විද්‍යාවෙත් ගණිතයෙත්
තේරුම් ගත යුතු ප්‍රායෝගික කොටස්
ඈතම අතීතයේ පටන්ම
මිනිසා භාවිතා කළා.
ආකිමිඩීස් හෙලුවෙන් දුවන්න
වසර දහස් ගණනකට පෙරත්
මිනිස්සු ගහක කඳක් හාරලා
ඝනත්වය අඩු කරගෙන
වතුරෙ පැද්දා.
මිනිසා අංග විකල කරන උපකරණ තැනීමත්
ශරීරයට අනවශ්‍ය රසායනික ද්‍රව්‍ය
ආහාර මාර්ගයෙන් සහ රෝග ප්‍රතිකාර මගින්
කයට එකතු කරලා දූෂණය කිරීමත් හැර
මිනිසාගේ මානසික ප්‍රශ්න විසඳීමට
විද්‍යාව දායක වී තියනවාද?
ඒ අඩුව පිරෙන්නෙ ආගම් වලින්.
බුදුන් වහන්සේ නිවන හෙව්වා කියන
විශාල පිරිසක් බොදුනුවන් අතර ඉන්නවා.
ආකිමිඩීස් සොයාගත්තෙ යුරේකා කියල
ඔවුන්ගෙන් ඇහුවොත් ඔවුන් කියාවි.
මේ විද්‍යාඥයින් දෙදෙනාම සෙව්වෙ
ප්‍රායෝගික ප්‍රශ්න දෙකකට විසඳුම්.
ඒ විසඳුම් ප්‍රායෝගිකයි.
ඒත් අද ඉන්නෙ ඒ විසඳුම් වල
තියරිය පාඩම් කරන ගිරව් රංචුවක්.
පාසලේ උගන්වන විද්‍යාව සහ ගණිතය
ඉතාම සරල ඉගැන්වීම් පෙළක්.
බහුතරයක් ගුරුවරු අදක්ෂ වීම
සිසුන්ට, දෙමාපියන්ට අරමුණු බහුල වීම
පාසල්වල විනය පිරිහීමත් ආදී
බාහිර හේතු මත නේද
ළමයි පාසල් විෂය වලින් අසමත් වෙන්නෙ.
මේ අසමත් වෙන පිරිස
දහම තේරුම් ගන්නෙත් නෑ.
ඒ සඳහා අවශ්‍ය සීලය, සමාධිය
ඔවුන් තුළ ඇත්තෙ නෑ.
දවස පුරාම දොස්තරවරු හමුවෙන්න
පෝලිම් ගානෙ රස්තියාදු වෙන පිරිස
විද්‍යාව ගණිතය සමත් වූ පිරිසක්ද?
ඒ පෝලිම් වල ඉන්නෙත් පෝයට පන්සල් යන
ඉරිදට පල්ලි යන අයම තමයි.
මානසික ප්‍රශ්නවලින් අසරණ වුණාම
දෙවියන් අදහමින් පස්සෙන් දුවනවා.
කායික ප්‍රශ්නවලින් අසරණ වුණාම
දොස්තරවරු අදහමින් පස්සෙන් දුවනවා.
ප්‍රශ්න අමතක කරන්න
ආගම් පස්සෙ යන අයට දහම තේරෙන්නෙ නෑ.
ඔවුන්ට ලැබෙන්නෙ ආගමික පැනඩෝල් එකක්.
දොස්තරලා පස්සෙ යන අයටත් රෝග ගැන,
ඖෂධ ගැන, දැනුමක් ඇත්තෙ නෑ.
පැනඩෝල් වගේ සරල පෙත්තකින්වත්
කය තුල සිදුවෙන්නෙ කුමක්ද කියා
ඔවුන්ට හැඟීමක් ඇත්තෙ නෑ.
පැනඩෝල් වලින් රෝග සුව වෙනවා
කියා හිතන දහස් ගාණක්
බෑග් එකේ පැනඩෝල් තියන් ඉන්නවා.
මල් පහන් පිදීමෙන්, සිල් ගැනීමෙන්
සමාධිය වැඩීමෙන් නිවන් දකිනවා කියා
විශ්වාස කරන උපාසකම්මලා වගේම
රෝග සුව කරගන්න හිතාගෙන
පැනඩෝල් බොන උගත් නෝනලාත්
එක වගේම මුලාවක ඉන්නෙ.
සීලයෙන් සමාධියෙන් යා හැකි දුර දන්න අය
ඒ මාර්ගයෙ යන්න හැකිතරම් දුර ගිහින්
ප්‍රඥා මාර්ගයට පිවිසෙනවා.
තාවකාලික ප්‍රථමාධාරයක් විදියට
පැනඩෝල් වලින් හිසේරදයට නිර්වින්දනය වෙලා
සැබෑ රෝගයට ප්‍රතිකාර ගන්න අයත් ඉන්නවා.
විද්‍යාව ගණිතය ගිරව් වගේ පාඩම් කළත්
බුදු දහම ගිරවෙක් වගේ පාඩම් කළත්
සහතික ගන්නවා හැර වෙනසක් වෙන්නෙ නෑ.
ජීවිතේ සැබෑ වෙනසක් අවශ්‍ය අය
ආකිමිඩීස් වගේ හෙලුවෙන් දුවන තැනට
විද්‍යාව තේරුම් ගත යුතුයි.
දහමෙන් සැබෑ වෙනසක් අවශ්‍ය අය
කිසා ගෝතමී පටා චාරා වගේ
ජීවිත ගමනෙදි හිර වුණාම
දහමෙන් පිහිට සෙවිය යුතුයි.
විපස්සනා පාඨමාලාවකට ඇවිත්
ජීවිතේ පරිවර්තනය වෙලා
අලුත් මිනිසුන් වගේ පිට වෙලා යන්නෙ
ජීවිතේ දුකක් වෙලා ආව අය.
ඔවුන් සැප සොයන්නෙ නෑ.
ඔවුන් හොයන්නෙ දුකෙන් මිදෙන මගක්.
සැප සොයන අයට ප්‍රඥාව හමුවෙන්නෙ නෑ.
ප්‍රඥාව අවශ්‍ය දුකෙන් මිදෙන්නයි.
එන්නතක් අරන් ඔබ ළඟට එන දොස්තර
ඒ එන්නතෙන් වෙන දේ පරීක්ෂා කරල නෑ.
ඔහු එන්නත පරීක්ෂා කරන්නෙ ඔබට විදලා.
"ඇවිත් ප්‍රතිඵල කියන්න" කියන්නෙ ඒ නිසයි.
මම රහත්, මම සෝවාන් කියන
ආගමික පූජකයනුත් එහෙමයි.
ඔවුන් රහත් සෝවාන් කියා තහවුරු කරගන්නෙ
ඔවුන් වටේ රැස්ව සිටින අයගේ සාදුකාරයෙන්.
විද්‍යාව වගේම දහම හමුවෙන්නෙත්
දුකෙන් මිදීමක් හොයන අයටයි.
සැප හොයන අය ව්‍යාපාරිකයන්ට රැවටෙනවා.
ඔවුන් ඔබව සූරා කන්න කලින්
සැප සම්පත් ලබාගන්න මග පෙන්වලා
ඔබ අංග විකල කරනවා.
විද්‍යාවෙන් සැප හොයන අයට උපකරණ හමුවෙනවා.
සැබෑ විද්‍යාව ගණිතය හමුවුණේ
ඒ මාර්ගයෙන් විසඳාගන්න ප්‍රශ්න තිබුණ අයටයි.
ඔබට හමුවෙන්නෙ ඒ සොයා ගැනීම්වලින්
මුදල් උපයන ව්‍යාපාරිකයන්.
සැබෑ දහම සැබෑ නිවන් මග හමුවෙන්නෙත්
දුක කියන්නෙ මොකක්ද කියා
ජීවිතයෙන්ම තේරුම් ගන්නා අයටයි.
දහමෙන් නිවන් සොයන අයට
පුදපූජා, සමථ භාවනා හමුවෙලා නවතිනවා.
විද්‍යාවෙන් ගණිතයෙන් අසමත් අය
දහම ඉදිරියෙත් අසමත් වෙනවා.
විද්‍යාව ගණිතය අවබෝධයෙන්
ප්‍රායෝගිකව ප්‍රයෝජන ගන්න අය
ඒ දෙකෙන් වගේම දහමෙනුත්
ප්‍රායෝගික ප්‍රයෝජන ගන්නවා.
විද්‍යාව ගණිතය අසමත් නම්
දහමත් අසමත්.