20180227

පනාමුරේ මෛත්‍රීගෙ දූෂණ සටන ඉවරද?


සිංහල ජාතියේ අබිමන් කෙළෙසන
කුණ බැහැපු ශ්‍රී ලංකා දේශපාලනය තුළ
අපට තව මෛත්‍රීලා 225ක් හදාගන්න බෑ.
මේ 225ම ගමන් කරන්නෙ දූෂණය දිසාවටයි.
ඔවුන් පාර්ලිමේන්තු එන්නෙත් දූෂණය සඳහායි.
අපි ඒ හැමෝම ගැන හිතන්නෙ එහෙමයි.
අපට ඔවුන් පෙනෙන්නෙ එහෙමයි.

අප මෙතෙක් බලාපොරොත්තු තැබූ
දූෂණ විරෝධයේ නියමුවා
මෛත්‍රීත් මේ සටනෙදි අසාර්ථකයි.


මෛත්‍රී වෙස්මුහුණක් කරගෙන
යහපාලන හොරු මහ බැංකුව
මහ දවාලෙ බින්දා.


මේ කුණුගොඩවල්
පුලුවන් විදියට සුද්ධ කරගෙන
දූෂණය කරන්න තියන ඉඩකඩ අහුරගෙන
එදින් එදාට පුළුවන් විදියට
ඉදිරියට යන්නයි අපට වෙන්නෙ.

වයස 15-16 සිට වසර 50ක්
දේශපාලනයෙ කතා අහපු නැති මෛත්‍රී
බලයෙන් පහ කරන්න කතා හදන රටේ
ඇත්ත හොරු නැති පාර්ලිමේන්තුවක්
එක රැයෙන් හදා ගන්න බෑ..

රට හෙමිහිට හරි ගමන් කරන්නෙ
දූෂණ විරෝධය පැත්තට නම්
ඒ මෛත්‍රීගෙ තනි මැදිහත්වීම මතයි.

අදටත් මෛත්‍රීගෙ සටනට එකතු වෙලා
හොරුන්ට විරුද්ධව නැගී හිටින කෙනෙක්
මුළු පාර්ලිමේන්තුව තුළම නැහැ.

සමහරු මෛත්‍රී කරාවිද නැද්ද කියා
බලාගෙන සිදුවීම ගැන කතා කරනවා.
නොකරාවි කියල හිතෙන කොට සතුටුයි.
" දූෂණය නැති කරන්නෙ නෑ" කියමින්
අසතුට පෙන්වන්නෙ සතුට හංගාගෙනයි.

මෛත්‍රී දූෂණය නැති කරන්නෙ නෑ කියා
මහ හඬින් දෝෂාරෝපනය කරන
"කිසිම කෙනෙක්" මෛත්‍රීට උදව් කළේ නෑ.
ඔවුන් මහින්දගෙ, රනිල්ගෙ හොර ගුහා ක්‍රමයට
යටි හිතින් ආශීර්වාද කරනවා.

මෛත්‍රී වසර තුනක් තිස්සේ තනිවම
රට හරි දිසාවට යොමු කරගෙන තියනවා.
යම් කෙනෙක් උවමනාවෙන් බැලුවොත්
ඒ බව පැහැදිලිව පෙනෙනවා.

බැලිය යුත්තෙ දූෂණය නැතිවෙලාද
ඔක්කොම හරිද කියා නොවෙයි.
එදා තිබුණ දූෂණය අඩුවෙන පැත්තට
ආකල්පමය අතින් හෝ රට ගමන් කරනවාද?
දූෂණ විරෝධයේ වර්ධනයක් වෙලාද?
දූෂණය නැති කිරීම ගැන යම් පමණක
බලාපොරොත්තුවක් දැල්වෙනවාද කියායි.

මේ එවැනි කාලීන කරුණු දෙක තුනක්.

1,
මිනිස්සු මෛත්‍රීට දොස් කියන්නෙ
එකම එක හේතුවකට, එකම එක දුර්වල කමකට.

"මෛත්‍රී හොරු ඇල්ලුවෙ නෑ"
මේ චෝදනාව ලබන්න ඔහු මිනිසුන් තුළ තිබුණ
විශ්වාසය බිඳ දමා තියන බව පෙනෙනවා.
දූෂණ විරෝධී ශීලාචාර පොදු ජනතාව
අදටත් ඔහු පිළිබඳව විශ්වාස කරනවා.
ඔහු පිරිසිදු බව පිළිගන්නවා.

මෛත්‍රී ට දොස් නගන අයගෙන්
සියයට අනූ නවයක්ම හඬ නගන්නෙ
දූෂණය නැති වෙනවාට කැමති නිසා නොවෙයි.
ඒ මිනිස්සුත් තමන්ගෙ මට්ටමෙන්
කාර්යාලයෙ, වැඩපලේ, වැඩ කරන බස් රියේ
දූෂණ වලින් කීයක් හරි හොයන අය.

ඔවුන්ගෙ ලේවල, අඹුදරුවන්ගෙ ලේ වල
දූෂණයෙන් ලද පෝෂණය තියනවා.
ඔවුන්ට දූෂණය කියන්නෙ වරදක් නොවෙයි.
දූෂණය ඔවුන්ට ආදායම් මාර්ගයක්.
ඒ ආදායම පෝෂණය වෙන විදියෙ
දූෂණකාමී රජයක්, පාලනයක්
ඔවුන්ට නැවතත් අවශ්‍ය වෙලා තියනවා.

දූෂණ විරෝධයෙන් තමන්ගෙ නායකයන්ට
දුකක් කරදරයක් වෙයි කියා බියෙන් පසුවෙන
දූෂණ පාක්ෂික වංචනික මිනිසුන් එක් රොක්වී
මෛත්‍රීට චෝදනා කිරීමෙන් උත්සාහ කරන්නේ
මෛත්‍රීගෙ දූෂණ විරෝධය දුර්වල කිරීමයි
මෛත්‍රීට හිතැති අය කලකිරවීමයි.

අපේ රටේ චින්තන ශක්තිය දුර්වල
අහිංසක මිනිස්සු පමණක් නොවෙයි.
උගතුන් පවා කතන්දර අහලා
මුළාවෙන්නෙ කුඩා දරුවන් වගෙයි.
සමාජ ජාලවල ඒ දරුවන් බහුලයි.

මේ සියල්ලට යටින් සමාජය තුළ
මෛත්‍රී බිහි කළ දූෂණ විරෝධී ධාරාව
නිරුපද්‍රිතව නොසැලී ගලා බසිනවා.
ඒ ප්‍රවාහය මතුපිටට පෙනෙන්නෙ
යම් යම් අවස්ථාවලදි දක්වන
නිසග ප්‍රතිචාර මගිනුයි.

රනිල් නීතිය හා සාමය අතට ගැනීම
එවැනි එක් අවස්ථාවක් බවට පත්වුණා.
දූෂණයට විරුද්ධව නැගුණ
ඒ ප්‍රතිචාර අපි හැමෝම
දැක්කා.

2,
රනිල් නීතිය හා සාමය අතට ගත්තාම
ලංකාවම කැළඹුණා, දොස් කිව්වා, කෝපවුණා.
උපහාසයෙන්, අපහාසයෙන් සිනාවුණා.
සමාජ ජාලා පෝස්ට් වලින් වැසී ගියා.
හැමකෙනෙක්ම වගේ වචනයක් හෝ කිව්වා.
අන්තිමේ ඔහු "ඇමතිකම ගත්තෙ
තාවකාලිකවයි" කියා බේරෙන්න
ඔහුට සිදුවීම හාස්‍යජනකයි.

සාගල ඉන්නතුරු ඔහුත් බැණුම් ඇහුවා.
ඔහු ජාත්‍යන්තර පොලීසියෙන් අල්ල ගත්ත
ජාත්‍යන්තර වරෙන්තු කාරයොත්
නිදහස් කරන තුරු කල් මැරුවා.

රනිල් ගත්ත ගමන්ම අමාරුවේ වැටුණේ
නීලකාස හොරෙක් විදියට ලංකාවෙ තියන
සුපතළ පිළිගැනීම නිසයි.
වෙන රටක කෙනෙක් ගෙනල්ල
අපෙ මහ බැංකුව කැඩුව හොරා
නීතිය භාර ඇමතිකමට
තමාවම පත් කරගත්තාම
ඒක මහා ආන්දෝලනයක් වුණේ
රටේ පවතින දූෂණ විරෝධය
ඉතාම ප්‍රබල නිසායි.

දැන් මිනිස්සු නීතියට හා සාමයට
පෙරට වඩා බෙහෙවින් සංවේදීයි.
සමරිසියන් කියා නින්දා ලබන
සාගලට හෝ රනිල්ට නීතිය රකින්න බෑ,
ඔවුන් ඒ සඳහා ගැලපෙන්නෙ නෑ කියලා
අද සාමාන්‍ය ජනතාව හිතනවා.
ප්‍රසිද්ධියේ කියනවා.

මේ ප්‍රවණතාවය දූෂණ විරෝධයේ
තවත් එක් මුහුණුවරක් නොවේද?
දැන් ජනතාව බලාපොරොත්තු වෙන්නෙ
දූෂණය නැති කළ හැකි නායකත්වයක්.
ආත්ම ආරක්ෂාව ගැන නොසිතා
දිවි හිමියෙන් සටනට බසින්නට කැමති
එඩිතර පිරිසිදු නායකත්වයක්.

පිරිසිදු කියන්නෙ රහතෙක් නොවෙයි.
අද ඉන්න රහතුන්වත් පිරිසිදු නෑ..
ඇඳට වැටුණ ගමන් නින්ද යන
ඔවුන් ඇත්තටම රහතුනුත් නොවෙයි.

අද පාර්ලිමේන්තුවෙ පුටු රත් කරන
දූෂණය වැගිරෙන කුණුගොඩවල් වලට
සාපේක්ෂව හෝ දූණ චෝදනා රහිත
සරත් ෆොන්සේකා වැනි කෙනෙක්
බොහෝ දෙනෙක් ඉල්ලා සිටිනවා.

3,
සරත් ෆොන්සේකා
මේ තනතුර ගන්නවා නම්
රටේ ජනතාව කැමතියි, සතුටුයි.
විරුද්ධ බලවේගයන්ට බිය නොවී
නීතිය ක්‍රියාත්මක කරන්න හැකියාව ඇති
දක්ෂ මිනිහෙක් රටට අවශ්‍යයි කියන
මානසිකත්වයකින් ජනතාව සැදී පැහැදී සිටිනවා.
මේ විශ්වාසය ඇතිවුණේ මෛත්‍රීගෙ ආගමනයෙන්.

ඒ අභියෝගයට මුහුණ දෙන්න
සරත් ෆොන්සේකාට බැරි වුණොත්
ඔහුගෙ යුධ හමුදාපති කීර්තියත් වතුරෙ.

4,
නීතිය භාර ඇමති කවුද කියා
අද ජනතාව සැලකිල්ලෙන් බැලීමත්
අපේ රටේ හැටියට හොඳ ප්‍රවණතාවයක්.

දූෂිතයන් ඉවත් කිරීම සඳහා
කොමිසම් මගින් මෛත්‍රී ලබා දුන්
බැඳුම් කර සහ වංචා දූෂණ වාර්තා දෙක
එඩිතරව අතට අරන් හොරු අල්ලන
දක්ෂ ඇමති කෙනෙක් ඔවුන් සොයනවා.
මේ අද දූෂණ විරෝධයේ තත්වයයි.

මහින්දගෙ කාලෙ නීතිය හා සාමය ඇමති කියලා
පඹයෙක් හෝ සිටි බවට සලකුණක්
කාටද මතක තියෙන්නෙ? ඔබට මතකද?
ඇමතිවරු නම් රැසක් හිටියා තමයි.
නමට සහ භාණ්ඩාගාරය සුද්ද කිරීමටයි.
රටේ අනික් හැමදේම පාලනය
රාජපක්ෂවරුන්ගේ ග්‍රහණයෙ තියෙද්දි
නීතිය තිබුණේ මහින්ද හා ගෝටා අතේ.

ඇමති කෙනෙක් ඉන්න ඇති පඹයෙකුට අන්දලා.
ඔහු කරන්නෙ එදා වේල ශේප් කර ගැනීමයි.
එදා නීතිය තිබුණේ රාජපක්ෂ පාලනය
මහජනතාවගෙන් රැක ගන්නයි.

ජනවාරි අටවෙනිදා රාත්‍රියෙත් නීතිය රොක් වෙලා
අරලියගහ මන්දිරයෙ මහින්ද ළඟ බලා හිටියා.
ඒත් ජනතාව නීතිය අතට ගත්තා.
මහින්ද ගෙදර ගියා.

දස වසරක් තිස්සෙ
ඒ දූෂිත පාලනයෙන් ප්‍රයෝජන අරන්
දූෂණයට ඇබ්බැහි වුණ දූෂිත මිනිස්සු
යළිත් ඒ දූෂිත පාලනය කරළියට ගෙනත්
හිතේ හැටියට රටේ දූෂණය රජකරවන්න
ආයෙමත් පිඹුරුපත් සකස් කරනවා.

ඒ පාලනයට කැමති දූෂිත හිත් ඇති
අපේ රටේ දූෂණ පාක්ෂික ජනතාව
මහින්ද වීසි කරන පොල්ලෙල්ලටත්
ඡන්දෙ දෙන්න සූදානම්.
ඔවුන්ගේ පිපාසය එතරම් බලවත්.

මෛත්‍රීට දූෂණය නැති කරන්න බැරි වුණත්
දූෂණයෙන් එතෙර ලෝකයක් තියන බව
හදවතට දැනෙන, ඒ උණුහුමෙන් සැනසෙන
ශීලාචාර ජනතාවක් අපේ රටේ ඉන්නවා.
දූෂිත හිත් සුවපත් කරමින් ක්‍රියා කරන
ඒ ශීලාචාර අතළොස්ස මතු කවදා හෝ
මේ බිම ජය ගත යුතු බව අපි දන්නවා.

පිරිසිදු සිත් ඇති, පිරිසිදු ජාතියක් වෙසෙන
පිරිසිදු රටක් පිළිබඳව අති පිරිසිදු අරමුණ විසින්
මේ දූෂිත කටු කොහොල් ඉවත් කර දමා
රට පිරිසිදු කරන පිරිසට අයිති කෙනෙක් වෙන්නට
සිතින් හෝ ඒ හා බද්ධ වෙන්නට තරම්
ඔබ වාසනාවන්තද?