20140721

ඔබ ඔබ නොවෙයි.



බුදු දහමෙ අනත්ත ලක්ෂණය අනුව
මා බැසගත් නිගමනයක් මම ඔබට කියන්නම්. 

මේ ටික අහල
ඔබ හැඟීම්බර වෙන්න පුලුවන්.
ආවේගශීලී වෙන්න පුලුවන්.

ඒත් එහෙම වෙන්නෙ
ඔබේ වරදකින් නම් නොවෙයි.
කැමති නම් මට දොස් පවරන්න.
මා කියන දේ පිළිගන්න එපා.
මොහොතින් මොහොතට
ඔබ දෙස බලන්න.

ඔබේ මීළඟ මොහොතෙ
ඔබ කරන දේ නිශ්චිතයි.
ඔබේ ඊළඟ මොහොතත් නිශ්චිතයි.

පටිගත කළ ටෙලිනාට්‍යයක වගේ
මූහොතින් මොහොතට ඔබ කරන
හැම දෙයක්ම නිශ්චිතයි.

ඔබට හිතෙන දේත් ඉබේට වෙන දෙයක්.
කය වෙනස්වීමත් ඉබේට වෙන දෙයක්.

මම මේ ලියන දේ කියවද්දි
ඔබට හිතෙන දේ ඔබ හිතනවා නොවෙයි.
ඔබේ ස්වභාවය අනුව
ඔබට ඉබේටම හිතෙන දෙයක්..

ඒක වෙනස් කරන්න බැහැ.

මේක කියවනකොට
ඔබට තරහක් එනවා නම්
ඔබ ඒ තරහ
උවමනාවෙන් ඇති කරගන්නවා නොවෙයි.

ඝංටාවකට පහරක් වැදුණාම
නාදයක් එනවා වගේ
ඔබේ සිත තුළ මේ වෙලාවෙ සිදු වෙන දේ
මගේ මේ වචන නිසා
ඔබට සිදුවෙන දේයි.
ඒ දේ ඔබ කරනවා නොවෙයි.

ඔබේ මුළු ජීවිතයම
ඔබ මෙසේ ප්‍රතික්‍රියා දක්වමින්
අද ඉන්න තැනට
ඉබේටම ඇවිත් ඉන්නවා.

ඔබ ඊළඟ මොහොතෙ කරන්නෙ
ඔබට කළ හැකි සරලම පහසුම දේ.
සරලම පහසුම දේ දෙකක් නැහැ.

පෙරළෙන බෝලයකට
ඊළඟ මොහොත නිශ්චිතයි.
එකින් එකට හැම මොහොතක්ම නිශ්චිතයි.

ඔබ එක මොහොතක ඉඳලා
ඊළඟ මොහොතට වෙනස්වෙන විදිය
නිශ්චිතයි.

1, 
ඔබට පුලුවනි නම්
කය ඉරියව් වෙනස් කිරීම
නතර කරල බලන්න.

2, 
ඔබට පුලුවනි නම්
සිත සිතන එක
නතර කරල බලන්න.


ඔබේ කයත් සිතත්
ඔබට පාලනයක් නැහැ.
ඔබේ සිතේ පහළවෙන
හැඟීම් සහ සිතුවිලි
ඔබ මොහොතින් මොහොතට වෙනස් කරනවා.
ඔබ සිතන දේ ඔබ කරන දේ
ඔබ දකිනවා.
ඒ නිසාම
ඔබ ඉබේට යන ගමනෙදි
ඔබෙන් සිදුවෙන දේවල්
ඔබ කරන දේවල් කියල හිතනවා.

ඒ සිදුවෙන දේවල් නවත්වන්න හැදුවොත්
ඔබ ඉබේට ක්‍රියාකරන සත්වයෙක් බව
ඔබටම තේරේවි.
තත්පර කිහිපයකට
සිතත් කයත් නවත්වලා බලන්න.