Photo by Ramila Bandara |
අපේ ගමේ පන්සලේ
ඉස්සර හිටිය ලොකු හාමුදුරුවො
පූජ්‍ය වැලිවිටියේ සරණතිස්ස ස්වාමීන් වහන්සේ
මතක් වෙනවා මට.
ඒ හාමුදුරුවො කුඹුරක් මැද
දූපතක තිබුණ පන්සල
පොඩි ලෑලි ගේක ඉඳන් දියුණු කළා..
ලොකු ධර්ම ශාලාවක්..
වටේටම අඩි 30ක් විතර උස තාප්පයක් එක්ක
උඩ මලුවක බෝධියත්, වෙහෙරත්
අංග සම්පූර්ණ ලස්සණ බුදුගේ...
මේ සියල්ලම කළත්
අපවත් වෙනතුරුත්
උන්වහන්සෙ ජීවත් වුණේ
අර ලෑලි ගෙයිම තමයි.
ඒ හාමුදුරුවො පුංචි කාලෙ
ඒ හාමුදුරුවන්ගෙ අම්මා
පොඩි හාමුදුරුවො බලන්න
පන්සලට ආවම
ඒ කාලෙ හිටිය ලොකු හාමුදුරුවො
ඒ අම්ම යනකොට තුවායක් දීලා.
ඒක ඒ දවස්වල හාමුදුරුවො
කරන දෙයක්.
අම්මා ආපහු යනකොට
පොඩි හාමුදුරුවො පස්සෙන් දුවගෙන ගිහින්
අම්මගෙන් තුවාය අරගෙන
"අම්මා මාව බලන්න එනව නම් එන්න,
පන්සලෙන් මොකුත් ගන්න බලාගෙන
එන්න එපා"කියල දොස් කියල තියනවා.
තවත් වතාවක
ඒ හාමුදුරුවන්ගෙ ගෙදරට අයිති
ඉඩමක් විකුණලා
හාමුදුරුවන්ගෙ කොටස වශයෙන්
රු. 50ක් උන්වහන්සෙට දීලා.
මේ කියන්නෙ 1950-60 කාලෙ.
උන්වහන්සෙ ඒ නෝට්ටුව
පොතක් ඇතුලෙ දාල අරන් තියලා.
ඒ කාලෙ රු 50-100 නෝට්ටු
අවලංගු කරන කොට
මට මේ කතාව කියපු
ලේකම් මහත්තයට දීල
මාරු කරවගෙනත් තියනවා.
උන්වහන්සෙගෙ අම්මා නැති වුණ වෙලාවෙ
මළගෙදර වියදමට
දීල තියෙන්නෙ ඒ රු. 50.
ඉතින් ඒ හාමුදුරුවො
ගතකළ ජීවිතය අනුව
ලෝකය දිහා බැලුවෙ
පැහැදිලි අභිමානයකින්.
ඒ වගේ "ගැම්මක්"
මේ පොඩි හාමුදුරුවන්ගෙ
ඇස් දෙක දිහා බැලුවම
මට පෙනෙනවා.
අද පවතින සමාජයත්
භික්ෂු සමාජයත් අනුව
මේ ගැම්ම රැකෙන විදියෙ
නික්ලේශී ජීවිතයක්
ගතකරන්න ලැබුණොත්
පෙර පිනක්...