20141211

ජාතිවාදී ක්‍රිකට් මැච්


ක්‍රිකට් මැච් එකක් බලන කොට
මැච් එක බලන අය අතරෙ ඉන්න
මුස්ලිම් හා සිංහල ජාතිවාදීන්
මැච් එක බලනවාට වඩා
එකිනෙකාගෙ ජාතිවාදය දකිනවා..

මුස්ලිම් ජාතිවාදීන්
සිංහල ජාතිවාදීන් දකිනවා
ඔවුන් ගැන හිතමින් විඳවනවා.

සිංහල ජාතිවාදීන්
මුස්ලිම් ජාතිවාදීන් දකිනවා
ඔවුන් ගැන හිතමින් විඳවනවා.

ජාතිවාදීන් අනික් ජාතිවාදීන් සමග
මනසින් අඬදබර කරගනිද්දි
මැච් එක බලන අය
ක්‍රිකට් ක්‍රීඩාව රස විඳිනවා.
වෙන දෙයක් දකින්නෙ නැහැ..

ඇත්ත දකින අය
මේ ජාතිවාදී දෙපිරිසත්
රස විඳින ක්‍රීඩා ලෝලී පිරිසත්
මැච් එකත්...
සියල්ලම දකිනවා.

හොඳම තැන එතැනයි..

ජීවිතය තුළින් රත්රන් පෙරාගන්න.

සාමාන්‍ය පසෙන්
රත්රන් පෙරාගන්න බැහැ.
රත්රන් පෙරාගන්න
රත්රන් ඉල්ලමක් විය යුතුයි.
රත්රන් නොවෙන දේ ඉවත් කළාම
රත්රන් ඉතිරි වෙනවා.
පස් අරන් රත්රන් එකතු කළාට
පස් රත්රන් වෙන්නෙ නැහැ.

ප්‍රඥාවත් රත්රන් වගෙයි.
ප්‍රඥාවත් පිටින් එකතු කරන්න බැහැ.
පොත පතින් දේශන වලින්
ලබාගන්න බැහැ.

තව කෙනෙකුගෙ අත්දැකීම් මත
ඔහු පෙරාගන්නා රත් රන් වැනි දැනුම
අපේ පස් ගොඩට එකතුකළාට
අපේ පස් ගොඩ රත්‍රන් වෙන්නෙ නැහැ.
අපේ පස් වල ට්‍රත් රන් නැත්නම්
අපි වටින අය විදියට
බලන අයට පෙන්වන්න හැර
ඒ රත්රන් වලින් අපිට ඇති
ප්‍රයෝජනයක් නැහැ.
විශ්ව විද්‍යාල උපාධි වලින් කියවෙන්නෙ
අප විසින් මේ තැනැත්තාට
මෙතරම් රත්රන් ප්‍රමානයක්
එකතු කර ඇත කියලයි.
රත්රන්  ඉල්ලමක් හඳුනාගන්න
දක්ෂතාවය නැති ආයතන ප්‍රධානීන්
ඔවුන් රැකියාවට අරන්
ඔවුන්ගෙන් වැඩක් කරගන්න සටන් කරනවා.

ප්‍රඥාව වැඩෙන මාර්ගය
බුදු දහමෙ ක්‍රමවේදයක් විදියට
උගන්වනවා.
ඒ හැර වෙනත් මගක්
කිසිවෙකුටත් නැහැ..

අන් සියලුම මාර්ග වලදී කෙරෙන්නෙ
නිස්සාර පසට රත්රන් එක් කිරීමයි.
කොතරම් රත්‍රන් එක් කළත්
නිස්සාර පස පිරිසිදු රත්රන් වෙන්නෙ නැහැ.

ඔහු මියෙන තුරුම
පස නිසරුව පවතිනවා.

බුදු දහම සඳහන් වෙන
විපස්සනා පුහුණුව
ප්‍රඥාව වැඩීමෙ එකම මාර්ගයයි.

විපස්සනා වඩන කෙනෙක්
ඒ මොහොත තුළ
ප්‍රඥාවෙන් ජීවිතය දකිනවා.
ඔහු ඒ මොහොතට කැමතිත් නැහැ.
අකමැතිත් නැහැ.
ඔහු ඒ මොහොත
තමාට සාපේක්ෂව මෙන්ම
ඒ පවතින ස්වභාවයෙන්....
එහි සැබෑ ස්වරූපයෙන්ම දකිනවා.
ඔහු ඒ මොහොත විනිශ්චය කරන්නෙ නැහැ.
ඔහු ඒ මොහොතට
තමාට සාපේක්ෂව අගයක් දෙන්නෙ නැහැ.
ඒ මොහොත පවතින ආකාරය
පවතින විදියටම ඔහු දන්නවා.
ඒ මොහොත පෙරාපු රත්රන් මොහොතක්.

ඒ පෙරාපු රත්රන් මොහොත
දෙකක් තුනක් හතරක් පහක් ලෙස
කෙමෙන් වර්ධනය වෙන විට
ඔහුගෙ නිසරු පස වියෝජනය වෙලා
ජීවිතය රත්රන් බවට පත් වෙනවා.

ප්‍රඥාව වැඩෙන්නට නම්
කෙනෙක් ප්‍රඥාව වැඩෙන විදියට
ජීවත් විය යුතුයි
ජීවිතය ගෙවද්දි
අපට මුහුණ දෙන්නට සිදුවෙන දේවල් වල
ප්‍රතිඵලයක් විදියට
අප තුළ සිදු වෙන වෙනස්කම් ඇසුරෙන් හැර
ප්‍රඥාව ලබාගත හැකි වෙනත් මගක් නැහැ.
ඔහු තමන් තුළ සිදුවෙන වෙනස්කම්
සම්පූර්ණයෙන් දැකිය යුතුයි.
ඒ සිදුවෙන වෙනස්කම් වලට
උපේක්ෂාවෙන් විසිය යුතුයි.

සිහියෙන් වෙසෙන නිසා
මෝහ සංස්කාර රැස් වෙන්නෙ නැහැ.
උපේක්ෂාවෙන් වෙසෙන නිසා
අත්දැකීම් කැමති අකැමති බව අනුව
හොඳ නරක ලෙස වර්ග නොකරන නිසා
රාග සහ ද්වේශ සංස්කාර
අලුතෙන් එකතු වීම වළකිනවා.
නව සංස්කාර නැති වෙන කොට
විඥාණයෙ රැස්වෙලා තියන කෙලෙස්
සංස්කාර විදියට මතුවෙලා
ඉවත්වෙලා යනවා.
නිසරු පස වියෝජනය වෙලා
රත්රන් ඉතිරි වෙනවා.
ඔහුගෙ ප්‍රඥාව මතු වෙනවා.