20170531

ගං වතුරෙන් පන්නරය ලබන වානේ

ජීවිතය අඩු මිලට උකස් කොට
හරියට නොකා හරිහැටි නොඇඳ
පමණට නින්දක්, නිසි විවේකයක් නැතිව
වෙහෙස මහන්සි වී උපයාගත් සීමිත මුදලට
අමාරුවෙන් ගත් ණයත් එක්කොට තනාගත්
කුඩා නිවහනත්, බඩු බාහිරාදිය සියල්ලමත්
එක රැයක වට එක වැස්සකට ගොදුරු වී
සදහටම අහිමි වූ පසු පත් වෙන
අසරණ මානසිකත්වයෙහි ස්වරූපය
එවන් අත්දැකීමක් නොලද කිසිවෙකුටත්
සිතා ගන්නට නොහැක.

සමහර අනාථ ජීවිත වල
මිලට ගත හැකි යස ඉසුරු සමග
කිසිදාක යළි ලද නොහැකි
උපන්දා සිට එක්ව වැඩුණ පවුලේ සාමාජිකයන්
දුක සැප බෙදා ගත් නෑසියන් හිත මිතුරන්
අද ගංවතුර රකුසා පැහැරගෙන ගොසිනි.

පාසලක, පන්සලක, පල්ලියක කොටුවී
ඇති කුඩා ඉඩ කඩ දුක සේ බෙදාගෙන
ලැබෙන දේ රැස් කරගෙන, ඇති ටික පිරිමහගෙන, 
නැති නාස්ති නොකර අරපරිස්සමින් රැකගෙන
පවුල් සිය ගණන් එක පවුලක් මෙන් වෙසෙන
මේ අවිනිශ්චිත අඳුරු දින කිහිපයෙහි
සියලු දුක් වේදනාවන් මැද්දේත්
මේ අල්පේච්ඡ ජීවන රටාවෙහි යම් සැනසිල්ලක්ද
පහසුවෙන් දැකිය නොහෙන සේ සැඟව ඇති බව
දුක් දොම්නස් සෝ තැවුල් ඉක්මවා පසක් කරනා
එක් කෙනෙක් හෝ දෙදෙනෙක්වත්
මේ සුවහසක් මිනිසුන් මැද
සමාහිත සිතින් වෙසෙනු ඇති.

අල්ලා නොගෙන බැරි නිසා අල්ලාගෙන
දුක් විඳින විට අත්හරින්නට හිතුණත්
අත්හැරගන්නට බැරිව විඳවන නමුත්
ගංවතුරට ගසාගෙන ගිය දා
හිස්තැන දරාගෙන
ඉන් ලැබෙන සැනසිල්ල විඳින්නට තරම්
ප්‍රඥාවන්ත සිත් ඇත්තෙක් හෝ දෙදෙනෙක්
මේ පිරිස අතර ඉන්නවා ඇති.

කොහොමත් දුක් විඳින ජීවිතය
අකල්හි පතිත වන ව්‍යසනයකින්
එකවර සසල කොට කළතා කළඹවා
කම්පනය කොට මුදා හළ පසුව
ඒ ව්‍යසනයෙන් නිර්මාණය කරන හිස් තැන
ඉන් ලද පන්නරයෙන් පිරෙනවා නම්
කවර තරාතිරමක ව්‍යසනයක් වුවද
අපේ ඉතිරි ජීවිත කොටසට පමණක් නොව
මතු සසරටද ආශීර්වාදයකි.

ජීවිතය නම් අවදානම් ව්‍යාපාරයෙන්
කල් පවතින ලාභයක් ලැබිය හැක්කේ
අපට නැති වෙන දේ මත තැවීමෙන් නොව
ඉතිරිව ඇති දේත්, අප ඉන් උගත් දේත්,
අප ලද පන්නරයත් කළමනාකරණයෙන්
හෙට දවස සකස් කරගැනීමෙනි.

20170528

අස්වාභාවික විදියට ගලන කෘතිම ගංවතුර නවීන යුද අවියක්...

වියට්නාම් යුද සමයේ ඉහළ අහසෙහි
ගුවන් යානා පියාසර කරද්දී
වියට්නාම් යුද සෙබලුන් සිතුවේ
බෝම්බ හෙළන්නට සැරසීමක් ලෙස හෝ
වියට්කොං සැපයුම් මාර්ග වල
ඡායාරූප රැස් කිරීමක් ලෙසයි.

සත්තකින්ම බිය වීමට කරුණක් නොවිණ.
අහස් යානා මගින් තැත් කළේ වැසි වස්සවන්නටය.
එහෙත් ඔවුන් සාර්ථක වූයේ නැත.

උපක්‍රමය ඉතා සරලයි.
වැහි වළාකුළුවලට සිල්වර් අයෝඩයිඩ් ඉසීමෙන්
ඒ අංශු වල ඇති විද්‍යත් ආරෝපන මගින්
වැහි වළාකුළුවල ඇති ඉතා කුඩා වතුර බිඳු
එකට එක්වන්නට සැලැස්වීම ඔවුන්ගේ අරමුණ විය.
අවශ්‍ය තරම් ප්‍රමාණයක් ජල බිඳු රැස් වූ විට
වැසි පතිත වීම සිදු විය හැක.

මද වැසි ඇති වූ නමුදු ඒ වැසි වලින්
සැපයුම් මාර්ග අවහිර වූයේ නැත.

ස්විස් සමාගමක් වන Meteo systems සමාගම
2010දී අබුඩාබි ප්‍රදේශයේහි අහසේ
කෘතිම වර්ෂා 50ක් පමණ ඇති කල බවට
කරන ප්‍රකාශ වලට විද්‍යාඥයන් අතර
සැලකිය යුතු පිළිගැනීමක් නැත.

මේ සමාගම වැස්ස නිර්මාණය කරන්නේ
විශාල කුඩයක් වැනි උපකරණ ජාලයකින්
වායුගෝලයෙහි ඍණකෘත අයන මුදාහරිමින්
ඝනීකෘත ද්‍රව අණු සකස් කරමින්
වළාකුළු නිර්මාණය කිරීමෙනි.
 

මේ ක්‍රමයට කෘතිම වර්ෂා නිර්මාණය
සත්‍ය ලෙසම සිදුවිය හැකි බවට
සමහර විද්‍යාඥයන් පිළිගන්නා නමුදු
මියුනික් සරසවියේ මහාචාර්ය පීටර් වයිල්ඩර්
ඒ මතය ප්‍රතික්ෂේප කරයි.
අයනීකරණයෙන් වැස්ස ඇති කළ හැකි නමුදු
මේ ආකාරයට වැස්ස ඇති කිරීම
විද්‍යාත්මකව කළ හැකියයි නොපිළිගනියි.

මේ පිළිබඳව පිළිගත හැකි දත්ත
ඉදිරිපත් කරන්නට ඔහු අභියෝග කළද
රහස්‍යභාවය රකින Meteo systems සමාගම
එවැනි තොරතුරු හෙළි නොකරයි.

2003 ස්ටොක් හෝම් ජල සම්මානය දිනා ගත්
මියුනික් සරසවියේ මහාචාර්ය පීටර් වයිල්ඩර් පවසන්නේ
අයනීකරණයෙන් කෘතිම වැසි ඇති කිරීමට
දශක ගණනාවක් තිස්සේම ලෝකය කටයුතු කළ බවයි.

අයනීකරණ තාක්ෂණය පිළිබඳව
මුලින්ම අදහසක් පළ කළේ
නිකෝල් ටෙස්ලා විසින් 1890 දීය.
1946දී General Electric සමාගම විසින්
ක්ෂේත්‍ර පරීක්ෂණ කිහිපයක් කළ අතර
පැරණි සෝවියට් දේශ රජය විසින්
යුදමය කාර්යයන් සඳහා
භාවිතා කරන ලදී.

මේ පිළිබඳව දත්ත ඉදිරිපත් වී නැත්තේද
යුද අවියක් ලෙස මේ කාලගුණ වෙනස්කිරීම්
භාවිතා කළ හැකි වීම නිසා විය හැක.

වියට්නාමයෙහි කරන ලද වෑයම
හිරෝෂිමා-නාගසාකි පරමාණු බෝම්බවල
නිර්මාතෘ වූ ජෝන් වොන් නිව්මන්ගේ
දායකත්වයෙන් ඇරඹුණු අතර
පරමාණු බෝම්බය නිර්මාණයට අවශ්‍ය
ගණිතමය සමීකරණ සැපයුවේ
නිව්මන් විසින් බව කියැවෙයි.

දෙවෙනි ලෝක යුද්ධයෙන් පසුව
ඔහුගේ අවධානය ඔහු යොමු කළේ
කාලගුණය ඇසුරෙන් යුද අවි තැනීමටයි.
කාලගුණික යුද්ධ උපක්‍රම සෙවීම සඳහා
ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයෙහි
විද්‍යාඥයන් කණ්ඩායමක්
නිව්මන් එකතු කරගත්තේය.

මේ අවියෙහි ප්‍රධාන අරමුණ වූයේ
එවකට සෝවියට් දේශයෙහි අස්වැන්න
විනාශ වී යන නියඟයන් හෝ
නගර විනාශ කරන ගංවතුර මගින්
දේශපාලනික අස්ථාවර භාවයක්
සෝවියට් දේශයෙහි ඇති කිරීමය.

මේ රහසිගත යුද අවි ව්‍යාපෘතියට
සැලකිය යුතු ධනයක් වැය කෙරුණු අතර
එහි ප්‍රතිඵල පිළිබඳව වාර්තා නැත.
 මේ පිළිබඳ තොරතුරු කාන්දු වීමෙන්
ඇමරිකානු ජනතාව කුපිත විය.

1972දී දකුණු ඩැකෝටා ප්‍රාන්තයේ
වැසි ඇතිකරන පරීක්ෂණ කරමින්
අහසෙහි පියාසර කළ ගුවන් යානාවන්ට
 වෙඩි තියන්නට තරම් වැසියන් සැහැසි වූයේ
මේ කුපිත වීම නිසාය.

මෙම පරීක්ෂණ සමය අවසානයේ
දකුණු ඩැකෝටා ප්‍රාන්තය විනාශ කරමින්
මහා ගංවතුරක් ගලා ගියේය.

වසරක් පුරා ඇද හැලෙන තරම් වර්ෂාව
පැය කිහිපයක් තුළ ප්‍රාන්තයට ඇද හැළිණ.
රැපිඩ් නගරයෙහි වැසියන් පිරිසක් එක්ව
238කට මරු කැඳවූ කෘතිම වර්ෂාව ගැන
රජයට එරෙහිව අධිකරණයට ගියහ.

චීනයේ නගරයක වැසියෝ නියඟය ගැන
ඔවුන්ගේ රජයට දෝෂරෝපණය කරද්දී
රැපිඩ් නගරයට සමාන වූ අත්දැකීමකට
මහා බ්‍රිතාන්‍යයද මුහුණ දී ඇත.

1952 අගෝස්තු 15 දා බ්‍රිතාන්‍යයේ ඩෙවොන්හි
ලිමවුත් නගරයේ ගංවතුර ව්‍යසනයෙන්
34 දෙනෙකුට දිවි අහිමි වූ අතර
400ක පමණ ජනතාවක් අවතැන් වූහ.
රාජකීය ගුවන් හමුදා යානාවන්
වළකුළු අයනීකරණයෙහි යෙදී තිබුණ නමුත්
රජය වගකීම භාර ගත්තේ නැත.
වර්ෂාව ස්වාභාවික විපතක් යැයි
රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය
නිවේදනය කළේය.

කාලගුණය විකෘති කිරීමේ උත්සාහයන්
රටවල් 40ක පමණ ක්‍රියාත්මක වන නමුදු
වඩාත්ම ක්‍රියාකාරී රාජ්‍යය චීනයයි.
එහි කාලගුණික විකෘත මධ්‍යස්ථාන වල
50,000ක් පමණ සේවකයෝ සේවය කරති.

වගා කළ නොහැකි බිම්වල වර්ෂා ඇතිකිරීම
මේ කාලගුණ විකෘතකරණයේ අරමුණයි.
2009 ජාතික දිනයෙහි වැසි වැටෙන්නට ඉඩ ඇතැයි
කාලගුණ විද්‍යාඥයන් අනාවැකි පළකළ විට
විද්‍යාඥයන්ට වැස්ස නතර කිරීමට
රජයෙන් නියෝග නිකුත් කෙරිණ.
ගුවන් යානා 18ක් මගින් අවට අහසේ
රිදී අයෝඩයිඩ මුදා හැරීමට ක්‍රියා කිරීමෙන් පසු
ටියානන්මෙන් චතුරශ්‍රයේ උත්සවය
නිල් අහසක් යට උත්කර්ෂවත් ලෙස පැවැත්විණ.

මේ අතර
තමන්ගේ වැස්ස සොරාගත් බවට
චීනයේ එක් ප්‍රාන්තයක් තවත් ප්‍රාන්තයකට
දෝෂාරෝපණය කරයි.
මේ දෝෂාරෝපණය
මතුපිටින් බලන විට
විකට ස්වරූපයක් දිස්වන නමුදු
මේ දෝෂාරෝපණය නැගුණේ
ඉන්දියාව සහ පකිස්තානය අතර නම්
අවසාන ප්‍රතිඵලය යුද්ධයක් විය හැක.

පරීක්ෂණ පැවැත්වෙන්නේ
වැස්ස පිළිබඳව පමණක්ද?

සුළි සුළං කුණාටු ආදිය පිළිබඳවද
විද්‍යාත්මක පරීක්ෂණ පැවැත් වෙයි.

කාලගුණ විකෘතකරණය
මිනිසාගේ පාලනයට නතු කර ගැනීමෙන්
රටක දියුණුවට බොහෝ දේ කළ හැක.
මේ බලයම යොදාගෙන තවත් රටක පිරිහීමටද
තවත් රටක ජන ජීවිතය අවුල් කිරීමටද
ඒ ආකාරයටම ක්‍රියා කළ හැක.

කාලගුණ විකෘතකරණය මගින්
සුළි සුළං කුණාටු ආදිය නතර කිරීම
වෙනත් අතකට යොමු කිරීම මෙන්ම
සුළි සුළං කුණාටු ආදිය වෙන රටවල්වල
ඇති කිරීමද කළ හැක.
දහස් ගණන් ජීවිතද වටිනා දේපළද
පැය කිහිපයක් තුළ විනාශ වී යා හැක.
ඒ රටත් ප්‍රතික්‍රියාවක් ලෙස
සුළි සුළං කුණාටු ආදියෙන්ම පිළිතුරු දුන හොත්
පළමු රටෙහිද  දහස් ගණන් ජීවිත, වටිනා දේපළ,
පැය කිහිපයක් තුළ විනාශ වී යා හැක.

මෙහි දරුණු බව වඩාත් ප්‍රබල වන්නේ
ස්වාභාවික විපතක් ඇති කළා යැයි
සැක කිරීම හා චෝදනා කිරීම හැර
චෝදනා ඔප්පු කිරීමක් කිරීමද
ඉතා අසීරු වීමයි.

මේ කරුණු සලකා බලා
"පුළුල් ප්‍රදේශයක කලක් පවතින
කාලගුණික වෙනස්කම් ඇති නොකිරීම"ට
ජිනීවා සම්මුතිය ඇති කරගෙන තිබේ.
එහෙත් "කුඩා ප්‍රදේශයක කෙටිකාලීන"
යුදමය මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට
ඉන් බාධාවක් නැත.
ජිනීවා සම්මුතියට අත්සන් නොකළ රටවල් වලට
එම සම්මුතිය බලපාන්නේද නැත.

ජිනීවා සම්මුතියට අත්සන් කළ රටවල් වුවද
සිය රහස් ඔත්තු සේවා මගින්
වෙන රටවල්වල කාලගුණ විකෘතකරණය කිරීම
කිසිවෙකුටත් පාලනය කළ නොහැක.

යුදමය නොවන වෙනත් අරමුණු සඳහාද
අස්වාභාවික කාලගුණික ව්‍යසනයන්
වක්‍රාකාරයෙන් භාවිතා කිරීමට අවකාශ ඇත.

අද ලෝකයෙහි බරපතල ප්‍රශ්නයක් වී ඇත්තේ
පරිභෝජනවාදී මිනිසුන්ගේ උවමනාවන්
එක් පසෙකින් අසීමාන්තිකව වැඩි වෙද්දී
භාණ්ඩ නිපදවන හා සේවා  සපයන සමාගම්
අසීමාන්තික සැපයුමකට ක්‍රියා කිරීමයි.

රැස්වෙන අවි නිෂ්පාදන විකිණීමට
අවි නිපදවන සමාගම්වල වියදමෙන්
ලොව පුරා කලින් කලට යුද්ධ ඇති කෙරෙයි.
අස්වාභාවික කාලගුණික වෙනසකින් ඇති වෙන ගංවතුර
භාණ්ඩ වෙළඳපොලට කෙළින්ම බලපාමින්
භාණ්ඩ අති රික්තය විකුණා ගත හැකි
හදිසි රික්තයක් නිර්මාණය වෙයි.

මේ රික්තය ජනතාව මත පැටවෙන
බලාපොරොත්තු රහිත අමතර බරකි.
මේ විශේෂ බර නිදහස් කරගන්නට
දුගී ජනතාව යොමුවන්නේ රජය වෙතයි.
මේ අමතර බර නිර්මාණය කොට
රජය අපහසුතාවයට පත් කිරීමට
බාහිර බලවේග වලට ඉඩ ඇත.

පවතින නායකත්වය බලයෙන් පහ කිරීමට
බලය නැති කණ්ඩායමෙහි පිරිසක්
එක් රැස් වී ක්‍රියා කිරීම
ගල් යුගයේ පටන්ම මිනිසාට උරුමවූ
අදත් පවතින ස්වාභාවික උවමනාවකි.

සොබා දහම නිසා හෝ ජනතාව දුක් විඳිනවිට
ජනතා අප්‍රසාදය එල්ලවන්නේ රජයටයි.
ව්‍යසනයකින් පසුව හිස ඔසවන්නට
විවිධාකාරයෙන් වෑයම් කරන ජනතාවට
ඔවුන්ගේ අවශ්‍යතාවන්ට
සංවේදී නොවෙන රජයක්
ඉතා ඉක්මණින් පිරිහීමට ලක්වන්නට
ස්වාභාවික විපතක් වුවද ප්‍රමාණවත්ය.

සංවේදී රජයක් නිසි අයුරින් ක්‍රියාකළ හොත්
ජනතාව රජය කෙරෙහි ප්‍රසාදයට පත්කරගන්නටද
එපමණටම රජයට අවස්ථාව ඇත.

20170527

මැති ඇමතිවරු සුපිරි වාහන ගැනීම වරදක්ද?


මැති ඇමතිවරු
මේ ගංවතුර කාලෙත්
සුපිරි වාහන ගැනීම වරදක්ද?

මැති ඇමති වරුන්ට කැමති දෙයක් කරන්න
රටේ නීතියෙන් අවසර දීල තියෙන්නෙ
ඔවුන්ට රටේ ජනතාවට පහසුකම් දෙන්න
හැකියාව ලැබෙන විදියටයි.

පට්ටියක ඉන්න හරකුන්ට නැති නිදහසක්
පට්ටිය පාලනය කරන ගොපල්ලන්ට
ව්‍යවස්ථාවෙන්ම ලබා දීම සිරිතක්.

හරකුන්ගෙ ගාල සකස් කරලා
තණකොළ ටික පුන්නක්කු ටික
පට්ටියටම සාධාරණව ලබා දීම
ගොපල්ලන්ගෙ වගකීම සහ යුතුකමයි.

ගොපල්ලා මිනිසෙක් නම් මේ ක්‍රියාවලිය
නිසියාකාරව කරගන්න රටකට පුලුවන්.

ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ
පට්ටියෙ ඉන්න බහුතරයක් හරකුන්ගෙ කැමැත්තට
තමන්ගෙ හිත සතුටු කරන ප්‍රිය ජනක හරක්
පාලකයන් විදියට පත් කරගැනීමයි.

පාලක හරකුන්ට
හරකෙකුගෙ අවශ්‍යතා ඉක්මවා
හිතන්නට නොහැකි නිසා
පාලක හරක් ටික හිතන්නෙ
තමන්ගෙ තණකොළ ටික, පුන්නක්කු ටික,
නිදාගන්න පිදුරු ගොඩ ගැන විතරයි.

හරක් පට්ටිය පාලනය කරන ගොපළු රැළට
ගොපළු මිනිස්සු ගොපල්ලන් ලෙස පත්වෙන දිනක්
අපට නම් කවදාවත් එන්න විදියක් නැහැ.

රටේ වාසනාවකට
ගොපළු මිනිසෙක් අපි අතරෙ බිහි වුණොත්
ගොපළු හරක් ටික අනින්න කලින්
රැළේ හරක්ම මිනිසාට ඇනලා මරනවා.

කාලෙන් කාලෙට පාලකයන් විදියට
හරක් පත්කරගන්නා ඡන්ද දායක හරක්
ඊ ළඟ මැතිවරණය වෙනතුරු උම්බෑ කියනවා.

මැතිවරණයෙන් මැතිවරණයට
හරක් සෙට් දෙක මාරු වෙනවා විතරයි

20170521

දෙමාපියන්ගෙ සල්ලි නිසා ඉගෙනීම අහිමි සයිටම් සිසුන්.


නිදහස් අධ්‍යාපනෙත් එක්ක අපට ගැටලු නෑ..
ඒක ඔහෙ නිදහසේ තිබුණාවෙ.

කවුරුවත් ඒ නිදහසට අකුල් හෙළන්නෙ නෑ.
ඒ ගැන කවුරුවත් බය වෙන්න ඕන නෑ.
පුද්ගලික අධ්‍යාපන නිදහසට තමා
ඇති නැති දෙගොල්ලම අකුල් හෙළන්නෙ.

දේශපාලන අරමුණු සඳහා
නිදහස් අධ්‍යාපනය රැකගන්න මුවාවෙන්
නාඩගම් නටන නර්තනශීලී අන්තරේ
නායකයන්ගෙ පදයට නටපුවාවෙ.
ඒ ඔවුන්ට සුපුරුදු මාවතේ ජීවිතය.
අන්තරේ ජීවිතයේ මාවත...

අන්තරේ ජීවිත හැමදාම ගත වෙන්නෙ පාරෙ.
එකක් නැත්නම් වෙන එකක්.
දැන් ඔවුන්ට සෞඛ්‍ය සම්පන්න අරමුණක් එක්ක
වීදිගත වෙන්න ලැබිලා,
අලුත් ජීවිතයකින්.

කලා වාණිජ සිසුන් වෛද්‍ය සිසුන් වගෙයි.
වෛද්‍ය සිසුන් කලා වාණිජ සිසුන් වගෙයි.
හැමදාම කලා වාණිජ සිසුන් කොන් කරපු
වෛද්‍ය සිසුන් දැන් සඳළු තලෙන් බැහැලා
ඔවුන් අතරට ඇවිත්.

දැන් සඳළු තලේ ඉන්නෙ
සයිටම් එකේ මෙඩ්ඩො ටික.
උන්ට පාරට බහින්න ඕන කමක් නෑ.
උන්ගෙ ගේම ගහන්නෙ රජය,
තනියම.

මෙඩ්ඩො ටික අන්තරේ එක්ක වැටුණාම
මුහන්දිරම් හාමුදුරුවන්ගෙ පුංචි නිලමෙ
ගමේ කොල්ලො කුරුට්ටො අතරට ඇවිත්
චක්ගුඩු කෙළිනවා වගෙයි සන්තෝසෙ.
"අදත් පුංචි දොස්තර මහත්තුරු එක්ක
උත්ගෝසන කළාද මයෙ පුතේ" කියල
හවහට ආච්චි අහද්දි හිත උතුරනවා.

හීනෙකින්වත් හිතපු වාසනාවක්ද
අප්පච්චිගෙ දේශපාලන අරමුණු නිසා
අන්තරේට කඩා වැටුණෙ.

මෙඩ්ඩො ටික අන්තරේ එදා තැනටම දාල
ක්‍රෑම පටන් අරන් උන්ගෙ රේස් එක දුවද්දි
අන්තරේ අතරමං කරත්
අන්තරේ කරන වර්ජනේකදි
නම පාවිච්චි කරන්න පුලුවන්.

ගොමා එක වෘත්තීය සමිති
150ක නම් රටට පෙන්නුවෙ.
වර්ජනේ ඇණගත්ත එක වෙනම කතාවක්.

කවද හරි තේරෙන පිරිස අයින් වෙනකොට
ජවිපෙ භාරගන්න ඉන්න වීර පුත්තු.

ජවිපෙට දාව බිහි වුණ සුජාත පුත්තු.
පිරිසක් වයසින් මෝරලා අයින් වෙද්දි
තව පිරිසක් එකතු වෙනවා.
අන්තරේ වීදි නාඩගම සදාතනිකයි.

ඒ අන්තරේ සිසුන්ගෙ කුසලතාවය.

උසස්පෙළ සමත්වෙන සිසුන්ගේ
කුසලතා විවිධයි.

උසස්පෙළ සිසුන්ගේ
අධ්‍යාපන හැකියාව එක කුසලතාවයක්.

ඔවුන්ගේ දෙමාපියන්ගේ
ආර්ථික හැකියාව තවත් කුසලතාවයක්.

මේ දෙකම තියන සිසුන් අතළොස්සයි ඉන්නෙ.

අධ්‍යාපන කුසලතා ඇති
සල්ලි කුසලතා නැති
අන්ත නැති බැරි අසරණ මිනිස්සුත් ඉගෙන ගන්න ඕන.
ඔවුන්ට නිදහස් අධ්‍යාපනය තියනවා.

අධ්‍යාපන කුසලතා සමග
සල්ලි කුසලතා තියන ඇති හැකි
අයත් ඉගෙන ගන්න ඕන.
ඔවුන්ට පුද්ගලික අධ්‍යාපනය අවශ්‍යයි.

උසස්පෙළ දක්වා සිසුන්
ඔවුන්ගෙ සහ දෙමාපියන්ගෙ කුසලතා මත
නිදහස් අධ්‍යාපනේ ඉස්කෝලෙන්
පුද්ගලික අධ්‍යාපනේ ටියුෂන් පංති මාර්ගයෙන්
එක එක මට්ටමෙන් ලබා ගන්නවා.
දෙමාපියන්ට සල්ලි ඇතා නැතා
කවුරුවත් කාටවත් අකුල් හෙලන්නෙ නෑ.

මේ පාරවල් දෙකෙන්ම ආපු අයගෙන්
සියයට හතලිහක් ලකුණු අනුව තේරෙනවා.
ඉතුරු සියයට හැටක් සිසුන්
දිස්ත්‍රික් කෝටා ක්‍රමයට අනුව
තමන්ට වඩා හොඳ රිසල්ට් දාගත්ත
දක්ෂ සිසුන් පිරිසක් කපාගෙන
මෙඩිකල් ෆැකල්ටි එකට යනවා.

ගිය අවුරුද්දෙ කුසලතා අඩු පිරිසක් නිසා
කැපිලා අතරමං වුණ දක්ෂයො  1800කට වැඩියි.

උසස්පෙළෙන් එහාට යන ගමනෙදි
වැඩියෙන්ම ලකුනු ගත්ත පිරිස නිසා කැපුණ අයගෙන්
සල්ලි තියන අයට යන්න හදපු පාර වහන්න
අනික් පාරේ යන නැති බැරි සිසුන් උද්ඝෝෂණ කරනවා.
ඩොකාල ආණ්ඩුවට බලපෑම් කරනවා.

අධ්‍යාපන කුසලතා සමග
සල්ලි කුසලතා නැති දුගී දුප්පත් සිසුන් 1300කට
දිස්ත්‍රික් කෝටා ක්‍රමය වැනි වරප්‍රසාදත් සහිතව
වෛද්‍ය විද්‍යාලයෙ ඉගෙන ගන්න
අවස්ථාව තියනවා.

මෙඩිසින් කරන්න කුසලතා තියෙද්දි
තමන්ටත් අඩු කුසලතා ඇති පිරිසක් නිසා
කැපුණ පිරිසට විකල්ප තියෙන්න ඕන.

අධ්‍යාපන කුසලතා සමග
සල්ලි කුසලතාව තියන අයට ඉගෙන ගන්න
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල දෙන්න
ආණ්ඩුව සූදානම්.

කවුරු දිනාවිද?



20170520

වෛද්‍යවරයෙකුගේ පාප කර්මය වඩා බලවත්ද?







කර්මයක් කරන පුද්ගලයාගේ
වෘත්තීය වගකීම අනුව
ඔහුගේ ක්‍රමය ප්‍රබල වේද?

රෝග සුව කරන වෛද්‍යවරයා
කෙනෙකු සිතා මතා රෝගී කිරීම
කොතරම් ප්‍රබල කර්මයක් වෙයිද?
'''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
නිවන් අවබෝධ කිරීමට වාසනාව තිබූ චක්ඛුපාල ස්වාමීන් වහන්සේගේ දෑස් අන්ධ වූයේ මක් නිසාද?

කාලයේ වැලිතලාවෙන් වැසී ගිය චක්ඛුපාල ස්වාමීන් වහන්සේගේ අතීත ජීවිත කතාව බුදුරජාණන් වහන්සේ මෙසේ එළිදක්වා වදාළා.

“පින්වත් මහණෙනි, ඉස්සර බරණැස් නගරයේ කාසි කියලා රජ කෙනෙක් රජකම් කරද්දී ප්‍රසිද්ධ වෙද මහතෙක් ඇස් වෙදකම් කළා. ඔය කාලයේ එක ඇසක් දුර්වල වූ ස්ති‍්‍රයක් බෙහෙත් ගන්නට ආවා.

“අනේ පින්වත් වෙද මහත්මයා, මේ ඇස සනීප කරල දෙන්න. මා මගේ දූදරුවන් සමඟ ඔබේ දාසියක් වෙනවා” කියලා පොරෙන්දු වුනා. වෙදමහත්තයා ඒ ගැන සතුටු වුනා. එක බෙහෙතෙන්ම ඇස් සුවපත් කළා. සුවපත් වූ දෑස් ඇති ඒ තැනැත්තිය මෙහෙම හිතුවා.

“මං මේ වෙද මහත්තයට දූදරුවන් සමඟ දාසියක් වෙනවා කියලා පොරොන්දු වුනා. මට ඒක කරන්න පුළුවන් දෙයක් නොවෙයි. හොඳම වැඩේ තවම ඇස් අසනීප බව පැවසීමයි” කියලා මේ ස්ති‍්‍රය වෙද මහත්තයා ඉදිරියේ බොරු ලෙඩක් මවාපෑවා.

“අනේ වෙදමහත්මයා, මට තවම අමාරුයි. ඇස් රුජාව වැඩිවුනා නෙව.”

මැය පවසන්නේ බොරුවක් බවත්, මැය කපටි ස්ති‍්‍රයක් බවත් තේරුම් ගත් වෙද මහතා මැයට පාඩමක් ඉගැන්විය යුතු යැයි සිතා දෑස් අන්ධ වන බෙහෙතක් දුන්නා.

“ඔන්න ඔය බෙහෙත ඇස් දෙකටම දමාපන්. එතකොට හොඳට සනීප වේවි.”

ඇය ඒ බෙහෙත් දැමූ විගසින් පහන් සිලක් නිවී යන්නා සේ දෑස් නොපෙනී ගියා. එම ස්ති‍්‍රය විලාප තියමින් හඬා වැළපුනා. ඒ වෙදමහතා විසින් කරන ලද කර්මය නිවන් දකිනා ජාතියෙහි පවා පසු පසින් පැමිණ විපාක දෙමින් දුකට පැමිණ වූ ආකාරය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කොට වදාළා. එවේලෙහි බුදුරජාණන් වහන්සේ මේ ගාථාව වදාළා.

මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ඨා මනෝමයා
මනසා චේ පදුට්ඨේන භාසති වා කරෝති වා
තතෝ නං දුක්ඛමන්වේති චක්කංව වහතෝ පදං

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

'''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''

1, මනෝ පුබ්බංගමා ධම්මා
2, මනො සෙට්ඨා මනොමයා

1, සියලු ධර්මතාවයන්ට මනස පූර්වාංගමයි.
2, මනසින් උපදින සියලු දේට මනස ශ්‍රේෂ්ඨයි.

'''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''

අතීත කතාව.

ඒකාලයේ සැවැත් නුවර මහාසුවණ්ණ කියලා ධනවත් ව්‍යාපාරිකයෙක් හිටියා. ඔහුට දරුවන් නෑ. දවසක් නානතොටින් වතුර නාලා ආපහු එන ගමනේදී ඔහුට අතුපතර විහිදී ගිය සුවිසල් නුග රුකක් දකින්නට ලැබුනා. ඔහු මෙහෙම හිතුවා. ‘මේ වෘක්ෂයෙහි මහේශාක්‍ය දෙවිවරු අරක්ගෙන ඉන්න හැඩයි.’ එහෙම කියලා ඔහු ඒ ගස් සෙවණ ශුද්ධ පවිත්‍ර කළා. සුදු වැලි ඇතිරුවා. ලස්සන කොඩි වැල් බැන්දා. ඒ නුගරුකට වැඳගෙන මෙහෙම ඉල්ලා සිටියා. “අනේ දෙවියනේ, මට පුතෙක් හරි, දුවෙක් හරි ලැබුනොත් මං ඔබවහන්සේට ලොකු පූජාවක් කරනවා” කියල.

ටික කාලයකින් මහාසුවණ්ණගේ බිරිඳට පුතෙක් ලැබුනා. මහාසුවණ්ණට හරි සතුටුයි. ඔහු සිතුවේ නුගරුකේ සිටිය දේවතාවා දරුවෙක් දුන්න කියලයි. ඉතින් ඔහු තමා විසින් සත්කාර කරපු, පුද පූද පූජාවන් පවත්වපු නුගරුක නිසා, ඒ දරුවා ලැබුනා කියන අර්ථයෙන් ‘පාල’ කියලා නම තිබ්බා. ආයෙමත් ටික දවසකින් තවත් පුතෙක් ලැබුනා. එතකොට ඔහු ලොකු පුතාට ‘මහාපාල’ කියලා නම තිබ්බා. පොඩි පුතාට ‘චූලපාල’ කියලා නම තිබ්බා.

පින්වතුනේ, පින්වත් දරුවනේ, අපගේ ශාස්තෘන් වහන්සේ වන ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයා කෙරෙහි පතළ මහා කරුණාවෙන් ගම් නියම්ගම් සිසාරා චාරිකාවේ වඩිමින් ධර්ම දේශනා කරන කාලය වන විට මේ චූලපාල, මහාපාල දෙදෙනා විවාහ වෙලා සතුටින් කල්ගත කරනවා. දවසක් මහජනතාව බණ ඇසීමට දෙව්රම් වෙහෙරට යන හැටි මහාපාල බලාගෙන හිටියා. ඔහුටත් බණ ඇසීමට ආශාව ඇති වුනා. ඔහු දෙව්රමට ගියා. කෙළවරකට වෙලා බණ ඇසුවා. අර්ථ මෙනෙහි කළා. ටික ටික තේරුනා. ඒ හේතුවෙන් ඔහු ශ‍්‍රද්ධාවට පැමිණිලා තෙරුවන් සරණ ගියා. අන්තිමේදී පැවිදි වෙන්න තීරණය කළා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිය ඔහු උන්වහන්සේට ආදරයෙන් වන්දනා කරලා පැවිදි කරන්න කියලා ඉල්ලා සිටියා.

“පින්වත් මහාපාල, ඔබ පැවිදි වෙන වග දැනුම් දිය යුතු වගකිව යුතු කෙනෙක් ඉන්නවාද?” කියලා බුදුරජාණන් වහන්සේ අසා වදාළා.

“එසේය ස්වාමීනී, මට බාල මල්ලි ඉන්නවා.”

“එහෙනම් පින්වත් මහාපාල, ඔබ ගිහින් මල්ලිට දැනුම් දීලා එන්න.”

ඉතින් මහාපාල ගෙදර ගියා. පවුලේ සියලු දෙනාත්, මල්ලිවත් කැඳවලා මෙහෙම කිව්වා.

“මල්ලියේ, මේ පණ ඇති, පණ නැති සියලු දේපල වස්තු ඔබට බාරයි. ඔබ මේ හැමදෙනාටම උදව් කරගෙන ඉන්න.”

“අයියේ, ඔබ මෙහෙම වෙනස් වුනේ ඇයි?”

“මල්ලියේ, මං තීරණය කළා බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වෙන්න ඕන කියල. මට මේ සසරින් මිදෙන්න දුර්ලභ අවස්ථාවක් ලැබිල තියෙනවා.”

“අනේ අයියේ, එහෙම කරන්න එපා! අම්මත්, තාත්තත් නැති වුනාට පස්සේ ඔබ තමයි අම්මටයි, තාත්තටයි හිටියේ. ඉතින් ගෙදර ඉඳන් පින් කරගන්නට පුළුවන් නෙව. පැවිදි වෙන්න අවශ්‍ය නෑ නෙව.”

“නෑ මල්ලියේ, මේ ධර්මයේ ආරම්භයත් සුන්දරයි; මැදත් සුන්දරයි; අවසානයත් සුන්දරයි. මේ ධර්මය හුදෙක් කෙළවරක් නැති හිස් හිස් පැතුමක් නොවේ. මේ ජීවිතය තුළම මේ ධර්මය අවබෝධ කරලා අවසන් කරන්න පුළුවන්. නමුත් ගිහි ගෙදර ගත කරමින් එය කරන්න පුළුවන්කමක් නෑ. අනික මහළු වෙනකල් ඉඳලා අත්පා වාරු නැති කාලෙක පැවිදි වුනත් අමාරුයි. ඒ නිසා මං උතුම් මහණදම් පුරන්නමයි ඔය තීරණය ගත්තේ.”

ඉතින් පවුලේ සියලු දෙනා හඬ හඬා මහාපාලගේ අදහසට එකඟ වුනා.

මහාපාල ඉතා සතුටින් බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. පැවිදි වුනා. උපසම්පදා වුනා. ආචාර්ය උපාධ්‍යායයන් වහන්සේලාට කීකරුව පස්වසරක් ධර්ම විනය ඉගෙන ගත්තා. ඊට පස්සේ හුදෙකලා වාසයට කැමති වෙලා බුදුරජාණන් වහන්සේ ලඟට ගියා. ගිහින් ආදරයෙන් වන්දනා කරලා මෙහෙම කියා සිටියා.

“ස්වාමීනි, මට ධර්මය හදාරමින් දිගටම කල් ගෙවන්න කාලයක් නෑ. මා කැමතියි ධ්‍යාන වඩන්න. මා කෙරෙහි අනුකම්පා කොට ඒ සඳහා මා හට අවවාද කරන සේක්වා!” කියල උපදෙස් ලබාගෙන තව ස්වාමීන් වහන්සේලා හැට නමක් සමඟ චාරිකාවේ පිටත් වුනා. යොදුන් ගණන් වැඩම කළා. ඉතා යහපත් ඉරියව් ඇති වතපිළිවෙතින් සරු මේ ස්වාමීන් වහන්සේලා දැකගත් පින්වතුන් මහත් සේ පැහැදුනා. සතුටු වුනා. දන්පැන්වලින් ඇප උපස්ථාන කළා.

“අපේ පින්වත් ස්වාමීන් වහන්සේලා කොහේද වඩින්නේ?”

“පින්වත් උපාසකවරුනි, වස් වැසීමට සුදුසු සේනාසනයක් සොයමිනුයි අපි මේ යන්නේ.”

“එසේනම් පින්වත් ස්වාමීන් වහන්ස, මේ තුන් මාසය මෙහි වස් වසන සේක්වා! එතකොට අපටත් බණ භාවනා කරගන්න පුළුවනි. දන්පැන් පුදාගන්න පුළුවනි.”

මේ ස්වාමීන් වහන්සේලා ඒ ඇරයුම පිළිගත්තා. සැදැහැබර සිත් ඇති ඒ ගම්වාසීන් ඉක්මනින් කුටි හැදුවා. සක්මන් මළු හැදුවා. භාවනා ශාලා හැදුවා. ඒ ගමේ දක්ෂ වෙද මහත්තයෙක් ඉන්නවා. එතුමාත් උදව් කළා. එතුමා කියා සිටියා,

“පින්වත් ස්වාමීන් වහන්ස, ඔබවහන්සේලාට ඕනම අසනීපයකට මං බෙහෙත් කරන්නම්. මට දැනුම් දෙන සේක්වා!” කියල.

වස්වසන දවසේ මහාපාල ස්වාමීන් වහන්සේ අනෙක් ස්වාමීන් වහන්සේලා ඇමතුවා.

“පි‍්‍රය අායුෂ්මතුන් වහන්ස, මේ තුන් මාසයේ ඔබ ඉරියව් කීයකින් කල්ගෙවන්නද හිතාගෙන ඉන්නේ?”

“ස්වාමීනී, සතර ඉරියව්වෙන්ම අපි කල්ගෙවනවා.”

“පි‍්‍රය ආයුෂ්මතුනි, මං මෙහෙම හිතුවා. මේ ධර්මය අවබෝධ කරගැනීමට පුළුවන් තරම් කැප වෙනවා කියලා. අපිට ජීවමාන බුදුරජාණන් වහන්සේ මුණ ගැහුනා. මේ උතුම් ධර්මය උන්වහන්සේගේ මුවින්ම අසන්නටත් ලැබුනා. ශ‍්‍රද්ධාවත් ඇති වුනා. ක්ෂණ සම්පත්තිය ලැබුනා. දැන් ඉතින් ප්‍රමාද වීම අනතුරුදායකයි. ප්‍රමාද වූ සත්වයන්ට සතර අපාය තමන්ගේ ගෙදර වගෙයි. ඒ නිසා මං ඉරියව් තුනකින් කල්ගෙවන්න තීරණය කළා. මේ තුන් මාසයේදී මං සැතපෙන ඉරියව්ව අත්හරිනවා.”

“ස්වාමීනී, අප්‍රමාදී වීමමයි හොඳ” කියලා ඒ ස්වාමීන් වහන්සේලාත් අනුමෝදන් වුනා.

ඉතින් පින්වතුනේ, පින්වත් දරුවනේ, මහාපාල ස්වාමීන් වහන්සේ පළමුවෙනි මාසයේ හොඳට භාවනා කළා. දෙවැනි මාසයේ මුල් සතියේම ඇස් රෝගයක් හට ගත්තා. සිදුරු වූ කලයකින් වෑහෙන වතුරක් වගේ ඇස් දෙකෙන් කඳුළු වෑහෙන්න පටන් ගත්තා. මුළු රාති‍්‍රයේම සක්මන් කරමින් වාඩිවෙමින් භාවනාවෙන් කල් ගෙවලා, උදේ පිඬු සිඟා වඩින්න සූදානම් වුනා. මහාපාල ස්වාමීන් වහන්සේගේ ඇස්වලින් රූරා හැලෙන කඳුළු ධාරා දුටු ස්වාමීන් වහන්සේලා විමසුවා.

“ස්වාමීනී, ඔය මක්වෙලාද?”

“පි‍්‍රය ආයුෂ්මතුනි, මේ ඇස්වලට වාත රෝගයක් හැදිල වගෙයි.”

“ස්වාමීනී, අපි මුලින්ම වස්වසද්දී වෙද මහත්තයෙක් අපට වෙදකම් කරන්න පොරොන්දු වුනා නෙව. අපි එතුමාට ගිහින් කියමු.”

“හොඳයි ආයුෂ්මතුනි” කියලා මහාපාල ස්වාමීන් වහන්සේ වෙද මහත්තයා ළඟට වැඩියා. ඒ වෙද මහතා ඉතා වටිනා තෙලක් මහාපාල ස්වාමීන් වහන්සේට දුන්නා.

“ස්වාමීනී, මේ තෙල අපේ වෙද පරම්පරාවේ නම්බුව රැකපු මහානුභාව සම්පන්න තෙලක්. දැන් තමුන්නාන්සේ ඔය තෙල් වලින් බිංදුව ගානෙ උදේ වරුවෙ හාන්සිවෙලා ඇහැට දමන්න ඕන.”

මහාපාල ස්වාමීන් වහන්සේ කුටියට වැඩියට වැඩම කොට ඒ තෙල ඇස්වලට දැම්මේ වාඩිවෙලාමයි. ටික දවසකින් වෙද මහත්තයා ස්වාමීන් වහන්සේගෙන් ඇහුවා,

“ස්වාමීනී, දැන් ඇස් රෝගය කොහොමද?” කියලා.

“පින්වත් උපාසක, තවම ඇස්වල වේදනාව තියෙනවා.”

“ස්වාමීනී, ඒක වෙන්න බැරි දෙයක් නෙව. ඔය තෙල එකවතාවෙන්ම ඇස් රෝගය සනීප කරන එකක්. ස්වාමීන් වහන්සේට මෙහෙම වුනේ මොකද? ස්වාමීනී, ඔබවහන්සේ තෙල් වත්කළේ වාඩිවෙලාද? හාන්සි වෙලාද?”

එතකොට මහාපාල ස්වාමීන් වහන්සේ නිශ්ශබ්ද වුනා. නැවත නැවත ඇසුවා. පිළිතුරු දුන්නේ නෑ. වෙද මහත්තයා පසුවදා ස්වාමීන් වහන්සේ වැඩසිටින කුටියට ගියා. හැමතැනම වටපිට බැලුවා. සැතපෙන තැනක් සොයාගන්නට නෑ.

“ස්වාමීනී, ඔබවහන්සේ ඔය තෙල් වත්කළේ වාඩි වෙලා නේද?”

මහාපාල ස්වාමීන් වහන්සේ නිශ්ශබ්ද වුනා.

“අනේ ස්වාමීනී, වාඩිවෙලා ඔය තෙල ඇසට දමන්න එපා. ශරීර සෞඛ්‍යය හොඳට තියාගත්තොත් තමයි හොඳට මහණදම් පුරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා හාන්සිවෙලාමයි ඇස් දෙකට තෙල් දැමිය යුත්තේ.”

එතකොට “පින්වත් උපාසක, මං මේ ගැන කතා කරන්නම්” කියලා මහාපාල ස්වාමීන් වහන්සේ පිළිතුරු දුන්නා. වෙද මහත්මයා පිටත් වුනා.

මහාපාල ස්වාමීන් වහන්සේ කා සමඟ කතා කරන්නද? නෑදෑයො කවුරුවත් නෑ. ස්වාමීන් වහන්සේ තමන්ගේම කයත් සමඟ කතා කළා.

“එම්බා පාල, නුඹම කියාපන්. නුඹට වටින්නේ ඔය ඇස් දෙකද? නැත්නම් දුර්ලභව ලද බුද්ධ ශාසනයද? නුඹ අනන්ත සංසාරේ ඉපිදි ඉපිදි මැරි මැරී යද්දී කෙළවරක් නැතුව ඇස්, කන් ලැබිල තියෙනවා නේද? ඔය අතරේ බුදුරජාණන් වහන්සේලා කොයිතරම් ලෝකයේ පහළ වෙලා පිරිනිවන් පෑවාද? ඒ එක බුදුරජාණන් වහන්සේ නමක් ළඟදිවත් නුඹට ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරන්නට බැරිව ගියා. චතුරාර්ය සත්‍යය අවබෝධ කරන්නට බැරිව ගියා. මේ ජීවිතයේදීත් මේ අවස්ථාව මඟහැර ගන්නට නුඹ කැමතිද? නුඹ මේ තුන් මාසයේ හාන්සි වෙන්න නැත. තුන් ඉරියව්වෙන් කල්ගත කරනවාය කියලා අධිෂ්ඨාන කරගත්තා නේද? එහෙම නම් නුඹේ ඇස් නැති වෙනවා නම් නැති වී ගියාවේ. බුද්ධ ශාසනයම දරා ගනින්” කියලා තම හිතටම අවවාද කරගත්තා. මේ ශරීරය සමඟ ඔය විදිහට කතා කරලා මේ ගාථාවන් පැවසුවා.

චක්ඛූනි හායන්තු මමායිතානි, සෝතානි හායන්තු තථේව කායෝ,
සබ්බම්පිදං හායතු දේහනිස්සිතං, කිං කාරණා පාලිත ත්වං පමජ්ජසි.

මමත්වයෙන් අල්ලා ගත් මේ නුවන් යුග වැනසේවා.
ඒ අයුරින් මේ කය හා සවන් යුගද වැනසේවා.
මේ කය හා එක් වී ඇති සියලු දෙයම වැනසේවා.
එම්බා පාලිතයෙනි, නුඹ තවත් පමා වන්නේ කුමට?

චක්ඛුනි ජීරන්තු මමායිතානි, සෝතානි ජීරන්තු තථේව කායෝ,
සබ්බම්පිදං ජීරතු දේහනිස්සිතං, කිං කාරණා පාලිත ත්වං පමජ්ජසි.

මමත්වයෙන් අල්ලා ගත් මේ දෙනයන වැහැරේවා.
ඒ අයුරින් මේ කය හා සවන් යුගද වැහැරේවා.
මේ කය හා එක් වී ඇති සියලු දෙයම වැහැරේවා.
එම්බා පාලිතයෙනි, නුඹ තවත් පමා වන්නේ කුමට?

චක්ඛුනි භිජ්ජන්තු මමායිතානි, සෝතානි භිජ්ජන්තු තථේව කායෝ,
සබ්බම්පිදං භිජ්ජතු දේහනිස්සිතං, කිං කාරණා පාලිත ත්වං පමජ්ජසී”ති.

මමත්වයෙන් අල්ලා ගත් මේ දෙනයන බිඳීයේවා.
ඒ අයුරින්ම මේ කය හා සවන් යුගද බිඳීයේවා.
මේ කය හා එක් වී ඇති සියලු දෙයම බිඳීයේවා.
එම්බා පාලිතයෙනි, නුඹ තවත් පමා වන්නේ කුමට?”

මහාපාල ස්වාමීන් වහන්සේ තම සිරුරත් සමඟ ඔය කතාබහ කොට නිමවා වාඩිවෙලාම ඇස් බෙහෙත් දැම්මා. පිඬුසිඟා වැඩියා. ස්වාමීන් වහන්සේගේ ඇස් රෝගය එන්න එන්නම වැඩි වුනා. වෙද මහත්තයා ඇවිදින් සුවදුක් විමසුවා.

“පින්වත් උපාසක, මේ ඇස් ලෙඬේ නම් අඩු වෙන එකක් නොවෙයි. දිගටම රිදෙනවා.”

“ස්වාමීනී, ඇස් බෙහෙත් දැම්මේ වාඩිවෙලා නොවෙයි නේද?” ස්වාමීන් වහන්සේ නිශ්ශබ්ද වුනා. වෙද මහත්මයා කලකිරුනා.

“ස්වාමීනී, ඔබවහන්සේ පරෙස්සම් වෙන්නේ නැත්නම්, මට කරන්න දෙයක් නෑ. අද පටන් අසවල් වෙද මහත්මයා බෙහෙත් කළා කියල ඔබවහන්සේ කියන්න නම් එපා. ඔබවහන්සේට බෙහෙත් කළා කියල මම කියන්නෙත් නෑ” කියලා වෙද මහත්මයා පිටත් වුනා. මහාපාල ස්වාමීන් වහන්සේ කුටියට ගිහින් වාඩිවෙලා කල්පනා කළා.

“වෙද මහත්මයත් මාව ප්‍රතික්ෂේප කළා. මං කොහොමත් මැරෙන කෙනෙක් නෙව. සතර සතිපට්ඨානයේ යෙදෙන්න මං තවදුරටත් ප‍්‍රමාද විය යුතු නෑ” කියලා දිගටම භාවනා කළා. වස්කාලය අවසන් වන ඒ රාති‍්‍රයේ මහාපාල ස්වාමීන් වහන්සේගේ ඇස් දෙක සදහටම අන්ධ වුනා. ඒ මොහොතේම සියලු කෙලෙසුන්ගෙන් සිත නිදහස් වුනා. උතුම් රහතන් වහන්සේ නමක් බවට පත්වුනා. උන්වහන්සේ එදා කුටියෙන් එළියට වැඩියේ නෑ. පිඬුසිඟා වඩින වෙලාව පැමිණුනා. අනෙක් ස්වාමීන් වහන්සේලා උන්වහන්සේටත් පිඬුසිඟා යෑමට කතා කළා.

“ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ඔබවහන්සේලා වඩින්න” කියල උන්වහන්සේ පිළිතුරු දුන්නා.

“ඇයි ස්වාමීනී, ඔබවහන්සේ නොවඩින සේක්ද?”

“පි‍්‍රය ආයුෂ්මතුනි, මගේ ඇස් අන්ධ වුනා.”

එතකොට ස්වාමීන් වහන්සේලා උන්වහන්සේගේ කඳුළින් වැසී ගිය ඒ දෑස් යුගල බලා මහා සංවේගයට පත්වුනා.

“ස්වාමීනී, ඔබවහන්සේ ඒ ගැන හිතන්න ඕන නෑ. අපි උපස්ථාන කරන්නම්” කියලා උන්වහන්සේට ඇප උපස්ථාන කරලා පිඬුසිඟා වැඩියා. ගම්වැසියන් උන්වහන්සේ ගැන තොරතුරු විමසුවා. උන්වහන්සේගේ දෑස් අන්ධ වීම ගැන කම්පා වුනා. උන්වහන්සේව බැහැ දකින්නට ඇවිදින් හඬා වැළපුනා.

“ස්වාමීනී, ඇස් නොපෙනුනාට කමක් නෑ. අපි ඔබවහන්සේට දිවිහිමියෙන් උපස්ථාන කරන්නම්” කියලා ඒ සැදැහැබර ගම්වැසියන් උන්වහන්සේට උපස්ථාන කළා. දෑස් අන්ධ වූ නිසාම උන්වහන්සේ ප්‍රසිද්ධ වුනේ ‘චක්ඛුපාල ස්වාමීන් වහන්සේ’ කියලයි.

චක්ඛුපාල රහතන් වහන්සේගේ වීරියවන්ත වූ උපදෙස් ලබා අනෙක් ස්වාමීන් වහන්සේලා සියලු දෙනාත් අරහත්වයට පත්වුනා. වස්කාලය අවසන් වුනාට පස්සේ ඒ ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේව බැහැදැකීමට අදහස් කළා. චක්ඛුපාල රහතන් වහන්සේ ඒ ගැන සතුටු වුනා.

“හොඳයි පි‍්‍රය ආයුෂ්මතුන් වහන්ස, ඒ අපගේ ශාස්තෘන් වහන්සේ වන භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව කිසිවෙකුත් උපදවා නොගත් ඒ නිවන් මඟ උපදවා ගත් සේක. කිසිවෙක් නොපැවසූ නිවන් මඟ පවසන සේක. ඒ නිවන් මෙඟහි ලෝ සතුන් යොදවන්නට අතිශයින්ම දක්ෂ වන සේක. දුටු දුටුවන්ගේ මන නුවන පහදවන සේක. පරම විසිතුරු වත් පිළිවෙත් ඇති සේක. නුවණ ලබා දෙන කථා බස් ඇති සේක. ලොවට උතුම් ඇසක් වන සේක. සාදු! සාදු! මගේ නාමයෙනුත් ඒ මාගේ ශාස්තෘන් වහන්සේට වන්දනා කරන්න. පි‍්‍රය ආයුෂ්මතුනි, මා දැන් දුර්වලයි නෙව. අනික ඔය වනාන්තර මැද්දේ යන දුරගමන්වලදී අමනුෂ්‍ය කරදර පවා ඇති වෙනවා. ඒ ගමනට මාත් ආවොත් සියලු දෙනාම කරදරයේ වැටෙනවා. පිණ්ඩපාතේ කරගන්න එකත් වෙලාවට කරගන්නට ලැබෙන එකක් නෑ. ඒ නිසා ඔබවහන්සේලා ඉස්සෙල්ලාම වඩින්න.”

“අනේ ස්වාමීනී, එහෙම කියන්න එපා. අපි හැමෝම එකට ආවේ. අපි යා යුත්තෙත් ඔබවහන්සේත් සමඟමයි.”

“නෑ… පි‍්‍රය ආයුෂ්මතුනි, එහෙම සිතන්න ඕන නෑ. එතකොට මටත් අපහසුයි. මගේ සහෝදරයා ඔබ වහන්සේලා දුටු විට කොහොමත් මං ගැන විමසාවි. එතකොට මගේ ඇස් අන්ධ වූ බව ඔහුට කියන්න. එතකොට ඔහු මෙහාට කවුරු හරි එවාවි.”

ඉතින් ඒ ස්වාමීන් වහන්සේලා චක්ඛුපාල ස්වාමීන් වහන්සේට ආදරයෙන් වන්දනා කරල පිටත් වීමට සූදානම් වුනා. ගම්වැසියන් උන්වහන්සේලාගේ පිටත් වීම ගැන මහත් ශෝකයට පත්වුනා. උන්වහන්සේලා පසුපසින් මඟට පැමිනුනා. උන්වහන්සේලා නොපෙනී යනතුරු හඬ හඬා බලා සිටියා.

ඒ ස්වාමීන් වහන්සේලා සැවැත් නුවර ජේතවනාරාමයට වැඩම කළා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කළා. පසුවදා ඒ ස්වාමීන් වහන්සේලා චක්ඛුපාල ස්වාමීන් වහන්සේගේ සොහොයුරාගේ නිවස තිබෙන වීදියෙහි පිඬුසිඟා වැඩියා. චූලපාලයන් මේ ස්වාමීන් වහන්සේලාව හඳුනාගත්තා. තමන්ගේ සහෝදර ස්වාමීන් වහන්සේ ගැන විමසුවා. චක්ඛුපාල ස්වාමීන් වහන්සේගේ දෑස් අන්ධ වීම ගැන අසා හඬා වැළපුනා. අන්තිමේදී තමන්ගේ ඤාති සහෝදරයෙක් ඒ ගමට පිටත් කරන්නට තීරණය කළා. ඉතා දිගු ගමනක් යා යුතුව තිබෙනවා. මේ සඳහා හොඳම දෙය නම් ගිහියෙක් වශයෙන් නොව පැවිද්දෙක් වශයෙන් යන එකයි. ඉතින් මේ ගමන වෙනුවෙන් ඒ තරුණයා ස්වාමීන් වහන්සේලා ළඟ අඩමසක් පමණ නැවතුනා. පැවිදි වුනා. සිවුරු පොරවන ආකාරය ඉගෙන ගත්තා. වත් පිළිවෙත් ඉගෙන ගත්තා. ඊටපස්සේ මේ තරුණ භික්ෂුව චක්ඛුපාල ස්වාමීන් වහන්සේව සොයාගෙන පිටත් වුනා. චක්ඛුපාල ස්වාමීන් වහන්සේව බැහැදැක සති කීපයක් ඇප උපස්ථාන කළා.

“ස්වාමීනී, අපේ ගෙවල්වල ඔබවහන්සේ වඩිනතුරු මඟ බලාගෙන ඉන්නවා. ඒ නිසා අපි ඉක්මනින් වඩිමු.”

“හොඳයි, ආයුෂ්මතුනි” කියලා චක්ඛුපාල ස්වාමීන් වහන්සේ එයට එකඟ වුනා. උන්වහන්සේගේ හැරමිටියේ එක කොනක් මේ අළුත් භික්ෂුව අතට ගත්තා. අනෙක් කොන තමන් අල්ලා ගත්තා. චක්ඛුපාල ස්වාමීන් වහන්සේත් ගම අත්හැර වඩින බව දුටු ගම්වැසියන් මහත් ශෝකයෙන්සේ හඬා වැළපුනා. පසුගමන් ගියා. උන්වහන්සේ නොපෙනී යනතුරු දෑත් වැඳගෙන හඬ හඬා බලා සිටියා.

වනාන්තර මැදින් පාළු ගම්මාන මැදින් යන මේ ගමනේදී සතිපට්ඨාන භාවනාවෙහි නොයෙදෙන නවක භික්ෂුවගේ සිත නොයෙක් අරමුණුවල අතරමං වුනා. ඒ වනයේදී මිහිරි හඬින් ගී ගයමින් දර කඩන ස්ති‍්‍රයකගේ ස්වරයට ඒ භික්ෂුව වසඟ වුනා.

“ස්වාමීනී, මට ශරීර කෘත්‍ය කරන්නට අවශ්‍යයි. ඒ නිසා ස්වල්ප වේලාවක් ඔතැන වැඩසිටිය මැනැව” කියලා චක්ඛුපාල තෙරුන් නවතා අර ගී ගයමින් සිටින ස්ති‍්‍රය සිටින ප්‍රදේශයට ගමන් කළා. චක්ඛුපාල ස්වාමීන් වහන්සේ ඒ පියවර හඬ අසාගෙන සිටියා. මේ තරුණ භික්ෂුව ගමන් කරන්නේ සිල් බිඳෙන ගමනක බව උන්වහන්සේට තේරුනා. සීලවිපත්තියට පත් මේ තරුණ භික්ෂුව නැවත ඇවිදින් හැරමිටියේ කොන අල්ලා ගනිද්දී,

“එපා…! මේ හැරමිටියේ කොන අල්ලන්න එපා! ඔබ පාපී දෙයකට හසුවුනා නේද?” කියලා චක්ඛුපාල ස්වාමීන් වහන්සේ ඇසුවා. නැවත නැවතත් ඇසුවා. නවක භික්ෂුව කිසිවක් කිව්වේ නෑ. නිශ්ශබ්දව සිටියා. චක්ඛුපාල ස්වාමීන් වහන්සේ තම හැරමිටියේ කොන මේ දුසිල් භික්ෂුව විසින් අල්ලා ගැනීම ගැන මුළුමණින්ම විරුද්ධ වුනා.

“ආයුෂ්මතුනි, එපා… ඔබ සමඟ මගේ කිසිදු ගමනක් නෑ. පාපියා පාපියාමයි. ගිහි වේවා, පැවිදි වේවා, මට එකෙන් වැඩක් නෑ.”

“අනේ ස්වාමීනී, මං ශ‍්‍රද්ධාවෙන් පැවිදි වුන කෙනෙක් නොවෙයි. මේ ගමනේ කරදරවලින් බේරෙන්නයි මං පැවිදි වුනේ. දැන් මම සාමණේර කෙනෙක් නොවෙයි. ගිහි කෙනෙක්.”

“ආයුෂ්මත, ඔබට ශ‍්‍රමණයෙක් වෙලත් සිල් පුරන්න බැරි වුනා. ගිහි කෙනක් වෙලා ඔබට කොහොමත් සිල් පුරන්න බෑ. ඒ නිසා ඔබ වගේ කෙනෙක් මේ හැරමිටියේ කොන අල්ලා ගෙන කළ යුතු දෙයක් නෑ.”

“අනේ ස්වාමීනී, එහෙම කියන්න එපා! මේ ගමන් මාර්ගය කරදර සහිතයි. අමනුෂ්‍ය උවදුරුවලින් යුක්තයි. අනෙක ඔබවහන්සේ අන්ධයි. පිහිටක් නෑ. මෙහෙ කොහේ නවතින්නද?”

“කමක් නෑ ආයුෂ්මත, ඒ ගැන ඔබ සිතන්න ඕන නෑ. මං මෙතැනම වැටිලා මිය ඇදුනත් ඔබ සමඟ මගේ ගමනක් නෑ” කියලා චක්ඛුපාල ස්වාමීන් වහන්සේ මේ ගාථාව පැවසුවා.

හන්දාහං හතචක්ඛුස්මි – කන්තාරද්ධානමාගතෝ
සෙය්‍යමානෝ න ගච්ඡාමි – නත්‍ථි බාලේ සහායතා.

දෑස් මිය ගිය කෙනෙක් වෙමි මම
දුරු කතර මැද තනි වුනෙමි මම
මෙහිම ඇදවැටුනත් නොයන්නෙමි
පවිටු ඇසුරක් ඕන නෑ මට

හන්දාහං හතචක්ඛුස්මි – කන්තාරද්ධානමාගතෝ
මරිස්සාමි නෝ ගමිස්සාමි, නත්ථි බාලේ සහායතා’ති

දෑස් මිය ගිය කෙනෙක් වෙමි මම
දුරු කතර මැද තනි වුනෙමි මම
මෙහිම මිය ඇදුනත් නොයන්නෙමි
පවිටු ඇසුරක් ඕන නෑ මට

අර පවිටු පුද්ගලයා මහත් කම්පාවට පත්වුනා.

“අයියෝ! මං අතින් බරපතල දෙයක් සිදුවුනා. නොගැලපෙන දෙයක් සිදුවුනා” කියමින් දෑත් බැඳගෙන අඬමින් පිටත් වෙලා ගියා. චක්ඛුපාල රහතන් වහන්සේගේ සිල් ගුණ තේජසින් සක් දෙවිඳුන්ගේ පාණ්ඩුකම්බල ශෛලාසනය උණු වී ගියා. දෑස් නොපෙනී සිටියදීත්, මග නොදැන සිටියදීත්, පවිටු පුද්ගලයෙකුගේ සහාය අත්හළ උදාර ජීවිතයකින් යුතු චක්ඛුපාල තෙරුන්ව දුටු සක්දෙවිඳුන් උන්වහන්සේට උදව් කිරීම පිණිස උපාසකයකුගේ වේශයෙන් ඉදිරිපත් වුනා. තෙරුන් වහන්සේ ළඟට පියවර ශබ්ද කරමින් පැමිණෙද්දී ”කවුද ඔය?” කියලා උන්වහන්සේ ඇසුවා.

“ස්වාමීනී, මම ඈත ගමනක් යන කෙනෙක්.”

“පින්වත් උපාසකය, ඔබ කොහෙද යන්නේ?”

“ස්වාමීනී, මං සැවැත් නුවර යනවා. අපේ ස්වාමීන් වහන්සේ කොහේද වඩින්නේ?”

“පින්වත් උපාසක, මං යන්නෙත් සැවැත් නුවර තමයි.”

“එහෙම නම් ස්වාමීනී, මාත් සමඟ යමු.”

“නෑ පින්වත් උපාසක, මං දුර්වලයි. මා සමඟ ගියොත් ඔබත් කරදරේ වැටේවි.”

“අනේ ස්වාමීනී, එහෙම වෙන්නෙ නෑ. මට ඔබ වහන්සේට ඇප උපස්ථාන කිරීමෙන් පින් කරගන්නත් අවස්ථාව ලැබෙනවා.”

මේ කතාබහ තුළින් මේ කෙනා සත්පුරුෂයෙක් බව උන්වහන්සේට වැටහුනා. තම හැරමිටියේ අනෙක් කොන අලුත් උපාසක මහතාට දුන්නා. වැඩි දුරක් යන්නට කලින් නගරයක ඇති ඝෝෂාව ඇසෙන්නට පටන් ගත්තා.

“ඈ…! පින්වත් උපාසක, මේ ඝෝෂාවක් ඇසෙන්නේ කොහේද? මේ නගරය කුමක්ද?”

“ස්වාමීනී, අපි මේ සැවැත් නුවරට ඇවිල්ලයි ඉන්නේ.”

චක්ඛුපාල ස්වාමීන් වහන්සේ කල්පනා කළා.

“මේ නම් වෙන්න බැරි දෙයක්. මෙතරම් ඉක්මනින් ආවේ කොහොමද? මෙයා මනුෂයෙක් වෙන්න බෑ. දෙවියෙක්ම විය යුතුයි.”
ඉතින් චක්ඛුපාල ස්වාමීන් වහන්සේ වැඩම කළ පුවත අසා සොහොයුරා උන්වහන්සේ දැක වැඳ පුදා හඬා වැළපෙන්නට පටන්ගත්තා. උන්වහන්සේට උපස්ථාන පිණිස උපස්ථායකයන් යෙදෙව්වා.

චක්ඛුපාල ස්වාමීන් වහන්සේ වැඩසිටිද්දී දිනක් මහා වැස්සක් ඇදහැලුනා. හිමිදිරි යාමයෙහි අවදි වූ චක්ඛුපාල ස්වාමීන් වහන්සේ සක්මන් කරද්දී කුඩා මැඬියන් උන්වහන්සේගේ පයට පෑගී මිය ගියා. මෙය දුටු අනෙක් ස්වාමීන් වහන්සේලා මේ ගැන දොස් කියන්නට පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේට සැළ කළා.

“පින්වත් මහණෙනි, ක්ෂීණාශ‍්‍රවයන් වහන්සේලාට මරණ චේතනාව ඇති වෙන්නෙ නෑ” කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළා. එතකොට නිවන් අවබෝධ කිරීමට වසනාව තිබූ චක්ඛුපාල ස්වාමීන් වහන්සේගේ දෑස් අන්ධ වූයේ මක් නිසාදැයි ස්වාමීන් වහන්සේලා විමසා සිටියා. කාලයේ වැලිතලාවෙන් වැසී ගිය චක්ඛුපාල ස්වාමීන් වහන්සේගේ අතීත ජීවිත කතාව බුදුරජාණන් වහන්සේ මෙසේ එළිදක්වා වදාළා.

උපුටා ගැනීම mahamevnawa.lk/dhp-01_01/

වෛද්‍ය සංගමයට කොස් ඇට බාන වෛද්‍ය ශිෂ්‍ය බළල්ලු

 
[[[රටේ නීති කඩපු වංචා දූෂණ කල
එකම කට්ටිය කැම්පස් ළමයි වෙන්නති ]]]

නැහැ..
ඒත් 88-89න් පස්සෙ
කල්ලියක් වශයෙන්, ප්‍රසිද්ධ ස්ථානයක
උසාවියේ පැහැදිළි නියෝගයකට විරුද්ධව
ප්‍රසිද්ධියේ නීති කඩන්න තරම් මෝඩ වුණ කල්ලිය
මේ වෛද්‍ය සිසුන් පිරිසයි.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හා වෛද්‍ය පිඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව විසින් සංවිධානය කරන ලද සයිටම් ආයතනය අහෝසි කරන ලෙසට හා අධ්‍යාපන ගැටලු විසඳන ලෙස ඉල්ලා අද (17) කොළඹ කොටුව ඉදිරිපිට පැවැත්විමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් බණ්ඩාර රණසිංහ මහතා නියෝගයක් නිකුත් කළේය.

පහළොස් වතාවක් කඳුලු ගෑස් ගහලාත්
උසාවියට ගරු කරන නීති ගරුක ජනතාව විසින්
පොලිස් ප්‍රහාරය අනුමත කරන තැනට වර්ධනය වුණේ
සිසුන් උසාවි නියෝගය කඩ කළ නිසයි.

මැයි 17  උද්ඝොෂණය සාමකාමීයි කියන්න බෑ.
ඔවුන් කල්ලි ගැසී බලහත්කාරයෙන් ඇතුල්වුණේ
නීතියෙන් ඔවුන්ට තහනම් කලාපයකටයි.
ඒ කල්ලිය නීති විරෝධී අයුතු ජනරාශියක්.
පොලීසිය ඉතාම නිවැරදිව ක්‍රියා කළා.
ජනතාව ඔවුන්ට ගරු කරනවා.

රජයේ වෛද්‍ය සංගමයෙ වෛද්‍ය පාදෙණියත්
වෛද්‍ය සභා සභාපති කාලෝ ෆොන්සේකාත්
මාධ්‍ය ඉදිරියේ නීතියට එරෙහිව මොන වහසි බස් දෙඩුවත්
ඔවුන් මේ වගේ පාරට බැහැලා නීති කඩන්නෙ නෑ.
සිසුන් බිලි දීල ඔවුන් තමන්ගෙ තැන රැක ගන්නවා.
ඔවුන්ට කොස් ඇට බාල දීලා
තමන්ගෙ අත පුළුස්සාගන්න සූදානම්
මෝඩ බළල්ලු රැළක් ඔවුන්ට ඉන්නවා.

සයිටම් කැරට් අලේ දිහා බලාගෙන
ගොමා කරත්තෙ බර තමන් අරගෙන
ඕන මඩ ගොහොරුවකට බහින්න
වෛද්‍ය සිසුන් සූදානම්.

බල්ලට කිව්ව කරන්න කිව්වාම
බලු නකුටට කිව්වා වගේ
දැන් අන්තරේ පාරට බස්සලා
ඔවුන් එක්ක බැස්ස සහෝදර වෛද්‍ය සිසුන්
ඉල්ලගෙන කඳුලු ගෑස් කන ආකාරය
ගෙදර ආලින්දයෙ ටීවී එකෙන් බලාගෙන
ගෙදර අය එක්ක හිනාවෙන "නුවණැති" වෛද්‍ය සිසුන්
අනාගතයෙ පාදෙණියලා නවීන්ලා වෙලා
අනෙක් වෛද්‍යවරුන් ඉත්තො කරගෙන
අද වගේම ජාම බේර ගනීවි.
අනාගතය ඔවුන්ගෙයි.

GMOA වෙනුවෙන් නීති කඩලා, කඳුලු ගෑස් කාලා
වතුර නාලා ගිහින් සිරබත් කන්න සූදානම් වුණ
ඉහළින්ම උසස් පෙළ සමත් මන්ද බුද්ධික සිසුන් රැළක්
සැදී පැහැදී බලා ඉන්නවා නම්
පාදෙණියලට තියෙන්නෙ ඒ පිරිස බිල්ලට දීල
සී මැදුරු කවුලුවෙන් බලා ඉන්නයි.

පාදෙණිය වරින් වර කියන විදියට
88-89න් පස්සෙ තවත් ත්‍රිමාවිතානලා මගින්
තවත් දහස් ගණනක් තරුණ ජීවිත
බිල්ලට දෙන ව්‍යාපෘතියක ආරම්භය
සයිටම් විරෝධ වෙන්න ඉඩ තිබුණා.
ඒත් දැන් දවසින් දවසම
සයිටම් විරෝධයෙ හුළං බහින්නෙ
තොරතුරු තාක්ෂණයෙ දියුණුව නිසා
ලොක්කන්ගෙ උප්පරවැට්ටි වලින් කොටසක් හෝ
ජනතාව දකින නිසයි.

රන්ජන්ගෙ හෙළිදරව්ව නිසා
වර්ජනයෙ නිරුවත හෙළි වුණා.

සඳලුතලෙන් බැහැලා
හවස් වරුවෙ පුද්ගලික රෝහල්වලට ගියා කියල
රන්ජන්ගෙ චෝදනාවලට ලක් වෙන්නෙත් නැතුව
සිසුන්ගෙ රිදුණු සිත් සනසන්න රැවටිල්ලක් විදියට
22 දා  වරුවක් 5% වර්ජනය කරල සිසුන් නළවලා
ඒ වර්ජනයම කොටුවෙදි උසාවියට අපහාස කරපු
චෝදනාවෙන් ගැලවෙන්න වක්‍ර අවියක් කරගන්න
පාදෙණියට පුලුවන්.

මේ සියල්ලෙහි අවසාන ප්‍රතිඵලය
වෛද්‍ය සිසුන්ගේ සයිටම් විරෝධයෙ හුළං බැහැල
"අර අන්තරේ කොල්ලන්ගෙ උද්ඝෝෂණයක් නෙ" කියල
තමන්ගෙ වැඩක් බලාගන්න තැනට
රටේ ජනතාව පත්වීමයි.



20170516

සයිටම් විරෝධයට අසාධ්‍යයි. ප්‍රතිකාර වලින් පලක් නෑ.


සයිටම් විරෝධී අඛණ්ඩ වර්ජනය කල් තබන ලදී.
2017 05 15

සීයට පහේ වෛද්‍ය සංගම් වර්ජන
වෙනත් ක්ෂේත්‍රවල අය සමග කරන්න බැහැ.
වෙන ක්ෂේත්‍රවල අයට පුලුවනි නම්
වෛද්‍ය සිසුන්ටත් සීයට පහේ වර්ජන පුලුවන් වෙයි.
වෛද්‍ය සිසුන්
වසර පුරාම සීයට සීයෙ වර්ජනයක් කරද්දි
ඔවුන් පාවිච්චි කරන වෛද්‍යවරුන්ගේ සංගමය
රජයේ රෝහලෙනුත් පෞද්ගලික රෝහලෙනුත්
මුළු මාසෙම ආදායම නොඅඩුව ලබමින්
ඉඳහිට දවසක සීයට පහක වර්ජනයකින්
රටටම බොරු මවාපෑමක් කරනවා.

සීයට පහේ කපටිකම් වලට
බුද්ධිමත් වෛද්‍ය සිසුන් රැවටුණාට
වෙනත් ක්ෂේත්‍රවල
මේරූ වැඩිහිටියන් මුලා නොවෙන්නෙ
එදිනෙදා ප්‍රායෝගිකව ලද ප්‍රඥාව නිසයි.

වර්ජන කරනවා කියල
GMOA වෛද්‍යවරු කරන්නෙ
සීයට පහේ මුලාවක් බව ඔවුන් දන්නවා.
වර්ජනය දවසට ප්‍රතිකාරවලට එන රෝගීන්
දැනුවත් වෙලා ගෙවල්වල නැවතුණොත්
ඒ සියයට පහේ වර්ජනයත් පුස්සක් වෙනවා.

වර්ජනය දවසෙත් වැඩ කරමින්
වෛද්‍ය සංගමයෙ සභාපතිත් මග හරින
සීයට පහේ පුස් වෙඩිල්ලක් පත්තු කරන්න
වෙනත් ක්ෂේත්‍ර වෙඩිබෙහෙත් නාස්ති කරන්නෙ නෑ.

GMOA  වෛද්‍යවරුන් සහ වෛද්‍ය සිසුන්ටත්
ඔවුන්ගේ සමීපම පවුලේ සාමාජිකයන්ටත් හැර
වෙනත් කිසිවෙකුට සයිටම් විරෝධය අදාළ නෑ.

වෙනත් ක්ෂේත්‍රවල අය වර්ජනය කරන්නෙ
සයිටම් විරෝධයක් නිසා නොවෙයි.
ඔවුන් වර්ජනය කරන්නෙ ඔවුන්ගෙ
පෞද්ගලික ඉල්ලීම් දිනාගන්නයි.
අහක යන සයිටම් විරෝධී වෙස් මුහුණක් නිසා
ඔවුන්ගෙ සැබෑ ඉල්ලීම් වල අගය පළුදු කරගන්නෙ ඇයි
කියා ඔවුන් සිතනවා ඇති.

GMOA  වෛද්‍යවරුන් විසින් පාලනය කරන
වෛද්‍ය සිසුන් ඉගෙනීම අතැරියාට
එදා වේල සරි කරගන්නා
සාමාන්‍ය රට වැසියෙකුට තමන්ගෙ රැකියාව
අදාළ නැති සයිටම් විරෝධයකට
අවදානමේ හෙළන්නෙ නෑ.

අද වෛද්‍යවරු ළඟට යන හැම කෙනෙකුටම
යම් ජීවිත අවදානමක් තියනවා.
ප්‍රතිකාර ගත්තට පස්සෙ එන අතුරු ආබාධ
නිතර සිදු වෙන රෝගී මරණ වලදි
කාට වැරදුණාද කොතන වැරදුණාද කියා
සොයා බැලීමක් හෙළි කිරීමක් නැති නිසා
සමස්ත වෛද්‍ය ක්‍රමයත් වෛද්‍යවරුත් අවදානමක්
කියන සැකයට බඳුන් වෙනවා.
මේ සැකයෙන් නිබඳ පෙළෙන
සාමාන්‍ය ජනතාවට
අනාගත සයිටම් වෛද්‍යවරු කියන
අවිනිශ්චිත විශේෂණය  දැනෙන්නෙ නෑ.
ඔවුන්ගේ වර්තමානයෙත් බහුලව ඉන්නෙ
අනාගත සයිටම් වෛද්‍යවරුන් පිරිසක්.

සුදර්ශන බාලගේ වැනි වෛද්‍යවරු
ජනතාවට අමතක වෙන්නෙ නෑ.
වෛද්‍යවරයෙක් අතින් වරදක් වුණාම
ඔහු රැකගන්න වලිකන වෛද්‍යවරුත්
ජනතාවට මගහැරෙන්නෙ නෑ.

ජනතාව උසස්පෙළ සමත් නැතිව ඇති.
ඒත් ඔවුන් අඳ ගොළු බිහිරන් නොවෙයි.

වෛද්‍යවරුන්ගෙ වැරදීම් වලට අමතරව
ජනතාවට වෙනසක් දැනෙන කාරුණික සේවයක්
සමස්ත වෛද්‍යවරු පිරිසෙන් වෙන්නෙ නෑ.
අතරින් පතර අද ඉන්න යහපත් වෛද්‍යවරුන්ට
දෙවි වරු වන් සුවිශේෂී පුද්ගලයන් විදියට
ගරු සම්මාන පවත්වන පොදු ජනතාව
GMOA වර්ගයේ වෛද්‍යවරුන් දකින්නෙ
තමන්ගෙ වාසිය සඳහා ඕනම දෙයක් කරන
අකාරුණික ආත්මාර්ථකාමීන් ලෙසයි.

රජයේ වෛද්‍යවරු අතින් වරදක් වුණාම
"ඔය ඉතින් සයිටම් දොස්තරලයැ?" කියල
දැන් ඔවුන් අනිවාර්යයෙන් අහනවා.
දෝෂ දර්ශනයට ලක්වෙන රජයේ වෛද්‍යවරුත්
නිල නොලත් සයිටම් වෛද්‍යවරු පිරිසක් වගෙයි.

පෞද්ගලික රෝහල්වල සේවය කරමින්
උණ හෙම්බිරිස්සාවටත් රජයේ රෝහල් වර්ජනය කරන
දැඩි මතධාරී වෛද්‍ය සංගම් සාමාජිකයන් කිසිවෙක්
තමන්ගෙ සුව සෙත වෙනුවෙන් වර්ජනය නොකරන බව
සාමාන්‍ය පොදු ජනතාවට රහසක් නොවෙයි.
සයිටම් විරෝධී පුස් වෙඩිල්ලට පක්ෂව
වර්ජනයට පොළඹවාගන්න වෙන්නෙත්
මේ සාමාන්‍ය ජනතාවමයි.

වෛද්‍යවරුන්ගේ වැරදීම් නිසා ඇති වෙන
අනියත අවිනිශ්චිත බිය හේතුකොට ගෙන
ප්‍රතිකාර ගන්න එන රෝගීන් ඔවුන්ට දක්වන
පදනම් විරහිත නිවට නියාලු ස්වභාවය
වෛද්‍යවරුන්ගෙ වෘත්තියට ඇති
සාධාරණ භය සම්ප්‍රයුක්ත බවක් කියා
මාන්නාධික වෛද්‍යවරුන් හිතනවා ඇති.
ප්‍රතිකාර කරද්දි රෝගීන් දක්වන කීකරු බව
වෛද්‍යවරු කියන ඕනම දේකදි දක්වයි
කියාත් ඔවුන් වරදවා සිතනවා ඇති.
රජයේ වෛද්‍ය නිලධාරී සංගමය
සයිටම් විරෝධයට සහය ඉල්ලන්නෙ
එවැනි හැඟීමකින් බව
ඔවුන්ගෙ හැසිරීමෙන් පෙනෙනවා.

නිරෝගී ජනතාව වෛද්‍යවරු දකින්නෙ
ඔවුන් රෝගීන්ව සිටියදී දුටු ආකාරයට නොවෙයි.
ඔවුන්ට නිසි පරිදි සලකා නැති නම්
ඒ ප්‍රතිරූපයට ඔවුන් නැමෙන්නෙ නෑ.
අද බොහෝ දෙනෙක් තුළ ඇති ප්‍රතිරූපය
විශ්වාසය දනවන්නක් නොවෙයි.

වෛද්‍යවරුන් කෙරෙහි ඇති ආකල්පය මත
ජනතාව උද්ඝෝෂණ මග හරින විට
සයිටම් විරෝධෙ වෛද්‍යවරු මුක්කුවක්
දේශපාලන ක්ෂේත්‍රයෙන් සෙව්වා.
මේ පියවර නිසා එතෙක් ඔවුන් සමග සිටි
ජවිපෙ, අන්තරේ විරෝධී පිරිස නැති වුණා.
ඔවුන්ට ජවිපෙට අන්තරේට වදින ලේබල් වැදුණා.

GMOA  සමාජිකයන් දෙකට බෙදෙන නිසා
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිළිබඳව
පක්ෂත් නැතිව විපක්ෂත් නැතිව සිටි
රජයේ වෛද්‍ය නිලධාරී සංගමය
අද ජවිපෙ අන්තරේ හවුල් ව්‍යාපාරයක්.

දැන් පොදු මතයට අනුව වෛද්‍යවරු සැලකෙන්නේ
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධීන් ලෙසයි.
ඇත්ත වශයෙන්ම ඔවුන්ගේ සැඟවුණ ස්ථාවරය
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධය බව
ඔවුන් වෙළඳපොල රකින විදිය අනුව
මුලු රටම දන්නවා.

අද වෛද්‍යවරුන් සමග එළිපිට ඉන්නෙ
ජවිපෙ සහ අන්තරේ පමණයි
පැහැදිලි ප්‍රතිපත්ති නැති
හිස හැරුණු අතේ යන ජවිපෙ නායකත්වයට
රිසි තැනකට කියන වෙලාවට කොන්දේසි විරහිතව
කෙවිටි කරමින් දක්කාගෙන යා හැකිව තිබෙන
සුවච කීකරු ජවිපෙ සහ අන්තරේ ක්‍රියාකාරීන් පිරිසට
වෛද්‍යවරු සහ වෛද්‍ය සිසුන්ගේ එකතු වීම
නවපණක්, වැදගත් බවක් ලබා දුන්නා.

අද අන්තරේ ළහිරු වෛද්‍ය සිසුන් දක්කන්නෙක්.
 ලාල්කාන්ත ඇතුළු ජවිපෙ නායකයන්
වෛද්‍යවරුන්ගේ විශ්වාසය දිනාගත් දේශපාලකයන්.
ජවිපෙ වැඩි වෙහෙසක් නැතුව
ඒ තැන ලබා ගන්නවා.

ජවිපෙ මන්ත්‍රීන් සහ අන්තරේ සිසුන් සමග
කරට අත දාගෙන පාරට බැහැලා වර්ජන කරලා
ඔවුන්ගේ නිසි සහායක් නොලැබුණ නිසා
ටයි දමාගෙන කරන මාධ්‍ය සාකච්ඡා වල විතරක්
"අපි ඔවුන් නිසි තැන තියාගෙන ඉන්නවා" කියමින්
හිස් වහසි බස් කීමෙන් දැන් පලක් නෑ.
ජවිපෙ කරන්නෙත් සියයට පහයි.

වචන වලට වඩා ක්‍රියාව පැහැදිලියි.

මහින්දත් සයිටම් විරෝධයට හැරිලා
ඔහුගෙ පරණ ප්‍රවේණිය හෙළි වුණාම
ඒ විරෝධය අකුළා ගත්තා.

ජනතාවට ඉහළින් වෙසෙන
උද්ධච්ඡ රජයේ වෛද්‍ය නිලධාරී සංගමයට
දෙබිඩි පිළිවෙත්වලින් වෙන හානි නොවැටහුණාට
මහින්ද වගේ පරිණත දේශපාලනඥයන්ට
ජන විඥාණය පිළිබඳ ප්‍රබල ඉවක් තියනවා.
කොතරම් වාසි ලැබුණත් අද මහින්දට
සයිටම් විරෝධී හඬ නගන්න බෑ.
ඔහුගේ අතීතය විසින්ම ඔහු ගොළු කරලා.

රජයේ වෛද්‍ය නිලධාරී සංගමය
රජයට පහර දීමේ මූලික අරමුණ
මහින්දට සහාය දීම වුණත්
මහින්ද ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයටත්
සයිටම් විරෝධයට එළි පිට එකතු වෙන්න බෑ.
ඔවුන්ගේ සහාය සීමා වුණේ
නුගේගොඩ රැස්වීමට විතරයි.


ඒකාබද්ධ විපක්ෂයේ නොහැකියාවට
ප්‍රධානම හේතුව
සයිටම් ළදරුවා පෝෂණය කොට බිහි කරන්නට
වින්නඹුකම කළේ මහින්ද වීමයි.

අදාළ ඇමති වරු අරලිය ගහ මැදුරට ගෙන්වා
"සයිටම් වෛද්‍යවරුන්ට ලියා පදිංචිය දෙන්නට
ඔවුන් ඉදිරිපිටම කාලෝ ෆොන්සේකාට නියෝග කරමින්
නූපන් සයිටම් දරුවාට කේන්දරය හැදුවේත්
මූල‍ය ශක්තිය ලබා දුන්නේත්
කු. පා. ම. මහින්දයි.

වෛද්‍ය ප්‍රතිකාර ඉහළ මිලට විකිණීම,
රජයේ රෝහල්වල සේවය පැහැර හැරීම,
දරුවා පාසැලට දමා ගැනීමටත්
සිය වර්ජන අයිතිය භාවිතා කිරීම ආදියෙන්
රෝගීන්ගේ විශ්වාසය බිඳගැනීම නිසා
තමන් සතුව තිබුණ සිවිල් බලය පිරිහී ගිය
රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ වෛද්‍යවරුන්ට
ජනතා සහයෝගය ලැබෙන්නේ නෑ.

ඉහත දැක්වූ සියලුම කරුණු අභිබවා
ඔවුන් අසාර්ථකත්වයට පත්වෙන ප්‍රධානම සාධකය
වෛද්‍යවරු සයිටම් විරෝධීව සිටින තාක්
ඔවුන්ට ජයගත නොහැකියි.

වෛද්‍ය අධ්‍යාපනය ලබන සිසුන් පිරිසකට
මග අවුරන පාපී චේතනාවෙන් මිදෙන්න ඔවුන්ට බැහැ.
එවැනි අපිරිසිදු චේතනාවක් පෙරදැරිව
රජයේ වෛද්‍ය නිලධාරී සංගමය අතගහන
හැම දෙයක්ම අවුල් වී අසාර්ථක වීම
පුදුමයක් නොවෙයි.

වර්ජනය මගින් අධ්‍යාපනය අවුල් කරගෙන
වෛද්‍ය සිසුන් ඔවුන්ගේ මට්ටමින් ඒ පාප කර්මය
දිට්ඨ ධම්ම වේදනීය වශයෙන් ගෙවනවා.
මේ අපිරිසිදු කුහක අරමුණ නිසා
වෛද්‍යවරුන් පිළිබඳවත් ගෞරවය නැති වී
ඔවුන් සමාජයේ කොන් වූ පිරිසක් බවට පත් වෙනවා.

අල්ලාගෙන සිටීමටත් අත හැරීමටත් නොහැකි
සයිටම් විරෝධී  කොටි වලිගය
රජයේ වෛද්‍ය නිලධාරී සංගමය
තව කොතෙක් කල් අල්ලාගෙන ඉන්නද?


20170515

අංගුලිමාලගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය -අදත් දාමරිකයන් සිල්වතුන් කරයි.


සිරකරුවන් දහසකට අධික පිරිසක් සඳහා
1994 අප්‍රේල් මස 4දා සිට දස දිනක් පුරා
ඉන්දියාවේ නවදිල්ලියේ තිහාර් සිපිරිගෙයිහිදී
එස්.එන්.ගොයෙන්කා තුමා සහ ඔහුගේ සහායක ගුරුවරුන්
පවත්වන ලද විපස්සනා පාඨමාලාව පිළිබඳ
වාර්තා චිත්‍රපටයකි.
වසර දෙදහස් පන්සියයකට පෙර
අංගුලිමාලගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය
විපස්සනා
අදත් එදා මෙන්ම
දාමරිකයන් සිල්වතුන් කරයි.


සිංහල උප සිරැසි සහිතයි.




With English subtitles.


------------------------------------------------------------------

 විපස්සනා භාවනාව

සයාගි යූ බා කින් සම්ප්‍රදායට අනුව
එස්. එන්. ගොයෙන්කාතුමා උගන්වන
විපස්සනා භාවනා ක්‍රමය.
 විපස්සනා යනු ස්වයං නිරීක්ෂණය මගින්
ස්වයං-පරිණාමණයකට පත්වීමේ මගයි.
සිරුරෙහි ජීවය සකස් කරන කායික වේදනා වලට යොමු කරන
සමාහිත සිහිය මගින් ඍජුවම අත්විඳිය හැකි වන,
කය හා සිත අතර ඇති ගැඹුරු සම්බන්ධතාවයට
මෙම ක්‍රමයෙන් අවධානය යොමු කෙරෙයි.

සිත සහ කයෙහි මූලය සොයායන
නිරීක්ෂණමූලික වූත් ස්වයං ගවේශක වූත්
සංචාරයෙහි ප්‍රතිඵලයක් ලෙස
සිතෙහි අපිරිසිදුතාවයන් දිය වී යන අතර
එහි ප්‍රතිඵලයක් ලෙස
මෙත් කරුණා ගුණයෙන් පිරුණු
සමබර මනසක් හිමිවෙයි.

කෙනෙකුගේ සිතුවිලි, හැඟීම්, තීරණ, සහ වේදනා
ක්‍රියාත්මක කෙරෙන විද්‍යාත්මක නීති පැහැදිලි වෙයි.
ඍජු අත්දැකීමක් හරහා
කෙනෙකු දියුණුවෙන හෝ පිරිහෙන ආකාරයත්,
දුක ඇති කරගන්නා ආකාරය හා
දුකෙන් මිදෙන ආකාරය වැටහෙයි.
වැඩි වූ සිහිය, මුළාවෙන් තොර බව, ආත්ම දමනය හා
සමාහිත බව යන ගුණාංග වලින් ජීවිතය යුක්ත වෙයි.


පරපුර
බුදුරජාණන් වහන්සේගේ කාලයේ සිට වර්තමාන යුගය දක්වා අඛණ්ඩ ගුරු පරපුරක් මගින් විපස්සනා භාවනා ක්‍රමය පවත්වා ගෙන එනු ලැබේ. අවසාන ගුරුතුමා වූ එස්. එන්. ගොඑන්කා තුමා පෙළපතින් ඉන්දියන් ජාතිකයකු වුවත් ඉපිද වැඩුණේ මියංමාර් (බුරුම ) දේශයේය. එතුමා එහි ජීවත් වන කාලයේ දී, රජයේ උසස් නිලයක් දරමින් සිටි සයාගි ඌ බා කින් තුමාගෙන් විපස්සනා භාවනාව ඉගෙනීමේ මහඟු අවස්ථාවක් එතුමාට උදා විය. වසර 14 ක් තිස්සේ තම ගුරුතුමා යටතේ පුහුණුව ලත් ගොඑන්කා මහතා ඉන්දියාවේ පදිංචියට පැමිණ 1969 වසරේ සිට විපස්සනා භාවනාව ඉගැන්වීම ආරම්භ කළේය. එතැන් සිට පෙරදිග අපරදිග සියලූ ආගම්වලට අයත් සියලූ ජාතීන්ට අයත් දස දහස් සංඛ්‍යාත ජනතාවකට විපස්සනා භාවනාව උගන්වා ඇත. විපස්සනා භාවනා පාඨමාලා සඳහා ඉල්ලූම වැඩිවෙන්නට වූ නිසා 1982 වසරේ සිට එතුමාට සහාය වීම ස\හා සහායක ගුරුවරුන් පත් කිරීම ආරම්භ විය.


පාඨමාලා
දස දින නේවාසික පාඨමාලාවල උගන්වනු ලබන මෙම භාවනා පුහුණුවට සහභාගිවන්නන් නියමිත විනය නීති මාලාවක් අනුගමනය කරමින් භාවනා ක්‍රමය පිළිබඳව මූලික කරුණු හදාරමින් එහි ඵලදායි ප්‍රතිඵල අත්දැකීමට ප්‍රමාණවත් ලෙස ප්‍රගුණ කරති.

පාඨමාලාවේදී දැඩි උනන්දුවෙන් හා කැපවීමෙන් ක්‍රියා කිරීම අවශ්‍ය වේ.භාවනා පුහුණුව පියවර තුනකින් සමන්විතය. පළමු පියවර වන්නේ : පාඨමාලා කාලය තුල දී ප්‍රාණඝාතයෙන් වැළකී සිටීම, සොරකම් කිරීමෙන් වැළකී සිටිම, කාම යෙහි හැසිරීමෙන් වැළකී සිටිම, මුසාබස් කීමෙන් වැළකී සිටීම, සහ මත්පැන් - මත් ද්‍රව්‍යවලින් වැළකී සිටීම. මෙම සරල විනය නීති මාලාව සිත සන්සුන් කිරීමට ප්‍රයෝජනවත් වන්නේ කලබලකාරි සිතකින් ස්වයං නිරීක්ෂණය කිරීම කළ නොහැකි නිසාය.

දෙවන පියවර වන්නේ නිරන්තරයෙන් වෙනස් වෙමින් පවතින නාස් පුඩුවලින් ඇතුල් වන හුස්මෙහි සහ පිටවන හුස්මෙහි ස්වාභාවික සත්‍යතාවයට අවධානය යොමු කරමින් කිසියම් ප්‍රමාණයකට සිත පාලනය කර ගැනීමයි.

සිවු වන දිනය වන විට සිත වඩාත් සන්සුන් වේ, වඩාත් එකාග්රතාවයෙන් යුක්ත වේ. ශරීරය පුරාම සංවේදනාවන් නිරීක්ෂණය කරමින්,  ඒවායේ ස්වභාවය අවබෝධ කර ගනිමින්,  ඒවාට ප්‍රතික්‍රියා නොකර උපේක්ෂාව දියුණු කර ගනිමින්, විපස්සනා භාවනාව වැඩීමට ආරම්භ කිරීමට හැකි වේ.

අවසාන වශයෙන්, මෙම වැඩසටහනට සහභාගී වන සියලූ දෙනාටම අවසන් දිනයේදී මෛත්‍රී භාවනාව වැඩීමට ඉගෙන ගත හැකි වේ. එම අවස්ථාවේ දී, පාඨමාලා කාලය තුල දී වර්ධනය කර ගත් චිත්ත පාරිශුද්ධතාවය සියලූ සත්ත්වයන් වෙත අනුමෝදන් කරනු ලැබේ.

මේ මුලූ අභ්‍යාසයම ඇත්තවශයෙන්ම මානසික පුහුණුවකි. අපේ ශාරීරික නිරෝගී බව නංවාලීම සඳහා ව්‍යායාම කරන්නාක් මෙන් , මානසික නිරෝගී බව නංවාලීම සඳහා විපස්සනා භාවනාව උපයෝගී කර ගත හැක.

නියම වශයෙන්ම එය ප්‍රයෝජනවත් කියා සොයාගත් නිසා මෙම භාවනා ක්රමය සත්‍ය ස්වරූපයෙන්ම ආරක්ෂා කරගෙන යාමට විශේෂයෙන් අවධාරණය කෙරේ. එය උගන්වනු ලබන්නේ  වාණිජ අරමුණකින් තොරව, කිසිම අය කිරීමකින් තොරවය. මෙය ඉගැන්වීම සඳහා සම්බන්ධව සිටින කිසිම පුද්ගලයෙක් කිසිම ආකාරයක මූල්‍යමය හෝ ද්‍රව්‍යයමය ප්‍රතිලාභයක් නොලබයි.

පාඨමාලා සඳහා අය කිරීමක් නැත; ආහාර සහ නවාතැන් පහසුකම් වියහියදම් සඳහාවත් අය කිරීමක් නොකෙරේ. විපස්සනා භාවනා පාඨමාලාවක් සම්පූර්ණ කර විපස්සනාවෙන් ප්‍රයෝජන ලබා, තමන්ට ලැබුණු ඵල ප්‍රයෝජන ලැබීමට අනික් අයටත් අවස්ථාව උදාවේවා’ යන චේතනාවෙන් ඒ අය විසින් කරන ලද පරිත්යාගවලින් පාඨමාලා වියහියදම් ආවරණය කෙරේ.

ඇත්තවශයෙන්ම, ප්රගුණ කිරීම පවත්වා ගෙන යාමෙන් අනුක්‍රමිකව මෙහි ප්රතිඵල ලැබේ. දින දහයක් තුලදී සියලූ ප්‍රශ්න විසඳී යනු ඇතැයි බලාපොරොත්තු වීම යථාර්තවාදී නොවේ. කෙසේ වුවත් එම කාලය තුලදී විපස්සනාවේ අත්‍යවශ්‍ය කරුණු ඉගෙන ගත හැකි වේ. එය දෛනික ජීවිතයේදී ප්‍රයෝජනවත් වේ. භාවනා ක්රමය වැඩි වැඩියෙන් වඩන්නේ නම් එ් තරමට දුකින් මිදිමත්, අවසානයේදී ක්‍රමක්‍රමයෙන් පූර්ණ විමුක්තිය කරා ළඟා වීමත් සිදු වේ. දින දහයක භාවනාවෙන් පවා ලැබෙන ප්‍රතිඵල එදිනෙදා ජීවිතයට පැහැදිලි ලෙසම ප්‍රයෝජනවත් වේ.

මෙම භාවනා ක්‍රමයේ ක්‍රියාකාරිත්වය තමන් විසින්ම අවබෝධ කර ගැනීමටත් එහි ප්‍රයෝජනය ගැන තීරණය කිරීමට අවංකව කැමති සියලූ දෙනාට පාඨමාලාවට සම්බන්ධවීමට ආරාධනා කරමු . මේ සඳහා ප්‍රයත්න දරණ සියලූ දෙනාට විපස්සනා පුහුණුවෙන් නියම සතුට උදාකර ගෙන අනික් අයත් සමඟ බෙදා ගත හැකි ක්රමයක් බව දැන ගන්නට ලැබේවි.


ඉල්ලූම් පතක් පුරවා එය යොමු කිරීමෙන් ඔබට විපස්සනා භාවනා පාඨමාලාවකට සහභාගිවීමට හැක. 

ශ්‍රී ලංකාවේ විපස්සනා භාවනා මධ්‍යස්ථාන වලින් එකකට පැමිණීමෙන් හෝ
දුරකථන ඇමතුමක් මගින් ඔබේ ලිපිනය ලබා දීමෙන් හෝ
ලිපියකින් ඉල්ලුම් කිරීමෙන් ඉල්ලුම්පතක් ගෙන්වාගන්න.


පාඨමාලා දින සටහන

20170514

සමන්ත හිමි ලෞකික සමථ ධ්‍යාන සහිත කෙනෙක්.


සමථ වඩන්නාට
ඔහුගෙ ධ්‍යානය ලෞකික නිසා
බාහිර ලෝකෙ නිදහසේ හැසිරෙන්න බෑ.

සමන්ත හිමි සමග සංවාදය
ෆේස්බුක් තුළ නැරඹූ කිහිප දෙනෙක්ම
සමන්ත හිමිත් මාත් අතර වෙනසක් නෑ නේද
මගෙන් විමසුවා.

ඒ වැටහීම ඔහු රහත් නෑ කියා
ඔප්පු වෙන එක තැනක්.

ඔව්. අපි දෙදෙනාම පුහුදුන් මිනිසුන්.

මම සෝවාන් වෙලාවත් නෑ.
ඔහුත් මම වගේම පුහුදුන් කෙනෙක්.
වෙනස ඔහු සමථ වඩන්නෙක්.
මම විදසුන් වඩන්නෙක්.

සමන්ත හිමි
ලෞකික සමථ ධ්‍යාන සහිත කෙනෙක්.
සමථ දැහන තාවකාලිකයි.
ආවේග මතු වෙනවිට බිඳෙන සුළුයි.

විරෝධතා දක්වන පිරිසක්
ඔහු එන මග බලා සිටියදී
ඉන් බියට පත් වූසමන්ත හිමි
පිළියන්දල යන ගමන නවත්වා
ආශ්‍රමයෙ ආරක්ෂාව සොයාගෙන ආපසු ගියේ
එදා ඒ සෙනගට මුහුණ දුන්නා නම්
ඔහුගෙ ලෞකික සමාධිය බිඳෙන නිසයි.

එවිට ඔහු සාමාන්‍ය කෙනෙකුටත් වඩා
අන්ත වෙන්න පුලුවන්.

සාමාන්‍ය මිනිසුන් තුළත්
මේ ලෞකික ධ්‍යාන දකින්න පුලුවන්.
සමථ වඩන්නාගෙ ධ්‍යානය ලෞකික නිසා
ආවේග ශීලී වුණාම දැහැන බිඳෙනවා.

තමන් රහත් කියා කියන
සමන්ත හිමිගෙ අසංවර හැසිරීමට
ඔහු තර්කානුකූල හේතු ඉදිරිපත් කළත්
ඒ හැසිරීමට ප්‍රධානම හේතුව
ඔහු රහතෙකු නොවීමයි.
දෙවෙනි හේතුව ලෞකික දැහැන
බිඳී මාන්නය මතු වීමයි.

සාමාන්‍ය සමාජයේ ගෞරව ලබන අය
තව කෙනෙකුගෙන් ඒ ගෞරවය නොලැබී
ඒ හේතුවෙන් ආවේගශීලී වුණාම
උන්මත්තකයන් බවට පත් වී
වහසි බස් බෙණෙමින් පළිගසමින්
කැත වචන වලින් අපහාස කරමින් හැසිරෙන්නෙ
ද්වේශයත්, ව්‍යාපාදයත් මතු වීමෙන්
ඔවුන්ගෙ දැහැන බිඳෙන නිසයි.

උපන්දින උත්සව වලදීත් වෙන්නෙ
ලෞකික ධ්‍යානය බිඳී
රාගය, කාමච්ඡන්දය උතුරා ගොස්
සහභාගි වෙන අය තුළත්
රාගය, කාමච්ඡන්දය ඇති වීමයි.

"වෙහෙස වෙලා ඇඳට වැටුණාම
හොඳට නින්ද යනවා" කියා
සමන්ත හිමි කියනවා.
රහත් වුණ කෙනෙක් සම්පජානෝ සතියෙන්
සැතපෙනවා විනා නිදන්නේ නෑ.
බුදු දහමෙ නින්දට භාවිතා කරන්නෙ
"නිද්දා" කියන වචනයයි.
සයනය - සැතපීම  කියා භාවිතා වෙන්නෙ
සිහියෙන් සැතපීමටයි.
මෝහය ඔහුගෙ දැහැන ඉක්මවන්නේ
ඒ ආකාරයටයි.

සමන්ත හිමි ඔහුගෙ තර්ක ශක්තියෙන්
ඔහුගෙ දැහැන බිඳෙන අවස්ථා
සියුම් විදියට සාධාරණීකරණය කරනවා.
මා සමග  සංවාදයෙදිත් ඔහුගෙ දැහැන
නිරන්තරයෙන් බිඳෙනවා.
තර්ක විතර්ක වලට වඩා
ඔහු රහත් නෑ කියා ජනතාව දැනගත්තෙ
ඔහුගෙ දැහැන බිඳීම නිසයි.
සමන්ත හිමි සමග සංවාදය ෆේස්බුක් තුළ නරඹන්න.

"මෙවැනි සංවාද මසකට වරක් පමණ
පවත්වමු" කියා ඔහුම යෝජනා කළත්
පසුව වීඩියෝවට ලැබුණ ප්‍රතිචාර නිසා
ඔහු ඒ අදහස වෙනස් කරගත්තා.
වීඩියෝවත් Youtube එකෙන් ඉවත් කළා.

සමථ ධ්‍යාන වඩන්නෙකුට
විදසුන් වඩන්නෙක් හමුවීම විශේෂ අවස්ථාවක්.

සමථ වඩන්නාගෙ ධ්‍යානය ලෞකිකයි.
ඒ සමාධිය බිඳෙන සුළු මිථ්‍යා සමාධියක්.
ඔහු දැහැන පවත්වාගන්නෙ අසීරුවෙන්.
රාග, ද්වේශ සංස්කාරත් කාමච්ඡන්ද ව්‍යාපාද ආදියත්
යටපත් කොට තබාගැනීම සමථයයි.

මඩ වතුර වීදුරුවක
වතුර පිරිසිදු කරන්නට
පතුළට මඩ තැන්පත් කිරීම
සමථ භාවනාවෙන් කෙරෙනවා.

වතුර පිරිසිදු වුණත් පතුලෙ මඩ තියන නිසා
අවස්ථාවක් ලද විටම කැළතෙනවා.
සමථයෙන් සිත පිරිසිදු කළත්
කෙලෙස් නීවරණ විදියට මතුවෙලා
සිත කිළිටි කරනවා.

සාමාන්‍ය පුහුදුන් කෙනෙකුගේ සිත
අවුල් වෙන්නෙත් සංවරය බිඳෙන්නෙත්
මේ ආකාරයටයි.

රහත් වුණ කෙනෙක් මේ තත්වයට පත් වෙන්නෙ නෑ.
ඔහු මඩ සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමෙන්
සිත පිරිසිදු කරන කෙනෙක්.

සාමාන්‍ය පුහුදුන් කෙනෙකුට වඩා
සමථ වඩන්නාගෙ දැහැන ප්‍රබලයි.
තාවකාලිකයි බිඳෙන සුළුයි.
සංස්කාර හෝ නීවරණ මතුවුණොත්
සමථ ධ්‍යානය බිඳෙනවා.
ඔහු කෝපයට පත් වෙනවා.
ඵරුෂ වචන කියනවා.
මාන්නය මතුවෙනවා.
වහසි බස් කියනවා.
නොයෙක් අහංකාර බස් තෙපළනවා.
රාගයෙන් සැප සම්පත් සොයනවා.
මහා මන්දිර පිළිම තනනවා.
කෙලෙස් වලින් සිත කිළිටි ඔහු
පුහුදුන් කෙනෙකුටත් අන්ත වෙනවා.
සාමාන්‍ය අවස්ථා ඉක්මවා වියදම් කරමින්
රාගය කාමච්ඡන්දය ප්‍රකාශ කරනවා.

සමථය නිසා ජනප්‍රිය වෙන ආගමික පූජකයන්
ගිහියන්ට වඩා වරදට පෙළඹෙන්න
ප්‍රධානම හේතුව දැහැන බිඳීමයි.
ගිහියන් වුණත් වරදට පෙළඹෙන්නෙ
මේ අයුරින්මයි.
ඔවුන් දැහැන වඩන්නෙ නැති නිසා
බිඳෙන අවස්ථා ප්‍රමාණය වැඩියි.

ආගමික ජීවන රටාවන් තුළ
ලෞකික දැහැන් වැඩෙනවා.
බුදු දහම තුළ වුණත්
විදසුන් නොවඩා සමථයට යොමුවුණොත්
ඔහු තුළ වැඩෙන්නේ
ලෞකික මිථ්‍යා සමාධියයි.

ගිහිපැවිදි වෙනසක් නැතුව
ධ්‍යාන පිහිටුවා ගන්නා පුද්ගලයන්
ඉක්මණින් ජනප්‍රිය වෙනවා.
ඔවුන්ගේ දේශන අහන්න සෙනග එන්නෙ
මයිකල් ජැක්සන්ගේ සංදර්ශනවලට යන ආකාරයටයි.

මයිකල් ජැක්සන්ගෙ සංදර්ශන වලට
1,25000ක් රසිකයන් එකතු වෙන්නෙ
ඔහුගේ ගීත හෝ නර්තනය නිසා නොවෙයි.
ඒ ගීත ඇහෙද්දි, නර්තනය දකිද්දි
මයිකල්ගෙ දැහැන ආධාරයෙන්
රසිකයා දැහැන් ගත වීම නිසයි.
රසිකයා විඳින්නෙ බාහිර දේ නොවෙයි.
ඔහු තුළ සිදු වෙන වෙනසයි.

මයිකල්ගෙ ගීත වලින් දැහැන් ගතවෙන නමුත්
ඒ ගීතවල ඇති කෙලෙස් බර ස්වභාවය නිසා
රසිකාවියන් තුළ ඒ සමග ඇවිස්සෙන කෙලෙස් අනුව
ඔවුන් වියරු වැටන තත්වයක් ඇති වෙනවා.

පන්සලක පවත්වන අටවිසි බෝධි පූජාවකින්
හින්දු කෝවිලක භජන්, ස්ත්‍රෝත්‍ර ගායනයකින්
පල්ලියේ කරන යාතිකා, ගීතිකා ආදියෙන් පවා
ඇත්ත වශයෙන්ම කරන්න සිත් දැහැන්ගත කිරීමයි.

බෙහෙවින් ජනප්‍රිය වෙන ආගමික පූජකයන්
ඔවුන්ගේ ආගමික වන්දනා මාන ආදිය මගින්
සැබැවින්ම කරන්නේ ඔවුන්ගේ දැහැන
අසන්නා වෙත සම්ප්‍රේෂණය කිරීමයි.

මේ සංසිද්ධිය එක් සංගීත භාණ්ඩයක
ස්වරයක් වාදනය කරන අතර
ඒ අනුව වෙනත් භාණ්ඩයක්
තානගත කිරීම වැන්නක්.

මේ ලෞකික සුවය මෝහය වුණත්
දුක් පීඩා විඳින තැනැත්තා
මේ මෝහනයට බැඳෙනවා.

පානදුරේ අරියධම්ම හිමි
එවැනි දැහැනක් තිබුණ හිමි නමක්.
ඒ බෝධිපූජාවට සහභාගි වෙන
සැදැහැවතුන්ගෙ සිත් නිවී
දැහැන් ගත වෙනවා.

සෑහෙන කාලයක් පුරා ගාථා කියමින්
කවි ගායනා කරමින් අසන සිත නිවා
"සිත සැනසිල්ල බුදු හිමි රුව දැකීමය"
කවිපෙළ කෙමෙන් හඬ අඩු කරන
අරියධම්ම හිමියන්
ඒ කවිය නෑසී යන්න සලස්වනවා.
එතෙක් කළ කී දෑ මගින්
ඒ හිමියන් සමග තානගත වුණ අය
ඒ අවස්ථාවේ දැහැන් ගත වෙනවා.
ඔහු ඒ අත්දැකීමට දැඩිව බැඳෙනවා.

මෙවැනි ආකර්ශණීය ආගමික පූජකයන්
කලින් කලට හැම ආගමකම ඉන්නවා.
තාර්කික දේශනා, වන්දනාමාන, පුද පූජා
ලෙඩ රෝග සුව කිරීම්
ආදිය අනුසාරයෙන්
ඔවුන් සමස්ත අනුගාමික ජනතාව
එක දැහැනකට කොටු කර බඳිනවා.
තාවකාලික සුවයක් හැර
ඒ කිසිවෙකුගේ අධ්‍යාත්මික වර්ධනයක් හෝ
ප්‍රඥාව වැඩීමක් වෙන්නේ නැහැ.
ආගමික බව වැඩෙන අය සිටින නමුත්
අද බොහෝ විට සිදු වෙන්නෙ
ඔවුන් නරුමයන් වීමයි.

ආගමික වීම වෙනුවට
නරුමයන් බවට පත් වෙන අය
තමන් සම්බන්ධ ආගමට ගරහමින්
ශාස්තෘවරයාට ගරහමින්
තමන්ට මානසික සුවය දෙන පුද්ගලයා
ගැලවුම් කාරයා ලෙස සිතීමට
ඔවුන් පෙළඹෙනවා.
ඔහු වටා ලාභ සත්කාර රැස්කරනවා.
විශාල මන්දිර, වන උයන් තනනවා.
ඔවුන් තුළ සිදු වෙන සැබෑ වෙනසක් නෑ.

බොහෝ විට නිර්මාණ ශීලී බවක් විනා
මේ ඉගැන්වීම් වල සැබෑ හරයක් නෑ.
ඔවුන් දැහැන් ගත කරන දේශනා තුළ
මොන ආකාරයේ අසත්‍ය ප්‍රකාශ තිබුණත්
විටින්විට ලබන මානසික සුවය නිසා
ඔවුන් ඒ අසත්‍යය පිළිගන්නවා.

"ඉන්ද්‍රිය සංවරය ඇති කර ගැනීමට මග
ඉන්ද්‍රිය සංවරයෙන් තොර වීමයි" කියා
ඒ අනුව තර්ක ගොඩ නගන විට
'ඒ වචන අසාගෙන සිටින විට දැනෙන සුවය නිසා
ඒ වචන සත්‍ය ලෙස පිළිගන්නවා.

මේ ආගමික රටාව තුළ ඔවුන් ඉගෙනගන්නෙ
සමාජයට නිර්වින්දනය වෙමින්
ජීවිතයේ ප්‍රශ්න වලට නිර්වින්දනය වෙමින්
මෝහයට පත්වූ සිතේ සුවය රැකගෙන
නරුම ජීවිත ගත කිරීමටයි.

මේ නරුම රටාවට
තදින් ඇබ්බැහි වෙන පුද්ගලයන් තුළ
විමර්ශනාත්මක හැකියාව සිඳී යනවා.
ඔවුන් අදහන තැනැත්තාගේ වචන
ගිරවුන් මෙන් නැවත කියනවා හැරෙන්නට
ඔවුන් අවබෝධ කරගන්න දහමක් නෑ.

ඔවුන් ඔවුන්ගේ දහම පිළිපැදීමෙන්
ලෞකික දැහැන් උපදවා ගන්නවා.
ඔවුන්ගේ ජනප්‍රියත්වය කෙමෙන් වැඩෙනවා.
ලාභ සත්කාර ලැබෙන්න පටන් ගන්නවා.
මාන්නය වැඩෙනවා. බලය වැඩෙනවා.
දේශපාලනයට යොමු වෙනවා.
මේ සියල්ල නිසා සිත කැළඹෙන විට
දැහැන පිරිහෙනවා.

මේ දැහැන්ගත කිරීමේ බලය හිමි
ආගමික පූජකයාට පමණක් නොවෙයි.
ජනප්‍රිය දේශපාලනඥයන්, ජනප්‍රිය කලාකරුවන්
ජනප්‍රිය වෛද්‍යවරු, ජනප්‍රිය චින්තකයන් ආදී
පිරිවර රැස්කරගෙන හැසිරෙන සියල්ලෝම
ලෞකික ධ්‍යානයෙන් සමන්විත අයයි.
සම්මා සමාධිය සහිත පුද්ගලයා
පිරිවරට අහු වෙන්නේ නෑ.
ඔහු පිරිවර පෝෂණය කරන්නේ නෑ.

අපේ රටවල්වල කල්ලි නායකයා වන්නේ
නායකත්වයට සුදුස්සා, නිස්සා නොව
ලෞකික දැහැන ප්‍රබලම තැනැත්තායි.
දැහැන පිරිහෙන විට නායකත්වය පිරිහෙනවා.
ඔවුන් සමාජයෙන් ඈත් වී වෙසෙන්නේ
දැහැන රැකගන්නයි.

අත දරුවන් සිටින කාන්තාවන් අතර,
කිසියම් ක්ෂේත්‍රයක දක්ෂතා දක්වන අය තුළ
දැහැන් ගතවීම දකින්න පුලුවන්.

යහපත් මිනිසුන් කියා අප දකින අය
මේ දැහැන පවත්වා ගන්නා අයයි.

මේ සමාධිය මිථ්‍යා සමාධියක්.
සමාධියක් මෙන් බැහැරට පෙනෙන මායාව
ඉතාම තාවකාලිකයි, බිඳෙන සුළුයි.

කිරි කලය එක ගොම බිඳුවකින් පිරිහෙනවා.
උඩුවේ ධම්මාලෝක, කොළොන්නාවේ සුමංගල ආදී
ජනප්‍රිය භික්ෂූන්ගේ ජනප්‍රියත්වය
ලාභ සත්කාර පසුපස යාම නිසා
වඩාගෙන තිබුණ දැහැන පිරිහීම සමග සහ
ඒ මත අනුගාමිකයන් තනා ගත් ප්‍රතිරූපය බිඳීම නිසා
පිරිවර විසිරී අතුරුදහන් වුණා.

දැහැන පිරිහීමත් පිරිවර අහිමි වීමත් නිසා
ඔවුන්ගේ සංදර්ශනය නිමාවක් දකිනවා.

සමන්ත හිමි මේ රටාව තේරුම් ගෙන
ඔහුගේ පිරිවර පවත්වා ගන්නට
වරින් වර නව සංදර්ශන පවත්වමින්
පිරිවර මන්මත් කරවන්නට
තමන්ට ලැබුණායි කියන
මාර්ගඵල වල එළිය පිරිහෙන විට
ඊටත් එහා ගිය  බුදු බව ලබා ගනිමින්
නිරෝධ සමාපත්තියට සම වදිමින්
උපන්දින උත්සව පවත්වමින්
ගමින් ගම රටින් රට යමින්
සංදර්ශනය නොකඩවා පවත්වනවා.
කෙමෙන් කෙන්මෙන් පිරිවර අඩු වුණත්
යම් පිරිසක් එනවා.

සදහම් ආශ්‍රමයට ඇවිත්
දේශනාවට ප්ලග් වුණාම
දින කිහිපයක් මෝහයෙන් ගත කරන්න
ඔවුන් පත් වෙන දැහැන ප්‍රමාණවත්.
ඒ දැහැන ප්‍රමාණවත් නැති අය
ලක්ෂ පහක් ගෙවා පැවිදි වෙනවා.

ධ්‍යාන ලාභියා කොතරම් දක්ෂ වුවත්
ලෞකික දැහැන තාවකාලිකයි. බිඳෙන සුළුයි.
මෝහය නිවන ලෙස සැලකීමෙන්
පුහුදුන් කෙනෙකු රහත් වෙන්නේ නෑ.

රහතන් වහන්සේ තුළ පවතින ධ්‍යාන
බිඳෙන සුලු ලෞකික ධ්‍යාන නොවෙයි.
ලෝකෝත්තර සමාධිය ස්ථාවරයි.
පිරිනිවන් පාන්න වෙන ආකාරයට
සොරුන් විසින් පහර දුන්නත් නොපිරිහෙන
නොසැලෙන නොබිඳෙන සමාධියයි.

රහතන් වහන්සේ තුළ කෙලෙස් නැති නිසා
රාග ද්වේශ මෝහ සංස්කාර නෑ.
කාමච්ඡන්ද ව්‍යාපාද ආදී
නීවරණ ඇති වන්නේ නෑ.
ඒ සමාධිය කිසිම හේතුවක් නිසා
බිඳෙන්නෙ නෑ.

රහත් බවට පත් වෙන තැනැත්තා
සම්මා සමාධිය පුහුණුවෙන්නෙ
සතර සතිපට්ඨානය වඩා පුහුණුවන
විදර්ශනාව මගින්.

විදසුන් වඩනා තුළ සියලු වෙනස්වීම් ගැන
සිහියෙන් පසුවෙන අතර ව වෙනස් වීම වලට
රාගයෙන් හෝ ද්වේශයෙන් ප්‍රතික්‍රියා නොකිරීම
සම්මා සමාධියෙහි පදනමයි.

විදසුන් වඩන්නා තුළ තවමත් කෙලෙස් ඇති නිසා
ඔහුගේ සිතේ රාග ද්වේශාදී සංස්කාරත්
කාමච්ඡන්දාදී නීවරණත් ඇති වෙද්දී
ඔහු ඒ වෙනස්වීම පිළිබඳව උපේක්ෂාවෙන්
ප්‍රතික්‍රියා කිරීමෙන් වැළකෙනවා.

සමාධිය බිඳෙන අවස්ථාවන්හි
ඒ බිඳීමත් සිහියෙන් දකිනවා.
කයත් වේදනාත් මට්ටමෙන්
රාග ද්වේශාදී සංස්කාරත්
කාමච්ඡන්දාදී නීවරණත් දැකීමෙන්
ඔහුගෙ  සිත පිරිසිදුව පවතිනවා.

රාග ද්වේශාදී සංස්කාරත්
කාමච්ඡන්දාදී නීවරණත්
සිහියෙන් දකින ඔහුගේ රාග ද්වේශ කෙලෙස්
ඉපදෙමින් නිරුද්ධ වෙනවා.

මෝහය නිසා අරමුණු දැනීම අඩු වී
සිත ලබන ශාන්ත සුවය නිවනයැයි මුලාවී
ලෞකික ධ්‍යානලාභීන් විඳින මෝහය
තවත් එක් ප්‍රිය ජනක කායික වේදනාවක්.
ඔහු ඒ වේදනාව සිහියෙන් හා උපේක්ෂාවෙන් දකිනවා.

මේ අයුරින් ඔහු තුළ ඇති වෙන විශුද්ධිය
බුදුන් වහන්සේ මෙසේ විස්තර කරනවා.
.
''වේදනා තුනෙකි.
සුව වේදනා ය,
දුක් වේදනා ය,
නොදුක් නොසුව වේදනා යි.''
[[[ වේදනානුපස්සනාව ]]]

සුවවේදනාවෙන් රාගානුසයය පහකටයුතු ය.
දුක්වේදනාවෙන් පටිඝානුසයය පහකටයුතු ය.
නොදුක් නොසුව වේදනාවෙන් අවිජ්ජානුසයය පහකටයුතු යි.

යම් කලෙක මහණහට
සුවවේදනාවෙන් රාගනුසයය ප්‍රහීණ වූයේ වේ ද
දුක්වේදනාවෙන් පටිඝානුසයය ප්‍රහීණ වුයේ වේ ද
නොදුක් නොසුව වේදනාවෙන් අවිජ්ජානුසයය ප්‍රහීණ වූයේ වේ ද
පහ වූ රාගානුසයය ඇති මේ මහණ තෘෂ්ණාව සිඳදැම්මේ ය.
සංයොජන මුලිනුපුටා හළේ ය.
මැනවින් මනාවබොධයෙන් දුක් කෙළවර කෙළේ යයි කියනු ලැබේ.

වේදනාව නොදන්නා නිස්සරණය නොදක්නා
සුව වේදනාව විඳින්නහුට රාගානුසය වේ.

වේදනාව නොදන්නා නිස්සරණය නොදක්නා
දුක් වේදනාව විඳින්නහුට පටිඝානුසය වේ.

තථාගතයන් වහන්සේ විසින් ශාන්තය යි වදාළ
නොදුක් නොසුව වේදනාව ද පතන්නේ දුකෙන් නොමැ මිදෙයි.

යම් හෙයකින් කෙලෙස් තවන වෙර ඇති මහණ
සති සම්පජන්‍යය අත් නොහැර වඩාද,
එහෙයින් ඒ පණඩිත තෙමේ සියලු වේදනා පිරිසිඳ දනී.

හෙතෙමේ වේදනා පිරිසිඳ දැන
කෙලෙස් රහිත වූයේ නිවනට පැමිණියේ දහම්හි පිහිටියේ
මරණින් මතු පැනවීමකට නො පැමිණේ.
පහාන සූත්‍රය

සුවවේදනාවෙන් රාගනුසයය ප්‍රහීණ කරමින්
දුක්වේදනාවෙන් පටිඝානුසයය ප්‍රහීණ කරමින්
නොදුක් නොසුව වේදනාවෙන් අවිජ්ජානුසයය ප්‍රහීණ කරමින්
කාය වේදනා ඇසුරෙන් චිත්ත ධම්ම දකිමින්
කෙලෙස් නැසීමෙන් ලබන සම්මා සමාධිය
සිතේ කෙලෙස් මතු වීමෙන් බිඳෙන්නේ නෑ.

විදසුන් වඩන්නා තුළ වැඩෙන සමාධිය
කෙලෙස් නිසා නොබිඳෙන සම්මා සමාධියයි.

20170512

රජයේ වෛද්‍ය පීඨවලට සිසුන් තෝරන එකම ක්‍රමය කුසලතා අනුපිළිවෙල නොවෙයි.



"රජයේ වෛද්‍ය පීඨවලට
සිසුන් තෝරගන්නා එකම ක්‍රමය
කුසලතා අනුපිළිවෙල නොවෙයි.

කුසලතා අනුපිළිවෙළ අනුව සිසුන් තේරීම
රජය භාවිතා කරන එක ක්‍රමයක්.
කුසලතාවය අනුව සියයට හතලිහක් තෝරනවා.

කුසලතා අනුපිළිවෙළ තෝරද්දි
ලකුණු ලැයිස්තුවේ ඉහළම සිටින සිසුන්
480ක් පමන තෝරා ගන්නවා.

දිස්ත්‍රික් කෝටාක්‍රමය  තවත් විකල්පයක්.
සියයට පනස් පහක් ඒ අනුව තෝරනවා.
දිස්ත්‍රික්කවල ජන අනුපාතය අනුව
ඒ දිස්ත්‍රික්ක වල පහසුකම් අනුව
එක් එක් දිස්ත්‍රික්කයට නියම කරන
Z අගය අනුව සිසුන් 550ක් තෝරනවා.

දිස්ත්‍රික් කෝටා ක්‍රමය
රජය භාවිතා කරන දෙවෙනි විකල්පයයි.

රජය භාවිතා කරන තුන් වෙනි විකල්පයෙන්
අතිදුෂ්කර පළාත් වල සිසුන්
සියයට පහක් තෝරා ගන්නවා.

ජාතික මට්ටමේ කුසලතා දැක්වූ
අවම සුදුසුකම් සහිත අයත්
කිහිප දෙනෙක් තෝරාගන්නවා.
ඒ සඳහාත් ඉල්ලුම් පත්‍ර 500ක් පමණ
ලැබෙන බව වාර්තා වෙනවා.

රජය භාවිතා කරන එක විකල්ප ක්‍රම

40%  
ලකුණු අනුව කුසලතා අනු පිළිවෙළට

55%
ජන අනුපාතය සහ පහසුකම් අනුව

05%
අති දුෂ්කර පළාත් වල සිසුන්

පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක්
ජනසතු කිරීමෙන් පසුව සිසුන් තේරීම
නැවතත් මේ පැරණි විකල්ප ධාරාවන්ටම
සීමා වෙනවා.

මේ අනුව සුපුරුදු විදියටම
තවත් විශාල සංඛ්‍යාවක් සිසුන්
වෛද්‍ය අධ්‍යාපනයට කුසලතා ඇති නමුත්
ඒ විකල්ප මාර්ගවලට සුදුසුකම් නැතිව
අතරමං වෙනවා.

සමහර වසරක
ඔවුන් අතරෙනුත් 1800ක් පමණ
කුසලතා අනුව ඉහළින් සිටි නමුත්
දිස්ත්‍රික් කෝටා
විකල්ප ක්‍රමවලට තේරීමේදී
අවස්ථාව අහිමි වෙන සිසුන්.

කුසලතාවය අනුව සිසුන් තෝරා ගැනාම
රජය භාවිතා කරන එක විකල්පයක් පමණයි.

කුසලතා ඇති සිසුන් අතරෙන්
දුශ්කරතා සහ ජන අනුපාතය අනුව
තවත් සිසුන් පිරිසකට අවස්ථාව ලබා දීම
තවත් විකල්පයක්.

ඒ ක්‍රමයෙන්
වෙනස් වූ විකල්ප ක්‍රම අවශ්‍යයි.
ස්වකීය වියදමෙන්, බැංකු ණය මගින්,
අනුග්‍රාහක සමාගම් මගින් වියදම් සොයාගෙන
වෛද්‍ය අධ්‍යාපනය ලබා දෙන විකල්ප
රටකට අවශ්‍යයි.

කුසලතා ඇති සිසුන් සිය වියදමෙන් හෝ
වෙනත් මාර්ගයකින් ලබෙන මුදලින්
ගෙවා ඉගෙන ගත හැකි විකල්පයක්ද
රජය විසින් සපයා ඇති නමුත්
ඒ විකල්පය අපේ රටේ සිසුන්ට නොව
විදේශික සිසුන්ට පමණයි.
.
රජයෙන් විදේශිකයන්ට දෙන අවස්ථාව
ශ්‍රී ලාංකික සිසුන්ට ලබා දෙන්නට
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහි වූ විට
ඉහළ කුසලතා ඇතිව අතරමං වෙන
බොහෝ සිසුන්ට වෛද්‍යවරු වීමට
හැකියාව ලැබෙනු ඇත.

ශ්‍රී ලංකා වෛද්‍ය අධ්‍යාපනයේ
හතරවෙනි විකල්පය වන
කුසලතා ඇති සිසුන්ට මුදලට
වෛද්‍ය අධ්‍යාපනය අහෝසි නොකළ යුතුය.

වෛද්‍ය අධ්‍යාපනය සඳහා අවශ්‍ය
අධ්‍යාපනික කුසලතාවයත්
වියදම් කිරීමට මුදලුත් ඇති සිසුන් පිරිසකට
වෛද්‍ය අධ්‍යාපනය ලැබීමට මග විවර වී
තව තවත් වෛද්‍යවරුන් බිහිවීම නිසා
දැනට ඉන්නා රෝගීන් ගහණය බෙදී ගොස්
අද සිටින වෛද්‍යවරුන්ගේ ආදායම අඩුවීම
වළක්වා ගැනීමේ උපක්‍රමයක් ලෙස
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇතිවීමට ඇති
අවකාශ අහුරා දැමීමට ක්‍රියා කිරීම
වෛද්‍යවරුන්ට සහ වෛද්‍ය සිසුන්ට
කිසිසේත් නොසෑහෙන
පහත් මට්ටමේ ප්‍රවණතාවයක්.






20170511

බුදු දහම මිනිසාට එළිය ලබා දෙන මැණිකක් නොවෙයි.


බුදු දහම 
මිනිසාට එළිය ලබා දෙන මැණිකක් නොවෙයි.
පිළිපදින මිනිසායි මැණික.
බුදු දහම කියන්නෙ ඔප දමන ක්‍රමයයි.
ඔබ ඔප දමා ගැනීම ඔබ සතුයි.
බාල ගල් කැටයක් නම්
බුදු දහම සොයන තරමට
ඔබ සීරෙයි, පීඩාවට පත් වෙයි.
ඔබ බුදු දහමට වෛර කරයි.
එවැන්නන් ෆේස් බුක් ජාලයේ ඕන තරම් ඉන්නවා.
ඔබ මැණිකක් වගේ දැඩි නම් 
බුදු දහම සොයන තරමට ඔප වැටෙයි.
ඔබත් බුදු දහමත් අතර සම්බන්ධය අනුව
ඔබ මැණිකක්ද ගල් කැටයක්ද යන්න
පැහැදිලි වෙනවා.

 ========================================


තමා දීපයක් කොට වෙසෙන්න.


තමා සරණයි, අන් සරණක් නැත.


ධර්මය දීපයයි, ධර්මය සරණයි.


අන් සරණක් නැත.


කෙසේද මහණෙනි
තමා දීපයක් කොට වෙසෙන්නේ?
තමා සරණයි, අන් සරණක් නැත්තේ,?
ධර්මය දීපයයි, ධර්මය සරණ වන්නේ?

මහණෙනි, යම් මහණෙක්,
1, කයෙහි කය අනුව දකිමින් වෙසෙයි,
වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව වෙසෙයි,
2, වේදනා වල වේදනා අනුව දකිමින්,
වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව වෙසෙයි,
3, සිතෙහි සිත අනුව දකිමින්,
වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව වෙසෙයි,
4, දහම්හි දහම් අනුව දකිමින්
වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව වෙසෙයි,

මහණෙනි එසේ
තමා දීපයක් කොට වෙසෙන්න.
තමා සරණයි, අන් සරණක් නැත.
ධර්මය දීපයයි, ධර්මය සරණයි.
අන් සරණක් නැත

http://tipitaka.org/sinh/cscd/s0103m.mul2.xml
දීඝනිකායේ චක්‌කවත්‌තිසුත්‌තං

-----------------------------------------------------------------------
=====================================================================

අත්‌තදීපා විහරථ
=තමා දීපයක් කොට වෙසෙන්න.
අත්‌තසරණා අනඤ්‌ඤසරණා,
=තමා සරණයි, අන් සරණක් නැත.
ධම්‌මදීපා ධම්‌මසරණා
=ධර්මය දීපයයි, ධර්මය සරණයි.
අනඤ්‌ඤසරණා.
=අන් සරණක් නැත

කථඤ්‌ච පන, භික්‌ඛවෙ, භික්‌ඛු අත්‌තදීපො විහරති
=කෙසේද මහණෙනි තමා දීපයක් කොට වෙසෙන්නේ?
අත්‌තසරණො අනඤ්‌ඤසරණො,
=තමා සරණ, අන් සරණක් නැත්තේ,?
ධම්‌මදීපො ධම්‌මසරණො අනඤ්‌ඤසරණො?
=ධර්මය දීපය, ධර්මය සරණ වන්නේ?

ඉධ භික්‌ඛවෙ, භික්‌ඛු
=මහණෙනි, යම් මහණෙක්,
කායෙ කායානුපස්‌සී විහරති,
=කයෙහි කය අනුව දකිමින් වෙසෙයි,
ආතාපී සම්‌පජානො සතිමා
=වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
විනෙය්‍ය ලොකෙ අභිජ්‌ඣාදොමනස්‌සං,
=පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
වෙදනාසු වෙදනානුපස්‌සී විහරති
=[කයෙහි වෙනස් වීම්]
=වේදනා වල වේදනා අනුව දකිමින් වෙසෙයි,
ආතාපී සම්‌පජානො සතිමා
=වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
විනෙය්‍ය ලොකෙ අභිජ්‌ඣාදොමනස්‌සං,
=පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
චිත්‌තෙ චිත්‌තානුපස්‌සී විහරති
=සිතෙහි සිත අනුව දකිමින් වෙසෙයි,
ආතාපී සම්‌පජානො සතිමා
=වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
විනෙය්‍ය ලොකෙ අභිජ්‌ඣාදොමනස්‌සං,
=පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
ධම්‌මෙසු ධම්‌මානුපස්‌සී විහරති
=[සිතෙහි වෙනස්වීම්]
=දහම්හි දහම් අනුව දකිමින් වෙසෙයි,
ආතාපී සම්‌පජානො සතිමා
=වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
විනෙය්‍ය ලොකෙ අභිජ්‌ඣාදොමනස්‌සං,
=පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
එවං ඛො, භික්‌ඛවෙ, භික්‌ඛු

මහණෙනි එසේ
=අත්‌තදීපො විහරති
තමා දීපයක් කොට වෙසෙන්නේය.
=අත්‌තසරණො අනඤ්‌ඤසරණො,
තමා සරණයි, අන් සරණක් නැත.
ධම්‌මදීපො ධම්‌මසරණො
=ධර්මය දීපයයි, ධර්මය සරණයි.
අනඤ්‌ඤසරණො.
=අන් සරණක් නැත.

20170510

ආර්ය ශ්‍රාවක තෙමේ කායික වූ එක් වේදනාවක් විඳියි. චෙතසික වේදනාව නො විඳියි. .

ළදරු වියේ සිටම
සැපටම හුරුවූ සැපම සොයන කෝමල සියුමැලි චරිතවලට
කය පිළිබඳව අවසිහියෙන්, මෝහයෙන් පසුවීම ආනන්දයකි,
නිවන සුවදායක ෆැන්ටසියක් ලෙස සිතන ඔවුන්ට
සිත ශූන්‍ය කරගෙන ලබන මෝහය
ඔවුන් සිතන පතන නිවන බඳු සුවයකි.

සැබෑ නිවන තුළ අමුතු සුවයක් නැත.
නිවන තුළ ඇත්තේ
දුකට පත්වෙන පුහුදුන් තැනැත්තා විඳින
මානසික දුක නැතිවීම පමණි.
--------------------------------------------

පින්වත් සාරිපුත්‍රයෙනි,
නිවන සැපයි, සුවදායකයි යයි ඔබ කියයි,
විඳින්න කෙනෙක් නැති නිවනේ කවර සැපයක්ද සුවයක්ද?
“උපාලි, විඳින්න කෙනෙක් නොමැති වීමමයි එහි ඇති සැපය,
විඳින්න කෙනෙක් නැති වීමමයි එහි ඇති සුවය..”
සංයුක්ත නිකාය නිබ්බානාසුඛ සූත්‍රය
------------------
මාර්ග ඵල ලාභියා පැය විසි හතර
තුළමත්
විදසුන් වඩ
න්නා විදසුන් වඩන මොහොතත් තුළ
සිදු වෙන දේ සිහියෙන් දකින නිසා මෝහයත්
ප්‍රිය අප්‍රිය භාවයෙන් නොබැඳෙන නිසා
රාග ද්වේශත් ඇති නොවන හෙයින්
විඳින්නෙකු නැත.

===================================
මහණෙනි,
ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවක තෙමේ
දුක් වේදනාවෙන් පහස්නා ලද්දේ ම ශෝක නො කරයි.
ක්ලාන්ත නො වෙයි. නො වැල පෙයි.
ළෙහි පැහැර නො හඬයි. මුළාවට නො පැමිණෙයි.
හේ කායික වූ එක් වේදනාවක් විඳියි.
චෙතසික වේදනාව නො විඳියි. .

සල්ල සූත්‍රය

මේ සනාතන දහම පැහැදිලි වෙන
මගේ ප්‍රායෝගික අත්දැකීමක්
අද 2017 වෙසක් පුන් පොහෝ දින
මට යළිත් සිහි වූයේ
ඒ සීදුවීමට අදාළ සංස්කාර
අද මගේ ඇඟිල්ලේ මතු වූ
වේදනා ලෙස දැනෙන්නට වූ බැවිනි.

මේ සංස්කාර
මෙසේ මතු වී නැසී නොගිය හොත්
තවත් ජීවිතයකට යන්නට අවකාශ ඇත.
ඒ ජීවිතයේදී
අද මට තියන අවබෝධය එදාට නොතිබුණොත්
මම මේ වේදනාව රෝගයක් ලෙස සලකා
ප්‍රතිකාර සොයන්නට ඉඩ ඇත.

අද මගේ ඇඟිල්ලේ මතු වූ වේදනාවේ
අතීත කතාව මින් දැක්වෙයි.

Dhamma Khetta, Hyderabad - 500 070, Telangana, India
1990 දශකයේ මැදභාගයේදී
ඉන්දියාවෙ තෙලඟානා ප්‍රාන්තයේ හයිද්‍රාබාද් නුවර
ධම්ම ඛෙත්ත විපස්සනා මධ්‍යස්ථානයේ
විපස්සනා පාඨ මාලාවකට පසුව
ජීවන් නම් ආයතන සේවකයෙක්
මා නගරය වෙත ඇරලවීමට
ඔහුගේ ස්කූටරයේ නංවාගෙන
මේ ගේට්ටුව අසලට පැමිණියා.

මේ රූපයෙ දැක්වෙන
යකඩ ගේට්ටුව මා අරිනකොට
අසල නතර කරගෙන තිබුණ ස්කූටරය
ජීවන් පසු පසට ගැනීමට යාමෙදි
අත්වැරදීමකින් ඉදිරියට පැනලා
ගේට්ටුව නැවත වැහුණා.

මගේ මහපටැඟිල්ල
ඒ ගේට්ටු පළු දෙකට අහුවුණා.

එක් වරම අත ගසා දැමුණා.

ඊළඟ මොහොතෙහි මම
අත දෙසත් වේදනාවත් බැලුවා.
මහපටැඟිල්ලෙ උඩ පුරුක
දෙපලකින් පැලී ලේ ආවා.
අදටත් නිය පොත්තේ ඒ වෙනස තියනවා.

මහපටැඟිල්ලත් දබරැඟිල්ලත්
ඇඟිළි දෙකේ දැඩි වේදනාවක් දැනුනා.
අනික් ඇඟිළි තුනේ වේදනාව අඩුයි.

මෑත දිනක මට හමු වූ වෛද්‍ය ශිෂ්‍යයෙකුට
මා මේ අත්දැකීම කිව්වාම ඔහු කිව්වේ
මහපටැඟිල්ල සහ දබරැඟිල්ල එක් ස්නායුවකටත්
අනික් ඇඟිලි තුන වෙනත් ස්නායුවකටත්
සම්බන්ධ බවයි.

වේදනාව පිළිබඳව සිහියෙන්
මම ඒ වෙනස හඳුනා ගත්තේ
මගේ සිතේ උපෙක්ෂාව තිබුණ නිසයි.
මගේ හිතේ ද්වේශය තිබුණා නම්
උරහිස දක්වා මුළු අතම වේදනාවක්.
ද්වේශය තිබුණා නම්
මා යම් ද්වේශ සහගත ප්‍රතිචාරයක්
ජීවන්ට දක්වන්න තිබුණා.

ඒ වේදනාවට උපෙක්ෂාවෙන්
මම සන්සුන්ව ස්කූටරයට නැග්ගා.
ස්කූටරය පැදවූ ජීවන්
ඒ සිද්ධිය සාමාන්‍ය දෙයක් ලෙස භාර ගත්තා.
මමත් ඔහුට කිසිවක් කීවේ නෑ.

පසුදා උදේ දහය පමණ වනතුරු
වේදනාව තදින්ම තිබුණා.
මුළු කාලය පුරාම
හැකි හැම අවස්ථාවකම
මා වේදනාව පිළිබඳව සිහියෙන්
වේදනාවට උපේක්ෂාවෙන් විසුවා.

ඇඟිල්ල පුපුරා ලේ ගලා තිබුණා.
ඇඟිල්ල ඉදිමී කලු වී තිබුණා.
මා කිසිදු ප්‍රතිකාරයක් කළේ නෑ.
ඇඟිල්ල සුව වෙන තුරුම
විශබීජ වලින් ආරක්ෂාව,
වියලී කැටි ගැසුණ ලේ ටික පමණයි.
කබොල්ලක් වී වියළෙන තුරුම
කැටි ගැසුණ ලේ නොතෙමා ආරක්ෂා කළා.
ඉදිමුම කෙමෙන් අඩු වී
ඇඟිල්ල සාමාන්‍ය තත්වයට පත් වුණා.
මසකට පමණ පසු මහපටැඟිල්ල සුව වුණා.
මා කිසිදු ප්‍රතිකාරයක් කළේ නෑ.

මේ මොහොතෙත් ඒ අතට  සිහිය යොමු කරන විට
ඒ ඇඟිලි දෙකේ වේදනා මතු වෙනවා.
ඒ අත්දැකීමෙන් එකතු වූ ද්වේශ සංස්කාර
තවමත් තියනවා.

වේදනා ඇඟිලි වල දැණුනත්
මේ දැනෙන වේදනාවලට හේතුවෙන
ද්වේශ සංස්කාර තැන්පත්ව ඇත්තේ
ස්නායු පද්ධතියේ හෝ මොළයේ විය හැකියි.

අදටත් කලින් කලට
සිත හොඳින් තැන්පත්වූ අවස්ථාවන්හි
එදා මා සිහියෙන් නොදැක
විඥාණයෙහි තැන්පත්වූ ද්වේශ සංඛාර
ඇඟිල්ල කීරි ගැහෙන
සියුම් වේදනාවක් ලෙස මතු වී
නිරුද්ධ වෙනවා.
උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති.

මගේ අත කැපුවත් වරින් වර
මේ සංස්කාර මතුවීම මට දැනෙන්න පුලුවන්.

හදිසි අනතුරු වලට ලක් වී අතපය කපන්නට හේතු වෙන අයගේ
කැපූ කොටසේ වේදනා දැනීම වාර්තා වෙන සංසිද්ධියක්.

Phantom Limb නමින් හැඳින් වෙන
මේ සංසිද්ධිය පිළිබඳව
බටහිර වෛද්‍ය විද්‍යාවේ නිශ්චිත පැහැදිලි කිරීමක් නෑ.
ඒ පිළිබඳව දැක්වෙන එක් අදහසක් නම්
කැපුණ තැන ඇති ස්නායු අග්‍ර
උත්තේජනය වීමයි.

බුදු දහමට අනුව
අපේ ඇස, කණ නාසය, දිව,
කය සහ මනස යන ආයතන හයේ
ස්පර්ශ වෙන දෙයක් නිසා වේදනා ඇති වෙනවා.

ඵස්ස පච්චයා වේදනා.

වේදනාව සුඛ, දුක්ඛ හෝ
අදුක්ඛමාසුඛ ලෙස හැඳින් වෙනවා.
මේ වේදනා නිසා අදාළ සංස්කාර
රාග, ද්වේශ, මෝහ ලෙස ඇති වෙනවා.

වේදනා පච්චයා තණ්හා

මේ වේදනා පිළිබඳව
සිහියෙන් උපේක්ෂාවෙන් වෙසෙමින් පහ කිරීම
නිස්සරණය නොදැක
සුව වේදනාව රාගයෙන් විඳින්නහුට රාගානුසය වේ

වේදනාව නොදන්නා නිස්සරණය නොදක්නා
දුක් වේදනාව විඳින්නහුට පටිඝානුසය වේ.

තථාගතයන් වහන්සේ විසින් ශාන්තය යි වදාළ
නොදුක් නොසුව වේදනාව ද පතන්නේ
දුකෙන් නොමැ මිදෙයි.

නිවන ලෙස අද බොහෝ දෙනෙක් සිතන්නේ
තථාගතයන් වහන්සේ විසින් ශාන්තය යි වදාළ
නොදුක් නොසුව වේදනාව වන මෝහානුසයයි.

මේ සංස්කාර විඥාණයෙහි එක් රැස් වෙනවා.
විටින් විට මතු වෙනවා.

බුදු දහමේ හැඳින් වෙන්නේ සංස්කාර ඉපදීම ලෙසයි

අනිච්චාවත සංඛාරා
සංස්කාර වෙනස් වෙන සුළුයි.
උප්පාද වය ධම්මිනෝ
ඉපදීම සහ වැය වීම ධර්මතාවයයි
උප්පජිත්වා නිරුජ්ඣන්ති
ඉපදුණොත් නිරුද්ධ වෙයි.

මෙසේ උපදින සංස්කාර
හැඟීම් සහ සිතුවිලි වලට
පාදක වෙනවා.
සංස්කාර වේදනා මට්ටමෙන් දකින විට
ඒ සංස්කාරයට අදාළ අනුසය කෙලෙස් නැසෙනවා.

විදසුන් වඩන්නා විසින්
සුවවේදනාවෙන් රාගානුසයය පහකටයුතු ය.
දුක්වේදනාවෙන් පටිඝානුසයය පහකටයුතු ය.
නොදුක් නොසුව වේදනාවෙන් අවිජ්ජානුසයය පහකටයුතු යි

පහාන සූත්‍රයෙහි
බුදුන් වහන්සේ මෙසේ පවසති.
''වේදනා තුනෙකි.
සුව වේදනා ය,
දුක් වේදනා ය,
නොදුක් නොසුව වේදනා යි.''
[[[ වේදනානුපස්සනාව ]]]

සුවවේදනාවෙන් රාගානුසයය පහකටයුතු ය.
දුක්වේදනාවෙන් පටිඝානුසයය පහකටයුතු ය.
නොදුක් නොසුව වේදනාවෙන් අවිජ්ජානුසයය පහකටයුතු යි.

යම් කලෙක මහණහට
සුවවේදනාවෙන් රාගනුසයය ප්‍රහීණ වූයේ වේ ද
දුක්වේදනාවෙන් පටිඝානුසයය ප්‍රහීණ වුයේ වේ ද
නොදුක් නොසුව වේදනාවෙන් අවිජ්ජානුසයය ප්‍රහීණ වූයේ වේ ද
පහ වූ රාගානුසයය ඇති මේ මහණ තෘෂ්ණාව සිඳදැම්මේ ය.
සංයොජන මුලිනුපුටා හළේ ය.
මැනවින් මනාවබොධයෙන් දුක් කෙළවර කෙළේ යයි කියනු ලැබේ.

වේදනාව නොදන්නා නිස්සරණය නොදක්නා
සුව වේදනාව විඳින්නහුට රාගානුසය වේ.

වේදනාව නොදන්නා නිස්සරණය නොදක්නා
දුක් වේදනාව විඳින්නහුට පටිඝානුසය වේ.

තථාගතයන් වහන්සේ විසින් ශාන්තය යි වදාළ
නොදුක් නොසුව වේදනාව ද පතන්නේ
දුකෙන් නොමැ මිදෙයි.

යම් හෙයකින් කෙලෙස් තවන වෙර ඇති මහණ
සති සම්පජන්‍යය අත් නොහැර වඩාද,
එහෙයින් ඒ පණඩිත තෙමේ සියලු වේදනා පිරිසිඳ දනී.

හෙතෙමේ වේදනා පිරිසිඳ දැන
කෙලෙස් රහිත වූයේ නිවනට පැමිණියේ දහම්හි පිහිටියේ
මරණින් මතු පැනවීමකට නො පැමිණේ.
----පහාන සූත්‍රය

අනුසය කෙලෙස් නැසෙන විට
සත්වයා විශුද්ධියට පත් වෙනවා.
සෝක පරිදේව ඉක්මවා යනවා.
දුක් දොම්නස් අස්තංගත වෙනවා.
දැනීම, සංවේදී බව ඉහළ යනවා.
නිවන සාක්ෂාත් වන්නටත් හේතු වෙන්නේ
සංස්කාර ඉපදී නැසී යාමයි.

විපස්සනා
සැබෑ ජීවිතයෙ අත්දැකීම් වලදි
දුකෙන් මිදෙන්න උපකාර වෙන්නෙ
ඒ ආකාරයටයි..

එදා ඒ අත්දැකීම නිසා
මම කායිකව දුක් වින්දා පමණයි.
මානසිකව දුක් වින්දේ නෑ.

වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,

පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
වේදනා වල වේදනා අනුව දකිමින් වෙසෙයි.
.

මොහොතෙන් මොහොතට සිහිය පිහිටුවාගෙන
සිදුවෙන කිසිවකින් නොකැළඹී,
සියල්ලටම අනිශ්‍රිතව,
ඒ වෙනස්කම් කිසිවක් අල්ලාගැනීමෙන් තොරව
උපේක්ෂාවෙන් විසීම විපස්සනාවයි.
සම්මා සතියයි, සතර සතිපට්ඨානයයි.
බුදු දහමෙහි සඳහන් නිවන් මාර්ගයයි.


 =================================
මහණෙනි,
ශ්‍රැතවත්
ආර්ය ශ්‍රාවක තෙමේ
දුක් වේදනාවෙන් පහස්නා ලද්දේ ම ශෝක නො කරයි.
ක්ලාන්ත නො වෙයි. නො වැල පෙයි.
ළෙහි පැහැර නො හඬයි. මුළාවට නො පැමිණෙයි.
හේ කායික වූ එක් වේදනාවක් විඳියි.
චෙතසික වේදනාව නො විඳියි. .

සල්ල සූත්‍ර


"අවුරුදු 03 ක් විතර තන කිරි විතරමයි" දරුවන් 15 දෙනෙකුගේ අම්මා




   " මම මේ සෑම දරුවෙකුටම අවුරුදු 03 ක් විතර තන කිරි විතරමයි දුන්නේ. දරුවෝ හොඳට මව් කිරි බිව්වා. ඒ කාලේ අපි කන්නේ කුරහන් තලප, දඩ මස් හොඳියි, මුං ඇට ආණමයි.

ඒ කෑම නිතරම ගෙදර වේල් දෙකක් කනවා. ඉතිං ඒවා කෑවම මට හොඳට කිරි එරෙනවා. අපි තලප කාල නිකං ඉන්නෙ නැහැ. කැත්තෙ උදැල්ලේ වැඩ කරනකොට අපේ ඇඟට පුදුම ශක්තියක් එනවා. කුරහන් ගලේ දාලා කුරහන් අඹරනවා. මේ වැඩ කරනකොට හිතට මහා හයියක් එනවා."

 '''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''

දරුවන් 15 දෙනෙක් දැයට දායාද කර අදටත් සනීපෙන් ඉන්න අම්මයි, තාත්තයි කීව කතාව.



හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉතාම දුෂ්කර ගම්මානයක් වූ උඩමත්තල ගම්මානයට සිය විවාහයෙන් පසු පදිංචියට ආ රාජපක්ෂ ගුණසේකර පේමාවතී මාතාව දරුවන් 15 දෙනෙකු මෙලොවට දායාද කළ උත්තම මාතාවක් ලෙස හැඳින්විය හැක. 1942.10.26 දින තණමල්විල පෑවූවැව ගම්මානයේ උපත ලබා ඇති පේමාවතී අම්මා දැනට 75 වියේ පසුවන අතර, කිසිදු රෝගී තත්ත්වයක් නොමැතිව නීරෝගීව වෙසීම වාසනාවට කරුණකි.
හොඳින් ඇවිදින, හොඳින් කන් ඇසෙන, හොඳින් ඇස් පෙනෙන නිරෝගීභාවය අම්මාට උපතින්ම දයාද වී ඇත. පේමාවතී අම්මා පවසන පරිදි වයස අවුරුදු 14දී උඩමත්තල සුප්‍රසිද්ධ ගල්වැව ගම්භාරයා වන සිං ආරච්චිගේ අමරජීව තරුණයා සමඟ විවාහ ගිවිස ගන්නා අතර, දැනට විවාහ දිවියේ 60 වන සංවත්සරයද පසුකර තිබේ. එදා මෙදා කාලය තුළ මේ දෙදෙනා ඉතාමත්ම සතුටින් ජීවිතය ජයගැනීමට කටයුතු කිරීම අද පරම්පරාවේ අයටද හොඳ ආදර්ශයකි.
තමන් දරුවන් 15 දෙනෙකුගේ දයාබර මෑණියන් කෙනෙකු වන අතර, පුතාලා 8 දෙනෙක් සහ දූවරු 7 දෙනෙක් මෙලොවට බිහිකළ බව පවසනුයේ දැඩි සතුටකිනි. තමන් පළමු දරුවා මෙලොවට බිහි කරද්දී වයස අවුරුදු 15 ක් තරම් වයසේ පසුවූ බවත්, පහළොස්වෙනි දරුවා 45 වන වයසේදී බිහි කළ බවත් පේමාවතී මාතාව පවසයි.
දැනටත් තම ස්වාමියා සමග එදා මෙන්ම සෙනෙහසින් ආදරෙන් දිවි ගෙවීම මෙම දෙමහල්ලන් ලද වාසනාවකි. මේ වන විට ගල්වැව ගම්භාරයා වන පේමාවතීගේ ස්වාමිපුරුෂයා 77 වියේ පසුවන්නෙකි. පේමාවතීගේ ස්වාමිපුරුෂයා වන ගල්වැව ගම්භාරයා හට එදා අතීතයේ එළහරක් මීහරක් බාන් සියගණනක් සිට ඇත.
හම්බන්තොට වැනි ප්‍රදේශවල ඒ කාලයේ ගව සම්පත් තිබෙන පුද්ගලයන් හට විශාල ලෙස මුදල් තිබී ඇත. ඒ අය සමාජයේ විශේෂ පැලැන්තියක සල්ලිකාර පුද්ගලයන් ලෙසට හඳුන්වා දී තිබුණේ ගම්භාරයන් යන නමිනි. පේමාවතීගේ මාතාවගේ ස්වාමියා එලෙස මහා ගම්භාරයෙක් වන විට මෙම අම්මා දරුමල්ලන්ද හදා වඩාගෙන කුඹුරු හේන්පිටිවලද වැඩ කරමින් කාලය ගතකර තිබේ.
දරුවන් 15 දෙනෙකු ජනිත කරවීම සම්බන්ධයෙන් වූ අදහස් අත්දැකීම් අද මෙලෙස පැවසුවාය. “එදා අපි දරුවො බිහිකළේ අපේ ගෙදරදීමයි. මගේ ගම්භාර දෙයියාගේ අම්මා, මගේ නැන්දම්මා තමයි වින්නඹුකම කළේ. ඒ නිසා දරුවන් ලැබෙනකොට ඉස්පිරිතාලෙ ගියේ නැහැ. මම මේ සෑම දරුවෙකුටම අවුරුදු 03 ක් විතර තන කිරි විතරමයි දුන්නේ. දරුවෝ හොඳට මව් කිරි බිව්වා. ඒ කාලේ අපි කන්නේ කුරහන් තලප, දඩ මස් හොඳියි, මුං ඇට ආණමයි.
ඒ කෑම නිතරම ගෙදර වේල් දෙකක් කනවා. ඉතිං ඒවා කෑවම මට හොඳට කිරි එරෙනවා. අපි තලප කාල නිකං ඉන්නෙ නැහැ. කැත්තෙ උදැල්ලේ වැඩ කරනකොට අපේ ඇඟට පුදුම ශක්තියක් එනවා. කුරහන් ගලේ දාලා කුරහන් අඹරනවා. මේ වැඩ කරනකොට හිතට මහා හයියක් එනවා.
දරුවන් වෙනුවෙන් තන කිරි නිතරම වැගිරෙනවා. ඒ බලය ශක්තිය තමයි මේ දරුවන් හදන්න අපිට ශක්තියක් වුණේ. ඒ කාලේ ගෝන මස් වේලලා කෑලි කපලා මී පැණි වල පොඟවාගෙන අපි නිතරම කනවා. කැලේ කටුබටු, වෙද බටු, කටු අල අපේ කෑමවලට වරදින්නෙම නැහැ.
කුරක්කන් තලප සමගින් ජිවුල් හොඳි
මලක්කා ගසන මුවකොටුවන්ගේ හොඳි
බිබික්කං කැවුම් මී පැණියෙන්ම සැදි
කැමැත්තෙන්ම කතහැකි උඩමත්තලදී……….
යලට මෙදෙරි මාහට කුරක්කන්
වෙලට බැස විට හිඳ බතුත් කන්
පිනට පහල වුනු මී පැණි බිබික්කන්
අපට මොකද වුණෙ අහරන් අනෙක්කන්………
අපි දරුවන්ට ඒ කාලේ බිත්තර දුන්නෙ නැහැ. පුළුවන් කාලේ එනකොට
දරුවන්ට බත් දුන්නා. දරුවෝ කුරහන් කලප කෑවා. මේවා කාල තමයි උන් ලොකු මහත් වුණේ. අපේ දරුවො ජීවිතේටම ලැක්ටෝජන් පිටි, චීස්, සොසේජස් කෑලි කාල නැහැ. අපිට ඕනතරම් එදා කොස්, පොළොස්, බත්, මේනේරි බත් තිබුණා. ඒවා තමයි දරුවො කෑවේ. අපිට එදා වාහන බස් තිබුණෙ නැහැ. දරුවන්ට ලෙඩක් හැදුණම හැතැප්ම පහක් විතර පයින් එනවා ලුණුගම්වෙහෙර ඉස්පිරිතාලෙට බෙහෙත් ගන්න.
මගේ දරුවො තුන් දෙනෙක් මේ වන විට මිය ගියා. එයින් එක් දරුවෙක් යුද හමුදාවෙ ඉන්නකොට යුද්දෙදි මිය ගියා. මම ගොඩාක් ආඩම්බර වෙනවා යුද්දෙ නතර කරන්න රට ජාතිය වෙනුවෙන් මගේ දරුවෙක් දිවි පිදීම සම්බන්ධව. රට වටේම මගේ දරුවො දැන් පදිංචි වෙලා ඉන්නවා. කොළඹ, ගාල්ල, අකුරැස්ස, හම්බන්තොට වැනි ප්‍රදේශවල දරුවො පදිංචිවෙලා ඉන්නවා. මේ සෑම කෙනෙක්ම නිතරම වගේ අපිව බලන්න එනවා. මට දරු මුණුබුරෝ 24 දෙනෙක් දැනට ඉන්නවා.
දැන්නම් මේ ගම්මාන දියුණුයි. එදා අතීතයේ අපි ගොඩාක් දුක් ගැහැට විඳලා තමයි මේ දරුවො හදාගත්තේ. අපි එදා හිටියෙ මහ ඝන වනාන්තර ප්‍රදේශවල. අද ඒ තත්ත්වය නැහැ. ඒත් අද තියෙන ප්‍රශ්න හින්දා අපේ දරුවන්ගේ පවුල්වල දරුවො ඉන්නේ එකා දෙන්නා විතරයි. එදා වගේ දරුවො හදන්න මේ අයට බැහැ. ඒ තරමටම අද කාලෙ වෙනස් වෙලා. මම කියන්නේ හදන එක දරුවට වුණත් හොඳට මව්කිරි අවුරුදු තුනක්වත් බොන්න දෙන්න. එතකොට නිරෝගී දරුවෙක් රටට දයාද වෙයි” පේමාවතී අම්මාගේ සෙනෙහෙබර ප්‍රාර්ථනාව එයයි.
රුක්මන් රත්නායක
උපුටා ගැනීම :අද.