20170226

වෛද්‍යවරයාගේ ලිංගික අතවර හා ප්‍රමිතිකරණ නිර්ණායක


රෝගියාගේ දිවි රකින්නට
වෘත්තියෙන් බැඳී සිටි
වෛද්‍ය සුදර්ශන බාලගේ
ඔහුගෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණි
විසි දෙහැවිරිදි රෝගී කන්‍යාවියක්
සිහි නැති කොට දූෂණය කිරීමෙන් පසු
ඇය මරා, කාඩ්බෝඩ් එකක් මත තබා
6 වෙනි මහලේ බිම දිගේ ඇදගෙන යද්දී
රෝහල පිරිසිදු කරන (සමාගමක)
බියට්‍රිස් නම් සුලු සේවිකාවක්‌ දැක ඇත.

“සර්… මොනවද? මගෙන් උදව්වක්‌ ඕනෙද?
එම සේවිකාව වෛද්‍යවරයාගෙන් විමසුවේ
වෛද්‍යවරයාට ගරු කරමිනි.
“ආ.. නෑ. අවශ්‍ය නෑ”
වෛද්‍යවරයා සිනාසෙමින් කී බව
සේවිකාව අධිකරණය හමුවේ කීවාය.

"ඊට පස්සේ ටික වෙලාවකින්
මම තියටර් එකේ ඉන්න මයුරානි මිස්ට
මේ බව කිව්වාම.
 එයා මගෙන් දොස්තරගේ නම ඇහුවා.
'නම දන්නේ නැහැ' කියලා
දොස්තරගේ හැඩහුරුකම් කිව්වා.
ඒ විස්තර කියද්දීම මයුරානි මිස් කිව්වා
'මේ නම් සුදර්ශනයාම තමයි' කියලා.
'බියට්‍රිස්   ඔය විත්තිය වෙන කිසිම කෙනෙකුට කියන්න එපා.
ඕවා කිව්වා කියලා ඔයාට වැඩකුත් නැහැ. මට වැඩකුත් නැහැ.,
ඒක හන්දා ඔය විත්තිය කාටවත් කියන්න එපා' කියලා
එයා මට කිව්වා."

ස්ත්‍රී දූෂණයට සහ
සාපරාධී මිනී මැරුමට වැරදිකරු වූ
ඉන්දික සුදර්ශන බාලගේ (34) නමැති වෛද්‍යවරයාට,
මරණ දඬුවම නියම කළ මීගමුව මහාධිකරණ විනිසුරු
නඩු තීන්දුව ප්‍රකාශ කරමින් මෙසේ කීය.

"සමස්‌ත සාක්‍ෂි විශ්ලේෂණය කිරීමේදී
විත්තිකරුට එල්ල වූ සියලු චෝදනා
සැකයෙන් තොරව ඔප්පු වී ඇත."

මෙවැනි සිදුවීමකදී වෛද්‍ය සභාව ගතයුතු
නීත්‍යානුකූල ක්‍රියාමාර්ගයක් ලංකාවේ තියනවාද?

සුදර්ශන බාලගේ, සුළු සේවිකා බියට්‍රිස්
මයුරාණි නම් හෙදිය යන තිදෙනා
රැකිය යුතු වූ ප්‍රමිති නිර්ණායක මොනවාද?

මේ තිදෙනාගෙන් ප්‍රමිතියෙන් ඉහළම
තැනැත්තා/තැනැත්තිය කවුද?
අඩුම ප්‍රමිතිය කාගේද?
වෛද්‍ය සභා ප්‍රමිති නිර්ණායක නැති බැවින්
ඔබට ඔවුන්ගේ ප්‍රමිතිය මනින්නට සිදු වන්නේ
ඔබේ හෘද සාක්ෂියේ ප්‍රමිතියට සාපේක්ෂවයි

චර්යාවෙහි ඉහළ ප්‍රමිතිය අනුව
මේ තිදෙනා පෙළ ගස්වමු.
1,
සුළු සේවිකාව
2,

හෙදිය
3,
වෛද්‍යවරයා

මේ වෛද්‍යවරයා, හෙදිය සහ සේවිකාව
අපේ ප්‍රමිතිකරණ නිර්ණායක අනුව
මනින්නට අප ක්‍රියාකළෙමු.
ඒ ප්‍රමිති කරණ නිර්ණායක
අපේ හෘද සාක්ෂියයි.

අපේ ප්‍රමිති නිර්ණායක අනුව
සුදර්ශන බාලගේ ක්‍රියා නොකළ බව
ඔහුගේ ක්‍රියා කලාපයෙන් පෙනේ.
අපේ ප්‍රමිතිකරණයට අනුව
නිවැරදිව ක්‍රියා කළේ බියට්‍රිස් පමණි.
හෙදිය සිය ආත්මාරක්ෂාව තකා
ඇගේ හෘද සාක්ෂිය පාවා දුන්නාය.

වෛද්‍යවරයාගේ චර්යාවෙහි ප්‍රමිතිය අනුව
නීතියෙන් ඔහුට මරණ දඬුවම හිමිවිය.
හෙදියගේ ඉරණම අපි නොදනිමු.
සුළු සේවිකාව මහා සේවාවක්
රට ජාතියට කළාය.

රෝගියාගේ සුවයත් ආරක්ෂාවත් භාර
වෛද්‍යවරයා විසින්ම රෝගියා සිහි නැති කොට
ඇය දූෂණය කොට, ඝාතනය කොට
සැලසුම් සහගත ලෙස ඇය පහළට තල්ලු කොට
වගකීමෙන් මිදෙන්නට තැත් කළේය.

කාමයෙන් අන්ධ වීම නිසා
ඔහුගේ හෘද සාක්ෂිය ක්‍රියාත්මක නොවුණ අතර
නිසි ප්‍රමිතිකරණ නිර්ණායක තිබුණා නම්
ඔහු ඒ නිර්ණායකවලට අනුව හැසිරෙමින්
තමා දමනය කරගන්නට ඉඩ තිබුණේද?
එසේ වුණා නම්, චමිලාගේ ජීවිතය මෙන්ම
ඔහුගේ ජීවිතයද රැකෙනු ඇත.

වෛද්‍යවරයා ගෝත්‍රිකයෙකු ලෙස ක්‍රියා කරද්දී
හෙදිය හැසිරුණේ නරුම ආත්මාර්ථකාමයෙනි.
හෙදිය, කුමන හේතුවක් මත හෝ
අනියම් ලෙස සාපරාධී ක්‍රියාවකට
අනුබල දුන් තැනැත්තියකි.
ඇය රෝහලකට සුදුසු නැත.
නිසි ප්‍රමිතිකරණ නිර්ණායක ඇති රටක නම්
එම හෙදියට රැකියාව අහිමි විය යුතුය.

මේ තිදෙනා අතරින් නිසි ප්‍රමිතියෙන් හැසිරුණේ
උගත්කමෙන්, වෛද්‍ය විද්‍යාත්මක දැනුමෙන්,
පුහුණුවෙන් සහ තනතුරෙන් පහළම සිටි
දුගී සුළු සේවිකාවයි.

ප්‍රඥාවත්, යහපත ගැන හැඟීමත්,
හෘද සාක්ෂියත්, එඩිතර ඍජු බවත් නිසා
බියට්‍රිස් නොබියව සිය වගකීම
පමා වී හෝ ඉටු කළාය.

බියට්‍රිස්ගේ වෘත්තීය ප්‍රමිතිය
ප්‍රමිති නිර්ණායක රහිත
ශ්‍රී ලංකාවේ වෙද හෙද ප්‍රමිතිය නොව
මහා බ්‍රිතාන්‍යයේ වෘත්තීය ප්‍රමිතියයි.

නොදැනුවත්ව හෝ ඇය ක්‍රියා කොට ඇත්තේ
මහා බ්‍රිතාන්‍යයේ නිර්ණායක වලට අනුවයි.
සෞඛ්‍ය සේවකයෙකුගේ වගකීම ලෙස
මහා බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාව නියම කරන
ක්‍රියාමාර්ගයන්ට අනුකූලවයි.

මෙවැනි අවස්ථාවකදී
වෛද්‍ය වෘත්තිකයෙකු ගතයුතු ක්‍රියාමාර්ග
අංග සම්පූර්ණ ලෙස සඳහන් වෙන
බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාවේ උපදෙස්
මෙතැන් සිට දැක්වෙයි.
'''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
වෛද්‍ය වෘත්තිකයන්ගේ කාමුක හැසිරීම සහ
ඒ පිළිබඳව පැමිණිළි කිරීමට ඔබේ වගකීම.
(සමවාසික වෘත්තිකයා වෛද්‍යවරයෙක් වුවද නුවුවද... )

1
සමවාසික වෘත්තිකයෙක්
ප්‍රතිකාර කිරීමෙහි යෙදීමට නුසුදුසු නම් හෝ
රෝගීන්ගේ ජීවිතය අවදානමට හෙළයි නම්
ඔබ වෙනත් වෛද්‍යවරයෙකුගෙන්,
ආරක්ෂක කමිටුවෙන් හෝ අපෙන්
අවවාද පැතිය යුතුය.

ඔබට තව දුරටත් වගකීමක් හැඟෙයි නම්
අපේ නිර්ණායක අනුව සහ
ඔබ වැඩ කරන තැන ප්‍රතිපත්ති අනුව
ක්‍රියා කළ යුතුය.
*ඒ සමගම ඔබ ගත් පියවර පිළිබඳව
වාර්තාවක්ද තබා ගන්න.

2
ඔබ ඔබේ වෘත්තීය තනතුර භාවිතා කොට
රෝගියෙකු හෝ රෝගියාට සමීප කෙනෙකු සමග
කාමුක හෝ අයුතු චිත්තවේගී සබඳතාවයක්
පැවැත්වීමට කටයුතු නොකළ යුතුය.

මෙම මගපෙන්වීම් මගින් මේ ප්‍රතිපත්ති
ප්‍රායෝගිකව අනුගමනය කළ යුතු ආකාරය
අපි වෛද්‍යවරුන්ට පැහැදිලි කරදෙන්නෙමු.
මේ මග පෙන්වීම අනුව ක්‍රියාකරන්නට
බරපතළ ආකාරයකින් හෝ දිගින් දිගටම
අපොහොසත් වන්නේ නම් ඔබේ ලියාපදිංචිය
අවදානමට ලක්වනු ඇත.

3
රෝගීන්ගේ සහ මහජනතාවගේ
විශ්වාසය ආරක්ෂා කරගැනීම උදෙසා
ඔබ කිසිවිටෙකත් රෝගියෙකු කෙරෙහි
කාමුකව යොමුනොවිය යුතු අතර
කාමුක හැසිරීමක් ප්‍රදර්ශනය
නොකළයුතුය.

උදාහරණයක් ලෙස,
කාමුක ප්‍රකාශයක් වුව ප්‍රමාණවත් වන අතර
රෝගියා ස්පර්ශ කිරීමක් විය යුතු නැත.

4
සමවාසික  වෘත්තිකයෙක්
ලිංගික සීමාවන් ඉක්මවූ බව
රෝගියෙක්  ඔබට හෙළි කළහොත් හෝ
සමවාසික වෘත්තිකයෙක්
රෝගියෙකු කෙරෙහි කාමුක හැසිරීමක්
ප්‍රදර්ශනය කළ බව සිතන්නට
ඔබට වෙනත් හේතු ඇත්නම්
චෝදනාව විභාග කරන්නට හැකි
පුදගලයෙකුට හෝ ආයතනයකට
වහාම පැමිණිළි කළයුතුය.

සමවාසික වෘත්තිකයෙක්
කාමුක ලෙස අතවර කිරීම හෝ
වෙනත් සාපරාධී ක්‍රියාවක යෙදුණේයැයි
ඔබ සැක කරන්නෙහි නම්, අනිවාර්යයෙන්ම
පොලීසියට පැමිණිළි කරන්න.

5
සමවාසික වෘත්තිකයෙක් විසින්
කාමුක සීමාවන් බිඳීමෙන්
හිංසාවට පත්වූ ඔබේ රෝගීන්ගෙන්
ඕනෑම කෙනෙකුට ඔබ සහය විය යුතුය.

6
ඔබේ පැමිණිල්ල කරන අතර
රෝගියාගේ පෞද්ගලිකත්වයට
ගරු කළ යුතුය.

එහෙත් සියලුම අවස්ථාවන්හි
රෝගීන්ගේ ආරක්ෂාව
පළමු ස්ථානයෙහි තැබිය යුතුය.
රෝගියා හඳුනාගැනීමට ඇති
අවශ්‍යතාවය ගැන
ඔබ සෑහීමට පත්වන්නේ නම්
හෙළි කිරීම අවශ්‍ය හේතු පැහැදිළි කරමින්
ඒ සඳහා රෝගියාගේ අවසරය
ඉල්ලා සිටියයුතුය.

හෙළි කිරීමට අවසර නොලැබුණද
හෙළිකිරීම ජනතා යහපතට හේතුවේයැයි
ඔබ විනිශ්චය කරන්නේ නම්
හෙළිකරන්නට අදහස් කරන බව
ඔබ රෝගියාට පැවසිය යුතුය.
සියලුම විභාගවලදී
ඔබ විසින් හෙළි කළ යුත්තේ
අදාළ තොරතුරු පමණි.

'''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාව
ලිංගික අතවරයක් පිළිබඳ විභාගයක් පැවැත්වීමේදී
මේ උපදෙස් මාලාවද ප්‍රමිති නිර්ණායකයන් වන්නේය.

බ්‍රිතාන්‍ය නිර්ණායකවල
ගුණාත්මක භාවයේ උසස් බව
පහත දැක්වෙන වැකියෙන්ම
ප්‍රකට වෙයි.

"රෝගියාගේ තොරතුරු හෙළි කිරීමට
රෝගියාගේ අවසර නොලැබුණද
හෙළිකිරීම ජනතා යහපතට හේතුවේයැයි
ඔබ විනිශ්චය කරන්නේ නම්...
හෙළිකරන්නට අදහස් කරන බව
ඔබ රෝගියාට පැවසිය යුතුය."

මෙහි පළමු කොටසෙන්
ජනතා යහපතට ක්ෂේත්‍රයේ ඇති
බැඳීම හා වගකීම පෙනෙයි.
දෙවැන්නෙන් පෙනෙන්නේ
රෝගියාගේ අයිතීන් පිළිබඳව
ක්ෂේත්‍රයේ ගෞරවයයි.

අවසරය ඉල්ලා නොලැබුණු විට නිහඬවෙන වෘත්තිකයා
පසුව තොරතුරු සැපයුවා නම් සිදු වන වරද කුමක්ද?
එවැනි අවස්ථාවකදී
වෘත්තිකයා වෙතින් රෝගියා ඉවත් වන්නේ
ඔහු තම තොරතුරු රකිනු ඇතැයි යන විශ්වාසයෙනි.

අදාළ රෝගියාට නොදන්වා පසුව තොරතුරු සැපයුවා නම්
වෘත්තිකයා විසින් රෝගියා රැවටීමක් සිදුවන්නේය.
මේ නිර්ණායකය සකස් වන්නේ
ඒ අවභාවිතය වැළැක්වීම සඳහාය.

ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් සඳහා
වෛද්‍ය සභාවෙ කෙරෙන
මෙවැනි මග පෙන්වීමක් නැත.

මෙවැනි අවස්ථාවකකට මුහුණ දෙන
නිසි මග පෙන්වීමක් නැති සිවිල් පුද්ගලයන්
ඒ අවස්ථාවේ ක්‍රියා කරන අයුරු
පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්ය.
හෙදිය සිතූ ආකාරයත්
බියට්‍රිස් ක්‍රියා කළ ආකාරයත්
සපුරාම වෙනස්ය.

නිශ්චිත රාමුවක් තුළ
නිවැරදිව ක්‍රියා කරන්නට නම්
එකම සමූහයක සමාජිකයන් වන
වෛද්‍ය වෘත්තිකයන් සඳහා
සමූහයටම පොදු වූ නිර්ණායක අවශ්‍යයි.

වෛද්‍ය සමූහයකට නිර්ණායක නැත්නම්
ඒ සමූහයට නිශ්චිත ප්‍රමිතියක් නැත.
ඔවුන්ගෙ පැවැත්ම සහ ක්‍රියාකාරකම්
අවිනිශ්චිත වන අතර
ඔවුන් කරන මෙවැනි වරදකදී
සාධාරණ විනිශ්චයකට පැමිණීමද
අසීරු කරුණකි.

වෛද්‍ය සභාවේ වගකීම පැහැර හැරීම නිසා
නිසි මග පෙන්වීමක් නොලද සුදර්ශන බාලගේ
ප්‍රතිකාර කළයුතු රෝගී යුවතිය හමුවේ
රාගයෙ
න් කුපිත වී ක්‍රියා කළේ
වගකීම් සහිත වෛද්‍යවරයෙකු මෙන් නොව
සාපරාධී සිවිල් පුද්ගලයෙකු මෙනි.
ඔහු නීතිය හමුවට ගියේද එසේමය.

රටේ නීතිය වෛද්‍යවරයා සලකන්නේ
සිවිල් පුරවැසියෙකු වශයෙනි.
බාලගේ වෛද්‍යවරයෙක්ද යන්න
නීතියට අදාළ නැත.

ආයතනික වශයෙන් ඔහුගේ ක්‍රියාව මනින්නට
වෛද්‍ය සභාවට යුතුකමක්, වගකීමක් ඇත.
ඒ සඳහා ඔවුන් සතුව නිර්ණායක නැත්නම්
පැරණි මළ බැඳුණ කතුරකින් සැත්කම් කිරීමෙන්
සැත්කම නිසාම රෝගියා මියයන්නට
බොහෝ දුරට අවකාශ තිබේ.

නීතියට හා සමාජයට
ඔහු පිළිබඳව වගකියන්නට
වෛද්‍ය සභාව 
ආයතනික මට්ටමෙන් බැඳී සිටියි.

සාපරාධී වෘත්තිකයා නීතිය හමුවට පැමිණවීමද
සමාජයේ නැගෙන විරෝධයට
සාධාරණ මුහුණ දීමද
වෛද්‍ය සභාවේ වගකීමකි.
ඒ සඳහා නිර්ණායක සකස් විය යුතුය.

මේ අනුව
වෛද්‍ය සභාවේ අභ්‍යන්තර පැවැත්මට
වෙනම ප්‍රමිතිකරණ නිර්ණායක තිබිය යුතුය.
වෘත්තිකයාගේ ප්‍රමිතිය
නීතිය හමුවේ නිර්ණය වන්නේ නම්
එම නිර්ණායක පැහැදිලිව තීරණය කොට
නීතිගත කළ යුතුය.

බ්‍රිතාන්‍ය වෛද්‍ය වෘත්තිකයන්ට
බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාවෙන් ලැබෙන ආකාරයේ
ආයතනික මග පෙන්වීමක්
අප රටේ වෛද්‍ය ක්ෂේත්‍රයේ නැත.

මේ හේතුවෙන්,
සමවාසික වෘත්තිකයෙකුගේ
සාපරාධී ක්‍රියාවක් දුටු වෘත්තිකයෙකුට
සිවිල් පුද්ගලයෙකු ලෙස ක්‍රියා කරමින්
කැමති තැනකට කැමති කෙනෙකුට පැමිණිළි කිරීමට
එසේ නැත්නම් නුදුටුවාක් මෙන්
නිහඬව සිටීමට සිදුව ඇත.

"මේ නම් සුදර්ශනයාම තමයි.
බියට්‍රිස්  ඔය විත්තිය වෙන කිසිම කෙනෙකුට කියන්න එපා.
ඕවා කිව්වා කියලා ඔයාට වැඩකුත් නැහැ. මට වැඩකුත් නැහැ.,
ඒක හන්දා ඔය විත්තිය කාටවත් කියන්න එපා"

ඒ අවස්ථාවේ මයුරාණි ක්‍රියා කළ ආකාරය
වරදක්ද නැද්ද යන්න නිර්ණය කරන්නට අවශ්‍යවන
බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාවෙන් යොදා ගන්නා ආකාරයේ
නිශ්චිත ප්‍රමිති කරණ නිර්ණායක කිසිවක්
වෛද්‍ය සභාව සතුව නැත.

මේ නිසා මයුරාණි නම් හෙදිය කළ
තොරතුරු වසං කිරීමට උත්සාහ කිරීම වරදක්ද නැද්ද යන්න
වෛද්‍ය සභාවේ හිතුමතයට වනචාරී ගෝත්‍රික ක්‍රමයට
නිර්ණය කිරීමට සිදු වෙයි.

මේ හේතුවෙන්
අප කොතරම් අකමැති වුවද
අපද ගෝත්‍රිකයන් බවට පත් වී ඇත.

මෝහයෙන් විදසුනට


විශුද්ධි මාර්ගයට අනුව
සමථ භාවනාවක් විදියට
ආනාපාන සතිය වඩන්න පටන් ගත් කාලෙ
පැය දෙක තුන ශූන්‍ය සිතින් ගතකරල තියනවා.
විතක්ක විචාර නැති වෙලා ගිහින්
හිතට ප්‍රීතිය තිබුණත්, කයට සුඛය තිබුණත්
මළ කඳක් මෙන් මෝහයෙන් ජීවත් වීම
මේ ජීවිතය නාස්ති කිරීමක් කියා හිතුණ නිසා
වසර පහක් හයක් තිස්සෙ හොයලා
විපස්සනා හොයා ගත්තා.
වැඩූ මෝහයේ ප්‍රබල බව 
පළමු විපස්සනා පාඨමාලාවේදීම වැටහුණේ
කය නොදැනෙන විදියට, කය පුරා දැනෙන
අදුක්ඛමාසුඛ වේදනා දකින විටයි.
සමථ භාවනාවකින්....
නීවරණ යටපත් කරමින් ලබන
විතක්ක විචාර රහිත, ප්‍රීති සුඛ සහිත
මෝහයෙන් පසුවීමේ උපේක්ෂාවට වඩා
රාග, ද්වේශ, මෝහ කැළතී
පංච නීවරණයෙන් සිත සැලෙද්දී
කාය වේදනා මට්ටමෙන්
ඒ වෙනස්කම් සිහියෙන් දකිමින්
ඒ සියල්ලට උපේක්ෂාවෙන් වෙසෙනවිට
මේ මොහොත විඳ පසක් කිරීමෙන්
පහළ වෙන ප්‍රඥාව
සසර ගමනට පහනක්.