20150808

ඔබේ ඡන්දය ඔබේම ස්වාධීන තීරණයක්ද?


අපිට මේ දිනවල නොයෙක් පොරොන්දු ඇහෙනවා.
සමහර පොරොන්දු ඇහෙන කොටම
බොරු බව මුළු රටම දන්නවා.

ඒ බොරු වෙනුවෙන් ඉදිරිපත්වෙන කපටි ඉන්නවා.
ඉටු නොකළ බව අපි හොඳින්ම දන්න පොරොන්දු
ඉටු කළ බව කියන කපටි ඉන්නවා.
රටේ බහුතරයක්ම
ඒ කපටින්ට දැන දැන ඡන්දෙ දෙනවා.

සිතා නොබලා ඇබ්බැහිය මත ඡන්දෙ දෙන පුද්ගලයන්
දුම්බොන්න, මත්පැන් බොන්න ඇබ්බැහි වුණ අය වගෙයි.


සමහරු හැසිරෙන්නෙ කණ පැලෙන්න බීපු
බේබද්දන් වගෙයි.
ඇස් ඉදිරිපිට තියන දේවත් ඔවුන්ට පෙනෙන්නෙ නෑ.
ඔවුන් කතිරෙ ගහන්නෙ චිම්පන්සි වගෙයි.
අන් අයට කරුණු දක්වන්නෙ චිම්පන්සි වගෙයි.
බලපෑම් කරන්නෙ මැරයන් වගෙයි.

වසරින් වසර නොමග ගිහින්
මග නොමග නොහඳුනන ඔවුන්ගෙ ඇබ්බැහිය විසින්
ඔවුන් පාලනය කරනවා.

රැලේ යන සතුන් මෙන්
හැමදාම ඔවුන් රැවටූ පුද්ගලයන්
නැවත නැවත පත් කරගන්නට ඔවුන් දායක වෙනවා.
ඔවුන්ගේ නූගත් කම, මෝඩ කම,අවසිහිය නිසා
මුළු රටේම ජනතාව දුකට පත්වෙනවා.

දේශපාලකයෙක් තමන් රවටන විට
ඔහු හඳුනා ගන්නටත්
ඔහුගෙ පෙනුම, කතා බහ, ඔහුගෙ ධන බලය
කොතරම් ආකර්ශණීය වුවත්
ඒ කපටියා ප්‍රතික්ෂේප කරන්නටත්
ලොකු ආත්ම ධෛර්යයක් අවශ්‍යයි.
.
කපටින්, මැරයන්, දූෂිතයන්, සොරුන්, මැට්ටන්,
අවසිහියෙන් හැසිරෙන්නන්, හඳුනාගෙන
ඔවුන් එකහෙළා ප්‍රතික්ෂේප කරන
උදාර මිනිසුන් දෙන පිරිසිදු කතිරයෙන්
රටත් ජනතාවත් සුඛිත මුදිත වෙන්න පුලුවන්.

ඔබේ ඇබ්බැහියෙන් කියන දේ හැරුණාම
අන් අය ඔබට ඔවුන්ගෙ තර්ක වලින් ඇබ්බැහි වෙනදේ
ඔබ තුළ ක්‍රියා කරනවා.

ළඟදි දවසක් සංවාදයකදි
ප්‍රසන්න රණතුංග කිව්වා
ඔහු "බැසිල් අගය කරන්නෙ ඇයි" කියලා.
ඔහු කිව්වෙ,
"බැසිල්ට ලැබෙන මුදල්
ඔහු ලංකාවටම යොදවනවා " කියලා.

පළාත් සභාවට සීමාවූ
පළාත් සභා මන්ත්‍රී ප්‍රසන්නට සාපේක්ෂව
ජාතික තලයෙ ඇමති බැසිල් ඔහුට වීරයෙක්.
මේ ප්‍රකාශය අහන
ස්වාධීනව හිතන්න ශක්තියක් නැති
මන්ද බුද්ධික ඡන්ද දායකයෙක්
බැසිල් වීරයෙක් විදියට පිළි ගන්නවා.
ඔහු ඡන්දෙ දෙන්න ගියාම
ඉබේටම ප්‍රසන්නට සහ බැසිල්ට මනාප දෙනවා.
ඔහුගෙ ඡන්දය තීරණාත්මකයි.
එහි නියම වටිනාකම ඔහුටවත්
රටටවත් ලැබෙන්නෙ නෑ.
ඔහුගෙ ඡන්දය ගඟට කැපූ ඉන්නක් වෙනවා.

ඒත්
බුද්ධිමත් කෙනෙක්
ඇසූ පමණින් ප්‍රසන්නව පිළිගන්නෙ නෑ.

බැසිල් පමණක් නොව මුළු ඇමති මණ්ඩලයම
තමන්ට ලැබෙන මුදල් ලංකාවටම යොදවන බව
ඔහුට පෙනෙනවා.
ප්‍රසන්නගෙ ප්‍රකාශය අසම්පූර්ණ බව ඔහු දන්නවා.
වෙනත් ඇමති වරුන් එක ක්ෂේත්‍රයකට සීමා වෙද්දි
බැසිල් පුළුල් ක්ෂේත්‍රයකට ඇමති වෙන්නෙ ඇයි
කියා ඔහු දන්නවා.
ප්‍රසන්න බැසිල් අගය කරන්නෙ ඇයි කියාත් ඔහු දන්නවා.

බුද්ධිමත් ඡන්ද දායකයා ඡන්දය දෙන්න ගියාම
ප්‍රසන්න කියන කරුණු මතම පිහිටා
ඔහුට සහ බැසිල්ට ඡන්දය දෙන්නෙ නෑ.
ප්‍රසන්නට ඡන්දය නොදෙන්න
ඔහුගෙ පටු ප්‍රකාශය හේතුවක් වෙන්න පුලුවන්.
ප්‍රසන්නගේ මනසේ වපසරිය
මේ සිදුවීමෙන් ඔහු තේරුම් ගන්නවා.
ඔහු ජාතික තලයට පිවිසීමට සුදුසුද කියා
මෙයින් වටහාගන්න පුලුවන්.

ප්‍රසන්නට බැසිල්ට කැමති සන්ධානෙ කෙනෙකුට
මේ විස්තරය ඇති කරන්නෙ පීඩාවක්.
එජාපයේ කෙනෙකුට ආනන්දයක් ඇති වෙනවා.
මේ දෙකම වැරදියි.
නිවහල් මනසකින් මේ විස්තරය කියවන කෙනෙක්
මේ තුළ ඇති සත්‍යය දකිනවා.

මේ විස්තරය අහන
වහල් මනසක් ඇති තැනැත්තා
ආවේග ශීලී වෙනවා.
ඔහුගෙ තීරණය පටු වෙනවා. වරදිනවා.
ඔහු බීමත් පුද්ගලයෙක් මෙන්
ඡන්දය ප්‍රකාශ කරනවා.

ඔබ ගන්නා තීරණයට
ඔබේ පවුලේ සම්ප්‍රදාය
ඔබට අසන්නට ලැබුණ
තර්ක විතර්ක හා තොරතුරු
කොතරම් දුරට බලපානවාද.?
ඔබ වෙනුවෙන් ඔබේ තීරණය ගන්නට
ඔබ මහින්දට, රනිල්ට හෝ අන් අයට
ඉඩ දෙනවාද?
ඔබේ ස්වාමියා ඔබද, දේශපාලනඥයන්ද?

මෛත්‍රී දුන් පොරොන්දු තියනවා.
රනිල් සහ මහින්ද දෙන පොරොන්දු තියනවා.
මේ තිදෙනාගේ පොරොන්දු ගැන හිතන විට
ඔබ වැඩියෙන්ම විශ්වාස කරන්නෙ කාගෙ පොරොන්දුද?
දෙවනුවට තුන් වෙනුවට විශ්වාස කරන්නෙ
කවරෙකු දෙන පොරොන්දුද?
ඔබ නොසිතාම බැහැර කරන්නෙ
කවරෙකු දෙන පොරොන්දුද?

මෛත්‍රී මහින්ද සංයෝගය සහ
මෛත්‍රී රනිල් සංයෝගය දෙකෙන්
ඔබ පිළිගන්නෙ කුමන සංයෝගයද?
ඔබේ තීරණ මත
ඉදිරි වර්ශ කීපය තුළ ඔබත්, මුළු රටත්
විඳින දුක සැප සතුට අසතුට
තීරණය වෙනවා.