20171126

දූගෙ අම්මගෙ සංස්කෘතිය


"ගැහැණු ආරක්ෂා කරනතුරු
රටක සංස්කෘතිය රැකෙනවා"
ලියෝ ටෝල්ස්ටෝයි
කොතනක හෝ කියා තියන බවට
මතකයක් ඇතැයි මගේ බිරිඳ කියනවා.

"ගැහැණු කියන්නෙ අම්මලා.
අම්මලා සංස්කෘතිය බිඳිනකොට
ළමයි ඉබේම පුරුදු වෙනවා"
මගේ බිරිඳ පැහැදිළි කළා.

මව්වරු දියණියගෙ ඇඳුම් පැළඳුම්
ඉතා උවමනාවෙන් සකස් කරනවා.
වැඩි පිරිසකගෙ අවධානය ලැබෙන විදියට
ඇඳුම් සකස් කරන්න ඔවුන් කැමතියි.
අනිත් දැරියන් අතර කැපී පෙනෙන ලෙස
ඇයට ඇඳුම් අන්දන්න මව්වරු කැමතියි.

ඒ අවධානය ල්බා ගන්නා අය
මොන වගේ අයද කියා ඈ දන්නෙ නෑ.
දැන් ගත්තත් සිතා බලන්නෙ නෑ.
බොහෝ විට ඇගේ ඇඳුම් ඇඳීමේ
පරමාර්ථයත් යමයි.
අවධානය අඩුවෙමින් වියපත් වන මව්වරු
දියණිය සරසා ඇයට ලැබෙන අවධානයෙන්
තෘප්තිය සොරාගෙන පිපාසය නිවා ගන්නවා.

මස් ගාතයෙක් කඩෙන් ගන්න කෙනෙක්
ලේ වැකුණ මස් ගාතය අතේ එල්ලාගෙන
පාරෙ අරගෙන ගියොත් මොකද වෙන්නෙ?
කුස ගින්නෙන් පාරෙ ඇවිදින බල්ලො
ඔබේ මස් ගාතය පස්සෙන් එන්න පටන් ගන්නවා.
බල්ලන්ගෙ හැඟීම් සඟවාගෙන
අවස්ථාවක් ලැබෙනතුරු පස්සෙන් ඇවිත්
ඔබ හොඳටම අනාරක්ෂිත අවස්ථාවක
ඔබේ මස්ගාතය පැහැරගන්න තරම්
බල්ලො බුද්ධිමත් නැති නිසා
ඔබ උන්ගෙන් ආරක්ෂාවෙන්න දන්නවා.

ඒත් මිනිස්සු කපටි නිසා හැඟීම් සඟවාගෙන
ඔබේ දරුවා පස්සෙන් එන්න ඔවුන් දක්ෂයි.
අප අවට සිටින්නේ අප මෙන්ම සැබෑ හැඟීම්
ලෝකයෙන් සඟවාගෙන රඟපෑමක යෙදෙන
අප මෙන්ම නොදැමුණු ආශාවන් සහිත
රාගික, කාමුක, අසංවර මිනිසුන් බව
අමතක නොකරන්න.

මම ඔබ විශ්වාස කරන්නෙ නෑ.
ඔබ මාව විශ්වාස කරන්නත් එපා.

ඒ අවිශ්වාසයට පදනමක් අවශ්‍ය නම්
අද සමාජයේ දරුවන් විනාශ වෙන හැටි
දැනට වඩා අවධානයෙන් සිටින්න.
හැකි හැමවිටම ගොසිප් සයිට් බලන්න.
කුඩා දරුවන් ගැන පළවෙන ප්‍රවෘත්ති
නිතර කියවන්න.

ඔබ දරුවා ගින්නෙන් වතුරෙන් විදුලියෙන්
ආරක්ෂා කරන ප්‍රමාණයට වඩා
සිය දහස් ගුණයක සැලකිල්ලකින්
ඔබ වටා සිටින මිනිසුන්ගෙන් ආරක්ෂා කරන්න.
ඊටත් වඩා සිය දහස් ගුණයක
සැලකිල්ලකින් අවධානයකින්
ඔබෙන්  දරුවා රැකගන්න.

ඔබ සතුන් මරන ආකාරය
නරඹමින් වැඩෙන ඔබේ දරුවා
මිනීමරුවෙක් වෙන්න පුලුවන්.
ගබ්සාකාරයෙක් වෙන්න පුලුවන්.

ඔබ කියන පුංචි බොරුව අහන දරුවා
වයසින් වැඩෙද්දී මැති ඇමතිවරු වැනි
කපටි බොරුකාරයන් වෙන්න පුලුවන්.

ඔබ කරන පුංචි හොරකම දකින දරුවා
වයසින් වැඩෙද්දී මැති ඇමතිවරු වැනි
කපටි බොරුකාරයන් වෙන්න පුලුවන්.

ඔබේ මත්පැන් බෝතලයෙ ඉතිරිවෙන
එක මත්පැන් හැන්දකින් පෙළඹෙන දරුවා
ඔබටත් වඩා ලොකු බේබද්දෙක් වෙන්න පුලුවන්.

ඔබ අද ඔවුන්ගේ ජීවිතයට එකතු කරන
අඟලක පුරුද්දක් සමග වැඩෙන ඔවුන්
වැඩිහිටියන් වෙනවිට ඒ නරක පුරුද්ද
කිලෝමීටර් ගණනක් වෙන්න පුලුවන්.
ඔවුන්ට ආපසු එන්න බැරි තරම් දුර
ඔවුන් නොමග යන්න පුලුවන්.

ඔහු සමග ඒ මග යන්නට
සිය දහස් ගණනක් බලා ඉන්නවා.

සුමග ඉතාමත්ම පාළු දුෂ්කර පාරක්.
නොමග ඉතාම ජනාකීර්ණයි, පහසුයි.

ඒ නොමගට දරුවා යොමු කරන්නේ
දරුවාගේ දෙමාපියන්මයි.

දරුවා ළඟ තියන හොඳ නරක
විශාල ප්‍රමාණයක් මා පිය උරුමයෙන්
ඔවුන්ට ලැබෙන දායාදයි.

ඔබේ දරුවා නොමග යනවිට
ඒ සඳහා ඔබේ දායකත්වය කොතරම්දැයි
මොහොතකට සිතා බලන්න.

ඔබ විශ්මයට පත් වෙයි.