක්‍රියා විරහිත කළාම
ඔබත් නැතුව යනවා.

ඔබේ ඊළඟ මොහොත නිශ්චිතයි.
ඔබ ඉන්න ඉරියව්ව..
ඔබ හිතන දේ... නිශ්චිතයි.
ඔබට විකල්ප කොතරම් තිබුණත්...
ඔබේ මේ මොහොත අනුව
ඊ ළඟ මොහොත නිශ්චිතයි..

යම් මොහොතක
අප අවට වටා පිටාවත්
අප තුළ තියන ස්වභාවයත් අනුව
ඒ මොහොතෙ සිදු වෙන දේට
එහි සිටින හැම කෙනෙක්ම
දක්වන ප්‍රතිචාරය නිශ්චිතයි.

ඊළඟ මොහොත කියන්නෙ
ඒ සියලුම ප්‍රතිචාර අනුව
සකස්වෙන මොහොතක්.
ඒ මොහොත නිශ්චිතයි..
මක්ඛලි ගෝසාල එහෙම කිව්වට
මගේ ඉඳුරන් විසින් මට කරන බලපෑම
ඔහුගෙ දර්ශනයට වඩා බලවත්..

ඔබට ඔබේ හිත
නතර කරන්න පුලුවන්ද?
ඔබේ හිත වැඩ කරන්නෙ
ඔබට අවශ්‍ය විදියට නොවෙයි..
හිත කරන්නෙ හිතට එනදේ..
ඔබ හිතනවා ඔබ කරනවා කියලා.
මම මෙහෙම කියද්දි..
ඔබ ඔය හිතන දේ හිතනවා නෙමෙයි..
ඔබට එහෙම හිතෙනවා.

ඔබ තුළ තියන ස්වභාවය අනුව
මේ මොහොතෙ මගේ වචනවලට
මේ වචන කියවන හැම කෙනෙක්ම
දක්වන ප්‍රතිචාරය නිශ්චිතයි.

මට අනාගතය දකින්න පුලුවනි නම්
ඔබ කියන වචන ටික
අකුරක් ගානෙ කියන්න පුලුවන්..
අඩක් වාදනය කල සංයුක්ත තැටියක
ටෙලි නාට්‍යයක අනාගතය
නිශ්චිතව සටහන් වෙනවා වගේ
අපේ අනාගතය නිස්චිතව පවතිනවා.
අපි මේ කරන කියන හැම දෙයක්ම
තිරනාටකයක් වගේ අපි රඟපානවා.

තිර නාටකය කියන්නෙ
හේතුත් ඵලත් සටහන්ව ඇති රටාවයි..
මුළු විශ්වයම ජාලයක් ලෙස
ඒ රටාවට අනුව ගලා යනවා.
පින් පව්... කුසල් අකුසල්...
නීවරණ... බොජ්ඣ්ංග..
මේ සියල්ල ඒ ඒ මොහොතෙ පවතින
නිශ්චිත රටාවයි..

කුසගින්න ස්වාභාවිකයි..
කුසගින්න ඇති වෙන කොට
කෑම ගැන හිතනවා.
කුසට වඩා දිව පිණවන්නට
ඔබ කැමතියි.
රාගය ඇති වෙනවා.
රස කෑම සොයන ඔබට
විඥාණයෙන් සංස්කාර මතු කරනවා.
අහල පහල ඇති රසකෑම ලැයිස්තු
හිතට එනවා.
දැන් තියෙන්නෙ කාමච්ඡන්ද...
මේ සියල්ල හේතුවත් ඵලයත් ලෙසින්
පටිච්ච සමුප්පන්නව
නියත රටාවකට සිදු වෙනවා.
මේ රටාව දකින්න.
ඔබ කියා කෙනෙක් නැහැ කියා
හැඟෙන තුරුම රටාව දකින්න..

කර්මය වේදිකාව සකස් කරනවා.
අපි ඒ වේදිකාවෙ රඟනවා...
විශ්ව තිරනාටකයට අනුව රඟනවා.

තිර නාටකය කියන්නෙ
හේතුත් ඵලත් සටහන්ව ඇති රටාවයි..
මුළු විශ්වයම ජාලයක් ලෙස
ඒ රටාවට අනුව ගලා යනවා.
පින් පව්... කුසල් අකුසල්...
නීවරණ... බොජ්ඣංග..
මේ සියල්ල ඒ ඒ මොහොතෙ පවතින
නිශ්චිත රටාවයි..

කුසගින්න ස්වාභාවිකයි..
කුසගින්න ඇති වෙන කොට
කෑම ගැන හිතනවා.
කුසට වඩා දිව පිනවන්නට
ඔබ කැමතියි.
රාගය ඇති වෙනවා.
රස කෑම සොයන ඔබට
විඥාණයෙන් සංස්කාර මතු කරනවා.
අහල පහල ඇති රසකෑම ලැයිස්තු
හිතට එනවා.
දැන් තියෙන්නෙ කාමච්ඡන්ද...
මේ සියල්ල හේතුවත් ඵලයත් ලෙසින්
පටිච්ච සමුප්පන්නව
නියත රටාවකට සිදු වෙනවා.
මේ රටාව දකින්න.
ඔබ කියා කෙනෙක් නැහැ කියා
හැඟෙන තුරුම රටාව දකින්න.

ගතිසම්පත්ති, ගතිවිපත්ති,
උපධිසම්පත්ති, උපධිවිපත්ති,
පයෝගසම්පත්ති, පයෝගවිපත්ති
සකස් වන්නේකර්මය අනුවයි..
කර්මය අනුව සකස් වෙන
අලුත් වේදිකාව තුළ
ඒ රංගභාණ්ඩ සහ නළු නිළියන් සමග
අපි නිශ්චිත රටාවකට හැසිරෙනවා.
මේ වෙලාවෙ මා මේ කරමින් සිටින්නෙ
ඇත්තටම මා විසින් කළ යුතුව තිබුණ
මා කරන්නට අවශ්‍ය දේ නොවෙයි..
ඔබත් සමග එක්වීමෙන්
මේ සකස්වූ පරිසරය විසින්
මා මේ මොහොතේ කළයුතු දේ කරන්නට
මා පොළඹවනු ලබන නිසා
මා මේ වචන ටයිප් කරනවා.

අනත්ත කියන
පරමාර්ථ ලක්ෂණය දේශනා කළ මුවින්
අත්තකාර පුරිසකාර කියා කියන්නේ
සම්මුතිය අනුවයි..
පරමාර්ථ වශයෙන්
මම කියා කෙනෙක් නැහැ..

....හේතුව ඵලය හේතුව ඵලය හේතුව
ඵලය හේතුව ඵලය හේතුව ඵලය....

මේ හේතුත් ඵලත් නිශ්චිතයි..
ඔබ රහත් වෙන තුරුම
ඔබේ ජීවිතය ගලා යන මග
නිශ්චිතයි..

....හේතුව ඵලය හේතුව ඵලය හේතුව
ඵලය හේතුව ඵලය හේතුව ඵලය....

කන්දක් මුදුනෙන්
දිය පහරක් මතුවෙනකොට
මුහුදට වැටෙන තැන නිශ්චිතයි.
උල්පතේ සිට මුහුද දක්වාම
දිය පහර යන මග නිශ්චිතයි..

හැම දිය පහරක්ම ගලා බසින්නේ
ඒ මොහොතෙ බැසිය හැකි පහතම තැනටයි.

හැම සත්ව ජීවිතයක්මත් එහෙමයි.

එක නිශ්චිත මොහොතක
විකල්ප ලක්ෂයක් තිබුණත්
අවට වටා පිටාවත්
සත්වයාගේ ස්වභාවයත් අනුව
ඒ මොහොතෙ සිදු වෙන දේට අනුව
ඒ සත්වයා තබන්නේ පහසුම පියවරයි..

ඔබ වුණත් එහෙමයි.
අන් හැම කෙනෙක්මත්... හැම දෙයක්මත්
එක මොහොතකින් ඊ ළඟ මොහොතට
වෙනස් වෙන ආකාරය නිශ්චිතයි..
කිසිවක් නොකර බලා ඉන්න..
ඒ වෙනස්වෙන ආකාරය
ඔබටම දකින්න පුලුවන්..

ඔබ වීර්යය ගැන
විශ්වාස කරනවා නම්
වීර්යයෙන්...
ඔබ කරන සියල්ල නතර කරන්න..
ඔබට ඔබ නතර කරන්න බැහැ..
ඔබට ඔබ නතර කළ නොහැකි බව
නිශ්චිතයි..

ඔබ අද දවස පුරා
ලක්ෂවාරයක් විතර
ඔබේ ඉරියව් වෙනස් කරන්න ඇති..
එයින් කීයක් ඔබ විසින් වෙනස් කළාද?
ඔබ ඉරියව් වෙනස් කළ බව
ඔබ දන්නෙවත් නැහැ.

ඔබත් දිය පහරක් මෙන්
එක ඉරියව්වකඉන් ඊට වඩා පහසු
ඔබට පහසුම ඉරියව්වට මාරු වෙනවා.
සීතල උණුසුම.. මාංශ පේශි...
ඔබ වෙනුවෙන් තීරණ ගන්නවා.
ඔබ එකඟ වෙනවා.
ඔබ ලොක්කා කියා ඔබ හිතනවා.

එක සිතුවිල්ලකින් ඊට වඩා පහසු
ඔබට පහසුම සිතුවිල්ලකට මාරු වෙනවා.
සිතේ ඇතිවෙන රාගය, ද්වේශය...
මතු වෙන නීවරණ
ඔබ වෙනුවෙන් තීරණ ගන්නවා.
ඔබ එකඟ වෙනවා.
ඔබ ලොක්කා කියා ඔබ හිතනවා.

ඔබ ඉක්මවා ක්‍රියා කරන
මේ ගලා යෑමට නතු වී
මම ලොක්ක.. මම කරනවා යයි සිතීම
අහංකාරයයි..

ඔබ පාලනය කරන්නේ
ඔබේ අහංකාරයයි..
කෙලෙස් තියන තුරු මම ඉන්නවා.
මා අනත්ත විස්තර කළාට
කෙලෙස් තියන තුරු
මම ඉන්නවා.

කෙලෙස් සම්පූර්ණයෙන්ම නැති වෙන තුරු
මම නැති වෙන්නේ නැහැ.

විදසුන් වැඩීමෙන්
කෙලෙස් අඩු වෙන විට
මමත්වය දුර්වල වෙනවා.

විදසුන් වඩන කෙනෙක්
සිදුවෙන වෙනස්කම් දෙස
සිහියෙන් හා උපේක්ෂාවෙන්
බලා ඉන්න කොට
තිරනාටකය ඉබේට දිගහැරෙන විදිය
අපටම පෙනෙනවා.
එවිට සත්‍යය පෙනෙනවා.

සැබෑ ප්‍රඥාව ඇතිවන්නේ
විදසුන් වැඩීමෙන්
අනිච්ච, දුක්ඛ, අනත්ත...
තමා තුල දැකීමෙනුයි.

නියති වාදය ලෙස ඔබ දකින්නේ
අනත්ත ලක්ෂණයයි..

අනත්ත ලක්ෂණය...
පිළිබඳ සත්‍යය පිළිගන්න
ඔබේ මමත්වය ඉඩ දෙන්නෙ නැහැ..

ඒත්
ඔබට දැන් ගැටලුව මතු වුණා.
ඔබ අදින් පසුව
මේ ගැන විමසන බව මා දන්නවා.

ඔබ කතාව නතර කිරීමෙන් පෙනෙන්නේ
ඔබ මමත්වය කෙළවර ඇති ප්‍රපාතයෙහි
මුව විට දක්වා පැමිණි බවයි..
මේ මොහොතෙහි ඔබ හැසිරෙන්නේ
ඔබේ ස්වභාවයට අනුව,
ඔබ දන්නා දේ අනුව
තිරනාටකයට අනුව
ඔබ විසින් කළ යුතු දේයි.

තිර නාටකයෙහි ලියැවී ඇත්නම්
නැවත අප හමුවෙයි...

20170926

සංසාරේ හැටිද???


Ranga Deshapriya [[මේ හොඳින් ඉන්න මිනිහට ඊළඟ මොහාතේ කුමක් වෙයිද කියලා කියන්න බැහැ. මනස විකුර්ති වෙන්න පුළුවන්.එක තමයි සංසාරේ හැටි. මම දන්නා හොඳින් සිහිය දියුණු කල භික්ෂුවකුත් තාත්ත වැහිලා කියලා ඇඳුම් නැතිව විටක පාරේ දුවලා තිබෙනවා. අතුල මහත්මයට උනත් මේක වෙන්න පුළුවන්]]
.
අන්න එහෙම වෙන්නෙ ඇයි කියා
බුදුන් වහන්සේ කියා තියනවා රංග.

සංසාරේ හැටි බුදුන් වහන්සේ කියා තියනවා
ඒ නිසා මට එහෙම වෙන්නෙ නෑ.
වෙනවා නම් මගේ පුහුණුවෙ අඩුපාඩුවක්.
පුහුණුව වැඩි කළ යුතුයි.

ඒ නිසා මට මාව අමතක වෙලා
පාරෙ දුවන්න ආවේගයක් ආවොත්
මට ඒ ආවේගය පෙනෙන නිසා
මම පළමු අඩිය තියන්නෙ නෑ.

මනස විකෘති වීම නොවෙයි,
කෙනෙක් සිය දිවි නසා ගන්න හෝ
ඇඳුම් නැතුව පාරෙ දුවන්න හේතු වෙන්නෙ.
මනස විකෘති වීම නොවෙයි.
ඒ විකෘති වීම ඔහුටම නොපෙනීමයි.

ක්‍රෝධය කියන්නෙ මනසෙ සිදුවෙන
ප්‍රබල විකෘතියක්.
ඒ වෙලාවට ඉන්න ඕන විදිය...
සිත මනාව හසුරුවා ගන්නා විදිය
විපස්සනා නමින් හඳුන්වන්නෙ
බුදුන් වහන්සේයි.

“යො වෙ උප්පතිතං කොධං
රථං භන්තං ච ධාරයෙ
තමහං සාරථිං බ‍්‍රෑම්
රස්මිග්ගාහො ඉතරො ජනො”

"සිතෙහි ක්‍රෝධය ඉපදී තිබියදී
ඉතා වේගයෙන් දුවන රථයක් මෙන්
සිත මනාව හසුරුවා ගන්නා තැනැත්තා
නියම රියැදුරකු යැයි මම කියමි.
සාමාන්‍ය රිය එළවන අන් ජනයා
නිකම් තෝන් ලණුව අල්ලන්නෝ ය."

මමත් නිකම් තෝන් ලණුව අල්ලගෙන
ආවෙග මගින් පාලනය වුණ කාලයක්
මගේ ජීවිතෙත් තිබුණා රංග.
ඒත් විදසුන නිසා, බුදුන් වහන්සේ නිසා
මම ඒ වෙලාවට කළ යුතු දේ
දැන් පුහුණු වෙනවා.

මේ ලියන ලිවීමෙනුත්
ඒ පුහුණුව ප්‍රබල වෙනවා.
නැත්නම් මට මෙහෙම ලියන්න ලැබෙන
බාහිර උත්තේජන අඩුයි.
වෙන කාට නැතත් මට ලැබෙන පුහුණුව
මා ළඟ ඉතුරු වෙනවා.
මම සංසාරේ හැටි දකින්නෙ
සමස්තයක් විදියට මා තුළමයි.

සංසාරේ කියන්නෙ ඵලය විතරක් නොවෙයි.
සංසාරේ හැටියට හේතුත් තියනවා.
ඒ හේතු අපි තුළ දකින්න පුලුවනි නම්
අපේ සංසාරේ වෙනස් වෙනවා.

ඒ දැක්ම නැති අය
"සංසාරේ හැටි" කියා නවතිනවා.
බුදුන් වහන්සේ සංසාරේ හැටි
පහදා දුන්නා.
සිහිය දියුණු අය ඒ ටික දකිනවා.

භික්ෂුව තාත්ත වැහිලා කියලා
ඇඳුම් නැතිව විටක පාරේ දුවන්න තියන ඉඩ
මොහොතෙන් මොහොත අඩු වෙනවා.
ඒ වෙලාවට ඉන්න ඕන විදිය...
සිත මනාව හසුරුවා ගන්නා විදිය
විපස්සනා නමින් හැඳින් වෙනවා.

හොඳින් සිහිය දියුණු කල භික්ෂුව කියල
ඔබ දකින්නෙ
සමථයෙන් මෝහය දියුණු කළ කෙනෙක්.
සෝවාන් වුණා රහත් වුණා කියන්නෙ
එවැනි අය තමයි.
ඔවුන් විදසුන දන්නවා නම්
සමථය උගන්වන්නෙ නෑ.
සමථයෙන් උගන්වන්නෙ මෝහය.
මෝහයේ නතරවෙන සංජයලාට
උපතිස්ස ගිය මග පෙනෙන්නෙ නෑ.

ඔබ දන්න භික්ෂුව තාත්ත වැහිලා කියලා
ඇඳුම් නැතිව පාරේ දුවන්නෙ මෝහයෙන්

සෝවාන් වුණා රහත් වුණා කියන අයත්
මුලාවෙලා ඉන්නෙ මෝහයෙන් නම්
අව්වෙ හිටියත් මනස අවුල් වෙනවා.
අව්ව නිසා සිහිය ඇති වෙලා
ඒ මොහොතෙ ද්වේශයෙන් මනස අවුල් වෙද්දි
'සංසාරේ හැටි' කියා මෝහයට වැටෙනවා.

රංග සති ගණන් හැංගිලා ඉන්නෙත් ඒකයි.
එළියට බැස්සොත් හිත අවුල් වෙනවා.

හිත අවුල් වෙන දෙයක් ආවම
ඒක අමතක වෙන මෝහය ඇති වෙනතුරු
'සංසාරේ හැටි' 'සංසාරේ හැටි' කියමින්
හිත සනසා ගන්නවා.

භික්ෂුව තාත්ත වැහිලා කියලා
ඇඳුම් නැතිව පාරේ දුවන්නෙ මෝහයෙන්
"සංසාරේ හැටි" කියා නවතින්නෙ
මෝහයෙන්
.
බුදුන් වහන්සේ සංසාරේ හැටි පහදා දුන්නා.
සිහිය දියුණු අය
'සංසාරේ හැටි' තමන් තුළ දකිනවා.

විදසුන ඇත්තටම වැඩෙන්නෙ
ආවේග පහළ වුණ වෙලාවටයි.
සිහිය සහ උපේක්ෂාව
ඇත්තටම වැඩෙන්නෙ
ආවේග පහළ වුණ වෙලාවටයි.

ආවේගය ඔහු පොළඹවන්නෙ
සිය දිවි නසා ගන්න නම්
ඔහුගෙ ජීවිතය ඒ මොහොතෙ බේරෙන්නෙ
විදසුන නිසායි.

ආවේගය නිසා ඇති වෙන වෙනස
දකින්න තරම් සිහියත්
ඒ වෙනසට උපේක්ෂාවත් තියනවා නම්
සිය දිවි නසා ගන්න බෑ.

සමථයෙන් ඇති කරන මෝහය.
ආළාර කාළාමගෙ මිථ්‍යා විමුක්තිය.

එතනින් එහාට යන්න සිහිය අවශ්‍යයි.
උපේක්ෂාව අවශ්‍යයි.

විදසුන අවශ්‍යයි.

20170925

සිය දිවි නසා ගන්නට සිතන ඔබට...


ජීවිතය තුළ
කොතරම් සිතුවිලි
ඇති වී නැති වී යනවාද?

මේ මොහොතේ අප ගන්නා තීරණයක්
ඊළඟ මොහොතේ වෙනස් වෙන්න පුලුවන්.
ඒ වෙනස් වීම අප නොසලකන්නත් පුලුවන්.

ඒ වෙනස් වීම නිසා ජීවිතය...
නැත්නම් මරණය හිමි වෙන්න පුලුවන්.

වේගයෙන් එන වාහනයට කලින්
පාර පනින්න පුලුවන් කියා
ඔබ ක්ෂණයකට හිතනවා.
වේගයෙන් එන දුම්රිය එන්න කලින්
අනාරක්ෂිත දුම්රිය පාර
ඉක්මවා වාහනය පදවන්න
ඔබ ක්ෂණයකට හිතනවා.

ඊළඟ මොහොත තීරණාත්මකයි.

ඔබ ඒ මොහොත ඉවසීමෙන්
ඔබට නැති වෙන කිසිම දෙයක්
ඔබේ ජීවිතය තරම් වටින්නේ නෑ.

පේරාදෙණියේදී මිය ගිය ගෝමරී
අධ්‍යාපනය විසින් ජීවිතයේ වටිනාකම
කිසිවෙකුට කියා නොදෙන බවත්
ජීවිතයත් මරණයත් අතර ප්‍රශ්න වලට
අධ්‍යාපනයෙන් විසඳුම් ලබා නොදෙන බවත්
අපට පසක් කර දුන්නා..

යොවුන් රුව, කඩවසම් බව, ජනප්‍රියත්වය ආදී
කිසිවකින් සැනසෙන්නට කෙනෙකුට නොහැකි බවත්
තමන්ගේ චරිතය, පෞරුෂය දුර්වල නම්
එක් ක්ෂණයකදී ඇති වෙන සිතුවිල්ලක් මගින්
ගෙල සිරකරදමා ජීවිතය අහිමි කරන්නට
ඉරණම කුරිරු විය හැකි බවත්
දසුන් නිෂාන් අපට කියා දෙනවා.

සිය දිවි නසා ගන්නට ගත් තීරණය
ඔහු තව සුළු මොහොතකට කල් දැම්මා නම්
ඒ නිමේශය ප්‍රමාණවත් වෙන්නට
ඉඩ නොතිබුණා යයි සිතිය නොහැකියි.

සිය දිවි නසාගන්නට එන සිතුවිල්ල
සුරතාන්තය මෙන් තාවකාලිකයි.
ඒ මොහොත ඉක්මවන ජීවිත
මරණය මගහරින්නට සමත් වෙනවා.

රේල් පාරෙ තියපු පය
අවසන් මොහොතේ ආපස්සට ගන්න
ආත්ම දමනය තිබුණොත්
පෙර නිමිති එකක්වත් අදාළ නෑ.

මේ අයුරින් තීරණය කල් දැමීමෙන්
රැකුණ ජීවිත කොතරම් නම්
අප නොදැනුවත්ව අප අතරම
අපටත් වඩා සතුටෙන්
ජීවත් වෙනවා ඇතිද?

කෙනෙක් හෝ දෙයක් නැති නිසා
සිය දිවි එපා වූ මොහොත ඉක්මවූ නිසා
ඒ දේවල් වල වටිනාකමත් ඉක්මවන
වටිනා බොහෝ දේ ඔවුන් සතු වී ඇති.

මරණය යනු
ජීවත් වෙන කිසිවෙකුත්
තමන් වෙනුවෙන් හෝ අනුන් වෙනුවෙන්
ගත යුතු තීරණයක් නොවෙයි.

පෙළඹවීම කොතරම් බලවත් වුවද
තීරණය ජීවිතයත් මරණයත් අතර නම්
ජීවිතය තෝරාගත යුතුය.

ජීවිතය පිළිබඳ තීරණ
හදිසියේ නොගැනීම යහපත්ය.

ජීවිතය පිළිබඳ තීරණ
තනි මතයට නොගැනීම යහපත්ය.

තවත් කෙනෙකුට දැනෙන්නට
ඔබ නැති කරගන්නා ජීවිතය
ඔබට තරම් වෙන කිසිවෙකුටත්
වටින්නේ නැත.
ඔබ නැතැයි කියා අනෙකුත් ජීවිත
නතර වන්නේත් නැත.

ඔබ නතර වන්න, මොහොතකට....

ඔබේ ජීවිතය ඔබෙයි.

ආදරේ කරන්න,
ඔබ,
ඔබේ ජීවිතයට...

  වෙන කවුරුවත්ම නැතත්....


20170916

"ජනාධිපති තාත්තා" සුනිල් මාධව 'සල්ලි' වලට ලියූ පොතක්ද?


"ජනාධිපති තාත්තා" කවුද ලිව්වේ?


"ජනාධිපති තාත්තා" ලිව්වේ සුනිල් මාධව කියන්නෙ ඇත්තද?

සුනිල් මාධවගේ මේ බරපතල ප්‍රකාශය
ඔහු මධුමතින් කල සරල විහිළුවක්ද?
මෙවැනි ප්‍රකාශයක් ඔහු නමින් කියැවෙන බව
සුනිල් මාධව දන්නවාද?

නැත්නම් මෛත්‍රී පාර්ශවය දියත් කළ
බාල මට්ටමේ ප්‍රචාරණ ප්‍රයෝගයක්ද?

ඒකාබද්ධ විපක්ෂයේ වැඩක්ද?

ප්‍රධාන පක්ෂ දෙකේම චන්ද
තම පිළට ගන්නට රෑ දිවා වලි කන
ජවිපෙ ප්‍රයෝගයක්ද?

සුනිල් මාධව කියන්නෙ
එසේ මෙසේ කෙනෙකුගෙ පුතෙක් නොවෙයි.
ඔහුගේ පියා මීමන ප්‍රේමතිලකයි.

මීමන ප්‍රේමතිලක කියන්නේ
කොළඹ යුගයෙ සිටි හොඳම කවියන්ගෙන් කෙනෙක්.
ප්‍රශස්තලේඛකයෙක්, පුවත්පත් කලා වේදියෙක්.

ඔහු මරණයට මුහුණ දුන් ආකාරය
පහත දැක්වෙන කවියෙන් දක්වෙනවා.

 "රුදුරු මරුවා ඇවිත් මගේ ඇඳ ලඟ ගාටත්
ජීවිතයම අවිස්වාසයි අද රෑටත්
දැන්විය යුතුය සොඳුරියෙ මළගම කාටත්
මගෙ සොහොයුරාටත් දරුවන් තිදෙනාටත්."

ඔහුගේ මළගම "ලෝකයට කිවයුතුයි".
එමෙන්ම ඔහුගේ සොයුරාටත් පුතුන්ටත් කිව යුතුයි.

මරණ මංචකයේම මරණය පිළිගත්
මේ සුපතළ කවියාගේ එක පුතෙක්
සුනිල් මාධව.

සුනිල් මාධවගේ පියා කවරෙක්ද යන්න හෝ
ඔහුගේ මධු විතට වහල් වූ පුද්ගලික ජීවිතය
ඔහුගේ ලේඛන කලාවට අදාළ නෑ.
ඒත් ඔහුගේ මානසික තත්වය අදාළයි.

මෙවැනි ප්‍රකාශයක් කළ පසු
ඔහුගේ පසුබිම සාකච්ඡා වීම
වැළැක්විය නොහැකියි.
ඔහු ඇත්තටම ලිව්වාද කියා
විශාල ප්‍රශ්නයක් ඇති වුණාම
ඔහුගේ මානසිකත්වය ලිවීමට සුදුසුදැයි
සලකා බලන්න වෙනවා.
ලේඛකයාගේ මනස පවතින තත්වය
ලේඛන කලාවට ඍජුව බලපානවා.

ඔහුගේ ලේඛන කලාව මධු විෂට දිය වුණා.
ඔහුගේ ආත්මයත් ඒ විෂටම ගොදුරු වුණා.
ඔහු මදයෙන් ප්‍රමාදයට පැමිණි ලේඛකයෙක්.
මේ පොත සුනිල් මාධව ලිව්වා කියනවා නම්
ඔහුගේ දුර්වලතා වලටම ගොදුරු වීමෙන්
ඔහුගේ ලේඛන කලාව පිරිහී ඇත්දැයි
අපට පොත උඩින් පල්ලෙන් බැලුවත්
පහසුවෙන් වැටහෙන කරුණකි.

පොතක් ලිවීමට වඩා
වෙනෙකෙකු ලෙස පොතක් ලිවීම
සාමාන්‍ය ලේඛකයෙකුට අපහසුය.
චතුරිකා සිරිසේන  වැනි ආධුනික ලේඛිකාවක්
මේ පොත ලිව්වා කියා පෙනෙන ලෙස
සුනිල් මාධව සිතා මතාම ලිව්වා නම්
කොතරම් මතට ඇබ්බැහි වුවද,
ඔහු අතිදක්ෂ ලේඛකයෙක් විය යුතුය.

මේ පොත එතරම්ම ආධුනිකය.

එසේ නැත්නම්
ඔහු විසිපන් ලක්ෂයට කෑදරකම නිසා
ඔහුගේ තරමට නොගැලපෙන කෲතියකින්
අනුග්‍රාහකයා රවටන්නට උත්සාහ කොට ඇත.

මේ පොත ඔහු විසිපන් ලක්ෂයක් ගන්නට ලිව්වාද
මේ ප්‍රකාශය විසිපන් ලක්ෂයක් ගන්නට කිව්වාද
කියා සොයා බැලිය යුතුය.
ඔහු සතුව අත්පිටපත් හෝ වෙනත් සාක්ෂි ඇති.

කෙසේ වුවත් මේ ප්‍රකාශයේ
ඇත්ත බොරු බව හෙළිකරගන්නවාට වඩා
පොතේ ප්‍රචාරයට හා අළෙවියට වැදගත් වන්නේ
මේ අයුරින්ම ලේඛකයා කවරෙක්ද යන්න
අභිරහසක් ලෙස නොවිසඳී පැවතීමයි.

කසුන්ගේ ස්ලිට් ගමන සහ පුංචි අම්මාගේ කසාදය
මාධ්‍ය වලින් මුළු රටටම හෙළි වූ පසු
වචනයක් නොකියා මුනි වත රැකි අනුර මෙන්
මෙවැනි අවස්ථාවක කළ යුතු හොඳම දේ
කිසිවක් නොදන්නා පරිදි මුනිවත රැකීමද?

අපට මුනිවත රකින්නට අවශ්‍ය නැති නිසා
අපි නැවත මෙසේ ප්‍රශ්න කරමු.
ඇත්තටම මේ පොත ලිව්වේ චතුරිකාද?

මහින්දගේ විශිෂ්ඨ පුතුන් නිසා
දේශපාලනඥයන්ගේ දරුවන් ගැන
ඔවුන්ගේ සහජ දක්ෂතා ගැන
අපි මේ වන විට හොඳින් දන්නෙමු.

මෛත්‍රීගේ දරුවන් හා ඔවුන් අතර
විශාල වෙනසක් ඇති නමුදු
සමාජයේ ගැවසීමට හා කැපී පෙනීමට
චතුරිකාගේ ඇති ආශාව නම්
ඇගේ ඇඳුම් පැළඳුමෙන් හා චර්යාවෙන්
මානාව හෙළිවන්නේය.

ඇය මෛත්‍රීගේ දියණියක් කියා අපි සිතන්නේ
ඇගේ යම් යම් දුර්වලතා මැද වුවත්
මෛත්‍රීගේ දියණියකට ගැලපෙන තරමට
ශීලාචාරව හැසිරෙන බැවිනි.
එසේ වුවද වඩාත් සරලව වෙසේන්
අනික් දරු දෙනාට අපි ඇයට වඩා ගරු කරමු.

කෙසේ වුවත් ඉතා ආයාසයෙන් රචිත බව හැඟෙන
මේ කෘතිය ඇගේ නිර්මාණයක් නම් ඇය දක්ෂයි.

ගැහැණියකගේ ශෛලියෙන් ලිවීමෙන්
ගැහැණු රුචියෙන් කළ තෝරා ගැනීම් වලින්
මේ පොත ගහණ වුවත් ලියා ඇති තොරතුරු
සත්‍ය තොරතුරුම නම් අපි ඇයට ගරු කරන්නේ
මේ තොරතුරු ලබා දීම මතයි.

මේ පොත චතුරිකා සිරිසේන  වැනි
ආධුනික ලේඛිකාවක් ලිව්වා නම්
අති විශිෂ්ඨ කෘතියකි.
කෘතිය විශිෂ්ඨ නිසා නොවේ.
වෑයම සහ ඉදිරිපත් කිරීම
විශිෂ්ඨ නිසාය.

සුනිල් මාධව සැබැවින්ම ලිව්වාද?
නිතරම බීගත් ගමන් පසුවෙන බේබද්දෙකු වූ
සුනිල් මාධව ප්‍රේමතිලක මිලට ගන්නට
විසිපන් ලක්ෂයක් අවශ්‍යද?

බේබද්දෙකු මිලට ගන්නට එක බෝතලයකුත් ඇති.
පදමට වැදුණ පසු ඔහු ඒ මදු විත වෙනුවෙන්
බොහෝ දේ කරන්නට සූදානම්ය.

මේ මධුමතින් කල සරල විහිළුවක්ද?
සුනිල් කිව්වේ එවැනි කතාවක් නොවේ නම්
ඇත්ත හෙළි කරන්නට දැන් ප්‍රමාද වැඩිය.

"මා එහෙම කිව්වේ බොන්න දුන් නිසාය" කියන්නට
කොතෙක් බොන්න දිය යුතුදැයි අප නොදනිමු.
එවර ඔහු විකුණන්නේ ඔහුගේම ආත්මයයි.

සුනිල් දේශපාලනඥයන් මත යැපීම
සමාජයට අලුත් දෙයක් නොවේ.


ප්‍රවීන පුවත්පත් මාධ්‍යවේදියකු වූ සුනිල් මාධව ප්‍රේමතිලක මහතාගේ සුවදුක් බැලීම සඳහා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සුනිල් මාධව ප්‍රේමතිලක මහතා  පදිංචිව සිටින නිවස වෙත ගියේය.

සුවදුක් විමසීමෙන් අනතුරුව සුනිල් මාධව ප්‍රේමතිලක මහතා වෙත ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා, ඔහුගේ ප්‍රතිකාර කටයුතු සඳහා අත්‍යවශ්‍ය වියදම් වෙනුවෙන් මූල්‍යමය ආධාරයක් ද පිරිනැමීය.
.
දේශපාලන පක්ෂ ඔහු භාවිතා කිරීම
සාමාන්‍ය දෙයක් විය.
ජවිපෙ තරම් ඔහු භාවිතා කළ පක්ෂයක්
වෙනත් ඇත්තේ නැත.
ඔහු ගැන දන්නේ ඔහු සමග ජවිපෙට වැඩ කළ
ජයලාල් රෝහණ වැන්නවුන්ය.


සමහරු මෙසේ අසති. (ජයලාල් රෝහණ කියයි.)

"ඇයි සහෝදරයා සුනිල් අයියා ගැන හිතන්නේ නැත්තේ?" ‍උත්තරය...

"මේකයි සහෝදරයා එයා ඩ්‍රින්ක් එක ගන්නවනේ, කොහොම ද පක්ෂෙ ප්‍රතිපත්ති එක්ක තැනකට ගෙනියන්නේ?"

"එහෙනං ඒ දවස්වල වේදිකාවට නග්ගන කොටත් එයා එහෙමනේ. එතකොට ප්‍රතිපත්තිවලට මොකද වුණේ?"

"මේකයි සහෝදරයා ධනවාදී ආකෘතිය තුළ අපි ඒ ගොල්ලන්ව පාවිච්චි කළා."

'සුනිල් අයියාට' අත් වූ ඉරණම ඒකයි.

මේ ජයලාල් රෝහණ ඔහු ගැන ලියූ සටහනක් තවත් කොටස් කිහිපයක්..

1985 පමණ වන විට මම එක්තරා දේශපාලන පක්ෂයක සාමාජිකත්වය දැරුවෙමි. කෝට්ටේ පාගොඩ ආනන්ද බාලිකා මාවත [එවකට පස්වන පටුමග] වරක් රතු කොඩි වලින් ‍පිරී ගියේය. "ශාන්ත බණ්ඩාර ස‍හෝදරයා එනවා" බොහෝ දෙනා කියවන්නට විය. ආනන්ද බාලිකා මා‍වතේ ආණ්ඩුවේ පයිප්ප තුනක් විය. එකක් ආනන්ද බාලිකාව ළඟය. අනෙක ගුණසිරි අයියාගේ ගෙය ළඟය. අනෙක මාවතේ කෙළවර අමරසිංහ ගේ නිවස ළඟය. මේ ස්ථාන තුන අසළ ශාන්ත බණ්ඩාර සහෝදරයා ඇතුළු පිරිස-

-ඉතා ශූර විලාසයෙන් රැස්වීම් පවත්වමින් ජනතාව ඇමතුවේය. ඒ අතර එකෙකු මගේ කරට අතදාමින් "මල්ලි මට පුංචි උදව්වක් කරනවද?" යි ඇසුවේය. ඔහුට අවශ්‍යව වූයේ පෑනක් සහ කඩදාසියකි. නිවසට ගොස් එය ගෙනැවිත් දෙන අතර ඔහු මා සමඟ විය. ඒ ටිකට මට කොක්ක ඇමිණී අවසානය.

එදා ඒ විප්ලවකාරී දේශපාලන පක්ෂය විසින් සාමාජිකයින් එකතු කළේ අන්න ඒ ආකාරටයි. කාලය ගෙවී යමින් 1987 උදා විය. අපි නාට්‍ය කලාවේ ක්‍රමයෙන් හිස ඔසොවන පිරිස වීමු. 1987 දී යෞවන සම්මාන දිනා ගන්නා විට මට වයස අවුරුදු විසි තුනකි. පොත් පත්තර කියවීම විනෝදාංශය කරගත් අපට කවදාවත් අමතක නොවන නමක් වූ සුනිල් මාධව ප්‍රේමතිලක අහම්බෙන් මෙන එක්තරා පත්තර කන්තෝරුවක දී මට මුණ ගැසුනි.

"කවුද මල්ලි සොයන්නේ?" ඒ ඔහුය.

මට ඔහුව හරියට හඳුනා ගත නොහැකිය.

"මම හොයන්නේ ... අහවලා..." කියමින් ඉදිරියට ඇදුනෙමි.

"උඹගෙ නාට්‍යය මරු මචං, ඒකේ සුරා කෑම ගැන නියමෙට කියවෙනවා."

"ඇත්තමයි මල්ලි මං බැලුවා... " ඔහු දිගටම පවසයි.

"මං චූටි එකක් අරගෙනයි උන්නේ..." ... මම කල්පනා කළෙමි‍.

මචං, මල්ලි, චූටි එකක්, ඒ අතර ඇස් දෙක වරින් වර ගැස්සීම ... ඒ වචන කෝෂය මට තරමක් හුරුය. මම ඔහුට කතා කළෙමි.

"මං පුංචි ප්‍රශ්නයක් අහන්නං අයියේ?"

"ඔව් මල්ලි"

"ඔයා .... සුනිල් මාධව ද?"

"ඔව් බං ... ඇයි මාව මතක නැද්ද අපි මීට කළින් හම්බු වුණේ?"

සමහර විට අප මීට පෙර හමුවී නැත. එහෙත් සුනිල් අයියා කුළුපග බව රැක ගන්නට එසේ කියන වග මට හොඳින් වැටහුණේ තරමක් කල් ගෙවුණු පසුයි.

"මං මේ අහන්නමයි හිටියේ අයියාගේ තාත්ත ද මීමන ප්‍රේමතිලක කියන කවියා?"

"හ්ම්හ්... උඹ එහෙනං අපේ තාත්තා ගැනත් දන්නවා ඈ!"

"ඔව් මම දවසක් කඩල ගොට්ටක් කාල කොලේ කියවද්දි ඔයාගේ තාත්තගෙ කවියක් කියවන්න ලැබුණා. ඒක මගේ ජීවිතේ අහපු හොඳම කවි වලින් එකක්."

රුදු මරුවා ඇවිත් මගේ ඇඳ ළඟ ගාටත්
ජීවිතයම අවිස්වාසයි අද රෑටත්
දැන්විය යුතුයි සොඳුරිය මළගම කාටත්
මගේ සොහොයුරාටත් දරුවන් තිදෙනාටත්

"හරි‍ නේද?" ඔහු ඉතා ආසාවෙන් මා දෙස බලා සිටියේය.

"තාම මතකයි නේද?..." ඔහු එක එල්ලේ මා දෙස බලා සිටියි.

"අපි බොමු මල්ලි ප්ලේන්ටියක්." කියමින් ඔහු සාක්කුවට අත දා මාරු සල්ලි කිහිපයක් හිතවතෙකුට දෙයි. මම තව තවත් ඔහු සමග කියවමිනි.

"මම ඔය කවියට ආස කරන්නේ, ඉතාමත් අසීරු එළිවැට රැකීම නිසයි. ඒ වගේම කවිය ලියල අතේ තියාගෙනම ඔහු මිය ගිය එකයි. මරණය අභියස දී කවියෙන් දැකීම පුදුම කවියෙක් නේද?"

එදා ඉඳන් සුනිල් අයියාත් අපිත් අතර හිතවත්කම් වැඩි දියුණු විය.

ඔහුගේ අනෙක් දුර්වලකම [සත් ගුණය] නම් තමා ඉදිරියට පැමිණ දුක් වේදනා කියන හැම කෙනෙක් ම පිළිගැනීමයි. විශ්වාස කිරීමයි. මේ කාළකණ්නි සමාජයේ සිටින දුර්දාන්ත මුදලාලිලා කපටි කුහකයෝ සුනිල් අයියා සමග මීවිත තොල ගෑවේ ඔහුට ඇති ආදරයකට නොවෙයි. පොත් පත් නොකියැවූ ඔවුන් සුනිල් අයියා‍ගේ දැණුම වක්‍ර ආකාරයකින් ලබා ගත්තේ ඒ මාර්ගයෙනි. මේ පුද්ගලයා කිසිම ලෝබ කමක් නැතිව වට වූ සෑම කෙනෙකුටම යමක් කියා දෙයි. ඔවුන් පසුදා උදේ පත්තර කන්තෝරු වලට ගොස් ඊයේ රෑ සුනිල් අයියා කියා දීපු දේවල් හරියටම තමන් කියවා ලැබූ දැනුම වාගේ සෙස්සන්ට කියන්නට විය. පිටවෙන්නේ සුනිල් අයියාගේ වචනයි.

වර්තමානයේ අමනයෝ මේවා උගැන්වීම් හැටියට නොගනිති. ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයා ඉදිරියේ ඇඳිවත උණා අපර් එකක් ගත්ත කෙල්ලෙක් ඉන්පසු කථිකාචාර්යවරියක් වී පොත් බලාගෙන උගන්වන විශ්වවිද්‍යාල දේශනවලට උගැන්වීම යැයි කියති.

ඉහත කී දුර්වලතාව සුනිල් අයියා තුළ තවමත් රජ කරයි. ඕනෑම එකෙකු විශ්වාස කිරීම නිසා ඉතා ඉක්මණින් කළකිරෙන ඔහු නැවතත් නිවෙසට වී කල්පනා කරයි. ඔහුගේ පිහිට පතමින් ඔහුගේ නම විකුණමින් ජනතාවගේ මුදලින් 'පත්තර' ආරම්භ කළ සමහර නිවටයෝ පසුකාලීනව සුනිල් අත හැර දමා දේශපාලන වේදිකාවේද අර බොරුවම කළේය. ජනතාවද රැවටුණි. සමහරු ඇමතිකම් දැරීය. සමහරු වර්තමානයේ පාර්ලිමේන්තුවට වැදී බණ දෙසති. ‍මේ සියළු දෙනාම සුනිල් අයියාට සදාකල් ණයගැතිය.

2001 මැතිවරණයේදී මට නැවතත් 'සුනිල් අයියා' මුණ ගැසුණේ අපූරු විදියකටය. ඒ නුගේගොඩ ජනතා විමුකති පෙරමුණ විසින් සමාජවාදී කලා සංගමය යටතේ පැවැත්වුණු මහා රැස්වීමේදීය. මුළු රැස්වීම සඳහා එදා විශාල ජනකායක් පැමිණ සිටියහ. එහෙත් වේදිකාවට නගින්නට සිටියේ කලාකරුවෝ කී දෙනාද? පරාක්‍රම කොඩිතුවක්කු, ගුණදාස කපුගේ, ඩබ් එස් විජේසිංහ, සුනිල් මාධව, රංජිත් බාලසූරිය, උදය ආර් තෙන්නකෝන් සහ මමයි. ලූෂන් බුලත්සිංහල, හර්ෂ බුලත්සිංහල, රනිල් මල්ලවආරච්චි පසුව වේදිකාවට පිවිසුණි. ප්‍රේමසිරි කේමදාස මහතා එනවා ය කීවත් එහු අසනීප යැයි පැවසීය. එවකට පැවති ආණ්ඩුව යූඇන්පී යයි. මේ නිසා සමහරු බයෙන් තැති ගත්හ. ජවිපෙ වෙනුවෙන් අපි නිර්භයව වේදිකාවේ කතා කළෙමු.

වේදිකාවෙන් බැස සතියක් ගෙවෙනවාත් සමගම පරාක්‍රම කොඩිතුවක්කු ජවිපෙ දුර්වලතා කියමින් පත්තරවල ලිපි දෙකක්ම පළ කරවා තිබුණි. පරාක්‍රම කැඳවාගෙන ඒම සඳහා ජවිපෙන් රත්නපුරයට වාහනයක් යවා තිබිණ. ඔහු ආපසු ගියේද එම වාහනයෙනි. එය පරාක්‍රමගේ කොන්දේසියකි. සෙස්සෝ බස් රථ වලම එතැනට පැමිණියහ. සුනිල් අයියාද එදා ඉතාමත් ආවේගශීලි ලෙස තම අදහස් ප්‍රකාෂ කරමින් ජවිපෙට ඡන්දය ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය. වේදිකාවෙන් බහිනවාත් සමගම පරාක්‍රම ඇසුවේ වාහනය කෝ කියාය. ඩිමාන්ඩ් කරන මිනිහාට ජවිපෙන් සළකනු ලැබීය.

සමහරු මෙසේ අසති.

"ඇයි සහෝදරයා සුනිල් අයියා ගැන හිතන්නේ නැත්තේ?" ‍උත්තරය...

"මේකයි සහෝදරයා එයා ඩ්‍රින්ක් එක ගන්නවනේ, කොහොම ද පක්ෂෙ ප්‍රතිපත්ති එක්ක තැනකට ගෙනියන්නේ?"

"එහෙනං ඒ දවස්වල වේදිකාවට නග්ගන කොටත් එයා එහෙමනේ. එතකොට ප්‍රතිපත්තිවලට මොකද වුණේ?"

"මේකයි සහෝදරයා ධනවාදී ආකෘතිය තුළ අපි ඒ ගොල්ලන්ව පාවිච්චි කළා."

'සුනිල් අයියාට' අත් වූ ඉරණම ඒකයි.

දැන් වීප්ලවීය පක්ෂවලට සුනිල් වැන්නවුන් උවමනා නැත. ආයෙත් දවසක අන්ත කඩා වැටීමකට පත් වි ඔවුන් 'සුනිල් අයියා' සොයා ගෙන එනු ඇත. එවිට ඔහු මෙසේ කියනු ඇත.

"පව්... මල්ලී ... මචං උන්‍ දුකේ ඉන්නේ..." [ඇස් වේගයෙන් ඇරෙයි, වැහෙයි] "මට කතා කළා ... ආයෙත්. මේ වෙලාවේ උදව් කරන්න එපායැ. අපි නගිමු වේදිකාවට. නැගල මේ සූරා කෑමට විරුද්ධ හඩ නගමු."

අර බොරුකාරයින්ට ඔහු අනුකම්පා කරනු ඇත. ඔවුන් නැවතත් ධනවාදී ආකෘතිය ගැන කතා කරනු ඇත. සුනිල් අයියා ආයෙත් පාවිච්චි වෙනවා සිකුරුයි.

‍අනේ සුනිල් අයියේ ආයෙත් කවදාවත් එහෙම වෙන්න එපා. උන් අපිට වඩා සදාචාරෙයි ප්‍රතිපත්තියි දෙකම නැති කරගත් එවුන්.

උපුටනය-
"සුනිල් මාධව- පෙරමුණක් නැති සෙනෙවියෙකුගේ කගපතක මුවහත"

'පෙරමුණක් නැති සෙනෙවියෙකුගේ කගපතක මුවහත' සුනිල් මාධව ප්‍රේමතිලක උපහාර උළෙල නිමිති කොට ගෙන 'අටවෙනි පිටුවෙන් ඔබ්බට සහෘද සංසදය' විසින් ප්‍රකාශයට පත් කරන ලද ග්‍රන්ථයකි. 2005 සැප්තැම්බරයේ මෙම උළෙල බණ්ඩාරනායක සම්මන්ත්‍රණ පරිශ්‍රයේ එලිමහන් ‍පීඨිකාවක පැවැත් වුණි. මෙහි උපුටා පළ කෙරෙන ලියවිල්ල එකී ග්‍රන්ථයට ජයලාල් රෝහණ විසින් ලියන ලද්දකි.

දැන්
"ජනාධිපති තාත්තා" ලිව්වේ තමා යැයි
සුනිල් මාධවම කියනවා නම්
සුනිල් මාධවගේ මේ ප්‍රකාශය "බීමත්" ප්‍රකාශයක්ද?
මීවිතක් දී ප්‍රයෝගයකින් කියවා ගත් ප්‍රකාශයක්ද?

මෙවැනි ප්‍රකාශයක් ඔහු නමින් කියැවෙන බව
සුනිල් මාධව දන්නවාද කියා සෙවිය යුතුය.


===================================================
හෙන්රි වර්ණකුලසූරිය සොයාගෙන ඇත.
 මේ කතාව පැතිරවූ වෙබ් අඩවියට
නඩු පවරා සුනිල් මාධවට වන්දි ලැබිය හැකි
බරපතළ වරදක් එමගින් සිදු කර ඇත.
මේ සඳහා අදාළ නීති මොනවාද?

අන්තර්ජාලය දූෂණය කරන
බාල පහත් පෙළේ වෙබ් අඩවි වලින් මිදී
වගකීමක් සහිත වෙබ් අඩවි කරා
යොමු වීමට ලාලය එළඹ ඇත.