20130102

ජීවිතයම DESIGN එකක්

http://thepeoplestownproject.com/wp-content/themes/peoplestown/images/headers/magnifying-glass.png
සැමියා, බිරිඳ, දරුවන්,
මව, පියා, නෑදෑ හිත මිතුරන්,
නිවස, රැකියාව, වාහනය,
ආහාර පාන, ඇඳුම් පැළඳුම්,
විනෝදාංශ ඇතුළුව
මා අවදියෙන් සිටින විට
මගේ අවධානයට ලක්වෙන
සියළුම දේට
මා විසින්ම නියම කරන
පාවෙන අගයක් ඇත.

මාද එසේම
ප්‍රති-තක්සේරුවකට
බඳුන් වන බව
මම දනිමි.

මට අවශ්‍ය හා අනවශ්‍ය දේ
තීරණය කරණවිට
මාද ක්‍රියා කරන්නේ
ඕනෑම තිරිසන් සතෙකු
තීරණ ගන්නා අයුරින්
අත්තනෝමතිකවමය.

අන් තිරිසන් සතුන් මෙන්ම හැසිරෙමින්
මට අවශ්‍ය හා අනවශ්‍ය දේ
මා තක්සේරු කරන්නේ
සරල කරුණු දෙකක් මතය..

1, 0 සිට 100% ප්‍රිය අප්‍රිය භාවය
2, 0 සිට 100% උපයෝගිතාවය

මට අවශ්‍ය හා අනවශ්‍ය දේ
තක්සේරුව සඳහා මා තුළ ඇති
මේ කුසලතාවය හෝ දුර්වලතාවය
තිරිසන් සතුන්ට මෙන්ම
සියයට සියයක්ම ස්වාභාවිකය.

ඔබ මේ මොහොතේ
මගේ මෙම වචනත්
තක්සේරු කරමින් සිටියි.

මේ වචන ඔබට ප්‍රියද?
අප්‍රියද?
මේ සත්‍යය ඔබට අති
උපයෝගීතාවය කුමක්ද?

අවදියෙන් සිටින හැම මොහොතකම
අප අසන, දකින, සිතන, ගැටෙන
හැම කෙනෙක්ම, හැමදෙයක්ම
අප සිත සතුව ඇති
ස්වයංක්‍රීය ස්කෑන් යන්ත්‍රය මගින්
එක් නිමේෂයක් තුළ හෝ
කාලාන්තරයක් තිස්සේ
ස්වයංක්‍රීයව
තක්සේරු වන්නේය.

අපට බැඳී ඇති සියල්ල
අපට බැඳී ඇත්තේ
ප්‍රිය අප්‍රිය භාවය
හා උපයෝගිතාවය යන
වෙනස්වනසුලු රැහැන් දෙකෙනි.

හැම දෙයක් ගැනම
අප තීරණ ගත යුතේ
සියයට සියයක්ම
උපයෝගිතාවය මතය.

එහෙත්
අප උපයෝගී කරගන්නා
හැම දෙයක් තුළම
සියයට සියයක්ම
අප සොයන්නේ
ප්‍රිය අප්‍රියභාවයයි.

ප්‍රිය නම්
ඕනෑම දෙයක් හෝ කෙනෙක්
ළං කරගන්නටත්
අප්‍රිය නම්
ඕනෑම දෙයක් හෝ කෙනෙක්
ඈත් කරන්නටත්
අපේ ස්වයංක්‍රීය සිත
අපට බල කරයි.

මෙම බල කිරීමේදී
හැමවිටම වාගේ
සිතේ ස්වයංක්‍රීය බව
අපට නොපෙනෙන බැවින්
ස්වයංක්‍රීය සිත ජය ගනියි.

උපයෝගීතාවය ඉහළ අගයක් දරන්නාවූ
කෙනෙකු හෝ දෙයක්
ප්‍රිය අප්‍රියභාවය මත තීරණ ගෙන
අපෙන් ඈත් කරන්නට සිදුවූ විට
අපට සංකීර්ණ ගැටළු ඇතිවෙයි.
[දහම, අධ්‍යාපනය, නීති රීති, විනය, විවාහය,
රැකියාව, හොඳ පුරුදු, සංවර බව, ශීලාචාර බව ]

උපයෝගීතාවය පහළ අගයක්
දරන්නාවූ කෙනෙකු හෝ දෙයක්
ප්‍රිය අප්‍රියභාවය මත තීරණ ගෙන
ඇසුරු කරන විටද
එවැනිම සංකීර්ණ ගැටළු ඇති වෙයි.
[ ආගම, දේශපාලනය, නරක මිතුරන්, විවාහය,
රැකියාව, නරක පුරුදු, විනෝදාංශ, ]

අප ගන්නා තීරණ මත
අපේ ජීවිතය පහසු වන විට හා අපහසු වන විට
එසේ සිදුවන්නේ කෙසේදැයි
පුළුල්ව  දකින්නට තරම්
පුළුල් සිහියක් ඇති කෙනෙකු තුළ
ප්‍රඥාව පහළ වෙයි.

තමා ගත් තීරණ වලදී
ප්‍රිය අප්‍රිය භාවය
හා උපයෝගිතාවයට
තමා ලකුණු දුන් ආකාරය
සිහි කරන්නට, දකින්නට
ඇති හැකියාව අනුව
ඔහු තුළ පහළ වන ප්‍රඥාව මත
හෝ ඔහු ගිලී සිටින මෝහය මත
ඔහු විඳින දුක ඉහළ පහළ යයි.

මේ තුළින් පසක් විය යුතු සරල සත්‍යය:
-----------------------------------------
ප්‍රිය අප්‍රියභාවය මත පිහිටා
උපයෝගිතාවය පිළිබඳ තීරණ ගැනීම නිසා
මිනිසා දුකට පත්වෙයි.

ඔබේ ජීවිතයට
සම්බන්ධ අය හා දේවල්
තෝරා ගැනීමේදී
මේ තක්සේරු කිරීම අතින්
ඔබ කොතරම් සාර්ථකද?