20190524

මෛත්‍රී ඥාණසාර රිෂාද් ප්‍රශ්නය





ජනපති මෛත්‍රී ප්‍රශ්න විසඳන
එක් ආකාරයක් පිළිබඳව
ඥාණසාර හිමි නිදහස් කළ පිළිවෙල
විමසා බැලීමෙන් වටහාගත හැක.

ඥාණසාර හිමි නිදහස් කරගෙන
මුස්ලිම් විරෝධී කඳවුර ශක්තිමත් කිරීම
එම කඳවුරෙන් වාසි ලබාගන්නා
දේශපාලන බලවේගවලට
අත්‍යාවශ්‍යව තිබිණ.

ජනපති සමාව ලබන සිරකරුවන් සමග
ඥාණසාර හිමිද නිදහස් කරන මෙන්
මෙම පාර්ශව ඉල්ලා සිටියේ නිකංම නොවේ.
නිදහස් නොකළහොත් උද්ඝෝෂණ දියත් කරන
තර්ජනාංගුලියද පෙන්වමිනි.

ඔවුන් තුළ බලාපොරොත්තු දෙකක් විය.
එකක් ඒ නිදහස කර ගැනීම
තම පිළේ ජයග්‍රහණයක් මෙන්
හුවා දැක්වීමයි.
අනික නිදහස් නොකළොත් කලබල ඇති කිරීමයි.
නිදහස් කළත් කලබල ඇති විය හැකි බවද
කිසිවෙකුටත් සැකයක් නොවීය.

"මග හිටියත් තෝ නසී
ගෙදර ගියත් තෝ නසී" වර්ගයේ උගුලක
මෛත්‍රී හිර කරන්නට ඔවුන් ක්‍රියා කළහ.

මෛත්‍රී ඥාණසාර හිමි නිදහස් නොකළේය.
එහෙත් ඔහු හමුවීමට සිරගෙදරට ගියේ
වෙනත් අවස්ථාවක් යොදා ගනිමිනි..
දීර්ඝ සාකච්ඡාවකින් පසු
ඔහු සමග ඥාණසාර හිමි එළඹුණ සම්මුතිය
දැන් අපට තේරුම් ගන්නට හැකිය.

1, ඥාණසාර හිමි තමා පිළිගන්නට පැමිණි
හිතවතුන් පිරිස මගහැර පිට වී ගියේ
වෙනත් දොරටුවකිනි.

2, "මට හොදටම මහන්සියි..
බණක් භාවනාවක් කරගෙන පාඩුවේ ඉන්නවා..
මගේ වැඩ කොටස අවසන්..ඥාණසාර හිමි කීවේය.

මේ ඔහුගේ සාමාන්‍ය හැසිරීම හෝ
කතා කරන ශෛලිය නොවේ.

මේ හැසිරීම සහ නිවුණ ආකල්පය
තර්කානුකූලව නුවණින් විමසා බලන විට
මෛත්‍රී විසින් හිර ගෙදරදී ඥාණසාර හිමිට
Godfather වර්ගයේ Refuse කළ නොහැකි
Offer එකක් දෙන්නට ඇතැයි අපට සිතිය හැකිය.

ජනතාව හමුවේ අදහස් ප්‍රකාශ කරමින්
ඒ නිදහස් කිරීම සඳහා ලකුණු දාගන්නටද

 මෛත්‍රී මේ අවස්ථාවේ උත්සාහ නොකළේය.
ඥාණසාර හිමිද නිදහස් කිරීම ගැන
වචනයක් හෝ කීවේද නැත.

ජනපති සමාව ලබන සිරකරුවන් 762
නිදහස් කරන අවස්ථාවේ
වැලිකඩ බන්ධනාගාරයේ පැවැති උත්සවය අමතමින්
ඥාණසාර හිමිට කියන්නට ඇති දේ මෛත්‍රී කීවේය.

"ඔබට නිදහස දුන් පසු සමාජයට ගොස්
ඔබ වැරදි ආකාරයෙන් හැසුරුණොත්
තිත්ත කුණුහරුපෙන් බැණුම් අහන්න වෙන්නේ මටයි."

ජනපති කෙනෙක්
රැඳවියන් නිදහස් කිරීමකට එක්වූ
පළමු අවස්ථාව මෙය වන අතර,
ජනපති කෙනෙක් බන්ධනාගාර භූමියට ගොස්
නිදහස ලබන රැඳවියන් ආමන්ත‍්‍රණය කළ
පළමු අවස්ථාව ද මෙය යි.
බන්ධනාගාර රැඳවියන්ගේ හඬට ඇහුම්කන් දීමට ද
ඔවුන්ට ජීවිතය යහමගට ගන්නට අවශ්‍ය
සහාය ලබාදීමට පොරොන්දුවන්නටද
ජනපති මෛත්‍රී මෙහිදී කටයුතු කළේය.

ඥාණසාර හිමි නිදහස් කරමින් කලයුතු වූ
වැදගත්ම ප්රකාශය එදින ඔහු කළේය.

"ඔබට නිදහස දුන් පසු සමාජයට ගොස්
ඔබ වැරදි ආකාරයෙන් හැසුරුණොත්
තිත්ත කුණුහරුපෙන් බැණුම් අහන්න වෙන්නේ මටයි."

මේ ප්‍රකාශය ඇසෙනවිටම
ජනපති සමාවෙන් ඥාණසාර හිමි නිදහස් කරන්නට
මෛත්‍රී සැරසෙන බව නුවණින් සිතන අයට පැහැදිළි විය.

සිර ගෙදරදීම ඥාණසාර හිමි හමුවී
දීර්ඝ සාකච්ඡාවක යෙදීමට
ජනපති මෛත්‍රී ක්‍රියා කිරීම මගින් සිදුවූයේ
එම අනුමානය තව දුරටත් තහවුරු වීමකි.

රිෂාද්ගේ විශ්වාස භංගයද අමුණා ඇත්තේ
ජනපති මෛත්‍රී හිරකරන්නට බව අපට පෙනෙයි.
චෝදනා ගොනුකොට උසාවි යන්නට ක්‍රියා නොකොට
හොරමුළක් සිත්සේ රඟන පාර්ලිමේන්තුවට
සවිමත් පදනමක් නැති විශ්වාසභංගයක් දමා
බෝලය එහාට මෙහාට පාස් කරමින් කල් මරන්නට
රිෂාද්ගේ ව්‍යාජ පස මිතුරන් ක්‍රියා කරද්දී
රිෂාද් කියන්නේ කුමක්ද?

"ජනපති කිව්වොත් මම ඉවත් වෙනවා."
සාලි මෙන්ම හිස්බුල්ලාද
එම ප්‍රකාශය කළහ.
පන්දුව මෛත්‍රීට එල්ල වී ඇත.
මෛත්‍රී ඔහු ඉවත් කරන්නේ නැත්තේ ඇයි.?

පන්දුවට පහර දෙන්නට ගොස්
දැවී යාමේ අවදානමට
මුහුණ දෙනවාද, නැත්නම්
පන්දුව නිදැල්ලේ යන්නට දෙනවාද?

දැන් වගකීම මෛත්‍රී අතේ බව ලොවට පෙනෙයි.
රිෂාද් අස් නොකළොත් සිංහල ජනතාවද
අස්කළොත් මුස්ලිම් ජනතාවද කිපී
මෛත්‍රී ප්‍රතික්ෂේප කරනු ඇතැයි
උගුල සැලසුම් කළ පිරිස සිතනු ඇත.

"මග හිටියත් තෝ නසී
ගෙදර ගියත් තෝ නසී" වර්ගයේ උගුලක
මෛත්‍රී හිර කරන්නට ඔවුන් සමත් වී ඇත..

මේ අවස්ථාවේ පඹයාට ඇඳ
කිසිවක් නොකර සිටීම එක් විකල්පයකි.
මෛත්‍රීට විරුද්ධ කුලී මාධ්‍යකරුවන්
මෛත්‍රී කිසිවක් නොකරන පඹයෙක් යැයි කියමින්
ලොව හමුවේ සිතුවම් කර ඇති
සුපතළ ප්‍රතිරූපය භාවිතා කරමින්
ඔහුට නිහඬ විය හැක.
එසේ සිටීමෙන් නැතිවන දෙයක්ද නැත.

මෛත්‍රී සිංහල ජාතියට හෝ වෙනත් ජාතියකට
පක්ෂපාතී නොවන බව ජනතාව දන්නා කරුණකි.
ඔහු රිෂාද් පිළිබඳව අදහස් දක්වා නැත.
අසාද් සාලි හෝ හිස්බුල්ලා පිළිබඳවද
අදහස් දක්වා නැත.

හොඳ ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙකු මෙන්
ජනතාවට හා පාර්ලිමේන්තුවට තීරණ ගන්නට දී
නිහඬ වීම මෛත්‍රීට මෙන්ම අපටද හොඳය.

අධිකරණය ඉදිරියේ අභියෝගයක් විය හැකි ලෙස
රිෂාද්, සාලි හා හිස්බුල්ලා ඉවත් කිරීමට
ජනපතිගේ තනි තීරණයට භාවිතා නොවිය යුතුය.
එම තීරණය ගැනීමට
ජනතාව හෝ පාර්ලිමේන්තුව
ඉදිරිපත්විය යුතුය.

ඇඟට පතට නොදැනෙන ආකාරයෙන්
ඥාණසාර ප්‍රශ්නය සාර්ථක ලෙස විසඳූ අයුරින්ම
රිෂාද්, සාලි, හිස්බුල්ලා ප්‍රශ්නයද විසඳන්නට
මෛත්‍රී ගන්නා ක්‍රියාමාර්ගය කුමක්දැයි
විමසිල්ලෙන් බලා සිටිමු.