20160319

මිනිසා පවට බිය වීම හොඳ නැද්ද?




මිනිසෙක් තම සතුරා මරාදමන්නට
දැඩි තීරණයක් ගනියි.
සතුරා මරන්නට පිහියක් අතින් ගත් ඔහු
එක් රාත්‍රියක සතුරා එන මග රැක සිටියි.
සතුරා බිම පෙරලාගෙන යටත් කරගෙන
සතුරාට අනින්නට පිහිය ඔසවයි.

 
හදිසියේම සිහිය පහළ වූ ඔහු
පිහිය කැළයට විසි කොට
ඉවත්ව යයි.
ඒ මොහොතේ
ඔහු තුළ කැකෑරුණ ද්වේශය
ඔහු දමනය කර ගත්තේය.
තමා දමනය කරගන්නට
ඔහුට ඉවහල් වූ හේතුව කුමක් වුවත්
ඉන් ඔහුගේ ජයග්‍රහණයෙහි අගය
බාල වන්නේද?
ඔහුට අනාථවන්නට යන
තම දරු පවුල සිහිවූවා විය හැක.
නැත්නම්, සතුරාගේ දරු පවුල,
දෙමාපියන් සිහි වූවා විය හැක.
තමාට නීතියෙන් හිමිවෙන දඬුවම්
සිහිවුණා විය හැක.
පාපයට බියවූවා විය හැක.

කවර හේතුවක් මත හෝ
ඔහු මිනීමරුවෙක් වීමෙන් වැළකිණ.
ඔහුගේ ශීලය රැකුණේ
අවබෝධය නිසා නම්
ප්‍රඥාවට ගෞරවය හිමිවෙයි.
නීතිය නිසා නම්
ගෞරවය හිමි වන්නේ රටේ නීතියටයි.
පවට බිය නිසා නම්
ඔහු අදහන ආගමට ගෞරවය හිමිවෙයි.
තමා මෙන්ම අනෙකාද මරණයට බිය බව
ජීවිතයට ප්‍රිය බව
ඔහුට වටහා දුන් දහමක් ඇත්නම්
ඒ දහමට ගෞරවය හිමිවෙයි.

එහෙත් ඔහු මිනීමරුවෙක් වුණා නම්
මේ සියල්ලෙන්ම දොස් ලබන්නේ ඔහුය.
ඔහු තමා දමනය කරගත් විට
සෑම පාර්ශවයකින්ම ඔහුට
ප්‍රසාදය හිමිවෙයි.

සමාජයට ඔහු හිත දමනය කරගත් ආකාරය
වැදගත් වන්නේ ඔහු අනුගමනය කිරීමටය.
නැත්නම්, 
 සාමාන්‍ය රට වැසියාට වටින්නේ
ඔහුගෙන් සමාජය ආරක්ෂා වීම පමණි.
ඔහු සාමකාමීව ජීවත් වීම සමාජයට ප්‍රමාණවත්ය.

ආගම නිසා පව් කිරීමෙන් වැළකීම
නිරාගමිකයන් හෙළා දකිති.
ආගම නිසා පව් කිරීමෙන් වැළකීම
හෙළා දකින නිරාගමිකයන් කරන්නේ
සමාජ විරෝධී ක්‍රියාවක් නොවේද?
නීතියට බියෙන් තමා දමනය කරගැනීම
ඔවුන් හෙළා නොදකින්නේ මන්ද?

මිනිසුන් මැරීම වරදක් බව නිරාගමිකයා පිළිගන්නට
ඔහුගේ ආගමික පරිසරය ඔහුට බලපාන්නට ඇත.
ඔහු ඒ සත්‍යය පිළිගන්නේ නැත.

බාහිර හේතු මත යහපත් ජීවිත ගත කිරීම
නිරාගමිකයා හෙළා දකින්නේ පුහු මාන්නය නිසා නොවේද?
ඔහු සිය දෙමව්පියන්ට, ගුරුවරුනට
ගරු කිරීම හෙළා ද
කින්නේත්
මේ මාන්නය නිසාම නොවේද?

කොතරම් විද්වතෙක් වුවද
සිඟිති පාසලක මාන්නාධික දරුවන් මෙන්
සමාජයෙහි හැසිරෙයි නම්
ඔවුන්ට ගෞරවය ලැබෙන්නේ ඔවුන්ගෙන්ම සහ
ඔවුන් මෙන් සිතන අයගෙන් පමණි.

කිසිදු දහමක්, දර්ශනයක් නොමැතිව
ආගම් හෙළා දැකීමෙන්
එක කඳවුරක් වන නිරාගමිකයන් පිරිස
එවැනි පැහැදිලි කල්ලියක් ලෙස පවතින්නේ
ඔවුන් පුහුමානයෙන් බැඳී ඇති හෙයිනි.