20170528

අස්වාභාවික විදියට ගලන කෘතිම ගංවතුර නවීන යුද අවියක්...

වියට්නාම් යුද සමයේ ඉහළ අහසෙහි
ගුවන් යානා පියාසර කරද්දී
වියට්නාම් යුද සෙබලුන් සිතුවේ
බෝම්බ හෙළන්නට සැරසීමක් ලෙස හෝ
වියට්කොං සැපයුම් මාර්ග වල
ඡායාරූප රැස් කිරීමක් ලෙසයි.

සත්තකින්ම බිය වීමට කරුණක් නොවිණ.
අහස් යානා මගින් තැත් කළේ වැසි වස්සවන්නටය.
එහෙත් ඔවුන් සාර්ථක වූයේ නැත.

උපක්‍රමය ඉතා සරලයි.
වැහි වළාකුළුවලට සිල්වර් අයෝඩයිඩ් ඉසීමෙන්
ඒ අංශු වල ඇති විද්‍යත් ආරෝපන මගින්
වැහි වළාකුළුවල ඇති ඉතා කුඩා වතුර බිඳු
එකට එක්වන්නට සැලැස්වීම ඔවුන්ගේ අරමුණ විය.
අවශ්‍ය තරම් ප්‍රමාණයක් ජල බිඳු රැස් වූ විට
වැසි පතිත වීම සිදු විය හැක.

මද වැසි ඇති වූ නමුදු ඒ වැසි වලින්
සැපයුම් මාර්ග අවහිර වූයේ නැත.

ස්විස් සමාගමක් වන Meteo systems සමාගම
2010දී අබුඩාබි ප්‍රදේශයේහි අහසේ
කෘතිම වර්ෂා 50ක් පමණ ඇති කල බවට
කරන ප්‍රකාශ වලට විද්‍යාඥයන් අතර
සැලකිය යුතු පිළිගැනීමක් නැත.

මේ සමාගම වැස්ස නිර්මාණය කරන්නේ
විශාල කුඩයක් වැනි උපකරණ ජාලයකින්
වායුගෝලයෙහි ඍණකෘත අයන මුදාහරිමින්
ඝනීකෘත ද්‍රව අණු සකස් කරමින්
වළාකුළු නිර්මාණය කිරීමෙනි.
 

මේ ක්‍රමයට කෘතිම වර්ෂා නිර්මාණය
සත්‍ය ලෙසම සිදුවිය හැකි බවට
සමහර විද්‍යාඥයන් පිළිගන්නා නමුදු
මියුනික් සරසවියේ මහාචාර්ය පීටර් වයිල්ඩර්
ඒ මතය ප්‍රතික්ෂේප කරයි.
අයනීකරණයෙන් වැස්ස ඇති කළ හැකි නමුදු
මේ ආකාරයට වැස්ස ඇති කිරීම
විද්‍යාත්මකව කළ හැකියයි නොපිළිගනියි.

මේ පිළිබඳව පිළිගත හැකි දත්ත
ඉදිරිපත් කරන්නට ඔහු අභියෝග කළද
රහස්‍යභාවය රකින Meteo systems සමාගම
එවැනි තොරතුරු හෙළි නොකරයි.

2003 ස්ටොක් හෝම් ජල සම්මානය දිනා ගත්
මියුනික් සරසවියේ මහාචාර්ය පීටර් වයිල්ඩර් පවසන්නේ
අයනීකරණයෙන් කෘතිම වැසි ඇති කිරීමට
දශක ගණනාවක් තිස්සේම ලෝකය කටයුතු කළ බවයි.

අයනීකරණ තාක්ෂණය පිළිබඳව
මුලින්ම අදහසක් පළ කළේ
නිකෝල් ටෙස්ලා විසින් 1890 දීය.
1946දී General Electric සමාගම විසින්
ක්ෂේත්‍ර පරීක්ෂණ කිහිපයක් කළ අතර
පැරණි සෝවියට් දේශ රජය විසින්
යුදමය කාර්යයන් සඳහා
භාවිතා කරන ලදී.

මේ පිළිබඳව දත්ත ඉදිරිපත් වී නැත්තේද
යුද අවියක් ලෙස මේ කාලගුණ වෙනස්කිරීම්
භාවිතා කළ හැකි වීම නිසා විය හැක.

වියට්නාමයෙහි කරන ලද වෑයම
හිරෝෂිමා-නාගසාකි පරමාණු බෝම්බවල
නිර්මාතෘ වූ ජෝන් වොන් නිව්මන්ගේ
දායකත්වයෙන් ඇරඹුණු අතර
පරමාණු බෝම්බය නිර්මාණයට අවශ්‍ය
ගණිතමය සමීකරණ සැපයුවේ
නිව්මන් විසින් බව කියැවෙයි.

දෙවෙනි ලෝක යුද්ධයෙන් පසුව
ඔහුගේ අවධානය ඔහු යොමු කළේ
කාලගුණය ඇසුරෙන් යුද අවි තැනීමටයි.
කාලගුණික යුද්ධ උපක්‍රම සෙවීම සඳහා
ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයෙහි
විද්‍යාඥයන් කණ්ඩායමක්
නිව්මන් එකතු කරගත්තේය.

මේ අවියෙහි ප්‍රධාන අරමුණ වූයේ
එවකට සෝවියට් දේශයෙහි අස්වැන්න
විනාශ වී යන නියඟයන් හෝ
නගර විනාශ කරන ගංවතුර මගින්
දේශපාලනික අස්ථාවර භාවයක්
සෝවියට් දේශයෙහි ඇති කිරීමය.

මේ රහසිගත යුද අවි ව්‍යාපෘතියට
සැලකිය යුතු ධනයක් වැය කෙරුණු අතර
එහි ප්‍රතිඵල පිළිබඳව වාර්තා නැත.
 මේ පිළිබඳ තොරතුරු කාන්දු වීමෙන්
ඇමරිකානු ජනතාව කුපිත විය.

1972දී දකුණු ඩැකෝටා ප්‍රාන්තයේ
වැසි ඇතිකරන පරීක්ෂණ කරමින්
අහසෙහි පියාසර කළ ගුවන් යානාවන්ට
 වෙඩි තියන්නට තරම් වැසියන් සැහැසි වූයේ
මේ කුපිත වීම නිසාය.

මෙම පරීක්ෂණ සමය අවසානයේ
දකුණු ඩැකෝටා ප්‍රාන්තය විනාශ කරමින්
මහා ගංවතුරක් ගලා ගියේය.

වසරක් පුරා ඇද හැලෙන තරම් වර්ෂාව
පැය කිහිපයක් තුළ ප්‍රාන්තයට ඇද හැළිණ.
රැපිඩ් නගරයෙහි වැසියන් පිරිසක් එක්ව
238කට මරු කැඳවූ කෘතිම වර්ෂාව ගැන
රජයට එරෙහිව අධිකරණයට ගියහ.

චීනයේ නගරයක වැසියෝ නියඟය ගැන
ඔවුන්ගේ රජයට දෝෂරෝපණය කරද්දී
රැපිඩ් නගරයට සමාන වූ අත්දැකීමකට
මහා බ්‍රිතාන්‍යයද මුහුණ දී ඇත.

1952 අගෝස්තු 15 දා බ්‍රිතාන්‍යයේ ඩෙවොන්හි
ලිමවුත් නගරයේ ගංවතුර ව්‍යසනයෙන්
34 දෙනෙකුට දිවි අහිමි වූ අතර
400ක පමණ ජනතාවක් අවතැන් වූහ.
රාජකීය ගුවන් හමුදා යානාවන්
වළකුළු අයනීකරණයෙහි යෙදී තිබුණ නමුත්
රජය වගකීම භාර ගත්තේ නැත.
වර්ෂාව ස්වාභාවික විපතක් යැයි
රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය
නිවේදනය කළේය.

කාලගුණය විකෘති කිරීමේ උත්සාහයන්
රටවල් 40ක පමණ ක්‍රියාත්මක වන නමුදු
වඩාත්ම ක්‍රියාකාරී රාජ්‍යය චීනයයි.
එහි කාලගුණික විකෘත මධ්‍යස්ථාන වල
50,000ක් පමණ සේවකයෝ සේවය කරති.

වගා කළ නොහැකි බිම්වල වර්ෂා ඇතිකිරීම
මේ කාලගුණ විකෘතකරණයේ අරමුණයි.
2009 ජාතික දිනයෙහි වැසි වැටෙන්නට ඉඩ ඇතැයි
කාලගුණ විද්‍යාඥයන් අනාවැකි පළකළ විට
විද්‍යාඥයන්ට වැස්ස නතර කිරීමට
රජයෙන් නියෝග නිකුත් කෙරිණ.
ගුවන් යානා 18ක් මගින් අවට අහසේ
රිදී අයෝඩයිඩ මුදා හැරීමට ක්‍රියා කිරීමෙන් පසු
ටියානන්මෙන් චතුරශ්‍රයේ උත්සවය
නිල් අහසක් යට උත්කර්ෂවත් ලෙස පැවැත්විණ.

මේ අතර
තමන්ගේ වැස්ස සොරාගත් බවට
චීනයේ එක් ප්‍රාන්තයක් තවත් ප්‍රාන්තයකට
දෝෂාරෝපණය කරයි.
මේ දෝෂාරෝපණය
මතුපිටින් බලන විට
විකට ස්වරූපයක් දිස්වන නමුදු
මේ දෝෂාරෝපණය නැගුණේ
ඉන්දියාව සහ පකිස්තානය අතර නම්
අවසාන ප්‍රතිඵලය යුද්ධයක් විය හැක.

පරීක්ෂණ පැවැත්වෙන්නේ
වැස්ස පිළිබඳව පමණක්ද?

සුළි සුළං කුණාටු ආදිය පිළිබඳවද
විද්‍යාත්මක පරීක්ෂණ පැවැත් වෙයි.

කාලගුණ විකෘතකරණය
මිනිසාගේ පාලනයට නතු කර ගැනීමෙන්
රටක දියුණුවට බොහෝ දේ කළ හැක.
මේ බලයම යොදාගෙන තවත් රටක පිරිහීමටද
තවත් රටක ජන ජීවිතය අවුල් කිරීමටද
ඒ ආකාරයටම ක්‍රියා කළ හැක.

කාලගුණ විකෘතකරණය මගින්
සුළි සුළං කුණාටු ආදිය නතර කිරීම
වෙනත් අතකට යොමු කිරීම මෙන්ම
සුළි සුළං කුණාටු ආදිය වෙන රටවල්වල
ඇති කිරීමද කළ හැක.
දහස් ගණන් ජීවිතද වටිනා දේපළද
පැය කිහිපයක් තුළ විනාශ වී යා හැක.
ඒ රටත් ප්‍රතික්‍රියාවක් ලෙස
සුළි සුළං කුණාටු ආදියෙන්ම පිළිතුරු දුන හොත්
පළමු රටෙහිද  දහස් ගණන් ජීවිත, වටිනා දේපළ,
පැය කිහිපයක් තුළ විනාශ වී යා හැක.

මෙහි දරුණු බව වඩාත් ප්‍රබල වන්නේ
ස්වාභාවික විපතක් ඇති කළා යැයි
සැක කිරීම හා චෝදනා කිරීම හැර
චෝදනා ඔප්පු කිරීමක් කිරීමද
ඉතා අසීරු වීමයි.

මේ කරුණු සලකා බලා
"පුළුල් ප්‍රදේශයක කලක් පවතින
කාලගුණික වෙනස්කම් ඇති නොකිරීම"ට
ජිනීවා සම්මුතිය ඇති කරගෙන තිබේ.
එහෙත් "කුඩා ප්‍රදේශයක කෙටිකාලීන"
යුදමය මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට
ඉන් බාධාවක් නැත.
ජිනීවා සම්මුතියට අත්සන් නොකළ රටවල් වලට
එම සම්මුතිය බලපාන්නේද නැත.

ජිනීවා සම්මුතියට අත්සන් කළ රටවල් වුවද
සිය රහස් ඔත්තු සේවා මගින්
වෙන රටවල්වල කාලගුණ විකෘතකරණය කිරීම
කිසිවෙකුටත් පාලනය කළ නොහැක.

යුදමය නොවන වෙනත් අරමුණු සඳහාද
අස්වාභාවික කාලගුණික ව්‍යසනයන්
වක්‍රාකාරයෙන් භාවිතා කිරීමට අවකාශ ඇත.

අද ලෝකයෙහි බරපතල ප්‍රශ්නයක් වී ඇත්තේ
පරිභෝජනවාදී මිනිසුන්ගේ උවමනාවන්
එක් පසෙකින් අසීමාන්තිකව වැඩි වෙද්දී
භාණ්ඩ නිපදවන හා සේවා  සපයන සමාගම්
අසීමාන්තික සැපයුමකට ක්‍රියා කිරීමයි.

රැස්වෙන අවි නිෂ්පාදන විකිණීමට
අවි නිපදවන සමාගම්වල වියදමෙන්
ලොව පුරා කලින් කලට යුද්ධ ඇති කෙරෙයි.
අස්වාභාවික කාලගුණික වෙනසකින් ඇති වෙන ගංවතුර
භාණ්ඩ වෙළඳපොලට කෙළින්ම බලපාමින්
භාණ්ඩ අති රික්තය විකුණා ගත හැකි
හදිසි රික්තයක් නිර්මාණය වෙයි.

මේ රික්තය ජනතාව මත පැටවෙන
බලාපොරොත්තු රහිත අමතර බරකි.
මේ විශේෂ බර නිදහස් කරගන්නට
දුගී ජනතාව යොමුවන්නේ රජය වෙතයි.
මේ අමතර බර නිර්මාණය කොට
රජය අපහසුතාවයට පත් කිරීමට
බාහිර බලවේග වලට ඉඩ ඇත.

පවතින නායකත්වය බලයෙන් පහ කිරීමට
බලය නැති කණ්ඩායමෙහි පිරිසක්
එක් රැස් වී ක්‍රියා කිරීම
ගල් යුගයේ පටන්ම මිනිසාට උරුමවූ
අදත් පවතින ස්වාභාවික උවමනාවකි.

සොබා දහම නිසා හෝ ජනතාව දුක් විඳිනවිට
ජනතා අප්‍රසාදය එල්ලවන්නේ රජයටයි.
ව්‍යසනයකින් පසුව හිස ඔසවන්නට
විවිධාකාරයෙන් වෑයම් කරන ජනතාවට
ඔවුන්ගේ අවශ්‍යතාවන්ට
සංවේදී නොවෙන රජයක්
ඉතා ඉක්මණින් පිරිහීමට ලක්වන්නට
ස්වාභාවික විපතක් වුවද ප්‍රමාණවත්ය.

සංවේදී රජයක් නිසි අයුරින් ක්‍රියාකළ හොත්
ජනතාව රජය කෙරෙහි ප්‍රසාදයට පත්කරගන්නටද
එපමණටම රජයට අවස්ථාව ඇත.