20190225

හැමදේම එකට කරමින් ජීවත් වී එකට මිය ගිය යුවලක්


හරියට කාන්දම් දෙකක් වාගේ සීයා ළඟින්මයි ආතම්මා හිටියේ
ඒ බැඳීම මිය යන මොහොත දක්වාම තිබුණා
ලෝක ආදරවන්තයන්ගේ දිනය යෙදී තිබුණේ ඉකුත් 14 වැනිදාටය. එය අප රටට අදාළ සැමරුම් දිනයක් නොවුණත් අප රටේ ද බොහෝ දෙනා මෙම දිනය ගැන උනන්දු වෙති. විවාහ දිවිය පුරාම ආදරයෙන් බැඳී ජීවත්වී ආදරවන්තයන්ගේ දිනය දා දෙදෙනාම මිය ගිය කතාවක් අපි ඔබට කියන්නෙමු.
ආදරයට, විවාහයට, පරිත්‍යාගයට, සෙනෙහසට, වයසක් හරස් නොවේ. මේ යුවළගේ කතාන්දරය තවත් එක් කතාන්දරයක් නොවේ. ටජ්මහලේ කතාන්දරය දක්වා ද මෙය ඉදිරියේ දී ලියැවෙනු ඇත. විවාහය, පවුල, පවුල් සංස්ථාව දූ දරුවන් ආදී සියල්ලම ගැන කතා කරන විට සියල්ලම රන් රස සේ කිරිත් දියරත්, ගඟත් ඔරුවත්, ගසත් පොත්තත් සේ එකට විඳ දරාගෙන එකට හිටිය මේ යුවල ලොවටම ආදර්ශයකි.
එදා පෙබරවාරි 14දාට යෙදුණ ආදරවන්තයන්ගේ දිනයයි. ගාල්ල ඌරගස්මංහන්දියේ හල්ගහවේල්ල ග්‍රාමයේදී වියපත් අඹු-සැමි යුවළ එකට අවසන් සුසුම් වාතලයට මුදාහළහ. 17 දා එකම සොහොනේ එකට භූමදාන කළේ ඔවුන්ගේ අන්තිම කැමැත්ත අනුවයි.


තම සීයාගේ හා අත්තම්මාගේ කතාව මුණුපුරා වන උපුල් මුණසිංහ අපට කීවේ මෙසේය.
"අපේ සීයාගේ ගම ගාල්ල, ඇල්ලපිටිය ඌරගස්මහන්දිය හල්ගහවේල්ල. සීයාගේ නම පී.බී. සයිමන්. මියයන විට වයස 92ක් වුණා. රස්සාවට කළේ කුරුඳු තැළීම. අපේ ආතම්මාගේ වයස 74යි. එයාගේ නම එච්.පී. ගුණවතී. රස්සාවක් කළේ නෑ. හරියට කාන්දම් දෙකක් වාගේ සීයා ළඟින්මයි ආතම්මා හිටියේ."
"එදා 14 වන දා ආතම්මාට හිටි හැටියේ අසනීප වුණා. එතරම් ලොකු අසනීපයක් නෙවෙයි. අපි ගිලන් රථයක් අරගෙන ආතම්මා ඇල්පිටිය රෝහලට ගෙන ගියා. ඒ යන කොටත් ආතම්මා මියගොස් ඇති බව වෛද්‍යවරු කීවා. ඒ සමගම සීයා ද ඒ මොහොතේම මියගොස් ඇති බව අපට දුරකථනයෙන් දැනුම් දුන්නා. සීයා ආතම්මා දෙන්නාම එකම දිනක එකම වේලාවක එකටම මියගියා. මේ කතාව අපට නම් අදහා ගන්නත් අමාරුයි."
"මට මතකයි එදා ආතම්මා ගිලන් රථයට නංවන විට සීයා මහා හයියෙන් කෑගැහුවා. මමත් එනවා මමත් එනවා කියලා. අපි කීවා සීයා ඉන්න අපි ආතම්මා රෝහලට අරගෙන යනවා වැඩි අමාරුවක් නෑනේ. ගියා ආවා. බෙහෙත් අරගෙන එන්නම් සීයා ඉන්න කියලා. නෑ මමත් එන්න ඕනා කිය කියා සීයා කෑ ගැහුවා. පසුව තමයි ආතම්මා සමගම සීයා ද එකවරම මිය ගිහිල්ලා ඇත්තේ."
මෙම යුවළට දියණියන් 04ක් ද එක් පුතෙක් ද සිටිති.
"තාත්තා අම්මා අපට හරිම ආදරෙයි. ඒ අය දරුවන්ගේ දරුවන් ද බලාගෙන සතුටින් තමයි හිටියේ."
"අපේ පවුලේ සහෝදර සහෝදරියන් ද දැන් වයසයි. අම්මලා තාත්තලා මැරෙනකම්ම සතුටින් සිටියේ. අම්මාට තාත්තා නැතුවම බෑ. තාත්තාටත් අම්මා නැතුවම බෑ. දෙන්නා හැම තිස්සේම හිටියේ එකට. හරියට කිරියි පැණියි වාගේ. තාත්තා කුරුඳු තළන එක තමයි රස්සාවට කළේ. අම්මා ඒවාට උපකාර කරනවා අපිට පොඩි කාලයේ ඉඳලාම මතකයි. ඒ බැඳීම මිය යන දවස දක්වාම මිය යන මොහොත දක්වාම තිබුණා. නාන්න ගියෙත් ගමන් බිමන් ගියෙත් එකට. කෑම කෑවෙත් එකට එක මේසයේම ඉඳන්. පන්සල් යන්නෙත් එකට. සිල් ගන්නෙත් එකට. එකම තැන තමයි දෙන්නා ඉඳගෙන ඉන්නේ. බෙහෙත් ගේන්න යන්නෙත් එකට. තාත්තාට මොකක් හරි අමාරුවක් තිබුණොත් මෙන්න අම්මාටත් ඒ අමාරුවම තියෙනවා."
“ලොකු දුව තාත්තාට කොන්දේ අමාරුව වාගේ මටත් ටිකක් කොන්ද රිදෙනවා වාගේ” කියා අම්මා කියනවා. ඔය අම්මා කියන්නේ බෙහෙත් ගන්න දෙන්නම එක්කරගෙන යන්න කියලානේ ඉතිං අපේ මොකෝ යන්න ලේස්ති වෙන්න කියා දෙන්නම බෙහෙත් ගන්න එක්ක යනකම් නිවනක් නෑ.
"අපි පුංචි කාලයෙත් අම්මා තාත්තා කිසිදා අමනාප වෙලා ඉන්නවා මම දැක්කේ නෑ. රණ්ඩුවෙලා ඉන්නවා දැක්කේ නෑ. තාත්තා අම්මට කීවේ “දරුවන්ගේ අම්මා” කියලා. අම්මා තාත්තාට කීවේ “දරුවන්ගේ තාත්තා” කියලා. කහට කෝප්පයක් බීවත් දෙන්න එකට බෙදාගෙන තමයි බොන්නේ. තරුණ කාලයේ අපි පාසල් අරගෙන ගියෙත් දෙන්නම පයින්. අපි පස් දෙනාම පාසල් අරගෙන ගියේ පයින්. දෙන්නාම පාසලටත් ආවා. අපි ගෙදර දමලා කඩේ ගියත් පොළේ ගියත් අම්මයි තාත්තයි එකට. කිසිම දවසක අම්මා හෝ තාත්තා තනියම ගමනක් බිමනක් ගිය දවසක් අපි දැකලා නෑ. දෙන්නම යන්නේ නැතිනම් ඒ ගමන නතර කරනවා. ඒ ගමන යන්නේ නෑ."
"උදේ සවස බුදුන් වඳින්නේ එකට. නිදිය ගන්නේ එකම වේලාවට. අපි දරුවෝ හිටියට අපි මේ අම්මා තාත්තට උපකාරයක් කරන්න දෙන්නම ඉඩ තිබ්බේ නෑ. දෙන්නා දෙන්නාගේම වැඩ කරගෙන දෙන්නාම කටයුතු කරනවා. උයා පිහාගෙන කන දේවල්ද දෙන්නාම තමයි කළේ. අපි උදව් කරන්න හදනකොට “උඹලට පිස්සුද? උඹලාගේ දරුවන්ගේ වැඩ තියෙද්දි අපේ වැඩ කරන්න හැකිද?” අම්මා කියනවා. තාත්තා ද ඒකම කියනවා. අපි ඉතින් අමතර කෑමක් හැදුවම ගෙනත් දෙනවා. ඒක හරියටම දෙකට බෙදලා කනවා මිසක කවදාවත් තාත්තා හෝ අම්මා වැඩිපුර ගන්නේ නෑ. ඒ ඒ අයගේ හැටි."
" ඒ කාලයේ වයස ගණන් ගත්තේ නෑනේ. මේ නිසා අම්මා තාත්තා එකටම හිටියේ. මැරෙන දිනය මැරෙන මොහොත දක්වාම එකටම තමයි හිටියේ."
"දෙන්නාම කිව්වේ අපි දෙන්නා මැරුණාම එකම සොහොනක එකම වළක එකම පෙට්ටියක එකම දිනක එකම වේලාවක සිදුකරන්න කියලා. අපි අම්මලාගේ තාත්තලාගේ කැමත්ත අනුව සියල්ලම සිදුකළා. මම හිතන්නේ සංසාර පැතුමක් වෙන්න ඕන. මේ අය එකටම මියගියේ ඒ නිසා වෙන්න හැකියි."
මේ අනුව පසුගිය 17 වන දින එකම මිනී වළක එකටම එකම සොහොනක මිහිදන් කළා. සියලුම ආගමික කටයුතුද කළේ එකට. මරණ දැන්වීම ද එකම කොළයක එකම ආකාරයට එකම විදියකට තමයි සකස් කළේ යැයි දූ දරුවෝ කීහ. අපි ද මේ ආදර්ශමත් යුවළට ඒ අයගේ ආගම දහම අනුව නිවන් සුව පතමු.
-සටහන හා ඡායාරූප
හබරාදූව නිමල් අල්ගෙවත්ත
-ලංකාදීප-


නිරුවත : නිතර දකින කුකුල් කරමලේ සුදුයි


Palitha Iddamalgoda[[[අතුලගෙ කුකුල් කරමල් තියරිය
-----------------------------------------
අතුල සිරිවර්ධන මහත්මයා මෙහෙම කියනවා.
" හැමදාම දකින කුකුළගෙ කරමල සුදුයිලු"
මේ පැරණි උපහැරණය අතුල යොදා ගන්නෙ කාන්තාවගේ මුහුණ අත පය බෙල්ල ආදිය නිතර දැකීමෙන් පිරිමියාට ඒවායෙ අගයක් නැති වී යන බව කියන්නයි.... හරි අපි ඒ උපහැරණය ඊට ගැළපෙනවාය කියමුකො.
තවදුරටත් අතුල මහත්මයා කියනවා ඒ නිසා බටහිර රටවල මිනිසුන්ගෙ ලිංගිකත්වයට තියෙන සංවේදීත්වය අඩුවෙලා ඔවුන්ගෙ ඉන්ද්‍රියයන් දුර්වල වෙනවලු...... බුර්කාව වගේ සංවර ඇඳුමක් ගෑණු අඳිද්දි පිරිමින්ගෙ සංවේදී බව වැඩිවෙලා ඉන්ද්‍රීය ශක්තිය වැඩිවෙනවලු.]]]

මෙතන තියන
ඉන්ද්‍රිය ශක්තිය කතාව
පාලිත අතින් දාපු කතාවක්..  

එහෙම නැත්නම්
පාලිතගෙ අවබෝධයෙ අඩුවක්.

පාලිතගෙ මේ විග්‍රහය වැරදියි.

කායිකව ඉන්ද්‍රිය දුර්වල වීමක්
මම මේ ගැන කියද්දි කියලා නෑ.
ඉන්ද්‍රියවල සංවේදී බව නම්
දුර්වල වෙනවා.

කායික සංවේදී බව සහ
මානසික සංවේදී බව දෙකක්.

කායික සංවේදී බවට
ඉන්ද්‍රිය නිරෝගී බව බලපානවා.
මානසික සංවේදී බව
අඩු වැඩිවීම බලපාන්නෙ
ඉන්ද්‍රිය වලට නොවෙයි,
රාගයට සහ
කාමච්ඡන්දයටයි.

කමච්ඡන්දය කිය්න්නෙ
ප්‍රිය ස්පර්ශයකින් උපදින්
සුඛ වේදනාව නිසා
ඇති වෙන රාගයේ
ක්‍රියා කාරී අවස්ථාවයි.

ස්පර්ශය
සුඛ වේදනාව
රාගය
කාමච්ඡන්දය
කාමුක වචන සහ ක්‍රියා

ඉන්ද්‍රිය කියන්නෙ උපකරණ.
රාගය තමයි විදුලිය සපයන්නෙ.
ක්‍රියාත්මක වීම
කාමච්ඡන්දය

එකම දෙයක් නිතර ඇසීමෙන් දැකීමෙන්
නිතර රස විඳීමෙන්
ඒ දේට සංවේදී තාවය අඩුවීම
ඕනම කෙනෙක් දන්න
සරල අත්දැකීමක්.

අඩ නිරුවත දකින පිරිමි සිත්
ඒ උත්තේජනවලට ගොදුරුවීමෙන්
ස්වාභාවිකව පරිවර්තනය වෙනවා.
රාගයට වගේම මෝහයටත්
පරිවර්තනය වෙනවා.

මේ මානසික පරිවර්තනය
සිදු වෙන්නෙ කොහොමද?

ශීලාචාර සමාජයක
ස්ත්‍රීන් අඩ නිරුවතට යොමු වෙද්දි
සමාජයේ ඉන්න පිරිමි කාමුක වෙනවා.
අශීලාචාර වෙනවා.

කල් ගත වෙද්දි ඒ නිරුවතම
ඔවුන්ට සමාන්‍ය දෙයක් වෙනවා.
ඇසෙන් ලැබෙන කාමුක උත්තේජනය
මනස නොසලකා හරිනවා.

ඇසේ රූපය ගැටෙද්දි ක්‍රියාත්මක වෙන
චක්ඛු විඥාණයට නිරුවත අලුත් නෑ.
හැමදාම වැඩට එන අය දිහා
සෙකියුරිටි ගාඩ් හෙලනවා වගේ
ඇල්මැරුණ ගතියකින් නිරුවත දකින්න
ඇසේ චක්ඛු විඥාණය වෙනස් වෙනවා.
කලින් නිරුවත ඇසේ ස්පර්ෂ වෙද්දි
කයේ ඇති වෙන වේදනා
සංඥාව හඳුනා ගත්තෙ
සුඛ වේදනාවක් විදියටයි.
දැන් චක්ඛු විඥාණයට
නිරුවත ගස් කොලන් වගේ
සාමාන්‍ය දෙයක් වෙලා.

ඉඳහිට ඇඳුම ඈත් මෑත් වෙලා දුටු
නිරුවතෙන් ලද සුඛ වේදනාව
ඇසට මෙන්ම සිතටත් ප්‍රියයි.

දැන් රූපය නිතරම දකිනවා..

ඇසේ විඤ්ඤාණයට
නිරුවත හුරු පුරුදු වෙද්දි
දැන් කයෙහි ඇතිවෙන්නෙ
අදුක්ඛමාසුඛ වේදනාවක්.

කලින් ඇතිවුණ රාගය වෙනුවට
දැන් ඇති වෙන්නෙ මෝහය.

මෝහය තැන්පත් වෙන
ඇසේ චක්ඛු විඥාණයෙන් තීව්‍ර නොකළ
කායික සුඛ වේදනාව දුර්වලයි.
දැන් සංඥාවට හඳුනාගන්න තියෙන්නෙ
අදුක්ඛමාසුඛ වේදනාවක්.
ප්‍රියත් නෑ අප්‍රියත් නෑ.

අදුක්ඛමාසුඛ වේදනාව නිසා ඇති වෙන්නෙ
මෝහ සංස්කාරය.

ඇසේ සංවේදී බව අඩුවෙන්නෙ
මේ වෙනස්වීම හේතුවෙන්.
ඉන්ද්‍රිය දුර්වල වෙනවා නම් වෙන්නෙ
කායිකව නොවෙයි. මානසිකවයි.

දැන් ඇති වෙන්නෙ
සුඛ වේදනාව සහ රාගය නොවෙයි.
කාමයට කැමැත්තක් ඇති වෙන්නෙත් නෑ.

මේ මෝහයෙන් මිදෙන්න,
නෂ්ඨ කාමයෙන් මිදෙන්න
මත්පැන්, මදන මෝදක, ව්‍යාඝ්‍රා ආදී
කායික උත්තේජක අවශ්‍ය වෙනවා.

කායිකව විසඳුම් සෙව්වාට
ප්‍රශ්නය තියෙන්නෙ මනසෙයි.
සිතේ තියන මෝහය ක්ෂය නොකර
මනස සංවේදී වෙන්නෙ නෑ..

මේ සංසිද්ධිය සිදු වෙන්නෙ
නිරුවතට අදාළව විතරක් නොවෙයි.
රාගය ඇති වෙන හැම තැනම
මේ ක්‍රියාවලිය සිදු වෙනවා.
කුඩා දරුවන්ට වුණත් මේ වගේ තමයි.

සුඛ වේදනාවක්
ලබන්නට හිතාගෙන
ආසාවෙන් අතට ගන්න අයිස්ක්‍රීම් බඳුන
බඳුන් දෙක තුන වෙද්දි එපා වෙනවා.

පළවෙනි අයිස් ක්‍රීම් එකෙන් එන
සුඛ වේදනාව දුර්වල වෙලා
අදුක්ඛමාසුඛ වේදනාවක්
සංඥාව ඉදිරියට එනවා.
අදුක්ඛමාසුඛ වේදනාවට
හිතේ ඇතිවෙන්නෙ රාගය නොවෙයි.
මෝහයයි...

මෝහයෙන් මිදෙන්න,
නෂ්ඨ කාමයෙන් මිදෙන්න
මත්පැන්, මදන මෝදක, ව්යාඝ්රා ආදී
කායික උත්තේජක අවශ්ය වෙනවා.


කායිකව විසඳුම් සෙව්වාට
ප්‍රශ්නය තියෙන්නෙ මනසෙයි.
සිතේ තියන මෝහය ක්ෂය නොකර
මනස සංවේදී වෙන්නෙ නෑ..

විවාහයක ස්ත්‍රී පුරුෂ සබඳතාවය
අඩු වෙන්න මූලිකම හේතුවත්
මේ සංසිද්ධියමයි.
රාගයෙන් මෝහයට යනවා.

අරපිරිමැස්මෙන් කාමය භාවිතා කරන අයට
විවාහයේ කායික සබඳතාවය
බොහෝ කලක් රැකගන්න පුලුවන්.

නිරාගමිකයන් බෝතලයක් මැදින් තියාගෙන
වෙනත් පිරිමින් සමග කාලය බොන අතරෙ
ආගමික විවාහක පිරිමි ආගමික ස්ථානවලට
පවුල් පිටින් යන බව අපි දන්නවා.

ආගමික ජීවිත ගත කරන අයගෙ
ඉන්ද්‍රිය සංවර කරන පැවතුම්
ආගමික ජීවන රටාවක
ප්‍රධානම අංගයක් නිසා
රාගයෙන් මෝහයට යෑම
ස්වභාවයෙන්ම අඩුයි.
ආගමික ජීවිත ගත කරන පවුල්
රාගයෙන් නොමග ගිහින්
විවාහ ජීවිතය බිඳගන්නා ප්‍රතිශතය
ඉතාම අවම බව අපට පෙනෙන දෙයක්..
වෙනත් හේතු බලපාන්න පුලුවන්.

සැබෑ ආගමික පවුල් වල සංගතිය ප්‍රබලයි.
එවැනි පවුල් දකින්න පෝයට පන්සලට
ඉරිදාට පල්ලියට යන්න ඕන.

බුර්කාව ඇති හෝ නැති ආගමික පවුල්වල
කායික සංවරය, අඳුම් ඇඳීමේ සංවරය
පවත්වා ගැනීමෙන් හිරි ඔතප් ආරක්ෂා වෙනවා.

නිරුවත ප්‍රදර්ශනය කරන අය කාමුකයි.
එහෙම නැත්නම් නරුම මානසිකත්වයක් තියනවා.
ඔවුන්ගේ මානසික ලෝකයේ හිස්තැනක් තියනවා.
හීන මානීය ආතතියක් තියනවා.
දෙමාපියන්ගෙන් පුරුදු වෙලා ඇබ්බැහි වෙන අය
නිරුවත ප්‍රදර්ශනය කරන්නෙ
ඇබ්බැහි වීම මතයි.

ගණිකාවක් වැනි වාණිජමය උවමනාවකින්
මගතොට දකින අයට, එකට රැකියාව කරන අයට
නිරුවත පෙන්වන්නෙ පිරිමි දමනය කරගන්නයි.
රූප බලයෙන් පිරිමි යටත් කරගන්නයි.
රූපයෙන් ඇති වෙන ආකර්ශනය
කෙමෙන් දුර්වල වෙලා යද්දි
පසුකාලීනව ඔවුන් කාමුක ජීවිතවලට
නතු වීම ස්වාභාවිකයි.

මේ වගේ
විවිධ මානසික අවශ්‍යතා මත
අඩ නිරුවතින් ගමන් කරන අය ඉන්නවා.
සාමාන්‍ය බුද්ධියෙන් විමසීමෙන්
හඳුනා ගන්න පුලුවන්.

දුප්පත් කම නිසා අඩුවෙන් ඇඳුම් අඳින
කිසිවෙක් අපේ සමාජයේ නැහැ.

Palitha Iddamalgoda[[[දැන් මට තියෙන ප්‍රශ්ණෙ කරමල විතරක් යැ නිතර දෙවේලෙ කිකිළියන්ගෙ අහවල් ඒවාත් දැක්කය කියලා මොකෝ කුකුළන්ට හෙන ගහලා ගිහිල්ලයැ..... ඔය අපූරුවට වර්ගයා බෝකරන්න දායක වෙන්නෙ.... එහෙම නිතර දෙවේලෙ දැක්කය කියලා ලිංගිකව බෙලහීන වෙනවනං උපන්දා ඉඳන් හෙලුවෙන් ඉන්න සියළු සකලවිද සතා සීපාවා මෙලොවින් වඳවෙලා යන්න එපැයි ලිංගිකව බෙලහීන වෙලා.]]]
සතුන් ගැන කතාව සරලයි..
අපට අදාළ එකකුත් නොවෙයි..

සතුන්ගේ හිත්වල අපේ හිත්වල වගේ
රාගය උපාදාන වීමක් නැහැ....

දැන්
ගෙදර බල්ලට ගහල එලෙව්වොත්
තව ටිකකින් ඇවිත් නකුට වනයි.
රාගය ද්වේශය උපාදාන වීමක් නැහැ.

සැමියා බිරිඳ දරුවෝ මවුපියෝවත්
ඒ වගේ ද්වේශයෙන් නිදහස් වෙන්නෙ නෑ.
තණ්හාව උපාදාන කරගෙන වවාගන්නවා.

සතුන් අපි වගේ මානසිකව හිත හිතා
රාග ද්වේශ නිෂ්පාදනය කරගනිමින්
විඥාණයේ එකතු කරගන්නෙ නෑ..
දැක්කොත් දැක්කා විතරයි.
උන් දැක්ක බව වත් දන්නෙ නෑ.

තිරිසන් අපායෙ පව් ගෙවෙන්නෙ
ඒ විදියට කියා හිතන්න පුලුවන්.

සංවේදී පිරිමියෙක් බස් නැවතුමේදි
ප්‍රිය කරන කාන්තා රූපයක් දැක්කොත්
කාර්යාලයටත් අරන් යනවා.
පස්සෙන්දා බස් නැවතුමටත් අරන් ඇවිත්
ආයෙ දකින තුරු බලාගෙන ඉන්නවා.
මේ හැම මොහොතකදිම රාගය ඉපදිලා
විඥාණයේ තැන්පත් වෙනවා.
තණ්හාව උපාදාන වෙනවා.
භවය සකස් වෙන්න
ඇගේ පස්සෙ යන්න ඉන්ධන වෙන්නෙ
එසේ රැස් කළ රාගය තමයි.

සතුන් රාගය තැන්පත් කරන්නෙ නෑ.
උන්ට කාමය කියන්නෙ කුසගින්න වගේ
ඇති වෙලා නැති වෙලා යන
කායික අවශ්‍යතාවයක්..

මිනිස් ඇසුරෙ වෙසෙන සතුන්
කාමුක බවින් වැඩියි කියන්න පුලුවන්.
උන්ව කායිකව හුරතල් කරලා
රාගය පෝෂණය කරන නිසා
උන්ටත් රාගය උපාදාන වෙනවා.

20190224

මත්පැන් බීමෙන් පවක් වෙන්නෙ කොහොමද?

 
 ප්‍රඥාවෙන් මත්පැන් බීම දකින්න නම්
බුදුන් වහන්සේ දුටු ආකාරයට
මත්පැන් දකින්න පුලුවන් වෙන්න ඕන.

බුදුන් වහන්සේ ඇයි ඔබට
මත්පැනෙන් වළකින්න
යෝජනා කරන්නෙ.

මේ සංවාදයෙන් ඒ පිළිබඳ
තොරතුරු ටිකක් හොයාගන්න
ඔබට හැකි වේවි.
 
Kasun Nimantha
මත් පැන් බිංදුවක් බිව්වොත් මොකද වෙන්න ඒක පවක් වෙන්නෙ කොහොමද ?

Athula Siriwardhane
මත්පැන් බීම පාපයක් නොවෙයි.
පාපයට දොරටුවක්..
අකුසල් සිදු වෙන්න දොරටුවක්..

මත්පැන් වලින්
මේ මොහොත පිළිබඳ
සිහිය දුර්වල වෙනවා.
ප්‍රමාදය කියන්නෙ ඒකටයි..
පමාදට්ඨාන

මේ සමාධිය මිථ්‍යා සමාධියක්.
වැරදි සමාධියෙන් සිහිය අඩු වෙනවා.
කායිකවත් සිහිය විනාශ වෙනවා...
සංවේදී බව අඩු වෙනවා.
මනස පටු වෙනවා.

වයසට යද්දි සිහිය දුර්වල වෙනවා.
සමහර විට
සිහිය නැත්තටම නැති වෙනවා..

Kasun Nimantha
මම මත්පැන් අංශු මාත්‍රයක් බීල තියන්ව , මම දන්න විදිහට coca cola වල ස්වල්ප ප්‍රමානයක් ඇල් කොහොල් අඩංගුයි මම බීල තියනව ඔය කියන මුකුත් වෙල නැහැනෙහ්

Athula Siriwardhane
පළවෙනි වතාවට බෝතලයක් බිව්වත්
මත්වුණේ නැත්නම් ප්‍රශ්නයක් නෑ..
මට නම් පළවෙනි දවසෙ
බියර් උගුරු කීපයක් බීල
කාපු සේරම වමනෙ ගියා.

Kasun Nimantha
මම මේ කියන්නෙ අංශු මත්‍රයක් ගැන බිංදුවක් කියල හිතන්නකො, කොක කෝල බොතලයක් බොනව කියල හිතන්නකො. එතකොට

Athula Siriwardhane .
ප්‍රමාදයට පත් වෙන තරමට
මත් වෙන්නෙ නැත්නම්
බුදුන් වහන්සේටවත් ප්‍රශ්නයක් නෑ..

Kasun Nimantha
ප්‍රශ්නයක් නැහැ කියන එක උත්තරය නෙවේ , මමත් දන්නෙ නැති නිසයි ඔබ තුමගෙන් ඇහුවෙ, බලන් යනකොට ඔබතුමාත් දන්නෙ නෑ, දැන් නැත් තන් දන්නෑ කියනන්ඩ, වැල් වටාරම් කියන්නෙ නැතුව.

Athula Siriwardhane .
අවශ්‍ය ප්‍රමාණයට රත් වුණේ නැත්නම්
ගින්නක් ඇති වෙන්නෙ නෑ.

Kasun Nimantha
ඒ කියන්නෙ බිංදුවක් බිව්වට අවුලක් නැහැ. නේද?

Athula Siriwardhane
සිල්පදයෙ තියෙන්නෙ
මත් වීමෙන් ප්‍රමාදයට නොපැමිණෙමි
කියලයි...
ඔබ මත් වෙන්න අවශ්‍ය
බිංදුවක්ද බෝතලයක්ද
කියා දන්නෙ ඔබයි.

Kasun Nimantha 
මට ඕක තෙරෙන්නෙ නැති නිසයි අහුවෙ,බිංදුවක් බිව්වට මත් වෙන්නෙ නෑ මම බීල තියනව,කාලක් විතර බිව්වොත් මත් වෙනව ඒතකොට ඔය කියන එක හරි, මට ඕ නෙ දැන ගන්න අර මත් පැන් බිංදුවක් ගන්නකොට ඔය සිල් පදය තේරුම් කරගන්න ඕනෙ කොහොමද කියල. අංකල් මෙච්චර වේලා කොච්චර ටොක්ස් දුන්නත් ඔයා දැන්නෙත් නෑ ඒ හේතුව,ඔයත් ඒක කාගෙන් හරි අහන්න, මාත් අහන්නම්

Athula Siriwardhane
දැන් මට සිදු වෙන්නෙ
මම දන්නවා කියා පෙන්වන්නයි.
ඒ දන්න ටිකත් මදි වෙන්න පුලුවන්..
එහෙම වුණොත් ප්‍රශ්න කරන්න.

ඔබ මට කියන්නෙ
හැන්දෙන් පොවන්නද?

ඔබ හැන්දෙන්
පොවන්න ඕන කෙනෙක් නොවෙයි...
කාටවත් එහෙම පොවන්න මම කැමති නෑ...

ඔබ තනියම හිතල
තේරුම් ගන්න පුලුවන් කෙනෙක්.

ඔබ වගේ අයටත්
සමහර වෙලාවට
හැන්දෙන් පොවන්නත් වෙනවා.

වයසට ගිහින් හෝ
තර්කවලට ඇබ්බැහි වෙලා
ඔලුව අවුල් වුණ අයට
හැන්දෙන් පොවන්න වෙනවා.

ඔවුන්ට දෙයක් තේරුම් ගන්න
කල් යනවා. විස්තර අවශ්‍යයි.

ඔබට ප්‍රශ්නයක් වෙලා ඇත්තෙ
අපේ මෝඩ අධ්‍යාපන ක්‍රමය.
ඔබ හොයන්නෙ ටියුට් එකක්.
මම ටියුට් දුන්න කාලයක් තිබුණා.
මමත් මගේ වැරදි හදා ගන්නවා.

ඔබ වගේ හිතන අයට ටියුට් දුන්නොත්
ඔබ හිතල බලන්නෙ නෑ.
ඒක අපි දෙන්නාටම හානිකරයි.
මමත් ඔහේ දේශන දෙන්න හුරු වෙනවා.
ඔබ තොරතුරු රැස් කරන්න පුරුදු වෙනවා.
"ඔයා දන්නෙ නෑ" කියන චෝදනාව
අහගන්න බලාගෙන හරි වෙට්ටු දාන එක
අපි දෙන්නාටම හොඳයි.

ඔබ අහපු ප්‍රශ්න හොඳට ඇහුවා.
ඔබට අවශ්‍ය පිළිතුරු මමත් දුන්නා.
ඔබ ළඟ තොරතුරු මදි.

ඔබ ඔය අන්තිමට අහපු ප්‍රශ්න දෙකට
මම ඉතාම පැහැදිලිව පිළිතුරු දීල තියනවා.

මත්පැන් බීමෙන් පවක් වෙන්නෙ නෑ කිව්වට
මත්පැන් බීමෙන් පවක් වෙන්නෙ කොහොමද කියල
ඔබට කිව්වෙ නැත්තෙ ඔබ ඒ දුර
මාත් එක්ක නොගිය නිසා.

ඔබ මට කියන උදාහරණයෙන්
කොකා කෝලාවල ඇල්කොහොල්වලින්
බුදු දහමෙ "මත්පැන් පානය කරලා
ප්‍රමාදයට පත්වුණා" කියන
ගැටලු සහගත තැනට ඔබ එන්නෙ නෑ කියලා
මම ඔබට කිව්වා.

අවස්ථා දෙකක
ඔබේ ඉවසීම බිඳුණා.
ඔබ දැන් අමුවෙන්ම ප්‍රශ්නෙ ඇහුවා.
"මට ඕනෙ දැන ගන්න අර මත් පැන් බිංදුවක් ගන්නකොට
ඔය සිල් පදය තේරුම් කරගන්න ඕනෙ කොහොමද කියල."

මේ ප්‍රශ්නය මගෙන් අහලා
මම අමාරුවෙ වැටෙන්න ප්‍රශ්න කරන්න
ඔබ අඩුම ගානෙ තියරි එකත් දැන ගන්න ඕන.
අත්දැකීම විතරක් මදි.

තියරි එකවත් නොදන්න කෙනෙක්
තියරි එකට අනුව
අත්දැකීම දන්න කෙනෙක් අල්ලගෙන
ඔහු අමාරුවෙ දාන්න හිතාගෙන
වැරදියට ප්‍රශ්න අහන්න ගියාම
නොදන්න කෙනාගෙ ඉවසීම බිඳෙනවා.

තියරි හොඳටම දන්න කෙනෙකුටවත්
තියරි එකත් දැනගෙන
විඳ පසක් කළ කෙනා වට්ටන්න බැහැ.
මගදි පැනල යන්න වෙනවා.
දක්ෂයා එතනදි නැවෙනවා.
ඔහු පරිවර්තනය වෙනවා.

අංගුලිමාල දක්ෂයෙක්.
ඒක වාක්‍යයෙන් ඔහු නැවුණා.

සච්චක අදක්ෂයෙක්.
දින හතක් බුදුන් වහන්සේ සමග
ඔහු වාද කරගෙන යද්දි
අහගෙන හිටිය අය මාර්ග ඵල ලැබුවා.
බුදුන් වහන්සේ වාදය යද්දි
කාය භාවනා චිත්ත භාවනා ගැන
සච්චකට කියා දුන්නා.
"අග්නිවෙස්සන,
කාය භාවනා නැති ඔබට
මොන චිත්ත භවනාද?"
බුදුන් වහන්සේ සච්චකට කිව්වා.

බුදුන් වහන්සේ
සච්චකගෙ බඩ ගැන ඇහුවෙ අන්තිමට.
පළවෙනි දවසෙම බඩ ගැන අහලා
සච්චක පරද්දන්න තිබුණා.
බුදුන් වහන්සේ එහෙම කළා නම්
මාර්ග ඵල ලබාපු අයට
මොකද වෙන්නෙ.
සුදුසු වෙලාවට ඇහුවා...
සච්චක පැනලා දිව්වා...
සච්චක වෙනස් වුණේ නෑ..

සච්චකලා බුකියෙ වැහි වැහැලා.
මටත් නිතරම හමුවෙනවා.
මම සාමාන්‍ය කෙනෙක් නිසා
සච්චක කෙනෙක් එක්ක පැටලුණාම
ඔහු වාදයෙන් පරදිනකොට
කුණුහරුප අහගන්න වෙනවා
නින්දා අවමාන විඳින්න වෙනවා.
අහන් ඉන්න අය ගැන හිතලා
අපිට ඉදිරියට යන්න වෙනවා.

ඔබ ප්‍රශ්න කළේ අවංකවම
පිළිතුර දැන ගන්නද?
ඔබේ උවමනාව අවංක නම්
මම නොදන්න දෙයක් දැනගන්න
මට අවස්ථාව සැලසීමක්
ප්‍රශ්නවලින් සිදු විය යුතුයි.

ඔබට ඕන වුණේ මේ ටික කියන්න
"අංකල් මෙච්චර වේලා කොච්චර ටොක්ස් දුන්නත් ඔයා දැන්නෙත් නෑ ඒ හේතුව,ඔයත් ඒක කාගෙන් හරි අහන්න, මාත් අහන්නම්"
ඔබට ඕන වුණේ මේ ටික කියාගන්න
සුදුසුයි කියා හිතෙන අවස්ථාවක්.

දැන් ඔබ ඒ තෘප්තියත් ලබාපු නිසා
කාගෙන්වත් අහන්නෙ නැතුව දැනගන්න
අවශ්‍ය තොරතුරු මම දෙන්නම්..
මදි නම් තව අහන්න.

කොහොම වුණත් ඔබ මේ
ප්‍රශ්න ඇසීම වැදගත්.
අතුරු කතා දොස් නොවෙයි.

ඔබට වැරදුණේ මෙතනයි.
"මට ඕනෙ දැන ගන්න අර මත් පැන් බිංදුවක් ගන්නකොට ඔය සිල් පදය තේරුම් කරගන්න ඕනෙ කොහොමද කියල"
මෙතනට සිල් පදය අදාළ නෑ.
ඔබ කොකා කෝලා බෝතලෙන්
එහාට යන්න ඕන.
ඔබ කාලක් බීල තියන කතාව
මාත් එක්ක කියන තුරු
මට ඔබව එතනට අරන් යන්න බෑ..

ඔබේ වයසෙ කෙනෙකුට
මම එහෙම කිව්වා නම් වැරදියි.
ඒත්
අත්දැකීම අවශ්‍යයි.
සිල්පදය බිඳෙන තැනට යන්න
ඔබ තව ඉස්සරහට යන්න ඕන.
ඔබත් බේබද්දාත් අතරෙ
රතු ඉරක් තියනවා.
ඔබ එතන පැනලා නැත්නම්
ඔබ රතු ඉර දන්නෙ නෑ.

ඔබත් අත්දැකීමෙන් රතු ඉර පැන්න බව
ඔබ මට කිව්වෙ අන්තිමට...
ක්ලෝසින් ස්පීච් එකේදි ඔබ කිව්වෙ.
"මම බීල තියනව,
කාලක් විතර බිව්වොත් මත් වෙනව "

රතු ඉර පැන්නත් මත්පැන් බීම
පවක් වෙන්නෙ නෑ,
ඒත් අකුසල් සිදු වෙනවා.

ඔබේ සිතේ නීවරණ මතුවුණාම
ඔබට තියෙන්නෙ අකුසල් සිතක්.
මත්පැන් බීපු අයගෙ සිත්වල
පහසුවෙන් නීවරණ පහළ වෙනවා.

ඇත්ත ජීවිතේ හිමිජ්ජො වගේ ඉන්න
නිවට නියාලු අබලන් මිනිස්සු
කාලක් වැදුණාම නීවරණ මතුවෙලා
සිංහයො වෙනවා.

ඔහුගෙ කෙලෙස් ගබඩාවෙන්
ඔහුට පාලනය කරගන්න බැරි
ද්වේශ සංස්කාර ප්‍රමාණයක්
එකවර හිතට නිදහස් වෙලා
ව්‍යාපාද නීවරණය බවට පත් වෙනවා.

ව්‍යාපාදය අකුසලයක්.

ඔහු සිංහයෙක් කරන්නෙ
පාලනයක් නැති ව්‍යාපාදයෙන්.
කවුරු හරි කණට ගැහුවාම
හතරගාතෙ දාල වැටිලා
හඬාවැටෙන්නෙත්
ව්‍යාපාදය නිසාමයි.

මම පිළිතුරු දුන්න විදියෙන්
ඔබේ ඉවසීම බිඳිලා ඔබ දාපු
කමෙන්ට් දෙකේත් ව්‍යාපාදය තියනවා.

ඔබ මත් වෙන්න බීලා හිටියා නම්
ඔබ කුණුහරුප කියන කෙනෙක් නම්
මට කුණුහරුපත් අහගන්න තිබුණා.

එහෙම අය දෙන්නෙක් අදටත් මගේ
මිතුරු ලැයිස්තුවෙ ඉන්නවා.
දෙන්නාම බුද්ධිමතුන්.
එක්කෙනෙක් ඉතාම නිර්මාණශීලී කෙනෙක්.
පාසැල් වියේ පටන් මිතුරෙක්.
ඔහු බුකියෙ නැතිකාලෙ බුකියට එන්න කියලා
මම යෝජනාත් කළා.

ඔවුන් දෙන්නාම බේබද්දො වුණත්
බුද්ධිමතුන්, මිතුරන් නිසා
මම ඔවුන්ගෙ බාල හැසිරීම් ඉවසනවා.

ඔවුන් කරන්නෙ මොනවද කියා
ඔවුන් බීපු වෙලාවට දන්නෙ නෑ.
ඔවුන් ඇති කරගන්නෙ අකුසල් සිත්.
ඒකට මමත් දායක වෙනවා.
එක පැත්තකින් වරදක්.
ඒත් ඔවුන්ගේ මිතුදම වෙනුවෙන්
මම ඒ ක්‍රියාව සිදු වෙන්න හරිනවා.

මගේ සමාධිය රැකගෙන කතා කරන නිසා
ඔවුන්ට මාව ආදර්ශයක් වෙයි.
සිහිය කඳුළක් හෝ තිබුණොත්
මත්පැනෙන් මත්වුණ වෙලාවට
ඔවුන්ගේ අසරණ බව ඔවුන් තේරුම් ගනියි.
සමහර විට ටිකක් හැදෙයි.

අකුසලය පවකුත් නොවෙයි.
අකුසලය පවකට වඩා බලවත්.

ඔබ කෙනෙකුට කනේපාරක් ගැහුවොත්
සිතේ තියෙන්නෙ ව්‍යාපාද අකුසලය.
ඔබ කරන්නෙ පාප කර්මයක්.
අකුසලය අංශක 25 නම් කර්මය 25යි.
අකුසලය අංශක 65 නම් කර්මය 65යි.
විපාකය එන්නෙ ඒ අංශක ගාණට.

කර්මය විපාක දීල ඉවර වෙයි.
අකුසලය කැළලක් වගේ
ඔබේ හිතේ එකතු වෙනවා.

කවදාක හරි විපස්සනා වඩන දිනක
අප්‍රිය වේදනාවක්, ද්වේශ සිතක්,
ව්‍යාපාදයක් විදියට ඔබ තුළම
ඔබ රැස් කරගත් අකුසලය
සිහියෙන් දකින්න ඔබ පුහුණු වුණොත්
ඒ දකින දෙයින්
අලුත් ද්වේශයක් ව්‍යාපාදයක්
ඇති කර නොගෙන ඉවත් වෙන්න හැරිය යුතුයි.

පාප කර්මයක විපාකය ගෙවිලා යාවි.
අකුසලය කල්ප ගාණක් ඔබත් එක්ක යනවා.

කර්මවලින් ප්‍රඥාව ආවරණය වෙන්නෙ නෑ.
අකුසලයෙන් ප්‍රඥාව ආවරණය වෙනවා.

වතුරට මඩ එකතු කරලා
රත් කළොත් රස්නෙ පසුව නිවී යාවි.
වතුර වාශ්ප වුණත් මඩ ඉතුරු වෙනවා.
අකුසල් ඉතුරු වුණාම තවත් භවයකට
ඒ අකුසල් ටික ප්‍රමාණවත්.
පුනර්භවයකට යන්නෙ අකුසල්.
භවය සකස් වෙන්නෙ කර්ම අනුවයි.

තවත් භවයකට මඩ ටික ගිහින්
වතුර ටිකක් වැටුණාම මඩ වතුර හැදෙනවා.
කර්ම තිබුණොත් ඒ කර්මත් විපාක දෙයි.

මත්පැන් වලින් නීවරණ මතු වෙලා
සිතේ අකුසල් ඇති වෙන නිසා
සිතට "මේ මොහොත" දැකීමෙ හැකියාව
හිතෙන් ගිලිහිලා යනවා.
ප්‍රමාදය කියන්නෙ ඒකයි.
එතන තමයි මත්පැන් වල රතු ඉර.

මුල් කාලෙ
කාලකින් වෙරි වුණ කෙනෙක්
රතු ඉරට යන්න බාගයක් ඕන වෙනවා නම්
කාලකින් වෙරි නොවී ඉන්නෙ
ඔහුගෙ සිහිය දියුණු වෙලා නොවෙයි.

සාමාන්‍ය වෙලාවට ඔහුගෙ සිහිය පවතින්නෙ
කාලක් බීල මත්වුණ කෙනෙකුගෙ මට්ටමේ.
ඒ හින්දා ඔහුට මත්වෙන්න තව කාලක් ඕන.

ප්‍රමාදයට පත්වෙන ගානට මත්පැන් බීම
ශික්ෂණය කරගත යුතු විදියෙ
හානිකර පුරුද්දක්.
පුරුද්දක් ඇබ්බැහිකමක් වුණොත්
ගැලවෙන්න අපහසුයි.

මත්පැන් බීම පාපයක් නෙවෙයි.
අකුසල් සිත් පාලනයක් නැති වෙන නිසා
පාප කර්ම වලට දොරටුවක්..







20190208

විද්‍යාව ගණිතය අසමත් නම් දහමත් අසමත්.



විද්‍යාවෙත් ගණිතයෙත්
තේරුම් ගත යුතු ප්‍රායෝගික කොටස්
ඈතම අතීතයේ පටන්ම
මිනිසා භාවිතා කළා.

ආකිමිඩීස් හෙලුවෙන් දුවන්න
වසර දහස් ගණනකට පෙරත්
මිනිස්සු ගහක කඳක් හාරලා
ඝනත්වය අඩු කරගෙන
වතුරෙ පැද්දා.

මිනිසා අංග විකල කරන උපකරණ තැනීමත්
ශරීරයට අනවශ්‍ය රසායනික ද්‍රව්‍ය
ආහාර මාර්ගයෙන් සහ රෝග ප්‍රතිකාර මගින්
කයට එකතු කරලා දූෂණය කිරීමත් හැර
මිනිසාගේ මානසික ප්‍රශ්න විසඳීමට
විද්‍යාව දායක වී තියනවාද?
ඒ අඩුව පිරෙන්නෙ ආගම් වලින්.

බුදුන් වහන්සේ නිවන හෙව්වා කියන
විශාල පිරිසක් බොදුනුවන් අතර ඉන්නවා.
ආකිමිඩීස් සොයාගත්තෙ යුරේකා කියල
ඔවුන්ගෙන් ඇහුවොත් ඔවුන් කියාවි.
මේ විද්‍යාඥයින් දෙදෙනාම සෙව්වෙ
ප්‍රායෝගික ප්‍රශ්න දෙකකට විසඳුම්.
ඒ විසඳුම් ප්‍රායෝගිකයි.
ඒත් අද ඉන්නෙ ඒ විසඳුම් වල
තියරිය පාඩම් කරන ගිරව් රංචුවක්.

පාසලේ උගන්වන විද්‍යාව සහ ගණිතය
ඉතාම සරල ඉගැන්වීම් පෙළක්.
බහුතරයක් ගුරුවරු අදක්ෂ වීම
සිසුන්ට, දෙමාපියන්ට අරමුණු බහුල වීම
පාසල්වල විනය පිරිහීමත් ආදී
බාහිර හේතු මත නේද
ළමයි පාසල් විෂය වලින් අසමත් වෙන්නෙ.

මේ අසමත් වෙන පිරිස
දහම තේරුම් ගන්නෙත් නෑ.
ඒ සඳහා අවශ්‍ය සීලය, සමාධිය
ඔවුන් තුළ ඇත්තෙ නෑ.

දවස පුරාම දොස්තරවරු හමුවෙන්න
පෝලිම් ගානෙ රස්තියාදු වෙන පිරිස
විද්‍යාව ගණිතය සමත් වූ පිරිසක්ද?
ඒ පෝලිම් වල ඉන්නෙත් පෝයට පන්සල් යන
ඉරිදට පල්ලි යන අයම තමයි.

මානසික ප්‍රශ්නවලින් අසරණ වුණාම
දෙවියන් අදහමින් පස්සෙන් දුවනවා.
කායික ප්‍රශ්නවලින් අසරණ වුණාම
දොස්තරවරු අදහමින් පස්සෙන් දුවනවා.

ප්‍රශ්න අමතක කරන්න
ආගම් පස්සෙ යන අයට දහම තේරෙන්නෙ නෑ.
ඔවුන්ට ලැබෙන්නෙ ආගමික පැනඩෝල් එකක්.

දොස්තරලා පස්සෙ යන අයටත් රෝග ගැන,
ඖෂධ ගැන, දැනුමක් ඇත්තෙ නෑ.
පැනඩෝල් වගේ සරල පෙත්තකින්වත්
කය තුල සිදුවෙන්නෙ කුමක්ද කියා
ඔවුන්ට හැඟීමක් ඇත්තෙ නෑ.

පැනඩෝල් වලින් රෝග සුව වෙනවා
කියා හිතන දහස් ගාණක්
බෑග් එකේ පැනඩෝල් තියන් ඉන්නවා.

මල් පහන් පිදීමෙන්, සිල් ගැනීමෙන්
සමාධිය වැඩීමෙන් නිවන් දකිනවා කියා
විශ්වාස කරන උපාසකම්මලා වගේම
රෝග සුව කරගන්න හිතාගෙන
පැනඩෝල් බොන උගත් නෝනලාත්
එක වගේම මුලාවක ඉන්නෙ.

සීලයෙන් සමාධියෙන් යා හැකි දුර දන්න අය
ඒ මාර්ගයෙ යන්න හැකිතරම් දුර ගිහින්
ප්‍රඥා මාර්ගයට පිවිසෙනවා.
තාවකාලික ප්‍රථමාධාරයක් විදියට
පැනඩෝල් වලින් හිසේරදයට නිර්වින්දනය වෙලා
සැබෑ රෝගයට ප්‍රතිකාර ගන්න අයත් ඉන්නවා.

විද්‍යාව ගණිතය ගිරව් වගේ පාඩම් කළත්
බුදු දහම ගිරවෙක් වගේ පාඩම් කළත්
සහතික ගන්නවා හැර වෙනසක් වෙන්නෙ නෑ.

ජීවිතේ සැබෑ වෙනසක් අවශ්‍ය අය
ආකිමිඩීස් වගේ හෙලුවෙන් දුවන තැනට
විද්‍යාව තේරුම් ගත යුතුයි.

දහමෙන් සැබෑ වෙනසක් අවශ්‍ය අය
කිසා ගෝතමී පටා චාරා වගේ
ජීවිත ගමනෙදි හිර වුණාම
දහමෙන් පිහිට සෙවිය යුතුයි.
විපස්සනා පාඨමාලාවකට ඇවිත්
ජීවිතේ පරිවර්තනය වෙලා
අලුත් මිනිසුන් වගේ පිට වෙලා යන්නෙ
ජීවිතේ දුකක් වෙලා ආව අය.
ඔවුන් සැප සොයන්නෙ නෑ.
ඔවුන් හොයන්නෙ දුකෙන් මිදෙන මගක්.
සැප සොයන අයට ප්‍රඥාව හමුවෙන්නෙ නෑ.
ප්‍රඥාව අවශ්‍ය දුකෙන් මිදෙන්නයි.

එන්නතක් අරන් ඔබ ළඟට එන දොස්තර
ඒ එන්නතෙන් වෙන දේ පරීක්ෂා කරල නෑ.
ඔහු එන්නත පරීක්ෂා කරන්නෙ ඔබට විදලා.
"ඇවිත් ප්‍රතිඵල කියන්න" කියන්නෙ ඒ නිසයි.

මම රහත්, මම සෝවාන් කියන
ආගමික පූජකයනුත් එහෙමයි.
ඔවුන් රහත් සෝවාන් කියා තහවුරු කරගන්නෙ
ඔවුන් වටේ රැස්ව සිටින අයගේ සාදුකාරයෙන්.

විද්‍යාව වගේම දහම හමුවෙන්නෙත්
දුකෙන් මිදීමක් හොයන අයටයි.
සැප හොයන අය ව්‍යාපාරිකයන්ට රැවටෙනවා.
ඔවුන් ඔබව සූරා කන්න කලින්
සැප සම්පත් ලබාගන්න මග පෙන්වලා
ඔබ අංග විකල කරනවා.

විද්‍යාවෙන් සැප හොයන අයට උපකරණ හමුවෙනවා.
සැබෑ විද්‍යාව ගණිතය හමුවුණේ
ඒ මාර්ගයෙන් විසඳාගන්න ප්‍රශ්න තිබුණ අයටයි.
ඔබට හමුවෙන්නෙ ඒ සොයා ගැනීම්වලින්
මුදල් උපයන ව්‍යාපාරිකයන්.

සැබෑ දහම සැබෑ නිවන් මග හමුවෙන්නෙත්
දුක කියන්නෙ මොකක්ද කියා
ජීවිතයෙන්ම තේරුම් ගන්නා අයටයි.
දහමෙන් නිවන් සොයන අයට
පුදපූජා, සමථ භාවනා හමුවෙලා නවතිනවා.

විද්‍යාවෙන් ගණිතයෙන් අසමත් අය
දහම ඉදිරියෙත් අසමත් වෙනවා.

විද්‍යාව ගණිතය අවබෝධයෙන්
ප්‍රායෝගිකව ප්‍රයෝජන ගන්න අය
ඒ දෙකෙන් වගේම දහමෙනුත්
ප්‍රායෝගික ප්‍රයෝජන ගන්නවා.

විද්‍යාව ගණිතය අසමත් නම්
දහමත් අසමත්.