20180106

ගීතයක් නිර්මාණයේදී සංගීත භාණ්ඩවල විවිධ නාද රටා සුසංයෝජනය


මේ ගීතය විශිෂ්ඨ නිර්මාණයක්.

රිද්මය හඳුනාගත් සංගීතඥයෙක්.
රිද්මය අනුව සැලෙන ගායකයෙක්..

තාලය මත යැපීම සංගීත නිර්මාණයක
පියවි ආලෝකය දුර්වල කරන සාධකයක්.

තාලය අත්වැලක්.

තාලය අත්වැලක් නොවී
කිහිලිකරුවක් වුණොත්
ගීතය අංග විකල වෙනවා..

හොඳ ගීතයක තාලය
තැනින් තැන මතුවෙන සාධකයක්.

තාලය
යුද සරඹ පිටියක නම්
සියල්ලන් එකාකාරී කරන සාධකයක්.
ගීයකට තාලය යෙදිය යුත්තේ
රිද්මයානුකූලවයි...

තාලයක විරාමය එකාකාරීයි.
ගීතයක තාලය රිද්මයානුකූලයි.

රිද්මයක විරාමයන් විවිධයි..
එමෙන්ම සංගතිකයි...

යුද බිමක ගයන රණ ගීයක වුණත්
රසිකයාට ඉසිඹුලන්නට විරාමයන් අවශ්‍යයි.
මේ ගීය ඒ විරාමය
උවමනාවෙන්ම මතු කර දෙනවා.

සංගීතය අත්වැලක් විනා
පසුබිම් සංගීතය වීම රසයට බාධාවක්.

සංගීත භාණ්ඩවල විවිධ නාද රටා
එකිනෙක සංගීත භාණ්ඩ සමගත්
ගීතය සමගත් සුසංයෝජනය විය යුතුයි.

සංගීත භාණ්ඩවල විවිධ නාද රටාවන්
තනි භාණ්ඩයක විවිධාංගීකරණයක් මෙන්
එකිනෙක සමග මනාව මුසු කරන්නට
ඉලයරාජා, රෙහෙමාන් දක්වන හැකියාව
අතිශයින් අපූර්වයි.

මේ ගීතයේ රූප රාමුවලින් පවා
භාණ්ඩයෙන් භාණ්ඩයට මුසු වෙන
නාදරටාව ගමන් කරන ආකාරය
පැහැදිලිව දකින්න පුලුවන්.

චිත්‍රයක වර්ණ මුසු කරන්නාක් මෙන්
ඔවුන් සංගීත නාද මුසු කරන්නේ
භාණ්ඩ වෙන් කර හඳුනාගන්නට පවා
අප වැන්නන්ට ඉඩහසර නොතබමිනුයි.

ගීය හාම්පුතා වී
උජාරුවෙන් ඉදිරියට යද්දී
සංගීතය මෙහෙකරුවන් නොවී
ගීතය පෙරගමන් කරු වී
සංගීතය අනුගාමික වීමෙන්
ගීය ඒකමිතික වෙනවා.

අප රස විඳින වෙනත් සාධක වලට
මේ ඒකමිතියත් ආධාරකයක් වෙනවා.

සමස්තය දකින නිර්මාණ කරුවා
අපට සමස්තයම ලබා දෙනවා.

-----------------------------------------

ගීතයක් නිර්මාණයේදී
තාල වාද්‍යභාණ්ඩ
කිහිපයක් යොදා ගැනීමෙන්
සංගීත රසය ඉසුරුමත් වෙනවා.

සංගීත භාණ්ඩවල විවිධ නාද රටා
එකිනෙක සංගීත භාණ්ඩ සමගත්
ගීතය සමගත් සුසංයෝජනය විය යුතුයි.

සංගීත භාණ්ඩවල විවිධ නාද රටාවන්
තනි භාණ්ඩයක විවිධාංගීකරණයක් මෙන්
එකිනෙක සමග මනාව මුසු කරන්නට
ඉලයරාජා, රෙහෙමාන් දක්වන හැකියාව
අතිශයින් අපූර්වයි.

තාල භාණ්ඩ දහයක් යොදා ගත්තත්
ඒ සියල්ල තනි තාල භාණ්ඩයක් මෙන්
ගීතයක් තුළ යොදාගැනීම
සංගීතයේ පිරිසිදු බවට හේතුවෙනවා.

වාද්‍යභාණ්ඩ රැසක්
ඒකමිතිකව මුසු කිරීම
ඉලයරාජා භාවිතා කරන අයුරු
මේ වීඩියෝ දර්ශනයෙන්
හඳුනා ගන්න පුලුවන්.

මානව වාදී කවියා මානව වාදියෙක්ද???


මම මානව වාදය පිළිගන්නේ නෑ.

එහෙම නැත්නම්..............
මම මානව වාදය වෙන විදියකට දකිනවා ඇති.

ආහාර, නිවාස, ඇඳුම් ආදිය
ඉඳහිට කෙනෙකුට ලබා දීමෙන් එහා
භෞතිකව කෙනෙක් සුවපත් කිරීම
තව කෙනෙකුට කළ හැකියයි
මා විශ්වාස කරන්නේ නෑ.

මානසිකව සුවපත් කිරීම
ඊටත් එහා ගිය අසීරු කාර්යයක්.
දුක් විඳින මිනිසෙක් සුවපත් කරන
යම්කිසි කවියක් ඔබ අසා දැක තියනවාද?

කවියෙන් දුක නැති කරන්න බැහැ.

ධම්මපද ගාථාවකින්වත්
තව කෙනෙක් දුකෙන් මුදවන්න බැහැ.

"යේ ධම්මා හේතුප්ප භවා"
කවි පදයෙන් උපතිස්ස සුවපත් වුණත්
ඒ සුවපත් කිරීම අස්සජි හිමියන්
කළ දෙයක් නම් නොවෙයි.
උපතිස්ස සුවපත් වෙන්න ක්‍රියා කළේ
උපතිස්ස විසින්මයි.
ඒ කවිපදය ඇසුණ පමණින්
කෝලිත සුවපත්වුණේ නෑ.

තාගෝර් දුක් විඳින කම්කරුවා
දෙවි කෙනෙක් විදියට දකින කවියෙන්
කම්කරුවා සුවපත් වෙනවාද?
රසිකයා කියවන කවියෙන්
සුවපත් වීම කම්කරුවාට
කිසියම් සුවයක් වේද?

කවියෙන් කවියා සුවපත් වෙන්න පුලුවන්.
ඔහු කවිය ලියද්දී දකින සත්‍යය
ඔහු සුවපත් කරන්න පුලුවන්.
කවියා මුහුකුරා යන්නට ඒ කවිය
යම් ආකාරයකින් පාදක වුණොත්
කවිය නිසා මානව වාදී කවියා
වඩාත් මානව වාදී වෙන්න පුලුවන්.
ඒ ඔහු තුළ දුක දකීමෙන් පහළ වෙන
ප්‍රඥාව නිසා විනා කවිය නිසා නොවෙයි.

"කවිය මානවවාදි විම තුලින්
කවියා මානවවාදි වෙන්නේ නෑ."
සුජීව කියන දේ
සත්‍යයක් වෙන්නෙ බුද්ධිමත් කවියාටයි.
ඔහු තර්කයෙන් දකින දුකට
ඔහු සැබෑ ලෙසම සංවේදී නෑ.

සුජීව ඉල්ලා සිටින සහභාගිත්ව ප්‍රවේශය
ඔහු සංවේදී නොවෙන දුකකට
ඔහු තර්කයෙන් දෙන විසඳුමක්.

ප්‍රායෝගික ලෝකයේ දුක් විඳින්නාට
ඔහුගෙ විසඳුම දෙවැනි දුකක් වෙයි.

බිරිඳ මියගොස් හඬන කෙනෙකුගෙ දුක
ගණිකාවක් සැපයීමෙන් නිවන්න බැහැ.

ප්‍රඥාවන්ත කවියා කවියකින් කරන්නෙ
ඔහුගේ කඳුලු වලින් කෙරෙන භාව විශෝධනය
ඊට වඩා සියුම්ව හැඟීම් මට්ටමෙන් කරන්න
වියෝදුකින් පෙළෙන්නාට ඇසෙන්නට
"කාත් කවුරුවත් ඇතත් හිතයි මට
පාත් වෙන්න ඔය මුවට උඩින්" කියා කීමයි.

විරහ වේදනා විඳ හුරු හදවත්
ඒ කවියේ ගීතයේ අත්වැල අල්ලාගෙන
භාව විශෝධනයෙන් සුවපත් වෙනවා.

ප්‍රඥාවන්ත කවියාත්
තවම දුක් විඳින්නෙක්.

කවියා රසිකයාට ඉදිරියෙන් යන නමුත්
බිරිඳ මිය යන දවසේ
ඔහුත් රසිකයෙක් මෙන් හඬා වැටෙන්නට පුලුවන්.
ඒ දුක සමනය වූ හිතින්
ආවර්ජනාත්මකව ඔහු ලියන
"කාත් කවුරුවත් ඇතත් හිතයි මට
පාත් වෙන්න ඔය මුවට උඩින්" පද වැල
ඔහුගේ නෙතේ කඳුලු වෙනුවට
සිතේ කඳුලු නිදහස් කරනවා.

ඒ කවිය කියවන කෙනෙකුගේ
නෙතේ කඳුලු නිවී
සිතේ කඳුලු නිදහස් වෙනවා.

කවියෙන් දුක සමනය වෙන්න පුලුවන්.
කවියෙන් දුක නැති වෙන්නේ නෑ.
කවියා දුකෙන් මුදවන්නවත්
කවියට පුළුවන් කමක් නෑ.

කවියා මානවවාදී වෙන්නෙ
ඔහුගෙ දුක ඔහුම හඳුනාගත් නිසයි.

දුක දැකීමෙන් සුවපත් වී
අනුන් සුවපත් කරන්නට කවියෙන් සූත්‍ර ලියූ
ලොව හොඳම මානව වාදී කවියා
බුදුන් වහන්සේයි.
Athula Siriwardhane