20121123

සත්‍යජිත් රායිගෙ "පාතර් පංචාලි"



සත්‍යජිත් රායිගෙ "පාතර් පංචාලි"
තාක්ශණික අවබෝධයේ ඌනතාව
කලාත්මක ප්‍රබලතාවයෙන්
වැසෙන බවට හොඳ උදාහරණයක්.


සත්‍යජිත් රායි
"පාතර් පංචාලි" නිර්මාණය කරන්නේ
සිනමාකරණයෙහි අත්දැකීම් රහිත
කණ්ඩායමක් සමගයි.

එහි කැමරා ශිල්පියා වූ සුබ්‍රතා මිත්‍රා
සිනමාව ගැන කිසිම දැනුමක් නැති
විසි එක් වියැති තරුණයෙක්.
ඔහු තම ඡායාරූප රායිට පෙන්වමින් පසුපස එනවිට
ඔහු සහායකයෙකු ලෙස ගන්නට
රායි පොරොන්දු වුණා.
එහෙත් චිත්‍රපටය රූගත කිරීම අරඹන විට
ඔහු මිත්‍රාට කැමරාකරණය භාර දුන්නා.



විශ්ව සිනමාවේ මුල් පෙලේ දැවැන්තයෙකු වන
ජපන් ජාතික අකිරා කුරොසාවා මෙසේ පවසනවා.
"පාතර් පංචාලි නැරඹීමෙන් පසු
මා සිත තුල ඇතිවූ උද්වේගය
මට කවදාවත්ම අමතක කරන්න බැහැ.
ඉන් පසුවද කිහිපවතාවක්ම
මා එය නැරඹූ අතර
ඒ හැම වරම වඩවඩාත් කැළඹුණෙමි.
එය සුවිසල් නදියක මහිමාන්විත භාවයෙන් සහ
සැහැල්ලුවෙන් ගලා බසින ආකාරයේ සිනමාවක්.

මිනිසුන් උපදිනවා, ජීවත් වෙනවා, මරණය භාරගන්නවා.

ඉතාම නිරායාසයෙන් සහ
කිසිදු හදිසි ගැස්සීම් වලින් තොරව
රායි සිය සිත්තම පින්තාරු කරනවා.
ඒත් ඒකෙ ප්‍රථ්ඵලය
නරඹන්නාගේ ගැඹුරු හැඟීම්
අවදි කිරීමයි.
ඔහු මෙය කරන්නේ කෙසේද?
ඔහුගේ සිනමානුරූපී තාක්ශනයේ
අවුල්සහගත හෝ අදාල නොවන
කිසිමදෙයක් නෑ.
විශිෂ්ඨත්වයේ රහස එතැනයි."
 

Satyajit Ray shooting for Pather Panchali

සිතෙහි ක්‍රෝධය ඉපදී තිබියදී......


සිතෙහි ක්‍රෝධය ඉපදී තිබියදී
ඉතා වේගයෙන් දුවන රථයක් මෙන්
සිත මනාව හසුරුවා ගන්නා තැනැත්තා
නියම රියැදුරකු යැයි මම කියමි.


සාමාන්‍ය රිය එළවන අන් ජනයා
නිකම් තෝන් ලණුව අල්ලන්නෝ ය.

“යො වෙ උප්පතිතං කොධං
රථං භන්තං ච ධාරයෙ
තමහං සාරථිං බ‍්‍රෑම්
රස්මිග්ගාහො ඉතරො ජනො”


මෙහි බුදුන් වහන්සේ අගය කරන්නෙ
ක්‍රෝධය නැති තැනැත්තා නොවෙයි.
ක්‍රෝධය පවතිද්දී
හිත මනාව හසුරුවා ගන්නා තැනැත්තායි.
ක්‍රෝධය කෙමෙන් කෙමෙන් නැතිවෙන්නට
ඒ පදනම උපකාරීවෙනවා.

අත්තානං දමයන්ති පණ්ඩිතා.
බුදු දහමෙ මූලිකම පදනම
පිරිසිදු බව නොවෙයි..
අපිරිසිදු තැනැත්තාගේ
ආත්ම දමනයයි..

පිරිසිදු වෙන්නට හැකියාව ලැබෙන්නේ
ආත්ම දමනය ඇත්තාට පමණයි.


 ---------------------------------------------------------------------------

දෙවැන්නා - සාමාන්‍ය රිය එළවන අන් ජනයා -
 කෝපය පාලනය කර නොගෙන
කෝපයේ තෝන් ලණුව ඔහේ අල්ලාගෙන
රියට කැමති තැනක යන්නට
ඉඩ දෙන්නායි.

දමනය කරගන්නටත් ක්‍රම තුනක් තියනවා. 


කෝපය ඉවතලන්නා
අනුගමනය කරන්නෙ දෙවැනි ක්‍රමයයි..

පළවෙනි ක්‍රමය
කෝපය තියෙද්දි ප්‍රතික්‍රියා නොකිරීම.

ක්‍රෝධය ඉපදී තිබියදී
ඉතා වේගයෙන් දුවන රථයක් මෙන්
සි මනාව හසුරුවා ගන්නා
නියම රියැදුරකු යැයි
බුදුන් වහන්සෙ සඳහන් කරන්නෙ
කාටත් පොදු ඒ ක්‍රමය අනුවයි..
කාට වුණත් පටන් ගන්න වෙන්නෙ එතනින්..

දෙවෙනි ක්‍රමය
කෝපය තියෙද්දි
හිත හුස්මට හෝ
තමන් හුරුකළ
වෙනත් අරමුණකට යොමු කිරීම..
 
කෝපය  ඉවත ලන්නා කියන්නෙ ඔහුටයි..

ඔහුගෙ කෝපයත්
පළමු වැන්නාගේ කෝපයත්
හිතේ ඉඩ කොටසක් වහගෙන පදිංචි වෙනවා.

පළමුවැන්නාගේ කෝපය ක්‍රියාවෙන්,
වචනයෙන් සහ
දින ගණනක් හෝ කාලයක් තිස්සෙ මුල් අදිමින් 

විශාල ප්‍රදේශයක් වසා පැතිරෙන්න පුලුවන්.
ඔහුට
සිහිය තියනවා.
සිදුවෙන දේට උපේක්ෂාව නැහැ.

දෙවැන්නාට කෘතිම උපේක්ෂාවක් තියනවා.
ඔහු සිදුවෙන දේට ප්‍රතිචාර දක්වන්නෙ නැහැ.

කෙනෙක් ඔහුට බණිනවා.
ඔහු ගීතයක් රස විඳිනවා.
ඔහුට උපේක්ෂාව තිබුණට
සිහිය නැහැ.

තෙවැන්නාට තමා තුළ ඇතිවී ඇති කෝපයත්
ඒ කෝපයෙන් ඔහුගෙ කයෙහි හා සිතෙහි
ඇතිවී තියන වෙනසත් හොඳින් පෙනෙනවා.
ඔහුට තමා පිළිබඳව සිහිය තියනවා.

ඒ වගේම ඒ සිදුවී ඇති වෙනසට උපේක්ෂාවත් තියනවා.        


ඔහු කෝපයෙන් වියරු නොවැටී
අවශ්‍ය ප්‍රතිචාරය
සන්සුන්ව දක්වනවා.

ඔහු කරන ප්‍රකාශය දැඩි හෝ
රළු වෙන්න පුලුවන්.
එහෙත් ද්වේශය නැහැ.

දුක කියන්නෙ පලවෙනි ආර්ය සත්‍යය..

ඔබට තාඩන පීඩන කරන අය
ප්‍රායෝගිකව ඒ සත්‍යය
ඔබට වටහා දෙනවා.

දුකෙන් මිදෙන්න හිතෙන්නෙ
සිහියෙන් දුක් විඳපු අයයි..

දුකෙන් වියරු වැටෙන අය
වෙනත් පිස්සු වැඩ කරද්දි
දුකෙන් මිදෙන්න හිතෙන්නෙ
සිහියෙන් දුක් විඳපු අයයි..
.
දුකෙන් මිදීම කියන්නෙ
අවසාන වශයෙන් නිවන් දැකීම වුණාට
මේ මොහොතෙත්
දුක සහ දුකෙන් මිදීම තියනවා.
මේ මොහොතෙ දුකෙන් මිදන ක්‍රමය
තෙවැනි ක්‍රමයයි.


අනිත් ක්‍රම දෙකම
බුද්ධොත්පත්තියට පෙර සිටම තිබුණා.

මේ පිළිබඳව දැනුමත් තිබුණා.
මේ ක්‍රමය ප්‍රායෝගිකව සොයාගෙන
ලොවට දායාද කළේ
බුදුන් වහන්සේයි.
බුදු දහමෙහි හරයත්, කේන්ද්‍රයත්,

පදනමත්, කැණිමඬලත් මෙයයි.
===============================================
රාජ්‍ය තාන්ත්‍රිකයෙකුගේ සිතෙහි ක්‍රෝධය ඉපදී තිබියදී...

හැඟීම් වලින් නොකෙළෙසෙන නි-මනස -බුදුන් වහන්සේ සහ Bruce Lee


බෘස් ලී රීති උපරිමයෙන් හදාරලා
රීති වලට වහල් නොවී සටන් කළ යුතුයි කියා උගන්වපු
අතිශයින්ම ස්වාභාවික සටන් කරුවෙක්.
ඔහු සටන් කලාව හැදෑරුවේ
සටන් කරන්න නෙමෙයි.
ආධ්‍යාත්මික දියුණුව සඳහායි.

සිත එකඟ කරගන්න
මත්පැනට හුරු වෙන
විශේෂ කුසලතා ඇති අය
මග වරද්දා ගන්නවා.
ඒ ඒකාග්‍රතාවය වැරදියි.
ඔවුන් සිතට වංචා කරනවා.

බෘස් ලී තමන්ගේ අරමුණ කරා යන්න
සිතේ පුළුල් දැක්ම භාවිතා කලේ
නිවැරදි ක්‍රමයටයි.

මත්පැන් වලින්
මේ මොහොත පිළිබඳ
සිහිය දුර්වල වෙනවා.
ප්රමාදය කියන්නෙ ඒකටයි..
පමාදට්ඨාන

සාමාන්යයෙන් අපි පොඩි පරාසයක්
තෝරාගෙන ජීවත් වුණාට
අපේ මනසටත් පසිඳුරන්ටත්
ලොකු පරාසයක් අසු වෙනවා.

ඔබ මේ තිරයෙන් ඇස් ඉවත් නොකර
අවට තියන දේවල් කොතරම් ප්රමාණයක්
දකින්න පුලුවන්ද කියා බලන්න.

අවට තියන ශබ්ද කොතරම් ප්රමාණයක්
ඔබට ඇහෙනවාද කියා බලන්න.

මත්පැන් බිව්වාම
මේ පරාසය අඩු වෙනවා.
පියවි ඇසෙන් බලන කෙනෙක්
කැමරාව තුළින්
යමක් දිහා බැලුවා වගේ.

ඒ පෙනෙන ප්රදේශයට
යොදාගන්න දේට
සිත යොමු කරගන්න පහසුයි.

බොබ් මාර්ලේ ඇතුළු බටහිර කලාකරුවන්
මෙන්ම සයිගාල් වැනි පෙරදිග කලාකරුවන්
අපේ රටේත් බොහෝ කලාකරුවන්
මත්පැනට වහල්වෙලා පිරිහුණා.

සාහිත්යයට, ගීත රචනයට සහ
වෙනත් කලාමාධ්යයන් වලට
මේ කිහිලිකරුව භාවිතා කරන අය
පසුකාලීනව නිර්මාණකරණය පිරිහිලා
මානසිකව අංග විකල වෙන්න පුලුවන්...
නිර්මාණශීලී බොහෝ අය
මේ උගුලට අසු වෙනවා.

ඒත් මේ ක්රමය හානිකරයි.

බාහිර දෙයක් භාවිතා කරලා
මනස වෙනස් කළොත්
වන්දි ගෙවන්න වෙනවා.
මත්ද්රව්ය වලදි මත්පැන් වලට වඩා
ඉක්මන් ප්රතිඵල ලැබෙනවා.
මත්පැන් වුණත් ප්රමාණය වැඩි නම්
ප්රතිඵල ඉක්මන්...

බටහිර බොහෝ ක්රම වගේ
තාවකාලික ප්රතිඵල තියනවා.

දීර්ඝකාලීනව අහිතකරයි.
මේ සමාධිය මිථ්යා සමාධියක්.
වැරදි සමාධියෙන් සිහිය අඩු වෙනවා.
කායිකවත් සිහිය විනාශ වෙනවා...
සංවේදී බව අඩු වෙනවා.
මනස පටු වෙනවා.

වයසට යද්දි සිහිය දුර්වල වෙනවා.
සමහර විට
සිහිය නැත්තටම නැති වෙනවා..
-------------------------------

බෘස් ලී නියම ක්රමය හොයා ගත්ත.
ඒ ක්රමය බුදුන් වහන්සේගෙ ක්රමය.

විපස්සනා සොයන්න මා පෙළඹුවේ
බෘස් ලීගේ නි-මනස පිළිබඳ සිද්ධාන්තයයි.

ඔහු -No-Mindedness - නමින් හැඳින්වූ
මානසික ස්වභාවය
ඊට වසර දහයකට පමණ පසුව
විපස්සනාව හමුවන තෙක්
ගවේෂණය කරන්න මා පෙළඹුවා.

Wu-hsin නම් වූ සංසිද්ධිය
නැත්නම් No-Mindedness කියන්නෙ
සියලු සිතිවිලි සහ හැඟීම්
පිට කර වසාගත් හිස් මනසක් නෙමෙයි
එසේම සිතෙහි නිසල බව
හෝ සිතෙහි නිහඬතාවයද නොවෙයි.

සිතෙහි සමාහිත බව හා නිසල බවද අවශ්‍ය නමුදු
නි-මනස නම් සිද්ධාන්තය සකස්වන්නේ
සිතුවිලි අල්ලා නොගැනීම මගිනි.

කුන්ග්-ෆු සටන් කරුවෙක් හැසිරෙන්නේ
කැඩපතක් මෙනි.
කැඩපත කිසිවක් රඳවා ගන්නේ නැත.
කිසිවක් පිළිකෙව් කරන්නේද නැත.
එයට ලැබෙන දේ එය රඳවා නොගනියි.

නි-මනස හැඟීම් වලින් නොකෙළෙසෙන ලෙස
ප්‍රතිශක්තිකරණය කළ මනසකි.

මේ පැහැදිලිවම
බුදුන් වහන්සේ දෙසූ විදර්ශනාවයි.

බුදුන් වහන්සේ
සම්පජානෝ සති කියන්නෙ
එකකට සාපේක්ෂව සියල්ල දැකීමට...

අපේ හැම ඉන්ද්‍රියකටම
සියල්ලම දැකීමෙ හැකියාව තියනවා.
නීවරණ නිසා අපිට පෙනෙන්නෙ
පවතින නීවරණය අනුව
අපිට පෙනෙන ටික විතරයි..

බුදුන් වහන්සේ සොයාගත්තෙ
තමන් දකින දේ
තනිව දැකීමෙන් මුදවලා
සියල්ලට සාපෙක්ෂව දැකීමයි..

හොඳ කලා කෘති වලත්
ඒ ගුණය තියනවා.
හොඳ කලා කෘති වල
නිකෙලෙස් බවට
එය හේතුවක් විය හැකියි.

අපේ හැම ඉන්ද්‍රියකටම
සියල්ලම දැකීමෙ හැකියාව තියනවා.
මේ මොහොතෙ ඔබ තිරයෙ මේ වචන ටික පෙණුනට
සිහියෙන් බැලුවොත්
ඔබ අවට විශාල ප්‍රදේශයක්
ඔබේ ඇසට වැටෙනවා.
මේ වචන කියවන ගමන්
ඔබට මේසය උඩ තියන
බොහෝ දේ අල්ලන්න පුලුවන්..

ඔබ තෝරා ගන්නා දේ ගැන
යොදවන අවධානය වැඩි නිසා
එය උපාදාන කරගන්නා අතර
ඔබට ලැබෙන තොරතුරු රාශියක් වැටෙන්නේ
මෝහයටයි...

සමස්ත රාමුවට සාපේක්ෂව
අරමුණ බලන්න
ඇස හුරුවෙන විට සිතත් පුළුල් වෙයි..

මම හිතන්නෙ ලෝකෙ ඉඳපු
දක්ෂම ක්‍රිකට් ක්‍රීඩකයන්
බෝලය දකින්නෙ
මුළු පිට්ටනියටම සාපේක්ෂව.

ලොව පැවති බොහෝ දර්ශන පිළිබඳව
මැනවින් හදාරා ඇති බෘස් ලීගේ අරමුණ වූයේ
සිතින් අල්ලා නොගෙන සියල්ලම ගැන සිහියෙන් විසීමෙන්
මමත්වයෙන් තොරව ක්‍රියා කිරීමයි.
ඔහු අරමුණු කළ මානසිකත්ව
යෙන් විසීම
බුදුන් වහන්සේ විදර්ශනාවේදී හඳුන්වන්නේ
සම්පජානෝ සතිමා විහරති යනුවෙනි.

මේ රහතන් වහන්සේගේ සිහියෙහි ස්වභාවයයි.
බෘස් ලී ඔහුගෙ සටන් ක්‍රමය හදාගත්තෙත්
මේ දැක්ම මුල් කරගෙනයි..

" Wu-hsin නම් වූ සංසිද්ධිය
නැත්නම් No-Mindedness කියන්නෙ
සියලු සිතිවිලි සහ හැඟීම්
පිට කර වසාගත් හිස් මනසක් නෙමෙයි
එසේම ඒ සිතෙහි නිසල බව
හෝ සිතෙහි නිහඬතාවයද නොවෙයි.
සිතෙහි සමාහිත බව හා නිසල බවද අවශ්‍ය නමුදු
නි-මනස නම් සිද්ධාන්තය සකස්වන්නේ
අරමුණ සිතින් අල්ලා නොගෙන 
සියල්ලම ගැන සිහියෙන් විසීමෙන්
මමත්වයෙන් තොරව ක්‍රියා කිරීමයි. "
අනිස්‌සිතො ච විහරති, 
න ච කිඤ්‌චි ලොකෙ උපාදියති.
#athulasiriwardhane 

දහම අත්දැකීමක් විදියට.....






විදසුන ගැන
අදහස් පළ කළ යුත්තේ
අත්දැකීමට සම්බන්ධවයි.

 
දහම් පොත් කියවලා
ධර්මය ශ්‍රවණය කරලා

තේරුම් අරන් තියන බොහෝ දේ
අත් දැකීම ලැබෙනකොට ප්‍රතික්ෂේප වෙනවා.
අත්දැකීමට සාපේක්ෂව බලද්දි
බොහෝ පොත්පත් වල තියෙන්නෙ
අමූලික බොරු බව වැටහෙනවා.

අමූලික බොරුවක්
අත්දැකීමෙන් විඳින්නට බැරි නිසා
හැමවිටම තමන් වැරදියි කියලයි හිතෙන්නෙ.
සත්‍ය දහම විඳ ප්‍රත්‍යක්ෂ
කරගන්න පුලුවන්.

මහා සතිපට්ඨාන සූත්‍රය ඉතාම සරලයි..
පැහැදිලියි.. ප්‍රායෝගිකයි..
මනසින් විග්‍රහ කරන අයට නම්
මහා සතිපට්ඨාන සූත්‍රය සංකීර්ණයි.
පුටුවෙම ඉඳගෙන ජීවත්වෙන
ධර්ම දේශකයෙක් ලියන
පොතකින් ඉගෙන ගන්න ගියොත්
ඔබ මේ වාඩිවෙලා ඉන්න පුටුවෙන් නැගිටින එකත්
ඉතාම සංකීර්ණ සහ ගැටළු සහගත වැඩක්
කියල හිතන්න පුලුවන්.

මනසින් පොත්පත් විග්‍රහ කරන අය
හැමවිටම වගේ තෝරාගන්නේ
සංකීර්ණ ගැටළු සහගත විග්‍රහයන්..

බොහෝ දෙනා
බුදුන් වහන්සේගෙ සරල ධර්මය වෙනුවට
සංකීර්ණ අටුවා ටීකා ටිප්පණී
ඇසුරු කරන්න ප්‍රිය කරනවා.

දහම අත්දැකීමක් විදියට
සංවාද කරනවා නම්
සංවාද ඉතාම නිශ්චිත
සරල ක්ෂේත්‍රයකට සීමා වෙනවා.
කෙළවරක් නැතිව පහලවෙන හිතලු මත
දහම ගැන තර්කයට ගියාම
දින ගණන් වාද කරමින්
සක්වළ පුරා සැරි සරන්න පුලුවන්.

දහම තමන් තුළ දකින දෙන්නෙකුට
සංවාද කරල ඉගෙනගන්න දේ තියනවා.
පොත්වල දකින අයට
ඔවුන් දැඩිව අල්ලගෙන ඉන්න දෘෂ්ඨි
තව තවත් උපාදාන වීමෙන් එහා
කිසිවක් සිදුවෙන්නෙ නැහැ.

ආනාපාන සතිය
නිවැරදිව වඩන කෙනෙක්
මුහුණදෙන සංසිද්ධීන්
ඉතා සරලව, පේලි කිහිපයකින්
සතිපට්ඨාන සූත්‍රයෙ මුලදිම
බුදුන් වහන්සෙ විසින් විස්තර කරනවා.

එහිදී ආනාපාන සතියෙහි අරමුණ
කයෙහි ඉරියව් දකින්නට
හිත පුහුණු කිරීමයි.

ආනාපාන සතියෙන්
කෙනෙකු මුලු සිරුරටම
සංවේදී වෙනවා.
එහෙම නොවී
වෙන මොනව හරි වෙනවා නම්
ඔහුට පිහිටන්නෙ වෙන දෙයක්..
සතිය නෙමෙයි.

වේදනා වුනත්
අනුපස්සනා කරන කෙනෙකුට
වෙදනා වර්ග තුනයි තියෙන්නෙ.
ආයෙත් සාමිස හා
නිරාමිස වශයෙන් බෙදෙනවා.
එපමණයි.
වේදනා ගැන සිහියෙන් ඉන්න
උත්සාහ කරන කෙනෙකුට
ගමන සරලයි...
තර්ක විග්‍රහ අවශ්‍ය නැහැ.

ඒත් පොත් පත් කියවමින්
වේදනානුපස්සනා ගැන
තර්ක කරමින් විග්‍රහ කරමින්
කල් ගෙවන කෙනෙකුට
කල්ප ගාණක් තර්ක කළත්
වේදනා කියන්නෙ මොකක්ද කියල
දැනගන්න ලැබෙන්නෙ නැහැ.

වේදනා කියන්නෙ
මොළෙන් විඳින දෙයක් නෙමෙයි..

කයෙහි කය දකින කෙනෙකුට මිසක්
පොත්වල වේදනා හොයන කෙනෙකුට
වේදනා දකින්න බැහැ.

අනික් අනුපස්සනාත් එහෙමයි.

බුදුන් වහන්සේ තමා තුළ තමා දැක
විඳ ප්‍රත්‍යක්ෂ කරගත් දහම
උන්වහන්සේ දෙසූ අයුරින්
විඳ ප්‍රත්‍යක්ෂ කරගත යුත්තේ
තමාම විසින් තමා තුළමයි.

සැබෑ ප්‍රශ්නවලට මේ අධ්යාපන ක්‍රමයෙන් විසඳුම් නැහැ...

පිරිමියෙකු ලෙස හෝ ගැහැණියක ලෙස
අප ලබන අධ්යාපනයෙන්
අප ගතකරන සමස්ත ජීවිතයට පතිත වන
ආලෝකය කුමක්ද?




අධ්‍යාපනයෙන් ආලෝකවත් වන්නේ
අපේ විසිත්තකාමරය
ආලින්දය හා මිදුල පමණි.
අවම වශයෙන් කුස්සියට,
කෑම කාමරයට, නිදන කාමරයට
අධ්‍යාපනයෙන් රැස් දහරක් පතිත වේද?

සහතිකවල වෙනස
හා වාණිජමය වටිනාකමත් හැර
අධ්‍යාපනය ලත් අය
නොලත් අයට වඩා
මිනිසත් බවින්,
මානව දයාවෙන්,
කරුණාවෙන්,
සිහියෙන්,
උපේක්ෂාවෙන් උසස් වේද?

පොත්පත්වල ඇතිදේ
කට පාඩම් කර ගැනීමේ හැකියාවත්
යළි මතක් කර ගැනීමේ හැකියාවත් හැර
අධ්‍යාපනය නිසා දියුණු වෙන
අන් වටිනාකම් ඔවුන්ගේ ඇත්ද?

ජීවිතයේ එන ප්‍රශ්න..
පෙම් සබඳතා බිඳීම
වංචාකාරයෙකුට රැවටීම
විවාහයට කෙනෙකු තෝරා ගැනීම,
ඔහු/ඇය හා එකට ජීවත් වීම..
දික්කසාදයකට මුහුණ දීම..
සමීපතමයෙකුගේ මරණය ආදී
ගැටළු වලදී ඊට මුහුණ දෙන්නට
උසස් අධ්‍යාපනය ලත් අය
වඩා දක්ෂද?

එසේ නැත්නම්
කෝපය, ඉරිසියාව, කෑදර කම,බය,
කාමය ආදී ප්‍රශනවලදී
උසස් අධ්‍යාපනය ලත් අය
වඩා දක්ෂ ලෙස මුහුණ දෙනවාද?
එවැනි ප්‍රශ්න ඇති බවවත්
අධ්‍යපනඥයන් සිතනවාද?

අධ්‍යාපනයෙන් සමාජ තත්වයක්,
රැකියාවක් ලබා ගැනීමට
දක්ෂතාවය ඔප්පු කිරීමට වඩා
රැකියාවලට ඉන් ලැබෙන පිටුවහල
කොතරම් අවමද.

මගේ ජීවිතය තුල
එකම වරක් හැර
කිසිම රැකියාවක් ලබාගන්නට ගිය විට
මගේ අධ්‍යාපන සහතික විමසා නැත.
ඒ එකම වරත් ඉතා සැහැල්ලුවෙන්
ප්‍රශ්නයක් ලෙස ඇසුවා මිස
සහතික ඉල්ලුවේ නැත.
මා ළඟ තිබුණේද නැත.

කියවීම, ගණනය කිරීම ආදී
මූලික අවශ්‍යතා හැර
මා ලද අධ්‍යාපනයෙන්
ඍජු ප්‍රයෝජනයක් වී නැත.

මගේ ජීවිකාවත්,
ප්‍රශ්න විසඳා ගැනීමේ හැකියාවත්
මට ලැබුණේ පාසලෙන් පරිබාහිරවය.
ඒ සඳහා අධ්‍යාපනයෙන්
යම් ආලෝකයක් ලද නමුදු
විෂ්ය මාලා සැදූ අය
එවැනි ප්‍රයෝජනයක් දෙන්නට
විෂ්ය මාලා සැලසුම් කරන්නට ඇතැයි
මම නොසිතමි.

අධ්‍යාපනය අවශ්‍යය.
එහෙත් ඊට දක්වන ගෞරවය
කිසි සේත් ඊට නොගැලපෙයි.

ජීවන ගමනේ
අඩියෙන් අඩියට පය පැකිලෙන
දුර්වල අංග විකලයෙකුට
ශූර කරණම් කරුවෙකුට මෙන්
ගරු බුහුමන් කොට
මහා බලාපොරොත්තු රැසක් තබාගෙන
ඒ සියල්ල බිඳී අතරමංවන
අසරණයන් කී ලක්ෂයක්
මෙහි වසරකට බිහිවේද?
.
අධ්යාපනය පස්සෙ දුවන රේස් එකේ
අන්තිම දරුණුම අවදානම තමයි
ඒ රේස් එකට ඇබ්බැහි වුණ කෙනා

තේරුමක් ඇතිව හෝ නැතිව
දැන හෝ නොදැන
වැඩක් ඇතිව හෝ නැතිව
අර ඇබ්බැහි කම මත
අරමුණු මාරු කරමින් දුවලා දුවලා
සිහියෙන් දුවන්න බැරිම තැනට ආවම
දරු මුණුපුරෝ ඔක්කොම අත් හැරලා
නිවනට පස්ස හරවගෙන
නිවන පස්සෙ දුවන්න පටන් ගන්නවා,
අනිත් අතට..

බුදු දහමට අදාළව
ජීවිතෙත් ව්‍යාපාරයක්...
.
සල්ලි නැති මිනිහට
ව්‍යාපාර කරන්න බැහැ වගේ
සිහිය නැති මිනිහට
සිහිය දියුණු කරන්නත් බැහැ.

අදකාලෙ අධ්‍යාපන ක්‍රමයට
අධ්‍යාපනය ලබපු
බුදුන්ගෙ කාලේ මහාචාර්යයන් වහන්සෙ තමයි
ආනන්ද තෙරුන් වහන්සෙ.

අවුරුදු හතලිස් පහක් බුදුන් වහන්සෙ කරපු දේශනා
ආනන්ද තෙරුන් වහන්සෙට කටපාඩම්.
උපස්ථායක වෙද්දි සෝවාන් වෙලා උන්නෙ.
අර අවුරුදු 45 තිස්සෙ දෙශනා ඔක්කොම
කටපාඩම් කරගෙන හිටියත්
විදසුන් නොවැඩුව නිසා
සකෘදාගාමිවත් වුණේ නැහැ.
බුදුන් වහන්සෙ පිරින්වන් පාල
මාස තුනක් ගතවෙලයි
ආනන්ද මහාචාර්යයන් වහන්සෙ
රහත් වුණේ.

එයින් තේරෙන්නෙ
අද අධ්‍යාපනයයි සැබෑ බුදු දහමයි
අතර තියන පරතරය.

අද බුදු දහමෙන්
කාටවත් ප්‍රයෝජනයක් නැතිවෙලා
මිනිස්සු සත්තු වෙමින් ඉන්නෙ
පාසැල් අධ්‍යාපන ක්‍රමයට
පොතෙන් ඉගෙනගෙන
විශුද්ධිය ලබන්න හදන නිසයි.
සබන් ගැන පොත් කියවමින්
තර්ක කරමින් වාද කරමින් කල් ගෙව්වට
ප්‍රායෝගික සෝදන ක්‍රියාවලිය නැතිව
රෙද්ද හේදෙන්නෙ නැහැ.

අධ්යාපනය පස්සෙ දුවන රේස් එකට
ඇබ්බැහි වුණ කෙනාට
වෙන ක්‍රමයකට ඉගෙන ගන්න බැහැ.
වෙන ක්‍රමයකට ජීවත් වෙන්න බැහැ.
කොතන ගියත් මොනව කරන්නෙත්
අර ඇබ්බැහි වුණ ක්‍රමයට.

පුංච්කාලෙම කොම්පියුටර් එකට අත ගහන
කුඩා දරුවොත් එක්ක
වැඩිහිටියන්ට හැරෙන්නවත් බැරි
ඔවුන් කොම්පියුටර් එක ඉගෙන ගන්න හදන්නෙත්
අර අධ්යාපන ක්‍රමයෙන් ඇබ්බැහි වුණ
චිම්පන්සි ඉගෙන ගන්න ක්‍රමයට නිසයි.
එකම ගණන සියපාරක් හදල
ඒකට ඇබ්බැහි වෙනවා මිසක්
එකපාරක් දෙකක් සිහියෙන් ගණන හදලා
හදන ක්‍රමය ඉගෙන ගන්න
කවුරුවත් උත්සාහ කරන්නෙ නැහැ.
කවුරුවත් ඒක උගන්වන්නෙත් නැහැ.
කොහොමද උගන්වන්නෙ.
ගුරුවරයා ඉගෙන ගත්තෙත්
ඒ විදියට.

මොළේ මතක තියාගන්න ප්‍රදේශය
විතරක් පාවිච්චි කරල
කොම්පියුටර් එක එක්ක
ගනුදෙනු කරන්න බැහැ.
ඉතින් පුතා ඒක ඇතුළෙ කරණම් ගහද්දි
අමමයි තාත්තයි කට ඇරන් බලා ඉන්නවා.

මේ මාර පාශයෙන් ගැලවෙන
එකම ක්‍රමය තියෙන්නෙ
බුදු දහම තුළ විතරයි.
කැමති නම් හොයා ගන්න.
ඒ ක්‍රමයට වයස ප්‍රශ්නයක් නැහැ.
ඉන්න තැන ඉඳලා ඉස්සරහට යන්න පුලුවන්.
වෙලාසන පටන් ගන්න කෙනාට
ඉක්මනට යන්න පුලුවන්.

එහෙම නැත්නම්
තමන්ගෙ අම්මලා තාත්තලා,
ආච්චිලා සීයලා මුහුණ දුන්න
ස්වාභාවික රෝගවලට අමතරව
තනිකම, පාලුව, අවසිහිය ආදී
නානා විධ අස්වාභාවික රෝග වලට ගොදුරු වෙමින්
මැරෙන තුරු ජීවත් වෙන්න පුලුවන්.
අයින්ස්ටයින්ට පවා ඒ කලකිරීම තිබුණා.
"ආයෙ ඉපදුණොත්
දර පලන මිනිහෙක් වුණත්
විද්‍යඥයෙක් නම් වෙන්නෙ නෑ" කියල
ඔහු කිව්වෙ ඒ නිසයි.

අපේ සැබෑ ප්‍රශ්න වලට
මේ අධ්යාපන ක්‍රමය තුළ
විසඳුම් නැහැ.

තරහෙන් පුපුරන කොට,
කෑදර කමට,
කාමයෙන් මත් වුණාම,
වෙහෙස නිදිමත දරාගන්න බැරි වුණාම,
මොන ප්‍රශ්නෙකින් හරි
හිත කැළඹුනාම
මේ අධ්යාපන ක්‍රමය තුළ
විසඳුම් නැහැ.

සමාන්‍ය දැනීම,
කියවීම ලිවීම,
ගණන් හැදීම ආදී
මූලික අවශ්‍ය්තාවලට එහා
ජීවිතේට වටින දෙයක්
කවුරු හරි
මේ අධ්යාපන ක්‍රමය තුළ සොයා ගත්තොත්
ඒක ඔහුගෙම දක්ෂකම.

"මට ඉගෙන ගන්න තිබුණ
ලොකුම බාධකය
මා ලද අධ්‍යාපනයයි"කියල
අයින්ස්ටයින් කිව්වෙ ඒ නිසයි.

ජන්මෙට වඩා ඇබ්බැහි කම ලොකුයි..


පැවිද්දා ගිහියන්ට වෙනස් ආකාරයෙන් හැසිරිය යුතුය




===සාධු සබ්බත්ථ සංවරො===
සියල්ලෙන් සංවර වූයේ පූජනීයයි.

එකම භික්ෂු සමාජයක සාමාජිකයන්ගේ
විවිධ හැසිරීම් රටා පෙන්වන

මේ රූප දෙස බැලූවිට
ඔබට පහළ වෙන අදහස් මොනවාද?

මෙහි දකින භික්ෂූන්ගේ
විවිධ හැසිරීම් රටා මෙන්ම
ගිහියන්ගේ හැසිරීම් මගින්
මෙහි පෙනෙන දේත්
ඒ සමාජ දෙකේ සියල්ලන්ටම
එකසේ අදාළ නොවන බව
අපිට පහසුවෙන් වැටහෙනවා.

මේ රූප හතරෙන්
භික්ෂූන්ගේ විවිධ හැසිරීම් නිරූපණය වන අතර
මුල් දෙක පැහැදිලිව එකිනෙකට වෙනස්
අවස්ථා දෙකක්.

තුන්වැන්නේ ගිහි පරම්පරා තුනක
ආකල්ප නිරූපණය වෙනවා.
ඒ පරම්පරා තුනේ සාමාජිකයින්
හතර ආකාරයකට
ප්‍රතිචාර දක්වනවා.
ගෞරවය, මිත්‍ර ශීලිත්වය,
නොසැලකිල්ල, ඇල්මැරුණු බව ආදී
විවිධ හැඟීම් එහි
නිරූපණය වෙනවා.

හතර වැන්නේ
වාණිජමය සංසිද්ධියකදී පවතින
ගිහි පැවිදි සබඳතාවයක්.

ගිහියන්ට තම සිතැඟි පරිදි
පැවිද්දන් සමග සම්බන්න්ධ වීමට
කාගෙන්වත් නීති පැණවී නැතත්
පැවිදි වන මොහොතේ පටන්
භික්ශූන් වහන්සේ නම්ක්
විනය නීති රකින්නට
බැඳී සිටිනවා.

ගිහියා භික්ෂූන් දෙස
විවේචනාත්මකව නොබැලිය යුතුයැයි
අදහසක් පැවතුණද
බෞද්ධයා කළ යුත්තේ
සිහිනුවණ නැති අන්ධයන් මෙන්
නුසුදුස්සන් පිදීම නොව
පිදිය යුත්තා සොයා ගැනීමය.

අප භික්ෂූන් වහන්සේ දෙස බැලිය යුත්තේ
පුහුදුන් අපේ කෙටි මිනුම්දඬුවලට අනුව නොවේ.

අප අතර හැසිරෙන භික්ෂූන් වහන්සේ
බුදුන් වහන්සේ විසින්
ගරු කටයුතු, පිදිය යුතු
භික්ෂූන් හැසිරිය යුතුයැයි
පෙන්වාදී ඇති ආකාරයට
හැසිරෙනවාද යන්න
සිතෙහි තබාගෙනය..

භික්ෂූන් වහන්සේලා හැසිරිය යුත්තේ
"ඔබවත්, මම වත්, වෙනත් කෙනෙකුවත්"
නියම කරන ආකාරයෙන් නොවේ.
බුදුන් වහන්සේ නියම කළ ආකාරයෙනුයි.

"මම ගිහියන්ගේ ආකාරයෙන්
වෙනස් ආකාරයට පැමිණියේ වෙමි" යිද
"මම ගිහියන්ට වෙනස් ආකාරයෙන් හැසිරියයුතුය"යි ද
පැවිද්දා නිතර නිතර මෙනෙහි කළයුතු බව
අංගුත්තර දසක නිපාතයෙහි දැක්වේ.
-[ශාසනාවතරණය]

"ගිහි ගෙයටත් නැතිව
මහණ කමටත් නැතිව
දෙලොවක අතරමං වූ පැවිද්දා
දෙකොණින් ඇවිලෙන
මැද අශූචි තැවරුණ
ගමටත් නැති, වනයටත් නැති
සොහොන් පෙණෙල්ලක් වැනිය"

බුදුන් වහන්සේගේ මේ උපමාව
බැලූ බැල්මට
නිග්‍රහයක් මෙන් පෙණුනද
කරුණා පෙරදැරිවම කිවූ වදනකි.

භික්ෂූන් ගිහියන් මෙන්
අසංවරව හැසිරීමෙන්
අසරණ වන්නේ ගිහියන්ය.
අසංවර, අශීලාචාර ගිහියාට
ආදර්ශයක්, ආලෝකයක් වන්නේ
බුදුන් වහන්සේ විසින්
ගරු කටයුතු, පිදිය යුතු
භික්ෂූන් වහන්සේ හැසිරිය යුතුයැයි
පෙන්වාදී ඇති ආකාරයට හැසිරෙන
සංවර, සුපේෂල ශික්ෂාකාමී
භික්ෂූන් වහන්සේය.


-----------------------------------------------------------------------------

මා ප්‍රකාශ උපුටාගත් ශාසනාවතරනයේ පිටු
==========================================
Photo courtesy.
1,Nethroo Kariyawasam
2, Pubudu Darshana Weerawardana
3, xxxxxxxxxxxxx
4, Athula Siriwardhane