20130813

වර්තමානයේ සිටින භික්‍ෂුව.............





 
 https://fbcdn-sphotos-d-a.akamaihd.net/hphotos-ak-prn2/q79/s720x720/1098406_560337854025224_1272113088_n.jpg

කම් සැප හා සුඛ හැරීම 

වර්තමානයේ සිටින භික්‍ෂුව ආත්ම දමනයෙන් යුතුද?
පවත්නා ක්‍රමය තුළ භික්ෂු රාමුව තුළින් මිනිස් අයිතිවාසිකම් උල්ලංගනය වන්නේ ද ?
මක් නිසාද යත් අද පැවිද්ද ලබන්නේ නිවැරදි අවබෝධය ඇතුව නොව
" හතර කේන්දරේ පාළු වීම " යන ජන සම්මතය තුළ වීම නිසාය.

මිනිසුන් ලෙස ඉපිද ,
යම් සමාජ හීණතාවයක් පදනම් වී ,
මෙසේ පැවිදි බව ලබා ,
සිවුර තුළ හිඳිමින් ,
කම්සැප ම හිතමින් ,
එයටම ලොඹ බඳිමින් ,
නුතන බහුතරයක් භික්ෂුහු
ගෙවන ජීවිතය මට නම් මහම මහා අවුලකි.

එක්කෝ උන්නාන්සේලා කම් සැප පතා සිවුර හැරපියා ආ යුතුය.
නැත හොත් නිවැරදි අවබෝධයෙන් ආධ්‍යාත්මික වර්ධනය සිදුකළ යුතුය.

~ නුතන ~
====================================================================
නූතන මානවයාගේ ඉහත සටහනට
පිළිතුරක් ලෙස තැබූ
ජනක බස්නායකගේ මේ සටහන...
---------------
මා මෙතෙක් මේ මාතෘකාව පිළිබඳව කියැවූ සමබර සහ අති විශිෂ්ඨම සටහනක්...

========================================
ජනක බස්නායක මේන ටිකක් “දැළි පිහියෙන් කිරි කනවා“ වගේ වැඩක්.... අපි හුදෙක් භික්ෂුව කියලා හැඳින්වීමක් කලත් සාසනේ තුල ඔය කියන කොටස් දෙකම ඉන්නවා...
අපි හුදෙක් බෞද්ධ කියලා අදහස් කරන්නේ අපේ දෙමව්පියෝ බෞද්ධ වීම පදනම් කරගෙන.. ඉන් එහාට බෞද්ධයා යනු හුදෙක් වන්දනාමානයට එහා ගිය මනැසින් ලෝකය දැකිය හැකි විචාලිය හැකි චරිතයක් ලෙසයි මම දකින්නේ....

නුතනගේ මේ අදහස තුලත් නියෝජනය වෙන්නේ ඔය කියපු “මහණ කමට පත් වු හෝ පත් කරනු ලැබු කොටස ගැන.... ඒක හරියට දෙමව්පිය උරුමයෙන් ලැබෙන බෞද්ධකම වගේ දෙයක්...
මීට කලිනුත් අවස්ථාවක මම මේ ගැන අදහසක් දැරුවා... සංඝයාවහන්සේට ලෞකික ජීවිතයෙන් භුත්කි විඳිය හැකි යැයි සම්මත හෝ පිළිගත හැකි තත්වයන් මොනවාද කියන කාරනේ මත...
වර්ථමාන තත්වය ගත්තොත් බැලු බැල්මටම පේන්න තියෙන්නේ මුළු මහත් සාසනයම විපරීත වෙලා තියන හැඩක්...
නමුත් ඒ අපි නිතර දකින අහන දේ මත පදනම් වෙලා....උසස් යැයි සම්මත, ජනප්‍රිය යැයි සම්මත හිමිවරු විසින් කරන්නා යම් යම් සාසන විරෝධී ක්‍රියා මත පදනම් කරගෙන තමයි අපි මුළු මහත් සාසනයම විවේචනය කරන්නේ....

නමුත් අපිට නොපෙනෙන.. අපි නොදකින කොටසක් ඉන්නවා.. ඔවුන් තමයි අදටත් මේ සාසනය ආරක්ෂා කරන්නේ... නියාමාකරයෙන් පැවිද්ද රකින්නේ.. ඔවුන්ට යාන වාහන... වායුසමනය කරපු භාවනා කුටි.. වේලක් නොවරින දානේ... අතවැස්සෝ වැනි දේ නැතත් නිසියාකාරයෙන් ආගමානුකූලව ධර්මය ප්‍රචාරය කරිමින් රකිමින් ජීවත් වෙනවා....

මේ අනිත් සුළු කොටස තමයි සාසනේ වනසන්නේ....
හැබැයි එතනදී යම් දෙයක් කියන්න ඕනේ.... මම පෞද්ගලිකව බො.බ.සේනා වේ පරමාර්ථ වලට එකඟයි..... රටේ බහුතර බෞද්ධ ප්‍රජාව වෙනුවෙන් යම් හඬක් අවශ්‍යයි.... නමුත් එය හුදෙක් යම් යම් මෙහෙයවීම් හෝ දේශපාලන අවශ්‍යතා මත තටයුතු නොකල යුතුයි.... පහුගිය සිද්ධින් හමුවේ බො.බ.සේ යම් ආකාරයක දේශපාළණික රාමුවක කටයුතු කරන බවත් පේනවා.... යම් ආගමක් ආරක්ෂා කරනවා කියනනේ අනෙක් ආගම් යටපත් කරනවා කියන එක නෙමෙයි... මේ රටේ ජීවත්වෙන හැම ජනකොටසකට ආගමික නිදහස තියනවා... ඒක නැති කරන්න උත්සාහ ගැනීම හෝ කටයුතු කිරීම වැරදියි....
නමුත් අපි දන්නවා යම් යම් කාලවලදී බෞද්ධාගමට හා බෞද්ධයින්ට ආසාධාරණකම් සිද්ධ උනා... අන්න ඒ දේවල් වෙනුවෙන් හඬක් තිබිය යුතුයි....

අපේ රටේ තියන ප්‍රධාන ප්‍රශ්නේ හැම රෙද්දටම දේශපාළනය ගෑවිලා තියන එක... පන්සල පල්ලිය කෝවිල.. දේවාලේ.. ඉස්කෝලේ.... ඉස්පිරිතාලේ ඇතුලු මෙකී නොකී හැම දේම පදනම වෙන්නේ දේශපාලනේ... ඒ තුල තමයි මේ හැම තැනකම පරිහානිය ආරම්භ වෙන්නේ... හාමුදුරුවරු ඇතුලු හැම දෙනාම තම තමන්ගේ වාසි තකා ඒ ඒ දේශපාළකයාට කඩේ යනවා.... එතනදී ඔවුන්ට ලැබෙන වරප්‍රසාද වරදානත් එක්ක බණ කියනවට වඩා දේවල් උන්නාන්සේලාට කරන්න සිද්ධවෙනවා... සමහර විට කුණු රෙදි සෝදන්න.... චන්ඩින්ට ආශිර්වාද පුජා තියන්න.... දිනන පැත්තට කහින්න.... විරෝධතා දක්වන්න වගේ දේවල් උන්නාන්සේලාගේ රාජකාරී ලැයිස්තුවට ඇතුලත් වෙනවා.... පසුකාලීනව ඔය දේවල් සම්මතයන් වෙලා අනාගත පරම්පරාවට උගන්නන්නත් බැරි නැහැ....

හැබැයි ඔය කියන කිසිම දේකට සම්බන්ධ නොවී.. බණක් භාවනාවක් කරගෙන.... ගමේ ඇත්තන්ගේ මරණෙට පැන් වඩාගෙන.. දහම් පාසැලේ දරැවන්ට අකුරු කරවන හිමිවරුත් අපේ රටේ ඉන්නවා...

ඔය අතර “නිමලව“ වගේ ආරණ්‍ය සේනාසන වල ඉන්න හිමිවරු කිසිම සමාජ ඇසුරකින් තොරව භාවනානුයෝගීව වැඩ ඉන්න බවත් මතක් කරන්න ඕනේ.....
------------------------------------------------------------------ජනක බස්නායක
https://www.facebook.com/photo.php?fbid=560337854025224

20130811

නායකත්වයක් නොමැතිව පිරිහෙන භික්ෂු සාසනය



නායකත්වයක් නොමැතිව පිරිහෙන භික්ෂු සාසනය

January 17, 2012 at 12:28 am | Lanka C News.  

 -----------------------------------------------------------------------------------------------------------

පරවාහැර චන්දරතන හිමි – ප‍්‍රංශය


සම්බුද්ධත්ව  ජයන්තියේ සදහම් සිසිලසෙන් මුලූ ලෝකයම සුවදවත් වූ වර්ෂයක බුදු සසුනේ අනාගත පැවැත්ම පිළිබදව සැලකිලිමත් වීම විශාලම සම්බුද්ධ පූජාව වන බව අපගේ හැගීමයි. ලාංකික භික්ෂු සාසනයේ ශෝචනීය තත්වය පිළිබදව කරුණු සලකා බැලීමට වඩාත් කාලීන අවශ්‍යතාවක් වන්නේ එනිසාය. මන්ද යත් පිරීහීම සමාජගත වූ විට එය රෝගය අසාධ්‍ය තත්වයට පත්වූවා සේ වන නිසාය. එම නිසා වර්තමානය වනවිට ලාංකීය භික්ෂු සමාජයේ පවතින පරිහානීය තත්වය පිළිබදව සංවාදාත්මක තත්වයකට ගෙන ඒමත් ඒ තුලින්ම කිසියම් විසදුම් මාර්ගයකට ලාංකීය භික්ෂු සාසනය මෙහෙයවීමට සාසන භාරධාරී නාහිමි වරුන් ගේ අවධානය යොමු වේ යයි අපගේ අපේක්ෂාවයි .”විනයො නාම සාසනස්ස” ආයු යන බුදු වදනට අනුව සාසනයේ පැවැත්මට නම් විනය ශික්ෂා පද වලට ගරු කිරීම අනිවාර්ය වෙයි. එසේ නොවන බුදු සසුන වසර දස දහසක් පැවතුනද කිසිදු ඵලයක් නොවේ.

ලාංකික භික්ෂු ශාසනය අතීතයේ නායකත්වයක් සහිතව ගුරු ගෝල සම්බන්ධකම් හා ගරුසරුකම් මත ඉතා නිරවුල්ව කි‍්‍රයාත්මක විය. වරක් ආනන්ද තෙරුන් වහන්සේ බුදු රදුන්ගෙන් විමසන්නේ බුදු දහමෙන් භාගයක්ම පවතින්නේ කල්‍යාණමිත‍්‍ර ඇසුර මත නොවේද    යනුවෙනි. එවිට බුදු රජාණන් වහන්සේ දේශනා කරන්නේ භාගයක් නොව මුලු බුදු සසුනම පවතින්නේ කළ්‍යාණ මිත‍්‍ර ඇසුර මත බවය. බුදු සසුනේ පරිහානියේ ප‍්‍රධාන කරුණක් නම් ගුරු සිසු සබදතාවය නිසිලෙස ක‍්‍රියාත්මක නොවීමය. ලන්දේසි සමය වනවිට ගනින්නාන්සේලා බවට පත්ව තිබු භික්ෂු සාසනය වැලිවිට සරණංකර සංඝරාජ මාහිමිපාණන්ගේ අප‍්‍රතිහත ධෛර්යයෙන්  උපසම්පදාව පිහිටුවා නැවත මනාව ප‍්‍රතිෂඨාපනය කිරීමක් සිදු විය. උන් වහන්සේගේ නායකත්වය යටතේ සිල්වත් ගුණවත් භික්ෂු පිරිසක් නැවතත් බිහි වූ අතර ශාසනික පැවැත්ම සදහා බොහෝ කුල දරුවන් පැවිදි වූ අතර විනයානුකූල ප‍්‍රතිපදාවන්ගෙන් මනාව හික්මුණු මේ පිරිස නිසා ගිහි පැවිදි සම්බන්ධය යලිත් තහවුරු විය. බිහිවුණු ගෞරවණීය භික්ෂු පරපුර දිවි හිමියෙන් භික්ෂු ගෞරවය ද සුරක්ෂිත කල අතර දැනට වසර 50 පමණ පෙර අතීතය දෙස බලනවිට සිල්වත් ගුණවත් මේ භික්ෂුන් වහන්සේව දැකිය හැකිය. අද එවන් භික්ෂුන් දැකීම ඉතා දුර්ලභ වන්නේ විනය පිළිබද තත්වය ඉතා කණගාටුදායක වන නිසාය. එම නිසා විනය, ගෞරවය හා භික්ෂුත්වය යනු කිසිදා වෙන් කල හැකි කරුණු නොවන බවත් වෙන් වු කල පරිහානිය බවත් අප තරයේ සිහි තබා ගතයුතුය.

මෙම මාතෘකාව පිළිබදව කතා කරන විට පළමුව පැහැදිලි කරගතයුතු කරුණු කිහිපයක් වෙයි. භික්ෂුව හා සංඝ යන වචන පිළිබදව නිවැරදිව තේරුම් ගැනීම මෙහිදී අත්‍යවශ්‍ය යයි සිතමි. සංඝ යන්නෙහි අර්ථයන් කිහිපයක්ම දක්වා ඇත. සංඝ යනුවෙන් හදුන්වන්නේ බුදුරදුන් දෙපස වැඩසිටි සැරියුත් මුගලන් ආදී මහා සංඝරත්නයෙන් එක් කොටසකි. ඒ හැරුණු විට බුදුන් වහන්සේ උගන්වා වදාළ ශාසනික පිළිවෙත් අනුව කටයුතු කරමින් නිර්වාණ මාර්ගය අපේක්ෂා කල ශ‍්‍රාවක ”මහා සංඝයා තවත් කොටසකි. මෙයින් ආර්ය මහා සංඝරත්නය ලෙස  ගැනෙන්නේ අවම වශයෙන් සෝවාන් ඵලයට හෝ පත් ආර්ය ශ‍්‍රාවකයන් වහන්සේලාය. මේ දෙපිරිසටම අමතරව තවත් සංඝ පිරිසක්ද දැකිය හැකිය. මාර්ග ඵල අපේක්ෂාවෙන්  එමෙන්ම සසර දුකින් මිදෙනු පිණිස පැවිදි බව පතන ආචාර්ය උපාධ්‍යයන් සමීපයේ සිට මේ සිවුරු පිරිකර ලබාගෙන සසර දුකින් මිදීම  පිණිස තමනටද පැවිද්ද දෙන්නැයි ඉල්ලා  පැවිදි බව ලබා ගන්නා පිරිසයි. මෙම සංඝ සමූහයා විසින් පිළිපැදිය යුතු විනය නීති මාලාවක්ද වේ. සාමණේර ශීලය හැරුණු විට උපසපන් භික්ෂුව විසින් ගරු කලයුතු පාරාජිකා සංඝාදිසේස ආදී විනයානුකූලව හික්මීමේ ශික්ෂාපද 227 ක් දක්වා ඇත. ඒවා තුලින් බලාපොරොත්තු වන්නේ විනය මාර්ගයේ වඩාත් හික්මුණු සිල්වත් ගුණවත් මහා සංඝ පරම්පරාවකි. මේ අයුරින් සංඝ යන්නට අදාල පරාසය සරලව පෙන්වා දියහැකිය.

සංඝ යන වචනය මෙන්ම භික්ෂුව යන්නද එවැනිම වැදගත් අර්ථ සහිත වචනයකි. භික්ෂුව යන්න ද සංඝයා වහන්සේ යන්නද සමානව භාවිතාවන අවස්ථා ඇති නමුදු භික්ෂුව යන්න වැදගත් අර්ථ දරන වදනකි. අටුවාචාරීන් වහන්සේලා පැහැදිලි කර ඇති ආකාරයට භික්ෂුව යයි හැදින්වෙන්නේ භික්ෂාවෙන් යැපෙන නිසාය. ”භික්ඛතීති භික්ඛු” යනුවෙන් එය සදහන් කෙරෙන අතර භික්ෂාව යනු පිණ්ඩපාත කර ලබා ගන්නා ආහාරයයි. එම ආහාරයෙන් යැපෙමින් ශාසන ප‍්‍රතිපදාව රකින ජීවිතයේ නිසරු බව තේරුම් ගත් උත්තමයෝ භික්ෂු නම් වෙති යන්න එක් මතයකි. දෙවන අදහසේ දැක්වෙන හැදින්වීම් පාඨය වන්නේ ”සංසාර භයං ඉක්ඛතීති භික්ඛු” යන්නයි. සසර භය කෙලවර කිරීම සදහා චීවරය දරාගෙන ඒ අනුව කටයුතු කරමින් දායක දායිකාවන්ටද පින් වැඩෙන පරිදි ඔවුනටද දහම් උගන්වමින් සසර කෙලවර කිරීම සදහා වීරිය කිරීම යන අදහස මුල් කරගෙනද භික්ෂු යන්න අර්ථවත් වේ. මෙම සියලූම අදහස් දෙස බලන විට පැහැදිලි වන කරුණක් නම්  සියලූ අර්ථ කථනයන් බිහිව ඇත්තේ මුල් කාලීන භික්ෂුන් වසන්සේලාගේ චරණයන් මත බවය.”ඡුින්න භින්න පටධරෝ භික්ඛූ” යන්නද එකී ප‍්‍රකාශය සනාථ කරන්නකි. කිසිදු වටිනා කමක් නැති රෙදි කැබලි කපා මසා සකස් කර ගත්  චීවරය දරන නිසා ද භික්ෂු  නම් වේ. චීවරය ඉරීමක් සිදු වුවත් එයට රෙදි කැබැල්ලක් තබා මසා ගැනීම එදා සිරිත වූ බව පෙනේ.

වචනාර්ථ විග‍්‍රහය කෙසේ වුවත් අද භික්ෂුන් වහන්සේලා මෙකී මූලික අරමුණු හා ස්වරූපයන්ට කෙතරම් දුරට අනුගතව ඇද්ද යන්න මහත් සැලකිල්ලෙන් සොයා බැලීම වැදගත්ය. බුදුන් වහන්සේ උතුම් අරමුණක් වෙනුවෙන් හදුන්වා දුන් චීවරය අද සමාජයේ  ඕනෑම නින්දිත පහත් වැඩක් කිරීමට යොදා ගන්නා ආකාරය දැකිය හැකි අවස්ථා අපමණය. එවන් පහත් වැඩ හමුවේ වැරදිකරුවනට චීවරධාරියෙකු යයි හදුන්වා ලිස්සායාමට පමණක් කටයුතු කිරීම අද ක‍්‍රමය බවට පත් වී ඇත. මා දකින ආකාරයට අද ඇති වී තිබෙන මෙම සාසන පරිහානියට විසදුම් සෙවීම තව දුරටත් පමා කිරීම එතරම් ඥනාන්විත නොවේ. 2600 වැනි බුද්ධ ජයන්ති වසර නිසා හෝ එවන් සන්ධිස්ථානයන් අරමුණු කොට උත්සව පැවැත්වීමට වඩා භික්ෂූ සමාජය පරිහානියෙන් මුදා ගැනීමට යමක් කල හැකි නම් එය ඉතා වැදගත්බව කිව යුතුය. භික්ෂුව මෙතරම් පිරිහුණු යුගයක් සාසනයේ තවත් තිබුණාදැයි සැක සහිතය. ගණින්නාන්සේලා තුල පවා යම්  ශ‍්‍රද්ධාවක් තිබුණු බව එවක පැවති ලිපි ලේඛන පරිශීලනය කරන විට පැහැදිලි වේ. එහෙත් වත්මන් භික්ෂු සමාජයේ බහුතර භික්ෂුන් වහන්සේලා තුල ගනින්නාන්සේලා තුල තිබුණු හොද ගුූණ  දම් පවා නැත .

භික්ෂුන් වහන්සේ සදහා භාවිතා වන නාමයක් වන්නේ කුල දේවතා යන්නයි. ඒ ඉතා ඈත අතීතයේ සිට ජාතියේ  පෙර ගමන් කරුවන් වූයේ භික්ෂූන් වහන්සේලා නිසාය. ථේරපුත්තාභය මහ රහතන් වහන්සේ, වාරියපොල සුමංගල හිමි, කුඩාපොල හිමි වැනි තෙරුන් වහන්සේලා උත්කෘෂ්ඨ උදාහරණයෝය. එනිසාම වර්ථමානයේ වුවද භික්ෂූන් වහන්සේලාට ජාතික කාර්්‍යයභාරයක් නිතැතින්ම පැවරී ඇත. එහෙත් එකී මහා කර්තව්‍ය වරදවා ගත් සෙයක්ද පෙනේනට තිබේ. වර්ථමාන භිකෂුන් වහන්සේලා  දේශපාලනයට මග පෙන්වනු වෙනුවට දේශපාලකයින්ගේ පසු පසින් යති. අන්තවාදි දේශපාලන පක්ෂවල අතකොලූ බවට පත්ව  අමිල වූ  චීවරයේ ගෞරවය නසමින් මහමග පෙළපාලියේ සටන් පාඨ කියවමින් යන ආකාරය අතිශයින් සංවේග ජනකය. කරුණා මෛති‍්‍රය පතල කිරීම සදහාම චරිතවත් වියයුතු භික්ෂුව හදවතින් නොව කායිකව පමණක් චීවරය දරාගෙන අනෙකුත් වරප‍්‍රසාද භුක්ති විදිමින් හැසිරෙන අයුරු දකින විට ඇතිවන්නේ මහත් සිත් වේදනාවකි. බුදු දහම මතම ගොඩනැගුණු සංස්කෘතියක් ඇති රටක භික්ෂූන් වහන්සේලා තම ගෞරවය පිළිබදව වඩාත් සැලකිලිමත් විය යුතුය. රජයට යමක් දැනුම් දෙන්නට අවශ්‍ය නම් එය සිදු කිරීමේ දී භික්ෂුත්වය අපකීර්තියට පත් නොකල යුතුය. පෙළපාලියේ ආවේගයෙන් කෑ ගසන තමා වීරයෙක් යැයි සිතමින් දෑත් දෙපා විසිකරන අප දෙස බලාසිටින්නේ සැදැහැති බෞද්ධ ජනතාව බවත් අමතක කළ යුතු නොවේ. මොණරා අලංකාර ලෙස පිල් විදහා නටන මුත් අනෙක් පසින් නිරුවතම ප‍්‍රදර්ශවය කරයි. පසුගිය දිනක චීවර දරා ගත් එක්තරා භික්ෂු පිරිසක් අරලිය ගහ මන්දිරයට පෙලපාලියෙන් යනු දක්නට ලැබුණි. උන්වහන්සේලා විසින් පවසන ලද සටන් පාඨ හා අසභ්‍ය වචන දෙස බලන විට අපට එක් අතකින් හැගී යන්නේ භික්ෂු සාසනය විනාශකිරීමේ මහා කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක වනවාද යන්නයි. ගිහි පිරිසටත් වඩා අන්ත අශෝභන අයුරින් සිවුර දරාගත් මෙම පිරිස  හැසිරුණු ආකාරය දෙස බලන  ඕනෑම කෙනෙකුට ඇතිවන්නේ මහත් පිළිකුලකි. බුදුන් වහන්සේ උගන්වා වදාල ප‍්‍රතිපත්ති මාර්ගය අනුගමනය කරන්නට සිවුර දරා ගන්නා භික්ෂුව තමන්ට අයත් නැති අනුන්ගේ ක‍්‍රියාවන්වලට උල්පන්දම් දෙන්නට ගොස් රජය පෙරලීමේ දේශපාලන අතකොලූ බවට පත්ව ඇද්දැයි සැකයක් ඇතිවෙයි.

බෞද්ධ මහා ජනතාව භික්ෂූන් වහන්සේ නමක් දානයක් සදහා වඩම්මවන්නේ පා ෙදා්වනය කර පාවාඩ දමා සුදු පිරුවට දමන ලද ආසන පිළියෙල කර ෙදා්ත් මුදුන් බැද වැඳ නමස්කාර කරමිනි. එසේ කරද්දී බුද්ධ චීවරයම දරාගෙන තවත් කොටසක් විවධ වෙනත් බලාපොරොත්තු සහිතව කරගෙන යන ක‍්‍රියා කලාපය දෙස බලන විට තව කොපමණ කල් මෙම ශාසනය පවතීද යන්න ගැනද සැකයක් ඇතිවෙයි. මෙහි වඩාත් බරපතල පැතිකඩයන්ද නැත්තේ නොවේ. භික්ෂුන් වහන්සේලාගේ නොමනා හැසිරීම තුලින් කලකිරෙන බොදු පිරිස් පන්සලෙන් ඇත් වීම නිරායාසයෙන්ම සිදු වෙයි. එයින් ප‍්‍රයෝජන ගන්නේ බොදු ජනතාව බිලී බා ගැනීමට බලා සිටින මූලධර්මවාදී අන්‍යාගමික පිරිස්ය. ඔවුනට භික්ෂූන් වහන්සේලා ගැන කියන්නට දෙයක් තිබේ. භික්ෂුන් ගැන කලකිරවන්නට අවශ්‍ය පරිසරය නිර්මාණය කර දී තිබෙන්නේ භික්ෂුන් විසින්මය. මෙයින් වඩාත් අපහසුතාවයට පත් වන්නේ නිවැරදි පිළිවෙත් මග අනුව යන සිල්වතුන් වහන්සේලාය. මේ යන මග යාම අනාගතයට සුභ දායක නොවන බව යන්තම් හය හතර තේරෙන දරුවකුට වුවද වටහා ගත හැකි නමුත් මුලා බවින් අන්ධව හැසිරෙන කාසාව කණ්ඨක වර්ගයේ භික්ෂුන් වහන්සේලාට තේරුම් ගැනීමට බැරි වීම අභාග්‍යයකි.

විශ්ව විඉාල භික්ෂූ පිරිස් ගැන කතා කරන විට මේ තත්වය වඩාත් ශෝචනීයය. සමහර භික්ෂුන් වහන්සේලාගේ හැසිරීම ගිහියන්ටද වඩා අන්තය. සමහරුන් වහලවල් උඩ නැග උපවාස කරති. ගිහි භවතුන් වන්දනාමාන කරමින් ගෙවල්වලට වඩමවා දන් දෙද්දී සිවුරු හැද සමහරු වේදිකාමත පුටුමත හිඳගෙන දේශපාලනය කරන ඇතැමුන්ගේ කතා අසන්නට බිම ලැග ගනිති. මහ පාරවල් වල හිඳ ගනිති. අසභ්‍ය අයුරින් භික්ෂුවකට ලබා ගිහයෙකුටවත් නොගැලපෙන ආකාරයේ විකෘති කාමයේ යෙදෙති. සමහර විට ඔවුන් හැසිරෙන්නේ මත්ද්‍රව්‍ය පානය කළ අම ලෙසටද යන්න සැකයක් ඇතිවේ. මෙවන් භික්ෂුත්වයට නොගැලපෙන දර්ශන බිහි කරන්නට මුල් වන භික්ෂුන් විශ්ව විඉාල තුල සිටින කාලයේම සිවුරු හැර යති. එක් අතකින් එය සතුටට කරුණකි. චීවරය තුල රැුදී සිටිමින් නිගා කරනවාට වඩා එය අත්හැර යාම හොඳය. එහෙත් උරුලෑවා ගිය පාරත් දුගඳ යයි පවසන්නා සේ ඔවුන් විසින් කල නින්දාව මකන්නට බෝධි පූජාවට පිරිතට නොහැකිය. එවන් වගකීම් රහිත භික්ෂු පිරිස් ඇති කල වැරදි චිත‍්‍රය බොදු හදවත් තුලින් නැති කිරීම පහසු කාර්යක් නොවේ. මේ සියලූ කි‍්‍රයාවන් වල අනිටු ඵලය අත්විඳින්නට සිදු වන්නේ දිවි හිමියෙන් චීවරය දරන ගුණවත් මහ සඟනටය. චීවරය නිසා භික්ෂූන්ට ලැබෙන වරප‍්‍රසාද භුක්ති විදිමින් මොවුන් සිදු කරන්නෙ සිල්වත් ගුණවත් භික්ෂුන් වහන්සේ නමකටත් ශාසනික ගරුත්වය රුකගන්නට ඉඩ ඇහිරීමයි.

පරිහානිය සියැසින් දැකීම තරම්  වේදනාවක් තවත් තිබිිය නොහැකිය. වරක් බුදු රදුන් පවා ආනන්ද තෙරුනට පවසන්නේ වර්ථමාන භික්ෂුන් තමනට සංවේගයක් ගෙනෙන බවය. අතීතයේ බුදු රදුන්ගේ කාලයේ පවා දුසිල් මහණුන් සිටි බව සත්‍යකි. දේවදත්ත යනු එවැන්නන්ට උදාහරණයකි. එහෙත් සිදුවන පරිහානිය දැක දැක නිහඩ වීම බැමිණිතියා සාගතය වැනි අවස්ථාවල පවා දිවි නොතකා සසුන රැුක ගත් මහා යතිවරුනට කරන අගෞරවයකි. එනිසා මෙම සටහන කරන්නේ ජනපි‍්‍රය වීමේ අරමුණින් නොවේ. අතීත භික්ෂු සාසනය සිහිපත් වන විට දැනෙන සත්‍යම වූ වේදනාවෙනි. මේ අවාසනාවන්ත තත්වයෙන් මුදාගෙන යමක් කලහැකි කිසිවෙක් අද දකින්නට නැත. මහා නායක හිමිවරුනට අවම වශයෙන් ග‍්‍රාමසේවක වරයෙකුගේ බලයවත් නැති තත්වයට පත් වී ඇත. මෙසේ අවිනීත ලෙස හැසිරෙන භික්ෂූන්ට යම් විනය කී‍්‍රයාමාර්ගයක් ගන්නට කිසිදු නිකායික මහ තෙරවරයෙකුට බලයක්  නැත. හැම විටම දකින්නට ලැබෙන්නේ අරාජිකත්වයකි. ලොව බුදු සසුන පවතින අනෙක් රටවල් වල නායකත්වයන් අකුරටම කි‍්‍රයාත්මක වනු අප දැක ඇත්තෙමු. වැඩිහිටි මහා සංඝයා බාල පරපුර වෙත කරන යහපත් බලපෑම නිසා හිතුමතේ කි‍්‍රයා කිරීමට කිසිවෙකුටත් නොහැකිය. අප රටේද ක‍්‍රියාත්මක විය යුත්තේ නමට පමණක් නොවන බලතල සහිත භික්ෂු නායකත්වයකි. කිසිදු බලයක් නැති අධිකරණ නායකකම් බල ගැන්විය යුතුය. රටේ නීති පද්ධතියට සමගාමීව යන භික්ෂුන්ටම වෙන් වූ විධිමත් නීති රීති පද්ධතියක් කි‍්‍රයාත්මක විය යුතුය. විශ්ව විඉාල භික්ෂු පිරිස් වලට සෘජු නියෝග නිකුත් කලහැකි තත්වයක් ඉදිරියේ භික්ෂු සංස්ථාව තුල ඇති විය යුතුය. මෙවැනි ක‍්‍රමෝපායන් ක‍්‍රියාත්මක කිරීමට නම් මහා නායකස්වාමින් වහන්සේලාද කි‍්‍රයාත්මක විය යුතුය. එහෙත් ගැටළුව වන්නේ ඇතැම් මහා නායක හිමිවරුන්ද කටයුතු කරන්නේ කුමන හෝ පක්ෂයකට පක්ෂව වීමයි. රටේ පාලකයාට හෝ නීතියට අනුගත වන්න යයි බුදු රදුන් භික්ෂුන් වහන්සේලාට අනුදැන වදාරා ඇති නමුත් එහි ගැති වන්න යයි දේශනා කර නැත. රට පාලනය කරන අයට උපදෙස් දී ඔවුනගේ වැරදි මග හරවා ඔවුන් හරහා සාසන පරිහානිය අවම කර ගැනීමට කටයුතු කිරීමක් පෙනෙන තෙක් මානයකවත් නැත .

අශෝක රජ සමයේ මිසදිටුවන් ලාභ ප‍්‍රයෝජන බලාපොරොත්තුවෙන් සසුනට ඇතුලත් වු බව සදහන් වේ. සිල්වත්.  භික්ෂුන්ට විනය කර්ම කිරීමටවත් නොහැකි වීම නිසා 60000 පමණ තීර්ථකයන් සසුනෙන් නෙරපා හැරීමට අශෝක රජුට සිදු විය. එවන් යමක් කරන්නට සමත් කිසිවෙක් අද නොවීම අවාසනාවකි. නායකත්වයක් නොමැතිවීම නිසා පැවිද්දන් අයාලේ යති. තම තමන්ට කැමති පරිදි කටයුතු කරති. එනිසා මේ සඳහා වහ වහා පිළියම් යොදන්නට කිසියම් ක‍්‍රමයක් හෝ හැකියාවක් ඇත්නම් 2600 වැනි සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් අපට සිදුකල හැකි ඉහළම බුද්ධ ගෞරවය වනවාට කිසිදු සැකයක් නැත. එසේ නොවුනහොත් මුනිවත රකිමින්  ඕනෑම දෙයකට ඉඩ දෙමින් මහානායක හිමිවරුන් බලාසිටිද්දි භික්ෂූ සාසනය තව තවත් අන්ත පරිහානිය කරා ගමන් කිරිීම වැලැක්විය නොහැකිය.. බුද්ධ ශාසන ඇමති තනතුර අමාත්‍ය ධුරයකට පමණක් සීමා වී ඇත. එක් එක් අය තමන්ට  අවශ්‍ය ආකාරයට ධර්මය විකෘති කරමින් ගෞතම බුදුන්ට වඩා මෛත‍්‍රී බෝසතුන් උසස් කරමින් කපු කම් කරති. කණ්ඩායමක් සාදාගෙන සෑම මැතිවරණයට ඉදිරිපත් වන හොඳින් හෝ නරකින් ප‍්‍රසිද්ධිය අපේක්ෂා කරණ ගෙවල් වල ජීවත් වෙන තවත් නිගණ්ඨයින් පිරිසක්ද සිවුරු දරාගෙන චීවරයට නිගා කරති. මෙවන් පුද්ගලයන් මුදල් ඉපයීම සඳහා ගිහියන්ද නොකරණ මගඩිකම් කරන්නේ චීවරයට මුවාවී ගෙනයි. යන්ත‍්‍ර මන්ත‍්‍ර ගරුකම් කරමින් වෙළඳ දැන්වීම් පල කරමින් කටයුතු කරණ පුද්ගලයන් පසුපස යන්නනටද මෝඩ මිනිසුන් කටයුතු කරණු දක්නට ලැබීමද සාසන විනාශයට රුකුල් දෙන්නකි.  කරුණාවෙන් මෛත‍්‍රියෙන් සපුරාම බැහැර වී විවිධ භික්ෂූත්වයට නොගැලපෙන දේ කරණ පිරිස දිනෙන් දින වැඩි වන ආකාරය දෙස බලන විට පැහිදිලි වන්නේ ඔවුන් සිවුර දරාගෙන සිටියත් සියළුම භෞතික සම්පත් වෙනුවෙන්  ඕනෑම පහත් ක‍්‍රීයාවක් කරන්නට මැලි නොවන ආකාරයයි.

මේ නැසෙන්නේ වසර දහස් ගණනක් පැවතුණු භික්ෂු සාසනයයි. රජවරුන් රුධිරය හලා රුක ගත්, යතිවරුන් දස දුක් විඳිමින් අරක්ෂා කළ, ලක් මව්ගේ සුජාත පුතුන් දිවිපුදා රැුකගත් සාසනයයි. ඒනිසා කල් යල් බලා නොසිට මේ අවාසනාවන්ත තත්වයෙන් භික්ෂු සාසනය බේරා ගැනීම සදහා ගිහි පැවිදි වගකිවයුතු හැමගේ අවධානය මේ කරුණ වෙනුවෙන් යොමු වේ යයි බලාපොරොත්තු වෙමි.

පරවාහැර චන්දරතන හිමි – ප‍්‍රංශය

20130810

වසර 49 ක් පුරා අඛණ්ඩව ධාවනය වන අපූරු බස් රිය




ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) පානදුර ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයකි. මෙම බස්රථය මාර්ග අංක 64 ඔස්සේ පානදුර හා කැටවත්ත අතර ධාවනය බදුල්ල හරහාය. වසර 49 ක් පුරා අඛණ්ඩව ධාවනය වන මෙම අපූරු බස් සේවය පිලිබඳ රසවත් කතා පුවතක් ඇත.
එම කතා පුවත දිවයින පුවත්පතේ තිලක් පුෂ්පකුමාර සටහන් කර තිබුනේ මෙසේය.

ලංකාව හරහා යන අපූරු ගමන

වසර හතලිස්‌ නමයක් පුරා දිනපතාම ලංගම බස්‌ රථයක්‌ ගමන් කරන මාර්ගයක්‌ මේ සිරි ලංකාව තුළ ඇතැයි යන්න එක්‌තරා ආකාරයක පුදුමයක්‌ වනු ඇති.

එහෙත් මෙය සත්‍යයකි. ඇස්‌ පනා පිට අද ද සිදුවන්නකි. අපේ රටේ එක්‌ කෙළවරක ඈත මූදුකරේ සිට අනෙක්‌ කෙළවරේ ඈත බදුල්ල දිස්‌ත්‍රික්‌කයේ හද්දා පිටිසර ගම්මානයක්‌ කරා දිවෙන ලංගම පානදුර ඩිපෝවට අයත් මේ රථය නම් පානදුරයේ සිට බදුල්ල හරහා කැටවත්තට යන බස්‌ රථයයි.

බැලූ බැල්මට මෙය සාමාන්‍ය දුර ගමන් සේවාවක්‌ ලෙස පෙනුනත් මෙම බස්‌ රථයත් එම ගමන් වාරයත් තුළ එය සැඟව ඇති අපූරු කථාන්තරයක සුලමුල සොයාගැනීමට හැකිවූයෙමි.

සුන්දර බදුල්ල නගරයෙන් ආරම්භ වී කථා නායකයෙකු සේ දඟර ගැසෙමින් දිවෙන දුන්හිඳ හරහා මහියංගන මාර්ගයේ සැතපුම් 20 ක්‌ ගෙවූ පසු "මීගහකිවුල" නගරය හමුවේ. මීගහකිවුල හන්දියෙන් හැරී යන කුඩා පටු තාර දැමූ මාර්ගයේ තවත් සැතැපුම් නවයක්‌ දුර ගිය තැන කැටවත්ත නම් වූ පුංචි ගම්මානය මුණගැසේ.

අප්පුහාමි ගම්පති තැන කැටවත්ත ගමේම ඉපදී හැදී වැඩුණු අයෙකි. ගමේ වැදගත් පරම්පරාවකින් පැවත ආ ඔහු එකල කැටවත්ත ගමට තිබූ එකම සිල්ලර කඩයේ හිමිකරු ද විය. වසර ගණනාවක්‌ තිස්‌සේම ගම්මුන්ට නායකත්වය දෙමින් කටයුතු කළ අප්පුහාමි මූලාදෑනි තැන හිත හොඳ එඩිතර ජවසම්පන්න නායකයකු විය. ගමනා ගමන පහසුකම් අල්ප වූ එකල මගී ප්‍රවාහන කටයුතු සිදුකෙරුණේ ප්‍රධාන මාර්ගවල පමණකි. මීගහකිවුල සිට කැටවත්ත දක්‌වා දිවෙන මාර්ගය ගුරු පාරක්‌ වූ ඒ අවධියේ එයද සෝදාපාළුවට ලක්‌වී දැඩි ලෙස අබලන්ව පවතින විට පිළිසකර කිරීමට පෙරමුණ ගත්තේද අප්පුහාමි මුලාදෑනි තැනය.

ඒ 1963 වසරයි. ගමට මගී ප්‍රවාහන සේවයක්‌ ලබා ගැනීමට මූලාදෑනි තැනට මෙන්ම ගම්මුන්ටද දැඩිව අවශ්‍ය වී තිබිණ. කැටවත්තට ආසන්නම ලංගම ඩිපෝ වූයේ මහියංගනය හා බදුල්ලයි. මහියංගන ඩිපෝව උප එකක්‌ වූ අතර එය සතුව තිබුණේ සීමිත බස්‌ රථ ප්‍රමාණයකි. ගමට බස්‌ රථයක්‌ ලබා ගැනීමට ගම් ප්‍රදේශයෙන් පාර්ලිමේන්තුවට තෝරා යෑවූ දේශපාලන නියෝජිතයන් හමුවේ කන්නලව් කොට ප්‍රථමයෙන්ම ගම්පති තැන ගියේ මහියංගන ඩිපෝවටය.

"හාපෝ අලුතෙන් බස්‌ දාන්න තරම් බස්‌ අපිට නෑ. අනික ඔය පාර හොඳටම අබලන්" අප්පුහාමිගේ ඉල්ලීම ගණනකට නොගන මහියංගන ඩිපෝ බලධාරීන්ගේ පිළිතුර එසේ විය. මෙසේ කීප වතාවක්‌ම මහියංගන ඩිපෝවට ඉල්ලීම් කළත් එය ප්‍රතික්‌ෂේප වුවත් පසුබට වූයේ ගම්පති තැන නොවේ. බලධාරීන් වෙත ලියූ ලිපි කබා සාක්‌කුවේ රඳවාගෙන ඉන්පසු ගම්පති තැන බදුල්ල ඩිපෝවට කකුල් ගෙවෙනතුරු ඇවිද ගියේය. බදුල්ල ඩිපෝවේ බලධාරීන් මහියංගන ඩිපෝවේ නිලධාරීන් තරමටවත් මේ අහිංසක ගැමියන්ට සවන් දුන්නේ නැත." එය හද්දා පිටිසරට මොකද බස්‌" ඔවුන් එසේ පවසමින් ඔලොක්‌කුවට සිනාසුනහ..

"මේ වැඩේ හරියන්නෙ නෑ. මෙන්න මෙහෙ වරෙල්ලා බං යන්න" මෙසේ ගිය එක්‌ දිනෙක ගම්පති තැන ඩිපෝ භූමියෙන් පිටවෙමින් තම සඟයනට පැවැසූයේ තරමක කේන්තියෙනි. කලකිරුණු සිතින් යුතුව එදා ගමන් කළ අප්පුහාමි මුලාදෑනි ඇතුළු ගම්වැසියන් කීප දෙනා නගරයේ ආපන ශාලාවට ඇතුළු වූයේ ගමන් වෙහෙස මඟහරවා ගැනීමට තේ කෝප්පයක්‌ පානය කිරීමේ අදහසිනි. එවකට ඉතා ප්‍රසිද්ධ හෝටලයක්‌ වූ මෙය බදුල්ල නගරයටම තිබූ විශාලතම එකද විය. රටේ පිට පළාත්වලින් බදුල්ල හරහා දිවෙන දුර ගමන් සේවා බස්‌ රථ තේ පානයට නතර කළේ ද මෙම ආපන ශාලාව අසලය. ගම්පති තැන ඇතුළු පිරිස එහි පැමිණෙන විට පානදුර සිට මඩකලපුව බලා යන බස්‌ රථයද තේ බීමට එහි නවතා තිබිණ. තේ පානය කරන අතර තුර මේසයේ කෙළවරේ පුටුවේ හිඳ තේ බොමින් සිටි අයකු සමඟ කථාවට වැටුණු අප්පුහාමි මුලාදෑනි තැන තමන්ට සිදුවූ අසාධාරණය ඔහු හා සමඟ පැවැසුවේ හිත සැහැල්ලු කර ගන්නට මෙනි. එහෙත් ඔහු නොදැනුවත්වම කථාවට වැටී තිබුණේ පානදුර, මඩකලපු බස්‌ රථයේ රියෑදුරා සමඟය. ඒ වන විට පානදුර ලංගම ඩිපෝව ද ලංකාවේ සතර දිග්බාගය සිට දුර ගමන් සේවා ඇරැඹූ කාලයයි. මේ නිසාම මඳ වේලාවක්‌ කල්පනා කළ රියෑදුරා ඒ ගම්පති තැන අමතමින් "ඔය ලියුම මට දෙන්න මම මේක අපේ ඩී. එස්‌. (ඩිපෝ කළමනාකාර) මහත්තයට දෙන්නම්." එදා එසේ බස්‌ රථයක්‌ ඉල්ලා ලියූ ලිපිය මඩකලපුව බස්‌ රථයේ රියෑදුරාට දී ආපසු ගමට යන අතරතුර තම සගයන්ට එම සිද්ධිය පැවැසුවත් තම ගමට ආසන්න ඩිපෝවලින් නොදෙන බස්‌ රථය ඈත මූදුකරේ පානදුරයෙන් නොලැබෙන බව ඔහු හො¹කාරවම දැන සිටියේය. ඒ කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් පුංචිම පුංචි බලාපොරොත්තුවක්‌ ඔහු සිත තුළ නොතිබුණාම නොවේ. මේ නිසාම දින කීපයකට පසු ඔහු බදුල්ලට ගියේ ලිපියට සිදුවූ දේ දැන ගැනීමටය.

එහෙත් සුන්වූ බලාපොරොත්තු සහිතව ගම්මුලාදෑනි තැනට ආපසු ගමට ඒමට සිදුවූයේ එදා පැමිණි රියෑදුරා එදින නොපැමිණි හෙයිනි. දුර ගමන් සේවා බස්‌ රථවල සේවය කරන රියෑදුරු, කොන්දොස්‌තර මහත්වරුන් දින 14 න් මාරුවන ක්‍රමයක්‌ පවතින බවත් ඒ අනුව අප්පුහාමි මුලාදෑනි තැනගේ ඉල්ලීම බාරගත් රියෑදුරා නැවත පැමිණෙන්නේ සති දෙකකින් බවත් එදා බස්‌ රථයේ රාජකාරී කළ රියෑදුරාගෙන් දැනගත් ගම්පති තැන හරියටම දින ගණන් බලා ඔහු මුණගැසීමට බදුලු ගියේය. "මම ඒ ලියුම ඩී. එස්‌. මහත්තයට දුන්න ගම්පති තැන හඳුනාගත් රියෑදුරා කීය.

මෙම සිදුවීමෙන් මාස තුනකට ආසන්න කාලයක්‌ ගතවීමෙන් පසුව නමුනුකුල කඳු අග්ගිස්‌සෙන් මලහිරු කහපාට වී තිබූ එක්‌ සවස්‌ ජාමයක කැටවත්ත වල ගොඩැලි මතින් උඩ පනිමින් ගොර ගොර ගා ගෙන පැමිණ පරණ පහේ ජීප් රථයක්‌ ගුරුපාර කෙළවර අප්පුහාමි ගම්පතිවරයාගේ වෙළෙඳසල අබියස නතර කෙරිණි. ඉන් බැසගත් කලිසම්කාර පුද්ගලයන් දෙදෙනකු වට පිට බලන්නට විය. ගමට අමුත්තන් වූ හෙයින් ගම්පති තැනද හෙමි හෙමින් එතැනට කිට්‌ටු කළේය. ඒ කාලයේ ගමට වාහනයක්‌ පැමිණීම ගම්මුන්ට ඉතා බරපතල කාරණයක්‌ විය. ඒ නිසාම දෝ ජීප් රිය අසලට රැස්‌වන පිරිසද ක්‍රමයෙන් වැඩිවන්නට විය. රැස්‌ව සිටි පිරිසට සිනාවකින් සංග්‍රහ කළ ජීප් රථයෙන් පැමිණි එක්‌ අයෙකු ගම්පති තැන දෙසට හැරී "අපි පානදුර ඩිපෝවෙන් ගමට බස්‌ එකක්‌ ඕන කියල ඉල්ලීමක්‌ කරලා තිබුණ. පාර තොට බලාගෙන යන්නයි ආවේ" ගම්පති තැනගේ හිසේ එකවර මල් දහසක්‌ පිපුනා සේ විය. අමුත්තන් දෙදෙනා පිළිගත් ඔහු ඔවුන් තම නිවෙසට කැඳවාගෙන ගොස්‌ ආගන්තුක සත්කාර ඉටුකළේය. පැමිණ තිබුණේ පානදුර ඩිපෝවේ සේවය කළ ධාවන කළමනාකරුවෙකු සහ ලංකා ගමනා ගමන මණ්‌ඩලයේ නිලධාරියෙකි. මගී ප්‍රවාහනය මුළුමනින්ම රජය සතුවූ ඒකාලයේ බස්‌ ධාවනය කිරීම ඩිපෝවකට අවසර ලැබුණේ පූර්ණ පරීක්‍ෂාවකින් අනතුරුවයි. එදිනම ආපසු යැමට නොහැකි හෙයින් පානදුරයෙන් පැමිණි නිලධාරීන්ට ගම්පති තැන සිය නිවසේ නවාතැන් සපයමින් සියලු සත්කාර කළේ ඉතා කැමැත්තෙනි. රෑ මැදියම තෙක්‌ම ගම්මුන් හා කථාබහ කරමින් සිටි ඔවුන්ට බස්‌ කථාවේ සියලු තතු ගම්පති තැන නොවලහා කීය. කැටවත්ත ගමේ වැඩියෙන් අද මෙන්ම එදාද ආගන්තුක සත්කාරයෙහි ලැදි සැබෑම ගැමියෝ වූහ. පසුදා උදේ නිලධාරීන් ආපසු යන විට කිතුල් හකුරු පැණි පට්‌ටා, කෙසෙල්, එළවළු ආදී තුටු පඬුරුවලින් ජීප් රිය පිරි තිබිණි. "හොඳයි අපි මේ ගැන ඉහළටම දන්වන්නම්" සමුගත් ඔවුන් ආපසු ගියහ.

තවත් තුන් මාසයක්‌ ගත විය. නිලධාරීන් ගියා ගියාමය. හාවක්‌ හූවක්‌ නැත. ඉනික්‌බිති එක්‌ දවසක එදා මෙන්ම හවස්‌ ජාමයක ගුරු පාර දිගේ නලාව හඬවාගෙන පැමිණ කුඩා ප්‍රමාණයේ තනි දොරේ බස්‌ රියක්‌ ගම්මුලාදෑනි තැනගේ වෙළඳසල අසල නතර කෙරිණි. බදුල්ල හරහා කැටවත්තට යන්න නාම පුරුවේ සටහන් වී තිබූ අතර පානදුර ඩිපෝව යන්න ඉදිරිපස සහ පසුපස කෙළවර පින්තාරු කොට තිබිණි. තමා වෙළඳ සලෙන් එළියට පැමිණියා නොව පිටතට විසිවූවාක්‌ මෙන් ගම්පතිතැනට දැනුණි. ගම්මු පැමිණ බස්‌ රථය වටකොට ගත්හ. කොහෙන්දෝ සොයාගත් රතිඤ්ඤා කරල් කීපයක්‌ චට පට හඬින් පිපිරී ගියේය. රියෑදුරු කොන්දොස්‌තර දෙපළ නිවසට කැඳවාගෙන ගිය අප්පුහාමි ගම්පති කෑම බීම පිළියෙල කොට දුන්නේය. ඔවුනට විවේක ගැනීමට එහිම කාමරයක්‌ වෙන් කළේය. ගම්වැසියන් පිරිසක්‌ වහ වහා බස්‌ රථය සෝදා පිරිසිදු කළේය. එදා මුළු ගමටම මඟුල්ය. පසුදා අලුයම 6.15 ට බස්‌ රථය ආපසු පිටත්වන විට එය පිරෙන්නට මගීන් සිටියහ. එදා හවස අනෙක්‌ බස්‌ රථය කැටවත්තට පැමිණියේය. එදා පටන් අද දක්‌වාම පානදුර කැටවත්ත බස්‌ රථය නොකඩවාම ගිරි දුර්ග හරහා ගමනේ යෙදේ. මෙම බස්‌ රථය නිසා අද වනවිට පානදුර හා කැටවත්ත අතර අපූරු සබැඳියාවක්‌ ගොඩනැගී ඇත. එය එක්‌තරා ආකාරයක උප සංස්‌කෘතියක්‌ ලෙසින් හැඳින්වුවහොත් අතිශයෝක්‌තියක්‌ නොවේ. කැටවත්ත ගමේ ඉපදෙන එළවළු පළතුරු පැණි හකුරු පානදුරට රැගෙන එන ගම්මු පානදුර පොළේදී ඒවා මුදල් කරති. පානදුරේ අලුත්ම අලුත් මූදු මාළු තැඹිලි ආදිය කැටවත්තට යති. කැටවත්තේ තරුණයන් පානදුර නගරයේ ව්‍යාපාරවල නිරත වේ. පානදුර හොරණ පාරේ කුරුස හන්දියේ පළතුරු අලෙවිසලක්‌ පවත්වාගෙන යන ඩී. එම්. ගාමිණී දිසානායක තරුණයා එවැන්නෙකි. කැටවත්තේ තරුණයන් පානදුරේ තරුණියන් හා අවාහ විවාහ වී සිටීම පානදුරයේ තරුණයන් කැටවත්තේ බින්න බැස හිඳිති. හොරණ, ඉංගිරිය, දෙහිවල, ප්‍රදේශවල පිහිටි ඇඟලුම් කම්හල්වල කැටවත්ත මීගහකිවුලේ තරුණියෝ ජුකී මසති. සිංහල අලුත් අවුරුදු සමයට මේ බස්‌ රථයේ අතුරු සිදුරු නැතිව සෙනඟ පිරෙන්නේ නෑගම් යන්නටය.

පානදුරයෙන් දිනපතා හිමිදිරියේ ගමන් අරඹන කැටවත්ත බස්‌ රථය බදුල්ලට ළඟාවන විට පස්‌වරු 2 පමණ වේ. එතැනදී බස්‌ රථය මඳක්‌ හිස්‌ වුවත් එය විනාඩි ගණනකට පමණි හිමිදිරි පාන්දර කැටවත්තෙන් පිටත්වන බස්‌ රථයෙන් බදුල්ලට පැමිණ තම අත්‍යවශ්‍ය කරුණු කාරණා ඉටුකර ගන්නා ගම්වැසියෝ පානදුරෙන් පැමිණෙන බසය එනතෙක්‌ බලා හිඳිති. දවසේ කීයට හෝ පානදුර බස්‌ රථය නොවරදවාම පැමිණෙන වග ඔවුහු දනිති. මේ සියලු දෙනාම රැගෙන පස්‌වරු 3 ට බදුල්ලෙන් පිටත්වන බසය මීගහකිවුල නගරයේ මඳ වේලාවක්‌ නතරකොට තබන්නේ මහියංගනය පැත්තේ සිට කැටවත්තට යන මගීන් පැමිණෙන තුරුය. සවස 5.30 ට පමණ බසය ඉහින් කනින් මගීන් එල්ලාගෙන කැටවත්තට පැමිණේ. අප්පුහාමි ගම්මුලාදෑනි තැන අද ජීවතුන් අතර නැත. ඒ අඩුව අද පිරවෙන්නේ ඔහුගේ වැඩිමහලු පුත් ධනපාල මුදලාලිගෙනි. එදා මෙන්ම අදත් බස්‌ රථය නතර කරන්නේ ගම්පති නිවස අසලය. රියෑදුරු, කොන්දොස්‌තර දෙපළට කෑම බීම නවාතැන් අදත් සැපයෙන්නේ ගම්පති නිවසෙනි. ගම්මු එකතුවී බස්‌ රථය සෝදා පවිත්‍ර කිරීම අද ද එලෙසම සිදුවේ. කැටවත්ත අවට උල්පත, සූරියගොල්ල, මොරහැල, මලාබඩගොල්ල, දිවුල්ගහගෙදර, මීගොල්ල ආදී ගම්මානවල සිට එළවළු පළතුරු ආදිය බස්‌ රථය අසලට අදත් රැගෙන එන්නේ ගොනුන් පිට තවලම්වලය. පානදුරයට, මීගහකිවුලට, බදුල්ලට මේවා රැගෙන යැමට එදා රාත්‍රියේම බස්‌ රථය තුළ අසුරා තැබේ.

ගෙවී ගිය හතලිස්‌ පස්‌ වසර ඇතුළත අනූව දශකයේ දී බදුල්ල ඩිපෝවෙන් ද බස්‌ රථයක්‌ බදුල්ල සිට කැටවත්තට ධාවනය කරනු ලැබිණි. එදා තමන් ප්‍රතික්‌ෂේප කළ අයට හොඳ පාඩමක්‌ ඉගැන්වීමට සිතූ කැටවත්ත ගැමියෝ බදුල්ල බස්‌ රථය වර්ජනය කළහ. අදත් එය එසේමය. කොපමණ වේලා ගතවූවන් පානදුර බස්‌ රථය නොවරදවාම පැමිණෙන බව දන්නා ඔවුහු එය එනතුරු රැඳී සිටිති. ආදායමක්‌ නොමැති නිසා දින කිහිපයකින් බදුල්ල ඩිපෝවේ බස්‌ රථය නවතා දමා ඇත. මේ වනවිට ලංකාවේ ඕනෑම අහුමුල්ලකට දිවෙන පුද්ගලික බස්‌ රථ ඇතත් කැටවත්ත ගමට නැත.

පානදුර ඩිපෝවේ ඩිපෝ අධිකාරිවරයා මේ සම්බන්ධව අදහස්‌ දක්‌වමින් පැවසුවේ කැටවත්ත බස්‌ රථය දිනපතාම ධාවනය කරවීමට ඩිපේව මගින් පියවර ගන්නා බවකි. එදා අප්පුහාමි ගම්මුලාදෑනි තැනගේ කාලයේ දී මෙන්ම අදත් ගම්මු මේ බස්‌ රථය රැක ගන්නේ තම දෑස්‌ මෙනි. මේවායේ සේවය කරන රියෑදුරු කොන්දොස්‌තර මහත්වරුන් හා ගම්වැසියන් අතර අදත් පවතින්නේ සහෝදර බැඳීමකි. කොටින්ම පානදුර බස්‌ රථය කැටවත්ත ගැමියන්ට තමන් බැලීමට දිනපතා පැමිණෙන නෑයෙකි. ඒ නෑකම දිවි හිමියෙන් සුරැකීමට කඳු, හෙල් ගිරි ශිඛර තරණය කරමින් පානදුර බස්‌ රථය හෙටද කැටවත්තට එනු ඇත.